නිවාස අහිමි කෙරුනු කොලඹ දුගී පවුල් ලෝක සමාජවාදී වෙබ් අඩවියට කතා කරයි

අපේ වාර්තාකරුවන් විසිනි, 2016 අපේ‍්‍රල් 12

නාගරික සංවර්ධන අධිකාරිය (නාසඅ) විසින්, තොටලඟ කජීමා වත්තේ සහ ඇපල්වත්තේ දුගී නිවාස කඩා දැමීම හේතුවෙන් උන්හිටිතැන් අහිමි වූ සිය ගනනක් පවුල්, අටවාගත් ආවරනයන්හි රුදුරු කොන්දේසි යටතේ දිවි ගෙවති.

පයිප්පය කපා දමාවිය කියා බියෙන් වතුර එක් රැස් කරන ලමයෙක්

කජීමා වත්තේ නිවාස අහිමි වූ පවුල් 200 ක් පමන එම ස්ථානයේම ද, ඇපල්වත්තේ පවුල් 10 ක් ඒ ආසන්න පටු තීරයක ද, මෙලෙස ජීවත් වෙති. මීට අමතරව, ගුනපාල සිල්වා කී‍්‍රඩාංගනය අසල අටවාගෙන ඇති ආවරනයන්හි දිවි ගෙවන නිවාස අහිමිවූ තවත් පවුල් කීපයකි.

මාර්තු 29 වන දිනට ප‍්‍රථම මෙම තාවකාලික නිවාස සියල්ල ඉවත් කර ගතයුතු බවට නාසඅ නිලධාරීන් තර්ජනය කර ඇත. වැඩෙන මහජන විරෝධය හමුවේ නාසඅ නිලධාරීන් 29 වන දින නොපැමිනි නමුත් කවර හෝ මොහොතක තම නිවහන් කඩා බිඳ දමනු ඇතැයි යන සැකයෙන්, අසනීප තත්වයකදී රෝහලකට හෝ නොගොස්, නිවැසියන් එහි රැඳී සිටින්නේ එවන් අවස්ථාවකදී විරෝධය පා තම නිවහන් ආරක්ෂා කර ගැනීමේ අටියෙනි.

කඩා දැමූ නිවාසවල විදුලිබලය විසන්ධි කොට ඇති අතර ජලය සපයා ගැනීමද අසීරුව පවතී. දැඩි අවු රශ්මිය සහ වර්ෂාව හේතුවෙන් ඔවුන් අතර උනරෝගය පැතිරෙමින් ඇත. ඇදුම රෝගයෙන් පෙලෙන්නන්ගේ රෝගී තත්වය වැඩි වෙමින් පවතී.

කජීමාවත්ත:

තම නිවාස කඩා දැමීමෙන් අනතුරුව ඉටිකොල වලින් ආවරනය කරගත් මඩුවල ජීවත් වූ 200 ක් පමන වූ පවුල් වලින් බොහොමයක් මේ වනවිට තම නිවෙස් තහඩු වලින් සෙවිලි කොට ලෑලි වලින් ආවරනය කරගෙන සිටිති.

එම නිවැසියන් ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) කියා සිටියේ, මැතිවරනයට පෙර පොරොන්දු දුන් දේශපාලනඥයන් පමනක් නොව, කජීමා වත්තේ නිවාස කඩාදැමීමත් සමග පැන නැගි උද්ඝෝෂනය මධ්‍යයේ ‘යලිත් බලා පොරොත්තු ඇතිකරමින් පැමිනි’ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) හෝ පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) හෝ දැන් නොපැමිනෙන බවයි. කිසිදු මාධ්‍යයක් මේ පිලිබඳව වාර්තා නොකරන බවත්, මානව හිතවාදී සංවිධාන හෝ රාජ්‍ය නොවන සංවිධාන කිසිවක් තමා පත්ව ඇති තත්වය සොයා බැලීමට නොපැමිනි බවත් ඔවුන් පැවසුවේ දැඩි කෝපයෙනි.

අතීතයේදී කොලඹ නගරයේ නිවාස අයිතිය සඳහා ලංකා සම සමාජ පක්ෂය සටන් කල බවද පසුව ඒවා නැතිව ගිය බවද විශ‍්‍රාමික කම්කරුවෙකු පැවසීය. ඔහු කියා සිටියේ “විප්ලවයකින් මිස විසඳුමක් නොමැති” බවයි.

පැටි‍්‍රක් ප‍්‍රනාන්දු

පැටි‍්‍රක් ප‍්‍රනාන්දු නම් වූ එම කම්කරුවා හදිසි අනතුරකින් ආබාධිත තත්වයට පත්ව ඇත. දීර්ඝ සාකච්ඡාවකට මුල පුරමින් ඔහු මෙසේ පැවසීය: “පසුගිය පෙබරවාරි 16 වෙනිදා මගේ ගෙය කඩා දැම්මේ කිසිම හිතක් පපුවක් නැති ආකාරයට. කඩනකොට ඒකට යට වෙලා, ගෙයි ඇතුලේ තිබුනු මගේ රෝද පුටුවත් කැඩිලා ගියා. මම අවුරුදු හතලිස් තුනක් තොටලඟ තමයි ජීවත් වුනේ.

“මම හිතන්නේ මෙහෙම පැල්පත් කඩා ඉවත් කරන එක සහගහන අපරාධයක්. මෙතන ඉන්න අපි කවුරුවත් ෆ්ලැට්වලින් ගෙවල් ඉල්ලන්නේ නැහැ. අපි ඉල්ලන්නේ, මොකක් හරි ඉන්න තැනක් විතරයි. කොලඹ කුලියට පැල්පතක්වත් ගන්න බැහැ මාසෙකට රු. 3000ට අඩුවෙන්, ඒකටත් අවුරුද්දක හෝ දෙකක අත්තිකාරම් ගෙවන්න ඕන. ඒ කියන්නේ අපිව මෙතනින් එලියට දැම්මොත් රු. 50,000 ක් වත් ඕනේ තව පැල්පතක් හොයාගන්න. ඒකයි අපි මැරෙන්න හරි බලාගෙන මෙහෙම ඉන්නේ.

“මේ පලාත ඉස්සර සම සමාජ බලකොටුවක්. මට මතකයි, විවියන් සහෝදරිය මෙහේ සංවිධානය කලා. මම තරුනයෙක් හැටියට සම සමාජ පක්ෂයට සහයෝගය දුන්න, පසු කාලීනව ඒ කටයුතු මගහැරුන.

“නමුත් මේ සිද්ධ වෙන දේවල් එක්ක පැහැදිලියි, විප්ලවයෙන් තොර විකල්පයක් නැති බව. මිනිස්සු ඒකරාශී වෙන්න ඕනේ. කැපවීමෙන් සටන් කරන්න පුලුවන් මිනිස්සු, තරුන තරුනියෝ ඕනෑ තරම් මේ වතුවල ඉන්නවා, ඒගොල්ලන්ට මගපෙන්වීමක් අවශ්‍යයි.”

දුගීන්ගේ නිවාස ප‍්‍රශ්නය විසඳිය හැක්කේ කම්කරු-ගොවි ආන්ඩුවක් බලය ගෙන සමාජවාදී වැඩපිලවෙලක් කි‍්‍රයාවට දැමීමෙන් පමනක් බව ලෝසවෙඅ වාර්තාකරුවෝ පැහැදිලි කලහ.

එක්සත් ජනපදය ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදීන් තුන්වන ලෝක යුද්ධයක් කරා මානව වර්ගයා ඇදගෙන යන අයුරු සාකච්ඡාවට භාජනය වත්ම ඔහු දෙවන ලෝක යුද්ධය මධ්‍යයේ ජපන් අධිරාජ්‍යවාදීන් කොලඹ නගරයට හෙලූ බෝම්බ පිලිබඳ තම මතකය අවදි කලේය.

“ඇත්තටම ඔබේ පැහැදිලි කිරීමෙන් පස්සෙ නැවත ලෝක යුද්ධයක අනතුරක් තියෙන බව අපිට පේනවා. ජපනුන් ලංකාවට බෝම්බ දැම්ම අපිට අමතක නැහැ, මේවා ඔක්කොම අධිරාජ්‍යවාදීන් අතර තරගයේ ප‍්‍රතිඵල.”

පවුලක් ජීවත් වන කාමරයක්

කජීමාවත්තේ තරුන යුවලක් මෙසේ පැවසූහ. “මෙහෙ සෑහෙන ගෙවල් ප‍්‍රමානයක ඉන්නේ යූඞීඒ (නාසඅ) එකෙන් පදිංචි කරවපු පවුල්. අපිත් එහෙමයි. යුනියන් ප්ලේස් එකෙන්, කාසල් පාරෙන්, කොම්පඤ්ඤවීදියෙන්, මේ හැම පැත්තෙන්ම මිනිස්සු මෙහෙ ගෙනල්ල දැම්ම. දැන් අපිට කිසිම විකල්පයක් නොමැතිව යන්න කියා කියනව. අපි ඔක්කොම චන්දෙ දුන්නේ යූඇන්පී එකට.

“අපි කවුරුවත් දැන් ගේ වහල කොහෙවත් යන්න බයයි. මොකද එනකොට ගේ කඩලා තියෙයි කියල; නැත්නම් අපි නැතිවෙලාවේ ඇවිත් බොරු සමීක්ෂනයක් කරල පස්සේ කියනවා, ඕගොල්ලෝ මෙතන පදිංචිව හිටියේ නැහැ කියල, පස්සේ ආව කියල. ඒ නිසා දැන් අපි හදිසියට දරුවාව දොස්තර ගාවට අරගෙන ගියත්, ඔක්කොම ලියකිවිලි ටික අල්ලපු ගෙදර කාට හරි දීල යනවා.

“දැන් ආන්ඩුව කියනවා කුලී නිවැසියන්ට අලුත් ගෙයක් ලබන්නට අයිතියක් නැහැ කියල. නමුත් අපිව කලින් හිටපු තැන් වලින් ඉවත් කරන කොට, නිවාස හිමියන්ට දුන්න ෆෝරම් වල, කුලී නිවැසියන් ගැන විස්තර, නිවසේ පදිංචි අනිත් පවුල් ගැන විස්තර ඔක්කොම ඉල්ලලා තිබුන. යූඞීඒ එකේ වාර්තා වල අපේ විස්තර තියෙනවා, හැබැයි අපිට කිසිවකට නීත්‍යානුකූල අයිතියක් නැහැ.

“ඔය ගොල්ලො පැහැදිලි කරල දෙන විදියට නිවාස, ජලය, විදුලිය කියන්නේ මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකම්. ඒවා දෙන්න රජය බැඳිලා ඉන්නවා. මුන් කරන්නේ අපේ ලයිට් වතුර කපල අපිව මෙතනින් එලවා දමන එක, ඒ ඔක්කොම අයිති නැති කරන එක.

නාගරික සංවර්ධන අධිකාරයේ දැන්වීමක්

“මේ ප‍්‍රශ්නෙ බි‍්‍රගේඩියර්ගේ (නාසඅ ප‍්‍රධානි) පුද්ගලික එකක් නෙමෙයි. මේක දේශපාලන වැඩක්. එක අපිට තේරෙනවා. කඩන දවසේ යූඞීඒ එක ඇවිල්ල කිව්වා මේ ඉඩම විකුනලා තියෙන්නේ කියල. ඒ නිසා අපිට යන්නම වෙනවා කිව්වා. නමුත් යූඞීඒ එක තවම බෝඞ් ගහනවා මේක ඒගොල්ලන් සතු ඉඩමක් කියල. අපිට අයිතියක් තියෙනවා මේක කවුරු සතු ඉඩමක්ද කියල දැන ගන්න.

“අපි මේවයේ අවම වශයෙන් අවුරුද්දක්වත් ඉඳල තියෙනව. අපිව ගෙනල්ල දැම්මෙත් යූඞීඒ එකෙන්. ඉතින් කොහොමද මේවා තාවකාලික නිවාස කියන්නේ?”

කි‍්‍රෂාන්ති නම් වූ තරුන ගෘහනිය මෙසේ පැවසුවාය. “මට වයස අවුරුදු 24යි, මහත්තයට 26යි. අපිට ලමයි තුන්දෙනෙක් ඉන්නවා. පොඩිම ලමයට අවුරුදු 2යි, දෙවනිය “සැමට සෙවන” ලමා නිවාසයේ, තුන් වෙනියා තොටලඟ සඟබෝධි විද්‍යාලයේ ඉගෙන ගන්නවා.

“ලමයි තුන් දෙනාටම දරුනු ලෙස හතිය තියෙනව. රිජ්වේ රෝහලෙන් අපිට දුන්නු රිපෝට් පෙන්නලා මන්තී‍්‍රවරුන් ගනනාවක් ලඟට ගිහින් තමයි මෙහෙ පැල්පතට ආවේ. ඊට කලින් අපි පේමන්ට් එකෙත් හිටිය, පැල්පත් කීපයකම කුලියටත් හිටිය. මහත්තය කුලී වැඩ කරන්නේ, දිනකට ලැබෙන්නේ රු. 500-700 වගේ ගානක්, ඒකෙන් පැල්පතක කුලිය හෝ අත්තිකාරම ගෙවන්න හරිම අමාරුයි. මෙහෙම ලබා ගත්තු ගේ තමයි තමයි පෙබරවාරි 16 කුඩු කරලා දැම්මේ.

පහර කෑමෙන් තුවාල ලැබූ කුඩා දැරිය

“ගේ කඩනකොට එතනට ගිය පොඩි දුවට, එතත හිටපු මහත්තයෙක්ගේ සපත්තු පාරක් වැදුන. ඔලුව ඉදිමිලා ඉස්පිරිතාලේ ගෙනිහින්, එතන තුබුනු ලේ ගෙඩිය පලල මැහුම් දාන්නත් උනා. තාම එයාට හරියට සනීපයක් නැහැ. අපිට යන්න තැනක් නැහැ, අපි මැරෙන්න හරි මෙතනම ඉන්නවා.”

ඇපල්වත්ත:

මාර්තු 16 දින ඇපල්වත්තේ නිවාස 10ක් කඩා දැමිනි. එම නිවාස වල ජීවත් වූ පවුල් දැන්, ඉඩම ඇතුලතම, ලෑලි හා රෙදි වලින් ආවරනය කරගත් කුඩා මඩු අටවාගෙන ජීවත් වෙති. මින් මඩු පහක් පැරනි කොන්කී‍්‍රට් පාරක් මත තනාගෙන ඇති අතර, ඉතිරි මඩු සාදාගෙන ඇත්තේ ඉඩම මායිමේ ඇති අපවිත‍්‍ර වූ ඇලක ඉවුරේය. පවුල් දහයම ජලය ලබා ගන්නේ පැරනි ගෙවල් වලට ජලය සැපයු ජලනල පද්ධතියේ කැඩුනු කරාම දෙකකිනි.

එලිමහනේ ආහාර සකස් කරන කාන්තාවක්

ඇපල් වත්ත නිවැසියෝද ලෝසවෙඅ වාර්තාකරුවන්ට කරුනු දැක්වූහ. එක් ගෘහනියක් මෙසේ පැවසුවාය: “අපේ කඩා දමපු ගෙවල් පොඩියි හැබැයි හොඳට සිමෙන්තියෙන් හදල තිබුන. දැන් අපි ඔක්කොම කරගන්නේ මේ පොඩි මඩුවේ. ලමයින්ව ඇඳට දාල අපි ශීට් දාගෙන කොන්කී‍්‍රට් පාර උඩ නිදියනවා සමහර වෙලාවට. උයන්නෙත් පාරේ තියාගෙන.

“මේ රස්නය නිසා ලමයි පහුගිය සති කීපයෙම ලෙඩ වුන. එත් කමක් නැහැ වහින්නෙ නැත්නම්. ගෙවල් කඩන්න කලිනුත්, වැස්සහම මේක අපායක් වෙනවා.

“මේ ගෙවල් කඩා දැමීම ගැන බලන්න කවුරුවත්ම ආවේ නැහැ. කිසිම මන්තී‍්‍ර කෙනෙක්වත්, පත්තරේකින්වත්, ටෙලිවිෂන් වලින්වත් අවේ නැහැ. ඕගොල්ලෝ විතරයි මේගැන සොයා බලන්නේ.

“ආන්ඩුව අපිට යන්න කියන්නේ කිසිම විසඳුමක් නැතිව. ඒ විතරක් නෙමෙයි, අද මේ තියන කරාම දෙකේ වතුර කපනවා කියලත් දැනුම් දීල තියෙනවා.

“අපි මේ ප‍්‍රශ්න බි‍්‍රගේඩියර් සමරසිංහට කිව්වම, ඔහු අපිට ඉතාම නරක විදිහට බැන්න. ”උඹල දෙමලු” කියලත් බැන්න. අපි කැමතියි මේ අසාධාරන කමට එරෙහිව ඇත්තට සටන් කරන ඕනෑම කන්ඩායමකට සහය දෙන්න.

“ජලය හා විදුලිය සහිත යහපත් නිවාසයක ජීවත්වීම තම සමාජ අයිතියක්” බව ඇය තවදුරටත් ප‍්‍රකාශ කලාය.

මහලු දෙමාපියන් සමග දිවි ගෙවන සිවුදරු මවක්: “මට ලමයින් හතර දෙනයි, මහත්තය හිරේ ඉන්නේ. (එක දරුවෙක් තවම අතදරුවෙකි) පොඩි ලමයට ගෙවල් කඩපු දා ඉඳල හැමදාම උන. මේ රස්නය උහුලන්න බැහැ එයාට. කලින් අපි ආවරනය කරන්න විතරක් මඩුවක් ගහ ගත්ත, පස්සේ අව්වයි රස්නයයි ඉවසන්න බැරි නිසා තවත් පොඩි කෑල්ලක් අටවගත්ත දවල්ට වාඩි වෙලා ඉන්න.

“අද ලමයට හොඳටම උන. මම කෙනෙකුගෙන් නයකුත් අරගෙන මේ ලඟ තියෙන ඩිස්පෙන්සරියට ගියා, නමුත් අද උදේ වරුව දොස්තර නැහැ. මගේ ලොකු ලමයි දෙන්න, “සැමට සරන” නිවාසෙට ගෙනිච්ච දවල් වරුවට, ඉගෙන ගන්න, දැන් ඒකත් කරන්න විදිහක් නැහැ.”

රාජපක්ෂ ආන්ඩුව මෙන්ම සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවද කි‍්‍රයාත්මක කරමින් සිටින්නේ කොලඹ නගරයෙන් දුගීන් පලවා හැර නිදහස් කර ගන්නා ඉඩම් ලාභ පිපාසිත ආයෝජකයන්ට පවරාදීමේ වැඩපිලිවෙලයි. බස්නාහිර මහා නගර සැලැස්ම යටතේ කොලඹ පැල්පත් හා අඩු ආදායම් ලාභී නිවාස ඉවත් කර අක්කර 900ක් ආයෝජකයන් සඳහා පවරාදීමට නියමිතය. මේ අතර වැලිකඩ බන්ධනාගාරය ඉවත්කර තවත් අක්කර 50ක් පමන ද ජනාධිපති මන්දිරය, අගමැති මන්දිරය සහ ආන්ඩුවේ කාර්යාල බත්තර මුල්ලට ගෙන යමින් එම ඉඩම් ද හිස් කර ගැනීමට පිඹුරුපත් සකසා ඇත.

මේ සියලු ඉඩම් නිදහස් කරගනු ලබන්නේ ජාත්‍යන්තර ප‍්‍රාග්ධන හිමියන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් කොලඹ අගනගරය වානිජ කේන්ද්‍රයක් බවට පත් කිරීමේ ව්‍යාපෘතිය යටතේය.

Share this article: