ආන්ඩුවේ නිල සහායෙන් ගැම්ම ගත් බෞද්ධ අන්තවාදියෝ වාර්ගික ප‍්‍රකෝපකරනයන් උත්සන්න කරති

පානි විජේසිරිවර්ධන විසිනි, 2016 දෙසැම්බර් 11

මුස්ලිම් විරෝධය අවුලවමින්, බුද්ධ ශාසන සහ අධිකරන අමාත්‍ය විජේදාස රාජපක්ෂ පසුගිය 18 වන දා පාර්ලිමේන්තුවේදී කල ප‍්‍රකාශයෙන් සහ ඉන් අනතුරුව ‘බොදු බල සේනා’ සංවිධානය සමග ඔහු නිල වශයෙන් පවත්වා ගෙන යන සාකච්ඡාවන්ගෙන් ගැම්ම ලද, එම සංවිධානය ද ඇතුලත් බෞද්ධ අන්තවාදීන් තම මුස්ලිම් සහ දෙමල විරෝධී ප‍්‍රකෝපකරනයන් නව ඉහලකට නංවා ඇත.

සිහල රාවය නම් වූ තවත් බෞද්ධ අන්තවාදී සංවිධානයක් සමග එක්ව බොදු බල සේනා සංවිධානය ගොඩ නගා ගත්, ශාසනාරක්ෂක සභා නමින් යුත් මැර නඩයක් මුස්ලිම් සහ දෙමල විරෝධී ප‍්‍රකෝපකරනයක් සඳහා පසුගිය 3 වන දා මඩකලපුව නගරයට කඩා වැදීමට තැත් කලහ. එම නගරයේ ‘උපවාසයක’ යෙදී සිටින බෞද්ධ භික්ෂුවකගේ සහායට පැමිනි බව පැවසූ මෙම මැරයන්, ශ්‍රී ලංකා ජාතික කොඩියෙන් අනෙකුත් ජන වර්ග නියෝජනය කරන වර්න ඉවත් කොට තනන ලද කොඩි අත දරා සිටි අතර ඔවුනට නායකත්වය දෙනු ලැබුවේ මෙවන් වාර්ගික ප‍්‍රකෝපකරනයන් සම්බන්ධයෙන් කුප‍්‍රකට, බොදු බල සේනා නායක, ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව විසිනි

උපවාසයේ යෙදී සිටි, මඩකලපුව මංගලාරාමයේ අධිපති අම්පිටියේ සුමනරතන නම් භික්ෂුව දෙමල සහ මුස්ලිම් විරෝධී ප‍්‍රකෝපකරනයන් සම්බන්ධයෙන් කුප‍්‍රකට තැනැත්තකු වන අතර ඔහු බොදු බල සේනා හි ද නායකයෙකි. ‘සිංහල ජනයාට සෙත්පතා’ යැයි කියමින්, සුමනරතන ගේ නායකත්වයෙන් මංගලාරාමයේ එදින සංවිධානය කොට පැවැත්වීමට නියමිතව තිබූ ‘පිරිත් සජ්ඣායනාවක’ ට දිවයිනේ අනෙකුත් ප‍්‍රදේශවලින් බෞද්ධ අන්තවාදී කල්ලි කන්ඩායම් කැඳවා තිබුනි. දෙමල සහ මුස්ලිම් බහුතරයක් වෙසෙන මඩකලපුව නගරය තුල මෙවැන්නක් සංවිධානය කිරීම වාර්ගික ප‍්‍රකෝපකරනයක් සඳහා සිතාමතා කල සැලසුමකි.

සුමනරතන උපවාසයේ යෙදී සිටියේ, ‘සිදුවිය හැකි කලබලයක් වැලකීමට’, පොලීසිය විසින් මඩකලපුවට ඇතුලුවන සියලු මාර්ග වසා දැමීමට විරෝධය දක්වමිනි.

නගරයට ඇතුලුවීම වලකමින් අධිකරනය දුන් වාරන නියෝගය නොතකා මාර්ග බාධක ඉක්මවා යාමට තැත් කල මෙම කන්ඩායම් පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය ද කැඳවීමට සිදු විය.

මඩකලපුව නගරයට මොවුන් ඇතුලු වූයේ නම්, 2014 දී දකුනේ බේරුවල දී සිදු කෙරුනු ආකාරයේ විලෝපනයක පුනර්කරනයක් විය හැකිව තිබුනි. පසුගිය ජූනි මාසයේ මහියංගනයේ පැවති බොදු බල සේනා රැස්වීමක් අමතමින් බේරුවලක් පුනර්කරනය විය හැකි බවට ඥානසාර කල ප‍්‍රකාශය මඩකලපුවේ දී සිදුවිය හැකිව පැවති දෙය පිලිබඳ ඉඟියකි.

2014 ජූනි මාසයේ, ඥානසාර ගේ නායකත්වයෙන්, අලුත්ගම නගරයේ පැවැත්වූ බොදු බල සේනා රැස්වීමක් හරහා උසිගන්වන ලද සිංහල වර්ගවාදී මැරයෝ ආසන්න බේරුවල නගරයේ මුස්ලිම් නිවස්නා ප‍්‍රදේශ වලට කඩා වැදී ඔවුනගේ ගේ දොර කඩ සාප්පු ගිනිබත් කරමින් සහ ඔවුන් සන්තක දෑ මංකොල්ල කමින් කරන ලද විලෝපනයේ දී අවම වශයෙන් සතර දෙනෙකු මරා දැමූහ.

මෙවන් ප‍්‍රකෝපකරනයන් සඳහා වර්ගවාදී කල්ලි කන්ඩායම් සෑම විටම ගැම්ම ලබන්නේ, ප‍්‍රමුඛ වශයෙන්ම පවත්නා ආන්ඩුවේ පිලිවෙත් වලිනි. ශ්‍රී ලංකාවේ පාලක පන්තිය තම පන්ති පාලනය රැකගනුවස් උපතේ සිට යොදාගත් අති මූලික ක‍්‍රමවේදය වන්නේ වාර්ගික සහ ආගමික රේඛා ඔස්සේ කම්කරු පන්තිය භේද කිරීමයි. විශේෂයෙන්ම කම්කරු පන්තික අරගල වර්ධනය වූ සෑම අවස්ථාවකම පවත්නා ආන්ඩු විසින් මෙම උපාය පෙරට දමා ඇත. දශක තුනකට ආසන්න කාලයක් පවත්වා ගෙන ගිය යුද්ධයමත් මෙම උපාය වෙනත් මාධ්‍යයක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමකි.

පසුගිය රාජපක්ෂ තන්ත‍්‍රය විසින් එල්ල කරන ලද ප‍්‍රහාරයන් හමුවේ රැඩිකලීකරනය වෙමින් පැවති කම්කරු-පීඩිත ජනතාවගේ අරගල අපසරනය කොට ඒවා බිඳ දැමීම සඳහා අවශ්‍ය කෙරුනු වර්ගවාදී ප‍්‍රකෝපකරනයන් සඳහා බොදු බල සේනා වැනි සංවිධාන යහමින් ප‍්‍රයෝජනයට ගැනුනි. සැබැවින්ම බොදු බල සේනා සංවිධානය හදා වඩා පෝෂනය කොට කරලියට ගනු ලැබුවේ මහින්ද රාජපක්ෂ තන්ත‍්‍රයෙනි.

වත්මන් ආන්ඩුව මුහුන දී සිටින දැවැන්ත ආර්ථික හා දේශපාලන අර්බුදය මධ්‍යයේ, වර්ධනය වෙමින් පවත්නා කම්කරු පන්තික අරගල අපසරනය කිරීම සඳහා මෙම නඩ යලි පෙරට දමාගැනීම අවශ්‍ය කෙරී ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ ගේ වර්ගවාද-විරෝධී ප්‍රෝඩාකාරී කතා පිටුපසින් යලි සූදානම් කෙරෙමින් පවතින්නේ එයයි.

ආන්ඩුවේ පාර්ශ්වයෙන් ගත් කල ඇමති විජේදාස රාජපක්ෂ මෙහි ප‍්‍රමුඛ භූමිකාවක් ඉටු කරයි. බෞද්ධ අන්තවාදී සංවිධානයන් විසින් තොරොම්බල් කෙරෙන මුස්ලිම් අන්තවාද භීතිකාවට තෙල් වත් කරමින් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී පැවසුවේ ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් 32 ක් මේ වන විට සිරියාවේ ඉස්ලාමීය ත‍්‍රස්තවාදීන් සමග එක්ව කටයුතු කරන බවට සහ විදේශීය මුස්ලිම් අන්තවාදීන් සංචාරක වීසා රැගෙන ලංකාවට පැමින මුස්ලිම් පාසැල්වල ඉගැන්වීමේ යෙදෙන බවට සාක්ෂි ලැබී ඇති බවයි. මුස්ලිම් නිකායවාදී කන්ඩායම් හතරක් රට තුල ක්‍රියාත්මක වෙමින් රට අස්ථාවර කිරීමේ වැඩකටයුතුවල යෙදී සිටින බවත් එම කන්ඩායම් අතර හටගත් ගැටුම් අතරින් 16 ක් වාර්තා වී ඇති බවත් ඔහු පැවසීය

මුස්ලිම් ධනවතෙකු දහතුන් වියැති ‘සිංහල දැරියක’ විවාහ කරගෙන ඇතිබවත් එය ‘සිංහල ජනයා අනුමත නොකරන’ බවත් පවසමින්, මුස්ලිම් විරෝධී උද්ඝෝෂනයට අවශ්‍ය අඩුමකුඩුම එක්කල රාජපක්ෂ, මුස්ලිම් අන්තවාදය ව්‍යාප්ත කිරීමට තම ආන්ඩුව ඉඩ නොදෙන බව ද කියා සිටියේය.

රාජපක්ෂගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් මුස්ලිම් ජනයා තුල පැන නැගුනු දැඩි විරුද්ධත්වයත් ආන්ඩුව තුල සිටින මුස්ලිම් ඇමතිවරු ඒ සම්බන්ධයෙන් පලකල උත්සුකයත් සැලකිල්ලට ගනිමින් ආන්ඩුවේ මාධ්‍ය ප‍්‍රකාශක සහ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ, ආන්ඩුවට එවන් සාක්ෂි හෝ තොරතුරු ලැබී නොමැතිබව සහ රාජපක්ෂගේ ප‍්‍රකාශයෙන් ගම්‍යවන අදහස් ආන්ඩුවේ අදහස් නොවන බවයි.

සේනාරත්නගේ ප‍්‍රකාශය වනාහි, ආර්ථික හා දේශපාලන අර්බුදයේ කරවටක් ගිලී පවත්නා ආන්ඩුවේ අභ්‍යන්තර ඉරිතැලීම් සහ ආන්ඩුවට එරෙහිව මුස්ලිම් ජනතාව අතර වැඩෙමින් පැවති කෝපය අවම කරගැනීම සඳහා දැරුනු උපායික ප‍්‍රයත්නයකි.

සේනාරත්නගේ ප‍්‍රකාශයෙන් පසුව ද, මුස්ලිම් ජනයාට එරෙහි ම්ලේච්ඡ ප‍්‍රහාරයන් උසි ගැන්වීම සම්බන්ධයෙන් කුප‍්‍රකට වාර්තාවක් හිමි ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව සහ ඔහු විසින් නායකත්වය දෙන බොදු බල සේනා සංවිධානයේ නියෝජිතයන් සමග පසුගිය 23 වන දා පාර්ලිමේන්තු සංකීර්නයේදී රාජපක්ෂ පැවැත්වූ සාකච්ඡාවන් මගින් ඉඟි කෙරෙන්නේ මෙම මුස්ලිම් විරෝධී උද්ඝෝෂනය ඉදිරියට ගෙනයාම සඳහා දෙපාර්ශ්වය අතර ඇති එකඟතාවයි.

සාකච්ඡාවෙන් පසු මාධ්‍ය අමතා ඥානසාර පවසා ඇත්තේ ‘අදවනතුරු සුවිසල් ලෙස නොතකා හැරුනු, ඔවුන් උත්සුක වන කරුනු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ප‍්‍රථම පියවර ගැනීම වෙනුවෙන්’ ඇමතිවරයාට ස්තුතිවන්ත වන බවයි.

ඉන් දින කීපයකට පෙර, එනම් පසුගිය 20 වන දා, තවත් බෞද්ධ අන්තවදී සංවිධාන කීපයක් සමග එකතුව මහනුවර ගැටඹේ සිට පාගමනින් ගොස් අස්ගිරි සහ මල්වතු පාර්ශ්වයන් හි නායක භික්ෂූන්හට භාර දුන් ලිපියෙන් ඔවුන්ගේ මෙම ‘උත්සුකයන්’ ඉදිරිපත් කොට ඇත. ඒවා අතර ප‍්‍රමඛ වන්නේ දෙමල සහ මුස්ලිම් ජනයා බහුතරයක් ජීවත් වන ප‍්‍රදේශ වල සිදු කෙරෙමින් පවත්නා ප‍්‍රකෝපකාරී සහ බලහත්කාරී ක්‍රියා, එනම් තැන තැන ඇටවෙන බෞද්ධ සිද්ධස්ථාන, සිංහල ජනපදකරනය ඇතුලු දෑ කවර හෝ බාධාවක් නොමැතිව අධිකාරවත් ලෙස ඉදිරියට ගෙන යාමයි.

විජේදාස රාජපක්ෂගේ, නැතහොත් ආන්ඩුවේ සහායෙන් ලද ගැම්මෙන් මඩකලපුවේ දී අභ්‍යාස කර ඇත්තේ එයයි.

Share this article: