නිව් යෝක් ටයිම්ස් පුවත්පත තුර්කි කුමන්ත්‍රනය තුල ඔබාමා පරිපාලනයෙහි ක්‍රියාකලාපය වසං කරයි

New York Times covers up Obama administration’s role in Turkish coup

බිල් වෑන් ඕකන් විසිනි, 2016 අගෝස්තු 5

“තුර්කියේ නව ඇමරිකානු විරෝධය" නමින් අගෝස්තු 4දා නිව් යෝක් ටයිම්ස් පුවත්පතේ පලවූ කතුවැකියක්, එරට ජනාධිපති රෙසෙප් ටයිප් අර්ඩොගාන් බලයෙන් පහකිරීම සඳහා ජූලි 15දා ක්‍රියාත්මක කල අසාර්ථක කුමන්ත්‍රනයට පිටුබලය දීමේ දී, වොෂින්ටනය ඉටුකල කේන්ද්‍රීය ක්‍රියාකලාපය පිලිබඳ පැහැදිලි හා හොඳින් ම ඒත්තු යන නිගමන උකහා ගැනීම ගැන තුර්කි ආන්ඩුවට පමනක් නො ව, එරට ජනතාවට ද දොස් පවරයි.

“අසාර්ථක කුමන්ත්‍රන ප්‍රයත්නය මගින් සොලවාලන ලද තුර්කි ආන්ඩුව හා එරටෙහි බොහෝ පුරවැසියෝ වරද පැටවීම සඳහා යමෙක් සොයා ගැනීමේ වියරුවෙන් පසුවෙති. එහෙත් සත්‍ය කරුනු පිලිබඳ ගැඹුරු විමර්ශනයක් කරනු වෙනුවට, ඔවුන්, කැරැල්ල පිලිබඳ ව එක්සත් ජනපදයට චෝදනා කොට ඇතැ"යි තර්ක කරන ටයිම්ස් පත්‍රය, “මෙය ඇමරිකානු විරෝධයේ නව රැල්ලක් අවුලුවා ඇතැ" යි ද කියා සිටී.

විතන්ඩවාදී හා හාස්‍යජනක යයි ටයිම්ස් එවන් චෝදනා ප්‍රතික්ෂේප කරයි. “විශේෂයෙන් ම කලාපයේ බොහෝ ප්‍රදේශ ව්‍යාකූල ව ඇති තතු තුල, අයිඑස් සංවිධානයට එරෙහි සටනේ දී මෙන් ම, ආරක්ෂක පෙරමුනු ගොඩනැගීමේ දී ද සහයෝගය තීරනාත්මක වන නැටෝ සාමාජික රටක් අස්ථාවර කිරීමට, එක්සත් ජනපදය උත්සාහ කරතැයි යන්න අර්ථශූන්‍ය ප්‍රලාපයකි."

1952 සිට තුර්කිය, එක්සත් ජනපදයේ නැටෝ සහචර රටක් බව සත්‍ය ය. එහෙත් එතැන් පටන්, පසුගිය මාසයේ ලේවැකි සිද්ධීන් සැලකිල්ලට නො ගත්ත ද, මේ දක්වා එක් වරක් නො ව 1960, 1971 හා 1980 දී වසයෙන් තුන් වරක් ම තුර්කි මිලිටරියට බලය පැහැර ගැනීම සඳහා වොෂින්ටනය පිටුබලය දී ඇත.

එක්සත් ජනපද-රුසියා ආතතීන් ඉහල නගින තතු තුල අර්ඩොගාන් ආන්ඩුව, මොස්කෝව සමඟ සබඳතා ප්‍රතිස්ථාපනය කර ගැනීමට උත්සාහ දරන නිසා මෑත මාසවල දී එම ආන්ඩුවේ “සහයෝගිතාව" ප්‍රශ්නයට ලක්කෙරී තිබුනි. තව ද තුර්කි රාජ්‍යයේ පැවැත්මට ම තර්ජනයක් ලෙස ඇන්කාරා ආන්ඩුව සලකන, කුර්දි බෙදුම්වාදීන් සමඟ සිරියානු යුද්ධයේ දී එක්සත් ජනපද මිලිටරිය සංධානයක් ගොඩනගා ගැනීම හේතුවෙන් (එක්සත් ජනපද-තුර්කි) සබඳතා තවදුර ඛාදනය වී තිබේ.

අසාර්ථක කුමන්ත්‍රනය පිලිබඳව එක්සත් ජනපදය සම්බන්ධවී සිටියේ යයි කියාපෑම මඟින් “තුර්කිවරු දෙබිඩි හා නරුම ක්‍රීඩාවක යෙදෙමින් සිටිති" යි ටයිම්ස් අපට කියයි.

නරුමත්වය හා දෙපිටකාට්ටුකම ගැන සැලකීමේ දී ටයිම්ස් පුවත්පත සමඟ සමකල හැකි තවත් දෙයක් නැත. එක්සත් ජනපදයට කුමන්ත්‍රනය සමඟ කිසිදු සබඳතාවක් තිබුනේ නැතැයි පුවත්පත කියන්නේ කෙසේ ද?

කුමන්ත්‍රනයෙන් වැඩි හරිය සංවිධානය කරනු ලැබුවේ, ගිනිකොනදිග තුර්කියේ ඉන්සර්ලික් ගුවන් හමුදා කඳවුරේ ය යන්න හොඳින් සනාථ ව ඇති කරුනකි. එම කඳවුර, හුදෙක් එක්සත් ජනපද මිලිටරි භටයන් 1,400ක් හා තවත් කොන්ත්‍රාත් භටයන් සිය ගනනක් රැඳී සිටින, ඉරාකයට හා සිරියාවට එරෙහි එක්සත් ජනපද ගුවන් ප්‍රහාරවල කේන්ද්‍රස්ථානය වනවා පමනක් නො වේ; හිරෝෂිමාව මත හෙලූ බෝම්බයේ විනාශයට වඩා දසගුනයකටත් වැඩි විනාශකාරී බලයක් සහිත 90 බී-61 නමැති උපායික න්‍යෂ්ටික බෝම්බ අතිවිශාල ප්‍රමානයක් රඳවා ඇති, යුරෝපා මහාද්වීපය තුල එක්සත් ජනපදයේ විශාලතම න්‍යෂ්ටික ආයුධ ගබඩාව පිහිටා තිබෙන්නේ ද එහි ය.

කුමන්ත්‍රනය අසාර්ථක වීමෙන් පසු, පෙන්ටගනය සමඟ සමීප සබඳතා ඇති බොහෝ මිලිටරි නිලධාරීන්ගෙන් එකෙක් හා කුමන්ත්‍රනය තුල ප්‍රමුඛ භූමිකාවක් ඉටුකල කඳවුරේ අනදෙන්නා, තමන්ට රැකවරන සලසන ලෙස සිය ඇමරිකානු සගයන්ගෙන් ඉල්ලා සිටියේ ය.

සිදුවීමට නියමිත ව තිබූ කුමන්ත්‍රනය, එක්සත් ජනපද මිලිටරිය නොදැනුවත්ව, සීඅයිඒ හා රහස් තොරතුරු ආයතන නොදැනුවත්ව සිදු වූවක් නම්, එමඟින් පෙන්නුම් කරන්නේ එක්සත් ජනපද ඉතිහාසය තුල ඔත්තු බැලීමේ ව්‍යාපාරයෙහි විශාලතම අසාර්ථකත්වයක් බවය. එය, න්‍යෂ්ටික බෝම්බ අල්කයිඩා, අයිඑස්අයිඑස් හෝ එවැනි වෙනත් සංවිධානයක් අතට පත් ව සිදු වූ ඉස්ලාමීය කුමන්ත්‍රනයක් වූවා නම් කුමක් සිදුවනු ඇද්ද? එවැනි අසාර්ථකත්වයක් සීඅයිඒ අධ්‍යක්ෂ ජෝන් බ්‍රෙනන්, එන්එස්ඒ අධ්‍යක්ෂ අද්මිරාල් මයිකල් රොජර්ස් හා අනෙකුත් ඉහල නිලධාරීන් ඉල්ලා අස්වීමට තුඩු දෙනු ඇත. එවැනි ඉල්ලා අස්වීම් සිදු නො වූ බව කීම පවා අනවශ්‍ය ය.

මිලිටරි ඝාතක කල්ලියක්, අර්ඩොගාන් නිවාඩුව ගතකල නිවසේ දොරටුවට ඒමට පෙර යන්තමින් ඔහුට ගැලවී යාමට හැකි වූ එකම හේතුව, කුමන්ත්‍රන සැලසුම්කරුවන් අතර සිදු වූ මිලිටරි සන්නිවේදනයන් හසුකර ගත් රුසියානු රහස් තොරතුරු සංවිධාන, ජනාධිපතිවරයාට ඒ පිලිබඳව කල් තබා අනතුරු අඟවා තිබීම ය.

අසල පිහිටි කාර්යාලවල සිටි එක්සත් ජනපද මිලිටරිය හෝ දශක ගනනාවක් තිස්සේ ක්‍රියාකාරී වී ඇති රටක් නිසා ම, රුසියානු රහස් තොරතුරු ඒජන්සිවලට වඩා ඉතා ඉහල ඔත්තු බැලීමේ හැකියාක් ඇති සීඅයිඒ හා එන්එස්ඒ සංවිධාන රුසියාවට වඩා එවැනි ආකාර හෝ ඊටත් වැඩි පූර්ව දැනුමක් රහිත ව සිටියේ යයි අවංක ව විශ්වාස කල හැකි ද?

රුසියාව කලාක් වැනි පූර්ව අනතුරු ඇඟවීමක් අර්ඩොගාන්ට නිකුත් නො කිරීමට ඔවුන් ගත් තීරනයට තිබිය හැක්කේ එක් අර්ථයක් පමනි. එනම්, ඔබාමා සහ එක්සත් ජනපද මිලිටරි හා රහස් තොරතුරු ප්‍රධානීහු තුර්කි රාජ්‍යයේ නායකයා ඝාතනය වීම දැකගැනීමට ඉතා මනාප වූ බව යි.

කුමන්ත්‍රනය අසාර්ථක වන බව පැහැදිලි වීමට මත්තෙන්, මොස්කෝවේ සිට එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී නිකුත් කල එක්සත් ජනපද ආන්ඩුවේ මූලික ප්‍රතිචාරය එම නිගමනය කරා ම අප ව ගෙන යයි. “තුර්කිය තුල ස්ථාවරත්වය, සාමය හා අඛන්ඩතාව" සඳහා එක්සත් ජනපදයට ඇති අභිලාෂය ප්‍රකාශ කිරීමට පමනක් කෙරී සීමාවී ගත්තේ ය. අර්ඩොගාන්ගේ නම හෝ රටේ සිවිල් පාලනය දිගට ම පැවතීම ගැන එක්සත් ජනපදයට පවතින කිසිදු උවමනාවක් ගැන සඳහන් නො කෙරුනි.

මෙම පිලිවෙතේ නොතැකීම හා සාපරාධිත්වය මවිතය දනවයි. ඉරාකය, ලිබියාව හා සිරියාව තුල මිලියන ගනනක් මරා දමා හෝ තුවාල සිදුකොට, මුලුමහත් සමාජයන් විනාශ කොට තිබෙන එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, කලාපීය හා ගෝලීය ආධිපත්‍යය සඳහා වන ඉවබව නැති ධාවනයේ දී තුර්කිය තුල ද එය ම කිරීමට සූදානම් ව සිටියේ ය.

පාලක ඒකේපී පක්ෂයේ සැලකිය යුතු මහජන පදනම පිලිබඳ ව සලකන කල, කුමන්ත්‍රනය සාර්ථක වී නම්, ඊජිප්තුවේ එක්සත් ජනපද පිටුබලය ලත් ජෙනරාල් අබ්දෙල් ෆාටා අල් සිසි හෝ 1980 විනාශකාරී තුර්කි කුමන්ත්‍රනයේ සිදුවීම් පරයා යන රුධීරස්නානයක් සිදුවෙතැයි යන්න යමෙක්ට උපකල්පනය කල හැකි ය. තවත් විය හැකි දෙයක් වූයේ, යුරෝපා දේශසීමාවේ නැටෝ සාමාජික රටක් තුල සිවිල් යුද්ධයක් පුපුරා යාම යි.

ටයිම්ස් පත්‍රය සඟවන්නට යත්න දරන්නේ මෙය යි. තුර්කියේ සිද්ධි දැනුවත් ව විකෘත කිරීමේ සිට කිසිදු වෛෂයික සාක්ෂියකින් තොර ව, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඩිමොක්‍රටික් පක්ෂ ජාතික කමිටුවේ ඊ-මේල් පනිවුඩ සොරකම් කොට විකිලීක්ස් වෙත ලබා දුන්නේ යයි චෝදනා කිරීම දක්වා, වන ටයිම්ස් පත්‍රයේ විවෘත ගමන පෙන්නුම් කරන්නේ, එක්සත් ජනපද මිලිටරි හා රහස් තොරතුරු සංස්ථාපිතයේ මාධ්‍ය අංශය ලෙස එය ක්‍රියාත්මකව සිටින බවයි. එහි දී එය, ඒවායේ මෙහෙයුම්වලට මාරුවෙන් මාරුවට ආධාර හා අනුබල දෙමින් ඒවායේ අපරාධ වසන් කරයි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය පසුගිය සතියේ ජේම්ස් බෙනට් කවුදැයි යන හිසින් ලිපියක් පල කලේ ටයිම්ස් පත්‍රය මෑත දී පත්කල පත්‍රයේ කතුවැකි පිටු කර්තෘවරයාගේ දේශපාලන පැටිකිරිය අවධානයට ගෙන එමිනි. සීඅයිඒහි පෙරමුනක් වන යූඑස්ඒඩ්හි හිටපු ප්‍රධානියකුගේ පියා මෙන් ම කොලොරාඩෝ ප්‍රාන්තයේ ජ්‍යෙෂ්ට සෙනට් සභියකයෙකුගේ සහෝදරයා ද වන බෙනට්ගේ පවුල් සම්බන්ධතා වෙත අප අවධානය යොමු කලේ, “මාධ්‍ය, දේශපාලන සංස්ථාපිතය හා රාජ්‍ය යන්ත්‍රනය අතර පවත්නා දේශපාලනික ව ව්‍යාභිචාරී සබඳතාව" ආදර්ශනය කිරීමට ය.

ටයිම්ස්හි කතුවැකිවල පමනක් නො ව, එහි ප්‍රවෘත්ති ලිපිවල පවා පවතින ව්‍යාජ තොරතුරු සැපයීමේ හා ප්‍රචාරනයේ සංයෝජනය, සීඅයිඒ සංවිධානය අවසන් කරන තැන හා පුවත්පත පටන් ගන්නා තැන දැන නොගතහැකි දෙයක් බවට පත් කරයි.

ටයිම්ස් පුවත්පතේ ධජ පතාක ලාංඡනය “මුද්‍රනය කිරීමට සුදුසු සියලු පුවත් සැපයීම" යයි කියා සිටියත්, එහි සැබෑ කටයුත්ත වන්නේ, එක්සත් ජනපද රාජ්‍යයේ ඉලක්ක හා අවශ්‍යතා දුරදිග ගෙන යාම සඳහා තොරතුරු විකෘත කොට, වෙනස් කිරීම හා සැඟවීමත් යුද්ධයට අවශ්‍ය මහජන මතය සූදානම් කිරීමත් ය.

Share this article: