බෝල්ටික් මුහුදේ එක්සත් ජනපද-රුසියානු ආතතීන් ඇවිල යයි

US-Russia tensions flare in Baltic Sea

ජෝර්දාන් ෂිල්ටන් විසිනි, 2016 අප්‍රේල් 18

පෙන්ටගනය අප්‍රේල් 16දා රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයට නිල වශයෙන් පැමිනිලි කරන බව නිවේදනය කල අතර එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, බෝල්ටික් මුහුදු කලාපයේ එක්සත් ජනපද හා රුසියානු හමුදා පැටලුනු සිද්ධීන් දෙකකට පසුව ප්‍රතිප්‍රහාර දෙන බවට තර්ජනය කලේ ය.

අප්‍රේල් 14 දා රුසියානු එස්යූ-27 ප්‍රහාරක යානයක් එක්සත් ජනපද නිරීක්ෂන යානයකට අඩි 50ක් සමීපව පියාසර කල බව හා ඊට දින දෙකකට පෙර බෝල්ටික් මුහුදේ පෝලන්තය සමඟ මිලිටරි අභ්‍යාසවල නිරත යූඑස්එස් ඩොනල්ඩ් කුක් ඩිස්ට්‍රෝයර් යාත්‍රාවට රුසියානු ජෙට් යානයක් හා හෙලිකොප්ටරයක් “සංඥා නිකුත් කල” බව පෙන්ටගනය චෝදනා කලේ ය.

මෙම සිද්ධීන් දෙක යලිත් පෙන්නුම් කරන්නේ, නැටෝ සහචර රටවල් සමඟ ඒකාබද්ධව වොෂින්ටනය, නැගෙනහිර යුරෝපය පුරා සිදු කරන ආක්‍රමනශීලී මිලිටරි තරකිරීම්, සමස්ත කලාපය ම න්‍යෂ්ටික බලවතුන් අතර කෙරෙන යුද්ධයක් අද්දරට පමුනුවා ඇති බව යි. ආක්ටික් වටයේ සිට කලු මුහුද දක්වා දිවෙන කලාපය තුල රුසියාව කොටු කර, හුදකලා කිරීම සඳහා නැගෙනහිර යුරෝපය තුල එක්සත් ජනපද මිලිටරි නියෝජනය විශාල ලෙස ප්‍රසාරනය කිරීමට, ඔබාමා පරිපාලනය, බටහිර රටවල පිටුබලය ඇති ව 2014 දී කීව්හි සිදු වූ කුමන්ත්‍රනයෙන් පසුව ඇතිවූ යුක්රේන අර්බුදය ගසා කෑවේ ය.

රුසියානු දේශසීමාවේ එක්සත් ජනපද මිලිටරි මෙහෙයුම් තීව්‍ර කිරීම ආක්‍රමනශීලී ක්‍රියාවක් වන අතර ම නවතම සිද්ධිය පෙන්නුම් කරන්නේ මොස්කෝවේ ප්‍රතිචාරයේ බංකොලොත් බව යි. සෝවියට් සංගමය බිඳ විසුරුවීමෙන් පසුව රාජ්‍ය සම්පත් කොල්ලකෑම හරහා බලයට පත් ක්‍රෙම්ලින් කතිපයාධිකාරය, මිලිටරි ශක්තිය වැඩි කිරීමේ හා ප්‍රතිගාමී රුසියානු ජාතිකවාදය දිරිමත් කිරීමේ නියැලී සිටිති. පවත්නා කොන්දේසි කොතරම් ආතති සහගත ද යත් පාර්ශව දෙකකින් කවරක හෝ වැරදි ගනන් බැලීමක් නැතහොත් අහම්බයක් පවා න්‍යෂ්ටික ආයුධ භාවිතා කරන ගැටුමක් ඇවිලී යාමට තුඩු දිය හැකි ය.

එක්සත් ජනපදයට රුසියානු ජෙට් යානය වෙඩි තබා බිම හෙලීමේ අයිතිය තිබුනු බව කෙලින්ම ප්‍රකාශ කරමින් යූඑස්එස් ඩොනල්ඩ් කුක් සිද්ධියට ප්‍රතිචාර දැක්වූ බව රාජ්‍ය ලේකම් කෙරී පසුගිය සතියේ ම පිලිගත්තේ ය. අප්‍රේල් 14 දා සිදු වූ ඔත්තු බැලීමේ යානය නැවැත්වීම “වැරදි හා ආක්‍රමනකාරී” ක්‍රියාවක් යයි පෙන්ටගනය කියන අතරේ වොෂින්ටනයේ ඉහල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා රුසියානු යානයේ හැසිරීම “නාහෙට නාහන ප්‍රකෝපකාරී” ක්‍රියාවක් යයි හංවඩු ගැසී ය.

ඔත්තු බැලීමේ යානය සම්බන්ධ සිද්ධියේ දී “රුසියානු දේශසීමාව කරා වේගයෙන් ලඟා වන හඳුනා නො ගත් ගුවන්ගත යානයක්” තම ගුවන් හමුදාව විසින් නිරීක්ෂනය කර තිබුනේ යයි සඳහන් ප්‍රකාශයක් කරමින් මොස්කෝව එම චෝදනා ප්‍රතික්ෂේප කලේ ය. රුසියානු ගුවන් යානයේ ක්‍රියාව “ගුවන් අවකාශය භාවිතා කිරීම පිලිබඳ ජාත්‍යන්තර සම්මතයන්ට අනුකූල වූ” බව ප්‍රකාශක ඉගෝර් කොනෂෙන්කොව් සඳහන් කලේ ය.

බෝල්ටික් කලාපයේ නැටෝව හා රුසියානු ගුවන් යානා අතර ගැටුම් සාමාන්‍ය සිද්ධියක් බවට පත්වෙමින් තිබේ. ජනවාරි මාසයේ නිකුත් කල යුනයිටඩ් ප්‍රෙස් ඉන්ටර්නැෂනල් වාර්තාවකට අනුව 2105 වසරේ දී අඩුම තරමින් 160 වතාවක් වත් නැටෝ ජෙට් යානා රුසියානු ජෙට් යානාවලට බෝල්ටික් කලාපයේ දී බාධා කලේ ය. එය 2014 වසරට සාපේක්ෂ ව සියයට 14ක ඉහල නැග්මකි.

ඉදිරි කාලය තුල එවැනි සිද්ධීන්ගේ වේගය නාටකාකාර ව ඉහල යාමට නියමිත ය. 2017 වසරේ යුරෝපය සඳහා කරන ආරක්ෂක වියදම් ඩොලර් බිලියන 3.4ක් දක්වා හතර ගුනයකින් වැඩි කරන බව ඔබාමා පරිපාලනය නිවේදනය කොට ඇත. එම වැඩි කිරීම අමතර භට කන්ඩායම් තුනක් යැවීම සඳහා මුදල් ලබා දෙනු ඇත. රුසියාව සමඟ වන ඝට්ටනයක දී එක්සත් ජනපද සහයෝගය ලබා දෙන බව 2014 සැප්තැම්බරයේ ඔබාමා සහතික වූ එස්තෝනියාව, ලැට්වියාව හා ලිතුවේනියාව යන බෝල්ටික් රටවල සිට පෝලන්තය, චෙක් ජනරජය, ස්ලොවැකියාව මෙන් ම රුමේනියාව හා බල්ගේරියාව යන කලු මුහුදු රාජ්‍ය දක්වා තවත් සොල්දාදුවන් 16,500ක් මාරුවෙන් මාරුවට යෙදවෙනු ඇත.

වොෂින්ටනය මෙහිදී පෙල ගැසෙන්නේ සිදු වීගෙන යන ගැටුම් ඇවිලවීමට අවශ්‍ය ගිනි පුපුර නිර්මානය කල හැකි, මදාවිකාර පිලිවෙත් අනුගමනය කරන ප්‍රචන්ඩ දක්ෂිනාංශික රුසියානු විරෝධී තන්ත්‍රයන් සමගිනි.

සති අන්තයේ පැවති ග්ලෝබ්සෙක් ආරක්ෂක මන්ඩපයට අදහස් දැක්වූ පෝලන්ත විදේශ ඇමති විටෝල්ඩ් වස්ක්සිකොව්ස්කි රුසියාව, අයිඑස්අයිඑස් සංවිධානයටත් වඩා ලෝක සාමයට තර්ජනයක් යයි කීවේ ය. ජූලි මාසයේ වෝර්සෝවේ පැවැත්වීමට නියමිත නැටෝ සමුලුවට අවශ්‍ය ඉල්ලීම් ඉදිරිපත් කරමින් ඔහු පෝලන්ත නැගෙනහිර දේශසීමාව ආරක්ෂා කිරීමට ස්ථිර වශයෙන් හමුදාව යොදවන ලෙස නැටෝවට බල කලේ ය. “සියලු සාක්ෂි පෙන්නුම් කරන්නේ රුසියාවේ කටයුතු, රටවල් විනාශ කල හැකි හා ඒවායේ පැවැත්මට ම හානි කරන ඒවා” යයි වස්ක්සිකොව්ස්කි අවධාරනය කලේ ය.

තවත් නැටෝ සාමාජිකයෙක් වන රුමේනියාව, කලු මුහුද තුල ස්ථීර නැටෝ නාවුක සේනාංකයක් යෙදවීමේ සැලැස්මක් අනුමත කිරීම සඳහා වෝර්සෝ සමුලුවට බල කරමින් සිටී. කලු මුහුදු නාවුක ඛන්ඩයක් ස්ථාපනය කිරීමට නැටෝ සාමාජිකයන් වන බල්ගේරියාව, රුමේනියාව හා තුර්කිය ද සාමාජිකයන් විය හැකි ජෝර්ජියාව හා යුක්රේනය අතර ගොඩනැඟෙන වැඩි හවුල්කාරීත්වයකට තමන් කැමති බව මේ මස මුල දී ජෝර්ජියාවේ කල සංචාරයක දී රුමේනියානු ආරක්ෂක ඇමති මිනෙයා මෝටොක් කීවේ ය. “කලු මුහුදු කලාපයේ දේශසීමා නැති එහෙත් නොකඩවා එහි වරායවල සිටින හා නාවුක අභ්‍යාසවල නිරත, සියල්ලට වඩා එක්සත් ජනපදය වැනි නැටෝ සාමාජිකයන්ට ද” නාවුක ඛන්ඩය විවෘත විය යුතු බව මෝටොක් සම්මුඛ සාකච්ඡාවක දී කියා සිටියේ ය.

2014 සැප්තැම්බරයේ පැවති නැටෝ සමුලුවේ දී සියලු සාමාජිකයෝ, තම දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2ක් මිලිටරි කටයුතු වලට වියදම් කිරීමට කැපවන බවට සපථ කල හ. නැගෙනහිර යුරෝපයට ක්ෂනික විහිදුම් බලකායක් නිර්මානය කිරීමට ද ඔවුන් එකඟ වූ අතර එතැන් පටන් යන්තම් දින කිහිපයක් ඇතුලත නැටෝවේ භූමි ප්‍රදේශය තුල ඕනෑම තැනක යෙදවිය හැකි පරිදි එම බලකාය භටයන් දස දහස් ගනනක් බවට ප්‍රසාරනය කරනු ලැබ ඇත.

අප්‍රේල් 17දා නිව් යෝක් ටයිම්ස් පත්‍රයේ ප්‍රධාන ලිපිය එසේ සූදානම් කරනු ලබන සේනාංක යොදාගන්නා ගැටුම්වල දී න්‍යෂ්ටික ආයුධ පාවිච්චි කිරීමේ හැකියාව අවධාරනය කලේ ය. සාම්ප්‍රදායික මිසයිල ආරක්ෂක ආවරන මගහැර යා හැකි කුඩා පරිමාන න්‍යෂ්ටික ආයුධ වර්ධනය කිරීමේ තරඟයක වොෂින්ටනය, රුසියාව හා චීනය යෙදී සිටින බව ටයිම්ස් වාර්තා කලේ ය. පත්‍රය එය විස්තර කලේ සීතල යුද්ධය පුනර්ජීවනය කිරීමක් ලෙසිනි.

දීර්ඝ කාලයක් තිස්සේ එක්සත් ජනපද චින්තන පර්ෂදවල ගැඹුරු විශ්ලේෂනයට භාජනය වී තිබෙන වර්ධනයක් එලිදක්වමින්, ඇමරිකාවේ “වාර්තාගත පුවත්පත” වන නිව් යෝර්ක් ටයිම්ස් සිය ඉරිදා කලාපයේ මුල් පිටුවේ ලිපියක් පල කිරීමට වෛෂයික අර්ථභාරයක් පවතී. මේ වසර මුල මූලෝපායික හා අයවැය තක්සේරු මධ්‍යස්ථානයේ වාර්තාවක මාතෘකාව වූයේ, බිහිසුනු සටන ගැන යලි සිතා බැලීම: දෙවන න්‍යෂ්ටික යුගය තුල සිදුවීම් සැලසුම් කිරීම යන්න යි. ඉන් පිලිබිඹු කරන්නේ ප්‍රතිපත්ති සම්පාදක කව න්‍යෂ්ටික අවිවලින් කෙරෙන යුද්ධයක නිරත ව ජයග්‍රහනය කරන්නේ කෙසේදැයි සලකා බලමින් සිටින බව යි.

ජනාධිපති ඔබාමා 2010 දී නව න්‍යෂ්ටික ආයුධ වැඩසටහන් ක්‍රියාවේ යොදන්නේ නැති බවට පොරොන්දු වූ තැන් පටන් වොෂින්ටනය, එක්සත් ජනපද න්‍යෂ්ටික අවි නවීකරනය සඳහා අරමුදල් සැපයීමට අමතර ඩොලර් ට්‍රිලියනයක් දෙන බව නිවේදනය කර ඇත. අධිවේගී ධාවක යානය නමැති නව ආයුධයක් ද ඇතුලු ව වර්ධනය කරමින් තිබෙන ආයුධ ගැන තොරතුරු ද ටයිම්ස් පත්‍රය විසින් සම්පාදනය කර තිබේ. ලබන වසරේ එක්සත් ජනපදය ගුවනේ අත්හදා බැලීම ආරම්භ කරන එවැනි ආයුධ, “මිසයිල ආරක්ෂක අවි වැඩකට නැති බවට පත්කරන්නේ” යයි ටයිම්ස් පත්‍රය සඳහන් කලේ ය.

රුසියාව තම නියෝජිතයින් එවීම ප්‍රතික්ෂේප කල, පසුගිය මාසයේ අග වොෂින්ටනයේ පැවති ද්විවාර්ෂික න්‍යෂ්ටික සමුලුව අවසානයේ, “අවි තරඟයේ නව පිපිරී යාමක් ඇති කරමින් අවසන් වන වඩා මාරක, වඩා ඵලදායක නව අවි පද්ධති පිලිබඳ කලබලය” ගැන ඔබාමා කනස්සල්ල පල කලේ ය.

සති අන්තයේ ටයිම්ස්හි පලකල කලිනින්ග්‍රාඩ් නගරය වට කර රුසියාවෙන් වෙන් කිරීම පිලිබඳ දෙවන ලිපියක්, මුලුමනින් ම පැහැදිලි කරන්නේ න්‍යෂ්ටික අවි භාවිතා කිරීමේ සැලසුම් හුදු සමපේක්ෂනයෙන් බොහෝ එපිටට ගමන් කොට ඇති බව යි. නැටෝ අනදෙන නිලධාරී ජෙනරාල් ෆිලිප් බ්‍රීඩ්ලව් පෙබරවාරියේ කොංග්‍රසයට කරුනු කීමේ දී කලිනින්ග්‍රාඩ් ප්‍රදේශය ගැන කීවේ, ලිතුවේනියාව හා පෝලන්තය අතර බෝල්ටික් මුහුදේ ගිනිකොනදිග කොනට වන්නට පිහිටි මෙම රුසියානු භූමි භාගය, “ගුවනින්, ගොඩබිමින් හෝ මුහුදෙන් කෙරෙන ප්‍රහාර විකර්ශනය කල හැකිබොහෝසෙයින් මිලිටරීකෘත බිම් කැබැල්ලක්” යනුවෙනි.

න්‍යෂ්ටික අවි සීමා කිරීමට ඔබාමා දුන් හිස් පොරොන්දුවේ පටන් වසර හයකට පසුව දැක ගැනීමට ලැබී ඇත්තේ, මූලික භූ-මූලෝපායික කලාප තුල රුසියාව හා චීනය දුර්වල කොට ඇමරිකානු ආධිපත්‍යය ශක්තිමත් කිරීම ඉලක්ක කරගෙන එක්සත් ජනපද නායකත්වයෙන් යුතු ව දියත් කෙරෙන ආක්‍රමනශීලී මිලිටරි මෙහෙයුම්වල තීව්‍ර වීමකි. ත්‍රස්තවාදයට එරෙහි ව සටන් වැදීමේ නාමයෙන්, ඉරාකය හා සිරියාව මත බෝම්බ හෙලීම්වල කොටසක් ලෙස වොෂින්ටනය, මෑතක දී න්‍යෂ්ටික හැකියාවන් සහිත බී52 යානා මැද පෙරදිග කඳවුරුවල ස්ථානගත කලේ, ඒවා ඉරානය හා රුසියාව පෙනෙන තෙක් මානයට ම ගෙන එමිනි.

Share this article: