නිවාස අයිතිය රැකගැනීමට අවශ්‍ය සමාජවාදී වැඩපිලිවෙලක්

සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රකාශය යි, 2016 අප්‍රේල් 3

ජනවාරි 29 දින සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව විසින් බස්නාහිර පලාත් සංවර්ධන මහා ව්‍යාපෘතිය හෙවත් මෙගාපොලිස් ප්‍රකාශයට පත් කරමින් දුගී නිවැසියන් කොලඹ නගරයෙන් පලවා හැරීම කඩිනම් කෙරී ඇත.

පැල්පත් ඉවත් කොට ජනතාවට සුදුසු නිවාස ලබාදෙනේය යන ප්‍රෝඩාව යටතේ ආරම්භ කර ඇති ඔවුන් ඉවත් කිරීමේ මෙම වැඩපිලිවෙල, කලින් මහින්ද හා ගෝඨාභය රාජපක්ෂවරුන් යටතේ ක්‍රියාත්මක කෙරුනාට ද වඩා රුදුරු ලෙස දුගී ජනතාවගේ නිවාස අයිතිය උදුරාගැනීමට යොමුවූවකි. මෙම දුගී නිවහන් ප්‍රදේශ, විදේශීය හා දේශීය ආයෝජකයන්ගේ ලාභ අපේක්ෂා ඉටුකරදීම සඳහා වෙන් කර දීමට නියමිත ය.

මෙම පැල්පත්වල ජීවත්වන බොහෝ දෙනෙක් ස්ථිර රැකියා නොමැති අය ය. සමීක්ෂන ගනනාවකින්ම පෙන්වා දී ඇත්තේ, බහුතරයකගේ දිනක ආදායම ඩොලර් 2 හෙවත් රුපියල් තුන්සීයකට ද වඩා පහල මට්ටමක පවතින බවත් ඇතමුන්ට දිනකට එක් ඩොලරයක පමන ආදායමක්වත් නොලැබෙන බවත් ය. පහසුකම් රහිත නිවාසවල ජීවත් වීමට බලකරනු ලැබ ඇතිවාට අමතරව මෙම දුගී ජනයා සමාජ සුභසාධන සේවාවන්ට ද අහිමිකරනු ලැබ සිටී. ඔවුන්ගේ ප්‍රශ්න ඒ නිසාම ධනපති ක්‍රමයේ විනාශකාරීත්වයට මුහුන දෙන නාගරික හා ග්‍රාමීය වැඩකරන ජනතාවන් බොහෝමයකගේ ප්‍රශ්නවලින් වෙන් කල නොහැක.

බස්නාහිර මහනගර සංවර්ධන ඇමති චම්පික රනවක පවසන පරිදි කොලඹ නගරය තුල අක්කර 900ක් පුරා විසිර පවතින 68,000ක් දුගී නිවාස ඉවත්කොට ඒ වෙනුවට මහල් නිවාස ඔවුන්ට සැපයෙන බව කියවෙන අතර කුලී නිවැසියන් හා නීතිමය ලියවිලි නොමැති අය “අනවසර” පදිංචිකරුවන් ලෙස නම් කොට, බලහත්කාරයෙන් ඉවත් කරනු ලැබීමට නියමිත ය. මෙය ලක්ෂ ගනනක් ජනතාව කුඩා දරුවන් සමග මහමගට ඇද දැමීමේ තත්වයකි. මේ සඳහා වාතාවරනය සැකසීම පිනිස “පැල්පත්වාසීන් පතාලේ මැරයන්”, “මත්කුඩුවලට ඇබ්බැහිවූවන්” යනාදී අවලාද මාලාවක් ඔවුන්ට එරෙහිව දැනටම ධනපති මාධ්‍ය හරහා මුදා හැර ඇත.

• මෙම ව්‍යාපෘතිය යටතේ, සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ වෙරල ආරක්ෂක දෙපාර්තමේන්තුව පෙබරවාරි 12 වන සිකුරාදා වැල්ලවත්ත පාලම අසල සිට ගල්කිස්ස දක්වා, මුහුදු තීරයේ “අනවසර” ඉදිකිරීම් ලෙස නම්කෙරුනු නිවාස සිය ගනනාවක් දැඩි ජනතා විරෝධතා මැද ඉවත් කරනු ලැබූවේ, පොලිස් විශේෂ කාර්ය බලකාය ද යොදාගනිමිනි.

• පොලීසිය සහ නාගරික සංවර්ධන අධිකාරියේ (නාසඅ) නිලධාරීන් මැදිහත් කරමින්, පසුගිය පෙබරවාරි 16 දා පෙරවරු 10.30ට පමන, උතුර කොලඹ තොටලඟ ෆර්ගියුෂන් පාරේ කජීමාවත්තේ දුගී නිවාස 250 ක් පමන කඩා ඇත්තේ නිවෙස් වල තිබූ ලී බඩු, ලමයින්ගේ පොත් පත් සහ මුලුතැන්ගෙයි බඩු භාන්ඩ ද විනාස කරමිනි.

• මාර්තු 16 දා, කොලඹ තොටලඟ මුවදොර උයන මහල් නිවාසය හා ජපන් මිත්‍රත්ව පාලම අසල පිහිටි ඇපල්වත්ත තුල නිවාස 9ක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් බුල්ඩෝසර කර බිමට සමතලා කෙරුනි.

• මාර්තු 29 දා තොටලඟ එල්.එස්. ගුනපාල සිල්වා ක්‍රීඩාංගනයට යාබදව ඇති නිවාස 80 ක් පමන කඩා දමන බවට නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් එස්.ඒ.ආර්. සමරසිංහ විසින් තර්ජනය කෙරී පවතී.

මීට අමතරව කොලඹ නගරය පුරා පැතිර ඇති කොම්පඤ්ඤවීදිය, වනාතමුල්ල, බොරැල්ල, ඔබේසේකරපුර ආදී ප්‍රදේශ ගනනාවක දුගී නිවැසියන්ට ද මේ තර්ජනය ම එල්ලවී පවතී. එම සියලු තන්හි ඉඩම් ධනපති ආයෝජකයන්ගේ පරිහරනයට ලබා දීමට නියමිත ය. දැනටමත් කොම්පඤ්ඤවීදීයේ අක්කර 8ක් ඉන්දියාවේ ටාටා සමාගමට ද තවත් අක්කර තුනක් පකිස්ථාන් ඉම්පීරියල් සමාගමට ද වසර 99ක කාලයක් සඳහා බදු දී ඇත.

බ්‍රිතාන්‍ය විජිත පාලන සමයේ සිට පැවත එන පැල්පත් නිවාස ක්‍රමය, 1948 දේශීය ධනපති පන්තිය අතට බලය මාරු කෙරුනු පසුව ද දිගටම නොවිසඳී පැවතුනා පමනක් නොව වසරින් වසර වඩවඩාත් කටුකවූයේද විය. වර්තමාන ආන්ඩුව සූදානම් වන්නේ මෙවැනි දුගී නිවැසියන්ට කිසිදු හව්හරනක් නැති කොට මහමගට ඇද දැමීමට ය.

කොලඹ නගරය දකුනු ආසියාකරයේ ප්‍රධාන වෙලඳ කේන්ද්‍රයක් බවට පත් කිරීමට රාජපක්ෂ ආන්ඩුව ආරම්භ කල ව්‍යාපෘතිය වඩාත් පුලුල් කරමින් සිරිසේන-වික්‍රමසිංහ පාලනයේ නව ව්‍යාපෘතිය යටතට මුලුමහත් බස්නාහිර පලාතම අන්තර්ගත කොට ඇත. මහානගර ව්‍යාපෘතිය යටතේ දුගී නිවාස කඩා ඉවත් කිරීම කොලඹ නගරයෙන් නතර වන්නේ නැත. මාර්තු 2 දා පුවත්පත් සාකච්ඡාවක් කැඳවා, ඇමැති රනවක පැවසුවේ, මෙම ව්‍යාපෘතිය යටතේ මෙම වසර තුල සංවර්ධනය කිරීමට නියමිත ප්‍රදේශ 23 ක් ඇති බවයි. කඩුවෙල, මහරගම, එඬේරමුල්ල, හෝමාගම, කොට්ටාව, පානදුර, ගොන්ගිතොට, මීරිගම, හොරන ආදී ප්‍රදේශ මෙයට අයත් වෙයි. නම්කර ඇති සියලු නගරයන්හි අඩුආදායම්ලාභී නිවාස හා පහල මධ්‍යම පන්තික නිවාස ද මෙම විනාශයට ගොදුරු කෙරෙනු ඇත.

දැනමටත් ඉවත් කර ඇති නිවැසියන්ගෙන් බහුතරයකට ප්‍රමානවත් නිවාස ලැබී නැති අතර, සමීක්ෂන වාර්තා පෙන්වා දෙන්නේ ලැබුනු මහල් නිවාස ද පදිංචියට නුසුදුසු බව යි. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ, 2015 මැයි සමීක්ෂන වාර්තාව පෙන්වා දුන්නේ, “මහල් නිවාසවල ජනයා පදිංචි කරවීම තදියමින් කෙරුනේ, නිවැසියන්ගේ යහපත සිත්හි දරාගෙන නොව, ඔවුන් පදිංචිව සිටි ඉහල වානිජ වටිනාකමක් සහිත ඉඩම් නිදහස් කරගැනීමේ අරමුන ඇතිව ය” යන්න යි.

මෙම නිවාස ලබාගැනීමට පවා, පලමුව රු. 50,000ක් ද මාස තුනක් ඇතුලත තවත් රු. 50,000ක් ද ගෙවීමට සහ රු.3800 හෝ රු.2500ක මාසික ගෙවීමකට යටත්වීමට ද එම ජනයාට බලකර ඇත. ඊට අමතරව ජල ගාස්තු හා විදුලි බිල ගෙවිය යුතුය. වසරක් ගතවීමටත් පෙරාතුව මෙම මහල් නිවාසවල පොලොව හා බිච්චි ඉරි තලා ඇති බව ද වාර්තාවූ අතර ඒවා නිසි ප්‍රමිතියට සදා නැති බවට මෙය සාක්ෂියකි.

කොලඹ විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අංශයේ මහාචාර්ය සිරි හෙට්ටිගේ, 2014 මැයි 6දා මිරර් සිටිසන් වෙබ් අඩවියට මෙසේ ප්‍රකාශ කලේ ය: “කොලඹ ජනගහනයෙන් සියයට 50කට වඩා අඩු ආදායම්ලාභී පවුල් බවට ඇස්තමේන්තු කර ඇත. අද සිදු වෙමින් පවතින්නේ, මෙම ජනයා යහපත් නිවාසවල පදිංචි කිරීම නොව, ඔවුන්ගේ නිවාස කඩා දමා වානිජ්‍යමය වසයෙන් වටිනා ප්‍රදේශ අත්පත්කර ගැනීම යි. ඔවුන්ගේ අවශ්‍යතාවන් හා ජීවිකා වෘත්තීන්, මහල් නිවාසවල සිට කරගෙන යාමට නොහැකි නිසා, එවැනි නිවාස ඔවුන්ට ගැලපෙන්නේ නැත.”

මේ අතර ඉංජිනේරු ශිල්පී ටියුඩර් විජේනායක එම වෙබ් අඩවියටම කියා තිබුනේ, “ මෙම නිවාසවල අයිතිය ඇත්තේ එම පවුල්වලින් සියයට 25කට පමනක් වන අතර මොවුන්ගෙන් අඩකට පමන නිවාස භුක්තිය පිලිබඳ සුරක්ෂිතතාවක් නොමැති ය. කොලඹ අඩුආදායම්ලාභී වාසස්ථානවලට සැලකිය යුතු මට්ටමේ ඉහල සේවාවන් අවශ්‍ය වන බවට සැකයක් නැත,” යනුවෙනි.

රාජපක්ෂ ආන්ඩුව, මේ ප්‍රශ්නය පිලිබඳව ඉදිරිපත් කල සංඛ්‍යා ලේඛන ගැන සැක පහල කල විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, 2014 දී මෙසේ කියා ඇත: “ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, එක තැනකදී 70,000ක් පවුල් නිවාසවලින් ඉවත් කරන බව ප්‍රකාශ කර ඇති අතර, තවත් තැනකදී එම පවුල් සංඛ්‍යාව 135,000ක් තරම් ඉහල සංඛ්‍යාවක් වනු ඇති බව කියයි. මෙයින් ඇඟවුම් කරන්නේ, 280,000 හා 500,000 අතර ජන සංඛ්‍යාවකට උන්හිටි තැන් අහිමි කෙරෙනු ඇති බව යි.”

රාජපක්ෂ ආන්ඩුව මෙන්ම වත්මන් ආන්ඩුව ද මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ, ලෝක බැංකුවේ විධානයන්ට අනුව ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ අවශ්‍යතාව මත, දුගී මහජනතාවගේ ඕන එපාකම්වලට හතුරුව ය. එබැවින් නව ව්‍යාපෘතිය යටතේ බස්නාහිර පලාතේ නිවෙස් වලින් පලවා හැරෙන දහස් සංඛ්‍යාත පවුල් වලට නිවාස ලැබෙන බවට හෝ ඒවායේ ප්‍රමිතිය සම්බන්ධයෙන් හෝ කවර විශ්වාසයක්වත් තැබිය නොහැක.

රාජපක්ෂ ආන්ඩුව සිය ජනතා විරෝධී වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීමේදී චීන ආයෝජකයන්ට මුල් තැනක් දී ක්‍රියාකල අතර සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව ලෝක යුද්ධයක් අවුලුවාලීමට ක්‍රියාත්මක ඇමරිකාව ඇතුලු අධිරාජ්‍යවාදීන් හා ඉන්දියානු ආන්ඩුව සමග වඩා කිට්ටුවෙන් ක්‍රියා කරයි.

ආර්ථික බිඳවැටීමකට මුහුන දී සිටින ලෝක ධනේශ්වරය රටක් රටක් පාසා මහජනතාවන්ට එරෙහිව සමාජ ප්‍රතිවිප්ලවයක් ක්‍රියාත්මක කරමින් සිටී. දුගී නිවැසියන්ට එරෙහි ප්‍රහාරය, රටපුරා කම්කරුවන්ට, පීඩිතයන්ට හා තරුනයින්ට එරෙහිව දියත්කර ඇති ප්‍රහාර මාලාවක කොටසකි.

ලංකාව බරපතල ගෙවුම්ශේෂ අර්බුදයකට මුහුනදී පවතින අතර මෙම මාසය අගදී අමරිකානු ඩොලර් බිලියන 1.5ක නයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගැනීමට ආන්ඩුව අපේක්ෂා කරයි. ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කෙරෙන සාකච්ඡාවලදී, කම්කරුවන්ට හා දුගීන්ට එල්ල කෙරෙන ප්‍රහාර තවදුර උග්‍ර කිරීමේ සැලසුම් අනුමත කර ගැනීමට නියමිත ය.

මෙම තත්වය තුල අධිරාජ්‍යවාදී ආයෝජකයන් ගෙන්වීම ඇතුලු ධනේශ්වර වැඩපිලිවෙල පිලිගෙන සිටින ජනතා විමුක්ති පෙරමුන පවසන ආකාරයෙන්, මෙම ආන්ඩුවේ මැති ඇමතිවරුන්ට බලපෑම් දමා නිවාස ප්‍රශ්නය හෝ මහජනතාවගේ අන්කවර ප්‍රශ්නයක් හෝ විසඳාගත හැකිය යන්න, දේශපාලන උගුලකි. ජවිපෙ ඉටු කරන්නේ මහජනයා ධනපති ආන්ඩුවේ ප්‍රහාරයන්ට ගොදුරු කර දීමේ කොන්ත්‍රාත්තුවකි.

ජවිපෙන් “කැඩුනේයැ”යි කියන පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද නිවැසියන්ට පවසන බේගලය වන්නේ ආන්ඩුවට බලපෑම් කර යම් යම් සහන ලබාගත හැකි ය යන්න යි. ඔවුන්ගේ මෙම “බලපෑම් දැමීමේ සටන් ක්‍රමයේ” බංකොලොත්කම, නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමට එරෙහිව සටන් වදින ශිෂ්‍යයන් පොලිස් ප්‍රහාරයන්ගේ ඉලක්කයක් බවට පත් කිරීම මගින් දැනටමත් මනාව පෙන්නුම් කර ඇත.

ලාබ ලැබීමේ පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා සමාජ ප්‍රතිවිප්ලවය ක්‍රියාවට දමන ධනේශ්වර ක්‍රමය යටතේ කම්කරු පන්තියේ හෝ දුගී ජනයාගේ කවර මූලික අයිතියක්වත් දිනාගැනීමට හෝ රැකගැනීමට නොහැකිය. සියලු ධනේශ්වර පක්ෂ හා ව්‍යාජ-වාම පක්ෂවලින් වෙන්ව ස්වාධීනව, විප්ලවවාදී පන්තිය වන කම්කරු පන්තිය, සමාජවාදී ප්‍රතිපත්ති මත දුගීන්ගේ ප්‍රශ්න විසදීමට සටන් වැදිය යුතු ය.

නිවාස ප්‍රශ්නය ඇතුලු විවිධ ජීවන ප්‍රශ්නවලට මුහුනදී සිටින ජනතාව තම අයිතීන් දිනා ගැනීම සඳහා කම්කරු පන්ති නායකත්වය යටතේ ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින් සමාජවාදී වැඩපිලිවෙල ක්‍රියාවට දමන කම්කරු ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමේ අරගලයට පිවිසී ගත යුතු ය.

දුගීන්ගේ මූලික අවශ්‍යතා සැපිරීමට මුදල් නැතයි කියා සිටින විට, ධනපති පාලක පන්තිය ප්‍රකාශිත කරන්නේ, සියලාභ පොදි රැක ගැනීමේ උවමනාව මත මහජන අවශ්‍යතා කෙරෙහි ඔවුන් දක්වන සතුරුභාවය යි. ධනේශ්වර දේපල, කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට නතු කරගැනීම යටතේ ජනතාවගේ මූලික සමාජ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා වන වැඩපිලිවෙලට සම්පත් යොදා ගැනීමට පූර්න අවකාශය සැලසේ.

මෙම ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගය සඳහා අරගලයට අත්‍යවශ්‍ය විප්ලවවාදී පක්ෂය මහජනතාව අතර තහවුරු කිරීම සඳහා සමාජවාදී සමානතා පක්ෂයට බැඳෙන්න.

Share this article: