ඇලෙප්පෝ ඇද වැටීම පිලිබද වොෂිංටනයේ කුහකත්වය

Washington’s hypocrisy over the fall of Aleppo

2016 දෙසැම්බර් 15

නැගෙනහිර ඇලෙප්පෝවේ ගැටුම් යලි ආරම්භ වීමෙන් අනතුරුව, බටහිර ආධාර ලබන ඉස්ලාමීය “ත‍්‍රස්තවාදීන් ගේ” අවසන් කොටස ඉවත් කිරීම සඳහා වු ගනුදෙනුව නැවත කරලියට පැමින ඇති බවට බදාදා සවස පලවූ වාර්තාවත් සමග, සිරියාව තුල තන්ත‍්‍ර මාරුවක් සඳහා වූ සිය පස් අවුරුදු යුද්ධය තුල වොෂිංටනය විසින් අත්විඳි විනාශයේ පරිමාව වෙන කවරදාකටත් වඩා පැහැදිලි ලෙස මතුවෙමින් තිබේ.

ඇලෙප්පෝව නැවත අත්කර ගැනීමේදී සිරියානු ආන්ඩුව සහ එහි මිත‍්‍ර පාර්ශ්වයන්, මූලිකවම රුසියාව සහ ඉරානය, දාමරික ක‍්‍රියාවන් සිදුකලේයැයි එල්ල කෙරෙන උන්මත්තක හෙලා දැකීම් වනාහිි, ජනාධිපති බෂාර් අල් අසාද්ගේ ආන්ඩුව පෙරලා දැමීමට වූ ධාවනය තුල සිදුව ඇති මෙම මූලෝපායාත්මක ප‍්‍රතිවර්තනය පිලිබඳ ප‍්‍රධාන අධිරාජ්‍යවාදී බලයන්ගේ, විශේෂිතවම එක්සත් ජනපයේ පාලන කව ඇතුලත පවත්නා කලකිරීමේ සහ දොම්නසේ මිනුමකි. රුසියානු විරෝධී මහජන ප‍්‍රචාරනයේ වියරු වැටුනු ලීලාව, තිරය පිටුපස සිදුවෙමින් පවත්නා අභ්‍යන්තර කා කොටා ගැනීම් ඉහල යාමේ තීව‍්‍රත්වයට ගැලපෙයි.

නැගෙනහිර ඇලෙප්පෝවේ ඇද වැටීමත් සමග, අල්කයිඩාවට සම්බන්ධ ඉස්ලාම්වාදීන් විසින් නායකත්වය දෙන සන්නද්ධ කන්ඩායම් වල එකතුවක් වන, එක්සත් ජනපද සහය ලත් “කැරලිකරුවන්” අත පැවති අවසන් ප‍්‍රධාන නාගරික මධ්‍යස්ථානය ද ඔවුනට අහිමි විය. එමගින්, ඩමස්කස් ආන්ඩුව පෙරලා දැමීම සඳහා මෙම සහායක බලඇනි සාර්ථකව යොදා ගැනීම බලගතු ලෙස වලකා තිබේ.

මේ දිග්ගැසුනු ම්ලේච්ඡ මෙහෙයුම අසාර්ථක වීමත් සමග එජ නිල සහ සංස්ථාපිත මාධ්‍ය සිරියාවට සහ එහි හිතමිතුරන්ට එරෙහිව අපවාද ප‍්‍රවාහයක් නිකුත් කරමින් සිටී. බදාදා මාධ්‍ය හමුවකදී රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක ජෝන් කර්බි “යුද අපරාධ”, “දාමරිකකම්”, “නිරාහාරව තැබීම්” සහ “දූෂනයන්” පිලිබද සිරියාවට සහ රුසියාවට චෝදනා කලේය.

“මානව හිමිකම්” අධිරාජ්‍යවාදය පිලිබඳ වොෂින්ටනය විසින් ස්වයං ප‍්‍රකාශිත සදාචාරයේ නිල නායිකාව සහ ආචාරශීලි කුහකත්වයේ අනභියෝගී ශූරවන්තිය වන එක්සත් ජනපද තානාපති සමන්තා පවර් විසින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලයට පෙර දා කල කථාවට කර්බි විශේෂ අවධානය යොමු කලේය.

“අසාද් තන්ත‍්‍රය සහ රුසියාව තමන් සිදු කරන දෑ හි ප‍්‍රතිවිපාක ලෙස කෙතරම් අහිංසකයින්ගේ මලසිරුරු සංඛ්‍යාවක් ගොඩ ගැසෙන්නේද යන කරුන නොතකා ඇලෙප්පෝවේ සෑම අවසන් වර්ග අඟලක්ම බලය යොදා කෙසේ හෝ අල්ලා ගැනීමට යත්න දරන බවක් පෙනේ” යනුවෙන් ඇය ප‍්‍රකාශ කලාය. “දශක ගනනාවකට පසුව වුවද අපේ හෘද සාක්ෂිය දුර්වර්න කෙරෙන සහ නූතන ම්ලේච්ඡත්වය අර්ථනිරූපනය කෙරෙන ලෝක ඉතිහාසයේ එම සිදුවීම් අතරට ඇලෙප්පෝව ද එක්වනු ඇත. හලබ්ජාව, රුවන්ඩාව, ස්‍රෙබෙනිකාව සහ දැන් ඇලෙප්පෝව”.

සිරියාව, රුසියාව සහ ඉරානයට යොමු වෙමින් ඇය මෙලෙස ප‍්‍රකාශ කලාය. “ඇත්ත වශයෙන්ම වාච්‍යාර්ථයෙන් ඔබව ලජ්ජාවට පත්කල හැකි කිසිවක් නොමැතිද?.....ඔබ විසින් බොරු නොකරන හෝ සාධාරනීකරනය නොකරන කිසිවක් නොමැතිද?”

නිර්ලජ්ජිතභාවය, බොරුව සහ යුක්තියුක්ත කීරීම් සම්බන්ධයෙන් ගත් කල පවර් මෙනෙවියට සමාන කවරෙකු හෝ නොමැත. “ඇලෙප්පෝවේ සෑම වර්ග අඟලක්ම බලෙන්” අල්ලා ගැනීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ඩමස්කස් සහ මොස්කව් පාලන තන්ත‍්‍රයන්ට එරෙහිව ඇගේ තියුනු විවේචන එල්ල කරන අතර තුර, එක්සත් ජනපද හමුදාව ඉරාක හමුදාව සහ විවිධ සන්නද්ධ කල්ලි සමග එක්ව, අයිසිස් ත‍්‍රස්තවාදීන් විසින් පාලනය කරන සහ නැගෙනහිරට සැතපුම් තුන් සීයකට යන්තම් වැඩි දුරකින් පිහිටි ඉරාක නගරයක් වන මොසූල් හි නිශ්චිතවම ඒ දෙයම සිදු කිරීමට සූදානම් වෙමින් සිටියේය. ඉරාකය සහ සිරියාව තුල එජ ගුවන් ප‍්‍රහාර මගින් දහස් ගනන් ජනයා මරුමුවට සහ අබ්බගාත තත්වයට පත් කොට ඇති අතර නැගෙනහිර ඇලෙප්පෝවට වඩා විශාල ජනගහනයක් සහිත මොසූල් වලට එල්ල කරන ප‍්‍රහාරයන් මගින් මිලියනයකට අධික සිවිල් වැසියන් අවතැන් කරමින් දහස් ගනන් මරුමුවට පත් කරනු ඇති බවට අපේක්ෂා කෙරේ.

පවර් ආරක්ෂක මන්ඩලයට ඇගේ කථාව කරද්දීම වොෂිංටනය මැද පෙරදිග දිලිඳුම ජාතිය වන යේමනයේ මිනිසුන්ට එරෙහිව නිර්දය යුද්ධයක් දියත් කිරීමට සිය ප‍්‍රධාන අරාබි හිතමිතුරා වන සෞදි රාජාන්ඩුවට හැකියාව ලබාදෙන ආයුධමය, ද්‍රව්‍යමය සහ බුද්ධිමය සහාය ලබා දීම අඛන්ඩව සිදුකලේය. විසි මසක කාලය තුල සිවිල් වැසියන් 11,000 කට වඩා ඝාතනය කල එක්සත් ජනපද බෝම්බ හා මිසයිල් ප‍්‍රහාර පිලිබඳ ඇය වචනයකුදු කතා නොකල අතර ඔක්ස්ෆම් උපාකාර සමාගම මෑතකදී වාර්තා කොට තිබූ පරිදි එජ සහය ලබන බාධකයන් මගින් සම්පූර්න රටම “හාමතේ මියයාම” දක්වා සෙමින් ගමන් කරමින් සිටී.

“නූතන ම්ලේච්ඡත්වය විග‍්‍රහ කරන ලෝක ඉතිහාසයේ සිදුවීම්” පිලිබඳ ඇයගේ ලැයිස්තුවෙන් පවර් ගාසා, ෆලූජා සහ ඉරාකය හා ලිබියාවේ සිට වියට්නාමය දක්වා ගිනිය නොහැකි නගර සහ එජ ප‍්‍රකෝපකාරී යුද්ධය මගින් මිලියන ගනනින් ජීවිත අහිමි කල කැම්බෝඩියාව බැහැර කිරීම පුදුමයට කරුනක් නොවේ.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය ඇලෙප්පෝවේ මිනිසුන්ගේ දැවැන්ත දුක් වේදනාවන්, අසාද් ආන්ඩුව සහ එහි රුසියානු සගයා විසින් ගෙනයනු ලබන ක‍්‍රියාවන්ගේ ම්ලේච්ඡත්වය සහ සහස් ගනනින් යටත් කොට ඇති භයංකාරත්වය වටහා ගනී. නමුත් මේ විනාශයේ පරම මූලාශ‍්‍රය කුමක්ද?

සිරියාවේ සිදුවන ප‍්‍රචන්ඩ සහ සාපරාධී ක‍්‍රියාවන් නරඹමින් සිටින කිසියම් සදාචාරාත්මක ඔලිම්පස් කන්දක සිට පවර් මෙනෙවිය කතා කරනවා විය හැකි නමුත් සත්‍යය වනුයේ වොෂිංටනයේ අත් ලේ වලින් තෙත් වෙමින් තිබෙන බවයි. ඇලෙප්පෝව තුල දිගහැරී ඇති නාටකය වනාහි, අවි, සැපයුම්, පුහුනුව සහ ආන්ඩු විරෝධී ඉස්ලාමීය සන්නද්ධ කල්ලි වලට වැටුප් ගෙවීමට පවා සීඅයිඒ විසින් පමනක් වසරකට ඩොලර් බිලියනයක් වියදම් කරමින් එජ විසින් ඉහල දමා ඇති දැවැන්ත තන්ත‍්‍රමාරු මෙහෙයුමේ අත්‍යන්ත නිශ්පාදනයකි. සිරියානු ආර්ථිකයේ ශේෂව පවත්නා දෙයද කුඩුපට්ටම් කර දැමීම ඉලක්ක කරගත් සම්බාධක සමග ඒකාබද්ධ කෙරුනු එජ ගුවන් ප‍්‍රහාර සමග මේවා එක්ව ගමන් කරයි.

එජ රාජ්‍ය නිලධාරීන්, සංගත මාධ්‍ය සහ ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය බඳු ඊනියා වාම කන්ඩායම් විසින් සමස්ත මැද පෙරදිග පුරා එක්සත් ජනපද අධිකාරිත්වය තව දුරටත් ඉහල දමා ගැනීම සඳහා සිදු කෙරෙන මෙම අධිරාජ්‍යවාදී මෙහෙයුම යම් ආකාරයක සිරියානු ප‍්‍රජාතන්ත‍්‍ර “විප්ලවයක්” ලෙස කුහකත්වයෙන් යුතුව ආලේඛනය කොට ඇත.

ඇලෙප්පෝවේ අලුත්ම සිදුවීම් කෙරෙහි මොවුන්ගෙන් බලාපොරොත්තු විය හැකිව තිබූ ප‍්‍රතිචාරය ප‍්‍රකාශයට පත් කලේ “වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සිරියාවක සිහිනයේ අවසන් මරනය” ලෙස සිරියානු ආන්ඩුවේ හමුදාවේ ජයග‍්‍රහනය ගුනාංගීකරනය කල වොෂිංටන් පෝස්ට් හි පලවූ වාර්තාවයි.

මේ “සිහිනය” යටින් පවත්නා යථාර්ථය වූයේ මැරවාදය සහිත රුදුරු කල්ලිවාදය සමග සම්බන්ධිත ඉස්ලාමීය සන්නද්ධ කල්ලිවල එකතුවක් විසින් නැගෙනහිර ඇලෙප්පෝව පාලනය කිරීමයි. ගුවන් ප‍්‍රහාර මගින් ඇලෙප්පෝව කුඩුපට්ටම් කර දැමීමට පෙර, කර්මාන්තශාලා වල යන්ත‍්‍රසූත‍්‍ර සහ සැපයුම් පැහැර ගනිමින් නගරය කොල්ල කෑ මෙම සන්නද්ධ කල්ලි ලාභය සදහා විකිනීමට දේශ සීමාව හරහා ඒවා තුර්කියට ප‍්‍රවාහනය කරමින් සිටියහ.

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය වඩාත්ම මෑතක ඉදිරිපත් කල සිය වාර්තාවක් මගින් මේ “ප‍්‍රජාතන්ත‍්‍රවාදී සිහිනය” මතු සඳහන් අයුරින් විස්තර කරයි. “ඔවුන් සන්නද්ධ කන්ඩායම් වල පාලනය විවේචනය කලහොත් හෝ සමහරුන් පනවා ඇති දැඩි නීති වලට බැඳී සිටීමට අසමත් වුවහොත් පැහැරගනු ලැබීමට වූ නිරන්තර බියකින් මිනිසුන් ජීවත් වේ.”

“අද ඇලෙප්පෝ සහ ඉඞ්ලිබ් වල සන්නද්ධ කන්ඩායම් වලට කිසිදු දන්ඩනයකින් තොරව යුද අපරාධ සිදු කිරීමට සහ ජාත්‍යන්තර මානුෂවාදී නීතිය උල්ලංඝනය කිරීමට නිදහස් තෝන් ලනුවක් ඇත” යනුවෙන් එය තවදුරටත් දක්වයි. දරුවන්ගේ හිස ගසා දැමීම ඇතුලුව “කැරලිකරුවන්” විසින්ම පටිගත කොට කයිවාරු ගසා ඇති වදදීම් සහ ඝාතනයන්ගේ සාරාංශයක් වාර්තාව ඉදිරිපත් කරයි.

සිරියානු ආන්ඩුව ඇලෙප්පෝවේ හෝ රටේ වෙන ඕනෑම තැනක මිලිටරි සාර්ථකත්වයෙන් සතුටට පත්ව ඇත්නම් ඒ රුසියානු යුද ශක්තිය නිසාම නොවේ. සිය නියෝජිතයන් ලෙස අල්කයිඩාවට සම්බන්ධ සන්නද්ධ කන්ඩායම් භාවිතා කරමින් තන්ත‍්‍ර මාරුව සඳහා එක්සත් ජනපදය දියත් කරමින් සිටි යුද්ධයෙන් වසර පහකටත් පසු බොහෝ සිරියානුවන් සාද් ආන්ඩුවේ මර්දනය සහ දූෂනය නොතකා එය අඩු නපුර ලෙස දැකගනී.

ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ නිල ආරම්භය ආසන්නයේදී, රුසියාව කෙරෙහි වූ එජ පිලිවෙත් පිලිබද කටුක අභ්‍යන්තර අරගලය මගින් නැගෙනහිර ඇලෙප්පෝවේ කඩා වැටීම පිලිබඳව මාධ්‍ය සහ එජ දේශපාලන සංස්ථාපිතය ඇතුලත උන්මත්තකභාවය ධාවනය කෙරී ඇත්තේ සුලුපටු ප‍්‍රමානයකින් නොවේ.

සිය මැතිවරන ව්‍යාපාරය අතරතුර ට‍්‍රම්ප් සිරියාව තුල “ත‍්‍රස්තවාදය”ට එරෙහිව සටන් කිරීමට රුසියාව සමග මිත‍්‍රවීමට හැකි බවට යෝජනා කල අතර සිරියානු “කැරලිකරුවන්” සන්නද්ධ කිරීමේ වොෂිංටන් පිලිවෙත ප‍්‍රශ්න කලේය. එජ යේ යුද සහ බුද්ධි අංශ කන්ඩායම් වල අධිකාරී පාර්ශ්වයන් රුසියාවට එරෙහිව යුද ධාවනයේ කවර හෝ ලිහිල් කිරීමකට තරයේම විරුද්ධ වේ.

ට‍්‍රම්ප් ගේ ව්‍යාකූල ප‍්‍රකාශයන් මැදපෙරදිග තුල සාමයේ නව යුගයකට පරිවර්තනය වනු ඇති බවට විශ්වාස කරමින් සිටින අයෙකු එය සිදු නොවීමෙන් විශ්මයක පත්වනු ඇත. තේරී පත්වූ රිපබ්ලිකන් ජනාධිපති අනවරතයෙන්ම යුද්ධයට මග පාදන ආර්ථික ජාතිකවාදයේ ප‍්‍රතිපත්තියක් වර්ධනය කොට ඇති අතර ඒ සඳහා සූදානම් වීම පිනිස එජ මිලිටරියේ දැවැන්ත ගොඩනැගීමක් ඉල්ලා ඇත.

ඊටත් වඩා, ට‍්‍රම්ප්, මෑතකදී විශ‍්‍රාම ලත් යුදගැටුම් වලට උනන්දු ජෙනරාල් වරුන් තමා වටා එකතු කොට ගෙන සිටී. ආරක්ෂක සහ අභ්‍යන්තර ආරක්ෂක ලේකම්වරුන් ලෙස නම් කෙරුනේ තරු හතරේ නාවික ජෙනරාල්වරු දෙදෙනෙකි. තවත් තරු හතරේ නාවික ජෙනරාල්වරයෙකු වන ජෝන් ඇලන් මෙම ස්ථරයන් තුල පවතින අදහස් වලට හඬක් ලබා දුනි. සිරියාවට ඇති විසඳුම “යුදගැටුම් ඉහල දැමීම” බව ඔහු වොෂිංටන් පෝස්ට් පුවත්පතට ඔක්තෝබර් මස අවසානයේදී ලිවීය. “අසාද්ගේ මිලිටරි පහසුකම් වලට තර්ජනය කිරීමට සමත් මිලිටරි ක‍්‍රියාවන් සඳහා වන ‘අධිෂ්ඨානයේ සන්ධානයක්’ රැස්විය යුතු බවට ඔහු එක්සත් ජනපදයට කැඳවුම් කලේය.

සිරියානු මිලිටරියට එරෙහි එජ ප‍්‍රහාරයන් හේතුවෙන් රුසියානු භට කන්ඩායම් මිය යා හැකිබව පිලිගත් ඇලන් එසේ වුවද ඒ හේතුවෙන් “සිරියානු කොටස් වලට ප‍්‍රහාර එල්ලකිරීමට වූ අවස්ථාව මගහැර ගැනීම” වොෂිංටනය විසින් නොකල යුතු බවට උපදෙස් දුනි.

එබඳු මෘග මිලිටරිවාදය වනාහි ලෝක යුද්ධයක් දෙසට වන ධනවාදයේ ධාවනය ට‍්‍රම්ප් ජනාධිපතිත්වය තුල තවදුරටත් ඉහල යන බවට කෙරෙන අනතුරු ඇඟවීමකි.

බිල් වෑන් ඕකන් විසිනි.

Share this article: