ශ‍්‍රී ලංකාවේ විපක්ෂය ආන්ඩු-විරෝධී උද්ඝෝෂනය උත්සන්න කරයි

Sri Lankan opposition intensifies anti-government campaign

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2016 අගෝස්තු 4

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික‍්‍රමසිංහගේ පාලක සභාගයට අභියෝග කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් නායකත්වය දෙන පාර්ලිමේන්තු කන්ඩායමක් පස් දින පාගමනකින් අගෝස්තු 1 වෙනිදා කොලඹ දී රැලියක් පවත්වනු ලැබීය.

පා ගමන වැඩකරන ජනතාවගේ ජීවන තත්වයන් ට සහ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන්ට ආන්ඩුව එල්ල කරන ප‍්‍රහාර කෙරෙහි පැතිර පවතින විරෝධය ගසා කමින් රාජපක්ෂ යලි බලයට ගෙන ඒමේ දක්ෂිනාංශික හා ස්වෝත්තමවාදී ව්‍යාපාරයක් ඉස්මත්තට ගැනීමට දැරෙන වෑයමකි.

සිරිසේන විසින් 2015 ජනවාරි මාසයේ පැවති ජනාධිපතිවරනයේ දී රාජපක්ෂ බලයෙන් පහ කරනු ලැබුවේ එක්සත් ජනපදය විසින් මෙහෙයවන ලද පාලන තන්ත‍්‍ර මාරු කිරීමේ මෙහෙයුමකිනි. රාජපක්ෂගේ ආන්ඩුවේ හිටපු ජ්‍යේෂ්ඨ ඇමතියෙකු සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ‍්‍රීලනිප) ප‍්‍රධාන ලේකම් වූ සිරිසේන විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරනය තරඟ කිරීම පිනිස ආන්ඩුවෙන් ඉවත් විය.

වොශින්ටනය සමග සමීප සම්බන්ධකම් තිබෙන හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග සහ වික‍්‍රමසිංහ මෙම මෙහෙයුමට සහය දුන්හ. රාජපක්ෂගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී විධික‍්‍රම කෙරෙහි වොෂින්ටනය දිගු කාලයක් දෑස් පියාගෙන සිටි නමුත් බෙයිජිනය සමග පවතින ඔහුගේ සමීප සම්බන්ධකම් අවසන් කිරීමට සහ චීනයට එරෙහිව කෙරෙන එහි මිලිටරි ස්ථාපනයන්ට කලාපයේ සෙසු රටවල් සමග ශ‍්‍රී ලංකාවත් පෙල ගස්වා ගැනීම එයට අවශ්‍ය විය.

බලයට පත්වීමෙන් පසු සිරිසේන ශ‍්‍රීලනිපයේ සහ එය විසින් නායකත්වය දෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ (එජනිස) නායකත්වය භාර ගත්තේ ය. අනතුරුව, ඔහු මෙම සභාගය වික‍්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය (එජාප) සමග ජාතික සම්මුති ආන්ඩුවකට මෙහෙය වීය. එහෙත් සිරිසේනගේ නායකත්වය ප‍්‍රතික්ෂේප කල පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු දුසිම් තුනක් පමන ආන්ඩුවට විරුද්ධව උද්ඝෝෂනයට “ඒකාබද්ධ විපක්ෂයක්” පිහිටුවමින් රාජපක්ෂ වටේ රැලි වූහ.

උද්ඝෝෂනයට ජනතාවාදී පෙනුමක් දීම සඳහා රාජපක්ෂගේ පෙරමුන “ජන සටන” නමින් නුවර ආසන්නයේ සිට කොලඹට කිලෝ මීටර් 100 පා ගමනක් සංවිධානය කලේ ය. කොලඹට දස ලක්ෂයක් ගෙනෙන බවට එය කයිවාරු ගැසූ නමුත් පෙලපාලිය ඒ ගනන අසලටවත් ඒමට අසමත් විය. එහි තක්සේරුව හිතා මතා අඩු කලා වුනත් පොලිසිය පැවසුවේ රැස්වූ පිරිස 10,000 පමන වූ බවය. රාජපක්ෂ ආන්ඩුව බලයේ සිටිය දී ජීවන කොන්දේසි වලට එල්ල කල නිරන්තර ප‍්‍රහාර හා මර්දන ක‍්‍රියාවන් නිසා අතිශයින් ම අපකීර්තියට පත්ව තිබුනි.

විපක්ෂ කන්ඩායම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් සහ ජීවන කොන්දේසි ගැන සැලකිලිමත් බව බොරුවට ඇඟවීම සඳහා බදු වැඩි කිරීමට, සහනාධාර කැපීමට හා පලාත් පාලන මැතිවරන කල් දැමීමට විරුද්ධව සටන් පාඨ හඬ නැගූ අතර සටන්පාඨ සහිත පුවරු ඔසවාගෙන ගියේ ය. ඒ සමග ම සිංහල වර්ගවාදය ඇවිස්සීමට “රට නොබෙදනු!”, රට පාවා නොදෙනු!, සහ රන විරුවන් මර්දනය නොකරනු! ආදී සටන් පාඨ අතැතිව දෙමල ප‍්‍රභුව සමග කවර හෝ බලය බෙදා ගැනීමකට ඔව්හු විරුද්ධත්වය පල කලහ.

කොලඹ රැස්වීම ඇමතීමේදී ආන්ඩුව “රන විරුවන් හිරේට දමන” බව කියමින් රාජපක්ෂ හමුදාවට ආයාචනා කලේ ය. බෙදුම්වාදී දෙමල විමුක්ති කොටි සංවිධානය විනාශ කල මිලිටරි බලවේග වලට ආන්ඩුව දඬුවම් දෙනවාය යන්න ඔහුගේ චෝදනාවය. ඇත්ත වසයෙන් ම, ආන්ඩුව කරන්නේ 1983 යුද්ධය ආරම්භයේ සිට බලයට පත් වූ හැම ආන්ඩුවක් ම වගකිව යුතු යුද අපරාධ වලට සුදු හුනු ගෑමකි.

බෞද්ධ භික්ෂුන් හිරයට යැවීම ගැන ද රාජපක්ෂ ආන්ඩුවට චෝදනා කලේ ය. රාජපක්ෂ ඔහුගේ කතාව අවසානයේ “මෙය අත්හදා බැලීමක් පමනයි. ඊලඟ වතාවේ අපි එන්නේ ආපසු යන්න නෙමෙයි” යනුවෙන් තර්ජනාත්මකව පැවසුවේ ය.

ආන්ඩුවේ පොහොර සහනාධාරය කප්පාදුවෙන් හා වැට් බද්ද වැඩි කිරීමෙන් ජනතාව පීඩාවිඳීම කෙරෙහි තමන් කනස්සලු වන බවට රාජපක්ෂ බොරු මවා පෑමක් කලේ ය. ඇත්ත වසයෙන් ම, සිරිසේන වික‍්‍රමසිංහ ආන්ඩුව කරන්නේ රාජපක්ෂ එල්ල කල ප‍්‍රහාර තව දුරටත් තීව‍්‍ර කිරීමකි. ඔහුගේ ආන්ඩුව වැටුප් කැටිකිරීම් හා සමාජ සුබසාධන කප්පාදුව ක‍්‍රියාවට දැමූ අතර කම්කරුවන්ගේ සහ දුගීන්ගේ අරගල මැඞීම පිනිස පොලීසිය සහ හමුදාව මෙහෙයවීය.

දේශපාලන පිලිගැනීමක් යලි ඇති කර ගැනීමට උත්සාහ කරන අතර රාජපක්ෂගේ උද්ඝෝෂනය වැඩෙන සමාජ නොසන්සුන්තාවයට දක්වන නිශ්චිත ප‍්‍රතිචාරයකි. එය, වෑයම් කරන්නේ කම්කරු පන්තිය මතට කඩා පැනීම පිනිස දක්ෂිනාංශික, සිංහල ස්වෝත්තමවාදී ව්‍යාපාරයක් හැඩ ගස්වා ගැනීමටය.

තීව‍්‍ර වන දේශපාලන අර්බුදය පාලන කර ගැනීමට සිරිසේන සහ ආන්ඩුව මංමුලා සහගත තැතක යෙදී සිටිති. පාගමනට පෙර දින සවස ශ‍්‍රීලනිපයේ රාජපක්ෂ කන්ඩායමේ හදිසි රැස්වීමක් කැඳවූ සිරිසේන ශ‍්‍රීලනිපය තුල සිටිමින් “නව ව්‍යාපාර, බලවේග හෝ පක්ෂ ගොඩ නැගීමට අවසර නැති බවට අනතුරු ඇඟවූ නමුත් එය නොතකා පා ගමන සිදුවිය.

රාජපක්ෂගේ කල්ලිය පාලනය කර වලකා තැබීම සඳහා ඔහුගේ ආන්ඩුව කාලයේ සිදු වූ දුෂන ගැන කරන පොලිස් පරීක්ෂන හා අධිකරන කටයුතු ආන්ඩුව තීව‍්‍ර කර තිබේ. පාලක පන්තියේ හැම කන්ඩායමක් ම දූෂන හා වංචනික ගනුදෙනුවල යෙදී ඇති හෙයින් මෙය අමු ප්‍රෝඩාවකි. කෙසේ නමුත් එකී පරීක්ෂනයන් ආන්ඩුව සහ විපක්ෂ කන්ඩායම් අතර භේදය ගැඹුරු කර ඇත.

රාජපක්ෂගේ රැලියට පෙර දින ප‍්‍රසිද්ධ රැස්වීමක් ඇමතූ සිරිසේන “පුරාජේරු කතා මගින් අපේ මෙහෙවර නතර කරන්න බැහැ. වසර පහක් අප රට පාලන කරනවා. කිසිකෙනෙකුට ආන්ඩුව පෙරලන්න බැහැ” යැයි ප‍්‍රකාශ කෙලේය. හුදෙක් විපක්ෂයට නො ව, කම්කරු පන්තියට විරුද්ධව අත් ශක්තිමත් කර ගැනීමට ඔවුන්ගේ ජාතික සම්මුති ආන්ඩුවේ කාලය 2020 දක්වා දීර්ඝ කිරීමට සිරිසේන සහ වික‍්‍රමසිංහ තීන්දු කලහ.

ගැඹුරුවන ගෝලීය අවපාතය තුල අපනයන කඩාවැටීම සහ නය ඉහලයාම යටතේ ඉන් ගොඩ ඒමට මූල්‍යාධාර ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිර්දේශිත ආයෝජන හිතැති හා ආර්ථික කප්පාදු පිලිවෙත් ක‍්‍රියාවට දැමීමට ආන්ඩුව එකඟ වී ඇත.

මෙම ප‍්‍රහාරයන් දැනටමත් වැඩකරන ජනතාව, ගම්බද දුගීන් හා ශිෂ්‍යයන් අතර වැඩෙන විරුද්ධත්වයක් අවුලුදවා තිබේ. පසුගිය දිනවල විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන්, සෞඛ්‍ය සේවකයන් හා ගුරුවරුන් ඇතුලු දහස් ගනන් වැඩකරන ජනතාව මෙන් ම ගොවීන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සහ රැකියා විරහිත තරුනයෝ ආන්ඩුවේ පිලිවෙත් හා ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන්ට එල්ල කරන ප‍්‍රහාරවලට විරෝධය පෑහ.

විපක්ෂයේ උද්ඝෝෂනය ආන්ඩුව අස්ථාවර කර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නය කොන්දේසි ක‍්‍රියාවට දැමීම අසීරු කරනු ඇතැයි පාලක පන්තියේ කොටසක් භීතියට පත්ව සිටී. මෙම කැලඹී ප‍්‍රකාශයට පත් කරමින් සන්ඩේ ටයිම්ස් දේශපාලන තීරු ලේඛකයා මෙසේ ලියුවේ ය; “එහි ආර්ථික සමෘද්ධිය රඳා පවතින ජාතියේ ස්ථාවරත්වයට තර්ජනය කරන ඔවුන්ගේ ක‍්‍රියාවන් රිස්සිය නොහැකිය. යන්නේ කොහේදැයි නොදැන යන ඒකාබද්ධ විපක්ෂය යන දිසාවක පලච්චාවේ. නමුත් ජාතිය ඔවුන්ගේ ගමන් සගයා ලෙස ගැනීමට ඉඩ නොදිය යුතුය”.

රාජපක්ෂ කල්ලියේ දක්ෂිනාංශික උද්ඝෝෂනය සහ ආන්ඩුවේ තීව‍්‍ර කෙරෙන කප්පාදු ප‍්‍රහාර කම්කරු පන්තිය ඉදිරියේ ඉමහත් අන්තරායක් මතු කරයි. ජීවන කොන්දේසි හා ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් විනාස කිරීමට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස කම්කරුවන්ගේ හා ගොවියන්ගේ ආන්ඩුවක් සඳහා කරන අරගලයට කම්කරුවෝ තරුනයන් හා දුගීන් රැලිකර ගත යුත්තාහ.

මෙම ක‍්‍රියාමාර්ගය සාකච්චා කිරීම පිනිස අගෝස්තු 9 වෙනිදා කොලඹ මහජන පුස්තකාල ශ‍්‍රවනාගාරයේ පවත්වනු ලබන රැස්වීමට සහභාගී වන ලෙස හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප) සියලුම පන්ති විඥානිත කම්කරුවන්ට සහ තරුනයන්ට ආරාධනය කරයි.

Share this article: