ශ‍්‍රී ලංකාවේ ආන්ඩුව වර්ජක වරාය කම්කරුවන් මැඩීමට නාවික හමුදාව යවයි

Sri Lankan government sends navy to suppress striking port workers

අපගේ වාර්තාකරුවන් විසිනි , 2016 දෙසැම්බර් 12

ශ‍්‍රී ලංකාවේ ආන්ඩුව විසින් යොදවන ලද සිය ගනනක් වූ නාවික සොල්දාදුවෝ, සෙනසුරාදා හම්බන්තොට මාගම්පුර වරාය තුල වැඩ වර්ජනයේ යෙදී සිටි වරාය කම්කරුවන්ගේ විරෝධතාවක් ප‍්‍රචන්ඩ ලෙස බිඳ දැමූහ.

පසුගිය බදාදා සිට, දකුනු ශ‍්‍රී ලංකාවේ පිහිටි මෙම වරායේ කම්කරුවන් 480ක පිරිසක් වරාය පුද්ගලීකරනය කිරීමට විරුද්ධත්වය පල කරමින් ද තමන් රජය සතු වරාය අධිකාරියේ ස්ථිර සේවකයන් බවට පත් කරන ලෙස ඉල්ලමින් ද වැඩ වර්ජනයේ යෙදී සිටිති. වරාය විකිනීමේ ආන්ඩුවේ සැලසුම්වලට එරෙහිව කම්කරුවන්ගේ පවතින ගැඹුරු විරුද්ධත්වය නිසා මෙම කාර්මික ක‍්‍රියාව කැඳවීමට මාගම්පුර වරාය කම්කරු සංගමයට බල කෙරුනි.

වර්ජක මාගම්පුර වරාය කම්කරුවන් පිකට් උද්ඝෝෂනයේ

වර්ජනය පවතින අතරතුරේදී, මුදල් අර්බුදයට මුහුන දී සිටින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ හා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ආන්ඩුව, සිකුරාදා චීන රජයට අයත් මර්චන්ට් පෝට් හෝල්ඩිංස් සමාගමට වරායේ කොටස්වලින් සියයට 80ක් අලෙවි කිරීමේ ගිවිසුමක් ඇති කර ගත්තේය. වරාය අධිකාරිය අත කොටස්වලින් සියයට 20ක් තබාගනු ඇත. මෙම ගිවිසුමේ ප‍්‍රතිඵලයක් ලෙස සිය රැකියා අහිමි වනු ඇතැයි කම්කරුවෝ බියට පත්ව සිටිති.

වර්ජක කම්කරුවෝ, සිය විරෝධතාවයේ කොටසක් ලෙස වරාය පරිපාලන ගොඩනැගිල්ලේ ඉහල මාලය වාඩිලා ගත්හ. 5000කට ආසන්න මෝටර් රථ තොගයක් ද සහිත ජපන් කේ ලයින් කන්ටේනර් නෞකාවක් වන හයිපීරියන් හයිවේ වරායෙන් පිටවීම ද කම්කරුවෝ වලකාලූහ. තවත් භාන්ඩ නෞකාවක් වන චීනයට අයත් එම්වී හොයෙන්ගර්, භාන්ඩ බෑමට නොහැකිව තවමත් වරායේ රැඳී සිටී.

හොඳින්ම සන්නද්ධව සිටි නාවික සොල්දාදුවන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුනරත්න විසින් මෙහෙයවන ලද අතර, ඔහු කම්කරුවන්ට තර්ජනය කරන අයුරු සහ ප‍්‍රාදේශීය මාධ්‍යවේදියකු වන රොෂාන් දිලිප් කුමාරට අඩන්තේට්ටම් කරන ආකාරය කැමරාවල සටහන්ව තිබුනි. නාවික සොල්දාදුවෝ කම්කරුවන් බියගැන්වීම පිනිස අහසට වෙඩි තබමින්, නාවික යාත‍්‍රාවකින් වරායට ලඟා වූහ. වරායෙන් නැව් පිටවයාම වැලැක්වීම පිනිස ජීවිතාරක්ෂක බෝට්ටුවල නැගී මුහුදේ සිටි දුසිම් ගනනක් වන කම්කරුවන්ට නාවික සොල්දුවෝ ලී පොලුවලින් පහර දුන්හ.

පරිපාලන ගොඩනැගිල්ල වාඩිලා ගෙන සිටි සහ එහි දොරටුව අසල පිකට් උද්ඝෝෂනයේ යෙදී සිටි කම්කරුවන්ට නාවික සොල්දාදුවන් විසින් පොලුවලින්, රයිපල්වලින් හා පයින් පහර දෙන ලදි. කම්කරුවන් සිවු දෙනෙක් රෝහල් ගත කිරීමට ද සිදු විය. අනුර දිසානයක නම් 49 හැවිරිදි කම්කරුවෙකුට හදිසි හෘදයාබාධයක් වැලඳුනි. ධනුෂ්ක රික්ෂාන් (27), ධම්මික ප‍්‍රසාද් (35) සහ ආර්.ඒ. ජගත් ප‍්‍රියශාන්ත (29) හම්බන්තොට රෝහලේ සිය තුවාලවලට ප‍්‍රතිකාර ලබමින් සිටිති.

හෘදයාබාධයක් වැලඳුනු අනුර රෝහලේ ප‍්‍රතිකාර ලබමින්

නාවික හමුදාව විසින් විසුරුවා හැරීම නොතකා, කම්කරුවෝ වර්ජනය හා විරෝධතාව දිගටම ගෙන යති. ජපන් නැවට වරායෙන් පිටතට යාත‍්‍රා කිරීමට ඉඩසලසාලමින් සිය ගනනක් වන නාවික සොල්දාදුවන් දැන් වරාය වාඩිලාගෙන සිටිති.

කම්කරුවන් ත‍්‍රස්ත කිරීමෙන් පසුව, නාවික හමුදාව ඔවුන්ගේ යුක්තියුක්ත විරෝධතාව “ත‍්‍රස්තවාදී ක‍්‍රියාවක්” ලෙස හංවඩු ගැසීමට තැත් කරයි. නාවික හමුදා ප‍්‍රකාශක කපිතාන් අක‍්‍රම් අලවි ඒඑෆ්පී ප‍්‍රවෘත්ති සේවයට මෙසේ පැවසීය. “අප එහි කැඳවන ලද්දේ ඩොක් කම්කරුවන්ගේ ක‍්‍රියාව කොල්ලකාරිත්වයකට සමාන වූ බැවිනි. විදේශ නෞකාවන්ට නිදහසේ යාමේ හා ඒමේ හැකියාව සහතික කිරීමට අපට අවශ්‍යය.” නෞකා රඳවා ගැනීම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බවත් නාවික හමුදාව එවන් අවස්ථාවක දී මැදිහත්වීමේ බලයලත් අධිකාරිය බවත් ඔහු කියාපෑවේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව ලාභ ශ‍්‍රමිකයන් ලෙස තමන් බඳවා ගත් බව වර්ජක කම්කරුවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසූහ.

2013 මාර්තුවේ දී ඔවුන් පුහුනුව සඳහා බඳවා ගත් අතර මසකට යන්තම් රුපියල් 10,000ක් (එවකට එ.ජ. ඩොලර් 83ක් පමන) ගෙවන ලදි. වසර එකහමාරක පුහුනුවකින් පසුව, ඔවුන් අලුතෙන් පිහිටුවන ලද පුද්ගලික සමාගමක් වූ මාගම්පුර පෝට් මැනේජ්මන්ට් කම්පනි වෙත බඳවා ගැනුනු අතර එම සමාගම වරායේ වැඩ සඳහා ඔවුන් කුලියට ගත්තේය. වර්තමානයේ ඔවුන්ගේ මාසික වැටුප සියලු දීමනා ඇතුලත්ව රුපියල් 24,500ක් (ඩොලර් 167ක් පමන) පමන වේ.

තමන් මාස 18ක දරුවෙකු සිටින විවාහකයෙකු බව අයි.කේ. ඔමේෂ් පැවසීය. “මගේ සමාගම් වැටුප පෙන්වා මම නයක් ගත්තා” ඔහු පැහැදිලි කලේය. “දැන්, මගේ රස්සාව නැති වුනොත් කොහොමද මම ඒ නය ආපසු ගෙවන්නෙ? මගේ සම්පූර්න අනාගතයම අවදානමේ.”

තවත් කම්කරුවෙක් කෝපයෙන් මෙසේ පැවසීය. “නාවික හමුදාපති අපේ ක‍්‍රියාව ත‍්‍රස්තවාදී ක‍්‍රියාවක් ලෙස හංවඩු ගහලා එය විනාශ කරන්න උත්සාහ කලා. අපේ අරගලය සාධාරන එකක්. වරාය ඇමති කියනවා, අපි වරාය අධිකාරියට බඳවා ගන්නෙ නැහැ කියල. අපේ රැකියා නැති වුනොත් අපි මොකක් කරන්නද?”

තෙවන කම්කරුවෙක් මෙසේ කීය. “වර්ජනයේ නායකයන් අත් අඩංගුවට ගන්න සැලසුමක් තියෙන බවට අපට තොරතුරු ලැබිල තියෙනවා. කොහොම වුනත් නායකත්වය භාර ගන්න සූදානම් තවත් අය ඉන්නවා. අපේ ඉල්ලීම් දිනාගන්න තුරු අපි අරගලය ඉදිරියට ගෙන යනවා., ”

එක් වර්ජක කම්කරුවෙක් මෙසේ අදහස් දැක්වීය. “ඔක්කොම කම්කරුවො පුහුනු වෙලා තාක්ෂනික පාඨමාලා හදාරලා තියෙනවා. මහින්ද රාජපක්ෂ ආන්ඩුව පොරොන්දු වුනා අපිට වරාය අධිකාරිය යටතේ රැකියා දෙනවා කියලා. ඒත් ඒක කලේ නැහැ. අපි පුද්ගලීකරනයට විරුද්ධයි. මේක පුද්ගලීකරනයට එරෙහි අරගලයක්.”

තවත් කම්කරුවෙක් මෙසේ ප‍්‍රකාශ කලේය. “විදේශ ආයෝජකයො මෙහේ එන්නෙ ලාභ ශ‍්‍රමය සූරාකන්න. ඔවුන් අතට අපේ අනාගතේ භාර දෙන්න අපි සූදානම් නැහැ. වරාය අධිකාරියයි ආන්ඩුවයි සූදානම් නැහැ අපිව බඳවාගන්න. ඒ අපව මේලේච්ඡ විධියට සූරාකන්න විදේශ ආයෝජකයන්ට ඉඩ දෙන්න ඔවුන්ට අවශ්‍ය නිසා. ඒක පිලිගන්න අපි සූදානම් නැහැ.”

මාගම්පුර වරාය කම්කරු සංගමය, වර්ජන හා විරෝධතා ක‍්‍රියා මගින් කම්කරුවන්ගේ ඉල්ලීම් පිලිගැනීමට ආන්ඩුවට බල කල හැකිය යන මිථ්‍යාව තොරොම්බල් කිරීමේ යෙදී සිටී.

ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) නායක ලාල් කාන්ත වර්ජකයන් හමුවීමට ගොස් ආන්ඩුවට බලපෑම් දැමීමේ දිගටම නිරත වන ලෙස ඔවුන්ට පැවසීය. එහෙත් පුද්ගලීකරන වැඩපිලිවෙල ක‍්‍රියාවට දමන එම ආන්ඩුවටම ආයාචනා කිරීම මගින් කම්කරුවන්ට සිය රැකියා රැකගැනීම හා පුද්ගලීකරනයට එරෙහිව සටන් වැදීම කල නොහැකිය. කම්කරුවන්ට සහාය පිනිස ජවිපෙට අනුබද්ධිත වෘත්තීය සමිතිවල සාමාජිකයන් කැඳවීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට වත් ලාල් කාන්ත ක‍්‍රියා කලේ නැත.

හිටපු ජනාධිපති රාජපක්ෂ සහ ඔහුගේ නායකත්වයෙන් යුක්ත මන්ත‍්‍රී කන්ඩායමක් කම්කරුවන් අතර වැඩෙන විරුද්ධත්වය ගසාකෑමේ උත්සාහයක යෙදී සිටී. වර්ජකයන් ස්ථිර කොට ඔවුන් වරාය අධිකාරියට බඳවා ගන්නා ලෙස රාජපක්ෂ ආන්ඩුවෙන් ඉල්ලා සිටියේය. එහෙත් තම ආන්ඩුව එසේ නොකොට ඒ වෙනුවට ඔවුන් පුද්ගලික සමාගමක් සඳහා වැඩ කිරීමට යොමු කලේ ඇයි ද යන වග ඔහු පැහැදිලි නොකලේය

නාමල් රාජපක්ෂ සහ ජාතික නිදහස් පෙරමුනේ නායක විමල් වීරවංශ ඇතුලු සෙසු මන්ත‍්‍රීහු, නාවික හමුදාව යවා කම්කරුවන්ට පහර දීම ගැන ආන්ඩුව විවේචනය කලහ. එහෙත් එම මන්ත‍්‍රීහු, කම්කරුවන්ගේ හා දුගීන්ගේ අරගල මැඩීම පිනිස හමුදාව හා පොලීසිය යෙදවූ හිටපු රාජපක්ෂ ආන්ඩුව තුල සිටියහ.

2011 වසරේ කටුනායක නිදහස් වෙලඳ කලාපයේ දී, පොලීසිය විරෝධතා ව්‍යාපාරයකට වෙඩි තබා එක කම්කරුවෙකු ඝාතනය කලේය. 2012 දී, පොලීසිය විරෝධතාවයේ යෙදී සිටි ධීවරයන්ට වෙඩි තබා එක් අයෙකු මරා දැමීය. 2013 දී, කොලඹ ප‍්‍රදේශයේ වැලිවේරියේ දී විරෝධතා දක්වමින් සිටි ගම්වැසියන්ට එරෙහිව හමුදාව මුදා හැරීමෙන් තිදෙනෙක් ඝාතනය කෙරුනි.

නාවික හමුදාව යෙදවීම මගින්, සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව, මාගම්පුර කම්කරුවන්ට පමනක් නොව සමස්ත කම්කරු පන්තියටම පනිවිඩයක් දී ඇත. එනම්. තමන් කම්කරුවන්ගේ ඉල්ලීම්වලට නොනැමෙන බවත් ඔවුන්ගේ අරගල මැඩීම පිනිස පොලිස්-මිලිටරි විධික‍්‍රම යොදා ගන්නා බවත් ය. බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි තිස් වසරක වර්ගවාදී යුද්ධය තුල දී මෙම විධික‍්‍රම වර්ධනය කරන ලදි.

වරාය සහ නාවුක අමාත්‍ය අර්ජුන රනතුංග කම්කරුවන්ගේ අයිතීන්ට උද්දච්ච ලෙස පහර ගැසීය. වරාය කම්කරුවන් බඳවා ගනු ලැබුවේ හිටපු රාජපක්ෂ ආන්ඩුව බැවින් “ඔවුන් ඉවත් කිරීමට” වත්මන් ආන්ඩුවට අධිකාරියක් පවතී යයි ඔහු පැවසීය. කම්කරුවන් චීන සමාගමට බඳවා ගන්නා ලෙස එම සමාගම සමග සාකච්ඡා කිරීමට ආන්ඩුව කලින් කැමැත්තෙන් සිටි බව ඔහු කියා සිටියේය. “වර්ජනයට පසුව මට ඒ ගැන සහතික වෙන්න බැහැ” යයි ඔහු ප‍්‍රකාශ කලේය.

අපනයන කඩා වැටෙන සහ නය හා ගෙවුම් ශේෂ හිඟය නැගෙන තතු යටතේ, සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ගැඹුරු වන ආර්ථික අර්බුදයකට මුහුන දී සිටී. ආන්ඩුව, රාජ්‍ය වියදම් කප්පාදු කිරීම ද ප‍්‍රධාන අංශ පුද්ගලීකරනය ඇතුලූ, රජය සතු ව්‍යාපාර “ප‍්‍රතිව්‍යුහකරනය” ද මගින් අර්බුදයේ බර කම්කරුවන් මත හෙලීමේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියමයන් ක‍්‍රියාවට දමමින් සිටී.

මාගම්පුර වරාය විකුනා දැමීම මෙම ප‍්‍රහාරයේ කොටසකි. එය චීනයෙන් ලැබුනු ඩොලර් බිලියන 1.4ක නයක් මගින් ඉදි කරන ලද අතර, එය විකුනා දැමීම කොටස්වලට නය හිලව් කිරීමකි. ආන්ඩුව ඉඩම්, ලාභ ශ‍්‍රමය සහ දැවැන්ත බදු සහන ඇතුලු සම්පත් ලබා දීම මගින් චීනය සහ සෙසු රටවලින් ආයෝජන ගෙන්වා ගැනීමේ උත්සාහයක යෙදී සිටී.

රැකියා, වැටුප් සහ නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍යය ඇතුලු සෙසු සමාජ අයිතීන් රැකගැනීමට කම්කරුවන් සමත් වන්නේ, ආන්ඩුවේ න්‍යාය පත‍්‍රයට එරෙහිව දේශපාලන අරගලයක් හරහා පමනි.

දැන් සිදු වන මර්දනයට හා දඩයමට විරුද්ධ වෙමින්, මාගම්පුර වරාය කම්කරුවන් ආරක්ෂා කිරීමට සමස්ත කම්කරු පන්තියම මැදිහත් විය යුතුය. මෙය කම්කරු පන්තියේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කිරීම සඳහා තීරනාත්මකය.

කම්කරු-ගොවි ආන්ඩුවක් සඳහා ද රැකියා. ජීවන කොන්දේසි හා කම්කරුවන්ගේ හා දුගීන්ගේ සමාජ අයිතීන් ආරක්ෂා කිරීමට සමාජවාදී පිලිවෙත් සඳහා ද වන අරගලයක අවශ්‍යතාව මාගම්පුර ප‍්‍රහාරය මගින් යලිත් වරක් පෙන්නුම් කෙරෙයි.

Share this article: