ක්ලින්ටන්, ට්‍රම්ප් ජනාධිපති අපේක්ෂකත්වය දිනා ගැනීමට ආසන්නවේ

Clinton, Trump move closer to presidential nominations

පැට්‍රික් මාටින් විසිනි, 2016 අප්‍රේල් 27

හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් හා ප්‍රකෝටිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, 26දා උතුරු ප්‍රාන්ත පහේ පැවති ඩිමොක්‍රටික් හා රිපබ්ලිකානු ප්‍රාථමික මැතිවරන ප්‍රතිපල වලින් පසුව පක්ෂ දෙකේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා සටනේ පෙරමුන ගෙන ඇත.

ක්ලින්ටන් පෙන්සිල්වේනියා, මේරිලන්ඩ්, කනෙක්ටිකට් හා ඩෙලවෙයා ප්‍රාන්ත මැතිවරන ජයගත් අතර රෝඩ් අයිලන්ඩ්හිදී පමනක් වර්මොන්ට් සෙනේට් සභික බර්නි සෑන්ඩර්ස්ට පරාජය විය. ස්වාධීන හා ඩිමොක්‍රටික් යන සියලු ඡන්ද දායකයින්ට ඡන්දය පාවිච්චි කල හැකි, විවෘත මැතිවරනයක් පැවති එකම ප්‍රාන්තයේදී එසේ වීම පුදුමයක් නොවීය.

මාධ්‍ය හා ඩිමොක්‍රටික් පක්ෂ යාන්ත්‍රනය විසින් තරඟය නිමාවට පත්ව, ක්ලින්ටන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා බව ප්‍රකාශ කිරීමේ ව්‍යාපාරයක් දියත් කර තිබීමේ තත්වය, ස්වයං ප්‍රකාශිත“ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදියා” වූ සෑන්ඩර්ස්ට ඉහල ප්‍රතිශතයන් සහිතව කැමැත්ත පල කල තරුනයින් හා ශිෂ්‍යයින්, ඡන්දය දීමට ඉදිරිපත්වීම කෙරෙහි බලපෑමක් අතිකර තිබුනි. 26දා ඡන්දයේදී තරුනයින්ගේ ඉදිරිපත්වීම, පූර්වයෙන් පැවති ඩිමොක්‍රටික් රැස්වීම් වල සියයට 17ක සාමාන්‍යයේ සිට සියයට 10 දක්වා පහත වැටී තිබුනි.

රිපබ්ලිකානු ප්‍රාථමිකයන් තුල ට්‍රම්ප් ප්‍රාන්ත පහම ජය ගත්තේය. සෑම තරඟයකදීම ඔහු සියයට 55ට වැඩි ප්‍රතිශතයක් දිනා ගත්තේය. ඉතිරි ඡන්ද සංඛ්‍යාව ඔහුගේ ප්‍රතිවාදීන් අතර බෙදී ගියේය. ටෙක්සාස් සෙනේට් සභික ටෙඩ් කෘස්, දැනට වැඩිම ජනගහනයක් නියෝජනය කරන පෙන්සිල්වේනියාවේදී දෙවන තැනට පැමිනි අතර ඔහියෝවේ ආන්ඩුකාර ජෝන් කසී අන් සියලු ප්‍රාන්ත වල දෙවන තැනට පත් විය. ඔවුන් කිසිවෙකුත් ප්‍රාන්ත පෙහෙන් එකකදීවත් සියයට 30ට වඩා ඡන්ද ලබාගත්තේ නැත.

ජනාධිපති අපේක්ෂකත්ව ඡන්දයේදී ක්ලින්ටන් හා ට්‍රම්ප් ප්‍රමුඛ තැන්වලට පැමින සිටිය ද එමඟින් ඔවුන් දෙදෙනා, මෑත ඉතිහාසයේ ඇමරිකානු ජනමත විමසුම්වල වඩාත්ම අපකීර්තිමත් දේශපාලන චරිත වීමෙන් වැලකුනේ නැත. ක්ලින්ටන් කෙරෙහි අප්‍රසාදය පල කල ප්‍රතිශතය සියයට 56ක් වූ අතර ට්‍රම්ප්ගේ ප්‍රතිශතය සියයට 65ක් විය.

ෆිලඩෙල්ෆියාහි සිය ජයග්‍රහනයේ කථාව පවත්වමින් ක්ලින්ටන්, විය හැකි රිපබ්ලිකන් අපේක්ෂකයා වන ට්‍රම්ප්ට පහරදීම කෙරෙහි මුලු අවධානය යෙදුවාය. සිය පුරසාරම් කථාවේදී ඇය, “අපි ඩිමොක්‍රටිකයන්” යයි පවසමින් යලි යලිත් සෑන්ඩර්ස්ගේ ආධාරකරුවන් ආමන්ත්‍රනය කලාය. එසේම අපි ප්‍රගතිශීලී ස්වභාවයේ පියවර මාලාවක් වෙනුවෙන් කැපවී සිටියෙමු. ඒ අතර ගුනාත්මක, දැරිය හැකි සෞඛ්‍ය සේවාවක් ද ඉහල යන වැටුප් හා විදුහල් ගාස්තු පහත දැමීම ද වූ බව ඇය පැවසුවාය.

විදෙස් පිලිවෙත සම්බන්ධයෙන් ඇය කථාකිරීම දුර්ලභ අවස්ථාවක් විය. “ඇමරිකානු හමුදා මැද පෙරදිග තවත් ගොඩබිම් යුද්ධයකට නොයොදවන” බව ඇය පැවසුවාය. මෙය අමූලික පචයකි. ඔබාමාගේ රාජ්‍ය ලේකම්ව සිටි සිව් වසර තුල ඇය, සිරියානු සිවිල් යුද්ධය තුල ඇමරිකානු මිලිටරි මැදිහත්වීම වෙනුවෙන් කථා කල ප්‍රධාන චරිතයක් විය. ඒ උද්ඝෝෂන ව්‍යාපාරය තුල ඇය, ජනාධිපති බෂර් අල් අසාද්ට එරෙහි තන්ත්‍ර මාරුව සඳහා යුද්ධය පුලුල් කිරීමට “සුරක්ෂිත කලාප” පිහිටුවීමට යෝජනා කලාය. එසේම ඇය 2011 ලිබියාවට බෝම්බ දැමීමේ මෙහෙයුම ආරක්ෂා කල අතර එම ක්‍රියාන්විතයේදී රට ජීවමාන සමාජයක් ලෙස විනාශයට ඇද දැමුනි.

ක්ලින්ටන් ආධාරකරුවන් හා සමස්ත ඩිමොක්‍රටික් පක්ෂයම ද සෑන්ඩර්ස්ට බලකර සිටියේ, වෝල් වීදියට සම්බන්ධ පෙරමුනේ තරඟකාරිය ලෙස ඇයට පහර දීම නතර කරන ලෙසත්, ඇය තේරී පත් වුවහොත් තම ආධාරකරුවන් ඇයට සහයෝගය දැක්වීම සඳහා දිරිමත් කිරීමට කටයුතු කරන ලෙසත්ය. කෙසේ වෙතත් සිය ජයග්‍රාහී කථාව තුල ක්ලින්ටන්, ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂකත්ව තරඟය අවසන් බව නිවේදනය නොකිරීමට වගබලා ගත්තාය.

ට්‍රම්ප් එතරම් ප්‍රවේශම්සහගත නොවීය. මැන්හැටන්හි ට්‍රම්ප් තට්ටු ගොඩනැඟිල්ලේ පිවිසුම් ශාලාව තුල සිටිමින් තමාට හුරු පුරුදු ඝෝෂාකාරී කථාව පවත්වමින්, ප්‍රකෝටිපති දේපොල සංවර්ධකයා ලෙස තමා “විය හැකි අපේක්ෂකයා” යයි හඳුන්වාගත් අතර කෘස් හා කසික්ට කියා සිටියේ ඔවුන් වහාම තරඟයෙන් ඉවත් විය යුතු බවය.

ඒ අතරම රිපබ්ලිකන් තරඟයේ ප්‍රතිපලය පිලිබඳ ප්‍රශ්නය තවමත් විසඳා නැති බව පිලිගනිමින් ට්‍රම්ප්, මැයි 03දාට නියමිත ඉන්ඩියානා හා ප්‍රාථමික ඡන්දය කෘස්ට එරෙහි සටනේ තීරනාත්මක අවස්ථාවක් බව සඳහන් කලේය. මාධ්‍ය ගනන් බැලීම් වලට අනුව, ට්‍රම්ප්ගේ නියෝජිත සංඛ්‍යාව, 26දා ඡන්දයෙන් පසුව 950ක් වී ඇති අතර බහුතර නියෝජිතයින් 1237ක් දිනා ගැනීමට නම් ඔහු ඉන්ඩියානා හා කැලිෆෝනියා ප්‍රාථමික දෙකම ජයගත යුතුව ඇත. එමඟින් රිපබ්ලිකානු සමුලුවකදී තරඟයට මුහුන දීමෙන් වැලකී සිටිය හැකිවේ.

සමුලු නියෝජිතයන් සම්බන්ධයෙන් ගත් කල ක්ලින්ටන්, සෑන්ඩර්ස්ට වඩා සැලකිය යුතු තරම් පෙරමුනට පැමින ඇත. 26දා ඡන්දයට පෙර ක්ලින්ටන් හා සෑන්ඩර්ස් අතර නියෝජිතයින් බෙදී තිබුනේ 1428ට 1153ක් වශයෙන් පරතරය 275ක් ලෙසය. 26දා ප්‍රතිපල වලින් පසුව ක්ලින්ටන් හා ඇගේ ප්‍රතිවාදියා 1618ක් හා 1267ක් වශයෙන් නියෝජිතයින් 341කගේ පරතරයක් ඇතිව සිටින බව මාධ්‍ය ගනන් බැලීම් අනුව පැවසේ.

ඩිමොක්‍රටික් ජාතික කමිටුව ද රාජ්‍ය හා ෆෙඩරල් මැතිවරන නිලධාරීන් ද ඇතුලු සුපිරි නියෝජිතයන්ගෙන් 519ක්, තමන් ක්ලින්ටන්ට සහාය දෙන බව ප්‍රසිද්ධියේ පවසා ඇත. සෑන්ඩර්ස්ට ලැබෙන්නේ ඉන් 39ක් පමනි. ඒ අනුව තේරී පත්වීමට අවශ්‍ය නියෝජිත සංඛ්‍යාව වන 2382න් 2137ක් ඇයට හිමිවේ.

තෝරා පත්කරගත් නියෝජිතයින්ගේ බහුතරය ලබාගැනීමට නම් සෑන්ඩර්ස් ඉතිරි ප්‍රාථමිකයන්ගේ නියෝජිතයින්ගෙන් සියයට 70ක් දිනාගත යුතුය. එහෙත් නියෝජිතයින් පත්කරන්නේ සමානුපාතික පදනමක බැවින් එය ප්‍රායෝගිකව සිදු නොවිය හැක්කකි. ඉතිරි සමුලු නියෝජිතයින්ගෙන් 700ක් පමන වන ඉමහත් බහුතරයක් තෝරනු ඇත්තේ ජූනි 07දාය. ඒ කැලිෆෝනියා, නිව් ජර්සි හා තවත් ප්‍රාථමිකයන් හතරක ඡන්ද විමසීම් අවසන් වීමෙන් පසුවය.

සෑන්ඩර්ස්, මැයි මාසයට නියම කර තිබෙන, ඉන්ඩියානා, බටහිර වර්ජිනියා, කෙන්ටුකි හා ඔරිගන් ප්‍රාථමික මැතිවරන සඳහා දිගටම උද්ඝෝෂනයේ යෙදෙන නමුත් වෝල් වීදිය සමඟ ක්ලින්ටන්ගේ සම්බන්ධකම් ගැන ඔහු ගසන කයිවාරු නතර කල යුතු බවට, ඩිමොක්‍රටික් පක්ෂ සංස්ථාපිතය විසින් යොදන පීඩනයට, ප්‍රතිචාර දැක්වීමට පටන්ගෙන ඇත. 26දා රාත්‍රියේ බටහිර වර්ජිනියාහි හන්ටිංටන් නඟරයේ පැවති 5000ක් දෙනා සහභාගී වූ රැස්වීමක් අමතමින් ඔහු, ට්‍රම්ප්ට හා රිපබ්ලිකන් පක්ෂයට පහර දීමට මුලු කාලයම පාහේ වැය කලේය.

ෆොක්ස් නිව්ස් හැරෙන්නට තවත් රූපවාහිනී ජාලයන් හතරක් සමඟ පැවැත්වූ හමුවකදී සෑන්ඩර්ස්, ක්ලින්ටන්ට තමාගේ ආධාරකරුවන්ගේ සහාය දිනාගත හැක්කේ, ආදායම් විෂමතාවය හා විශාල මුදල් කුට්ටි වලින් ඇමරිකානු දේශපාලන ක්‍රමය දූෂනය වීම වැනි ප්‍රශ්න කෙරෙහි ඇගේ අවධානය යොමුවන්නේ නම් පමනක් බව පැවසීම මඟින්, ක්ලින්ටන්ට නොවරදවාම හිමි වන සිය අනුමැතිය සඳහා කොන්දේසි පිලිබඳ සාකච්ඡාව පටන්ගත් බව පෙනී ගියේය.

“මීට් ද ප්‍රෙස්” යන එන්බීසී මාධ්‍ය වැඩසටහනට සහභාගී වෙමින් සෑන්ඩර්ස් පැවසුවේ, තමා ඩිමොක්‍රටික් අපේක්ෂකත්වය දිනා ගැනීමට අපොහොසත් වුවහොත්, “මගේ ආධාරකරුවන් පමනක් නොව සියලු දෙනා ඒත්තු ගන්වා ගැනීමේ ප්‍රධාන වගකීම ලේකම් ක්ලින්ටන් වෙත පැවරේ. එනම්, මෙතරම් බලයක් හොබවන මහා ධනස්කන්ධයක් හිමිකරගත් අයගේ අවශ්‍යතා නොව, ඇමරිකානු ජනතාවට අවශ්‍ය කෙරෙන, මේ රටේ වැඩකරන ජනතාව නියෝජනය කිරීම පිනිස, මේ රටට අවශ්‍යවන වර්ගයේ ජනාධිපති තමා බව” ඒත්තු ගැන්වීමයි.

සිය සමස්ත දේශපාලන ජීවිතයම ඇමරිකානු ධනවාදයේ සේවය වෙනුවෙන් කැපකර ඇති හිලරි ක්ලින්ටන්ට, “වැඩකරන ජනතාව නියෝජනය කරන” ජනාධිපති කෙනෙක් බවට පත්විය හැකි බව කියා සිටීම මඟින් සෑන්ඩර්ස්, තම උද්ඝෝෂනයට සහාය දුන් කම්කරුවන් හා තරුනයින් මිලියන ගනනක් ද ඇතුලු ඇමරිකානු ජනතාව මත, මෙම විකාර හා නරුම ප්‍රෝඩාව පැටවීමේ වරදට කර ගැසීමට ඇති සිය කැමැත්ත නිවේදනය කරයි.

Share this article: