චීනයේ නය වාර්තාගත ඉහල මට්ටම් කරා නඟියි

China debt levels reach record high

නික් බීම්ස් විසිනි, 2016 අප්‍රේල් 26

සති අන්තයේ ෆිනෑන්ෂල් ටයිම්ස් පත්‍රයේ පලවූ වාර්තාවකට අනුව, චීනයේ නය, දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 237ක වාර්තාගත මට්ටමකට නැඟී ඇති අතර රට ලේමන් වර්ගයේ මූල්‍ය අර්බුදයක් කරා ලඟා වෙමින් හෝ පසුගිය දශක දෙකක කාලය තුල ජපානය ගිලී තිබුනු පහත් වර්ධනයේ අවධිය දක්වා පල්ලම් බසිනු ඇති බවට අනතුරු ඇඟවේ.

2008-09 කාලයේ ගෝලීය මූල්‍ය අර්බුදය පුපුරා ගිය තැන් පටන් නයෙහි වේගවත් ප්‍රසාරනයේ ප්‍රතිපල වශයෙන් චීනයේ නය, ඩොලර් ට්‍රිලියන 25 දක්වා වැඩිවී ඇත. ඊට දේශය මෙන්ම විදේශීය නය ගැනීම් ද ඇතුලත්ය. 2008දී චීන නය පැවතුනේ දදේනි සියයට 148 මට්ටමේය.

1930 ගනන්වල අවපාතයේ ආරම්භක අවධියෙහි තිබුනාටත් වඩා වේගයකින් 2009 මුල් මාසවල ලෝක වෙලඳාම හැකිලී යාමට තුඩු දෙමින් අර්බුදය පුපුරා යද්දී, නිර්යාත මොඩලයේ චීන ආර්ථික වර්ධනය කඩා වැටුනි. එය රැකියා මිලියන 23ක් අහෝසි වීමට මඟ පෑදීය. ආන්ඩුව ඊට ප්‍රතිචාර වශයෙන් ඩොලර් අඩ ට්‍රිලියනයක උත්තේජක පැකේජයක් නිකුත් කල අතර රාජ්‍ය ව්‍යවසායන්ට හා පලාත් පාලන ආයතන වලට දැවැන්ත නය ගලායාමක් සිදු විය. නයෙහි එම ප්‍රසාරනය සමස්ත ඇමරිකානු මූල්‍ය පද්ධතියට සමාන යයි සැලකුනි.

චීන බලධාරීන් බලාපොරොත්තු වූයේ, අර්බුදයෙන් ලෝක ආර්ථිකය ගොඩ එනු ඇති බවට හා නිර්යාත ඒවායේ පැරනි මට්ටම කරා පැමිනෙනු ඇති බවටත්ය. එහෙත් මූල්‍ය අර්බුදයෙන් අට වසරක් ගතවී ඇතත් ලෝක ආර්ථිකය පවතින්නේ එකතැන පල් වෙමිනි. වඩාත් කැපී පෙනෙන්නේ, අර්බුදයට පෙරාතුව ගෝලීය දදේනි වර්ධනයට වඩා වේගයේන් ලෝක වෙලඳාම ඉහල ගිය ද දැන් එය නිෂ්පාදිතයේ වර්ධන වේගයටත් වඩා පහත මට්ටමක පැවතීමය.

විශේෂයෙන්ම දේපොල ඇතුලු යටිතල ව්‍යුහ ආයෝජන ප්‍රසාරනය නොවැලැක්විය හැකි පරිදිම තිරසාර නොවන බව, 2013 සිටම චීන ආන්ඩුව හා මූල්‍ය බලධාරීන් විසින් අවබෝධකරගෙන තිබුන අතර ආර්ථිකය, ප්‍රාග්ධන ප්‍රමුඛ සංවර්ධනය වෙතින් පරිභෝජනය හා සේවාවන් ප්‍රසාරනය කිරීම තුලින් “ප්‍රතිතුලනය” කිරීමේ ව්‍යායාමයක නිරත විය.

වර්ධන අනුපාතිකය, ඒවායේ පූර්ව අගය වූ සියයට 10 මට්ටම් වලින් පහතට රූටා යමින්, ආර්ථික ප්‍රසාරනය පිලිබඳ ආන්ඩුවේ නිල ඉලක්කය සියයට 6.5ත් 7ත් දක්වා පහත හෙලීය. එහෙත් මෙම පහල මට්ටම පවා තිරසාර කර ගැනීම දුෂ්කර බව පෙන්නුම් කර ඇත.

අගෝස්තුවේ හටගත් කොටස් වෙලඳපොල අර්බුදය හා මන්දගාමී වන වර්ධනය තුලින් ගලා ආ, 2015 වසරේ අවසන් භාගයේ ආර්ථික ගැටලු, “අවදානම් ගොඩබෑමක්” ( “hard landing,”) කරා යොමුව ඇතැයි යන භීතිය ඇවිලවූ අතර ආන්ඩුව, ආර්ථිකය තිරසාර කිරීම පිනිස නය සොරොව් යලි විවෘත කිරීම කරා මෙහෙයවීය. ආන්ඩුවේ සැලසුම් වලට අනුව, 2016 පලමු කාර්තුවේ වර්ධනය සියයට 6.7ක් බවට ගනන් බලා තිබුනි. එහෙත් එය පවා මූල්‍ය අර්බුදයෙන් පසුව අත්කරගත් පහත්ම අගයයි. එම ප්‍රතිපලය පවා අත්කර ගත්තේ ප්‍රධානකොටම නයෙහි ප්‍රසාරනය තුලිනි.

තමන්ගේම ගනන් බැලීම් හා මධ්‍යම බැංකුවේ දත්ත උපයෝගි කර ගෙන ෆිනෑන්ෂල් ටයිම්ස් පත්‍රය වාර්තා කලේ, අලුත් නය ගැනීම් වසරේ පලමු කාර්තුව තුල රෙන්මිම්බි ට්‍රිලියන 6.2න් වැඩිවී ඇති බවයි. එය තෙමසක කාලයකට ඇතිව තිබෙන ලොකුම වැඩිවීම හා පසුගිය වසරේ එම කාර්තුව සමඟ සසඳන කල සියයට 50ක වැඩිවීමකි. බීඑන්පී පරිබාහි ප්‍රධාන අර්ථශාස්ත්‍රඥ චෙන් සින්ඩොන් පැවසුවේ, පලමු කාර්තුවේ දදෙනි ප්‍රතිපලය අත්කර ගත්තේ, කාර්මික නිමැවුම ප්‍රසාරනය කිරීමෙන්, ස්ථාවර වත්කම්වල ආයෝජන වලින් හා ඉදිකිරීම් පනගැන්වීම “විශ්මයජනක” ලෙස වේගවත් කිරීම යයි ඔහු හැඳින්වූ දේ හරහා පමනි. ඒ සමඟම, චීන ආර්ථිකය “ප්‍රති තුලනය” කිරීමේ පදනම සම්පාදනය කරන බව කියන, සේවා අංශයේ වර්ධනය මන්දගාමී විය.

චීනයේ නය අර්බුදය දිගහැරෙනු ඇත්තේ කෙසේ ද යන්න පිලිබඳව ආර්ථික හා මූල්‍ය විශ්ලේෂකයින් අතර ඇත්තේ විවිධ අදහස්ය. සමහරු පවසන්නේ එය බැංකු අසාර්ථකත්වයන් හා නයෙහි කඩා වැටීම සමඟ, “ලේමන් වර්ගයේ” අර්බුදයකින් අවසන් වනු ඇති බවය. සති අන්තයේ වෙනත් ෆිනෑන්ෂල් ටයිම්ස් කලාපයක ගෙනහැර දක්වා තිබුන, නැඟී එන උපදේශක කන්ඬායමේ ජොනතන් ඇන්ඩර්සන්ට අනුව, 2008 ඇමරිකාවේ බෙයාර් ස්ටියර්න්ස් හා පසුව ලේමන් බ්‍රදර්ස් කඩා වැටීමට තුඩු දුන් පරිදි, නය සම්පාදනය සඳහා බැංකු, තැන්පත් මත විශ්වාසය තබනවාට වඩා ඉහල ප්‍රතිලාභ සහිත වත්කම් අලෙවිය මත වාරු වන බවයි.

“ප්‍රසාරනයේ වත්මන් මට්ටමේදී, තමන්ගේ සියලු වත්කම් සුරක්ෂිතව මුදල් බවට පත්කර ගැනීම දුෂ්කර බව සමහර බැංකු අවබෝධකර ගැනීම කාලය පිලිබඳ ප්‍රශ්නයකි. එම අවස්ථාවේදී මූල්‍ය අර්බුදයක් නොවැලැක්විය හැකිය.” ඔහු මෑතකදී පැවසීය.

ගෝලීය ආරක්ෂන අරමුදල් ආයෝජක ජෝර්ජ් සොරෝස්, චීන ආර්ථිකය, 2008 කඩාවැටීමට පූර්වයෙන් ඇමරිකාවේ පැවති තත්වය සමඟ සසඳා ඇත. අනෙකුත් අය පවසන්නේ, කඩාවැටීමක් මඟහැරීම පිනිස චීන මධ්‍යම බැංකුව, මූල්‍ය පද්ධතිය තුලට දිගටම මුදල් පොම්ප කරනු ඇති බවයි. එහෙත් එවැන්නක් යොමුවනු ඇත්තේ ජපානය වර්ගයේ එකතැන පලවීමක් කරා පමනි.

ක්ෂනික ප්‍රතිපලය කුමක් වුව ද නඟින නය අර්බුදය, සමස්තයක් ලෙස ගෝලීය ආර්ථිකය කෙරෙහි දුර දිග විහිදෙන ඇඟවුම් ගැබ්කර ගනියි. ඒ ඕස්ට්‍රේලියාවේ හා බ්‍රසීලයේ සිට ගිනිකොන දිග ආසියාවේ, අප්‍රිකාවේ හා ලතින් ඇමරිකාවේ, චීන ආර්ථික වර්ධනය මත දැඩි ලෙස වාරුවී ඇති ආර්ථිකයන් රාශියක් පවතින තතු හමුවේය.

මේ වසර මුල නිකුත් කල වාර්තාවක, ගෝල්ඩ්මන් සැක්ස්හි ආයෝජන මූලෝපායඥයෙකු වන හා ජිමින් සඳහන් කලේ මෙසේය. “නයෙහි වේගවත් වර්ධනයක් අත් විඳින සෑම ප්‍රමුඛ රටක්ම, මූල්‍ය අර්බුදයක් හෝ දදේනි දිග්ගැස්සෙන මන්දගාමිත්වයකට මුහුනපා ඇත.”

සිය මෑත ගෝලීය මූල්‍ය ස්ථායිකරන වාර්තාව තුල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, නය පිලිබඳ වැඩෙන ගැටලු කෙරෙහි අවධානය යොමුකරවීය. චීනයේ වානිජ්‍ය නය දීම් වලින් සියයට 15ත් වඩා “අවදානම් සහිත” බවට එය ගනන් බැලීය. එහි අර්ථය බැංකු, රෙන්මින්බි ට්‍රිලියන 4.9ක් තරම් වන අලාභයකට මුහුනපා සිටින බවයි. එය දදේනි සියයට 7ට සමාන ප්‍රමානයකි. තවත් අය ගනන් බැලුවේ, අක්‍රිය නය ප්‍රමානය ඊටත් වඩා වැඩි විය හැකි බවය.

මේ මාසයේ මුල සිය වසන්ත සෘතු රැස්වීම් වලට සූදානම් වෙමින් ජාමූඅ ඉදිරිපත් කල ලෝක ආර්ථික දැක්ම පිලිබඳ වාර්තාව, දියුනු ආර්ථිකයන්ට එල්ල වන, චීන මූල්‍ය ක්‍රමය තුලින් උතුරා යන බලපෑම් පිලිබඳව පෙන්වා දුන්නේය.

කෙටි කාලීනව චීනයේ නය මට්ටම් පිලිබඳ වැඩෙන කනස්සල්ල මඟින් ඇති කල හැකි බලපෑම කවරේ දැයි පැහැදිලි නැත. එහෙත් අනෙකුත් කෙටි කාලීන විභව මූලාශ්‍ර පිලිබඳ අස්ථාවරත්වය ඉහල යමින් තිබේ.

ජනවාරියේදී රිනාත්මක පොලී අනුපාත කරා නැඹුරුවීමෙන් පසුව ජපාන මහ බැංකුව, සිය මූල්‍ය ප්‍රතිපත්තිය තවදුරටත් ලිහිල් කල යුතු බවට නැඟෙන පීඩනය හමුවේ 28දා හමුවනු ඇත. තමන් මූල්‍ය යුද්ධයක පැටලී සිටින බවට චෝදනා නැඟුන ද ආන්ඩු හා මධ්‍යම බැංකු, තමන්ගේම මුදලේ අගය ඉලක්ක නොකරන්නේය යන නිල ප්‍රබන්ධය පවත්වාගෙන යන අතර ජපාන බැංකුව හා එරට ආන්ඩුව, යෙන් මුදල පහත වැටෙනු ඇති බවට බලාපොරොත්තු පල කරයි.

ඒ වෙනුවට රිනාත්මක පොලී අනුපාත පවත්වාගෙන ගිය මාස තුන තුල යෙන් මුදලේ අගය වැඩිවෙමින් තිබෙන අතර ජපාන ආර්ථිකයේ අවධමනාත්මක පීඩනය දැඩි කරමින් ජපන් සමාගම් වලට ගෝලීය වෙලඳපොලවල තරඟ කිරීම වඩාත් දුෂ්කර කරනු ඇත.

ජපාන මධ්‍යම බැංකු අධිපති හරිහිකෝ කුරෝඩාගේ නිල ආස්ථානය, මුල්‍ය ප්‍රතිපත්තිය පල දරන බවය. කෙසේ වෙතත් ඔහු, මවිතකර ලෙස ජනවාරි අවසානයේ රිනාත්මක පොලී අනුපාත හඳුන්වාදීමට තුඩු දුන් ඒ හා සමාන තත්වයක් ගෙනහැර දැක්වීය.

බොහෝ දේ රඳාපවතිනු ඇත්තේ 27දා පැවැත්වෙන රැස්වීමේදී ඇමරිකානු මහ බැංකුව කිරීමට යන දේ මතය. එය ජූනි මාසයේ පොලී අනුපාත ඉහල දමන බවක් පවසුවහොත් එය, ඇමරිකානු ඩොලරයේ අගය වැඩිවීමකට ද යෙන් මුදල පහත වැටීමට ද තුඩුදෙනු ඇත. කෙසේ වෙතත් එය අනාගතයේ පොලී අනුපාත වැඩිකිරීම තවත් කල් ප්‍රමාද කලහොත්, ඩොලරයේ අගය පහත යමින් ජපාන යෙන් මුදල ඉහල යාමේ පීඩනය දැඩි වනු ඇත. එය ජපාන මහ බැංකුව තවත් මවිතකර තීන්දුවක් නිවේදනය කිරීම කරා යොමුකරනු ඇත.

Share this article: