ලංකා කම්කරු කොංග‍්‍රසය සාමුහික ගිවිසුමට එරෙහි කම්කරු විරෝධය යටපත් කිරීමේ තැතක

ඒ. සුරේෂ් සහ එම්. දේවරාජා විසිනි, 2016 දෙසැම්බර් 2

ඔක්තෝබර් 18 වතු සමිති හා හාම්පුතුන්ගේ සම්මේලනය අත්සන් කල නව සාමූහික ගිවිසුම යටතේ වතු සමාගම් විසින් වැඩ ඉලක්කයන් ඉහල දැමීමට හා වැටුප් හා දීමනා කප්පාදු කිරීමට එරෙහිව වතු කම්කරුවන් අතර වැඩෙමින් පවතින විරුද්ධත්වය සහ කෝපය වාෂ්ප කර දැමීමේ මංමුලාසහගත තැතක වතු සමිති නායකයෝ යෙදී සිටිති. ලංකා කම්කරු කොංග‍්‍රසය (සීඩබ්ලිව්සී) නායකයන් විසින් නොවැම්බර් 17 වෙනිදා හැටන් නගරයේ දී පැවැත් වූ උද්ඝෝෂනය හා රැස්වීම එහි කොටසකි.

සීඩබ්ලිව්සී ය සාමූහික ගිවිසුමට අත්සන් කල ප‍්‍රධාන සමිතියකි. එහි උද්ඝෝෂනයට සහ රැස්වීමට සහභාගී වූවන්ගෙන් බහුතරය නුවර එලිය දිස්ත‍්‍රික්කයේ සීඩබ්ලිව්සී ප‍්‍රාදේශීය නායකයන් හා වතු වල එහි ශාඛා සමිති නායකයන් වීම විශේෂයෙන් වැදගත්ය. ඔවුන් මෙහෙයවා ගනිමින් ඔවුන් හරහා වතු කම්කරුවන් අතර පැසවන විරුද්ධත්වය යටපත් කර ගිවිසුමේ කොන්දේසි කම්කරුවන් මත පැටවීම ආරුමුගන් තොන්ඩමන් ඇතුලු සීඩබ්ලිව්සී නායකයන්ගේ අරමුන වේ.

ගිවිසුමේ තීන්ත වේලෙන්නත් පෙරාතුව ම වතු සමාගම් විසින් වතු කිහිපයක දිනකට කඩන තේ දලු ප‍්‍රමානය කිලෝ දෙකකින් වැඩි කිරීමට පියවර ගෙන ඇත. දෛනික නිෂ්පාදන ඉලක්කය එලෙස වැඩි කිරීමට විරුද්ධව නුවර එලිය දිස්ත‍්‍රික්කයේ බැල්මොරාල්, ආගරපතන, අප්කොට් වල ඩීසයිඩ් හා දික්ඔය ෆොඩයිස් යන වතුවල කම්කරුවන් වර්ජනවල යෙදුන අතර තවත් වතු ගනනාවක කම්කරුවෝ පිකට් උද්ඝෝෂනවල නිරත වූ හ.

දලු නෙලන ප‍්‍රමානය ඉහල දැමීම නිසා ඉදිරිමාසයේ තම වැටුප අඩුවීමේ අන්තරායට මුහුන දී සිටින බව බැල්මොරාල් වත්තේ කම්කරු කාන්තාවක් පැවසීය. “දලු කඩන ප‍්‍රමානය ඉහල දැමීමට වෘත්තීය සමිති නායකයන් එකඟ වූ බව වතු පාලනාධිකාරය කිව්වා. ඒ අනුව දවසකට කිලෝ 18 ක් කැඩුවේ නැත්නම් රුපියල් 140 ලැබෙන්නේ නැහැ. කලින් තිබුනේ 16 යි. කිලෝ දෙකක් වැඩි කරලා. මේ මාසෙට දවස් දෙකක් කැඩුවේ කිලෝ 13 යි.

“අපි ස්ට‍්‍රයික් කලත් වෘත්තීය සමිති කිසිම සහයෝගයක් නොදුන්නා නිසා දලු කඩන ප‍්‍රමානය වැඩි කරන එක නතර කරන්න පුලුවන් වුනේ නැහැ. සමිතියි ආන්ඩුවයි දෙගොල්ලම අපව රැවැට්ටුව. මට ලමයි දෙන්නෙක් ඉන්නවා. දවසගානේ බඩු මිල ඉහල යද්දී සොච්චම් මුදලකින් කොහොමද ඒගොලන්නට කන්න බොන්න දීල ඉස්කෝලේ යවන්න අමාරු” බව ඇය පැවසුවාය.

සාමූහික ගිවිසුමෙන් පසු පිරිමි කම්කරුවන්ගේ ද වැඩ ප‍්‍රමානය වැඩි කර ඇති බව තවත් කම්කරුවෙකු කීවේ ය. “වැඩ වැඩි කරලා කලින් අපට තිබුන පහසුකම් කප්පාදු කරලා. අලුතෙන් නියම කල වැඩ ප‍්‍රමානය සම්පූර්න කලත් මේ මාසේ 25 කම්කරුවන් 45 ට එදා වැටුප දීම ප‍්‍රතික්ෂේප කලා තේ විවේකය පැයක් ගත්ත කියල. ඒක අපිට කලින් තිබුන පහසු කමක් දැන් පැය භාගෙට කපල. සමිති ගැන දැන් අපට කිසි විශ්වාසයක් නැති” බව පැවසුවේය.

සීඩබ්ලිව්සී ඇතුලු වතු සමිති නායකයන් තැති ගෙන සිටින්නේ කම්කරුවන් අතර වර්ධනය වන මෙම විරුද්ධත්වය පිලිබඳවය. සීඩබ්ලිව්සී නායක අරුමුගන් තොන්ඩමන් නොවැම්බර් 17 වෙනිදා රැස්වීම අමතමින් නිෂ්පාදන පලදායිතාවය ඉහල දැමීමට ගිවිසුම අත්සන් කල සමිති එකඟ වී නැතිබව පෙන් වීමට අසාර්ථක උත්සාහයක යෙදුනි. “ඔබේ නායකයන් අත්සන් කල ගිවිසුමේ දී නිෂ්පාදන ඉලක්කයන් ඉහල දැමීමට එකඟවෙලා තියෙනව. ඒ අනුවයි අප නිෂ්පාදන ඉල්ලක්කය වැඩි කරන්නේ” කියල වතු පලානාධිකාරයන් කම්කරුවන් අතර වැරදි ප‍්‍රචාරයක් ගෙන යන බවට වතු සමාගම් වලට දෝෂාරෝපනයක් කලේ ය.

එහෙත් ඉක්බිතිව ඔහු ගිවිසුමෙන් උපුටා දැක්වූ කොටසෙන් ඔහුගේ දෝෂාරෝපනය වංචාවක් බව එලිදරව් විය. අදාල කොන්දේසියට අනුව වතුවල පිහිටුවනු ලබන ශාඛා සමිති නායකයන්ගෙන් හා කාන්තා කම්කරු පෙරමුනේ නායිකාවගෙන් සමන්විත වෘත්තීය සමිති ක‍්‍රියාකාරී කමිටු සමග ඇතිකර ගන්නා එකඟතාවය මත වතු සමාගම් වලට නිෂ්පාදන පලදායිතාවය ඉහල දැමිය හැකිය. එය නිෂ්පාදන පලදයිතාවය ඉහල දැමීමට වතු හාම්පුතුන් හා වෘත්තීය සමිති අතර ඇතිකර ගත් එකඟතාවක් නොවන්නේ නම් වෙන කුමක් ද?

කම්කරුවන්ට හා වතු හාම්පුතුන්ට අදාල සමහර කොන්දේසි ගිවිසුමේ ඇතත් මාසයක් ඉක්මෙන්නටත් පෙර හාම්පුතුන් විසින් ගිවිසුමේ කොන්දේසි “උල්ලංඝනය කර ඇති” බව තොන්ඩමන් නොවැම්බර් 24 පාර්ලිමේන්තුවේ දී පැවසුවේ ය. ගිවිසුමට අනුව රුපියල් 140 ක නිෂ්පාදන පලදායිතා දීමනාවක් දිනකට ගෙවිය යුතු නමුත් වැඩ ඉලක්කයන් ඉහල දැමීම මගින් එය ගෙවීම සමාගම් පැහර හැර ඇති බවත් ඒ ගැන “කම්කරු ඇමති සමග සාකච්ඡා කිරීමට” හා වතු සංගම් වලට විරුද්ධව “නීතිමය පියවර” ගැනීමට බලා පොරොත්තු වන බවත් ඔහු එහි දී වැඩි දුරටත් කීවේ ය.

ගිවිසුම අත්සන් කෙරුනේ කම්කරු හා වෘත්තීය සමිති සම්බන්ධතා ඇමති ජෝන් සෙනෙවිරත්න හා වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක ඇතුලු ආන්ඩුවේ ඇමතිවරු කිහිපදෙනෙකුගේ ඍජු සහභාගිතත්වය ඇතිවය. සීඩබ්ලිව්සී, එක්සත් වතු වෘත්තීය සමිති මධ්‍යස්ථානය (ජේපීටීයූසී), එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ජාතික වතු කම්කරු සමිතිය (එල්ජේඊඩබ්ලිව්යූ) ජාතික කම්කරු සංගමය (එන්යූඩබ්ලිව්), ප‍්‍රජාතන්ත‍්‍රවාදී කම්කරු කොංග‍්‍රසය (ඩීඩබ්ලිව්සී) හා කඳුරට ජනතා පෙරමුන (යූපීඑෆ්) ඇතුලු සියලු වතු වෘත්තීය සමිති ගිවිසුමට පමනක් නොව, හිඟ වැටුප් සහ රුපියල් 1000 දෛනික වැටුප් ඉල්ලීම අතහැරීමට ද එකඟ වූහ.

ගිවිසුම අත්සන් කිරීමෙන් පසු වතු සමාගම් සමිති නායකයන්ගේ සහයෝගය අගය කල අතර ඉදිරිවසර දෙක තුල සමාගම් විසින් යෝජිත නිෂ්පාදන පලදායිතාවය මත පාදක වැටුප් ක‍්‍රමය මුලුමනින් ම ක‍්‍රියාවට දමන බව වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති සුනිල් පොහොලියද්ද තිර කොට පැවසුවේ ය.

එහෙයින් ගිවිසුමේ කොන්දේසි “උල්ලංඝනය” කරමින් නිෂ්පාදන ඉල්ලක්කයන් ඉහල දමීම හා නිෂ්පාදන පලදායිතා දීමනාව නොගෙවීම ගැන කම්කරු ඇමති සමග සාකච්ඡා කිරීම සහ නීතිමය පියවර ගැනීම ගැන තොන්ඩමන් කරන කතාව කම්කරුවන් නොමග යැවීමේ දැනුවත් වංචාවකි.

නිෂ්පාදන ඉලක්ක ඉහල දැමීම සඳහා සාමූහික ගිවිසුම තුල සමාගම්වලට අයිතිය පවරාදීමෙන් හිතූමනාපෙට ඒවා ඉහල දැමීමට කොන්දේසි සකස් කලේ සීඩබ්ලිව්සී ඇතුලු සමිති විසිනි. තම සමිති සමග සාකච්ඡාකර ඉලක්ක ඉහල දැමීම ගිවිසුමට ඇතුලත් කලේ කම්කරුවන් ඒවාට යට කිරීමේ පොලිස්කාරකම භාර ගැනීමටය.

මෙම ගිවිසුම හරහා “මෑත වසරවල දී ජීවන තත්වයන් තියුනු ලෙස පිරිහීමට මුහුන දී සිටින වතු කම්කරුවන් සුරාකෑම තීව‍්‍ර කිරීම මගින් වතු කර්මාන්තය තුල ගැඹුරුවන මුල්‍ය අර්බුදය ජය ගැනීමට ආන්ඩුව, වතු සමාගම් සහ වෘත්තීය සමිති උත්සාහ කරන” බව ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ සමාජවාදී සමානතා පක්ෂය (සසප) අවධාරනය කලේ ය. “මෙම ප‍්‍රහාරයන් මෛත‍්‍රීපාල සිරිසේන-රනිල් වික‍්‍රමසිංහ ආන්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නිර්දේශ කරනු ලබා ඇති කප්පාදු පිලිවෙත් ක‍්‍රියාවට දැමීමේ කොටසක්” බවත් වැඩි දුරටත් පෙන්වාදුන් සසප, වතු කම්කරුවන් “ඔවුන්ගේ වැටුප්, රැකියා ජීවන තත්වයන් හා මූලික අයිතීන් ආරක්ෂා කිරීම සඳහා වෘත්තීය සමිතිවලින් බිඳී සෑම වත්තකම කම්කරු ක‍්‍රියාකාරී කමිටු ගොඩනැගීමේ හා ඒවා සමාජවාදී වැඩපිලිවෙල මත මෙහෙයවීමේ” අවශ්‍යතාවය ද අවධාරනය කලේ ය.

සසප කැඳවුමට ප‍්‍රතිචාර දක්වමින් අප්කොට් හි ග්ලෙනුයිජ් වත්තේ ඩීසයිඩ් කොටසේ කම්කරුවන් කන්ඩායමක් දැනටමත් ක‍්‍රියාකාරී කමිටුවක් ගොඩනගා ගනිමින් සසප මග පෙන්වීම යටතේ ආන්ඩුවේ සහ වතු සමාගම් වල ප‍්‍රහාරවලට එරෙහිව රැකියා, වැටුප් හා මූලික අයිතීන් ආරක්ෂා කිරීමේ බලගතු අරගලයක් සංවිධානය කිරීමට මූලිකත්වය ගෙන ඇති අතර තවත් වතු ගනනාවක කම්කරුවන් සසප සමග එක්ව ක‍්‍රියාකාරී කමිටු ගොඩනගමින් මෙම අරගලයට දායකවීමට එකඟතාවය ප‍්‍රකාශ කර ඇත.

ක‍්‍රියාකාරී කමිටු යනු හුදෙක් වෘත්තීය සමිති වෙනුවට තවත් ආදේශක සංවිධානයක් නොවේ. ඒ වනාහි ධනපති ආන්ඩුවේ හා හාම්පුතුන්ගේ ප‍්‍රහාරවලට එරෙහිව සමස්ත කම්කරු පන්තිය ඒකාබද්ධ කිරීම හා ධනපති ලාබ පද්ධතිය අහෝසි කිරීම සඳහා ජාත්‍යන්තර සමාජවාදී පිලිවෙත් මත පදනම් වූ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම අරමුනු කර ගත් ද්‍රෝහී වෘත්තීය සමිතිවලින් මුලුමනින් ම ස්වාධීන වූ කම්කරු පන්තියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංවිධාන ක‍්‍රමයකි.

සෑම වත්තක් තුල ම එවන් ක‍්‍රියාකාරී කමිටු ගොඩනැගීමට ඉදිරිපත්වන ලෙස සියලුම වතු කම්කරුවන් හා තරුනයන්ගෙන් සසප ඉල්ලා සිටී.

Share this article: