අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි වනු!
ජාත්‍යන්තර අන්තර්ජාල මැයි දින රැලියට ඒකාබද්ධ වනු!

Oppose imperialist war! Join the International May Day Online Rally!

2016 අපේ‍්‍රල් 25

එලැඹෙන මැයි 1 දින ඉරිදා එක්සත් ජනපද නැගෙනහිර සම්මත වේලාවෙන් පස්වරු 1ට හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජජාක) අන්තර්ජාල රැලියක් පවත්වමින් මැයි දිනය සමරනු ඇත. ලෝකය පුරා හතරවන ජාත්‍යන්තරයේ නායකයින් විසින් පවත්වනු ලබන විශේෂ දේශනවල කේන්ද්‍රීය අරමුන වනු ඇත්තේ, පෘතුවි ගෝලය විනාශ කිරීමට තර්ජනය කරන අධිරාජ්‍යවාදී මිලිටරිවාදයේ උදම් රලට එරෙහිව, කම්කරුවන්ගේ ශිෂ්‍යයින්ගේ හා තරුනයින්ගේ ගෝලීය යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩ නැගීම යි. මෙහි කථිකයන් අතර එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයෙන් 2016 ජනාධිපතිවරනයට ඉදිරිපත්වන ජෙරී වයිට් ද වේ.

අප ජීවත් වන්නේ නිමක් නැති යුද්ධයේ යුගයක ය. මුසාවන් හා සීමාවකින් තොර නරුමත්වයෙන් යුක්ති සහගතකර තිබෙන “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” දැන් එහි පහලොස්වන වසරට එලැඹෙමින් තිබේ. යුද්ධයේ ප්‍රතිපල වශයෙන් මැදපෙරදිග හා මධ්‍යම ආසියාවේ මිලියනයකට වැඩි මිනිසුන් මරනයට පත් විය. නොඟිනිය හැකි මිලියන සංඛ්‍යාත ජනතාව නිවාස අහිමි සරනාගතයින් බවට පත් කර ඇත. ත්‍රස්තවාදය කෙලවර වනවා වෙනුවට, ඇෆ්ගනිස්ථානය, ඉරාකය, සිරියාව, ලිබියාව හා යේමනය තුල එක්සත් ජනපදය විසින් උසිගන්වන ලද කලාපීය යුද්ධ අන්කවරදාටත් වඩා පැතිර යන ප්‍රචන්ඩත්වයට, පුද්ගලික අනාරක්ෂිතභාවයට හා ගෝලීය අස්ථාවරත්වයට තුඩුදී තිබේ.

මැද පෙරදිග හා මධ්‍යම ආසියාවේ නව විජිතකරන මැදිහත්වීම්, මහා බලවතුන්ගේ ඊටත් වඩා බිහිසුනු ලේවැකි ගැටුම්වල පූර්ව රංඟනය යි.

ගෝලීය බලවතා වසයෙන් සිය තත්වය ආරක්ෂා කරගැනීමට අදිටන්කර සිටින එක්සත් ජනපදය, රුසියාව හා චීනය සමග ක්‍රමානුකූලව ගැටීම් උත්සන්න කරමින් සිටී. රුසියාවට මායිම් වන රාජ්‍යයන් නැටෝ හමුදා විසින් පිටුබලය දෙන මිලිටරි සන්නද්ධ කිරීම් වල යෙදී සිටියි.

ඔබාමා පාලනයේ “අසියාවට හැරීම” යන චීනය වැටලීමේ එක්සත් ජනපද ව්‍යායාමය, සමස්ත කලාපය ම වෙලා ගනිමින් තිබේ. මේ මාසය මුල එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ඇස්ටන් කාටර්, දකුනු චීන මුහුදේ යුද අභ්‍යාස පෞද්ගලික ව ම නිරීක්ෂනය කිරීම පිනිස පිලිපීනයට ගමන් ගත් අතර, වොෂිංටනයේ මිලිටරි සන්ධාන ජාලයක් නඟා සිටුවීම පිනිස එක්සත් ජනපද ගුවන් යානා, හෙලිකොප්ටර්, විශේෂ බලකා ඒකක හා ගුවන්යානා ප්‍රවාහන නෞකා යොදවා ඇත.

තමන්ගේ ම ජාතිකවාදී හා ස්වෝත්තමවාදී පාලක කල්ලිවල ධනවාදී අවශ්‍යතාවන් නියෝජනය කරන ආන්ඩුවලින් සමන්විත රුසියාව සහ චීනය, එකට එක කිරීමේ ක්‍රියාවන් මගින් මෙම තර්ජන වලට ප්‍රතිචාර දක්වයි. ඒවායේ ප්‍රතිපලය වනු ඇත්තේ, සෑම අතින් ම මහා පරිමාන යුද්ධයක් ඇවිල යාමයි. මේ මාසයේ මුල රුසියානු ප්‍රහාරක යානා හා එක්සත් ජනපද යුද නැව් අතර බෝල්ටික් මුහුදේ දී ඇතිවීමට ගොස් යාන්තම් වලක්වා ගත් ගැටුම, බරපතල අනතුරු ඇඟවීමකි: වඩාත් ආතති සහගත තත්වයක දී, එක් වැරැදි පියවරක් පාලනයෙන් ගිලිහී ඉතා වේගයෙන් ව්‍යාප්ත විය හැකි ය.

පලමු ලෝක යුද්ධයේ (1914-18) සහ දෙවන ලෝක යුද්ධෙයේ (1939-45) කාල පරිච්ඡේදවලදී මෙන්, සියලු ම අධිරාජ්‍යවාදී බලවතුන්, ලෝකය අභිනවයෙන් “යලි බෙදා ගැනීමේ” මෙහෙයුමකට සහභාගී වෙමින් සිටී. ජර්මනිය යලි වතාවක් සන්නද්ධ වෙමින් ද එහි මිලිටරි මෙහෙයුම් ව්‍යාප්ත කරමින් ද සිටී. ජපානය දෙවන ලෝක යුද්ධයේ දී ලත් පරාජයෙන් අනතුරු ව මිලිටරි මෙහෙයුම් මත පැනවූ සීමාකිරීම් පසෙකට දමමින් සිටියි. න්‍යෂ්ටික ආයුධ සහිත ගැටුමක් වනු ඇති තුන්වැනි අධිරාජ්‍යවාදී යුද්ධයක අනතුර 1945න් මෙහා අන් කවරදාටත් වඩා බෙහෙවින් වැඩිය.

ව්‍යසනකාරී ප්‍රතිවිපාක ගෙන දිය හැකි, ගෝලීය බලය සඳහා නිර්දය අරගලයක තමන් නිමග්න ව සිටින බව ලෝක අධිරාජ්‍යවාදයේ නායකයෝ පිලිගනිති.

හැන්ඩ්ස්බ්ලාට් පුවත්පත සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී, ජර්මානු විදේශ ඇමති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටෙයින්මියර්, ලෝක භූදේශපාලනික සබඳතාවන් අතිශයින් පුපුරනසුලු යයි පිලිගත්තේය. “පැරැනි ලෝක පර්යාය තාමත් නව පර්යායකින් විස්ථාපනය කර නැත” යි ස්ටෙයින්මියර් කීවේ ය. “අනසක පැතිරවීම සහ ආධිපත්‍යය සඳහා වන මෙම අරගලය සිදුවෙමින් පවතින්නේ, සාමකාමී සාකච්ඡාවන් සහිත පරිසරයක නො ව, පුපුරන සුලු ප්‍රචන්ඩකාරී පරිසරයක ය”.

ධනවාදී පද්ධතියට හා එහි ජාතික-රාජ්‍ය දේශපාලන රාමුවට කාවැදුන දේශපාලන, කලාපීය, මූල්‍යය හා වානිජ්‍ය අවශ්‍යතාවන් වටා මතුවෙන ගැටුම්, ලෝක යුද්ධයට පාර කපයි. න්‍යෂ්ටික යුද්ධයකට ලුහුටා යාමෙන් වැලකීමට ඔවුන් කල්පනා කලේ වුවත්, අධිරාජ්‍යවාදයේ තර්කනය අභිබවා යාමට තබා තමන්ගේ ඉවබව නැති කමේ ප්‍රතිවිපාක පාලනය කිරීමටවත් අධිරාජ්‍යවාදී ආන්ඩු අසමත් ය.

ලෝක අධිරාජ්‍යවාදයේ නායකයින් ඔවුන්ගේ යුද මූලෝපායන් සකසමින් සිටින්නේ, ජනතාවට හොරෙන්ය. ඔවුන්ගේ මිලිටරි සැලසුම් හා කාලසටහන් ප්‍රසිද්ධ වාද විවාද, මහජන විරෝධතාවන් මගින් අඩාල කෙරෙනවා දැකීමට ඔවුන්ට අවශ්‍ය නැත.

එක්සත් ජනපදය තුල ධනවාදී පක්ෂ හා මාධ්‍ය, 2016 ජනාධිපතිවරන උද්ඝෝෂන විවාද වලින් යුද්ධයේ ප්‍රශ්නය ඉවත්කර ඇත. “පාලන තන්ත්‍ර මාරු කිරීමේ“ යුද්ධවල සහායිකාවක් හා සීඅයිඒ හා පෙන්ටගනයේ අතිශයින්ම නිර්දය කොටස්වල හොරනෑවක් වන හිලරි ක්ලින්ටන්ට නාමයෝජනා දීමට ඩිමොක්‍රටික් පක්ෂය සූදානම් වේ. රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයන් මෙන් ම ඔවුන් ද න්‍යෂ්ටික ආයුධ හරියට සෙල්ලම් බඩු ලෙසින් සලකා විහිලුවට ලක් කරයි. නොවැම්බර් මැතිවරනයෙන් අනතුරුව ග්‍රහ ලෝකයම විනාශ කල හැකි ඇමෙරිකානු ආයුධ පත්වෙනු ඇත්තේ, එවැනි යුදවාදී අධමයින් අතට ය.

වැඩෙන සමාජ අසමානතාව ට ද ප්‍රජාතාන්ත්‍රික අයිතීන් ට ද කම්කරු පන්තියේ අවශ්‍යතාවන් ට ද එල්ල කෙරෙන නිමක් නැති ප්‍රහාරය කෙරෙහි සෑම රටකම වැඩකරන ජනයා හා තරුනයින් ඇතුලු මහජනයා අතර ඇත්තේ ගැඹුරු හා සමහන් කල නොහැකි වෛරයකි.

ලෝකය පුරා බිලියන සංඛ්‍යාත මහජනයාගේ වෛරය හා විරුද්ධත්වය, නව මූලෝපායක් ඉල්ලා සිටී. යුද්ධයට එරෙහි අරගලය, යුද-විරෝධී හා සමාජවාදී වැඩපිලිවෙලක පදනම මත, ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුලු ගැන්වීමේ අරගලයක් විය යුතු යයි හජාජාක අවධාරනය කරයි.

ජාත්‍යන්තර අන්තර්ජාල මැයි දින රැලියේ අරමුන වන්නේ, කෙරීගෙන යන යුද්ධ නතර කිරීමටත්, මානව ශිෂ්ටාචාරයේ අනාගතයට තර්ජනය කරන ව්‍යසනයක් වෙතට ඒවා තල්ලුවී යාම වැලක්වීමටත්, ජාත්‍යන්තර කම්කරු පන්තියේ ව්‍යාපාරයක් වර්ධනය කර එයට දිරි දීම හා අභිනිවේශය සැපයීමත් ය.

අන්තර්ජාල මැයි දින රැලියට එක් වන්නැයි ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පාඨකයන් සියලු දෙනාගෙන්ම අපි ඉල්ලා සිටිමු!

අදම ලියා පදිංචි වෙන්න! ඔබගේ මිතුරන් හා සහෝදර කම්කරුවන්ට දැනුම් දෙන්න. ෆේස්බුක් හා අනෙකුත් සමාජ ජාල මාධ්‍යන්හි රැලිය පිලිබඳව ප්‍රචාරය කරන්න. මෙවර රැලිය, අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඒකාබද්ධතාව පිලිබඳ බලගතු ප්‍රකාශනයක් බවට පත් කිරීමට ආධාර කරන්න!

වැඩිදුර තොරතුරු සහ ලියාපදිංවි වීම සඳහා මෙහි පිවිසෙන්න:internationalmayday.org/si

ජෝ කිශෝර් හා ඩේවිඩ් නෝත්

Share this article: