“අදහාගත නොහැකි දේ ඔස්සේ සිතීම”
රෑන්ඩ් සමායතනය චීනය සමග එක්සත් ජනපද යුද්ධයේ සිදුවීම් ගෙනහැර දක්ව යි

“Thinking Through the Unthinkable”
RAND Corporation lays out scenarios for US war with China

2016 අගෝස්තු 5

“චීනය සමග යුද්ධය: අදහාගත නො හැකිදේ ඔස්සේ සිතීම” ශීර්ෂ පාඨය සහිතව රෑන්ඩ් සමායතනය ( පර්යේෂන හා සංවර්ධන සමායතනය-පරි) විසින් කරන ලද නව අධ්‍යයනය, චීනයට එරෙහිව එක්සත් ජනපද යුද්ධය පිලිබද තක්සේරුවක් සදහා කැප කෙරුනු මෑත ම බුද්ධිමන්ඩල පත්‍රිකාව යි. එක්සත් ජනපද හමුදාව විසින් පිටුබලය දෙන ලද අධ්‍යයනය, ඇමරිකානු මිලිටරි-ඔත්තුසේවා සංවිධානවල ඉහල මට්ටම්වල දී චීනය සමග යුද්ධය සැලසුම් කෙරෙමින් හා සූදානම් කෙරෙමින් පවතින බවට වැඩි දුරටත් සාක්ෂි සපයන්නේ ය.

රෑන්ඩ් සමායතනය එම පත්‍රිකාව සැකසීමෙහි ඇත්තේ විශේෂ හා නරුම වැදගත්කමකි.සීතල යුද්ධය පුරාවට, 1950ස් ගනන්වල රෑන්ඩ් හි ප්‍රධාන මූලේපායඥයෙකු වූ හර්මන් ඛාන්ගේ කුප්‍රකට වාක්‍යාංශයක් වූ “අදහාගත නොහැකි දේ සිතීම” වෙනුවෙන් පෙනී සිටි මූලික බුද්ධි මන්ඩලය රෑන්ඩ් සමායතනය විය. ඛාන් On Thermonuclear War (තාපන්‍යෂ්ටික යුද්ධය ගැන) යන ඔහුගේ බිහිසුනු පොත කැපකලේ සෝවියට් සංගමයට එරෙහිව “ජය ගත හැකි” න්‍යෂ්ටික යුද්ධයක් සඳහා මූලෝපායක් විස්තාරනය කිරීමට ය.

පසු ගිය සතියේ නිකුත් කරන ලද, නව අධ්‍යයනයේ පූර්විකාවට අනුව, “මෙම අධ්‍යයනයට හමුදා උප ලේකම් කාර්යාලය විසින් අනුග්‍රහ දක්වන ලද අතර මෙහෙයවන ලද්දේ රෑන්ඩ් අරායෝ මධ්‍යස්ථානයේ මූලෝපාය, ධර්මතාව, හා සම්පත් වැඩසටහනේ සීමාව තුල ය. රෑන්ඩ් සමායතනයේ කොටසක් වන රෑන්ඩ් අරායෝ මධ්‍යස්ථානය එක්සත් ජනපද හමුදාව විසින් අනුග්‍රහ දක්වනු ලබන්නා වූ ද සාමූහිකව අරමුදල් සැපෙයන්නා වූ ද පර්යේෂන හා සංවර්ධන කේන්ද්‍රයකි.”

පත්‍රිකාව ඛාන් සම්ප්‍රදායට අනුකූලවූ යුද අභ්‍යාසයකි: එනම් එක්සත් ජනපදය, චීනය හා සෙසු ලෝකයේ ජනතාව සඳහා වන විනාසකාරී ප්‍රතිවිපාකයන්ට මුළුමනින් ම නොතකා හරින, න්‍යෂ්ටික බලවතුන් දෙදෙනො අතර යුද්ධයකින් මතු විය හැකි ප්‍රතිඵල කිරා මැන බැලීමකි.

අධ්‍යයනය පදනම් වන්නේ අතිශයින් සැකමුසු උපකල්පනයන් මත ය: එක්සත් ජනපදය හා චීනය අතර යුද්ධයට අනෙකුත් බලවතුන් සම්බන්ධ නොවනු ඇත; එය නැගෙනහිර ආසියවට සීමා වනු ඇත; එමෙන් ම එහිදී න්‍යෂ්ටික අවි භාවිතා නො කෙරෙනු ඇත. යතාර්ථයේ දී, චීනයට එරෙහි යුද්ධයක් පටන් ගැන්මේ දී ම එක්සත් ජනපදයේ සහචරයන් ඊට පැටලෙනු ඇත, මුලුමනින් ම වියැ හැකි පරිදි යුද්ධය,වේගයෙන් පාලනය ඉක්මවා යයි, ආසියාව ඉක්මවා පැතිරෙයි, න්‍යෂ්ටික අවි භාවිතා කිරීමේ අනතුර වැඩි කර යි.

ඔබාමා පාලනාධිකාරියේ “ආසියාවට හැරීමේ” කොටසක් ලෙස එක්සත් ජනපදය කලාපය පුරා සහචරයන් ශක්තිමත් කරමින් සිටින අතර නව කඳවුරු පිහිටුවීමේ විධිවිධාන පිහිටුවමින් හා මිලිටරි “පරිඝනක තොරතුරු හුවමාරු කිරීමේ හැකියාව” ඒකාබද්ධ කරයි. අඩුම තරමින්, ජපානය, ඕස්ට්‍රේලියාව, දකුනු කොරියාව, පිලිපීනය, සිංගප්පූරුව හා තායිලන්තයේ ඔත්තුසේවා සහ මිලිටරි හා කඳවුරු පහසුකම් වලින් තොර ව එක්සත් ජනපද මිලිටරියට, චීනයට එ‍රෙහිව යුද්ධයක් ගෙන යා නො හැක.

විචල්‍යයන් දෙකක්, එනම් වේගය (මෘදු හෝ උග්‍ර) හා යුද්ධය පවත්නා කාලය (දින කීපයක සිට වසරක් හෝ ඊට වැඩියෙන්) මගින් නිර්නය කෙරෙන ගැටුමක් සඳහා රෑන්ඩ් සමායතන අධ්‍යයනය සලකා බලන්නේ පමන ඉක්මවා සරල කෙරුනු පරිදර්ශන හතරකි. මිලිටරි තාක්ෂනයේ දියුනුවෙහි ‍වේගය සලකා ― දැනටමත් අප්‍රකාශිත අවි තරඟය තුල ― ප්‍රතිඵල කාලය අනුව වෙනස්වන බව ද එය සඳහන් කර යි. මෙලෙස එය, 2015 සටන් කෙරෙන යුද්ධයක හා 2025 ඇති වන යුද්ධයකදී දෙපැත්ත ම සඳහා වන හානි හා පිරිවැය අධ්‍යයනය කර යි.

නිගමනයන්ගේ සම්පින්ඩනය වැඩි අවධානයක් යොමු කරන්නේ මෘදු ඒවාට වඩා උග්‍ර ගැටුම්වල ප්‍රතිඵල වෙතට ය. අවස්ථා දෙකේ දී ම, ―කෙටි, උග්‍ර යුද්ධය හා දිගු, උග්‍ර යුද්ධයකදී― චීනය මතට යෙදෙන ආර්ථික හා මිලිටරි බලපෑම එක්සත් ජනපදයට වඩා බොහෝ විශාල වනු ඇතැ යි අධ්‍යයනය ගනන් බලා තිබේ. ඒ අතරම, 2015ට වඩා 2025දී එක්සත් ජනපදයට වඩා වැඩි හානි හා පිරිවැය දරන්නට සිදු වෙනු ඇතැ යි එය නිගමනය කර යි.

පත්‍රිකාව මෙසේ ද පවස යි: “තම මිලිටරි වාසිදායක තත්වය හීන වීමත් සමග, චීනය සමග යුද්ධය තම සැලසුම්වලට අනුකූල ද යන්න පිලිබඳව එක්සත් ජනපද විශ්වාසය අඩු වනු ඇත. චීනයේ වර්ධනය වූ මිලිටරි හැකියාවන්, විශේෂයෙන් ම ප්‍රවේශ මාර්ග අවහිර කිරීම හා භූමිභාග ප්‍රතික්ෂේප කිරීමෙහි අර්ථය වන්නේ, යුද්ධයක් ඇති වුවහොත්, චීනයේ ආරක්ෂාව විනාස කරමින් ද තීරනාත්මක ජයග්‍රහන ලබා ගනිමින් ද මෙ‍හෙයුම් පාලනයක් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජනපද බලාපොරත්තු හීන වනු ඇති බව යි.”

පෙන්ටගනයේ සියලු සැලසුම් හා සූදානමට රුකුල් දෙන අප්‍රකාශිත නිගමනය වන්නේ, චීනය සමග යුද්ධය පසුවට කල් දමනවාට වඩා ඉක්මනින් කල යුතු බව යි. එක්සත් ජනපද මිලිටරි ශක්තිය අපේක්ෂා කරන්නේ, එහි සියලු ගුවන් හා නාවුක හමුදා බලයෙන් සියයට 60ක් 2020 වන විට ඉන්දු-ශාන්තිකර කලාපයේ රැඳවීමට ය― දැන් සිට යන්තම් අවුරදු 3ට ඉදිරියෙනි. තව ද, ආසියාව තුල, විශේෂයෙන් ම දකුනු චීන මුහුදේ වොෂින්ටනය භයානක ජ්වලනාංකයක් හිතාමතා ඇවිලවීම, ඉලක්ක කෙරෙන්නේ බීජීනය “ආක්‍රමනාකාරී” මෙන් ම “ව්‍යාප්තවාදී” යයි පින්තාරු කිරීමට හා යුද්ධයට අත්‍යාවශ්‍ය හේතුකාරකයක් ප්‍රබන්ධ කිරීමට ය.

කෙසේ නමුත්, අධ්‍යයනයේ මුලුමනින් ම අවධාරනය කරන්නේ එක්සත් ජනපදයේ සිට කිලෝ මීටර් දහස් ගනනක් දුර කලාපයකට සීමා කෙරුනු යුද්ධයේ නව යටත්විජිත ස්වභාවය යි. වොෂින්ටනයේ අරමුන එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ මූලෝපායික හා ආර්ථික උත්සුකයන්ට චීනය සම්පූර්නයෙන් ම යටත් කිරීමට වඩා අඩු දෙයක් නොවේ.

පෙන්ටගනයට හා ධවල මන්දිරයට උපදෙස් දීමේ දී රෑන්ඩ් සමායතන පත්‍රිකාව ඉල්ලා සිටින්නේ, “චීනය සමග දීර්ග හා උත්සන්න කල යුද්ධයක් සඳහා දූරදර්ශී සූදානමකි.” එය මෙසේ ද පවස යි: “ තමන්ගේ සැලැසුම්කරනය, පොදු ජනතාව පාලනය කිරීමේ තම ක්‍රමවේදය හා චීනය සමග අදහස් හුවමාරු කර ගැනීමේ හැකියාව මගින් චීනය සමග යුද්ධයක පරිමාව, වේගය හා යුද්ධය පවත්නා කාලය සීමා කිරීමට එක්සත් ජනපදයට ඇති හැකියාව වැදගත් කමින් අඩු නො වේ.”

එක්සත් ජනපදය තුල “පොදු ජනතාව පාලනය කිරීමේ ක්‍රමවේදයක” අවශ්‍යතාව සඳහන් කිරීම විශේෂයෙන් ම නරුම ය. ඇමරිකානු ජනතාවට හොරෙන්, රෑන්ඩ් සමායතනය වැනි බුද්ධිමන්ඩල විසින්, පොලිස්/මිලිටරි හමුදා විසින් හා පුලුල් රාජ්‍ය සංවිධාන විසින්, දෙවැනි ලෝක යුද්ධය තුල යොදා ගැනුනු ඒවා ඉක්මවා යන පොලිස් රාජ්‍ය පියවර සඳහා සැලසුම් සකස් කෙරෙමින් පවතින්නේ, යුද විරෝධී ව්‍යාපාරය මර්දනය කිරීමට ය.

රෑන්ඩ් සමායතන පත්‍රිකාව, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, “සමාජවාදය හා යුද්ධයට එරෙහි සටන” නම් ශීර්ෂයෙන් යුක්තව 2016 පෙබරවාරි 18වැනිදා නිකුත් කරන ලද ප්‍රකාශනය තුල කරන ලද අනතුරු ඇඟවීම පිලිබඳ බිහිසුනු සනාථනයකි. එක් නිශ්චිත අවස්ථාවක දී, මිලිටරි ඉරනම්වාදය යුද්ධය පිපිරීමට දායක වන වැදගත් සාධකයක් වන බව ප්‍රකාශනය සඳහන් කර යි. එය මෙලෙස සඳහන් කරන ලද ජාත්‍යන්තර සම්බන්ධතා විශ්ලේෂකයෙකු උපුටා දක්ව යි: “යුද්ධය නොවැලක්විය හැකිය යන වැටහීම ඇතිවූ කල, නායකයින්ගේ හා මිලිටරි බලවේගයන්ගේ ගනන් බැලීම් වෙනස් වීමට පටන් ගනී. තවදුරටත් ප්‍රශ්නය වන්නේ, යුද්ධයක් සිදුවනු ඇත්ද හා සිදුවිය යුතු ද යන්න නො ව, ඉතා වාසිදායක ලෙස යුද්ධය දියත් කල හැක්කේ කවදා ද යන්න යි.”

නව අධ්‍යයනය අඟවන්නේ සිතීමේ එවැනි වෙනසක් වොෂින්ටනය තුල සිදුවෙමින් පවතින බව යි. එමෙන් ම රෑන්ඩ් අධ්‍යයනය න්‍යෂ්ටික යුද්ධයක හැකියාව ඉවත දමන අතර, අනෙකුත් අධිරාජ්‍යවාදී මූලෝපායඥයින් සැලැසුම් කරමින් සිටින්නේ සිදු විය හැකි එවැනි තත්වයක් සඳහා ය.

“ආසියාවට හැරීම” සැලැසුම් කිරීමේ දී කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කර ඇති, මූලෝපාය හා ජාත්‍යන්තර අධ්‍යනය පිලිබඳ කේන්ද්‍රය (සීඑස්අයිඑස්), යන්තම් සති දෙකකට පෙර, චීන න්‍යෂ්ටික අවි තොග පිලිබඳ තක්සේරු වාර්තාවක් ඉදිරිපත් කලේ ය. පත්‍රිකාවේ ශීර්ෂය වූයේ “චීනයේ න්‍යෂ්ටික බලය හා ජනඝාතක අවි” යන්න යි.

සීඑස්අයිඑස් ද න්‍යෂ්ටික යුද්ධයක ශඛ්‍යතාව පහත හෙලා ඇති නමුත්, එය මුලුමනින් ම ප්‍රතික්ෂේප නො කරයි. “ඉතිහාසය නපුරු අනතුරු ඇඟවීමකි” එය පවස යි, .“සමහරවිට නිවාරකය අසාර්ථක වෙයි, එමෙන් ම කිසි දා නියම ලෙස සැලැසුම් හෝ පාලනය නොකෙරුනු ආකාරයකට (යුද්ධය) තීව්ර ලෙස පැතිර යයි.”

නරකිනුත් නරක අතට හැරෙන ධනවාදයේ ආර්ථික හා දේශපාලන බිඳවැටීම විසින් තල්ලු කෙරෙන, ලෝක පරිමානයේ තවත් විනාසකාරී යුද්ධයක් විය හැකිවා පමනක් නොව, ජාත්‍යන්තර කම්කරු පන්තියේ මැදිහත්වීමක් සිදු නොවුනහොත් එය අනිවාර්ය ද වේ. කෙසේ නමුත්, ලෝක යුද්ධයේ උන්මාදය කරා තල්ලු කෙරෙන ධනේශ්වර අර්බුදය ම සමාජවාදී විප්ලවය සඳහා ආවේශය ද නිර්මානය කරයි. මෙය අවධාරනය කරන්නේ ධනවාදය හා එහි යල් පිනූ ජාතික රාජ්‍ය පද්ධතිය අවසාන කිරීමට හා සමාජවාදී පදනමක් මත සමාජය යලි ඉදි කිරීම සඳහා කම්කරු පන්තියේ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමට හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් ගෙන යමින් සිටින දේශපාලනික සටනේ හදිසි භාවය යි.

පීටර් සිමන්ඩ්ස්

Share this article: