වික්ටර් අයිවන්ගේ වී ගොවියාට එරෙහි ප‍්‍රතිගාමී උද්ඝෝෂනය කාගේ උවමනාවට ද?

පානි විජේසිරිවර්දන විසිනි, 2016 අපේ‍්‍රල් 18

රාවය පුවත් පතේ හිටපු කර්තෘ සහ එහි ප‍්‍රමුඛයෙකු ලෙස කටයුතු කරන වික්ටර් අයිවන් පසු ගිය මාස ගනනාව තුල කම්කරුවන්, සිසුන් හා ගොවීන් තම අයිතීන් සඳහා කරන අරගලවලට එරෙහිව කරන කඩා පැනීම උත්සන්න කර ඇත. රාවය පුවත්පතට අමතරව ආන්ඩුවේ විද්‍යුත් මාධ්‍ය සාකච්ඡාවලට ද මෙම පහරදීම සඳහා අයිවන් කැඳවා ගැනේ.

පසුගිය මාසයේ ලංකාවේ දුගී ගොවීන් පොහොර සහනාධාරය පෙර පරිදි දෙන ලෙස ඉල්ලා උද්ඝෝෂනවලට එලඹෙන තතු තුල “ගොවීන්ගේ අර්බුදය හා අධිකරනයේ අර්බුදය” යන මාතෘකවෙන් රාවය පුවත්පතට මාර්තු 13 දා අයිවන් සපයා තිබූ ලිපිය ඉහත කී ප‍්‍රතිගාමී මැදිහත් වීමේ විසකුරු ස්වභාවය පෙන්නුම් කරයි.

ගොවීන්ගේ අරගලය හෙලා දැකීමේ ලා අයිවන්ට කොයි තරම් තදියමක් පැවැතියේ ද යත් තමන් අධිකරනයේ අර්බුදය ගැන ලියමින් තිබූ ලිපියක ඊලඟ කොටස කල් දමා ගොවි උද්ඝෝෂනය ගැන ලිවීම සුදුසු බව තීරනය කලේ යයි ඔහු පවසයි.

ගොවි උද්ඝෝෂනයට ආසන්න හේතුව වූයේ රුපියල් 350ක “සහන මිලකට” පොහොර සැපයීම අහෝසිකර හෙක්ටයාරයකට රුපියල් 25,000ක් මුදලින් දීමේ ක‍්‍රමයක් ආන්ඩුව ප‍්‍රකාශයට පත් කිරීම යි. ආන්ඩුව ගත් තීන්දුව සහනාධාර කප්පාදුව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දෙනු ලැබ ඇති නියෝගයක් කි‍්‍රයාවට දැමීම් දිසාවට ගත් පියවරකි.

අයිවන්ගේ ලිපියේ විසකුරු වාක්‍ය කිහිපයක් මෙසේ ය: “...වී ගොවීන්ට නිර්ලෝභීව සහන දෙන ප‍්‍රතිපත්තියක් ලංකාවේ කි‍්‍රයාත්මක වේ.” වාරිමාර්ග තැනීමට හා පවත්වා ගැනීමට, සහනාධාර මිලකට පොහොර ලබා දීමට සහ වෙනත් සහනවලට සෑම රජයක්ම කරන වියදම අති විශාල ය. “එහෙත් පුදුමය ගොවීන් ස්ව ශක්තියෙන් නැගී සිටින ප‍්‍රතිපත්තියක් අනුගමනය කරනවා වෙනුවට ආන්ඩුවෙන් ලැබෙන සහන මත යැපෙන තත්වයකට පත්ව තිබීම ය.” බදු ගෙවන මහජනයාගේ මුදලින් කෙරෙන “මෙම විශාල වියදම රටට ඔරොත්තු නොදෙන බරකි.”

අයිවන්ගේ වෛරය වැමෑරෙන්නේ ලංකාවේ දුගී ගැමි ජන කොට්ඨාසයකට එරෙහිව ය. ලංකාවේ ධනපති ආන්ඩු ගම්බද ගොවි ජනයාට හෝ කම්කරුවන්ට සහනාධාර ලෙස දොල පිදේනි දී නැත. භුක්ති විඳින සහනාධාර වෙතොත් ඒවා කම්කරුවන්ගේ අරගලවලින් ද ගම්බද ජනයාගේ පෙරලිකාරිත්වයෙන් ද උදුරා ගැනුන ඒවා ය.

අයිවන් ගොවි ඉල්ලීම්වලට හා උද්ඝෝෂනවලට පොලා පැන එලෙස පහරදීමට ඉදිරිපත් වූයේ, උතුරුමැද, දකුන, ඌව හා නැගෙනහිර පලාත් අලලා ගත් විරෝධතාවලට දහස් ගනන් ගොවීන් සහභාගිවීමත් සමග එය තව දුරටත් පැතිරී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහ නායකත්වය දෙන ආන්ඩුව බරපතල අර්බුදයකට පත්වේයයි භීතියෙනි.

අයිවන් හා රාවය වත්මන් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව රැකීමට පැනගැනීම අහම්බයක් නොවේ. මෙම ආන්ඩුව බලයට ගෙන ඒමට දරදිය ඇද්ද ප‍්‍රමුඛ සංවිධානය වූ පුරවැසි බලය ඇටවීමට මූලිකත්වය ගත්තේ රාවය කරවන්නන් ය. සිරිසේන ජනවාරි 8 දා ජනාධිපති වරනයෙන් දිනීම ඔවුන් ලේබල් කලේ “ජනවාරි විප්ලවය” නම් වූ ප්‍රෝඩාවකිනි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ යුද අපරාධ, මානව අයිතීන් උල්ලංඝනය, ජීවන අයිතීන් තලා දැමීම හා පොලිස් පාලනයට එරෙහිව කම්කරුවන් හා දුගීන් අතර වැඩුනු විරෝධය, සිරිසේන බලයට ගෙන ඒම මගින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කල හැකිය යන මිථ්‍යාවක් තුලට ගාල් කිරීමට අයිවන් හා රාවය ද, පුරවැසි බලය හා සමාජ සාධාරනත්වය සඳහා ජාතික ව්‍යාපාරය, විවිධ වාම කල්ලි ද ඇතුලු මධ්‍යම පන්තික කල්ලි දැනුවත්ව ම කි‍්‍රයා කලහ.

ඔවුන් එමගින් උඩගෙඩි දුන්නේ ඇමරිකානු අධිරාජ්‍යවාදීන් ඉන්දියාවේ ද ආධාරය ඇතිව සිරිසේන බලයට ගෙන එමින් කොලඹ තන්ත‍්‍ර මාරුවක් සඳහා ගෙනගිය යටිකූට්ටු ව්‍යාපාරයට යි. චීනය අධිරාජ්‍යවාදී ආධිපත්‍යයට යට කර ගැනීමට යුද සූදානමක යෙදෙන වොෂින්ටනය, විරුද්ධ වූයේ රාජපක්ෂ ආන්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී ප‍්‍රහාරවලට නොව එය බෙයිජිනය සමග සමීප ආර්ථික හා දේශපාලනික සම්බන්ධකම් වර්ධනය කර ගැනීමට ය. ඉන්දියානු සාගරයේ යුද මූලෝපායිකව වැදගත් තැනක පිහිටා ඇති ලංකාව, චීනයට එරෙහිව ආසියාවට හැරීමේ නමින් ගෙනයන යුදමය හා රාජ්‍ය තාන්ති‍්‍රක ජාලය තුල පෙල ගස්වා ගැනීම ඔබාමා පාලන තන්ත‍්‍රයේ ඉලක්කය විය. පෙර සඳහන්, ලංකාවේ විවිධ මධ්‍යම පන්තික කල්ලි තන්ත‍්‍රමාරුවට එක්වෙමින් පෙල ගැසුනේ ඇමරිකානු අධිරාජ්‍යවාදී කඳවුර සමගයි.

ගෝලීය ධනවාදයේ ගැඹුරු වන කඩා වැටීමක් තුල ආර්ථික ප‍්‍රපාතයකට ලංකාවේ ධනපති ක‍්‍රමය ලුහුටා යද්දී, සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ආවරනය කල ප‍්‍රජාතන්ත‍්‍රවාදී වහන්තරාව සුන්වෙමින් තිබේ. විවෘතව ප‍්‍රදර්ශනය වන්නේ ආන්ඩුවේ අධිරාජ්‍ය ගැතිකම හා අර්බුදයේ බර වැඩකරන ජනයා මත පැටවීම සඳහා පොලිස් මුර්ගත්වයෙන් කඩා පැනීම ඇරඹීමයි.

ආන්ඩුව බලයට ගෙන ඒමට හා ධනපති ක‍්‍රමය රැකීමට කැප වූ අයිවන්, රාවය ඇතුලු කල්ලි, ප‍්‍රහාරවලට එරෙහිව පැන නගින අරගලවලට එරෙහිව වෛරයෙන් කඩා පනින්නේ මෙම තතු තුල ය.

අයිවන් දුගී ගොවීන් හෙලා දකින විට ඔහු නියෝජනය කරන්නේ කම්කරුවන්ගේ දුගීන්ගේ අරගල තලා දැමීමට ආන්ඩුව සමග පෙල ගැසෙන මධ්‍යමපන්තික කල්ලිවල දුෂ්ට උවමනාව යි. ජනතා විමුක්ති පෙරමුනේ වර්ගවාදය සමග කැලතුනු සුලුධනපති දේශපාලනයෙන් පටන් ගෙන වඩවඩාත් දකුනට පදිමින් ධනපති පන්ති පාලනයන් සමග ද ඇමරිකාව ඇතුලු අධිරාජ්‍යවාදී රාජ්‍ය තාන්ති‍්‍රකයන් සමග ද සමීපව සබඳකම් හදා ගත් අයිවන් කම්කරු පන්තියට, ඔක්තෝබර් විප්ලවයට හා සමාජවාදයට සතුරු ප‍්‍රතිකොමියුනිස්ට් කඳවුරට මාරු වී ඇත.

කම්කරු පන්තියට හා සමාජවාදයට සතුරු, විවිධ වෙස් ගත්, නිර්මාල් රංජිත් දේවසිරි, සරත් විජේසූරිය, සමන් රත්නපි‍්‍රය, ගාමිනී වියන්ගොඩ සහ දයාන් ජයතිලක වැන්නවුන් ඇතුලත් කන්ඩායමක් දැන් ලංකාවේ සැරි සරති. ඔවුන්ගේ කි‍්‍රයා කලාපයෙන් පෙන්නුම් කෙරෙන්නේ ධනපති පන්ති පාලනයේ බරපතල අර්බුදය යි.

ගොවීන් සම්බන්ධයෙන් අයිවන් කොටින්ම සඳහන් කරන්නේ පොහොර සහනාධාරය “ආර්ථිකයට බරක් නිසා” එය අහෝසි කල යුතු බව ය. ඔහුට අනුව ගොවීන්, මහජනයාගේ බදු බරෙන් යැපෙන පරපෝෂිතයන් රොත්තක් වී ඇත.

මේ කාගේ උවමනාවට කරන ප‍්‍රචාරයක් ද? මෙම හඬ තැලීම, ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනයේ හා එහි නියෝග කි‍්‍රයාවට දමනවුන්ගේ ප‍්‍රචාරයේ දෝංකාරය ය.

මාස කීපයකට පෙරාතුව, රජයේ සේවකයන්ගේ විශ‍්‍රාම වැටුප් කැපීමට ආන්ඩුව ගත් තීරනයට එරෙහි විරෝධය ඇවිලෙද්දී අයිවන් ප‍්‍රකාශ කලේ, විශ‍්‍රාම වැටුප් ක‍්‍රමය ඔවුන්ට නොදිය යුතු වරප‍්‍රසාදයක් බවයි.

රාවය කතුවැකිය ලියන්නා ගිය අවුරුද්දේ දෙසැම්බර් 15 දා සිය කොලමින් ලංකාවේ අර්බුදය ධනපති ක‍්‍රමයේ අර්බුදයක් නොව රාජපක්ෂ පාලනයේ නිර්මානයක් ය යන වත්මන් ආන්ඩුවේ බේගල ම දෙසා බාමින් සඳහන් කලේ “රටේ යථාර්ථය සියල්ලන් විසින් තේරුම් ගනු ලැබිය යුතුව තිබේ. මේ තත්වයෙන් ගැලවීමට හැක්කේ ඒ යථාර්ථය පිලිගෙන ඉන් මිදෙනු සඳහා බුද්ධිමත් ජනප‍්‍රිය නොවන තීරන ගැනීමත් ඒ තීරන කි‍්‍රයාත්මක කිරීමට අවංකව කැපවීම හරහා පමනෙකි;” යනුවෙනි.

තමන්ගේ මුග්ධත්වයට ද ප‍්‍රතිගාමිත්වයට ද සරිලන අයුරින් ගොවීන්ගේ අර්බුදය ගොවීන්ම නිර්මානය කරගත් එකක් බවට අයිවන් සිය ලිපියේ “න්‍යායක්” ගොතා ඇත.

ඔහු මෙසේ කියයි: “දැන් දශකයකටත් වැඩි කාලයක් තිස්සේ ලංකාවේ වී ගොවීහු ලංකාවට අවශ්‍ය කරන සහල් ප‍්‍රමානයට වැඩි අතිරික්තයක් ද නිපදවති... ලංකාවේ වී ගොවිතැනේ දන් ඇතිවී තිබෙන ප‍්‍රධාන ප‍්‍රශ්නය අතිරික්ත නිෂ්පාදනය ආශ‍්‍රයෙන් ඇතිවී තිබෙන මහා අවුල වුවත් ගොවීන් කෑගසන්නේ ඒ ගැන නොව පොහොර ගැන ය.”

අයිවන් මෙසේ ප‍්‍රශ්න කරයි : “වී අතිරික්තයක් ඇතිවන ආකාරයට වී නිපදවන තැනකට නොගොස් රටට අවශ්‍ය තරමට වී නිපදවන අතර නිෂ්පාදන වියදම් අඩුකර ගනිමින් වී වලින් ලාභ උපයා ගත හැකි තත්වයක් ඇති කර ගැනීමේ වගකීමක් ගොවීන්ට නැද්ද?” යි අයිවන් ප‍්‍රශ්න කරයි. “තමන්ට ලැබෙන ආදායම් ප‍්‍රශස්ත ලෙස කලමනාකරනය කර ගැනීමට නොදන්නාකම වියලි කලාපයේ වී ගොවීන්ට ආවේනික දුර්වලතාවයක්” යි පවසන ඔහු “එම තත්වය මග හරවා ගැනීමට ඉගන ගැනීමෙන් පමනක් වුවත් අනවශ්‍ය ලෙස රජය මත යැපෙන තත්වයෙන් නිදහස් විය හැකිය” යි අනුශාසනාවක් ද දෙසාබායි.

මෙය වනාහී වත්මන් නිෂ්පාදන ක‍්‍රමය තුල දුගී ගොවියන් ට “ප‍්‍රශස්ත ලෙස” තම ආදායම් කලමනා කරනය කරගත හැකි, එපමනක් නොව වී නිෂ්පාදනය පවා හසුරුවා ගත හැකි එකකැයි දක්වන මනෝරාජික විකාරයකි. තම ලාභ තර කර ගැනීම සඳහා රුදුරු තරඟයක යෙදෙන මහා කෘෂිකාර්මික ඒකාධිකාරයන්ට පවා ප‍්‍රශස්ත ලෙස කලමනාකරනය කල නොහැකි අරාජිකත්වය රජයන නිෂ්පාදන ක‍්‍රමයකි, ධනේශ්වර ක‍්‍රමය. ධනවාදය නැගෙන සමයේ ධනපති නිෂ්පාදකයන්ට කි‍්‍රයා කිරීමට සිදුවූ තත්වය ගැන ෆෙඩි‍්‍රක් එංගල්ස් සමාජවාදය මනෝරාජ්‍යයෙන් විද්‍යාවට යන ලිවිල්ලේ කර ඇති මෙම විවරනය සුලු නිෂ්පාදකයන් කොට්ඨාසයක් වන වී ගොවියන්ට මුහුන දෙන්නට සිදු වන තත්වය පිලිබඳ චිත‍්‍රයක් සපයයි:

“එක් එක් තැනැත්තා තමා වෙත තිබෙන නිෂ්පාදන මාධ්‍යයන් උපයෝගී කර ගනිමින් තමන්ගේ ම අවශ්‍යතා සඳහාත්, ඔහුගේ ඉතිරි අවශ්‍යතා සපුරාගැනීම පිනිස හුවමාරුව සඳහාත් භාන්ඩ නිෂ්පාදනය කරයි. ඔහු නිපදවන සුවිශේෂ භාන්ඩයන් කොතරම් ප‍්‍රමානයක් වෙලඳපොලට පිවිසේ ද එයින් කොතරම් ප‍්‍රමානයක් අවශ්‍යවේ ද යන්න කිසිවෙක් දන්නේ නැත. ඔහුගේ තනි පුද්ගල නිෂ්පාදනයෙන් සැබැවින්ම කිසියම් ඉල්ලුමක් පැවරේද යන්න වත්, ඔහුට ඔහුගේ නිෂ්පාදන වියදම් පියවා ගැනීමට හැකිවේද, යන්නවත්, නැතහොත් ඔහුගේ භාන්ඩය කිසිසේත්ම විකිනීම හැකි වේ ද යන්න කිසිවෙක් නොදනී. සමාජමය නිෂපාදනයේ අරාජකත්වය රජ කරයි...” (සිංහල පරිවර්තනය, පි. 68)

ලංකාවේ හා අඩු දියුනු රටවල ගොවියන් මුහුන දෙන්නේ, පරපුටු මහා බැංකු හා මූල්‍ය ආයතන හරහා මූල්‍ය ප‍්‍රාග්ධනය ධනේශ්වර ක‍්‍රමය මත්තේ අධිකාරය දරා සිටින්නා වූ ද නිෂ්පාදනය භූගෝලීයකරනය වී ඇත්තා වූ ද, කෘෂි නිෂ්පාදනයට අදාල සියලු කර්මාන්ත හා සේවා ඒකාධිකාරයන් වෙලඳ පල උපාමාරු යොදන්නා වූ ද අරාජකත්වය ඉහවහාගිය කොන්දේසි තුල ය. ගොවියා මෙම ජාත්‍යන්තරව කි‍්‍රයාත්මක වන්නා වූ ද එහි අඬු පඬු ලෙස ලංකාව තුල කි‍්‍රයාකරන්නා වූ ද බලවේගවලට ගොදුරු වූවෙකි. අයිවන්ගේ “ප‍්‍රශස්ත කලමනාකරනයේ” මුග්ධ න්‍යාය එම බලවේගවල උවමනාවන්ට යට කිරීමේ මුගුරකි.

අයිවන් ගොවීන්ට එරෙහිව ලෙලවන තවත් තර්කයක් වන්නේ ලංකාවේ මිනිසුන්ගේ ප‍්‍රධාන ආහාරය බත් වන නිසා ඒ සඳහා සහල් නිපදවන හා ග‍්‍රාමීය කෘෂිකර්මයෙහි ප‍්‍රධාන භෝග වගාව වී ගොවි තැන නිසා වී ගොවීන්ට නිර්ලෝභීව සහන දෙන ප‍්‍රතිපත්තියක් ලංකාවේ කි‍්‍රයාත්මක වේ. “ඒ අනුව ජලය ලබා දීමට වාරිමාර්ග තනයි, ඒවා නඩත්තු කරයි. ඒ සඳහා රජය විශාල වියදමක් දරයි. ගොවි නය කපාහරියි.”

අයිවන් වෛරයෙන් මේවා ප‍්‍රකාශ කරන්නේ හරියට මේ පියවර බලයට පත්වූ ආන්ඩු වල සාක්කුවෙන් කෙරෙන ඒවා ලෙස ය. ඔහු මේ ප‍්‍රකාශවල තේරුම ගොවීන් අත් පත් කර ගත් සහනයක් වෙතොත් ඒවා අහෝසි කල යුතු බවයි; එම මුදල් මහ ධනපතියන්ගේ උවමනාවන් සඳහා යෙදවිය යුතු බවයි. වගා නොකල ඉඩම් හා පුරන්වූ කුඹුරු මහා ඉඩම් සමාගම්වලට පවරා ඒවායින් කෘෂි හා පශු කර්මාන්ත සංවර්ධනය කිරීමේ යෝජනාවක් ද ඒ සමග තොරොම්බල් කර ඇත. අයිවන් කතා කරන්න් මූල්‍ය ප‍්‍රාග්ධනය හා මහා සමාගම් වෙනුවෙනි.

වෙසෙසින්ම, බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී පාලන සමයේ අග 1940 ගනන්වල පටන් ලංකාවේ යටත් විජිතධනපති පාලකයන් වාරිමාර්ග තනා ජනපද ඇතිකර යම් සහන දී ගොවීන් නගාසිටුවන බවක් පෙන්වූයේ ඔවුන්කෙරෙහි උපන් කරුනාවකින් නොවේ. ඔවුනගේ දුෂ්ට ගනන් බැලීම වූයේ අන්ත දුගී ගොවීන් කම්කරු පන්තිය වෙත යොමු වීම වලක්වා, ඊට එරෙහිව ප‍්‍රති බලයක් ලෙස පිහිටුවමින් තම පන්ති පාලනය රැක ගැනීමයි.

ට්‍රොට්ස්කිවාදී බෝල්ශෙවික් ලෙනින්වාදී පක්ෂය යටතේ ද එහි ආනුභාවය ඉතිරිව පැවති සමයේ ලංකා සම සමාජ පක්ෂයේ නායකත්වය යටතේ ද කම්කරුවන් ගොනු වූ සමයේ දුගී ගොවියෝ කම්කරු පන්තිය වෙත ආකර්ෂනය වූයේ, ධනපති පන්ති පාලනය යටතේ මුහුන දුන් අනේකවිධ දුක් කම්කටොලුවලින් ගැලවීමට කම්කරුවන් සමාජවාදය සඳහා කරන අරගලයක් තුලින් අත් කර ගත හැකිය යන විශ්වාසයෙනි. වාර්ගික වෙනස්කම්වලට හා ප‍්‍රහාරයන්ට ගොදුරු වූ දෙමල පීඩිතයන් අතර ද එවන් ආකර්ෂනයක් පැවතුන. ලංකා සමසමාජ පක්ෂය 1964දී ධනපති ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමග හවුලට එක් වී මෙම ආකර්ෂනය අවසන් වසයෙන් බිඳ දැමුවේ ය.

ධනපති ආන්ඩු - එක්සත් ජාතික පක්ෂයේ ආන්ඩු, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ආන්ඩු හා හවුල් ආන්ඩු - ගොවීන්ට සහන සැලසීමට යයි ගෙනගිය ප‍්‍රතිපත්ති වල ප්‍රෝඩාකාරී බව එලිදරව් වී කැරලිකාරී වූයේ වරක් දෙවරක් නොවේ. 1953 අගෝස්තුවේ ඔවුහු සමසමාජ පක්ෂය කැඳවූ හර්තාලයේ දී කම්කරුවන් සමග එක් වූහ. ලසසප පාවාදීමෙන් පෝෂනය ලැබූ ජනතා විමුක්ති පෙරමුන 1971 දී ගම්බද පෙරලිකාරිත්වය අතිධාවනකාරී කැරැල්ලකට ගසා කෑවේ ය. 1980 ගනන් අග ගම්බද නොසන්සුන්තාව කම්කරු පන්තියට එරෙහි ෆැසිස්ට්මය ප‍්‍රහාර එල්ල කරන ප‍්‍රතිගාමී ව්‍යාපාරයකට හැරවීමට ජවිපෙ කි‍්‍රයා කලේ ය.

තිස් අවුරුදු වර්ගවාදී යුද්ධයෙන් ද බැටකා තම කොන්දේසි වඩවඩාත් දුෂ්කර වන තතු යටතේ ගොවීන්ගේ කැරලිකාරිත්වය යලි වර්ධනය වෙමින් පවතී. පසුගිය මාර්තු මාසයේ දහස ගනන් සහභාගී වූ විරෝධතාවන්ගෙන් ප‍්‍රකාශිත වූයේ එයයි.

ගම්බද දුගීන්ගේ විරෝධතාවලට ක්ෂනික නිමිත්ත පොහොර සහනාධාරය කප්පාදු කිරීම වුවද පරම්පරා ගනනාවක් තිස්සේ කඳු ගැසුනු ප‍්‍රශ්න කෙරෙහි දැවෙන විරෝධය ඒ පිටුපස පවතී. දරිද්‍රතාව, නයබරිතකම, ඉඩම් හා ජල ප‍්‍රශ්න, නිෂ්පාදනයේ හා අලෙවියේ ගැටලු ගොවීන් තෙරපයි. දස දහස් සංඛ්‍යාත තරුනතරුනියෝ විරක්ෂා භාවයෙන් පෙලෙති. ගම්බද සමාජ සම්බන්ධතා තියුනු ලෙස වෙනස් වී ඇත. ග‍්‍රාමීය වශයෙන් අති විශාල නිර්ධන පන්තියක් හා අර්ධ නිර්ධන පන්තියක් බිහිවී ඇත.

ගම්බද පෙරලිකාරිත්වය වර්ධනය වන්නේ කම්කරුවන්ගේ බරපතල අරගල වර්ධනය වීමේ කොන්දේසි තුල ය. ධනපති පන්තියේ හා ආන්ඩුවේ පමනක් නොව, එය සමග පෑහුනු අයිවන් ඇතුලු ඉහල මධ්‍යම පන්තියේ හා ඊට පැන ගැනීමට වලිකන මධ්‍යම පන්ති කල්ලිවල පස්ස රත්වී ඇත්තේ කම්කරුවන් පමනක් නොව ගොවියන් හා තරුනයන් අලලා ගත් විශාල සමාජ පිපිරීම්වල කාලයක් විවෘත වී ඇති නිසා ය.

ගොවීන් පෙලන ගැටලුවල මූලාශ‍්‍රය වන්නේ අයිවන් පවසන අන්දමින් තනි තනි ගොවියාට ‘ප‍්‍රශස්ත කලමනාකාරිත්වයක් නොමැතිකම’ නොව, පුද්ගලික දේපොල සහ ලාභය පදනම් කරගත් අතාර්කික නිශ්පාදන ආර්ථික ක‍්‍රමයක් වන ධනපති ක‍්‍රමය යි. එම ක‍්‍රමය පෙරලා දමා සමාජවාදී ක‍්‍රමයක් ස්ථාපිත කරමින් නිශ්පාදනය සහ ආර්ථිකය තාර්කික ආකාරයකට සැලසුම්ගත කිරීමෙන් මෙපිට ගොවීන්ගේ ගැටලු වලට කවර හෝ විසඳුමක් නොමැත.

කම්කරුවන්, සමාජවාදී වැඩපිලිවෙල සඳහා අරගලයට එලඹෙන දුගී ගොවීන් තමන් වෙත දිනා ගත යුතු ය. එම වැඩපිලිවෙල කි‍්‍රයාවට දැමිය හැක්කේ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමෙනි. මෙය ජාත්‍යන්තර සමාජවාදය සඳහා කරන අරගලයේ කොටසකි. සමාජවාදී සමානතා පක්ෂය සටන් වදින්නේ එම කි‍්‍රයාමාර්ගය මතය.

Share this article: