සයිටම් වෛද්‍ය විද්‍යාලය රජයේ සහ පුද්ගලික අංශයේ ව්‍යවසායක් ලෙස ඉදිරියට ගෙනයෑමේ තැතක්

මිනූෂ ප‍්‍රනාන්දු විසිනි, 2016 අගෝස්තු 19

මාලඹේ පිහිටි දකුනු ආසියානු සහ තාක්ෂනික ආයතනයේ (සයිටම්) වෛද්‍ය පීඨය, රාජ්‍ය සහ පුද්ගලික ව්‍යවසායක් ලෙස පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවත්, ඒ පිලිබඳව ඉදිරියේ දී කැබිනට් මන්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන බවත්, මහා මාර්ග සහ උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පසුගිය දා මාධ්‍ය වෙත ප‍්‍රකාශ කලේ ය.

අගමැති රනිල් වික‍්‍රමසිංහ සහ තමා, රාජ්‍ය විශ්ව විද්‍යාලයන් හි වෛද්‍ය පීඨාධිපතිවරුන් අට දෙනෙකු සමග මෙම සාකච්ඡාව සිදු කල බවත්, උසස් අධ්‍යාපනය කෙරෙහි පුද්ගලික අංශයේ ආයෝජන ආකර්ෂනය කර ගැනීම සඳහා රජය ද මැදිහත් වූ මෙවන් සම්බන්ධතාවයක ආකෘතියක් අත්හදා බලන බවත්, කිරිඇල්ල එහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කලේය.

මාලඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් වැඩෙන සිසු හා මහජන විරෝධය හමුවේ, අධ්‍යාපනයේ පුද්ගලීකරන වැඩපිලිවෙල වෙනත් රූපාකාරයකින් ඉදිරියට ගෙනයාම ආන්ඩුවේ නව යෝජනාවේ අරමුනයි.

කෙසේ නමුදු, සයිටම් වෛද්‍ය පීඨයේ ශික්ෂන රෝහල සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය විසඳන තුරු නවක සිසුන් බඳවා ගැනීම නවතාලන්නැයි ඉහත සාකච්ඡාවේ දී වෛද්‍ය පීඨාධිපතිවරුන් කල ඉල්ලීම කිරිඇල්ල ඇතුලු බලධාරීහු ප‍්‍රතික්ෂේප කලහ.

සයිටම්හි පලමු වෛද්‍ය සිසු කන්ඩායම උපාධිය සම්පූර්න කොට ඇති මුත්, ඔවුන් පුහුනුව ලැබූ නෙවිල් ප‍්‍රනාන්දු රෝහල, ශික්ෂන රෝහලක ප‍්‍රමිතීන් සපුරා නොමැති බැවින්, වෛද්‍යවරුන් ලෙස නොපිලිගැනීමට වෛද්‍ය සභාව තීරනය කොට ඇත.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ හා කිරිඇල්ලගේ සහායෙන්, වෛද්‍ය සභාවේ අනුමැතිය මගහැර යාමට අවශ්‍ය නීතිමය පියවර ගැනීමට සයිටම් කලමනාකරිත්වය කටයුතු කරගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (රවෛනිස) පසුගිය 27 දා මාධ්‍ය හමුවකදී කියා සිටියේ ය.

කෙසේ නමුත් සයිටම් උපාධිය සම්බන්ධව, වෛද්‍ය සභාවේ මෙන්ම රවෛනිසයේ විරුද්ධත්වය පදනම් වන්නේ ශික්ෂන රෝහලේ ප‍්‍රමිතිය පිලිබඳ ප‍්‍රශ්න මත මිස, පුද්ගලීකරනයට එරෙහිවීමක් ලෙස නොවේ.

ආන්ඩුවේ පුද්ගලීකරනයට පාරකපන්නක් වන ඔවුනගේ විරුද්ධත්වය, වෛද්‍ය වෘත්තීය වනාහි අනෙක් වෘත්තීන්ට ඉහලින් පිහිටි අත්‍යසාමාන්‍ය ක්ෂේත‍්‍රයක් යන්න තහවුරු කිරීමෙන් තම සාමාජීය, ආර්ථික වරප‍්‍රසාද සුරක්ෂිත කරගැනීමේ උත්සාහයක් සමග බැඳී තිබේ.

රවෛනිස සහ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන අතර පැවති සාකච්ඡාවකින් පසු එම සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් මාධ්‍යයට පැවසුවේ සයිටම් ආයතනය “ප‍්‍රමිතිය හදා ගන්න බවක්” පෙනෙන්නට නොමැති බැවින් සිදු කිරීමට ඇත්තේ එය “රජයට පවරා ගැනීම බව” සාකච්ඡාවේ දී ජනාධිපතිවරයාට පැවසූ බවයි.

මේ අතර, රජයේ රෝහල්වල නෙවිල් ප‍්‍රනාන්දු රෝහලට වඩා ගැටලු තිබෙන බවත්, අවශ්‍ය නම් වෛද්‍ය සභාවේ අනුමැතියකින් තොරව සෞඛ්‍ය අමාත්‍යවරයාට සයිටම් වෛද්‍ය උපාධිය අනුමත කල හැකි බවත් ඇමති එස්.බී. දිසානායක පසුගිය සතියේ ප‍්‍රකාශ කලේය.

2008 වසරේදී සයිටම් ආරම්භ කරනු ලැබුවේ පැවති රාජපක්ෂ ආන්ඩුවේ අධ්‍යාපන පුද්ගලීකරනය දිරිගැන්වීමට සමගාමීවය. 2011 අගෝස්තු මාසයේදී එවක උසස් අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි දිසානායක ගැසට් නිවේදනයක් ඔස්සේ මෙම ආයතනයටත්, එහි වෛද්‍ය පාඨමාලාවටත් නීතිමය පිලිගැනීම ලබාදුන්නේ රජයේ වෛද්‍ය සභාවේ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හා සරසවි සිසුන්ගේ විරෝධය නොතකා හරිමිනි. සයිටම්හි වෛද්‍ය පීඨය හැරුන විට ඉංජිනේරු, කලමනාකරන සහ තොරතුරු තාක්ෂනය සහ සන්නිවේදනය පිලිබඳ පීඨයන්් වශයෙන් තවත් පීඨ තුනක් කි‍්‍රයාත්මක වන අතර රටපුරා විවිධ විෂයයන්ට උපාධි පිරිනමන මෙවන් පුද්ගලික ආයතන දුසිම් ගනනක් පැතිර තිබේ. මෙම ආයතනවල උපාධියක් ලබා ගැනීමට රුපියල් මිලියන ගනනක් වැය වන අතර සයිටම්හි වෛද්‍ය උපාධියක් සඳහා වැය වන මුදල ආසන්න වශයෙන් මිලියන හයකි.

සයිටම් වෛද්‍ය සිසුන්ට රජයේ රෝහල් වල සායනික පුහුනුව ලබා දීමට ආන්ඩුව කලින් එකඟ වූ නමුත්, රවෛනිස යේ විරෝධය හේතුවෙන් එය ක‍්‍රියාත්මක කිරීමට නොහැකි විය. වෛද්‍යවරුන් හට “රජයේ අරමුදල් මගින් වැටුප් ගෙවන තත්වයක් තුල රාජකාරියේ නිරත කාලය තුල පුද්ගලික වෛද්‍ය ශිෂ්‍යයන්ට ඉගැන්වීම” මගින් ඔවුන්ට “විනය පරීක්ෂන වලට” සහ “ආයතනික සංග‍්‍රහය උල්ලංඝනය කිරීම” සම්බන්ධයෙන් වන පරීක්ෂන වලට මුහුන දීමට හේතුවිය හැකි බැවින් “නෛතික බාධක විසඳන තුරු” පුද්ගලික වෛද්‍ය ශිෂ්‍යයන්ට “රජයේ සම්පත් භාවිතා” කරමින් ඉගැන්වීමෙන් වැලකී සිටින මෙන් රවෛනිස ලිපියක් මගින් වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටින ලදී.

ආන්ඩුව මෙම ආයතනය රාජ්‍ය සහ පුද්ගලික ව්‍යවසායක් ලෙස පවත්වාගෙන යාමට සැරසෙන්නේ වෛද්‍ය සභාව සහ රවෛනිස විසින් ඉදිරිපත් කරන ප‍්‍රමිතිය සහ නෛතික ගැටලු පිලිබඳ මෙම බාධක මග හරවා ගැනීම සඳහාය.

සයිටම් සම්බන්ධ පලල් මහජන විරෝධය ගසාකෑමට උත්සාහ ගන්නා ව්‍යාපාරයන් අතරින්, ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) මගින් මෙහෙයවන අවිශිබමය සහ වෛද්‍ය ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව පෙරමුනේ සිටිති. ඔවුනගේ සයිටම් විරෝධය, අධ්‍යාපනය ඇතුලු මහජන සුබසාධනයට එරෙහි සමස්ත ප‍්‍රහාරයෙන් හා ධනේශ්වර අර්බුදයෙන් වෙන් කොටගත්, ආන්ඩුවට බලපෑම් දැමීමෙන් ‘සයිටම් වසා දැමීම’ හෝ ‘රජයට පවරා ගැනීම’ එල්ල කොටගත් එකකි.

මොවුන් පන්ඩිතමානී ලෙස කියා සිටින්නේ සයිටම් පුද්ගලික වෛද්‍ය උපාධියට ඉඩදීම මගින් අධ්‍යාපනය ‘වානිජ්‍යකරනය’ වන බවයි.

දැනට පවත්නා රාජ්‍ය අධ්‍යාපනය වානිජ්‍යකරනය නොවී ඇති බවක් සහ ධනපති ක‍්‍රමය තුල වානිජ්‍යකරනය නොවූ අධ්‍යාපනයක් පවත්වාගෙන යා හැකි බවක් ඉන් සෘජුවම ඇඟවේ. මෙය මුලුමනින්ම සාවද්‍ය ය. ධනේශ්වර ක‍්‍රමය තුල රජයේ පාසැල් සහ විශ්ව විද්‍යාලයන් පවා ක‍්‍රියාත්මක වන්නේ වානිජ්‍යයේ නීති අනුවය. ඒවා තුල ශ‍්‍රමිකයන් නිශ්පාදනය කෙරෙන්නේ ද, විෂය ධාරාවන් දිශාගත කෙරී පවතින්නේ ද, ශ‍්‍රම වෙලඳපොලේ අවශ්‍යතාවන්ට අනුවයි.

කම්කරු-පීඩිත මහජනතාව පුද්ගලීකරනයට විරුද්ධ විය යුත්තේ මෙම ධනේශ්වර රාජ්‍ය අධ්‍යාපන ක‍්‍රමය ආරක්ෂා කිරීමේ අර්ථයෙන් නොවේ. ඊට විපරීතව, තමා සටන් කොට දිනාගත් සීමිත නිදහස් අධ්‍යාපනය පවා අහෝසි කර දැමීම පුද්ගලීකරනයේ අරමුන බැවිනි.

අවිශිබම යේ මෙම කුතර්කයන් ගලා එන්නේ ධනේශ්වර පද්ධතියට ගැඹුරින්ම බැඳී ඇති ඔවුනගේ විරෝධතා දේශපාලනයෙනි. ධනපති ආන්ඩුවලට බලපෑම් දැමීම මගින් තම ප‍්‍රතිසංස්කරනවාදී ඉල්ලීම් දිනාගත හැකිය යන්න තොරොම්බල් කරමින් කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් දෙසට සිසුන්ගේ හැරීම වැලැක්වීම ඔවුනගේ මූලික දේශපාලන භාවිතයයි.

මෙහි කොටසක් ලෙස, ජුලි මස 21 වනදා, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හට ලිපියක් යොමු කරමින් සයිටම් අර්බුදය විසඳීමට අවිශිබමය යෝජනා දෙකක් ඉදිරිපත් කලේය. ඉන් පලමු වැන්න මෙම විශ්ව විද්‍යාලය “මුලුමනින්ම වසා දැමීමයි”. දෙවැන්න වන්නේ “පූර්න ලෙස රජයට පවරා ගැනීමයි”. “රටේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය ආරක්ෂා කිරීම සඳහාත්, සෞඛ්‍ය සේවයේ සිදුවීමට නියමිත විනාශය වලක්වා ගැනීමටත්” ජනාධිපතිවරයා “නිසි මැදිහත් වීමක්” සිදු කරනු ඇතැයි ඔවුන් “අපේක්ෂා කරන” බවද එහි සඳහන් කොට ඇත.

ප‍්‍රහාරය වැලැක්වීම සඳහා මැදිහත්වන ලෙස ප‍්‍රහාරකයාගෙන් ම ඉල්ලා සිටින මෙම නිවට සහ වංචනික පිලිවෙත මගින් සිසුන්ගේ සහ මහජනතාවගේ විඤ්ඤානය තුලට යලි යලිත් ඇතුලු කෙරෙන්නේ ධනේශ්වර ආන්ඩුවට බලපෑම් දැමීමෙන් සහ එයට කරුනු පහදා දීමෙන් ප‍්‍රහාරයන් වලකාගත හැකි බවයි.

ව්‍යාජ-වාම සංවිධාන හා මධ්‍යම පන්තික කල්ලි කන්ඩායම් සමග එක්ව අවිශිබමය අරඹා ඇති, ‘මාලඹේ සයිටම් හොර උපාධිකඩය අහෝසි කිරීමට බල කෙරෙන ඒකාබද්ධ ප‍්‍රකාශයකට අත්සන් තැබීම’ තවත් එවැනිම ප්‍රෝඩාවකට අතගසා තිබේ.

පෙසපයේ ගර්භාෂය වන ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) අටවා ඇති පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය විසින් “සයිටම් එපා” යන මැයෙන් සංවිධානය කර තිබූ රැලියකදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පැවසුවේ “අධ්‍යාපන අයිතිය අහෝසි කරන” ආන්ඩුවේ “ප‍්‍රතිපත්තිය” පරාජය කිරීම සඳහා ඔවුන්ගේ “උපරිම මැදිහත්වීම, සහයෝගය ලබා දෙන බව ශපථ කරන” බවයි. ‘පාඩු ලබන’ රාජ්‍ය ආයතන පුද්ගලීකරනය කිරීමේ ආන්ඩුවේ වැඩපිලිවෙල වටා රැලි වී සිටින ජවිපෙ නිදහස් අධ්‍යාපනය රැක ගැනීම සම්බන්ධයෙන් කරන මෙම ප‍්‍රකාශ එලෙසම වංචනික වේ.

වත්මන් දක්ෂිනාංශික ආන්ඩුව බලයට ගෙනඒම සඳහා දරදිය ඇදි සිවිල් සංවිධාන තුල ප‍්‍රමුඛ භූමිකාවක් ඉටුකල නිර්මාල් රන්ජිත් දේවසිරි ඉහත රැස්වීමේ තවත් කථිකයෙකු විය. පුද්ගලීකරනය ඇතුලු ආන්ඩුවේ ප‍්‍රහාරයන්ට එරෙහිව වැඩෙන මහජන විරෝධය සමස්ත ධනපති ක‍්‍රමයට එරෙහි අරගලයක් ලෙස වැඩෙතැයි බියපත්ව සිිටින වරප‍්‍රසාදිත මධ්‍යම පන්තික ස්ථරයක දැනුවත් නියෝජිතයෙකු වන දේවසිරි, එම මහජන විරෝධය අවමංගත කොට දියකර හැරීමේ අටියෙන්, ‘පුද්ගලීකරනයට එරෙහි සටන් පාඨ සඳහා ධනපති ක‍්‍රමය තුල මෙතෙකුදු ඉඩක් ඇතැ’යි යන්න තහවුරු කිරීමට තැතනුවේය. ‘අර්බුද තිබුන ද දැන් ලෝකය ඒවා තේරුම් ගනිමින් ඊට අවශ්‍ය ප‍්‍රතිසංස්කරන පිලිගෙන ඇති බවත්, ලංකාව ද ඒවා අනුයා යුතු බවත්’ දේවසිරි පැවසීය. රටක් රටක් පාසා පාලක පන්තීන් මෙම අර්බුද ‘තේරුම් ගනිමින්’ ‘ඊට අවශ්‍ය ප‍්‍රතිසංස්කරන’ ලෙස සිදු කෙරෙමින් පවතින්නේ දැවැන්ත කප්පාදු බව දේවසිරි හොඳින් දනී. ඔහු පවසන්නේ ලංකාවේ පාලක පන්තිය ද එය අනු යා යුතු බවයි.

ආන්ඩුව සයිටම් සම්බන්ධ විවිධ උපාය මාර්ග අනුගමනය කරමින් යත්න දරන්නේ අධ්‍යාපනයේ පුද්ගලීකරන වැඩ පිලිවෙල කෙසේ හෝ ඉදිරියට ගෙන යාමටයි. බලයට පත්වන සියලු ආන්ඩු, විදේශ ආයෝජන ගෙන්වා ගැනීමට මෙන්ම විදේශ විනිමය රටතුල රඳවා ගැනීමේ මංමුලා සහගත උත්සාහයක යෙදී සිටින තතු තුල ඒවාට බලපෑම් දැමීමේ අවිශිබමයේ හුදකලා විරෝධතා මගින් සිදුවී ඇත්තේ නිදහස් අධ්‍යාපන අයිතිය ආරක්ෂාවීම නොව එකකට පසු තවෙකක් වශයෙන් ධනපති ආන්ඩු බලයට ගෙන ඒම හරහා කප්පාදුව තවත් ඉදිරියට ගෙනයාම සඳහා අවස්ථාව සලසා දීමයි.

රාජපක්ෂ විසින් අරඹන ලද සහ සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව විසින් වඩාත් ගැඹුරු කරමින් ක‍්‍රියාවට නගමින් සිටින අධ්‍යාපන කප්පාදුව සහ පුද්ගලීකරනය වනාහි, 2008 න් ඇරැඹී බිඳවැටීමක් තුලින් ගමන් කරන ධනේශ්වර ලාභ පද්ධතිය කම්කරු-පීඩිත මහජනතාවගේ වියදමෙන් රැක ගැනීම සඳහා ජාත්‍යන්තර ප‍්‍රාග්ධනය දරමින් සිටින මංමුලා සහගත ප‍්‍රයත්නයේ කොටසකි.

එබැවින් අධ්‍යාපනය ඇතුලු අනෙකුත් සමාජ අයිතීන් මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් දිනා ගැනීම සඳහා වන එකම ශක්‍ය වැඩපිලිවෙල වන්නේ ධනේශ්වර ලාභ පද්ධතිය පෙරලා දමා, දැවෙන මානුෂ අවශ්‍යතා මත නිෂ්පාදනය සැලසුම් කෙරෙන සමාජවාදී වැඩපිලිවෙලක් ක‍්‍රියාවට නගන කම්කරු ගොවි ආන්ඩුවකට සටන් වැදීමයි.

අවිශිබම, වෛද්‍ය ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, පෙසප ඇතුලු ව්‍යාජ-වාම පක්ෂ සහ දේවසිරි වැනි වරප‍්‍රසාදිත මධ්‍යම පන්තික බුද්ධිමතුන් මෙම වැඩපිලිවෙලට සපුරා විරුද්ධය.

Share this article: