මූල්‍ය අස්ථාවරත්වයට ඉන්ධන සපයන ගෝලීය ආර්ථික පල්වීම

Global economic stagnation fuels financial instability

නික් බීම්ස් විසින්, 2016 අගෝස්තු 8

එංගලන්ත මධ්‍යම බැංකුව “සුවිශේෂී” පියවර ගැනීමට තීරනය කිරීම පෙන්නුම් කරන්නේ, ගෝලීය ආර්ථීකයේ නරක අතට හැරෙමින් ඇති තත්වයයි.

ඇමරිකාවේ දුබල වර්ධන දත්ත හමුවේ, බ්‍රිතාන්‍ය යුරෝපීය සංගමයෙන් ඉවත් වීමට ගත් තීරනයේ බලපෑමට මුහුන දීම සඳහා එංගලන්ත මහ බැංකුව විසින් පසුගිය සතියේ, “සුවිශේෂී පියවර මාලාවක්” ගැනීමට තීරනය කිරීම සලකුනු කරන්නේ, ගෝලීය ආර්ථිකය හමුවේ පවතින නරක අතට හැරෙන තත්වයයි.

2017 වර්ෂය සඳහා බැංකුවම කලින් පුරෝකථනය කර තිබූ වර්ධන වේගය සියයට 2.3 සිට 0.8ක් තරම් තියුනු අන්දමින් පහත හෙලීම කෙරෙහි ප්‍රතිචාර දක්වමින් එය, වාර්තාගත සියයට 0.25 ක් තරම් අඩු මට්ටමකට පාදක පොලී අනුපාතය පහත හෙලමින් හා අමතර යුරෝ බිලියන 170ක් හෙවත් ඩොලර් බිලියන 223ත් මූල්‍ය ක්‍රමය තුලට මුදාහැරියේය.

වර්ධන වේගය කපා හැරීම, යුරෝ සංගමයෙන් පිටවීමේ තීරනයෙහි බලපෑම පමනක් නොව, සමස්තයක් ලෙස ගෝලීය ආර්ථිකයේම නරක අතට හැරෙන තත්වයේ පිලිබිඹුවකි.

ලෝකයේ විශාලතම ආර්ථිකය වන ඇමරිකාවේ වර්ධන වේගය පලමු කාර්තුවේදී සියයට 0.8ක් වූ අතර දෙවන කාර්තුවේ දී වාර්ෂික අනුපාතයකින් එය සියයට 1.2ක් තරම් හීන අගයක් ගැනීමේ කාරනය ඊට බලපෑවේය. දෙවන කිර්තුවේ වර්ධන සංඛ්‍යාව කලින් පුරෝකථනය කර තිබූ සියයට 2.5ට බෙහෙවින් පහත් අගයකි.

2007-09 පසුබෑමෙන් “ප්‍රකෘතිමත්” වීමට පටන්ගත් තැන් පටන් සියයට 2ක්ව පැවති වේගය සමග සසදන කල, පලමු කාර්තු දෙකේ පහත් අගයන්හි අර්ථය, 2016 වර්ධන වේගය සියයට 1ක් වන බවයි. දිගු කාලීන දැක්මකට අනුව ගත් කල ඇමරිකානු ආර්ථිකයේ පල්වීම, 1930 ගනන්වල මහා ආර්ථික අවපාතයෙන් පසුව පැවති නරකම තත්වයකි. ඔබාමගේ ධුර කාල දෙකේ වර්ධන වේගය සියයට 15.5ක් විය. 1950 ගනන් අවසන් වසරවල පැවති පසුබෑමෙන් ගොඩ ආ 1961 සිට 1969 වසර 8 වේගය සියයට 52ක් විය.

නිව් යෝර්ක් ටයිම්ස් පත්‍රය 7දා පල කල ලිපියකින්, එය සදහන් කල “පහත් වර්ධනයක් සහිත ලෝකය” තුල ප්‍රකාශිත වන සමහර දිගු කාලීන ප්‍රවනතා පෙන්වාදී තිබුනි. එය නව සංසිද්ධියක් නොවුන ද පසුගිය 15 වසර තුල දක්නට ලැබුන තත්වයකි. වසර 1947 සිට 2000 දක්වා ඇමරිකාවේ ඒක පුද්ගල දල දේශීය නිෂ්පාදිතය සාමාන්‍යයෙන් වසරකට සියයට 2.2න් ඉහල ගියේය. ඉන් පසුව සාමාන්‍යය සියයට 0.9ක් පමනි. යුරෝපයේ හා ජපානයේ වර්ධනය සිදුවූයේ ඊටත් අඩු මට්ටමකිනි.

ලිපිය පෙන්වාදෙන පරිදි 2005දී නිකුත් කරන ලද කොන්ග්‍රස් අයවැය කාර්යාලයේ ප්‍රක්ෂේපන, ඊට පෙර දශකය තුල සාක්ෂාත්වුනි නම්, ඇමරිකාවේ දදේනි සැබෑ තත්වයට වඩා සියයට 17න් විශාල, ඩොලර් ට්‍රිලියන 3.1 විය යුතුව තිබුනි. 2007-09 හැකිලීමේ බලපෑමට හිලව් කල විට පවා දදේනි පහත වැටෙනු ඇත්තේ ට්‍රිලියන 1.7න් පමනි.

මෙය සලකුනු කරන්නේ, 2008 අර්බුදය හා පසුකාලීන පසුබෑම, ආර්ථිකය නියම මගෙන් ඉවතට ඇද දමන ලද අසාමාන්‍ය සිදුවීම් නොව, වඩාත් ගැඹුරු රෝගී තත්වයක නාටකාකාර පිලිබිඹුව ලෙසය. එය ඉන් පසුව දිග හැරුනු තත්වයෙන් දැකගත හැකි විය. ලිපිය මෙම ගෝලීය පල්වීම වැඩකරන ජනතාවගේ ජීවන තත්වයන් කෙරෙහි ඇතිකල විනාශකාරී බලපෑම පිලිබඳ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරයි. පොදුවේ ඇමරිකානු ආදායම සමග සැලකිල්ලට ගන්නා, “2000 වසරේදී ඒක ජනක දදේනි, ඩොලර් 45000ක් විය. එහෙත් 20 වන සියවසේ දෙවන භාගයෙහි වර්ධනය, ඉන් පසු අවධියේ තරම්ම දුබල වී නම්, එම සංඛ්‍යාව ඩොලර් 20000ක් පමනක් වනු ඇත.

“කරුනු තවදුරටත් නරක අතට හරවමින්, සිදුවූ වර්ධනයේ ප්‍රතිලාභ කවරක් ද යන්න දැකගත හැකි වූයේ, එන්ට එන්ටම කුඩා පිරිසකට පමනි. මැකෙන්සි ගෝලීය ආයතනයේ අලුත් විශ්ලේෂනයකට අනුව, පසුගිය දශකය පුරා ඇමරිකාවේ ජනගහනයෙන් සියයට 81ක් ජීවත්ව ඇත්තේ සමතලාවූ හෝ පිරිහෙන ආදායම් පරාසයක් තුලය. එම සංඛ්‍යාවන් ඉතාලිය තුල සියයට 97ක් ද බ්‍රිතාන්‍යයේ 70ක් හා ප්‍රන්සයේ 63ක් වශයෙනි.”

ඇමරිකාවේ ද ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන්හි ද පවත්නා පල්වීමට ප්‍රධාන හේතුව, ආයෝජනයේ වැටීමය. ඇමරිකාවේදී දෙවන කාර්තුව තුල එය, එක දිගට පවතින තුන්වන කාර්තුව සලකුනු කරමින්, සියයට 9.7න් පහත වැටුනි. යුරෝපය තුල, 2008 මූල්‍ය අර්බුදයට පෙරාතුව පැවති මට්ටමට වඩා ආයෝජන මට්ටම් පවතින්නේ, සියයට 25න් පහත තැනක බවට ගනන් බලා ඇත. දෙවන කාර්තුවේ යන්තම් සියයට 0.3 පැවති යුරෝ කලාපයේ වර්ධන මට්ටම, එම පරිහානියේ බලපෑම පාර්ශවීය වශයෙන් පෙන්නුම් කරයි.

පසුගිය අට වසර පුරා ආයෝජනයේ පිරිහීම, සිදුවෙමින් ඇති ලාභ අනුපාතිකයේ පහත වැටීමෙහි ප්‍රකාශනයකි. සාමාන්‍ය ලාභ අනුපාතිකය යහපත් තත්වයක තිබියදී ප්‍රධාන සංගත වලට මුදල් ඒකරාශී කිරීමට ඉඩ සලසන අතර තව තවත් ආයෝජනය කිරීමෙන් යහපත් ප්‍රතිලාභ අත්කර නොදෙනු ඇතැයි සමාගම් කනස්සල්ලට පත් වෙති. එබැවින් සිය මුදල් සංචිත පලදායී ආයෝන වලට හරවනු වෙනුවට එම සමාගම්, ඒවා ඒකාබද්ධයන් හා කොටස් යලි මිලට ගැනීමේ මූල්‍ය මෙහෙයුම් කරා හරවති.

එවන් කටයුතු තනි සමාගමක ශුද්ධ ඉපැයුම් කෙරෙහි වාසිදායක විය හැකි වුව ද සමස්ත ආර්ථිකයේ ආස්ථානයෙන් ගත් කල්හි එය සලකුනු කරන්නේ, පරපුටුකමේ වැඩී යාමකි.

මෙම කටයුතු වලට, ලෝකයේ ප්‍රධාන මහ බැංකුවල ප්‍රමානාත්මක ලිහිල් කිරීම් හා පහත් පොලී අනුපාතික පිලිවෙත් මගින් පොහොර දමා දිරිමත් කරයි. එහෙත් එම කටයුතු තවත් මූල්‍ය ව්‍යසනයක කොන්දේසි නිර්මානය කරයි.

නිදසුනක් ලෙස යුරෝපීය මධ්‍යම බැංකුව, දැනට මසකට යුරෝ බිලියන 80ක නොහොත්, වසරකට යුරෝ ට්‍රිලියනයක තරම් වන, බැංකු පද්ධතිය තුලට එන්නත් කරන මුදල් මගින්, මහාද්වීපයේ බැංකු ක්‍රමය හා මූල්‍ය පැලැන්තිය නගා සිටුවීමට උත්සාහ කරයි. එහෙත් අවසානයේදී මූල්‍ය පද්ධතියම රඳා පවත්නාවූ, යටින් දිවෙන සැබෑ ආර්ථිකයේ අඛන්ඩව පවතින පල්වීම නිසා, එම උත්සාහය එහි සීමාවට ලඟාවෙමින් ඇති බවට සලකුනු ඇත.

2008 මූල්‍ය අර්බුදය ආසන්නයේ යුරෝපීය බැංකු හා මූල්‍ය ආයතන, බොල් නය කපාහැරීම ද ඇතුලු ප්‍රධාන ප්‍රතිව්‍යුහකරනයන් මගහැරියහ. මක්නිසා ද යත්, එවන් ක්‍රියා වලින් ඇමරිකානු මූල්‍ය ප්‍රාග්ධනයට එරෙහිව තමන්ගේ තරඟකාරිත්වය දුබල වේය යන බිය කරනකොට ගෙනය. ඔවුන් බලාපොරොත්තු වූයේ, යුරෝපීය ආර්ථික ප්‍රකෘතිය නිසා කාලයත් සමග සිය බොල් නය ගැටලු විසඳාගත හැකි වනු ඇති බවය. එහෙත් යුරෝපීය ආර්ථිකය වර්ධනය වීමට අසමත්වීම නිසා, බොල් නය ගැටලුව තවදුරටත් උග්‍ර වී තිබේ. ආර්ථිකය 2007 අත්කරගත් ආර්ථික නිමැවුම් කරා ලඟාවූයේ ඉතා මෑතකදීය.

අර්බුදය අතිශයින් තියුනු ලෙස ප්‍රකාශයට පත්වන්නේ, ඉතාලියේය. එරට බැංකුවල බොල් නය ප්‍රමානය යුරෝ බිලියන 340ක් බවට ගනන් බලා ඇත. එහෙත් තත්වය යුරෝපීය ආර්ථික පුරා පැතිරෙමින් තිබේ. ජර්මනිය ඉන් ස්වාධීන නැත. ඩොයිෂ බැංකුව ප්‍රධාන ජාත්‍යන්තර බැංකු අතරින් දුබලම එක ලෙස සැලකේ.

එංගලන්ත මහ බැංකුව පසුගිය සතියේ ගත් පියවර ගැන සදහන් කරමින් ෆිනෑන්ෂල් ටයිම්ස්හි මූල්‍ය විශ්ලේෂක මොහමඩ් එල් ඉරියන් ඒවා ඉහලින් වර්නනා කලේය. එහෙත් ඒවාට කල් පැවතිය හැකි බලපෑමක් ඇති කිරීමට නම්, ඊට අනුකූලව ආන්ඩුව කටයුතු කල යුතු බවට ඔහු අනතුරු ඇඟවීය. ඔහු සහ තවත් අය ඉදිරිපත් කල විසඳුම් අතර, බැංකු හා මූල්‍ය නයගැතිකම සමග කටයුතු කරන ප්‍රතිපත්ති, ආර්ථිකයේ සමස්ත ඉල්ලුම් කලමනාකරනය පිලිබඳ මනා ප්‍රතිපත්ති, දැඩි ජාත්‍යන්තර සම්බන්ධීකරනය හා වර්ධන හිතැති ප්‍රතිසංස්කරනයන් විය.

එහෙත් ගෝලීය ආර්ථිකය පනගන්වන එවන් ඒකාග්‍රිත පියවර කිසිවක සලකුනක් ඇත්තේ නැත. දේශපාලඥයින් දිගටම “පල්ලම් බසින්නේ හා වෙව්ලන්නේ නම්, අයහපත් වර්ධන බලාපොරොත්තු සැබෑ අවපාතයක් බවට හැරී, කෘතීම මූල්‍ය ස්ථාවරත්වය කිව නොහැකි අස්ථාවරත්වයකට මග පාදනු ඇත.” එවන් තත්වයන් හමුවේ, “මහ බැංකු, විභව විසඳුමක කොටසක් වනවා වෙනුවට, වඩාත් විශාල යථා ගැටලුවේ කොටසක් බවට පත්විය හැකිය”යි ඔහු තවදුරටත් පැවසීය.

එල් ඉරියන් විස්තර ඉදිරිපත් නොකරයි, නමුත් ඔහුගේ අනතුරු ඇඟවීමේ හරි මැද ඇත්තේ, ලෝක මූල්‍ය පද්ධතියට මධ්‍යම බැංකුවල පැවති සම්බන්ධතාවන් පරිවර්තනය වී ඇති බවයි. 2008 අර්බුදය පුපුරා යන විට මහ බැංකු, මූල්‍ය වෙලඳපොලෙන් පිටස්තරව සිටි අතර එබැවින් ස්ථාවරකාරී සාධකයක් ලෙස මැදිහත්වීමේ හැකියාවෙන් යුතු විය. අද ඒවා, ආන්ඩුවල හා අනෙකුත් මූල්‍ය අංශවල ඩොලර් ට්‍රිලියන ගනන් වටිනා කටයුතු වලට ක්‍රියාත්මකව මැදිහත්ව සිටී. ඇමරිකානු ෆෙඩරල් මහ බැංකුව පමනක් පසුගිය අට වසර පුරා ඩොලර් ට්‍රිලියන 4 වැඩි ප්‍රමානයක් දක්වා සිය වත්කම් සංචිත වැඩිකරගෙන සිටියි.

මධ්‍යම බැංකුවල මැදිහත්වීම්, ගෝලීය බැඳුම්කර වෙලඳපොලවල පෙර නොවූ විරූ තත්වයක් නිර්මානය කර තිබේ. කිසිදු ප්‍රතිලාභයක් අත්කර නොදෙන, ඩොලර් ට්‍රිලියන 12ක් තරම් වන ජාතික නය (sovereign debt) ප්‍රමානයක් දැන් ගනුදෙනු කෙරෙමින් තිබේ. එහි අර්ථය, මහා ආයෝජකයින් “සුරක්ෂිත ක්ෂේමභූමි” සොයමින් දුවන අතර මෙම බැඳුම්කර මිල තියුනු ලෙස ඉහල නැගී ඇති බවයි. ඒවා කල් පිරෙන විට තමා සතුකරගෙන සිටින ආයෝජකයෙකු, සැබවින්ම ලබන්නේ අලාභයකි. තත්වය තුලනය වී ඇත්තේ කෙතරම් අඩමාන ලෙස ද යත්, මූල්‍ය වෙලඳපොලවල අනපේක්ෂිත චලනයක්, සාපේක්ෂව කුඩා එකක් වුවත්, දුරදිග යන ප්‍රතිවිපාක ජනනය කරනු ඇත. සැබෑ ආර්ථිකයේ නරක අතට හැරෙමින් තිබෙන තත්වයක් තුල එංගලන්ත මහ බැංකුවේ තීරනයට කල හැක්කේ, මෙම යටින් දිවෙන අස්ථාවරත්වය තවත් දැඩි කිරීම පමනි.

Share this article: