ශ‍්‍රී ලංකාවට පැමිනි ඇමරිකානු පැසිෆික් ආඥාපති ආන්ඩුවට ප‍්‍රසංශා කරයි

US Pacific commander visits Sri Lanka, praising new regime

කේ. රත්නායක විසිනි, 2016 දෙසැම්බර් 3

පසුගිය මාසයේ ශ‍්‍රී ලංකාවට පැමිනි ඇමරිකාවේ පැසිෆික් ආඥාපති අද්මිරාල් හැරී බී. හැරිස්, චීනයට එරෙහිව ඉන්දු-පැසිෆික් කලාපය තුල ඇමරිකානු මිලිටරි තර කිරීමේලා දිවයිනේ වැදගත්කම අවධාරනය කලේය.

දශකයකට ආසන්න කාලයකදී ශ‍්‍රී ලංකාවට පැමිනි පලමු තරු හතරේ ඇමරිකානු නිලධාරියා වන හැරිස්, ගාලු කතිකාව නම් අන්තර්ජාතික සාගරික සම්මන්ත‍්‍රනය අමතමින් ප‍්‍රකාශ කලේ, දෙරට අතර “මිලිටරි සබඳතාව” ගැඹුරු වීම ගැන තමන් සතුටට පත්වන බවයි. ඇමරිකාව, ඉන්දියාව, පකිස්තානය, ඕස්ටේ‍්‍රලියාව, ජර්මනිය සහ නෙදර්ලන්තය ඇතුලු රටවල් 42ක ජ්‍යෙෂ්ට නාවික නිලධාරීන් සහභාගී වූ වාර්ෂික ආරක්ෂක සමුලුවේ ප‍්‍රධාන කථිකයා වුයේ ඔහුයි. සමුලුවේ මේ වසරේ නිල තේමාව වූයේ “මූලෝපායික නාවුක හවුල්කාරීත්වය ඉහල නැංවීම”යි.

2015 ජනවාරි මැතිවරනයෙන් ඇමරිකන් ගැති මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපති වීමෙන් පසු ශ‍්‍රී ලංකාව සමග මිලිටරි සබඳතා ඉහල නැංවීම සඳහා දැරෙන උත්සාහයේ කොටසක් ලෙස හැරිස්ගේ සංචාරය සිදුවිය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බලයෙන් පහකර ජනාධිපති සිරිසේන පත්කරන ලද තන්ත‍්‍ර මාරු මෙහෙයුමට වොෂින්ටනය දායක විය.

රාජපක්ෂගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාමාර්ග වලට සහ බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධයට ඇමරිකාව පිටිබලය දී තිබුනේ වුවද බීජිනය සමග ඔහුගේ සමීප සබඳතා වලට වොෂින්ටනය සතුරු විය.

නව පාලනය පිලිබඳ සඳහන් කරමින් හැරිස්, සිරිසේන සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ යටතේ “ලංකාවේ ජනතාව ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රතිස්ථාපිත ගුනාංග ක‍්‍රියාත්මක වන අයුරු අත්දුටු”බව පවසමින් ඔවුන් ප‍්‍රශංසාවට ලක් කලේය. “යුක්තිය සහ නීතියේ අධිපත්‍යය වෙනුවෙන් අඛන්ඩව කැපවීම සහ ඇමරිකාව සමග සහයෝගීතාවය පුලුල් කිරීම” සම්බන්ධයෙන් තමන් ආන්ඩුව අගයන බව ඔහු පැවසුවේය.

ශ‍්‍රී ලංකාව “ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ගුනාංග අත්දුටුවේය” පැවසීම ඉඳුරාම අසත්‍යයකි. ආන්ඩුව ක‍්‍රමානුකූලව ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන්ට සහ පොදු ජනතාවගේ ජිවන කොන්දේසි වලට පහරදෙමින් රාජපක්ෂ අනුගමනය කල පිලිවෙත වඩා ශක්තිමත් කරමින් සිටියි. එකම අර්ථභාරී වෙනස නම්, වොෂින්ටනය සහ නවදිල්ලියට පක්ෂව ශ‍්‍රී ලංකාවේ විදේශ ප‍්‍රතිපත්තියේ වේගවත් හැරීම සහ දිවයිනේ සන්නද්ධ බලඇනි ඇමරිකානු මිලිටරිය සමග සමීපව ඒකාග‍්‍ර කිරීමයි.

“ඇමරිකාවට ශ‍්‍රී ලංකාව අවශ්‍යයි” යනුවෙන් හැරිස් සම්මන්ත‍්‍රනයේදී පැවසුවේ ඉන්දියානු සහ පැසිෆික් සාගර අතර ආර්ථික වශයෙන් තීරනාත්මක මුහුදු මාවත් මූලෝපායිකව දිවයින ආසන්නයෙන් වැටී තිබීමයි. “ඔබට ලංකාවට සමීප නොවී හෝමූස් (සමුද්‍ර සන්ධියේ) සිට මලක්කා දක්වා හෝ රතු මුහුදේ සිට දකුනු චීන මුහුද දක්වා යා නොහැකියි.” ඔහු පැවසුවේය. “දවස පුරා ලෝක තෙල් නැව් ප‍්‍රවාහනයෙන් සියයට 25ක් මලක්කා සමුද්‍ර සන්ධිය හරහා සිදුවේ. දකුනු චීන මුහුද හරහා වාර්ෂික ලෝක වෙලඳාමෙන් ඩොලර් ටි‍්‍රලියන 5.3ක් වටිනා වෙලඳාමක් සිදුවේ. සෑම තැනකම නවීන ජීවිතය කලාපයේ ස්ථාවරත්වය මත රඳා පවතිනවා.”

දකුනු චීන මුහුද පිලිබඳ හැරිස්ගේ ප‍්‍රකාශ අර්ථභාරිය. වොෂින්ටනය දකුනු චීන මුහුද තුල චීන හිමිකම්පෑම් වලට සතුරුය. පසුගිය වසර පහ පුරාවට, ඇමරිකාව ප‍්‍රකෝපකාරී ලෙස වියට්නාමය සහ පිලිපීනය විසින් දකුනු චීන මුහුදු ප‍්‍රදේශවල හිමිකාරීත්වය සඳහා කෙරෙන ඉල්ලීම් වලට දිරි දී ඇති අතර චීනයට එරෙහිව එම රටවල් සමග සමීප මිලිටරි සබඳතා තර කර ඇත.

කොලඹ ආරක්ෂක සම්මන්තත‍්‍රනයේදී හැරිස්, චීනයට විරුද්ධව සිය “නාවුක ගමනේ නිදහස” ඇමරිකාව දිගටම ඉල්ලා සිටිනු ඇති බව පවසීය. සෑම ජාතියකටම “සමාන ප‍්‍රවේශයක්” සහතික කෙරෙන “ප‍්‍රතිපත්තිගරුක ආරක්ෂක ජාලයකට” කැඳවුම් කරමින් “ගෝලීය ක‍්‍රියාකාරී පද්ධතියක් මත පදනම් වන නීති ඉදිරියට ගෙනයාමට එක ආකාරයට සිතන මතන ජාතීන් අතර සහයෝගීතාව අප පුලුල් කල යුතු” බව ඔහු පැවසීය.

“නාවුක ගමනේ නිදහස” යන වදන් පෙල, විශේෂයෙන් බීජිනයට එරෙහිව සිය මිලිටරි තරකිරීම් සහ ඕනෑම තැනක ඇමරිකානු නාවුක අභ්‍යාස සාධාරනීකරනය කිරීම සඳහා වන දේශපාලනික කඩතුරාවකි.

ඇමරිකානු පැසිෆික් බලඇනි චීනය හිමිකම් ඉල්ලා සිටින දූපත් ආසන්නයේ ප‍්‍රකෝපකාරී ලෙස නාවුක ගමනේ නිදහස ලෙස ඔවුන් හඳුන්වාගන්නා අභ්‍යාසයෙහි නිරතවීම සඳහා දකුනු චීන මුහුදට යුද නැව් කිහිපයක් යවා ඇත. මෑතම සිද්ධිය, ඔක්තෝබරයේ දී යූඑස්එස් ඩෙකාටර් නම් ඉලක්කගත මිසයිල විනාශක යාත‍්‍රාවක් චීනය විසින් හිමිකම් පාන වැයික්කියේ සීමාවට නාවුක සැතපුම් 12ක් ඈතින් යාත‍්‍රා කිරීමයි. මෙම ප‍්‍රකෝපකාරිත්වය වේගයෙන් ගෝලීය යුද්ධයක් දෙසට ඇවිලී යා හැකි න්‍යෂ්ටික බලවතුන් දෙදෙනෙක් අතර මිලිටරි ගැටුමක අනතුර මතුකරයි.

වොෂින්ටනය මෙම මිලිටරි ගොඩනැගීමේ කොටසක් ලෙස ඉන්දියාව, චීනයට එරෙහි “ඉදිරිපෙල රාජ්‍යක්” ලෙස බලමුලු ගැන්වීමට උත්සුක වෙයි. පසුගිය මාර්තුවේ නවදිල්ලියේ පැවති ආරක්ෂක කතිකාව අමතමින් ඉන්දියානු සහ පැසිෆික් සාගරයන් හි ඒකාබද්ධ මුර සංචාර වලට සහභාගී වන මෙන් හැරිස් ඉන්දියාවෙන් ඉල්ලා තමන්ගේ ඉතා වැදගත් ආසියා-පැසිෆික් මිලිටරි සගයන් වන ජපානය සහ ඕස්ටේ‍්‍රලියාව සමග සිව්කොන් “ආරක්ෂක” කතිකාවකට සහභාගී වීමටද ඔහු ඉන්දියාවට ඇරයුම් කලේය.

ඔහු ලෙබනනයේ, මාලි හි, මධ්‍යම අප‍්‍රිකානු ජනරජයේ සහ දකුනු සුඩානයේ එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් වලදී සිදුකල මිලිටරි මැදිහත්වීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවට ස්තුති කල අතර පසුගිය වසර 5 තුල ඇමරිකානු නාවුක හමුදාවේ වැඩි වැඩියෙන් සිදුවූ සංචාර සිහිපත් කලේය. මාර්තු මස යූඑස්එස් බ්ලූ රිජ්, යූඑස්එස් නිව් ඔර්ලින්ස් සහ යූඑස්එස් ෆ‍්‍රෑන්ක් කේබල් යාත‍්‍රා කොලඹට පැමින ඇත.

පසුගිය මස අගදී යූඑස්එස් සමර්සෙට් නෞකාව නැගෙනහිර පලාතේ ත‍්‍රිකුනාමල වාරයේ දින තුනක් ගතකලේය. යූඑස්එස් සමර්සෙට් වෙතින් ශ‍්‍රී ලංකාවේ නාවුක හමුදාවේ සාමාජිකයන්ට මූලික මිලිටරි සහ කුඩා බෝට්ටු මෙහෙයුම් පුහුනුව ලබාදුනි. එම අභ්‍යාසයන් හඳුන්වනු ලැබුයේ මානුෂිය ආධාර සහ ආපදා සහන මෙහෙයුම් වශයෙනි.

හැරිස් පසුව ත‍්‍රිකුනාමල නාවුක කඳවුරට ගිය අතර ඇමරිකානු සහ ඉන්දීය හමුදා විසින් වැදගත් මූලෝපායික සම්පතක් ලෙස සලකන ගැඹුරු මුහුදු වරාය පරික්ෂා කලේය.

ශ‍්‍රී ලංකාවේ කම්කරු පන්තියට සහ දුගීන්ට හොරෙන් සිරිසේන වික‍්‍රමසිංහ ආන්ඩුව ශ‍්‍රී ලංකා-ඇමරිකා මිලිටරි එකමුතුවට පහසුකම් සලසයි. වොෂින්ටනයේ සාහසික ලෙස වැඩෙන භූ මූලෝපායික මෙහෙයුම් සමග පෙලගැසී ඉන්දියානු සාගරය තුල ඇමරිකානු මිලිටරියේ තොටුපලක් ලෙස භාවිත කිරීමට දිවයින ක‍්‍රියාකාරී ලෙස සූදානම් කෙරේ.

සිය පරිපාලනය චීනයට එරෙහිව දන්ඩනීය වෙලඳ පියවරයන් ගැනීමට කටයුතු කරන බව දැනටමත් පෙන්වා ඇති මීලඟ ඇමරිකානු ජනාධිපති ට‍්‍රම්ප් යටතේ චීනය සමග ප‍්‍රධාන මිලිටරි ගැටීමක අනතුර උත්සන්න වනු ඇත.

Share this article: