සව්දි අරාබියාවේ කුසගින්නෙන් පෙලෙන කම්කරුවන්ගේ විරෝධතා හමුවේ ඉන්දියාව ඔවුන්ට ආහාර යවයි

India ships food after mass protests by starving Indian workers in Saudi Arabia

කන්දා ගේබ්‍රියෙල් විසිනි , 2016 අගෝස්තු 4

රැකියා වලින් නෙරපනු ලැබ සාගතයට අතහැර දමා සිටින ඉන්දියානු සංක‍්‍රමනික කම්කරුවන්ගේ විරෝධතා යටපත් කිරීමේ ව්‍යායාමයක් ලෙස ඉන්දීය ආන්ඩුව, ජෙඩා වරාය නගරයේ සිය තානාපති කාර්යාලය ඉදිරිපිට බෙදාහැරීම පිනිස කිලෝ ග‍්‍රෑම් 16,000ක ආහාර තොගයක් සව්දි අරාබිය වෙත යැවීය.

හාම්පුතුන් වැටුප් ගෙවීම ප‍්‍රතික්ෂේප කිරීමෙන් පසුව, ඉන්දීය කම්කරුවන් 10,000ට වැඩි පිරිසක් සාගතයකට මුහුනපා සිටිති. හාම්පුතුන් කම්කරුවන් හසුරුවා ගැනීම පිනිස නිතරම පාහේ ඔවුන්ගේ ගමන් බලපත‍්‍ර සියතට ගෙන තිබීම නිසා ඔවුන්ට රටින් පිටව යාමට ද නොහැකිව ඇත. ඔවුන්ට තම වියදමින් ආපසු සිය රට බලා යාමට ද නොහැකිය.

සව්දි ඔ'ග නමැති එක් ඉදිකිරීම් සමාගමක්, මාස හතක් තිස්සේ සිය කම්කරුවන්ට වැටුප් ගෙවා නැත. 50,000ක් වන එහි ශ‍්‍රම බලකායෙන් 4000ක් ඉන්දියානුවන්ය. පසුගිය සතියේ සව්දි ඔ'ග සමාගමේ කම්කරුවන් සිය ගනනක්, තමන්ට හිමි වැටුප් ඉල්ලා ජෙඩාහිදී විරෝධතා පල කලහ. විරෝධතා හේතුවෙන් ජෙඩාහි වාහන තදබදයක් ඇතිව තිබුනු අතර තෙල් බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් වසා දැමීමට සිදු විය.

පසුව විරෝධතා මැඩීම පිනිස ආන්ඩුව පොලිසිය යොදවා කම්කරු නිවාස කොටු කිරීමෙන් ඔවුන්ට ආහාරපාන නොමැති විය. එක් කඳවුරක කම්කරුවන් හමුවූ සීඑන්එන් මනි සේවය වාර්තා කලේ, “කැලි කසල එකතු කිරීම ඇනහිට තිබේ. විදුලි බල සැපයුම කපාහැර ඇත. කම්කරුවන් ජලය ලබාගන්නේ වීදියේ අනෙක් පස පිහිටි පල්ලියෙනි. මෑත සතිවල හටගත් විරෝධතා හේතුවෙන් පිටත පොලිසිය යොදා ඇත” යනුවෙනි.

මෙම සිදුවීම් වලින් පැහැදිලි වන්නේ, ලිබියාව, සිරියාව හා ඉරාකය වැනි රටවල ඇමරිකානු පිටුබලය සහිත විවිධ ඉස්ලාමීය ත‍්‍රස්තවාදයන්ට අරමුදල් සැපයෙන ප‍්‍රධාන මූලාශ‍්‍රය හා මැද පෙරදිග වඩාත්ම විශ්වාසවන්ත නේටෝ සහචරයා වන සව්දි අරාබියේ පවතින කුරිරු පන්ති සම්බන්ධතාවන්ය. පරපුටු ප‍්‍රකෝටිපති සව්දි රජ පවුල, රටේ වැසියන්ගේ, විශේෂයෙන්ම උග‍්‍ර සූරාකෑමට ගොදුරුවී සිටින සංක‍්‍රමනික කම්කරුවන්ගේ, මූලික සමාජ හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් මඩිනු ලබයි.

දල වශයෙන් සව්දියේ ඉන්දීය කම්කරුවෝ මිලියන 3ක් වෙති. ඉදිකිරීම් හා නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ සේවා නියුක්තිය සම්බන්ධයෙන් එරට, විදේශීය කම්කරුවන් මත යැපෙයි. ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ රැකියාවන්හි නියුතු වන අය ආන්තික උෂ්නත්වය ද සේවාදායකයින්ගේ සැඩ පරුෂ කමට ද මුහුන පාති. ඉදිකිරීම් ප‍්‍රවාහන හා අනෙකුත් සොච්චම් වැටුප් ගෙවන අංශවල කම්කරුවන් කාලකන්නි ජීවන කොන්දේසි වලට මුහුනපා සිටී. ආහාර හිඟය, පිරිසිදු ජල හිඟය හා ඔවුන් නවාතැන් ගෙන සිටින කඳවුරුවල පහත් සනීපාරක්ෂක පහසුකම් ඒ අතර ප‍්‍රධානය.

හියුමන් රයිට්ස් වොච් සංවිධානය විදේශ කම්කරුවන්ට ඔවුන්ගේ හාම්පුතුන් විසින් සලකන පහත් ආකාරය ගැන සව්දි පාලනය විවේචනය කරයි. “කම්කරුවන්ගේ කැමැත්තකින් තොරව උග‍්‍ර සූරාකෑමේ කොන්දේසි” යටතේ මිනිසුන් සේවයේ යොදවන බවට එය චෝදනා නගයි. සේවකයින්ගේ නවාතැන් හාම්පුතුන්ගේ අභිමතය පරිදි තීන්දු කිරීම මගින් “ඔවුන්ට සේවකයින් මත දැඩි පීඩනයක් යෙදීමටත් පහසුකම් කැපීමටත් ඉඩ සලසා” ඇත.

ඉන්දීය ආන්ඩුව පර්සියානු බොක්කේ තෙල් රටවල ජීවත්වන ඉන්දීය කම්කරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කිසිවක් කර නැත. 2015 දෙසැම්බරයේ පලවූ අලුත්ම සංඛ්‍යවන්ට අනුව, එම රටවල සේවාදායකයින්ට එරෙහිව වධදීම්, පිලිබඳ කම්කරුවන්ගේ පැමිනිලි 7500ක් ලැබී ඇත.

කුවේටයෙන් පැමිනිලි වැඩිම සංඛ්‍යාව වන 3236ක් ද සව්දි අරාබියෙන් 2472 ද බහරේනයෙන් 806 ද වශයෙනි. ඕමාන්, කටාර් එක්සත් එමීර් රාජ්‍යයෙන් පිලිවෙලින් පැමිනිලි 413, 378, හා 126 ලැබී ඇත. ඒ අතර පසුගිය වසරේදී ඉන්දියානු කම්කරුවන් සව්දියේ 2691 හා එමීර් රාජ්‍යයේ 1540 මියගොස් ඇති බවට වාර්තා වී තිබේ.

ගෝලීය තෙල් මිලෙහි තියුනු කඩා වැටීම හමුවේ පැන නැගී තිබෙන මූල්‍ය අර්බුදය නිසා සව්දි අරාබියේ කම්කරුවන් සූරාකෑම හා අපයෝජනය බෙහෙවින් ඉහල ගොස් තිබේ. රාජාන්ඩුව ඊට ප‍්‍රතිචාර දක්වා ඇත්තේ පොදු පිරිවැය කපාහරිමිනි. එරට ආදායමෙන් සියයට 70ක් තෙල් වලින් ලැබෙන අතර 2016 වසර සඳහා මහජන වියදම් සියයට 25න් කපා හැර තිබේ. ඉන්ධන, ජලය සඳහා සහන ඉවත් කර තිබේ. ගෑස් මිල සියයට 80න් නංවා ඇත. කලාපය පුරාම තෙල් සමාගම් හා රජය සතු ව්‍යවසායන්හි තොග පිටින් රැකියා වලින් දෙට්ට දමන අතර පෙට්ට්‍රෝලියම් කර්මාන්ත වලට සම්බන්ධ අනෙකුත් තැන් වල ද තත්වය එසේම වන අතර කම්කරුවන්ගේ රැකියාවන්හි කිසිදු සුරක්ෂිත බවක් නැත.

බොහෝකොටම ඉන්දීය කම්කරුවන් සේවයෙහි යොදා ඇති දේශීය ඉදිකිරීම් සමාගම් ද එහි ප‍්‍රතිපල වශයෙන් පීඩනයට හසුව ඇත. සව්දි බින් ලාඩ්න් ගෲප් යන විශාලතම ඉදිකිරීම් සමාගම රටේ පොදු ඉදිකිරීම් වලින් වැඩි කොටසකට වග කිවූ අතර දැන් සිය සේවකයින්ට වැටුප් ගෙවාගත නොහැකි තැනට පත්ව තිබේ.

අන්තර්ජාල රැකියා ආයතනයක් වන ගල්ෆ් ටැලන්ට් ඒජන්සියට අනුව, පහත සඳහන් පරිදි පෞද්ගලික සමාගම් 2016 වසර තුල රැකියා කැපීමට නියමිතය. සව්දිය සියයට 14, ඕමාන් 10, එමීර් 9, කටාර් 8ක් වශයෙනි.

සව්දිය නටාකට් නීතියේ දෙවන අදියර ක‍්‍රියාත්මක කරන බව මෑතකදී නිවේදනය කල අතර, ඒ අනුව රැකියා ස්වදේශිකයන්ට වෙන් කිරීම සඳහා ආන්ඩුවට ඉඩ සැලසෙන අතර රැකියා සොයන විදේශ ශ‍්‍රමිකයන්ට එය තදින් බලපානු ඇත. එසේම එම රටවල සේවයේ නියුතුවූවෝ සිය පෞද්ගලික ආදායමෙන් දැනටමත් ආන්ඩු බදු අයකිරීමට පටන්ගෙන ඇතැයි කනස්සල්ල පල කරති.

එහෙත් රැකියා ඒජන්සිකරුවෝ, ඉන්දියානු ධනවාදයේ කැපී පෙනෙන ලක්ෂනයක් බවට පත්ව තිබෙන ආන්තික දුප්පත්කම හා සමාජ කාලකන්නිකම මගින් ගල්ෆ් රටවලට තව තවත් ලාභ ශ‍්‍රම සම්පාදනයට ඉඩ සැලසෙනු ඇති බව විශ්වාස කරති. රැකියා ඒජන්සිවල දිල්ලි සංගමයේ සභාපති වකීල් අන්සාරි පවසන්නේ, ඉන්දියානු කම්කරුවන්ගේ ඉහල නගින පැමිනිලි මගින් තම ව්‍යාපාරයට බලපෑමක් සිදුව නැති බවයි. එහෙත් ඔවුන් තෙල් මිල කඩා වැටීම නිසා ආර්ථික වර්ධනය මන්දගාමී වීමෙන් පීඩාවට පත්ව සිටින බව ඔහු පවසයි.

“ලැබී ඇති පැමිනිලි සංඛ්‍යාව ගල්ෆ් රටවල සිටින මිලියන 7.3 වන ඉන්දියානු ශ‍්‍රම බලකායෙන් සියයට 1ත් අඩු” යයි ඔහු පැවසීය. කම්කරුවන් අපයෝජනයට ලක්වන කථාව ඔහු බැහැර කරයි. “සමහරවිට අඩන්තේට්ටම් හා සූරාකෑම පිලිබඳ අව්‍යාජ පැමිනිලි තිබිය හැකි වුවත් එය ඕනෑම රටක සිදුවිය හැකි දෙයක් යයි” හෙතෙම පැවසීය.

රැකියා ඒජන්සිකරුවන් පවසන්නේ ගල්ෆ් සේවාදායකයින්, ඉන්දියානු කම්කරුවන්ට වඩා බංග්ලාදේශ් හා නේපාල කම්කරුවන්ට ගෙවන වැටුප් අඩු බැවින්, ඔවුන්ට වැඩි කැමැත්තක් දක්වන බවයි.

Share this article: