හිරෝෂිමා හා නාගසාකි නගර වලට පරමානු බෝම්බ හෙලීමේ තීරනය

The decision to drop the atomic bomb on Hiroshima and Nagasaki

ජෝසෆ් කිෂෝර් විසිනි, 2016 මැයි 27

අද දින ජනාධිපති බැරැක් ඔබාමා හිරෝෂිමා වෙත සංචාරය කරන නමුත් එක්සත් ජනපදය එම නගරයට පරමානු බෝම්බයක් හෙලීම ගැන සමාව අයැදීමක් නො කරනු ඇත. ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෙහි පල කරන්නේ එම බිහිසුනු අපරාධයේ 60වන සංවත්සරය නිමිති කොටගෙන මුල් වරට පල කරන ලද ලිපියකි.

මෙම ලේඛනය 2005 අගෝස්තු 6-8 දිනවල මුල් වරට පල කරන ලද්දේ එක්සත් ජනපදය හිරෝෂිමා හා නාගසාකි යන නගර දෙකට පරමානු බෝම්බ හෙලීමේ 60 වන සංවත්සරයේ දී ය.

1945 අගෝස්තුවේ සිදු කල එම බිහිසුනු අපරාධයෙන් පසුව තනතුරේ සිටියදී හිරෝෂිමා වෙත යන ප‍්‍රථම එක්සත් ජනපද ජනාධිපතිවරයා වසයෙන් අද දින බැරැක් ඔබාමා එහි සංචාරය කරයි. “පරමානු බෝම්බය හෙලීමට ගත් තීරනය ගැන ඔබාමා යලි සලකා නො බලන බවත්” කිසිදු සමාව අයැදීමක් නො කරන බවත් ධවල මන්දිරය පැහැදිලි කොට ඇත. ඒ වෙනුවට ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෙම මස මුල පල කරන ලද ඉදිරි දර්ශන ලිපියක සඳහන් කර ඇති පරිදි ඔබාමා හිරෝෂිමා වෙත යන්නේ අතීත අපරාධ ගැන සමාව ඉල්ලීමට නො ව, නව අපරාධ සූදානම් කිරීමට යි.

මෙම රචනාව ලියන ලද්දේ බුෂ් පරිපාලනය සමයේ ය. දශකයකට පසුව පරිපාලනය බුෂ්ගෙන් ඔබාමාට මාරු වී තිබුනත් මෙහි කල අනතුරු ඇඟවීම් හීන ව නැත. ඒ වෙනුවට, සියල්ලට මත් වඩා ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් තෙල් ඉසිනු ලබන ගෝලීය භූදේශපාලනික ආතතීන්, න්‍යෂ්ටික ආයුධ යොදාගෙන කරන නව ලෝක යුද්ධයක අන්තරාය ඉමහත් ලෙස තීව‍්‍ර කර තිබේ.

පලමු කොටස: විනාශයට පොලඹවා එය සිදු කිරීම

Nagasali නාගසාකි නගරයේ පරමානු බෝම්බය පුපුරා යාම

1945 අගෝස්තු 6 දා හිමිදිරියේ Enola Gay (එනෝලා ගේ) නමැති ඇමරිකානු බී-29 යුද ගුවන් යානයක් ටිනියන් නමැති පැසිෆික් දිවයිනේ ඇමරිකානු ගුවන් යානා මධ්‍යස්ථානයෙන් ගුවන්ගත විය. පුරා පැය හයකට ආසන්න කාලයක් පහතින් එල්ලවූ ප‍්‍රතිරෝධයකට මුහුන නො දී එය ගමන් කලේ ය.

ප‍්‍රාදේශීය වේලාවෙන් උදෑසන 8.15ට පමන, ජනගහනය 255,000ක් යයි තක්සේරු කරන ලද ජපානයේ හිරෝෂිමා නගරයේ පැහැදිලි අහසට ඉහලින් ගුවන් යානයේ සිට බෝම්බය හෙලන ලදී. ගුවන් යානයේ ගෙනගිය “කුඩා කොල්ලා හෙවත් ලිට්ල් බෝයි” නමැති පරමානු බෝම්බය නගර මධ්‍යයට මීටර 600ක් පමන ඉහලින් පුපුරා ගියේ, පිපිරීමෙන් ක්ෂනික ඉක්බිත්තේ හෝ පැය ගනනක් ඇතුලත ජනගහනයෙන් සියයට 30ක් හෝ 80,000ක් දෙනා මරා දමමිනි.

Hiroshima බෝම්බය හෙලීමෙන් පසු හිරෝෂිමාව

ඉන් දින තුනකට පසුව අගෝස්තු 9දා වඩා බලවත් ආයුධයක් රැගත් එවැනි ම ගුවන් යානයක් ටිනියන් වෙතින් පිටත් වූ නමුත් එහි අපේක්ෂිත ගමනාන්තය කරා ලඟා වීමේ දී දුෂ්කරතාවන්ට මුහුන දුනි. ගොඩබිමෙන් එල්ලවූ වෙඩි ප‍්‍රහාරයන්ට මුහුන දෙමින් හා එහි ඉලක්කය වූ කොකුරා නගරය වලාකුලුවලින් වැසී ඇති බව දැක ගනිමින් එය එහි දෙවන ඉලක්කය වූ 270,000ක ජනගහනයක් සහිත අතිශයින් කාර්මීකරනයවූ නාගසාකි නගරය වෙත පියාසැරී ය. නාගසාකි නගරයේ සුවිශේෂී භූවිෂමතා ලක්ෂන හා බෝම්බයට නගර මධ්‍යය මග හැරී ගිය නිසා බලපෑම තරමක් විනාශකාරීත්වයෙන් අඩු විය. තක්සේරු කරන පරිදි 40,000ක් ජනයා ක්ෂනික ව ඝාතනයට ලක් විය.

ඊ ලඟ මාස කිහිපය පුරා තවත් දස දහස් ගනනක් මරුමුවට පත් වූයේ න්‍යෂ්ටික බෝම්බ මඟින් ඇති කල විකිරන රෝග ඇතුලු තුවාල හේතුවෙනි. මරනයට පත් වූවන්ගේ සැබෑ සංඛ්‍යාලේඛන සැපයීම නිසගයෙන් ම දුෂ්කර වන අතරේ, පිපිරීම් දෙකෙන් මාස හතරක් ඇතුලත ඝාතනය වූ මිනිසුන්, ගැහැනුන් හා ලමුන් ගනන 200,000 සිට 350,000 දක්වා යයි ගනන් බැලේ. ඉන් පෙර කිසිදාක එතරම් ක්ෂනික ව එවැනි ව්‍යසනයක් සිදු කොට නො තිබුනි.

සෝවියට් සංගමය අගෝස්තු 8දා ජපාන පාලනය යටතේ පැවති මැන්චුරියාව ආක‍්‍රමනය කිරීමත් සමග සිදු කල මෙම බෝම්බ හෙලීම පැසිෆික් කලාපයේ යුද්ධය ක්ෂනික ව අවසානයකට ගෙන ආවේ ය. සැප්තැම්බර් 2දා ජපාන ආන්ඩුව, මිත‍්‍ර පාක්ෂික බලවතුන් සමග ගිවිසුමක් අත්සන් කරමින් තම රටෙහි සම්පූර්න පාලනය ඇමරිකානු මිලිටරියට පැවරීය.

ජර්මනිය යටත් වීමෙන් මාස හතරකට පසුව සිදු වූ ජපානයේ යටත් වීම, දෙවන ලෝක යුද්ධය සමාප්තියකට ගෙන ආවේ ය. ඒ අතර ම එය සලකුනු කලේ, යුද්ධයේ දී මිලිටරි මිතුරන් වූ එක්සත් ජනපදය හා සෝවියට් සංගමය අතර වඩ වඩා එදිරිවාදිකම් මතුව ආ නව අවධියකි. වසර හතරක් ඇතුලත සෝවියට් සංගමය තමන්ගේ ම න්‍යෂ්ටික ආයුධයක් තැනුවේ දශක හතරක් පුරා අඛන්ඩ ව ඇදී ගිය න්‍යෂ්ටික අවි තරඟයක් ආරම්භ කරමිනි.

න්‍යෂ්ටික අවි භාවිතා කිරීම සඳහා එක්සත් ජනපද ආන්ඩුව ඉදිරිපත් කරන නිල තර්කය වන්නේ, ජපාන ආක‍්‍රමනයකින් ඇමරිකානු ජන ජීවිත ආරක්ෂා කිරීම බව යි. හිරෝෂිමාව හා නාගසාකිය මුලුමනින් විනාශ කල බෝම්බ හෙලීම මගින් ඇමරිකානුවන් 500,000ක් හා මිලියනයක් අතර සංඛ්‍යාවක් ද ජපනුන් මිලියන කිහිපයක් ද මරනින් බේරාගත් බව ආන්ඩුවේ නිලධාරීහු, යුද්ධයෙන් පසුව න්‍යෂ්ටික බෝම්බ පාවිච්චි කිරීම පිලිබඳ විවේචන මධ්‍යයේ සඳහන් කල හ.

මෙම තර්කය නිරන්තරයෙන් සැකසහිත වී ඇත්තේ, පසුව ගතවුනු අවුරුදුවල දී, ආක‍්‍රමනයකින් සිදු විය හැකි යයි තක්සේරු කල මරන බොහෝ සෙයින් අතිශයෝක්තියට නංවා තිබුනු බව හා ආක‍්‍රමනයකින් තොර ව ම යුද්ධය හමාර කල හැකි ව තිබුනු බවට සාක්ෂි පෙන්නුම් කරන තතු යටතේ ය.

බෝම්බ භාවිතා කිරීම සඳහා වන හේතු සංකීර්න වන අතරේ, ඒවා යුද්ධාවසානයේ ඇමරිකානු පාලක ප‍්‍රභූවේ එකිනෙක හා බැඳුනු භූදේශපාලනික අරමුනු දෙකක් වටා කේන්ද්‍රගත වේ: (1) චීනය හරහා ජපානය දෙසට සෝවියට් හමුදා ඇතුලු වීම වලක්වා, නැගෙනහිර ආසියාව තුල සෝවියට් සංගමයේ බලපෑම සීමා කිරීමේ අභිලාෂය හා (2) ඇමරිකානු මිලිටරියේ අනභියෝගී බලය ප‍්‍රදර්ශනය කොට තම අවශ්‍යතා මුදුන් පත් කරගැනීමට එම බලය භාවිතා කිරීමට තිබෙන අධිෂ්ඨානය පෙන්නුම් කිරීම එම අරමුනු වේ.

නව වර්ගයේ බෝම්බයක්

1945 ජූලි 26දා මිත‍්‍ර පාක්ෂික රටවල් විසින් නිකුත් කරන ලද පෝස්ට්ඩෑම් ප‍්‍රකාශනය අවධාරනය කලේ කොන්දේසි විරහිත ව යටත් නො වුන හොත් ජපානය “විනාශ කර එය සිදු කරන” බව යි. හිරෝෂිමා හා නාගසාකි නගරවලට හෙලන ලද පරාමනු බෝම්බ මගින් නිශ්චිත ව ම සිදු කරන ලද්දේ මෙය යි.

හිරෝෂිමාවට බෝම්බය දමන සමය වනවිට ජපානයේ බොහෝ විශාල නගරවලට ඇමරිකානු ගුවන් ප‍්‍රහාර එල්ලවී තිබුනි. එක්සත් ජනපද මිලිටරිය ජපාන ගුවන් අවකාශයේ බලය අත්කරගත් පසුව ගුවන් හමුදාව නාගරික ප‍්‍රදේශවලට ක‍්‍රමානුකූල ව බෝම්බ හෙලීම අරඹා තිබුනි. එයට, 87,000ක් පමන ජනයා ඝාතනය කරමින් ටෝකියෝ නගරයට ගුවනින් බෝම්බ හෙලීම ද අයත් ය. හිරෝෂිමාව තවමත් ඉලක්කයට ලක් වී නො තිබීම එක්තරා විෂමතාවක් යයි එහි වැසියන් සලකන ලද්දේ, සිවිල් නිෂ්පාදනාගාරවලට අමතර ව වැදගත් මිලිටරි මූලස්ථාන එහි පිහිටා තිබීම හේතුවෙනි.

එහෙත් බෝම්බ ප‍්‍රහාරය එල්ල වන විට හිරෝෂිමා වැසියන් සිටියේ නුසූදානම් ව ය. කාලගුන ඔත්තු බැලීමේ ගුවන් යානයක් හිමිදිරි උදයේ දිස්වීම අනතුරු නලා ශබ්ද කිරීමට හේතු වුවත්, එය පිටත් ව ගිය පසුව සියල්ල පැහැදිලි බවට සංඥා නිකුත් කෙරුනි. එනෝලා ගේ යානය හා එහි සහායට පැමිනි යානා දෙක තවත් ඔත්තු බැලීමේ යානා බවට නිගමනය කරන ලද අතර, එනිසා ම, ඒවා නගරයට ඉහලින් පියාසර කරන විට අනතුරු නලා ශබ්ද නො කෙරුනි.

හිරෝෂිමාවට හෙලන ලද යුරේනියම් බෝම්බයට, ටීඑන්ටී (ට‍්‍රයි නයිට්‍රො ටොලුයීන්) ටොන් 13,000කට සමාන ස්ඵෝටනයක් (පුපුරුවා හැරීමේ හැකියාවක්) තිබුනි. බෝම්බය තුල ඇති වූ න්‍යෂ්ටික ප‍්‍රතික‍්‍රියාව සෙන්ටිග‍්‍රේඩ් අංශක මිලියන ගනනක උෂ්නත්වයන් ජනනය කලේ ය. පිපිරීම සිදු වූ ස්ථානයට මීටර 600ක් පහල පොලවේ ස්ථානය හෙවත් පහල කේන්ද්‍රයේ උෂ්නත්වය, යකඩවල ද්‍රවාංකය මෙන් දෙගුනයක් වන සෙන්ටිග‍්‍රේඩ් අංශක 3,000 සිට 4,000 දක්වා විය. පහල කේන්ද්‍රයේ සිට කිලෝමීටර එකහමාරක දුරින් තිබූ සියලු දේ පුලුස්සා දැමූ තාපයේ හා ආලෝකයේ තීව‍්‍ර විමෝචනයට පසුව කිලෝමීටර දෙකක් ඇතුලත බොහෝ ගොඩනැගිලි විනාශ කල යෝධ කම්පන ධාරාවක් ඇති විය. අයෝයි පාලම කරා ඉලක්ක කොට හෙලන ලද හිරෝෂිමා බෝම්බයට ඉලක්කය වැරදී ගියේ මීටර 250කිනි. එක් වාර්තාවකට අනුව බෝම්බය පුපුරා ගියේ වෛද්‍ය ශිමා ප‍්‍රධානත්වය දැරූ රෝහලකට හරි කෙලින් ඉහලිනි: “ශිමා රෝහල ද එහි සියලු රෝගීන් ද වාෂ්ප කර දමනු ලැබිනි... අඩි 1,500ක අර්ධ විෂ්කම්භයක් තුල සිටි මිනිසුන්ගෙන් සියයට අසූ අටක් ක්ෂනික ව හෝ එදින ම මැරුනි. එම වෘත්තාකාර ප‍්‍රදේශය තුල අනෙක් බොහෝ දෙනා සති හෝ මාස ගනනක් ඇතුලත මරනයට පත් විය.” (1)

පහල කේන්ද්‍රයට සමීප ව සිටි තැනැත්තන් ක්ෂනික ව අලු දූවිලි බවට පත්වූයේ, තාපයේ ආරම්භක විමෝචනයට ගොදුරු වීමෙන් පෘෂ්ටය අර්ධ වසයෙන් ආවරනය කොට තිබූ වීදියක් හෝ බිත්තියක් මත ඇති සෙවනැල්ලක් හැරුනු කොට, කිසිදු සලකුනක් ඉතිරි නො කරමිනි. පිපිරීමට ඉතා ම සමීපයෙන් සිටි අය “මොහොතකින් පන ඇති ව සිට නො පෙනී ගියේ, කිසිදු මානව කායික විද්‍යාවකට සනිටුහන් කල නො හැකි වේගයකින්” යයි එක් කතුවරයෙක් සටහන් කලේ ය. (2)

පිපිරුම් කේන්ද්‍රයෙන් සැලකිය යුතු දුරකින් සිටියවුන් ක්ෂනික ව නො මැරුනත්, විශේෂයෙන් තාපයට ඍජු ව නිරාවරනය වූ ඕනෑම ස්ථානයන් ඇතුලු ව, ඔවුන්ගේ ශරීරවල බොහෝ තැන්, තුන්වන ගනයේ දරුනු පිලිස්සීම්වලට ලක්වුනි. තුවාල හේතුවෙන් මරනයට පත්වීමේදී තියුනු වේදනාවන්ගෙන් ඔවුහු පීඩා වින්දා හ. පිපිරීම සියැසින් දැක නො නැසී ජීවත් වුන තැනැත්තෝ, මෙලෙස ගොදුරු වූවන් විස්තර කරන්නේ අතිශයින් ම භයංකර වචනවලිනි.

පිපිරීම සිදු වෙද්දී නගරයේ යාබද පෙදෙසක සිට විපතට පත් වූවන්ට උදව් කිරීමට දිව ආ වෛද්‍යවරයෙක්, තමන් දුටු දෙය ලිවී ය. නගර මධ්‍යයට ලඟා වෙද්දී “අමාරුවෙන් ඇවිදිමින් අරුම පුදුම සිරුරක් ටිකින් ටික තමා ඉදිරියට ආවේ” කෙසේදැයි ඔහු විස්තර කරයි. “එම සිරුර නිසැක ව ම මනුෂ්‍යයෙකුගේ වුවත්, මුලුමනින් ම නිරුවත් ව ලෙයින් හා මඩින් නෑවී තිබුනි. සිරුර සම්පූර්නයෙන් ඉදිමී තිබුනි. එහි නිරාවරිත පපුවෙන් හා ඉනෙන් වැරහැලි එල්ලුනි. පපුවට ඉහලින් අත් එසැවී තිබුනේ අත්ල පහතට හැරෙන ලෙස ය. වැරහැලිවලින් වතුර කාන්දු විය. සත්‍ය වසයෙන් ම, වැරහැලි යයි මා දැක තිබුනේ මිනිස් හමේ එල්ලෙමින් ඇති කැබලි වන අතර, වතුර බින්දු ලෙස දිස් වූයේ මිනිස් රුධිරය යි... මම ඉදිරියේ ඇති පාර දෙස බැලුවෙමි. මා ආ මාවත දිගේ සිටගන හිටියේ නග්න, පිච්චුනු හා ලෙයින් නෑවුනු ජීවිත නො නැසී තිබුනු ගනන් නැති පිරිසකි. සමහරු දනින් වැටෙමින් හෝ හතර ගාතෙන් බඩගාද්දී, තවත් සමහරු අමාරුවෙන් සිටගනිමින් එකිනෙකාගේ උරහිස්වලට හේත්තු වී ගෙනය.” (3)

තමන් දුටු දෙය කීමට නො නැසී සිටි අය, අපරූපනය වූ මිනිසුන් විස්තර කිරීමේ දී සාමාන්‍යයෙන් යොදාගත්තේ, “හම වැරහැලි මෙන් එල්ලෙමින් තිබුනි” යන්න යි. “යටි බාහු හා දෑත් එල්ලා ගනිමින්... එකිනෙකට ඇතිල්ලීමෙන් සිදුවන වේදනාකාරී තත්වය වැලැක්වීමට” (4) තම දෑත් ඉදිරියට දික්කරගෙන, පිලිස්සීම් නිසා අන්ධ ව හෝ පිපිරීම නිසා බිහිරි ව තියුනු වේදනාවෙන් සමහරු වීදිවල ඉබාගාතේ ඇවිද ගිය අතර ඉන් සමහරු “සිහිනයෙන් ඇවිදින්නන් මෙන් වැනෙමින් ගමන් ගත්තේ ය.” (5)

සමහර විට දහස් ගනනක් මේ අයුරින් මැරෙන්නට ඇත. තුවාල ලත් ජනයා සිය ගනනක් “රාත‍්‍රීය පුරා අප නිවස පසුකොට ගියත් අද (අගෝස්තු 7) උදේ ඔවුන්ගේ ගමන නතර ව තිබුනි. පාර දෙපස ම ඔවුන් වැතිරී සිටිනු මම දුටුවෙමි. එලෙස කොතරම් දෙනෙක් වැටී සිටියේ ද යත් මල සිරුරක් මත පය නො තබා ගමන් කිරීම අසීරු විය” යයි තබුචි නම් වෛද්‍යවරයෙක් විස්තර කලේ ය (6). “හිස හැරුනු අත ඇවිදින... තවමත් නො මැරී සිටි සියගනනක්” තමන්ට දිස්වූයේ කෙසේදැයි බේරුනු එක් පුද්ගලයෙක් ලිවී ය. “වේදනාවෙන් ඇඹරෙමින් සිටි සමහරු බාගෙට මැරී සිටියහ. ඔවුන් ජීවත් වන මල කඳන්වලට වැඩි යමක් නො වී ය.” (7)

ක්ෂනික ව මරනයට පත් නො වුනු බොහෝ දෙනා ගංගාවල් හෝ ජලාශ සොයා ඇදුනේ, පිලිස්සීමෙන් ඇතිවුනු වේදනාව තුරන් කර ගැනීමට ය. දිවිබේරාගත් තැනැත්තෙක් මෙසේ විස්තර කලේය: “චෝජු-එන් ගංගාවේ දිගු ඉවුර පිලිස්සුනු මිනිසුන් බොහෝ දෙනෙකුගෙන් පිරී තිබුනේ කෙසේදැයි මම දුටිමි. ඉවුරේ ඇසට පෙනෙන මානය මිනිසුන්ගෙන් පිරී තිබුනි. විශාල සංඛ්‍යාවක් නිසොල්මනේ ගලා යන ජල පහරේ අනුකම්පාව ලැබ පෙරලෙමින් පහතට ගසාගෙන ගියේය. ඉවුරු කන්ඩියේ බොහෝ දෙනා මැරී වැතිර සිටිය හ.” (8) “පනපිටින් තම්බා මරා දමා තිබුනා මෙන් පෙනුනු මියගිය මිනිසුන්ගෙන් ජලාශවල ගැටිය තෙක් ම පිරී තිබුනු” හැටි තමන් දුටු ආකාරය තවත් වෛද්‍යවරයෙක් වන හැනෝකා විස්තර කලේ ය. (9)

නගරයේ පිපිරීම සිදු වූ ස්ථානයේ සිට කිලෝමීටර කිහිපයක තිබූ සියල්ල මුලුමනින් විනාශ විය. පිපිරීමෙන් සමතලා වූ ලීවලින් තනන ලද නිවෙස් ද ගොඩනැගිලි ද පසුව ඇති වූ ගින්නෙන් දැවී ගියේය. තම නිවෙස් කඩා වැටෙද්දී ඊට යට වුනු බොහෝ දෙනා මැරුනේ මෙම ගින්නෙනි.

“හිරෝෂිමා යනු තවදුරටත් නගරයක් නො ව, පිලිස්සී ගිය මුඩු බිමකි. නැගෙනහිරට ද බටහිරට ද වන්නට තිබූ සියලු දෙය සමතලා විය. ඈතින් පෙනුනු කඳු මට මතක ඇති කවරදාටත් වඩා ලං ව පෙනෙන්නට විය. උෂිටා කඳුමුදුන් හා නිජිට්සු වනාන්තර නො පැහැදිලි මීදුම හා දුමාරය අතරින් මතු ව තිබුනේ, මුහුනක නහය හා දෑස් ලෙසය. නිවාස අතුරුදහන් ව ගිය හිරෝෂිමාව කොතරම් කුඩා ද?” (10) යනුවෙන් වෛද්‍ය හචියා ලියයි. හිරෝෂිමා, නාගසාකි නගර දෙකේ ම පිපිරුම්වලින් සතියක් තුල, දරුනු ලෙස තුවාල ලත් අය බොහෝ දෙනෙක් එක්කෝ මැරී තිබුනි, නැතහොත් සුවය ලබන්නට පටන් ගනිමින් තිබුනි. එහෙත් “සෙල්සියස් අංශක හතලිහකටත් වඩා ඉහල ගිය දරුනු උනෙන් පෙලීමේ අත්දැකීමට මුහුන දෙන්නට බොහෝ දෙනා පටන් ගත්තේ” හරියට ම මෙහි දී ය. “එවිට ඔවුන්ගේ ශ්ලේෂ්මල පටලවලින් ලේ ගැලීම ආරම්භ වූ අතර බොහෝ දෙනාට දරුනු ලේ වමනය ඇති විය... දිවිබේරුනු අයගේ කෙස් වැටි අරුම පුදුම ලෙස හැලී යාමට පටන් ගත් අතර වේදනාව සමග පොරබදමින් රෝගීන් තම දෑත් වලින් හිස පිරිමැදි විට එම ස්පර්ශයෙන් පවා කෙස් ගස් ගැලවී වැටුනි.” (11)

මෙය වනාහි ගැමා කිරන අතිමහත් ප‍්‍රමානයක් විමෝචනය කරන න්‍යෂ්ටික ප‍්‍රතික‍්‍රියාව මඟින් ඇති කරන විකිරන පරිමන්දන රෝගය යි. ඒ වන විට පවා නගරයේ වෛද්‍යවරු, හෙලන ලද බෝම්බයේ සුවිශේෂී සංයුතිය පිලිබඳව දැන නො සිටි අතර, ඔවුන් අනුමාන කලේ ජනතාව පෙලෙමින් සිටියේ පාචන රෝගයෙන් නැත්නම් බෝම්බය විසින් මුදාහරින ලද යමකින් ඇති වූ රසායනික විෂවීමකින් බව යි.

“පිපිරුමෙන් මුදාහල විකිරන, රුධිර නාල තුල සෛල විනාශ නො කලේ ය. එහෙත් රුධිරය තුල ඇති විවිධාකාර සෛල වර්ග තැනෙන ඇට මිදුලු තුල ඇති ප‍්‍රාථමික සෛලවලට එම විකිරන මඟින් පහර එල්ල විය. ඒ අනුව ඇතිකල සැලකිය යුතු බලපෑම් පෙනෙන්නට පටන්ගත්තේ, රුධිරය තුල ඒ වන විටත් සම්පූර්නයෙන් සකස් ව තිබුනු සෛල අනුක‍්‍රමයෙන් මියගොස්, සාමාන්‍යයෙන් සිදුවන පරිදි ඇටමිදුලු තුල තැනෙන නව සෛල මඟින් මියගිය සෛල ඉවත් නොකෙරෙන තත්වය තුලය... රතු රුධිර සෛල හටගැනීම අවසන් ව ගිය විට, රෝගියා අඛන්ඩ රක්තහීනතාවෙන් පෙලෙන්නට පටන් ගත්තේ ය. රුධිර පට්ටිකා හටගැනීම නැවතුනු විට, තුනී රුධිරය කුඩා හා විශාල ප‍්‍රමානවලින් හම තුලට හා ඇසේ දෘෂ්ටි විතානය තුලට ද සමහර විට බඩවැල් හා වකුගඩු තුලට ද ගලා යයි. සුදු රුධිරානු ගනන අඩු වීම ආන්තික තත්ත්වයන්වල දී ශාරීරික ප‍්‍රතිරෝධනය පහත හෙලූ අතර රෝගියා අනිවාර්යයෙන් ම, සාමාන්‍යයෙන් මුඛයෙන් සහ තොල්වල, දිවේ හා සමහර විට උගුරේ තුවාල වලින් පැතිරී යන යම් ආසාදනයන්ට ගොදුරු විය... බොහෝවිට විය හැකි පරිදි පිපිරීමෙන් සතියකට පසුව රෝගීන් මැරෙන්නට පටන්ගෙන සති තුනක් පමන ගතවන විට එහි උපරිමයට ලඟාවූ අතර සති හයත් අටත් අතර කාලයකට පසුව එය අඩුවීමට පටන් ගත්තේ” යයි බ්‍රිතාන්‍ය වෛද්‍ය වාර්තාවක සටහන් විය. (12)

විකිරන පරිමන්දන රෝගය වැඩි ම බලපෑම ඇතිකලේ පිපිරීමට වඩාත් ම ආසන්නයෙන් සිටි අයට ය. ඊටත් වඩා එය, දිවි බේරුනු අය මත ප‍්‍රගාඪ මනෝවිද්‍යාත්මක හානියක් ශේෂ කොට ගියේ, අද දින ජීවත් ව සිටියත් හෙට දින මරනයට ගොදුරු විය හැකි ය යන සිතිවිල්ල මඟින් නො නවත්වා පීඩා ගෙන දෙමිනි.

ඉහත විස්තරය මූලික වසයෙන් උපුටාගන්නා ලද්දේ හිරෝෂිමා බෝම්බයෙන් බේරුනු අයගේ සාක්ෂි වලිනි. එහෙත්, නාගසාකියේ බලපෑම ද ඒ හා සමාන ය. නාගසාකි බෝම්බය හෙලන ලද්දේ, හිරෝෂිමා බෝම්බයේ සමස්ත විනාශය ප‍්‍රකට වන්නට පෙර ය. බෝම්බය හෙලන දිනය අගෝස්තු 11 සිට අගෝස්තු 9 දක්වා දින දෙකක් ඉදිරියට ගැනීමට හේතුවූයේ කලින් කී දිනය පිලිබඳ ව පැවති නරක කාලගුන අනාවැකි ය.

නාගසාකිය බොහෝ කාලයක් තිස්සේ ජපානයේ කියුෂු දිවයිනේ පැවති මනස්කාන්ත නගරවලින් එකක් හා ප‍්‍රධාන වරායකි. එහි ප‍්‍රධාන කර්මාන්තය නැව් තැනීම වූ අතර දෙවන බෝම්බය හෙලීමට එය ඉලක්ක වීමට හේතුව ද එය යි. බෝම්බය පුපුරා ගියේ එවකට නැගෙනහිර ආසියාවේ විශාලතම දේවස්ථානයට වාසභවන වූ උරාකාමි නමැති උප නාගරික ප‍්‍රදේශයට ඉහලිනි.

දෙවන ලෝක යුද්ධය තුල දී බොහෝ අපරාධ සිදුකරන ලද්දේ වුවත්, ලක්ෂ ගනනකගේ ජීවිත මිහිපිටෙන් අතුගා දමමින් - මෙයින් බහුතරය සිවිල් වැසියන් ය- සිදුකරන ලද සාහසික ම අපරාධයන්ගෙන් දෙකකි හිරෝෂිමාවට හා නාගසාකියට බෝම්බ හෙලීම. ඒවා වනාහි ඇමරිකානු මිලිටරිවාදයේ නිර්දය භාවයට හා විනාශකාරී හැකියාවට දෙස් දෙන, ලොවපුරා වැඩකරන ජනතාවගේ මතකයෙන් ගිලිහී යන්නට ඉඩ නො දිය යුතු සිද්ධීන් ය.

දෙවන කොටස: ඇමරිකානු අධිරාජ්‍යවාදය හා පරමානු බෝම්බය

හිරෝෂිමා හා නාගසාකි ජනතාවට සිදු කරන ලද විනාශය දීර්ඝ කාලයක් තිස්සේ ඇමරිකානු ආන්ඩුව විසින් සාධාරනීකරනය කර ඇත්තේ, එය “ඇමරිකානු ජීවිත ආරක්ෂා කිරීම" සඳහා අවශ්‍ය වීය යන පදනමෙනි. පසුගිය වසර හැට තිස්සේ අනාවරනය වී ඇති සාක්ෂි මඟින් මෙම බොරු තර්කය දැඩි ලෙස හෙලිදරව්කොට තිබුන ද එම තර්කය නිල වසයෙන් අනුදත් ඓතිහාසික සත්‍යය බවට පත් වීම අවසන් ව නැත.

එක් උදාහරනයක් දක්වතොත්, 2005 අගෝස්තු 5 දින වෝල් ස්ට්‍රීට් ජර්නලයේ කතුවැකිය ලීවේ, ටෲමන් පරිපාලනය ගනන් බලන ලද පරිදි, “200,000 සිට මිලියනයක් අතර ජීවිත හානි සිදු කල හැකි ව තිබුනු " ජපානයට එරෙහි ආක්‍රමනයක් පරමානු බෝම්බ හෙලීම මඟින් වැලකී ගිය බව යි. තව ද “ගොඩබිම් ආක්‍රමනයක් ජපනුන් මිලියන ගනනින් මරා දමනු ලැබිය හැකි ව තිබිනි." මෙම ගනන් බැලීම් වලට අනුව, බොහෝ දෙනා සිවිල් වැසියන් වූ, පරමානු බෝම්බ හේතුවෙන් කිව නො හැකි වේදනාවට හා මරනවලට පාත්‍ර වූ ජපාන පුරවැසියන් ලක්ෂ ගනනක්, පුලුවන් තරමක් ජීවිත රැකගැනීම වෙනුවෙන් සිය ජීවිත කැප කල හ.

යමෙක් මෙම තර්කයේ පූර්වායවයන් පිලිගත්ත ද එය මෙම නාගරික මධ්‍යස්ථාන සමූලෝත්පාඨනයේ මූලික නෛතික හා සදාචාරාත්මක සාපරාධිත්වය අඩු කරන්නේ නැත. එහෙත් එම පූර්වායවයන් ද මුලුමනින් ම මිථ්‍යා ප්‍රබන්ධය. හුදෙක් තක්සේරු කරන ලද මරන අතිශයෝක්තියට නංවනු ලැබුවා පමනක් නො වේ; 13 පරමානු බෝම්බ හෙලීමට එක්සත් ජනපද ආන්ඩුව තීන්දු කිරීමට බලපෑ ප්‍රධාන හේතු වලට, ඇමරිකාව විසින් සිදුකල හැකිව තිබූ ජපාන ආක්‍රමනයක් වැලැක්වීම සමඟ මොන ම සම්බන්ධයක් වත් තිබුනේ නැත.

ඕනෑම තීරනාත්මක ඓතිහාසික ප්‍රශ්නයක් මෙන් ම, පරමානු බෝම්බ හෙලීමට ගත් තීන්දුව පිටුපස ද විවිධ සාධක ගනනාවක් ඇති අතර, ඒ සියල්ල මෙහි දී සලකා බැලීම අසීරු ය. අපි මෙහි දී, ඉතා ම මූලික කාරනා හා ලේඛන කිහිපයක් සලකා බැලීමට පමනක් සීමා වන්නෙමු.

මිලිටරි මූලස්ථාන හෝ මිලිටරියට සම්බන්ධ කර්මාන්ත පිහිටා තිබුනත් ප්‍රධාන වසයෙන් සිවිල් නගර වූ බොහෝ සෙයින් අනාරක්ෂිත නගර දෙක මතට පරමානු බෝම්බ හෙලීම සමග, එක්සත් ජනපදය පැසිෆික් කලාපය තුල යුද්ධය ගෙන යමින් සිටි ආකාරය අතර යම් නිශ්චිත අඛන්ඩතාවක් තිබුනු බව මුලින් ම සටහන් කල යුතු ය.

ජපාන ගුවන් අවකාශයේ පාලනය සියතට ගැනීමෙන් පසු, ඇමරිකානු මිලිටරිය වඩ වඩාත් හැරී ගත්තේ, ත්‍රස්තවාදී විධික්‍රම ලෙස පමනක් විග්‍රහ කල හැකි, බිය හා සන්ත්‍රාසය පැතිරවීමේ අරමුනින් සිවිල් වැසියන් මත ඉවබව නැති ප්‍රහාර එල්ල කිරීමට යි. හිරෝෂිමා හා නාගසාකි වලට පෙර එල්ල කල එවැනි ප්‍රහාර පිලිබඳ වඩාත් ම ව්‍යසනකාරී උදාහරනය, 87,000කගේ ජීවිත බිලි ගනිමින්, 1945 මාර්තු 9දා ටෝකියෝවට එල්ල කල ගිනි බෝම්බ ප්‍රහාරය යි. (14) එම ප්‍රහාරය සිදුවූයේ 1945 පෙබරවාරි 13-14 දිනවල ජර්මනියේ ඩ්‍රෙස්ඩන් නගරයට එල්ල කල කුප්‍රකට ගිනි බෝම්බ ප්‍රහාරයෙන් මසක් ගතවන්නටත් පෙරය.

මානවවාදී මවාපෑම් තිබුන ද මෙම ක්‍රියාවන් මඟින් ඇමරිකානු මිලිටරිය ප්‍රදර්ශනය කර සිටියේ, යුද්ධය ගෙන යාමේ දී ඔවුන්ට ද ජර්මනිය හෝ ජපානය මෙන් ම කෘෘර ලෙස ක්‍රියා කල හැකි බව යි. ජනාධිපති හැරී ටෲමන් හා යුද ලේකම් හෙන්රි ස්ටිම්සන් අතර 1945 ජුනි 6 දා, ජපාන සිවිල් වැසියන් සමූල ඝාතනය කිරීමේ ප්‍රශ්නය පිලිබදව ඇමරිකානු ආන්ඩුවේ මතය පිලිබඳ ව ඉගි පල කරන සිත් කාවදින අදහස් හුවමාරුවක් පැවතුනි.

එක්සත් ජනපද ගුවන් හමුදාව ජපාන නගර වලට එක දිගට එල්ල කරමින් සිටි බෝම්බ ප්‍රහාර ගැන තමන් සමහර ප්‍රායෝගික උත්සුකයන් මතු කල බව ස්ටිම්සන් සටහන් කරයි: “යුද්ධයේ ස්වභාවය පිලිබඳ කරුනු දෙකක් උඩ කනස්සල්ලට පත්ව සිටින බව මම (ටෲමන්ට) කීවෙමි. පලමු කරුන, අපරාධ සිදු කිරීමේ දී හිට්ලර් අභිබවා යාමේ කීර්තිය එක්සත් ජනපදයට අයත් වීම මට අවශ්‍ය නො වීම යි. අනෙක, නව ආයුධයේ (පරමානු බෝම්බයේ) ශක්තිය පෙන්වීමට අවශ්‍ය වටපිටාවක් අපට තිබෙන්නට පෙර, ගුවන් හමුදාව ජපානයට පහරදී වනසා දැමිය හැකි බව යි. කොක්හඬලා ප්‍රතිචාර දැක්වූ ඔහු (ටෲමන්) එය අවබෝධ කරගත් බව කීවේ ය." (15) ස්ටිම්සන්ගේ උත්සුකය වූයේ, පරමානු බෝම්බය පාවිච්චි කිරීමට තරම් “සුදුසු වටපිටාවක්", එනම්, ඇති තරම් ජනගහනයක් සහිත හා ප්‍රහාරයට ලක් නො වූ නාගරික මධ්‍යස්ථානයක්, ජපාන නගර වලට සිදු කල ඉවබව නැති විනාශය මඟින් අහිමි කරනු ඇති බව යි. මෙම සංවාදය පෙන්නුම් කරන තවත් දෙයක් වන්නේ, මේ අවස්ථාව වන විට ජපානයේ නගර හිතුමතේ විනාශ කල හැකි තරමට එක්සත් ජනපදය මිලිටරිමය වසයෙන් මුලුමනින් ම ජපානය සිය ග්‍රහනයට ගෙන තිබූ බව යි.

ජපාන ජනතාවට එරෙහි පුලුල් පරිමාන බිය ගැන්වීමේ උපක්‍රමික ආයුධයක් ලෙස (පරමානු) බෝම්බය පාවිච්චි කරන බව, 1945 මැයි 31දා පැවති අතුරු කමිටුවේ රැස්වීමක දී අවධාරනය විය. අතුරු කමිටුව සමන්විත වූයේ, මැන්හැටන් ව්‍යාපෘතියට ඍජු ව සම්බන්ධ ව සිටි රොබට් ඔපන්හයිමර් හා අනෙකුත් විද්‍යාඥයන්, රාජ්‍ය ලේකම් ජේම්ස් බයන්ස් හා යුද ලේකම් ස්ටිම්සන් ඇතුලු ටෲමන් පරිපාලනයේ නිලධාරීන්ගෙනි.

එම කමිටුව අටවන ලද්දේ, පරමානු බෝම්බය භාවිතා කිරීම, අපේක්ෂා කරන ඉලක්ක සහ ඒ හා සම්බන්ධ ගැටලු සලකා බැලීමට ය. “විවිධ වර්ගයේ ඉලක්ක හා ඇතිකල හැකි බලපෑම් පිලිබඳ දීර්ඝ සාකච්ඡාවකින් පසුව (යුද) ලේකම් ස්ටිම්සන් නිගමනය කලේ, අප ජපනුන්ට කිසිදු අනතුරු ඇඟවීමක් නො කල යුතු බවත්, සිවිල් වැසියන් වෙසෙන ප්‍රදේශයක් ඉලක්ක කර ගත නො හැකි බවත්, එහෙත් හැකි පුලුල්ම මානසික බලපෑම හැකි තරම් ජනකායක් මත ඇති කිරීමේ ක්‍රම සොයා බැලිය යුතු බවත් වන අතර ඒ පිලිබඳ ව පොදු එකඟතාවක් පැවතුනි. ආචාර්ය (ජේම්ස්) කොනන්ට්ගේ යෝජනාවක් අනුව ලේකම් වරයා එකඟ වූයේ, විශාල කම්කරුවන් සංඛ්‍යාවක් වැඩ කරන හා කම්කරු නිවාස මඟින් සමීප ව වට වී ඇති තීරනාත්මක යුද කර්මාන්ත මධ්‍යස්ථානයක්, වඩාත් ම සුදුසු ඉලක්කය වනු ඇති බව යි." (16) (අවධාරනය ඈඳිනි)

සිවිල් වැසියන් වෙසෙන පෙදෙසක් අභිමත නො වී ය යන සැඳහුම තිබුන ද කමිටුව එකහෙලා ප්‍රතික්ෂේප කල කරුන වූයේ, කමිටුවේ සමහර විද්‍යාඥයන් නිර්දේශ කල පරිදි බෝම්බය පලමුව හුදු මිලිටරිමය හෝ මිනිසුන් රහිත කලාපයකට හෙලිය යුතු ය යන්න යි. (17)

මැන්හැටන් ව්‍යාපෘතිය වෙනුවෙන් වැඩ කල හෝ එයට සහයෝගය දුන් විද්‍යාඥයන්ගෙන් බොහෝ දෙනෙක් එලෙස කලේ, හිට්ලර් හා නාසි තන්ත්‍රය කෙරෙහි ඔවුන්ට පැවති බද්ධ වෛරය හේතුවෙනි. ව්‍යාපෘතිය මුල දී සාධාරනීකරනය කරන ලද්දේ හිට්ලර් ප්‍රථමයෙන් පරමානු බෝම්බය නිපදවුවහොත් විපාක අත්‍යන්තයෙන්ම ව්‍යසනකාරී වනු ඇත යන පදනම මත යි. එහෙත් එක්සත් ජනපදය න්‍යෂ්ටික තාක්ෂනයේ කෙලපැමිනෙන විට ජර්මනිය පරාජයට පත් ව තිබුනි. එතෙකුදු වුවත්, ටෲමන් පරිපාලනය බෝම්බය හෙලීමට තීරනය කලා පමනක් නො ව එය කලේ ද මහත් ප්‍රමෝදයෙනි. ප්‍රකට ව ඇති පරිදි ටෲමන් ප්‍රකාශ කලේ, තීරනය ගැනීම වෙනුවෙන් තමා එක් රාත්‍රීයක නින්දක් වත් අහිමි කර නො ගත් බව යි. “මෙය ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම දෙය යි" යනුවෙන් අත්ලන්තික් සාගරය හරහා ගමන් කරමින් සිටි ඔහු, හිරෝෂිමා ප්‍රවෘත්තිය අසා ප්‍රකාශ කල බව එක් වාර්තාවක් කියයි. “ඒ සමගම ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ඔහු පැවසුවේ, තමන් මින් පෙර කවරදාකවත් මෙතරම් සතුටුදායක නිවේදනයක් කර නැති බවයි. රැස්කමින් ප්‍රීතිඝෝෂා නැගූ නාවුක කාර්ය මන්ඩලයට ‘අපි ඔට්ටුවෙන් දිනුම්' යයි ඔහු කීවේ ය." (18)

“1945 අගෝස්තුවේ පැවති සුවිශේෂී තත්ත්වයන් තුල පරමානු බෝම්බය භාවිතා කිරීම පෙන්නුම් කලේ, මානසික ව ඉතා සාමාන්‍ය හා ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරාගත් ප්‍රධාන විධායකයෙකුටත්, නාසි ආඥාදායකයා මෙන් ම එය පාවිච්චි කල හැකි බව යි. එපරිද්දෙන් ම, විවිධ වර්ගයේ ආන්ඩු ගැන සදාචාරාත්මක වෙනස්කම් පිලිබඳ උනන්දු වන ඕනෑම අයෙකුට එක්සත් ජනපදය කලේ, ෆැසිස්ට්වාදය හා ප්‍රජාතන්ත්‍රවාදය අතර වෙනස බොඳ කිරීම බව" පෙනී යනු ඇතැයි මෙම ප්‍රපංචය පිලිබඳ ව ඉතිහාසඥ ගේබ්‍රියල් ජැක්සන් සඳහන් කලේ ය. (19)

පරමානු බෝම්බය හා ආධිපත්‍යය සඳහා ඇමරිකානු කඩාවැදීම්

දෙවන ලෝක යුද්ධයට පෙර පොදුවේ පිලිගත හැකි දෙය ව පැවතුනේ, පරමානු බෝම්බය වැනි අවියක් ඕනෑම ශිෂ්ට සමාජයකට පාවිච්චි කල හැක්කේ අතිශයින් ම දුෂ්කර කොන්දේසි යටතේ පමනක් බව යි. අත්‍යන්තයෙන් පිරිහුනු හා සදාචාරාත්මක ව දූෂනය වුනු සමාජයක් විසින් හැර එවැනි ආයුධයක් සිවිල් වැසියනට එරෙහි ව භාවිතා කරතැයි නො සැලකුනි. එහෙත් පරමානු බෝම්බයක් මේ දක්වා භාවිතා කර ඇති එක ම රට බවට එක්සත් ජනපදය පත්ව ඇත. එලෙස ම, එක්සත් ජනපදය එය භාවිතා කලේ මිලිටරිමය අවශ්‍යතාවක් නිසා නො ව, දේශපාලනික හා මූලෝපායික අවශ්‍යතා හේතුවෙනි. සියල්ලටත් වඩා සෝවියට් සංගමය සමඟ පැවති ගැටුමේ දී භාවිතා කරන උපකරනයක් ලෙස ය. පරදුවට තැබුනු පෘථුල උත්සුකතාවන් තේරුම් ගැනීමට 1945 අගෝස්තු 6 හා 9 දිනවල සිද්ධි ඒවායේ ඓතිහාසික සන්දර්භයෙහි තැබීම අවශ්‍ය ය.

1945 මැයි මස දක්වා ම ජර්මනිය අවසන් වසයෙන් යටත් වී නො තිබුනත්, 1939 දී ඇරඹුනු යුරෝපීය යුද්ධය, 1945 වසරේ මුල වනවිට අවසානයකට එමින් තිබුනි. යුද්ධයේ තීරනාත්මක ලක්ෂ්‍යය වූයේ 1944 වසන්තයේ ඇමරිකාව හා බ්‍රිතාන්‍යය, යුරෝපය ආක්‍රමනය කිරීමෙන් පසුව 1943 පෙබරවාරියේ ස්ටැලින්ග්‍රෑඩ් සටනින් ජර්මානුවන් ලද පරාජය යි.

සෝවියට් සංගමය, එක්සත් ජනපදය හා බ්‍රිතාන්‍යය සමඟ මිත්‍ර පාක්ෂික කඳවුරේ සිටියත්, එම කඳවුර තුල ද ගැඹුරු බෙදීම් තිබුනි. සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී පරිහානිය නො තකා සෝවියට් නිලධරය, තවමත් 1917 ඔක්තෝබර් විප්ලවය මඟින් ස්ථාපිත දේපොල සබඳතා මත පදනම් විය. අධිරාජ්‍යවාදී බලවතුන් සමඟ හා වීමට ස්ටැලින් සිය උපරිම උත්සාහය දැරුවත්, බ්‍රිතාන්‍යයේ හෝ ඇමරිකාවේ පාලක ප්‍රභූන් මෙම දේපොල සබඳතාවල පැවැත්මට කිසි විටෙක සහනයක් දුන්නේ නැත.

ඒ අතර ම, ජර්මනිය හා ජපානය යන දෙරටට ම එරෙහි යුද්ධයේ දී එක්සත් ජනපදයට හා බ්‍රිතාන්‍යයට සෝවියට් සංගමයේ උපකාරය අවශ්‍ය විය. ජර්මනිය පරාජය කිරීමේ දී රතු හමුදාව ඉටුකල මූලික ක්‍රියාකලාපයෙහි අර්ථය වූයේ, විශේෂයෙන්ම නැගෙනහිර යුරෝපය තුලදී, සෝවියට් සංගමයට සහන දීමට අනෙක් බලවතුන්ට සිදු වීම යි. 1945 පෙබරවාරියේ පැවති යෝල්ටා සමුලුවේ දී, ජර්මනිය හවුලේ පාලනය කිරීම ඇතුලු ව යුරෝපය තමන් අතර බෙදා ගැනීමට “ප්‍රබලයන් තිදෙනා" එකඟ වූහ. තව ද එක්සත් ජනපද ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩිලානෝ රූස්වෙල්ට්ගේ පරිපාලනයට හැඟී ගියේ, ජපානය සමඟ යුද්ධය ඉක්මන් නිමාවකට ගෙන ඒම සඳහා, සෝවියට් සහභාගීත්වය තීරනාත්මක බව යි. 1941 පටන් සෝවියට් සංගමය හා ජපානය පවත්වාගෙන ගිය පිලිවෙත වූයේ, “අමුතු අපක්ෂපාතීත්වය" යනුවෙන් හැඳින්වුනු දෙය යි. ජපානයේ සගයා වූ ජර්මනිය සමඟ සෝවියට් සංගමය ද සෝවියට් සංගමයේ සගයා වූ එක්සත් ජනපදය සමඟ ජපානය ද යුද්ධයේ නිරත ව සිටි තතු තුල, ජපානය හා සෝවියට් සංගමය 1941 දී නිර්පාක්ෂික ගිවිසුමකට එකඟ වූ අතර එයට අනුව එම දෙරට එකිනෙකාට එරෙහි ව යුද්ධයකට එලඹෙනු නැත.

ජර්මනිය යටත් වීමෙන් “මාස දෙකක් හෝ තුනක් තුල" ජපානයට එරෙහි යුද්ධයට සෝවියට් සංගමය එක් වන්නේ ය යන එකඟතාවට හිලවු ලෙස රූස්වෙල්ට් හා චර්චිල්, සෝවියට් සංගමයට සමහර භෞමික හා වානිජමය සහන දීමට එකඟ වූහ. එම සහනවලට, මොංගෝලියාවේ බොහෝ ප්‍රදේශ ද සෝවියට් අවශ්‍යතාවන්ට තීරනාත්මක යයි සැලැකුනු ජපානය අසබඩ දූපත් හා වරායවල් කිහිපයක ද පාලනය සෝවියට් සංගමයට පැවරීම ඇතුලත් විය.

රූස්වෙල්ට් අප්‍රේල් 12 දා මියගිය අතර 1945 වසන්තය වනවිට ටෲමන් පරිපාලනය ගනන් බලමින් සිටියේ, බලතුලනය එක්සත් ජනපදය දෙසට විතැන් කරගෙන සමීකරනය වෙනස් කිරීමේ ක්‍රමයක් ලෙස පරමානු බෝම්බය අත්පත් කරගැනීමට ය. පරමානු බෝම්බය හිමිකර ගැනීම නිශ්චිත වනතෙක් සෝවියට් සංගමය සමඟ ගැටුමක් ඇතිකර නො ගන්නා ලෙස යුද ලේකම් ස්ටිම්සන්, ජනාධිපතිවරයාගේ මාන්ඩලික ප්‍රධානී ජෙනරාල් ජෝර්ජ් මාෂල් සමඟ පැවති සාකච්ඡාවක දී අනතුරු ඇඟවූ බව 1945 මැයි 13 දින ස්ටිම්සන්ගේ දිනපොත් සටහනේ සදහන් විය.

“මගේ පුද්ගලික අදහස වූයේ, මේ කාලයේ රුසියාව සමඟ ගනුදෙනු කිරීමේ දී අනුගමනය කල යුතු ක්‍රමය නම්, අපගේ කටවල් වසාගෙන ක්‍රියාවන්ට කතාකිරීමට ඉඩ දිය යුතු බව යි... එය තරමක් රලු හා යථාර්ථවාදී ක්‍රමයකට කල යුතු දෙයක් වුවත්, එය වනාහි අප නැවත පෙරමුනට පැමිනවීමේ ක්‍රමයයි. අප පමනට වඩා කතා කොට අපගේ කාරුනිකත්වය ඔවුන්ට පෙන්වීමේ දී පමනට වඩා ත්‍යාගශීලී වී තිබීම නිසා ඔවුන් අපගෙන් පෙරමුන පැහැරගෙන තිබෙනවා. මෙය අපගේ සියලු තුරුම්පු සැබෑවට ම පාවිච්චි කල යුතු අවස්ථාවක් කියා මා ඔහුට කිවුවා. ක්‍රීඩාවේ දී මෝඩ නො වී, ඔවුන් සම්පූර්නයෙන් පරාජය කල යුතු බවත් මා කිවුවා. අපගේ උපකාර හා කර්මාන්ත නොමැති ව ඔවුන්ට පැවතිය නො හැකි අතර සුවිශේෂී ආයුධයක් අපගේ අතට පත් ව තිබෙනු ඇතැ" යි තමන් මාර්ෂල්ට කියූ බව ස්ටිම්සන් ලියයි. (20)

ඊ ලඟ දිනයේ ස්ටිම්සන්, පොට්ස්ඩෑම්හි දී ට්‍රෑමන්, ස්ටැලින් හා චර්චිල් අතර ඉදිරියේ එන හමුව පලමු පරමානු අත්හදා බැලීමට පෙර පැවැත්වීම ගැන කනස්සල්ල පලකලේ ය. “මැන්චුරියාව, ආතර් වරාය හා උතුරු චීනයේ විවිධ පෙදෙස් සමඟ රුසියාව පවත්වන සබඳතා මෙන් ම, චීනයට අප සමඟ පවතින සබඳතා ගැන ද රුසියාව හා කතා කිරීම අවශ්‍ය විය හැක. එවැනි ඕනෑම පැටලිලි සහිත ප්‍රශ්න මාලාවක දී එස්-1 (මෙය පරමානු බෝම්බයට භාවිතා කල සංකේත නාමය යි) රහස, ප්‍රමුඛ සාධකය වනු ඇති අතර, අප තවමත් නො දන්නා දෙය වන්නේ, හමුව අවසන් වනතෙක් එම ආයුධය අප අතට පත් ව තිබෙනු ඇති ද යන්න යි. වැඩිකල් නොයා එය අප අතට පත්වනු ඇතැයි අප සිතන නමුත් අපගේ ප්‍රධාන තුරුම්පුව අතේ නොමැති ව රාජ්‍යතාන්ත්‍රික සූදුවේ දී වඩා වටිනා දේ පරදුවට තැබීම භයානක දෙයක් බව පෙනේ" යයි ස්ටිම්සන් ලීවේ ය. (21)

අවසානයේ දී ට්‍රෑමන්, පොට්ස්ඩෑම් සමුලුව සති කිහිපයකට කල්දමා ගත්තේ මැන්හැටන් ව්‍යාපෘතියට වඩා වැඩි කාලයක් ලබාගැනීමට ය. සෝවියට් සංගමයේ හිටපු තානාපතියෙකු වූ ජෝසෆ් ඩේවිස්, මැයි 21 දා ටෲමන් සමඟ පැවති හමුවක් ගැන වාර්තා කලේ ය. “ඔහුට (ටෲමන්ට) ජූලි මාසය වනතෙක් පොට්ස්ඩෑම් හමුව අවශ්‍ය නො වන බව කීවා. ඔහු අත ඔහුගේ ගනන් හිලවු (*) තිබුනා. පරමානු බෝම්බ අත්හදා බැලීම ජුනි මාසයේ පැවැත්වීමට නියමිත ව තිබුනත් ජූලි තෙක් කල් දමනු ලැබින." “ගනන් හිලවු" යන්නෙන් තමන් අදහස් කලේ කුමක්දැයි ඩේවිස් පිටුවේ පහල සටහනක ලියා තැබීය. “පාදක සටහන (*): පරමානු බෝම්බය. ඔහු (ටෲමන්) මට නෙවාඩාහි පරමානු බෝම්බ පරීක්ෂනය ගැන කීවා. එය අතිශය රහසිගත ව තබාගන්නා ලෙස ඉල්ලා සිටියා." (22)

මේ අනුව පෙනී යන්නේ ටෲමන් පරිපාලනයේ නිලධාරීන්, සෝවියට් සංගමය සමඟ ගනුදෙනුවල දී පරමානු බෝම්බය “ප්‍රධාන තුරුම්පුව" බව වටහාගෙන සිටි බව යි. අත්හදා බැලීමේ සාර්ථකත්වය පිලිබඳ ව පැවති අවිනිශ්චිතතාව නිසා රාජ්‍ය ලේකම් ජේම්ස් බයන්ස් සමඟ ටෲමන් පොට්ස්ඩෑම් වෙත ගියේ, ජපානයට එරෙහි යුද්ධයට සහභාගි වන බවට සෝවියට් සංගමයෙන් පොරොන්දුවක් යලි ලබාගැනීමේ ඉලක්කය ඇති ව ය. “(පරමානු බෝම්බය) අත්හදා බැලීම අසාර්ථක වුවහොත්, අප විසින් ජපානය භෞතික ව අල්ලා ගැනීමට පෙර (සෝවියට් ආක්‍රමනයක් හරහා) ජපානය යටත් කර ගැනීම වඩා වැදගත් වනු ඇත" ටෲමන් සිය දිනපොතේ ලිවී ය. (23)

පොට්ස්ඩෑම් සමුලුව නිල වසයෙන් ඇරඹීමට ටිකකට පෙර, ජූලි 16 දා පරමානු බෝම්බය සාර්ථක ව අත්හදා බැලීම, ටෲමන් පසු කලෙක “ඒ කොල්ලන්ට මිටි පහර දීමට හැකි" දෙය ඔහුට ලබා දුන්නේ ය. (24) පොට්ස්ඩෑම් හි දී ටෲමන්ගේ ලීලාව සම්පූර්නයෙන් වෙනස් වූ අතර ස්ටැලින් සමඟ සාකච්ඡාවල දී ඔහු වඩ වඩා ආක්‍රමනශීලී හා උද්ධච්ඡ විය. පොට්ස්ඩෑම් සමුලුවේ ආරම්භක දවස්වල ද ටෲමන් උත්සාහ කරමින් සිටියේ, ජපානයට එරෙහි යුද්ධයට හවුල් වන බවට සෝවියට් සංගමයෙන් සහතිකයක් ලබාගැනීමට යි. එහෙත් පරමානු බෝම්බය භාවිතා කිරීමෙන්, බොහෝ ඈත සෝවියට් ආක්‍රමනය දියත් වීමට පෙර හා ජපානය, ස්ටැලින් සමඟ වෙනම ගිවිසුමකට එලැඹීමට පෙර, යුද්ධය ක්ෂනික අවසානයකට ගෙන එනු ඇතැයි ටෲමන් පරිපාලනයේ නිලධාරීන් අපේක්ෂා කල බව පැහැදිලි ය.

නිශ්චිත ව ම රාජ්‍ය ලේකම් බයන්ස්ගේ ආස්ථානය වූයේ මෙය යි. “පොට්ස්ඩෑම්හි දී ටෲමන්ගේ ප්‍රධාන අරමුන රුසියාව යුද්ධයට ඈඳා ගැනීම" යයි ටෲමන් කියා තිබුනේ ය යනුවෙන් නාවික ලේකම් ජේම්ස් ෆොරෙස්ටල් කල ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් “ජනාධිපතිගේ අදහස් වෙනස් වුනු බව බොහෝසෙයින් පැහැදිලි ය. ඇත්තෙන් ම මගේ අදහස නම් එය නෙවෙයි" යනුවෙන් බයන්ස් පැවසී ය. (25)

නිර්පාක්ෂික බලයක් තුලින් හෝ එක්සත් ජනපදය හරහා වෙනුවට, සෝවියට් සංගමය සමඟ ගනුදෙනුවකට එලැඹ එය හරහා සාමය සඳහා ජපානය විසින් ආයාචනා කරනු ඇතැයි ටෲමන් හා බයන්ස් කනස්සල්ලට පත් වූහ. ඇමරිකානුවන් විසින් අල්ලාගනු ලැබූ ජපාන සන්නිවේදන පනිවුඩ මඟින් මෙම කනස්සල්ල දැඩි කරන ලදී. උදාහරනයක් ලෙස, අල්ලාගත් එක් ජපාන පනිවුඩයක රාජ්‍යතාන්ත්‍රික සාරාංශය මෙසේ සටහන් කරයි: “ජූලි 11 දා (ජපාන) විදේශ ඇමති ටෝගෝ පහත දැක්වෙන ‘ඉතා හදිසි' පනිවුඩය (සෝවියට්) තානාපති සාටෝ වෙත යැවී ය: ‘රටතුල ද ඉන් පිටත ද ජපානය මුහුන පා සිටින පීඩාකාරී තත්ත්වය නිසා යුද්ධය අවසන් කිරීම පිලිබඳ අදහස අපි රහසේ සලකා බලමින් සිටිමු. එම නිසා, කලින් උපදෙස් දී ඇති පරිදි ඔබ (සෝවියට් විදේශ ඇමති) මොලටොව් සමඟ සාකච්ඡා කරන විට, හුදෙක් රුසියාව හා ජපානය අතර සබඳතා ප්‍රතිස්ථාපනය කෙරෙහි පමනක් නො ව, යුද්ධය අවසන් කිරීමට රුසියාව පාවිච්චි කිරීමේ හැකියාව ගැන ඔහුගෙන් විපරම් කර බැලිය යුතු ය." රුසියානු ආක්‍රමනයක් වැලැක්වීම සඳහා ජපානය රුසියාවට බොහෝ සහන දීමට කැමැත්තෙන් සිටි බව පනිවුඩය පෙන්වා දෙයි. (26) මේ අවස්ථාවේ දී ද ජපානය බලාපොරොත්තු වූයේ සෝවියට් ආක්‍රමනයක් වලක්වා ගත හැකි බව යි.

රාජ්‍ය ලේකම් ජේම්ස් බයන්ස්ගේ සහායක වෝල්ටර් බ්‍රවුන්ගේ ජූලි 24 දින දරන වැදගත් සටහනක් මෙසේ වාර්තා කරයි: “තවමත් කාලය අපෙක්ෂා කරමින් ජේඑෆ්බී (බයන්ස්) විශ්වාස කලේ, පරමානු බෝම්බයෙන් පසුව ජපානය යටත් වනු ඇති බවත්, රුසියාව ගොදුර කරා පැනීමට පැකිලෙනු ඇති බවත්, ඒ වෙනුවට, රුසියාව, චීනයට එරෙහි උත්සුකතාවන් සඳහා අවධානය යොදන තත්ත්වයකට පත්වනු ඇති බවත් ය." (27) හිරෝෂිමාවට බෝම්බය හෙලීමට දවස් තුනකට පෙර අගෝස්තු 3දා බ්‍රවුන් මෙසේ ලියයි: “රැස් ව සිටි අගුස්ටා/ජනාධිපති, ලීහි, ජේඑෆ්බී (බයන්ස්) ජපනුන් (එසේමැයි) සාමය අපේක්ෂා කරන බවට එකඟ වූහ (එසේමැයි)... ජනාධිපතිවරයා කනස්සලු වූයේ ජාපනය, ස්වීඩනය වැනි රටක් හරහා වෙනුවට රුසියාව හරහා සාමය සඳහා ආයාචනා කරනු ඇති බවට යි." (28)

මේ හා අනෙකුත් ලේඛන පැහැදිලි කරන්නේ, යුද්ධය සෝවියට් සංගමයට වාසිදායක ආකාරයකට අවසන් වනු ඇති බව පමනක් නො ව, ජපානය සාමය සඳහා ආයාචනා කිරීමට වඩා ආසන්න ව සිටියේ ය යන්න ද ඇමරිකානු නායකයන් සැලකිල්ලට ගත් බව යි. ගාර් ඇල්පෙරොවිට්ස් ලියූ පරමානු බෝම්බය භාවිතා කිරීමට ගත් තීරනය නමැති කෘතිය තුල, ජපානයේ යටත් වීම සඳහා “පියවර දෙකේ" න්‍යායක් පිලිබඳ ව ඒත්තු ගන්වනසුලු කරුනක් ඉදිරිපත් කරයි. ඇල්පෙරොවිට්ස් පෙන්වා දෙන්නේ, අවසානයේදී අගෝස්තු 8 දා සිදු වූ සෝවියට් ආක්‍රමනයේ හා අධිරාජයාගේ තත්ත්වයට තර්ජනයක් එල්ල නො වනු ඇතැයි ජපාන රජයට සහතික වීමේ සංයෝජනයක්, ආක්‍රමනයකින් හා පරමානු බෝම්බය භාවිතා කිරීමකින් තොර ව යුද්ධය අවසානයකට ගෙන එනු ඇති බව යි.

1945 අප්‍රේල් 29 දා ඒකාබද්ධ මාන්ඩලික ප්‍රධානීන් වෙත ඒකාබද්ධ රහස් තොරතුරු කමිටුව ඉදිරිපත් කල වාර්තාවක නිගමනය වූයේ හරියට ම මෙය යි: “ගුවන් හා මුහුදු බාධකවල වැඩිවන බලපෑම්, මූලෝපායික බෝම්බ හෙලීම් මඟින් වැඩි වැඩියෙන් ඇති කරන හා සමුච්චය වන විනාශය සහ (යලි මෙහෙයවීම පිලිබඳ ගම්‍යයන් ද සමඟින්) ජර්මනියේ ඇදවැටීම (නියත පරාජයක් වැලැක්විය නො හැකි ය යන්න) වසර තුල පැතිර යන බව තහවුරු කල යුතු ය... අත්හැර දමන ලද සාධක ද සමඟින් සෝවියට් සංගමය යුද්ධයට ඇතුලු වීම, බොහෝ ජපනුන්ට එක්වර ම ඒත්තු ගන්වනු ඇත්තේ පරාජය නියත බව යි... ජපාන ජනතාව මෙන් ම ඔවුන්ගේ නායකයන් ද.. අත්‍යන්ත පරාජයක් නො වැලැක්විය හැකි බව හා කොන්දේසි විරහිත යටත් වීමක් (අධිරාජයා ඉවත් කිරීමෙන් අර්ථවත් වන) ජාතික පරිමාන සමූලඝාතනයක් ගම්‍ය නො කරන බවට ඒත්තු ගන්වනු ලැබිය හැකි...නම්... යටත් වීමක් ඉතා ඉක්මනින් සිදු වනු ඇත." (29)

බයන්ස්ගේ උපදෙස් යටතේ, කොන්දේසි විරහිත ව යටත් වන ලෙස ජපානයට නිකුත් කල අවසන් නිවේදනයක් වන පොට්ස්ඩෑම් ප්‍රකාශනයට, වචන ඇතුලත් කරන ලද්දේ අධිරාජයාට සහතිකයක් නො දෙන ආකාරයට යි. ඊට අමතර ව, එක්සත් ජනපදය හා බ්‍රිතාන්‍යය, ප්‍රකාශනයට අත්සන් කිරීම සඳහා සෝවියට් සංගමයට ආරාධනා නො කිරීමට තීරනය කල හ. එක් අතකින් මෙයින් පැහැදිලි වූයේ, එක්සත් ජනපදය හා බ්‍රිතාන්‍යය, ජපාන යටත් වීමක් සඳහා තමන්ගේ ම මාවතක් අනුගමනය කල බව යි. අනෙක් අතට එමඟින්, සෝවියට් ආක්‍රමනයක තර්ජනය සැක සහිත බවට පත් කල අතර, අවසන් සෝවියට් මැදිහත් වීමක් පිලිබඳ ජපාන බලාපොරොත්තුවලට දිගට ම තියෙන්නට හරිනු ලැබින. පොට්ස්ඩෑම් ප්‍රකාශනය ජපානය විසින් ප්‍රතික්ෂේප කිරීම නිශ්චිත කල එය, පරමානු බෝම්බය භාවිතයට මාවත විවෘත කලේ ය. (30)

තව ද ඇමරිකානු හමුදාවේ ජපාන ආක්‍රමනය සඳහා නොවැම්බරයට දින නියම කරනු ලැබිනි. මූලික වසයෙන් ඇමරිකානු ආන්ඩුව කල් තියාම පරමානු බෝම්බය හෙලන ලද්දේ, ආක්‍රමනයක අවශ්‍යතාව වැලැක්වීමට නම්, ඒ වනවිට ජපානය මුහුන දී සිටි අසීරු තත්ත්වය පිලිබඳ ඇති තරම් රහස් තොරතුරු වාර්තා මධ්‍යයේ, බෝම්බය හෙලීමට තීරනය ගැනීම සඳහා ටෲමන් තව කල් නො ගන්නා ලද්දේ මන්දැයි විස්තර කල නො හැක.

මෙහි දී ඉස්මතු වන තවත් ප්‍රශ්නයක් වන්නේ, හිරෝෂිමාවේ සිදුවූයේ කුමක්දැයි තේරුම් ගෙන ප්‍රතිචාර දැක්වීම සඳහා ජපානයට අවස්ථාවක් ලැබීමට පෙර, එතරම් ඉක්මනින් දෙවන බෝම්බය හෙලන ලද්දේ මන් ද යන්න යි. යලිත් කේන්ද්‍රීය ප්‍රශ්නය වන්නේ සෝවියට් ආක්‍රමනය යි. නාගසාකි නගරයට බෝම්බය හෙලන ලද්දේ සෝවියට් ආක්‍රමනයෙන් දිනකට පසුව ය. “නාගසාකියට බෝම්බය හෙලූ අගෝස්තු 9 දා ටෲමන් ප්‍රකාශ කලේ රුමේනියාව, බල්ගේරියාව හා හංගේරියාව ‘කිසිදු එක් බලවතකුගේ බලපෑම් ක්ෂේත්‍රයන් නො විය යුතු බව ය" යයි ඇල්පෙරොවිට්ස් සටහන් කරයි. (31)

නැගෙනහිර යුරෝපය හා නැගෙනහිර ආසියාව තුල සෝවියට් අනසක කප්පාදු කිරීමේ එක්සත් ජනපද ක්ෂනික අවශ්‍යතා සමඟ බැඳී තිබුනේ, යුද්ධය අවසන් වීමෙන් පසුව ඇමරිකාවේ ආධිපත්‍යධාරී තත්ත්වය පිහිටුවීම යි. “සියලු පාර්ශව විසින් බිහිසුනු ලෙස දියත් කල යුද්ධයක බිහිසුනු අවසානයක් යන එකිනෙක හා බැඳුනු අවධානයන් දෙකක සංයෝජනයක් තුලින්, එක්සත් ජනපදය අවසානයේ ඇමරිකානු ආධිපත්‍යයට දොර හරින සංයෝජනය සොයා ගත්තේ ය" යයි ලියමින් ඉතිහාසඥ තෝමස් මැක්කෝමික් ඉතා හොඳින් සාරාංශගත කලේ එය යි.

මෙම ආධිපත්‍යධාරී ඉලක්කය කරා ලඟා වීමට හිරෝෂිමා හා නාගසාකි යන දෙක බිලි ගැනීම අවශ්‍ය විය. “සමහර විද්‍යාඥයන් රෙකමදාරු කර තිබුනු පරිදි, මිනිසුන් නොමැති ඉලක්ක මතට පරමානු බෝම්බය හෙලීමේ, කලින් සැලසුම් කල දෙයින් ප්‍රදර්ශනය එය සිදු නො වනු ඇත. එමඟින් බෝම්බයේ බලය ප්‍රදර්ශනය කල හැකි වුවත්, ඉමහත් බලය පාවිච්චි කිරීම සදහා ඇමරිකාවට ඇති කැමැත්ත එමඟින් ප්‍රදර්ශනය කල නො හැක. එබැවින්, 1945 මධ්‍ය වසන්තයේදී ජපානයේ සාමය යෝජකයින් ලුහුබැඳ යාමට ඇමරිකාව දැක්වූ අකැමැත්ත පසුපස පැවති එක් කාරනයක් නම්, පරමානු බෝම්බය පාවිච්චි කිරීමේ අවස්ථාව අහිමි වීමට පෙර යුද්ධය අවසන් වීම එක්සත් ජනපදයට අවශ්‍ය නො වීම යි" යනුවෙන් මැක්කෝමික් සටහන් කරයි. (32)

විශේෂයෙන් ම දෙවන ලෝක යුද්ධය සම්බන්ධයෙන් ඇමරිකානු පාලක පන්තිය දැක්වූ ආන්තික නිර්දය භාවය ගැන, ඇමරිකානු ජනතාවගේ පැත්තෙන් එක්තරා නොමේරූ කමක් පවතී. එනම්, ඇමරිකානු මාධ්‍ය හා දේශපාලන සංස්ථාපිතය විසින්, යුද්ධය වනාහි ෆැසිස්ට්වාදයට හා කෘෘර පාලනයට එරෙහි ව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා කරන ලද ශ්‍රේෂ්ඨ යුද්ධයක් ලෙස දීර්ඝ කාලයක් තිස්සේ ඉදිරිපත් කරනු ලැබ තිබීම යි. ඇත්ත වසයෙන් ම එක්සත් ජනපදය යුද්ධයට ඇතුල්වීමට ද එය කරගෙන යාමේ දී කල සියලු ක්‍රියා පිටුපස පැවති මූලික අභිප්‍රේරනය ද වූයේ තමා ලෝකයේ ආධිපත්‍යධාරී හා අනභියෝගී බලවතා ලෙස පිහිටුවා ගැනීම යි. මෙම ඉලක්කය කරා යාමේ දී ලක්ෂ ගනනක් ජපන් ජාතිකයන්ගේ ජීවිත සුලුපහේ වැදගත් කමක් සහිත දෙයක් විය.

තුන්වන කොටස: ඇමරිකානු මිලිටරිවාදය හා අද දිනයේ න්‍යෂ්ටික තර්ජනය

ජනාධිපති හැරී ට්‍රෑමන් පාලනය විසින් ජපානයට එරෙහි ව පරමානු බෝම්බය පාවිච්චි කිරීමට ගත් තීරනය අභිප්‍රේරනය කරන ලද්දේ, දේශපාලන හා මූලෝපායික සලකා බැලීම් මගිනි. සියල්ලටත් වඩා පරමානු බෝම්බය එල්ල කිරීමෙහි අර්ථය, පශ්චාත් යුද කාලපරිච්ඡේදය තුල එක්සත් ජනපදයේ අවිවාදිත ආධිපත්‍යය සහතික කිරීමයි.

යුද්ධයට ඇමරිකාව කල මැදිහත් වීම පිටුපසින් පැවති මූලික ගාමක බලය ද මෙම අභිප්‍රේරනයන් ය. බොහෝ කාලයක් තිස්සේ ඇමරිකානු ජනතාවට දෙවන ලෝක යුද්ධය ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ, ෆැසිස්ට්වාදයට හා අත්තනෝමතික පාලනයට එරෙහි ව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා කල “හොඳ යුද්ධයක්" ලෙස යි. මිලියන ගනන් ඇමරිකානුවන් යුද්ධය දැකගත්තේ, හිට්ලර්වාදී ෆැසිස්ට්වාදයට හා ජපාන මිලිටරිවාදයට විරුද්ධ සටනක් ලෙස බවට සැකයක් නැතත්, යුද්ධය කරා ඔවුන් ඇද දැමූ නායකයන්ගේ අරමුනු මහජන අවශ්‍යතාවන්ට ඉඳුරා ම වෙනස් විය. ඇමරිකානු පාලක පන්තිය දෙවන ලෝක යුද්ධයට අවතීර්න වුයේ, සිය ගෝලීය අරමුනු සුරක්ෂිත කරගැනීමේ අටියෙනි. එක්සත් ජනපදය තුල ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී තන්ත්‍රයේ දේශපාලනික ස්වභාවය, එහි ෆැසිස්ට් එදිරිවාදීන්ගෙන් බොහෝසෙයින් වෙනස් වුනු නමුත් එක්සත් ජනපදය යුද්ධයෙන් අපේක්ෂා කල අරමුනු අධිරාජ්‍යවාදී බවින් අඩු නො වී ය. අවසාන විග්‍රහයේ දී, එක්සත් ජනපදය තම අරමුනු කරා ලඟා වීමට අනුගමනය කල පරමානු බෝම්බය භාවිතය ද ඇතුලු අත්‍යන්ත නිර්දය භාවය, සාරාත්මක වසයෙන් ගලා ආවේ මෙම සාධකයෙනි.

පරමානු බෝම්බය භාවිතා කිරීම මඟින්, සෝවියට් සංගමය සමඟ වැඩෙන ගැටුමේ බල තුලනය තමන්ගේ පැත්තට හරවා ගැනීමට ඇමරිකානු ආන්ඩුව අපේක්ෂා කලේ ය. එහෙත් පරමානු බෝම්බයෙහි ඇමරිකානු ඒකාධිකාරය පැවතුනේ ටික කලක් පමනි. 1945 අගෝස්තු 6 දා හිරෝෂිමාව මත බෝම්බය හෙලීමට සෝවියට් සංගමය ප්‍රතිචාර දැක්වූයේ, තමන්ගේ ම පරමානු බෝම්බ ව්‍යාපෘතියකට සම්පත් ක්ෂනික ව හරවා යවමිනි. 1949 දී සෝවියට් සංගමය තම ප්‍රථම පරමානු බෝම්බය අත්හදා බැලී ය.

එක්සත් ජනපද පාලක ප්‍රභූවේ හා මිලිටරි සංස්ථාපිතයේ කොටස් තවමත් අපේක්ෂා කලේ, පරමානු බෝම්බය සැබෑ මිලිටරිමය තත්ත්වයන්හි දී තමන්ට භාවිතා කල හැකි බව යි. 1950 දී කොරියානු යුද්ධය කාලයේ චීනයට එරෙහි ව න්‍යෂ්ටික ආයුධ භාවිතා කරන බවට ට්‍රෑමන් තර්ජනය කල අතර, ජෙනරාල් ඩග්ලස් මැක්ආතර්, කොරියාව හා මැන්චුරියාව අතර කොරියානු දේශසීමා ප්‍රදේශයට පරමානු බෝම්බ කිහිපයක් හෙලීමට මිලිටරියට අවසර දෙන ලෙසට ආන්ඩුව දිරිගැන්වීය. අවසානයේ මෙම යෝජනාවන් ප්‍රතික්ෂේප කරන ලද්දේ, පරමානු බෝම්බය භාවිතා කිරීම සෝවියට් සංගමය සමඟ න්‍යෂ්ටික ගැටුමක් අවුලුවාලනු හැකි ය යන බිය නිසාය.

1952 වසරේ පසුභාගයේ මුල් වරට අත්හදා බැලූ, වඩා බලසම්පන්න හයිඩ්‍රජන් බෝම්බය වැඩි දියුනු කිරීමත් සමඟ එක්සත් ජනපදය තම න්‍යෂ්ටික වාසිය පුනස්ථාපනය කර ගැනීමට බලාපොරොත්තු විය. නැගෙනහිර යුරෝපයේ සෝවියට් පාලනය “හකුලුවාලීම" ඇතුලු සෝවියට් සංගමයට විරුද්ධ ව වඩා ආක්‍රමනශීලී පිලිවෙතක් අනුගමනය කරන බවට පොරොන්දු වෙමින් 1953 දී රිපබ්ලිකානු පක්ෂයේ අයිසන්හවර් පාලනය බලය අත්කර ගත්තේය. “අප තෝරා ගන්නා තැන් වලට ක්ෂනික ව ප්‍රතිප්‍රහාර දීමේ විශාල හැකියාවක් සහිත ව", එක්සත් ජනපදය “ආක්‍රමනයක් වලක්වනු" ඇතැයි, 1954 ජනවාරියේ රාජ්‍ය ලේකම් ජෝන් ෆොස්ටර් ඩලස් පැවැත්වූ කතාවක දී කියා සිටියේ ය. “ප්‍රතිප්‍රහාර දීමේ විශාල හැකියාව" පිලිබඳ මෙම පොරොන්දුව අර්ථකථනය කරන ලද්දේ, කොරියානු යුද්ධය හා පසුව පටන්ගත් වියට්නාම් යුද්ධය වැනි ප්‍රාදේශීය යුද්ධවලට ප්‍රතිචාර ලෙස න්‍යෂ්ටික ආයුධ භාවිතා කිරීමේ තර්ජනයක් ලෙස යි.

එහෙත් 1953 අගෝස්තුවේ දී සෝවියට් සංගමය තම පලමු හයිඩ්‍රජන් බෝම්බය අත්හදා බැලූවිට, මෙම න්‍යෂ්ටික වාසිය යලි අවසන් විය. න්‍යෂ්ටික යුද්ධයක දී “අන්‍යොන්‍ය ව සහතික කල විනාශයක" කොන්දේසි නිර්මානය කල හැකියාවක් රටවල් දෙක ම ක්ෂනික ව වර්ධනය කර ගත් හ.

මෙම කාලපරිච්ඡේදය මෙන් ම ඉන් පසුව ගත වූ දශක කිහිපය පුරා දේශපාලන සංස්ථාපිතය තුල සෝවියට් සංගමය හා පරමානු බෝම්බයට සම්බන්ධ පිලිවෙත අරබයා අරගලයක් කෙරීගෙන ගියේය. න්‍යෂ්ටික යුද්ධයක තර්ජනය ඉස්මතු වෙද්දී පවා, ඇමරිකානු මිලිටරි බලය මත කිසිදු බාධාවකි නො ඉවසන සැලකිය යුතු ස්ථරයක් ඇමරිකානු පාලක පන්තිය තුල දිගටම සිටියේ ය.

ඩිමොක්‍රටික් වේවා, රිපබ්ලිකන් වේවා, කිසිදු පශ්චාත් හිරෝෂිමා/නාගසාකි පාලනයක් න්‍යෂ්ටික යුද්ධ විකල්පය කිසිදා බැහැර කලේ නැත. ට්‍රෑමන්ගේ යුද ලේකම් හෙන්රි ස්ටිම්සන් “ප්‍රධාන තුරුම්පුව" යනුවෙන් හැඳින්වූ දෙය, අවශ්‍ය වුවහොත් භාවිතයට ගැනීම සඳහා සූදානමේ තබා තිබුනි. 1962 දී කෙනඩි පරිපාලනය, කියුබානු මිසයිල අර්බුදය අරබයා, සෝවියට් සංගමය සමඟ න්‍යෂ්ටික යුද්ධයක් ඇරඹීමේ අද්දරට ම පැමිනියේ ය.

1970 ගනන්වල දී ආර්ථික තත්ත්වය පිරිහී යන තතු තුල, සෝවියට් සංගමය කෙරෙහි වඩා ආක්‍රමනශීලී දිශානතියක් වෙනුවෙන් පෙනී සිටි අය ප්‍රමුඛස්ථානයට පැමිනීමට පටන් ගත් හ. ජිමී කාටර්ගේ ඩිමොක්‍රටික් පක්ෂ පාලනය යටතේ ඇරඹුනු මෙය, 1980 ගනන්වල දී රීගන් පරිපාලනය යටතේ උත්සන්න විය. ආයුධ වැඩි වර්ධනය කිරීම යලි ඇරඹූ රීගන්, 1972 බැලස්ටික් මිසයිල විරෝධී (ඒබීඑම්) ගිවිසුම මඟින් වැලැක්වීමට නියමිත වූ වර්ගයේ ආරක්ෂක මිසයිල - ඊනියා “තාරකා යුද්ධය" නමින් හඳුන්වන ලද්දේ මෙය යි- වර්ධනය කරමින් ප්‍රහාරක න්‍යෂ්ටික වාසියක් ලබා ගැනීමට ක්‍රම සෙවීය. සාර්ථක මිසයිල ආරක්ෂන පද්ධතියක් එක්සත් ජනපදයට න්‍යෂ්ටික අවි පලමුව භාවිතා කිරීමේ හැකියාව ලබා දෙනු ඇති අතර එරටට එල්ල කෙරෙන ඕනෑම ප්‍රතිප්‍රහාරයක් බිම හෙලිය හැකි විය.

1991 දී සිදු වූ සෝවියට් සංගමයේ ස්වයං-විනාශයත් සමඟ ඇමරිකානු පාලක පන්තිය, අලුත් එකඟතාවකට පැමිනියහ. එනම් පූර්ව-භංග යුද්ධය හා මිලිටරි බලය යොදාගෙන ඇමරිකානු අවශ්‍යතා තහවුරු කරගැනීම පදනම් කර ගැනීමයි.

ගිවිසුම් අඩුවෙද්දී බෝම්බ වැඩි වේ

ඇමරිකානු මිලිටරිවාදයේ පශ්චාත්-සෝවියට් පුපුරා යාම ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ගේ ජනාධිපතිත්වය යටතේ සුවිශේෂී භයානක රූපයක් අත් කර ගත්තේය. බලයට පත් තැන් පටන් ඇමරිකානු මිලිටරිමය හැකියාව ප්‍රසාරනය කිරීම සඳහා දෙයාකාර මූලෝපායක් බුෂ් පරිපාලනය විසින් වර්ධනය කර ඇත. එකක්, එක්සත් ජනපදයට මිලිටරිමය ලෙස කල හැකි හෝ නො හැකි දේ ගැන සීමා පනවන කිසිදු ජාත්‍යන්තර සම්මුතියක් හෝ ගිවිසුමක් එක හෙලා ප්‍රතික්ෂේප කිරීම යි. අනෙක, අනාගත යුද්ධවල දී පාවිච්චිය සඳහා සූදානම් වීමට, න්‍යෂ්ටික තාක්ෂනය ද ඇතුලු මිලිටරි තාක්ෂනය වැඩිවර්ධනය කිරීමට එය පියවර ගැනීමයි.

ක්ලින්ටන් පරිපාලනය කලින් අත්සන් කොට තිබුනු පුලුල් පර්යේෂන තහනම් කිරීමේ ගිවිසුම (සීටීබීටී) ප්‍රතික්ෂේප කිරීම පිනිස, 1999 දී රිපබ්ලිකානුවන් බහුතරයක් සිටි එක්සත් ජනපද සෙනෙට් සභාව මාවතෙන් පිට පැන්නේ ය. 2001 දී බුෂ් නිවේදනය කලේ තමන් නැවතත් සෙනෙට් අනුමැතිය අපේක්ෂා නො කරන බව හා ඒ වෙනුවට, ගිවිසුම “වල දැමීමේ" ක්‍රමයක් කල්පනා කරන බව යි. සීටීබීටී ගිවිසුම, නව න්‍යෂ්ටික අවි අත්හදා බැලීම තහනම් කිරීමට නියමිත ව තිබුනු අතර, බුෂ් පරිපාලනය එයට විරුද්ධ වූයේ අත්හදා බැලීමට අවශ්‍ය ව තිබූ නව න්‍යෂ්ටික අවි තැනීම ඔවුන් ඒ වන විටත් සැලසුම් කරමින් සිටි බැවිනි.

2001 දෙසැම්බරයේ, එක්සත් ජනපදය ඒකපාක්ෂික ව ඒබීඑම් ගිවිසුමෙන් ඉවත් වන බව බුෂ් නිවේදනය කලේ, “තාරකා යුද්ධ" ව්‍යාපෘතිය -හෙවත් පසුව ජාතික මිසයිල ආරක්ෂන (එන්එම්ඩී) වැඩපිලිවෙල යනුවෙන් හැඳින්වුනු- අලුතින් පටන් ගැනීමට යි. එන්එම්ඩී පද්ධතියක් වර්ධනය කිරීම තවමත් බුෂ් පරිපාලනයේ ප්‍රමුඛ කර්තව්‍යයක් වූ අතර, එය අභ්‍යාවකාශය මත ආධිපත්‍යය අත්කර ගැනීම සඳහා වූ ධාවනයේ කොටසකි. රීගන් පරිපාලනයේ වැඩපිලිවෙල මෙන් මිසයිල ආරක්ෂන පද්ධතිය ද චීනය හෝ රුසියාව වැනි රටවලට ආක්‍රමනකාරී න්‍යෂ්ටික ප්‍රහාර එල්ල කිරීම සඳහා මාවත විවෘත කරනු ඇත.

න්‍යෂ්ටික අවිහරන ගිවිසුම (එන්පීටී) පිලිබඳ ව මේ වසර මුල කරන ලද ජාත්‍යන්තර විමර්ශනයක දී, බුෂ් පරිපාලනය නිවේදනය කල ආස්ථානය ඉලක්ක කලේ, ගිවිසුමේ පදනමට වල කැපීම යි. න්‍යෂ්ටික අවි තැනීම නො කරන බවට දෙන පොරොන්දුවකට හිලවු ලෙස, ගිවිසුම න්‍යෂ්ටික නො වන බලයන්ට සහතික වන්නේ, මිලිටරිමය නො වන න්‍යෂ්ටික තාක්ෂනය වර්ධනය කිරීමේ අයිතිවාසිකම දෙන බව යි. න්‍යෂ්ටික බලවතුන් ක්‍රමක්‍රමයෙන් තමන්ගේ න්‍යෂ්ටික අවි ගබඩා ඉවත් කිරීමේ පොරොන්දුවක් ද ගිවිසුමට අඩංගු වේ. කෙසේ වෙතත් බුෂ් පරිපාලනයේ නව ආස්ථානය, එක්සත් ජනපදය “දුෂ්ට රාජ්‍යයන්" යයි නීර්නය කරන ඉරානය වැනි රාජ්‍යයන්ට නව න්‍යෂ්ටික බලශක්ති වැඩපිලිවෙලවල් අහිමි කිරීම යි.ඒ අතර ම, එක්සත් ජනපදය, තමන්ගේ ම න්‍යෂ්ටික අවි ගබඩා ඉවත් කිරීමට විපරීත ව, ප්‍රහාරවල දී භාවිතා කිරීම සදහා පවත්නා අවි නවීකරනය කිරීමට හා නව අවි වර්ධනය කිරීමට පියවර ගෙන ඇත. එකඟතාවකින් තොර ව අවසන් වූ සමුලුවට සූදානම් වූ කාලයේ, න්‍යෂ්ටික අවි නොදරන රටකට එරෙහි ව න්‍යෂ්ටික අවි භාවිතා කිරීමට තමන්ට ඇති හිමිකම බුෂ් පරිපාලනය එකහෙලා අවධාරනය කලේ ය.

න්‍යෂ්ටික අවි වනාහි මූලික වසයෙන් භාවිතා නො කල යුතු දෙයක් ය යන සීතල යුද සංකල්පය ප්‍රතික්ෂේප කරමින්, පසුගිය දශකය පුරා එක්සත් ජනපද ආන්ඩුව ප්‍රහාරක න්‍යෂ්ටික අවි භාවිතා කිරීමේ පිලිවෙත වර්ධනය කොට ඇත. 1997 ක්ලින්ටන් පරිපාලනය සමයේ න්‍යෂ්ටික ආකල්ප විමර්ශනයක්, උතුරු කොරියාව, චීනය හා ඉරානය වැනි රටවල් ඉලක්ක කිරීම දෙසට පලමු පියවර තැබූ බව වාර්තා වේ.

“(න්‍යෂ්ටික අවි ආයුධ පාලනය පිලිබඳ) පැරනි ක්‍රියාවලිය, එක්සත් ජනපද සැලසුම් සහ හමුදාවන්ට දැන් අවශ්‍ය කරන නම්‍යශීලීත්වය සමඟ නො පෑහේ" යයි පෙන්ටගනය නිවේදනය කල, 2002 දී මාධ්‍ය වෙත කාන්දු වූ තවත් විමර්ශනයකින් මෙම පිලිවෙත කෙලින් ම ගම්‍ය විය. රටවල් ගනනාවකට එය කෙලින් ම තර්ජනය කලේ න්‍යෂ්ටික ප්‍රහාර එල්ල කරන බවට යි. “න්‍යෂ්ටික නො වන ප්‍රහාර දරාගත හැකි ඉලක්කවලට එරෙහි ව" හෝ “නො සිතූ විරූ මිලිටරි වර්ධනයන් සිදුවන තතු යටතේ" න්‍යෂ්ටික අවි භාවිතා කරනු ලැබිය හැකි යයි ප්‍රකාශ කරමින් අනාගත න්‍යෂ්ටික අවි භාවිතා කිරීම සඳහා ඉතා සාමාන්‍ය මග පෙන්වීමක් ද එමඟින් සම්පාදනය කෙරුනි.

ආරක්ෂක ලේකම් ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ් පසුගිය ගිම්හානයේ නිකුත් කල “ගෝලීය අතුරු ප්‍රහාර නියෝගයකට" අනුව, ඉරානය හෝ උතුරු කොරියාව වැනි රටක් පලමු න්‍යෂ්ටික ප්‍රහාරයකට ඉලක්කය විය හැකි යයි වාර්තා වේ. ඉරාකයේ හා ඇෆ්ගනිස්තානයේ යුද්ධ සඳහා ද විකල්පයක් ලෙස න්‍යෂ්ටික ආයුධ සහිත සැලසුම් තිබේ. සටන් ඇවිලී යන තත්ත්වයක දී භාවිතා කිරීම සඳහා විශේෂයෙන් සැලසුම් කල නව “බංකර් වනසන"න්‍යෂ්ටික ආයුධ තැනීමට ද බුෂ් පරිපාලනය පියවර ගෙන තිබේ. පවත්නා ආයුධ ගබඩා නවීකරනය කරනු ලැබ ඇති අතර, 2005 පෙබරවාරි 7 දින නිව් යෝක් ටයිම්ස් පත්‍රයේ පලවූ ලිපියකට අනුව, පැරනි ආයුධ ගබඩාවන්ට වඩා “කල් පවත්නා, වඩා ශක්තිමත් හා විශ්වාසදායී නව න්‍යෂ්ටික අවි උත්පාදනය සැලසුම් කිරීමට ඇමරිකානු විද්‍යාඥයින් පටන්ගෙන ඇත."

න්‍යෂ්ටික අවි හා අනෙකුත් “ජන සංහාරක අවි" තනන්නේ ය යන චෝදනාව මුල්කරගෙන එක්සත් ජනපදය, අනෙක් රටවලට යලි යලිත් තර්ජනය කරයි. මේ සඳහා මෑත ම උදාහරනය ඉරානය වන අතර, එය න්‍යෂ්ටික බලශක්ති වැඩසටහන නතර නො කලහොත් මිලිටරි ප්‍රහාරයක් එල්ල කරන බවට එක්සත් ජනපදය එරටට තර්ජනය කොට ඇත. මේ සියලු තර්ජනවල අර්ථය අනාගත එක්සත් ජනපද ආක්‍රමන සාධාරනීකරනය කිරීම වන අතර, එම ආක්‍රමනවල දී එක්සත් ජනපදය විසින් න්‍යෂ්ටික අවි භාවිතා කිරීම කිසි ලෙසකින් වත් බැහැර කරනු ලැබ නැත.

පූර්වභංග යුද පිලිවෙත හරහා, එක්සත් ජනපදය, තමන් තර්ජනයක් යයි සලකන හෝ අනාගතයේ තර්ජනයක් වෙතැයි ප්‍රකාශ කරන ඕනෑම රටකට එරෙහි ව ප්‍රහාර එල්ල කිරීමේ අයිතිය තමන්ට ම ආරූඪ කරගෙන ඇත. එක්සත් ජනපදයට අවශ්‍යතාවක් නො පවතින කිසිදු කලාපයක් ලොව කොතැනක හෝ නැත. ඇෆ්ගනිස්තාන යුද්ධය හරහා මධ්‍යම ආසියාව තුලට ද යුක්රේනය වැනි රටවලට දේශපාලනික ව මැදිහත් වීම මඟින් පැරනි සෝවියට් සංගමය තුලට ද තම බලපෑම වඩ වඩා ප්‍රසාරනය කිරීමට එක්සත් ජනපදය යත්න දරා ඇත. ඉරාකය තුල කෙරෙන යුද්ධය හා ඉරානයට එරෙහි යුද තර්ජනය ද මඟින් එය උත්සාහ දරමින් සිටින්නේ මැද පෙරදිග කලාපය මත ආධිපත්‍යය තහවුරු කර ගැනීමට යි. අප්‍රිකාව තුල තම ක්‍රියාකාරකම් ප්‍රසාරනය කරමින් සිටින එය, නැගෙනහිර ආසියාව තුල තම බලපෑම සුරක්ෂිත කරගැනීමේ උත්සාහයන්ගේ කොටසක් ලෙස උතුරු කොරියාව හා චීනයට යලි යලිත් තර්ජනය කර තිබේ.

මෙම කොන්දේසි යටතේ න්‍යෂ්ටික අවි භාවිතය කරා ඇදී යන යුද්ධයක් පුපුරා යන, ගනන් නැති විභවීය උදාහරන පවතී. මෙයට ඇතුලත් වන්නේ හුදෙක් ඉරානය වැනි රටවල් ආක්‍රමනය පමනක් නො වේ. කුඩා රටකට එරෙහි ඇමරිකානු යුද්ධයක් ලෙහෙසියෙන් ම චීනය, රුසියාව හෝ යුරෝපය පවා ඈඳා ගන්නා පුලුල් ගැටුමක් අවුලුවාලිය හැකි අතර එම සියලු රටවල් සතුව න්‍යෂ්ටික අවි පවතී.

හිරෝෂිමා හා නාගසාකි මත කඩාපාත් වුනු ව්‍යසනය කිසි දිනෙක අමතක නො වනු ඇත. එම නරගවල ඉරනම අධිරාජ්‍යවාදයේ තිරිසන් කම පිලිබඳ සාක්ෂියක් ලෙස සදාකල් රැඳී පවතිනු ඇත. ඇමරිකානු මිලිටරිවාදය යලිත් පුපුරා යන පසුබිමේ, 1945 අගෝස්තු සිද්ධීන් අපට යලිත් මතක් කර දෙන්නේ මානව වර්ගයා මුහුන පා සිටින විකල්පයන් ය: එනම්, ලෝක විප්ලවය හෝ ලෝක යුද්ධය; සමාජවාදය හෝ ම්ලේච්ඡත්වය යන විකල්පයන් ය.

සටහන්

(1) පීටර් වයිඩන්, Day One: Before Hiroshima and After, පලමු දිනය: හිරෝෂිමාවට පෙර හා පසු, (සයිමන් ඇන්ඩ් ශෂ්ටර්: නිව් යෝක්, 1984), 253 පිටුව.

(2) රිචඩ් ෆ‍්‍රෑන්ක්, Downfall: The End of Imperial Japanese Empire, ඇදවැටීම: අධිරාජ්‍ය ජපාන අධිරාජ්‍යයේ අවසානය, (රැන්ඩම් හවුස්: නිව් යෝක්), 265 පිටුව.

(3) හිඩා ෂුන්ටාරෝ, “The Day Hiroshima Disappeared,” in Hiroshima’s Shadows, හිරෝෂිමාවේ සෙවනැලි තුල එන “හිරෝෂිමාව අතුරුදහන් වූ දිනය”, කායි බර්ඩ් හා ලෝරන්ස් ලිෆ්ෂුල්ට්ස් සංස්කරනය, ද පැම්ෆ්ලටීයර්ස් ප්‍රෙස්, ස්ටෝනි ක‍්‍රීක්, කනෙක්ටිකට්: 1998, 419 පිටුව.

(4) මිචිකෝ හචියා, Hiroshima Diary හිරෝෂිමා දිනපොත, (නෝර්ත් කැරොලිනා යුනිවසිටි ප්‍රෙස්, චැපල් හිල්: 1955), 4 පිටුව.

(5) ෆ‍්‍රෑන්ක්, 266 පිටුව.

(6) හචියා, 14 පිටුව.

(7) කොසාකු ඔකාබේ, “Hiroshima Flash,” in Hibakusha: Survivors of Hiroshima and Nagasaki හිරෝෂිමා හා නාගසාකි වෙතින් ඉතිරි වූවෝ තුල එන “හිරෝෂිමා ගිනි දැල්ල”, (කෝසෙයි පබ්ලිෂිං කම්පනි, ටෝකියෝ: 1986), 35 පිටුව.

(8) ෂුන්ටාරෝ, 419 පිටුව.

(9) හචියා, 14 පිටුව.

(10) එම, 8 පිටුව.

(11) ෂුන්ටාරෝ, 428 පිටුව.

(12) ෆ‍්‍රෑන්ක්, 468 පිටුව.

(13) ආක‍්‍රමනයකින් ඇමරිකාවට අහිමි විය හැකි ව තිබූ ජීවිත ගනන ගැන යුද්ධයෙන් පසුව දෙන ලද ගනන් හිලවු මුලුමනින් ම මිථ්‍යාමය වන අතර පරමානු බෝම්බය හෙලීමෙන් පසුව එය සුජාතකරනය කිරීමට බොහෝසෙයින් මවාපානු ලැබී ය. මෙම ප‍්‍රශ්නය මෙම ලිපිය තුල විභාග නො කෙරෙතත් ඒ පිලිබඳ විශ්ලේෂනයක් හිරෝෂිමාවේ සෙවනැලි තුල එන, බාටන් බර්න්ස්ටයින්ගේ “A Postwar myth: 500,000 US lives saved” in Hiroshima’s Shadow “පශ්චාත් යුද මිථ්‍යාව: එක්සත් ජනපද ජීවිත 500,000ක් බේරා ගැනුනි” යන රචනාවෙන් සොයා ගත හැක. කායි බර්ඩ් හා ලෝරන්ස් ලිෆ්ෂුල්ට්ස් සංස්කරනය, ද පැම්ෆ්ලටීයර්ස් ප්‍රෙස්, ස්ටෝනි ක‍්‍රීක්, කනෙක්ටිකට්: 1998.

(14) ටෝකියෝවට ගිනි බෝම්බ හෙලීම, එක් ඉතිහාසඥයෙක් පහත සදහන් පරිදි විස්තර කලේ ය: “ජපාන අගනගරයට ප‍්‍රථමයෙන් ලඟා වූ ගුවන් යානා ගිනි ගන්නා බෝම්බ හෙලූවේ, පසුව පැමිනි බෝම්බ හෙලන යානාවලට ඉලක්ක පහසුවෙන් හඳුනා ගැනීමට හැකි වන පරිදි ගින්න මෙලවීමට යි. ඉලක්ක ගත කලාපයට, කාර්මික හා වානිජ වැඩබිම් සහ බොහෝසෙයින් ජනයා විසූ, බිඳෙනසුලූ මෙන් ම වහා ගිනිගන්නාසුලූ නිවාස සහිත නිවහන් දිස්ත‍්‍රික්ක ඇතුලත් විය. ගිනි ජාලා මඟින් ප‍්‍රදේශය පැහැදිලි ව නිරූපනය කරන ලද වහා ම, බී-29 යානා සමූහයක් ගිනිබෝම්බ ටොන් සිය ගනනක් හෙලී ය. පුලුල් පරිමානයේ ගිනි ජාලා එමඟින් හටගත් අතර, එදින රාත‍්‍රියේ ටෝකියෝවේ පැවති සුලඟින් එය තීව‍්‍ර කරනු ලැබී ය. වර්ග සැතපුම් දහසයක පමන භූමි ප‍්‍රදේශයක් යට කරගත් ගිනි ජාලා, ගුවනේ පහතින් පියාසර කල ගුවන් යානා මඟින් ඇති කල වායු කැලඹීම හේතුවෙන් ඉහල නැගුනි. කොතරම් ජපාන ජාතිකයන් සංඛ්‍යාවක් මරා දැමී ද යත්, බී-29 ගුවන් යානාවල කාර්ය මන්ඩල අතර පවා පිලිස්සෙන සම හා මස් වලින් ඔක්කාරය ඇති කරන දුගඳක් ඇති කලේ ය.” (සැමුවෙල් ජේ, වෝකර්, Prompt & Utter Destruction: Truman and the use of Atomic bombs against Japan විනාශයට පොලඹවා එය සිදු කිරීම: ටෲමන් හා ජපානයට එරෙහි ව පරමානු බෝම්බ හෙලීම, (නෝර්ත් කැරොලිනා යුනිවසිටි ප්‍රෙස්, චැපල් හිල්: 2004), 27 පිටුව.

(15) හෙන්රි ස්ටිම්සන්, Henry Stimson Papers, Sterling Library, Yale University. Available at the National Security Archive හෙන්රි ස්ටිම්සන්ගේ පත‍්‍රිකා, ස්ටර්ලිං පුස්තකාලය, යේල් යුනිවසිටි, ජාතික ආරක්ෂක ලේඛනාගාරයේ http://www.gwu.edu/~nsarchiv/NSAEBB/NSAEBB162/15.pdf. වෙතින් ලබා ගත හැක.

(16) “අතුරු කමිටු රැස්වීමේ සටහන්, 1945 මැයි 31 බ‍්‍රහස්පතින්දා, පෙ.ව. 10.00 සිට ප.ව. 1.15- ප.ව. 2.15 සිට ප.ව. 4.15”, ජාතික ආරක්ෂක ලේඛනාගාරයේ http://www.gwu.edu/~nsarchiv/NSAEBB/NSAEBB162/12.pdf. . වෙතින් ලබා ගත හැක.

(17) මෙම විද්‍යාඥයින් අතරට, බෝම්බය නිපදවීම උපකාර කරන අතර ම එය භාවිතා කිරීම කෙරෙහි බරපතල සැක සංකා සහිත වූ ශ්‍රේෂ්ඨ හංගේරියානු භෞතික විද්‍යාඥ ලියෝ සිලාඞ් ද අයත් විය. ඉහත උපුටා දැක්වූ අතුරු කමිටු රැස්වීමේ වාර්තාවල එක් ඡේදයක, මැන්හැටන් ව්‍යාපෘතිය භාර ව සිටි ජෙනරාල් ලෙස්ලි ග්‍රෝව්ස්, සමහර “සැකකටයුතු අභිමතයෙන් හා අවිනිශ්චිත පාක්ෂිකභාවයෙන් යුතු...නො මනා විද්‍යාඥයන්” ගැන අනතුරු ඇඟවූයේ නිසැක ව ම මූලික වසයෙන් පරමානු බෝම්බය භාවිතා කිරීම කෙරෙහි සාංකා පලකල අය ගැන සඳහන් කරමිනි. (එම. 14 පිටුව). සෝවියට් සංගමය සමග අවි තරඟයක් වැලැක්වීම සඳහා ජාත්‍යන්තර ප‍්‍රජාව සමඟ න්‍යෂ්ටික තාක්ෂනය බෙදාගත යුතු යයි කෙරුනු යෝජනාව ද -මෙය ව්‍යාපෘතියේ වැඩකල බොහෝ විද්‍යාඥයන් දැරූ ආස්ථානයක් විය- අතුරු කමිටුව විසින් ප‍්‍රතික්ෂේප කරන ලදී.

(18) ආනෝල්ඩ් ඔෆ්නර්,Another Such Victory: President Truman and the Cold War, 1945-1953 තවත් එවැනි ජයග‍්‍රහනයක්: ජනාධිපති ටෲමන් හා සීතල යුද්ධය, 1945-1953, (ස්ටැන්ෆෝඞ් යුනිවසිටි ප්‍රෙස්, ස්ටැන්ෆෝඞ්: 2002), 92 පිටුව.

(19) ගේබ්‍රියල් ජැක්සන්, Civilization & Barbarity in 20th-Century Europe විසිවන ශතවර්ෂයේ යුරෝපීය ශිෂ්ටාචාරය හා ම්ලේච්ඡත්වය, (හියුමනිටි බුක්ස්, ඇම්හර්ස්ට්, නිව් යෝක්: 1999), 176-77 පිටු. 1960 දී සිලාඞ් තියුනු ලෙස මෙසේ සටහන් කලේ ය: ”අප වෙනුවට ජර්මානුවන් නගර මත පරමානු බෝම්බ හෙලන ලද්දේ නම්, අප, පරමානු බෝම්බ හෙලීම යුද අපරාධයක් ලෙස අර්ථ දක්වනු ඇති අතර මෙම අපරාධයට වගකිව යුතු ජර්මානුවන්ට න්‍යුරම්බර්ග්හි දී මරන දඬුවමට නියම කොට එල්ලා මරනු ඇත.” ( http://en.wikipedia.org/wiki/Atomic_bombings_of_Hiroshima_and_Nagasaki . වෙතින් උපුටා ගන්නා ලදී.)

(20) හෙන්රි ස්ටිම්සන්, හෙන්රි ස්ටිම්සන් දිනපොත, 1945 මැයි 14, 2 පිටුව, ජාතික ආරක්ෂක ලේඛනාගාරයේ http://www.gwu.edu/~nsarchiv/NSAEBB/NSAEBB162/7.pdf. වෙතින් ලබාගත හැක.

(21) එම, 1945 මැයි 15, 1 පිටුව.

(22) ජෝසෆ් ඩේවිස්, em>Diary entry for May 21, 1945 1945 මැයි 21 දින සටහන, ජාතික ආරක්ෂක ලේඛනාගාරයේ http://www.gwu.edu/~nsarchiv/NSAEBB/NSAEBB162/8.pdf. . වෙතින් ලබාගත හැක.

(23) ගාර් ඇල්පෙරොවිට්ස්ගේ The Decision to Use the Atomic Bomb පරමානු බෝම්බය හෙලීමට ගත් තීරනය කෘතියෙන් උපුටා ගන්නා ලදී. (වින්ටේජ් බුක්ස්, නිව් යෝක්: 1995), 124 පිටුව.

(24) Truman interview with Jonathan Daniels, November 12, 1949 ජොනතන් ඩැනියල්ස් සමග ටෲමන්ගේ සම්මුඛ සාකච්ඡාව, 1949 නොවැම්බර් 12, ඇල්පෙරොවිට්ස්ගේ කෘතියේ 239 පිටුවෙන් උපුටා ගන්නා ලදී.

(25) සුයෝහි හසෙගාවාගේ, Racing the Enemy: Stalin, Truman and the Surrender of Japan, සතුරා සම්බන්ධ කරගැනීම: ස්ටැලින්, ටෲමන් හා ජපානයේ යටත් වීම, (හාවඞ් යුනිවසිටි ප්‍රෙස්, කේම්බ්‍රිජ්: 2005), 158 පිටුව.

(26) “‘Magic’—Diplomatic Summary, War Department, Office of Assistant Chief of Staff, G-2, No. 1204—July 12, 1945, Top Secret Ultra.” ‘අරුමය’ -රාජ්‍යතාන්ත‍්‍රික සාරාංශය, යුද දෙපාර්තමේන්තුව, සහකාර මාන්ඩලික ප‍්‍රධානියාගේ කාර්යාලය, ජී-2, අංක 1204, 1945 ජූලි 12, අතිශයින් රහසිගත යි,”, ජාතික ආරක්ෂක ලේඛනාගාරයේ http://www.gwu.edu/~nsarchiv/NSAEBB/NSAEBB162/29.pdf. වෙතින් ලබාගත හැක.

(27) ඇල්පෙරොවිට්ස්ගෙන් උපුටා ගන්නා ලදී, 268 පිටුව.

(28) ඇල්පෙරොවිට්ස්ගෙන් උපුටා ගන්නා ලදී, 415 පිටුව.

(29) ඇල්පෙරොවිට්ස්ගෙන් උපුටා ගන්නා ලදී, 113-114 පිටු.

(30) ජපානය, පොට්ස්ඩෑම් ප‍්‍රකාශනය පිලි නො ගන්නා බව තමාට “සහතික” තම දිනපොතේ ලියූ ටෲමන් “එහෙත් අපි ඔවුන්ට අවස්ථාවක් දී බලමු” යයි සටහන් කලේ ය. වෙනත් වචනවලින් කිවහොත්, පොට්ස්ඩෑම් ප‍්‍රකාශනය වනාහි ඒ වනවිටත් ගෙන තිබූ තීන්දුවකට යම් ආකාර සාධාරනීකරනයක් දීම පිනිස සකස් කල නාමමාත‍්‍ර ලියවිල්ලක් විය. ටෲමන්ගේ දිනපොතේ භාගික පිටපතක් සඳහා http://www.gwu.edu/~nsarchiv/NSAEBB/NSAEBB162/29.pdf. බලන්න.

(31) ඇල්පෙරොවිට්ස්, 429-30 පිටු.

(32) තෝමස් ජේ. මැක්කෝමික්, America’s Half-Century: United States Foreign Policy in the Cold War and After, ඇමරිකාවේ අර්ධ ශතවර්ෂය: සීතල යුද්ධය තුල හා ඉන් පසුව එක්සත් ජනපද විදේශ පිලිවෙත, (ජෝන් හොප්කින්ස් යුනිවසිටි ප්‍රෙස්, බැල්ටිමෝර්: 1995), 44-45 පිටු.

Share this article: