චීනයට එරෙහි එක්සත් ජනපද ප්‍රකෝප කිරීම්, ලෝක යුද්ධයේ තර්ජනය මතු කරයි

US provocations against China threaten world war

2016 අපේ‍්‍රල් 8

ඇමරිකානු ජනතාවගේ පිටුපසින් හා දිගහැරෙමින් ඇති ජනාධිපතිවරන ව්‍යාපාරය තුල සාකච්ඡාවෙන් බැහැර කරමින් එක්සත් ජනපදය, මෑත සති වලදී, චීනය සමඟ මිලිටරි ආරවුල තියුනු ලෙස ඉහල නංවා ඇත.

දකුනු චීන මුහුදේ, චීනය හිමිකම් පාන භූමිභාගයේ නාවික සැතපුම් 12 සීමාව තුලට, “නාවික ගමනාගමනයේ නිදහසේ” නාමයෙන් ඇමරිකාව, නුදුරේදීම යුද නැව් පිටත්කර හරිනු ඇතැයි නිව් යෝර්ක් ටයිම්ස් පත්‍රය 07දා වාර්තා කලේය.

2015 ඔක්තෝබරයේ හා 2016 ජනවාරියේදී ඇමරිකානු නාවික හමුදාව, “කුමන වර්ගයක හෝ අවි භාවිතා කරන පුහුනුවීම් හෝ අභ්‍යාස” තහනම් කර ඇති “අහිංසක තීරුව” පිලිබඳ නියමයන්ට නාමිකව අනුකූල වන පරිදි, චීන මුහුදු සීමාවන්ට මිසයිල් හාරක ඩිස්ට්‍රෝයර් යාත්‍රා පිටත් කලේය.

නාවික ටයිම්ස් පත්‍රයට අනුව අමරිකාවේ ශාන්තිකර සාගර බලඇනියේ ආඥාපති අද්මිරාල් හැරී හැරිස්, චීනය හිමිකම් කියන සැතපුම් 12 සීමාව තුලට වඩාත් ආක්‍රමනකාරී කඩාවැදීම් වෙනුවෙන් කථාකර ඇත.

මෑතකදී විශ්‍රාම ගිය නාවික මෙහෙයුම් ප්‍රධානියා වන අද්මිරාල් ග්‍රීනට්ගේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකරු වන බ්‍රයන් ක්ලාක්, නාවික ටයිම්ස් පත්‍රයට පවසා ඇත්තේ, “(නාවික ගමනාගමනයේ) නිදහස වෙනුවෙන් සැබෑ මෙහෙයුම් සිදුකිරීම අවශ්‍යය. ඔහුට අවශ්‍ය වන්නේ ප්‍රදේශය හරහා යමින් මිලිටරි මෙහෙයුම්වල යෙදීමය.” එනම්, ප්‍රහාරක යානා ගුවන්ගත කරමින් අවි පද්ධතීන් ක්‍රියාත්මක කිරීමටයි.

ආතතීන් උත්සන්නවීමේ ප්‍රතිපලයක් ලෙස, “යම් ආකාරයක ගැටුමක් අත ලඟටම පැමින ඇති බව පෙනේ” යයි නිව් යෝර්ක් ටයිම්ස් පත්‍රය තර්ජනාත්මකව නිගමනය කරයි.

සිය චීන විරෝධී මූලෝපාය ඉදිරියට ගෙන යමින් ඇමරිකාව, ශාන්තිකරයේ ප්‍රමුඛ බලවතුන් වන ජපානය හා ඕස්ට්‍රේලියාව මෙහෙයුම් වලට බඳවාගෙන තිබෙන අතර වඩ වඩාත් චීනයට විරුද්ධව තමන්ගේම ප්‍රකෝපකරනයන්හි නිරතව සිටින පිලිපීනය, වියට්නාමය, සිංගප්පූරුව, මැලේසියාව හා ඉන්දුනීසියාව තම නාවික හමුදා වේගයෙන් තර කරමින් සිටිති.

මේ සතිය තුල පල කල ස්ටොක්හෝම් සාම පරියේෂන ආයතනයේ වාර්තාවක් හෙලි කලේ, ආසියා-ශාන්තිකර කලාපයේ ඇමරිකානු සහචරයින්, දැවැන්ත මිලටරි වියදම් සිදුකරමින් සිටින බවයි. පිලිපීනය වසරක් තුල සිය වියදම් සියයට 25.5න් වැඩිකර ඇති අතර ඉන්දුනීසියාව සියයට 16.5න් ද තායිලන්තය, සිංගප්පූරුව, මැලේසියාව හා වියටිනාමය සියයට 5ට වැඩි ප්‍රමානයන්ගෙන් ද ඉහල නංවා තිබේ.

මෙම චීන විරෝධී සන්ධානය වඩ වඩාත් සිය නාවික හිමිකම් ඉදිරිපත් කරමින් සිටිති. “පසුගිය සතියේ වියට්නාමය, සිය මුහුදු සීමාවට නීති විරෝධී ලෙස ඇතුලුවූ බවට චෝදනා කරමින් චීන නැවක් අල්ලාගත් අතර, ඉන්දුනීසියාව සිය මුහුදු කලාපයන්ගේ ආරක්ෂාව සදහා එෆ් 16 ප්‍රහාරක යානා යොදවන බවට තර්ජනය කරයි.”

මේ සතියේ ඇමරිකානු නාවික හමුදාව හා මැරීන් සේනාංක, ෆිලිපීනය සමඟ දැනට කෙරීගෙන යන නාවික අභ්‍යාස සදහා භටයින් 5000ක් යෙදවීය. ෆොරීන් එෆෙයාස් සඟරාවට අනුව, “ මේ සතිය තුල පැවැත්වෙන අභ්‍යාසයන්ට, ගොඩබිම හා ජලයේ යන දෙකෙහිම සටන් වදින භටයන් පිලිපීන වෙරලට ගොඩබැස්සවීම හා ආරූඪ කරගත් තෙල් අටල්ලකට පහරදීම ද ඇතුලත්ය. ඊට ඕස්ට්‍රේලියානු කුඩා සේනාංකයක් ද සම්බන්ධ වේ.” ජපානය 05දා නිවේදනය කලේ තමන් මෙම අභ්‍යාසයන්ට සහභාගී වීම පිනිස, දකුනු චීන මුහුද හරහා හෙලිකොප්ටර් නාශක නෞකාවක් යවන බවයි.

චීන ජනතාවට එරෙහිව නූතන ඉතිහාසය තුල සිදුකර තිබෙන විශාලතම යුද අපරාධ සමහරක් සඳහා වගකිවයුතු ජපානය, වේගයෙන් මිලිටරී කරනය ආරම්භ කර ඇත. “සාමුහික ස්වයං ආරක්ෂාව” යන කඩතුරාව යටතේ, ඇමරිකාව සමඟ එක් පෙරමුනක සටන් වැදීමේ සුජාත භාවයක් ජපන් ආන්ඩුවට පිරිනැමෙන පරිදි, එරට සාමවාදී ව්‍යවස්ථාව යලි අර්ථකතනය කිරීම මේ මාසයේ මුල ආරම්භ විය. ඊටත් වඩා දුර යමින් අගමැති ෂින්සෝ අබේ පැවසුවේ, 1945 ඇමරිකාව විසින් හිරෝෂීමා හා නාගසාකි නඟර වලට බෝම්බ හෙලීමෙන් මිලියන කාලක් ජනතාව මියගිය ජපානයට, න්‍යෂ්ටික අවි නිර්මානය කිරීමට හා පාවිච්චි කිරීමට ව්‍යවස්ථාවෙන් ඉඩ සැලසෙන බවයි.

මේ අතර චීන තන්ත්‍රය, ඇමරිකානු ආක්‍රමනිකත්වයට වඩාත් දැඩි ලෙස ප්‍රතිචාර දැක්විය යුතු බවට යෙදෙන පීඩනයට මුහුනපා සිටියි. පීකිං විශ්වවිද්‍යාලයේ සාගර පරියේෂන ආයතනයේ හූ බෝ ඩිප්ලොමැට් සඟරාවේ පල කල ලිපියකින්: “දකුනු චීන මුහුදේ ඇමරිකානු මිලිටරි මෙහෙයුම් හමුවේ, චීනය ඊට මුහුන පෑම පිනිස මිලිටරිමය වශයෙන් සූදානම් වීම ස්වාභාවිකය. එක්සත් ජනපදය එවන් මිලිටරි මෙහෙයුම් මඟින් අටවන උගුල් හෙලිකර ගන්නා හා යටපක් කරන සියලු ප්‍රති පියවර චීනය විසින් ගත යුතුය.”

නාවික ගමනාගමනයේ නිදහස සඳහා බව කියන ඇමරිකාවේ මෙහෙයුම් හෝ දකුනු චීන මුහුදේ බොහෝ විට වාර්තා නොවන මිලිටරි හා ධීවර යාත්‍රා අතර ගැටුම් ද චීන ප්‍රදේශ වලට ඉහලින් මෑතකදී ඇමරිකාව න්‍යෂ්ටික බලයෙන් යුත් බී-52 බෝම්බ හෙලන යානාවක් ගුවන්ගත කිරීම වැනි කුමන පාර්ශවයකින් හෝ වර්ධනය වන ආතතීන් හමුවේ තත්වය, න්‍යෂ්ටික අවි පවා යොදාගන්නා පුලුල් පරිමානයේ මිලිටරි ගැටුමකට වේගයෙන් පරිවර්තනය විය හැකිය.

“මහ බලවතුන්” අතර මිලිටරි ගැටුමක විභවය, ඇමරිකානු මිලිටරියේ ප්‍රධාන උත්සුකය බවට පත්ව තිබේ. අසාමාන්‍ය ප්‍රකාශයක් කරමින් හමුදා මාන්ඬලික ප්‍රධානී ජෙනරාල් මාක් මිලි සෙනේට් අවි සේවා කමිටුව හමුවේ 07දා පැවසුවේ, එක්සත් ජනපදය,.....මහ බලවතුන් අතර ගැටුමක විභවය අතින් හා ජීවිත හානිවල ප්‍රමානයෙන් “අධි අවදානම්” තත්වයකට මුහුනපා සිටින බවයි.

ප්‍රමුඛ හමුදා නිලධාරියෙක් හා නිව් යෝර්ක් ටයිම්ස් පත්‍රය “මහ බලවතුන්” අතර මිලිටරි ගැටුමක්, එනම් ලෝක යුද්ධයක්, පිලිබඳව කරන අනතුරු ඇඟවීම් තිබියදී, 2016 ජනාධිපතිවරන ව්‍යාපාරයෙන් එම ප්‍රශ්න මුලුමනින්ම බැහැරකොට තිබේ. අපේක්ෂකයින් කියන දේහි පදනම මත යමෙක්, ඇමරිකාව හා චීනය, විවෘත මිලිටරි ගැටුමකට පෙර නොවූ විරූ තරම් සමීපවී ඇතැයි යන්න කිසි විටෙක දැන නොගනු ඇත.

මැතිවරන අවසන්වූ විගස ප්‍රමුඛ මිලිටරි ව්‍යායාමයක් පිලිබඳ ඉතිහාසයක් ඇමරිකාව තුල පවතී. “ඔහු අප යුද්ධයෙන් ඉවතට ගනු ඇත” යන සටන් පාඨය යටතේ 1916 මැතිවරනය දෙවන වරට ජයගත් වුඩ්රෝ විල්සන්, 1917 අප්‍රේල් 02දා ඇමරිකාව පලමුවන ලෝක යුද්ධයට පැටලැවීය. 1964 මැතිවරනයේදී සාමයේ අපේක්ෂකයා ලෙස තරඟ වැදුනු ලින්ඩන් බී ජොන්සන්, ජයග්‍රහනයෙන් මාස කිහිපයක් තුල වියට්නාම් යුද්ධය දැවැන්ත පරිමානයකින් උත්සන්න කලේය.

ඊලඟ වසරේ ජනාධිපති වන්නේ ඩිමොක්‍රටිකයෙක් ද රිපබ්ලිකානුවෙක් ද යන්න නොසලකා, ඊට පූර්වයෙන් නොවේ නම් මැතිවරනය අවසන්වූ වහාම ඇමරිකාව චීනය, රුසියාව සමඟ හෝ මැද පෙරදිග තුල දැවැන්ත මිලිටරි ගැටුමක පැටලීම පිලිබඳ සැබෑ අන්තරාය පවතියි.

සමාජවාදී සමානතා පක්ෂය හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සමඟ ඒකාබද්ධව, යුද්ධය පිලිබඳ දැවැන්ත අන්තරාය කම්කරු පන්තිය හා තරුනයින්ට මුනගැස්වීමටත් එය 2016 මැතිවරන ව්‍යාපාරයේ හරි මැදට ගෙන ඒමටත් අදිටන්කොට ගෙන සිටියි.

ඇන්ඩ්‍රෙ ඩැමොන්

Share this article: