නිව්යෝක් ටයිම්ස් පුවත්පත සිරියාවේ ව්‍යසනය ගැන වොෂින්ටනයේ කෝපය පිටකරයි

New York Times vents Washington’s rage over debacle in Syria

2016 නොවැම්බර් 30

ඇමරිකා එක්සත් ජනපදයේ පිටු බලය ලත් “කැරලිකරුවන්”, උතුරු සිරියාවේ ඇලෙප්පෝ නගරය පුරා සති අන්තයෙන් මෙපිට අත්විඳි දැඩි මිලිටරි පරාජය, වොෂින්ටනයේ දේශපාලන සංස්ථාපිතය, මිලිටරි සහ බුද්ධි අංශ සංවිධාන සහ සංස්ථාපිත මාධ්‍ය තුල දිරිසුන් ප‍්‍රතික‍්‍රියා රැල්ලක් අවුලුවා තිබේ. ජනාධිපති බෂර් අල් අසාද් ගේ ආන්ඩුවට එරෙහි වසර පහමාරක් තිස්සේ ගෙන යන තන්ත‍්‍ර මාරු යුද්ධයට මොවුන් සියල්ලන් අත්වැල ඇල්ලූ අතර එය ආරක්ෂා කලේය.

සිරියානු අල්කයිඩාවට සම්බන්ධ අල් නුස්රා පෙරමුන නායකත්වය දරන “කැරලිකාර” හමුදා, සිව් වසරකට වැඩි කාලයක් තිස්සේ අත් පත් කරගෙන සිටි ඇලෙප්පෝ නගරයේ නැගෙනහිර කොටසින් අර්ධයකට ආසන්න ප‍්‍රමානයක් යලි අත් කර ගැනීමට, ලෙබනනයේ හිස්බුල්ලා සහ ඉරාකයේ ෂියා හමුදාවන්ගේ සහාය ලත් සිරියානු හමුදාව සමත්ව ඇත.

මේ වන විට පොදුවේ නොවැලක්විය හැකි යයි බොහෝදුරට ලොව පුරාම පිලිගනු ලැබ ඇති පරිදි, සමස්ත ඇලෙප්පෝවම ආන්ඩුවේ පාලනයට නතු වීම, ඇමරිකාවේ සහාය ලබන කැරලිකරුවන්ට, ඔවුන්ගේ අවසාන නාගරික බලකොටුව අහිමි කරනු ඇත. ඒ අනුව සිරියාවේ ප‍්‍රධාන ජනාකීර්න ස්ථාන සියල්ල ආන්ඩුවේ පාලනයට යටත් වනු ඇත.

මෙම වර්ධනයට දැක්වූ වඩා අමිහිරි ප‍්‍රතිචාර අතර නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත අඟහරුවාදා මුල් පිටුවේ “ජයග‍්‍රහනය කලහොත් අසාද්ට ලැබෙන ත්‍යාගය: වැහැරී ගිය සිරියාව” යන මාතෘකාවෙන් පලකල ලිපිය වේ. එම ලිපිය තුල “ඔහුගේ ඇතැම් දැඩි විරුද්ධවාදීන්ගේ තක්සේරුවට අනුව පවා, ඔහු කැරැල්ලෙන් බේරී යනු ඇතැයි, ජනාධිපති බෂර් අල්-අසාද් ඒත්තු ගෙන සිටියි” යනුවෙන් නොකැමැත්තෙන් පිලිගෙන ඇත.

මෙය පැහැදිලිවම ටයිම්ස් පත‍්‍රයට වැදුන පහරකි. ජනාධිපති බැරක් ඔබාමා 2011 දී “අසාද් යා යුතුයි” යනුවෙන් ප‍්‍රකාශ කල දා සිට හා පෙන්ටගනය සහ සීඅයිඒ සංවිධානය මැද පෙරදිග වඩාත්ම ප‍්‍රතිගාමී රාජාන්ඩුවාදී ඒකාධිපතිත්වයන්-සවුදි අරාබිය, කටාර්, එක්සත් අරාබි එමිරේට් රාජ්‍යය- සමග කුමන්ත‍්‍රනයක යෙදෙමින්, බිලියන ගනනින් ආයුධ සහ මුදල් ජිහාඞ් කුලී භටයින් අතට පත් කිරීමට පටන් ගත් දා සිට, ඇමරිකාවේ “ඉහල පිලිගැනීමක් ඇති පුවත්පත” සිරියානු තන්ත‍්‍ර මාරුවේ ප‍්‍රධාන ප‍්‍රචාරකයා ලෙස ක්‍රියාකොට තිබේ.

එහි කතුවැකි පිටු, රාජ්‍ය තන්ත‍්‍රයේ සහ ඩිමොක‍්‍රටික් පක්ෂයේ ඉහල පිරිස් සමග සමීප සබඳතා ඇති පුද්ගලයෙකු වන ජේම්ස් බැනට් විසින් පාලනය කරනු ලබයි. (ඔහුගේ පියා සීඅයිඒ සංවිධානය සඳහා පෙරමුනක් වූ යූඑස්ඒඅඩී හී හිටපු ප‍්‍රධානියෙක් වන අතර ඔහුගේ සහෝදරයා කොලරාඩෝ හී ජ්‍යෙෂ්ඨ සෙනට් සභිකයෙකි.) සිරියාව තුල ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් මෙහෙයවන ලද රුධිර ස්නානය, “මානව හිමිකම්” කුරුස යුද්ධයක් ලෙස යුක්ති සහගත කරන, සිරියාවේ ප‍්‍රධාන සහචරයා වන රුසියාව සමග පැටලෙන වඩා ප‍්‍රචන්ඩකාරී මැදිහත් වීම් ඉල්ලා සිටිමින්, නිකලස් ක්‍රිස්ටෝෆ් සහ රොජර් කොහෙන් වැනි ලේඛකයන් විසින් ලියන ලද ගනන් කල නොහැකි තරම් බොරු, කුහක කතුවැකි සහ තීරු ලිපි ටයිම්ස් සඟරාව මහා පරිමානයෙන් ප‍්‍රකාශයට පත් කොට ඇත.

වඩා මෑතදී ප‍්‍රකාශයට පත් වූ මුල් පිටුවේ පලවූ වාර්තාව අවධාරනය කරන්නේ, සංස්කාරක ප‍්‍රචාරක කටයුතු සහ පුවත් ආවරනය අතර රේඛාව බොහෝ කලක සිට අතුරුදහන්ව ඇති බවයි. ඉරාකය සහ ලිබියාව යන රටවල් දෙකට එරෙහි ආක‍්‍රමනික යුද්ධ සඳහා මහජන මතය සූදානම් කිරීමට සදාම් හුසේන් සහ මුඅම්මර් අල් ගඩාෆි සම්බන්ධයෙන් ක්‍රියා කල ආකාරයටම, අසාද් යක්ෂයෙකු ලෙස හුවා දක්වන අතරම, ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයන් සහ සීඅයිඒ පිටුබලය ලත් ඉස්ලාම්වාදීන් විසින් සිදු කරනු ලැබූ අන්තවාදී දරුනු මිලේච්ඡ ක්‍රියා, ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවවාදීන් විසින් සිදු කරන ලද යුක්ති සහගත ක්‍රියාවන් ලෙස හුවා දැක්වීමට ටයිම්ස් සඟරාව නිර්ලජ්ජිතව සිය වාර්තා කරනය යොදා ගත්තේය. ඊට අමතරව ඉරාකය සහ ලිබියාව තුල ඉලක්කගත නායකයන් මරා දැමීමට සම්මාදම් විය.

අඟහරුවාදා ලිපියේ කතෘ, නීති විරෝධී ඇමරිකානු ආක‍්‍රමනය දල වශයෙන් ඉරාක පිරිමින් සහ ගැහැනුන් මිලියනයකගේ මරන වලට හේතු වුවේයැයි තක්සේරු කෙරුනු කාල පරිච්ඡේදයක් වන 2003 සහ 2009 කාලය තුල, පලමුව ලොස් ඇන්ජලීස් ටයිම්ස් හී සහ ඊලඟට නිව්යෝර්ක් ටයිම්ස් හී බැග්ඩෑඩ් කාර්යය මන්ඩල ප‍්‍රධානී ලෙස සේවය කල ඇලිස්සා රූබින්ය.

අසාද්ගේ මිලිටරිය “බැරල් බෝම්බ” පාවිච්චි කිරීම ද නාගරික ප‍්‍රදේශ වල පිහිටි අල් කයිඩා මධ්‍යස්ථාන වලට රුසියාව බෝම්බ දැමීම ද සම්බන්ධයෙන් රූබින් වැනි ටයිම්ස් සඟරාවේ වාර්තාකරුවන් මවාපෑ සදාචාරාත්මක කෝපයෙන්, එම ප‍්‍රවෘත්ති පත‍්‍රයම ඉරාකය තුල විශාල පරිමාන අපරාධ වලට සම්බන්ධ වූ යුද්ධයක් මෙන්ම සිරියාව තුල මිනිස් ඝාතනය මුදා හැරි ඇමරිකානු තන්ත‍්‍ර මාරු මෙහෙයුම හුවා දැක්වීය යන්න කෙනෙකු කිසිදිනක අනුමාන නොකරනු ඇත.

රූබින්ගේ ලිපි වලින් වැඩි කොටස, හිටපු ඇමරිකානු තානාපති වරුන් වන රයන් කෘකර් සහ රොබර්ට් ෆෝඩ් වැනි සිරියානු තන්ත‍්‍ර මාරු මැදිහත්වීම සහ එය උත්සන්න කිරීම සම්බන්ධයෙන් ප‍්‍රචලිත උපදේශකයින්ගේ ප‍්‍රකාශ උපුටා ගැනීම් වලින් සමන්විත වේ.

ආන්ඩුව මුලු මහත් ඇලෙප්පෝ ප‍්‍රදේශයම නැවත අත් කර ගත්තද සිරියාව තුල සටන “වසර ගනනාවක් පුරාවට සිදු කෙරෙනු ඇති” බවට කෘකර් අනාවැකි පල කරයි. ඔහු එය අසල්වැසි ලෙබනනය තුල සිදුවන වසර 15 පැරනි සිවිල් යුද්ධය සමග සංසන්දනය කරන අතර සිරියාව තුල රුධිර ස්නානය ඊටත් වඩා දීර්ඝ කාලයක් කෙරීගෙන යනු ඇතැයි ඉඟි කරයි.

ආන්ඩුව මුලු මහත් සිරියාව පුරාවට එහි පාලනය තහවුරු කර ගත්ත ද “ඇසට නොපෙනෙන තරම් දුර විහිදී ඇති මේ විශාල තුවාලය” රට “බාගෙට මැරුනු මල මිනියත් බවට” ඇද හෙලනු ඇතැයි ෆෝඩ් ප‍්‍රකාශ කරයි.

“අසාද්ගේ ජයග‍්‍රහනය, ඔහුට එය අත්කර ගත හැකිවී නම්, මහත් පාඩුවක් විඳ ලබා ගත් ජයග‍්‍රහනයක් වනු ඇත: පෙනෙන මානයේ අවසානයක් නැති පහල මට්ටමේ කැරලිකාරීත්වයක් මගින් අවහිර කරන ලද ආර්ථික මුඩු බිමක් ඔහු විසින් පාලනය කරනු ඇත.” රූබින් ලියයි. එමෙන්ම තන්ත‍්‍ර මාරුව සඳහා සිදුකෙරුනු යුද්ධයෙන් විනාශ කෙරී ඇති දේ නැවත ගොඩනැගීමට අවශ්‍ය ආර්ථික සම්පත් නැතිව රට හාමත් වනු ඇතැයිද ඇය පුරෝකථනය කරයි.

“ඇමරිකානු කොන්ග‍්‍රසය ආධාර නොදෙනු ඇති අතර එක්සත් ජනපදය සහ සවුදි අරාබිය වැනි අසාද් මහත්මයාගේ විරුද්ධවාදීන් හට සැලකිය යුතු බලපෑමක් කල හැකි ස්ථාන වන ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මගින්ද ආධාර දීමක් සිදු නොවනු ඇත.” ඇය ලියයි.

ධවල මන්දිරය, පෙන්ටගනය සහ සීඅයිඒ සංවිධානය තුල දැනට සැලකිල්ලට ගෙන ඇති නිශ්චිත ප‍්‍රතිපත්තියක් සමග මෙම පුරෝකථනයන් හොඳින් ගැලපීම ගැන කිසිදු සැකයක් නැත. අසාද් මේ අවස්ථාවේදී බලයෙන් පහ කිරීම සඳහා ඇමරිකාව දරන උත්සාහයෙන් ආරක්ෂා වීමට සමත් වුවත්, රටෙන් මුලු ධනයම ඩහැ ගැනීමේ සියලු උත්සාහයන් දිගටම සිදු කෙරීගෙන යනු ඇත.

රූබින්ගේ ලිපියෙහි ප‍්‍රකාශිත කෝපය සහ ද්වේශ සහගත ස්වරය පිටුපස ඇත්තේ, ටයිම්ස් පත‍්‍රය මගින් සිරියාව තුල අධිරාජ්‍යවාදී මැදිහත්වීම ප‍්‍රවර්ධනය කිරීමට “මානව හිමිකම්” සහ “ප‍්‍රජාතන්ත‍්‍රවාදය” පිලිබඳ කුහක වගවර්නනාවන් සහිතව සිදුකල ප‍්‍රචාරක ව්‍යාපාරය අසාර්ථක බව සනාථ වී තිබීම පිලිබඳ අවබෝධයයි. මෙම මනෝභාවය නිසැකවම ව්‍යාජ වමේ සමස්ත කොටසක් ද ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය වැනි ප‍්‍රවනතාවන් ද දරනු ලබන ආස්ථානයයි. සීඅයිඒ සංවිධානය විසින් තන්ත‍්‍ර මාරු යුද්ධය සඳහා ටයිම්ස් කතෘ මන්ඩලයට අනකරනු ලැබූ ආකාරයටම මොවුන්ගේ ද තර්ක ගොනුවී ඇත.

ඉස්ලාම් “කැරලිකරුවන්ට” ආයුධ ලබා දීම පිලිබඳව නැවත සිතා බැලිය යුතු බවත්, තම පරිපාලනය සිරියාව තුල අයිඑස්අයිඑස් සහ අල් කයිඩා මර්දනය කිරීම සම්බන්ධයෙන් රුසියාව සමග සමීපව කටයුතු කරනු ඇතැයි ඉඟි කර ඇති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ජනාධිපතිධුරයට පත් වීමට සිටීම මගින් මෙම කොටස්වල දිරිසුන්කම ගැඹුරු කෙරෙයි.

කෙසේවෙතත් ට‍්‍රම්ප්ගේ අදහස් මැද පෙරදිග හෝ ග‍්‍රහලෝකය මත වෙනත් ඕනෑම තැනක සාමයේ නව යුගයක පෙරනිමිත්තක් ලෙස අර්ථදක්වන ඕනෑම කෙනෙක්, වැඩි කල් නොගොස් කම්පනයට පත්වනු ඇත. ඇමරිකානු ධනවාදයේ දික්ගැස්සුනු අර්බුදයේ වෛෂයික තර්කනය මෙන්ම ට‍්‍රම්ප්ගේ “පලමුව ඇමරිකාව” ප‍්‍රතිපත්තිය ඇමරිකානු මිලිටරිවාදයේ පුපුරනසුලු ඉහල නැගීමකට හේතු වනු ඇත.

බිලියනපති රැවටිලිකාරයාගේ සිරියාව සම්බන්ධ අර්ධ තර්කාන්විත ප‍්‍රකාශයන් කුමක් වුව ද ඔහු තමන් වටා තබාගෙන සිටින්නේ කලාපය පුරාවට යුද්ධය දිගටම කරගෙන යාමට තීරනාත්මක සාධක බවට පත්ව ඇති දක්ෂිනාංශික යුදවාදීන් ය. මීට අමතරව ඔහු දැනටමත් ඇමරිකානු හමුදාවේ සහ නාවික හමුදාවේ මෙන්ම වොෂින්ටනයේ න්‍යෂ්ටික අවි ගබඩාවේ ද විශාල ප‍්‍රසාරනයකට සැලසුම් සූදානම් කොට ඇත.

බලයට එන පරිපාලනය විසින් ඔබාමාගේ වසර වල පැවති “මානව හිමිකම්” සහ “ප‍්‍රජාතන්ත‍්‍රවාදය” පිලිබඳ කයිවාරු “ත‍්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධය” කරා ආපසු වෙනස් කරනු ඇත් ද නැතිනම් නග්න ලෙස ඇමරිකානු අවශ්‍යතා ආරක්ෂා කිරීම දෙසට වෙනස් වනු ඇත් ද යන්න අනුව තම මාධ්‍යවේදී ප‍්‍රචාරක වැඩපිලිවෙලෙහි අවශ්‍ය වෙනස් කම් සිදු කරගැනීම සඳහා ටයිම්ස් පත‍්‍රය පියවර ගනු ඇත.

බිල් වෑන් ඕකන්

Share this article: