නේපාල අගමැති ඉල්ලා අස්වෙයි

Nepal’s prime minister steps down

ඩබ්ලිව්.ඒ.සුනිල් විසිනි, 2016 ජුලි 27

ඉන්දියානු ගැති නේපාල කොංග‍්‍රස් පක්ෂය සහ මාඕවාදී එක්සත් කොමියුනිස්ට් පක්ෂය (යූසීපීඑන්-එම්) විසින් ගෙනෙන ලද විශ්වාසභංග යෝජනාවෙන් නියත පරාජයකට ඔහු මුහුන දී සිටි නිසා පසු ගිය ඉරිදා කේ.පී. ඔලී නේපාල අගමැති ඉල්ලා අස්විය.

ඔලීගේ ආන්ඩුව පෙරලීමේ දී නිසැකව ම ඉන්දියාවේ සැලකිය යුතු මැදිහත්වීමක් එය පිටුපසින් තිබුනි. ඉන්දියාව සහ චීනය අතර තෙරපෙන නේපාලය මත බීජිනයේ වැඩෙන බලපෑම යටපත් කිරීමට නව දිල්ලිය අධිෂ්ඨාන කරගෙන සිටි. චීනයට විරුද්ධව එල්ල කර ඇති වොෂින්ටනයේ “ආසියාවට හැරීමේ” පිලිවෙතට සහයෝගය දීමේ දී අගමැති නරේන්ද්‍ර මෝදිගේ ඉන්දියානු ආන්ඩුව එක්සත් ජනපදය සමග ඉතා සමීප ව කටයුතු කරයි.

නේපාල කොන්ග‍්‍රසය සමග ඇතිකර ගත් ගිවිසුමට අනුව එක්සත් මාක්ස් ලෙනින්වාදී කොමියුනිස්ට් පක්ෂය (සීපීඑන්-යුඑල්එම්) පක්ෂය නායකත්වය දුන් පාලක සභාගයෙන් ජුලි 12 වෙනිදා ඉවත් වූ මාඕවාදීන් විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කලේ ය. එක්සත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී මදෙසි පෙරමුන (යූඩීඑම්එෆ්) එයට සහයෝගය දුන්නේ ය. එය (යූඩීඑම්එෆ්) ඉන්දියාවට මායිම් වන නේපාලයේ දකුනු ටේරායි ප‍්‍රදේශය සඳහා වැඩි ස්වාධීනත්වයක් ඉල්ලන මදේසි පක්ෂ වල සන්ධානයකි. ඔවුන්ගේ ඉල්ලීම් ආමන්ත‍්‍රනය කරන ලිඛිත පොරොන්දුවක් ලැබෙන්නේ නම් පමනක් නව ආන්ඩුවක් පිහිටුවීමට සහයෝගය දෙන බව යූඩීඑම්එෆ් ප‍්‍රකාශ කලේ ය.

ඔලී ආන්ඩුව, මාඕවාදී පක්ෂය එහි ගම්බද ගරිල්ලා ව්‍යාපාරය අතහැර රාජාන්ඩුවට එරෙහි මහජන අරගලය යටපත් කිරීම සඳහා එන්සි සහ යූපීඑන්යූඑම්එල් සමග 2006 ඒකාබද්ධ වීමෙන් පසු බලයට පත් වූ 8 වෙනි ආන්ඩුව විය. එරට සිය අනසක යටතේ තබා ගැනීම පිනිස ඉන්දියාව එම උපමාරුවට සහයෝගය දුන්නේ ය.

තුන් දින පාර්ලිමේන්තු විවාදයෙන් පසුව ඔහුගේ ඉලා අස්වීම නිවේදනය කරමින් තමන් “ඉන්දියාව සහ චීනය සමග ජාත්‍යන්තර සම්බන්ධකම් ජාතික ස්වාධීනත්වය මත පාදකව” පවත්වාගෙන ගිය බවත් “චීනය සමග සමහර වෙලඳ ගිවිසුම් අත්සන් කිරීමත් සමග වෙලඳාම සහ වානිජ කටයුතු සඳහා එක් රටක් (ඉන්දියාව) මත යැපීම අවසන් වූ” බවත් ඔලි කීවේ ය. එහෙයින්, රට “ගොඩ බිමින් වට වූ ” එකක සිට “ගොඩබිමින් සම්බන්ධ වූ” රටක් බවට පරිවර්තනය වූ බව ඔහු පැවසුවේ ය.

ඔලී ඔහුගේ ඉල්ලා අස්වීමේ කතාවේ දී ආන්ඩුව වෙනස් කිරීමේ “ක‍්‍රීඩාව අභිරහස්” “ බව ප‍්‍රකාශ කල නමුත් එය විස්තාරනය නො කලේ ය. කෙසේ නමුත් ජුලි 14 වෙනිදා ජාතික ආරක්ෂක සම්මේලනය ඇමතීමේ දී මෙහෙයුම සැලසුම් කිරීම ගැන ඔලී කෙලින් ම ඉන්දියාවට චෝදනා කලේ ය. ජාතික උත්සුකතාවයන් සම්බන්ධයෙන් ඔහු කිසිසේත් සම්මුති ගැසුවේ නැති” බව ප‍්‍රකාශ කිරීමෙන් පසු “මගේ ආන්ඩුවට එරෙහිව ඉන්දියාව නේපාල කොංග‍්‍රසය සහ මාඕවාදීන් පාවිචි කල අතර එය පෙරලා දැමීමට උත්සාහ කලේ” යැයි ඔලී කීවේ ය.

ඒ සම්බන්ධයෙන් කිසිදු වගකීමක් භාර ගැනීම ඉන්දියාව ප‍්‍රතික්ෂේප කර ඇත. නේපාලයේ අභ්‍යන්තර කටයුතු තුලට ඉන්දියාව “ඇදගෙන” නො යන ලෙස ඉන්දියාවට පැමිනි නේපාල පාර්ලිමේන්තු සාමාජිකයන් ට ඉන්දියානු විදේශ කටයුතු පිලිබඳ ඇමතිනි සුස්මා ස්වරාජ් ජුලි 10 වෙනිදා කීවා ය. කෙසේ නමුත්, ඉන්දියානු අගමැතිට වූ පොරොන්දු ඉටු නොකිරීම ගැන ඇය ඔලී ට චෝදනා කලා ය.

එහි නායක පුෂ්පා කමල් ඩාහාල් මාස නවයක් අගමැති තනතුරේ කටයුතු කරන බවත් ඉක්බිතිව කොංග‍්‍රස් පක්ෂයේ නායක සෙර් බහදුර් ඩියුබා ට භාර දෙන බවත් මාවෝවාදී පක්ෂය එන්සි ය සමග අත්සන් කල ගිවිසුමට ඇතුලත් කර ඇත. “අපේ දේශපාලන යථාර්තයන් නිසා, අපේ අසල්වැසියන් සමග අප සාධාරන සහ තුලිත සම්බන්ධකම් ඇති කර ගත යුතුය. ඒ අනුව අපේ අභ්‍යන්තර ජාතික එකමුතුව ශක්තිමත් කර ගත යුතුය.” යැයි ඩාහාල් සඳහන් කලේ ය.

ඔලී ගේ ආන්ඩුවෙන් ඉවත් වීමෙන් පසු ඉන්දියාවේ සහයෝගය ලබා ගැනීම සඳහා ඩාහාල් පක්ෂයේ නායකයෙකු වන මත‍්‍රිකා යදෙව් නව දිල්ලියට යැවු බව ද හින්දු සහ ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා වාර්තා කලාය. ටයිම්ස් පත‍්‍රයට අනුව යදෙව් “විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් පමනක් නොව, ජනතා දාල් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරාද් යදෙව් සහ ජාතික කොංග‍්‍රස් පක්ෂයේ මන්ත‍්‍රී ඞී.පි. ත‍්‍රිපති ද හමු විය. ඩාහාල් ගේ අතීත චීන ගැති පිලිවෙත් ගැන ඉන්දියාවේ උත්සුකයන් “සැනසීම” සඳහා යදෙව් ඔවුන් මුන ගැසුන බව ද ටයිම්ස් පත‍්‍රය වාර්තා කලේ ය.

තන්ත‍්‍ර මාරුවක් සඳහා මෙබඳු ම උත්සාහයක් මැයි මාසයේ කිරීම ගැන ඔලී ඉන්දියාවට චෝදනා කලේ ය. වාර්තාවන ආකාරයට නව දිල්ලියේ නිලධාරීන් හා ඩියුබා ඔලිගේ ආන්ඩුවෙන් ඉවත්වීම සඳහා ඩහාල් පෙලඹ වුහ. නමුත් අවසාන මොහොතේ ඔහු ඒ අදහස වෙනස් කලේ ය. හිලව් වශයෙන් 1996 සිට 2006 දක්වා දසකයක් දිගැස්සුන ගරිල්ලා කැරැල්ල තුල දී මාඕවාදී පක්ෂයේ සාමාජිකයන් විසින් කලා යැයි කියන අපරාධ සම්බන්ධ චෝදනා ඉවත් කර ගැනීමට සහ පසුගිය වසර මුල දී රටේ සිදු වූ රුදුරු භූමිකම්පා වලින් විනාශ වූ දේවල් යලි ගොඩනැගීම කඩිනම් කිරීමට ඔලී පොරොන්දු විය.

ඉන්දියානු මැදිහත්වීමට පලි ගැනීමක් ලෙස ඔලී නව දිල්ලියේ නේපාල තානාපති කුමන්ත‍්‍රනයේ කොටසක් බව කියමින් ඔහු ආපසු කැඳවූ අතර නේපාල ජනාධිපතිගේ ඉන්දියානු සංචාරයක් අවලංගු කලේ ය.

පසුගිය වසර තුල චීනයෙන් දුරස්ථ කිරීමට ඉන්දියාව නේපාලය මත වැඩි වැඩියෙන් පීඩනය යෙදී ය. එය ඔවුන්ගේ ම උත්සුකතාවයන් ලුහුබැඳ යාම සීමා කරන බව කල්පනා කරන ඉන්දියාව මත රටෙ යැපීම අවම කිරීමට නේපාල ප‍්‍රභුවේ කොටසක් උත්සාහ කලේ ය.

ඊට ප‍්‍රතිචාර දැක්වීමේ කොටසක් ලෙස නව ව්‍යවස්ථාව තුල වැඩි කලාපීය බලයක් සඳහා උද්ඝෝෂනය කල මදෙසි පක්ෂවලට පසු ගිය සැප්තැම්බරයේ නව දිල්ලිය පිටුබලය සැපයී ය. ඉන්දියාවෙන් නේපාලයට කල සැපයුම් මදේසි පක්ෂ විසින් කඩාකප්පල් කිරීමට ඉන්දියාව ප‍්‍රබල ලෙස සහයෝගය දුන්නේ ය. පස් මාසයක් දිග්ගැස්සුන සම්බාධකය මගින් ඇති කල ඉන්ධන, ඖසද සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය වල බරපතල හිඟය මහ ජනතාව මුහුන දෙන දරිද්‍රතා කොන්දේසි තව දුරටත් තීව‍්‍ර කලේ ය.

මදෙසි ජනයාට සීමිත සහන දීමට ඔලී අවසානයේ දී සීමිත ව්‍යවස්ථාමය සංශෝධන කල නමුත් තව තවත් සහන සඳහා මෝඩි බලපෑම් කලේ ය. කත්මන්ඩු මත බලපෑම දැඩි කර ගැනීමේ ලීවරයක් ලෙස මදේසි ඔවුන්ගේ ප‍්‍රශ්න ගැසාකෑම මිස මදේසි ජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍රික අයිතීන් ගැන උනන්දුවක් ඉන්දියානු ආන්ඩුවට තිබුනේ නැත.

මාර්තු මාසයේ පස් දින චීන සංචාරයේ දී නේපාලය සඳහා වැඩියෙන් ප‍්‍රවාහන පිවිසුම් ස්ථාන විවෘත කිරීම ඇතුලු වෙලඳ සහ ආයෝජන ගිවිසුම් ගනනාවක් චීනය සමග ඔලී අත්සන් කලේ ය. චීනයේ සිට නේපාලයට තෙල් නලයක්, පොක්හාරා නගරයට ජාත්‍යන්තර ගුවන් තොටුපොලක් සහ චීන දේශසීමාව අසල පිහිටි හිල්සා මායිම් නගරයේ පාලමක් ඉඳිකිරීමට ද චීනය එකඟ විය. නේපාලයට ප‍්‍රධාන ආධාර සපයන්නා ලෙස චීනය ඉන්දියාව ඉක්ම වුයේ ය.

සවුත් චයිනා මෝර්නින් වාර්තා කල ආකාරයට ඔලිගේ ආන්ඩුව පෙරලනු ලැබුවේ ඔක්තෝබර් මාසයේ චීන ජනාධිපති ෂි ජින්පින් ගේ නේපාල සංචාරය සැලසුම් කරමින් තිබිය දී ය. “කලාපය තුල බලපෑම වර්ධනය කර ගැනීම සඳහා එය සටනක යෙදී සිටින හෙයින්, සංචාරය, චීනයට දකුනු ආසියාවට කාවැදීමේ යතුරක් ලෙස පලල්ව දකිනු ලැබූ” බව පත‍්‍රය සදහන් කලේ ය. ඔලීගේ ආන්ඩුව බිඳවැටීමෙන් පසු ෂින් ගේ සංචාරය ගැන තවමත් බීජිනය ප‍්‍රකාශයක් නිකුත් කර නැත.

භු-දේශපාලන ආතතීන් තීව‍්‍රවීමේ තවත් සලකුනක් ලෙස “ චීන ජනාධිපතිගේ සංචාරය කඩාකප්පල් කිරීමට උත්සුකව සිටින බාහිර බලවේගයන්ගේ නියෝගයන් ට අනුව” මාඕවාදීන් ඔවුන්ගේ මෙහෙයුම කල බවට ඔලීගේ සන්නිවේදන ඇමති සෙර්රධාන් රායි කල චෝදනාව භූ-දේශපාලන ආතතීන් තීව‍්‍රවීමේ තවත් සලකුනකි .

ඔලීගේ ආන්ඩුවේ බිඳවැටීමෙන් සිදුවී ඇත්තේ නේපාලය තුල දේශපාලන අස්ථාවරත්වය ගැඹුරුවීම පමනි. දේශපාලන සංස්ථාපිතයේ කිසිදු පක්ෂයකට කම්කරුවන්ගේ හා දුගීන් ගේ අවශ්‍යතාවයන් ගැන අංශුමාත‍්‍ර තැකීමක් වත් නැත. ඉන්දියාව සහ එක්සත් ජනපදය විසින් චීනයට එරෙහිව සිදු කරනු ලබන ක‍්‍රියාවන් විසින් මෙහෙයවන අනතුරුදායක දිය සුලිය තුලට ජනතාව ඇදගෙන යනු ලබයි.

Share this article: