හම්බන්තොට කම්කරු අරගලය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියාට පහරදීම ආන්ඩුව සාධාරනීකරනය කරයි

වසන්ත රූපසිංහ විසිනි, 2016 දෙසැම්බර් 13

මාගම්පුර වරාය පෞද්ගලීකරනය කිරීමට එරෙහිව හා සිය රැකියා අයිතිය සහතික කරගැනීමට එම වරායේ කම්කරුවන් ගෙනයන වර්ජනය මැඩීම සඳහා සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව නොවැම්බර් 10 දා නාවික හමුදාව යෙදවූ අවස්ථාවේ නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවි විජයගුනරත්න විසින් එය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියෙකුට නිර්දය ලෙස කායික අඩත්තේට්ටම් කරන ආකාරය විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා පුලුල්ව වාර්තා කෙරින. මාධ්‍යවේදීන්ගේ සංවිධාන ඇතුලු තවත් සංවිධාන ගනනාවක් මේ ප‍්‍රහාරය හෙලා දකින ප‍්‍රකාශ නිකුත් කර ඇත.

එලෙස පහරකෑමට ලක්වූයේ, දිවයින/දි අයිලන්ඩ් පුවත්පත්වල සූරියවැව වාර්තාකරු රොෂාන් ගුනසේකර යි. “මම මීඩියා එකෙන් කියලා කිව්වා. ඒ කියද්දිත් මීඩියා හින්දා තමයි යකෝ ගහන්නේ කියලා නාවික හමුදා නිලධාරියෙක් මට ගැහුවා. පස්සෙ මම දැනගත්තා ඒ ගැහුවේ නාවික හමුදාපතිවරයා කියලා”, ගුනසේකර මාධ්‍යයට කීවේ ය.

නාවික හමුදාපති ඔහුට අසභ්‍ය වචනයෙන් බැන වැදුන බවට ද නාවික හමුදාභටයින් සිය කැමරාව උදුරා ගැනීමට උත්සාහ කල බවට ද ගුනසේකර, පොලීසියට පැමිනිලි කර ඇත. ඔහු සූරියවැව ප‍්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය ආයතනයකින් ප‍්‍රතිකාර ලබාගෙන තිබේ. සිය ජීවිතය පිලිබඳ බයක් ඇති නිසා පහරදීම පිලිබඳව පොලිසියේ පැමිනිල්ල දැමූ බවත් ගුනසේකර ප‍්‍රකාශ කර ඇත.

සිද්ධියට පසු දින, මෙම පහරදීම සාධාරනීකරනය කිරීමට රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ආචාර්ය රංග කලංසූරියගේ අත්සනින් නිකුත් කෙරුනු නිවේදනයක සිද්ධිය පිලිබඳව රජය “පූර්න පරීක්ෂනයක් ආරම්භ කර තිබෙන” බව සඳහන් කොට මෙසේ ප‍්‍රකාශ කර ඇත: “ගැටුම් වාර්තාකරනයේදී පිලිපැදිය යුතු අවම සදාචාරාත්මක පිලිවෙත් අදාල මාධ්‍යවේදියා විසින් පැහැර හැරීම මේ සිද්ධියට පාදකවී ඇතැයි ඒ සම්බන්ධයෙන් සිදුකල මූලික පරීක්ෂනවලදී හෙලිවී ඇත. එබැවින් සංවේදී ගැටුම් වාර්තාකරනයේදී පිලිගත් ආචාරධර්ම අනුව මාධ්‍යවේදීන් සිය මෙහෙවරෙහි යෙදෙනු ඇතැයි හුදෙක්ම බලාපොරොත්තු වේ”.

ආන්ඩුවේ “පරීක්ෂනය” පිලිබඳ කතාව ප්‍රෝඩාවකි. මෙම ප‍්‍රවෘත්ති නිවේදනයේ අරමුන ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ප‍්‍රහාරය යුක්ති සහගත කිරීම මෙන්ම ආන්ඩුව වෙනුවෙන් ජන මාධ්‍යයටද පොදුවේ අරගලයට එන කම්කරුවන්ට, තරුනයන්ට හා දුගීන්ට ද අනතුරු ඇඟවීමයි.

“සංවේදී ගැටුම්” ලෙස කලන්සූරිය අදහස් කරන්නේ මාගම්පුර වරාය කම්කරුවන් මැඩීමට නාවික හමුදාව යොදා පහර දීම වැනි මිලිටරි පොලිස් ප‍්‍රහාර බව පැහැදිලිය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලනය සමයේ එවැනි “සංවේදී ගැටුම්”වලට උදාහරන වන්නේ කම්කරුවන් හා තරුනයන් මරා දමමින් සිදු කල 2011 කටුනායක නිදහස් වෙලඳ කලාප කම්කරුවන්ගේ, 2012 හලාවත ධීවරයන්ගේ හා 2013 වැලිවේරිය ජනයාගේ උද්ඝෝෂනය පොලිස්-මිලිටරි මර්දනයන් ය.

එවැනි ප‍්‍රහාර “වාර්තාකරනයේ දී පිලිගත් ආචාරධර්ම අනුව මාධ්‍යවේදීන් සිය මෙහෙවරෙහි” යෙදීම ලෙස ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂක නොකියා කියන්නේ ඒවා සමීපව වාර්තා නො කිරීමයි, එනම් ඒවා ගැන නිහඬව, වහංගු කිරීමයි.

ගුනසේකර පහරකෑමට ලක්වන්නේ “ඔහු නාවික හමුදා සෙබලුන් විසින් ගොඩනැගූ සෙබල ආරක්ෂක වැට කඩා බිඳ දමා පෙරට පැමිනීම නිසා” යැයි කියමින් දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් කල විමසුමකට පිලිතුරු දෙමින් කලංසූරිය එයට තවත් පොහොර එකතු කලේ ය.

අටුවා ටීකා නැතිවම ආන්ඩුව මෙහිදී සන් කරන්නේ, යහපාලන ආන්ඩුව ක්‍රියාවට දමන කප්පාදු පිලිවෙත්වලට එරෙහිව වැඩෙන කම්කරු අරගල සම්බන්ධවත් ඒවා මර්දනය කිරීමේදී ආන්ඩුව ක්‍රියාත්මක වන ම්ලේච්ඡ ස්වභාවයත් මහජනයාගේ ඇස්වලින් වසන් කරන ලෙස මාධ්‍යයෙන් තර්ජනාත්මකව ඉල්ලා සිටීම ය.

රාජපක්ෂ පාලනය විසින් ජීවිත කිහිපයක් බිලිගනිමින් මහජන අරගල මර්දනය කිරීම පුලුල් විරුද්ධත්වයක් ඇවිල වූයේය. වත්මන් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව බලයට ඒමේදී එම මහජන විරුද්ධත්වය ගසා කෑවේය. දැන් හම්බන්තොට වරාය කම්කරුවන්ට එරෙහිව මිලිටරිය යෙදීම මාධ්‍ය හරහා පුලුල්ව ප‍්‍රචාරය වීමෙන් ඊනියා යහපාලන ආන්ඩුව හා රාජපක්ෂ පාලනය අතර සාම්‍යයන් මහජනයා විසින් ඇඳ ගැනීම ආන්ඩුව ඉවසන්නේ නැත.

ආන්ඩුව හා රාජ්‍ය මාධ්‍ය අරගලය මැඩීමට මිලිටරිය යෙදීම සාධාරනීකරය කලේ, උද්ඝෝෂනය “ආන්ඩුවේ සංවර්ධන ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමට” සිදුකල එකක් බවට හංවඩු ගසමිනි. ආන්ඩුවේ හොරැනෑවක් වන දිනමින, දෙසැම්බර් 12 කතුවැකියෙන් - “හම්බන්තොටින් කොස්ඇට බෑවීම”- “රාජපක්ෂවාදීන්ගේ හා අන්තවාදීන්ගේ කුමන්ත‍්‍රනයක්” ලෙස හඬ තලමින් “හම්බන්තොට විරෝධතාකරුවන්ගෙන් වරායත්, එහි නවතා තිබූ නැව් ආදියත්.. විනාශයකින් තොරව ආරක්ෂා කර ගැනීම” ගැන “සතුට” පල කලේ ය. මාධ්‍ය වේදියාට පහරදීම ගැන කිසිදු සඳහනක් එහි නොවීය. මෙම ප‍්‍රකාශ පෙන්නුම් කරන්නේ ආන්ඩුවේ හා කලන්සූරියගේ “ආචාර ධර්මාන්විත” වාර්තා කරනයයි.

පොදුවේ ගත් කල අවශේෂ ජන මාධ්‍ය ද මාගම්පුර පමනක් නොව අනෙකුත් කම්කරුවන්ගේ හා දුගීන්ගේ අරගල ද වාර්තා කරන්නේ නම් ඒ ඉතා සීමිතව යි, ධනපති සංස්ථාපිතය ප‍්‍රශ්නයට භාජන නොකෙරෙන ලෙසයි. පෙර ආන්ඩු මෙන්ම වත්මන් ආන්ඩුව ද එවන් සීමිත වාර්තාකරනයක් හෝ ඉවසන්නේ නැත.

ආන්ඩුව දේශපාලන හා ආර්ථික අර්බුදයේ එරී යමින් හා කම්කරුවන්ගේ හා තරුනයන්ගේ අරගල පුපුරා ඒමට මුහුන දෙමින් සිටින තතු තුල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති වික‍්‍රමසිංහ ජන මාධ්‍යයට එරෙහිව බුරා පැනීම පසු ගිය දිනවල වේගවත් කර ඇත.

Share this article: