ආන්ඩුව අධික දඩ හා බදු යුක්ති සහගත කිරීමට බොරු ගොතයි

සමන් ගුනදාස විසිනි, 2016 දෙසැම්බර් 1

මාර්ග නීති කඩ කිරීම්වලට දඬුවම් වසයෙන් දඩ මුදල් දැවැන්තව ඉහල දැමීමට එරෙහිව බරපතල විරුද්ධත්වයක් රියැදුරන් අතර මතුවී ඇත. මෙම රියැදුරන්ගෙන් විශාල සංඛ්‍යාවක් කම්කරුවන් වන අතර තවත් දස දහස් ගනනක් තමන්ගේම ලොරියක්, වෑන් රියක් හෝ ත්‍රී රෝද රථයක් තබාගෙන එදි නෙදා ආදායමක් ලබා ගන්නා සාමාන්‍ය මහජනයාය.

රියැදුරන්ගේ විරුද්ධත්වය පැනනැගී ඇත්තේ අධික වේගය, බීමත්ව සීටීම, බල පත‍්‍රයක් හා රක්ෂනයක් නොමැතිවීම, වමෙන් ඉස්සර කිරීම හා දුම්රිය මාර්ග හරහා නීති විරෝධී ලෙස රිය පැදවීම ආදී මාර්ග නීති කඩ කිරීම් හතක් සඳහා රුපියල් 25,000ක දඩ මුදලක් පැනවීමට මුදල් ඇමති කර ඇති යෝජනාවට එරෙහිවයි. අය වැය මගින් මාර්ග නීති කඩ කිරීමට පනවන අවම දඩ මුදල රුපියල් 20 සිට 2500 දක්වා වැඩි කිරීම සඳහා කලින් ඉදිරිපත් කල යෝජනාවට එරෙහිව පැන නැගුනු විරුද්ධත්වය නිසා එය ඉවත් කර ගැනීම සිදුවීමෙන් පසු ඇමති අලුත් යෝජනා ඉදිරිපත් කර තිබේ.

අධික දඩ ගැසීම් විනය හැදීමට බවත් අධික බදු වැඩි කිරීම සුබ සාධනය සඳහා බවත් ප‍්‍රකාශ කරමින් ඒවා යුක්තියුක්ත කිරීමේ ප‍්‍රචාරයක් ආන්ඩුව විසින් කේවට්ට බුද්ධිමතුන්ගේ ද උදව් ඇතිව ආන්ඩුව විසින් දියත් කරනු ලැබ තිබේ.

මුදල් ඇමති රවි කරුනානායක රූපවාහිනී සාකච්ඡා තුල දිවුරන්නේ මාර්ග නීති සඳහා පනවන දඩ මුදල් රුපියල් 25,000 මට්ටමට කිහිප ගුනයකින් නංවන්නේ ආන්ඩුවට මුදල් ලබා ගැනීමේ අරමුනින් නොව රථ වාහන අනතුරු වලක්වා ගැනීමට පවතින කැක්කුම නිසා බවයි. “මිනීමරන්න සහයෝගය දිය නොහැකි නිසා” යෝජිත දඩ මුදල් පිලිබඳ කිසිම සහනයක් දිය නොහැකි බව ඔහු පවසයි.

මුදල් කටයු පිලිබඳ රාජ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මාධ්‍යයට පවසා ඇත්තේ මාර්ග නීති පිලිබඳ දඩ මුදල් වැඩි කිරීමෙන් “අනිවාර්යයෙන්ම විනය හැදෙනවා. දඩ මුදල වැඩි කිරීම තුල විනයගරුක වීමට ඒ අය පුරුදු වෙයි. හේතුව එය ගෙවීමට අපොහොසත් වන විට ටික කලක් යද්දී ඒ අය විනයානුකූලව කටයුතු කිරීමට පෙලඹෙනවා” යනුවෙනි.

රුපියල් 25,000ක් යනු රියදුරෙකුගේ සාමාන්‍ය මාසික වේතනයකට සමානය. මෙවන් වරදකට වැරදිකරුවෙකු වුවහොත් ඔවුන්ට තම පවුලේ පැවැත්මම ප‍්‍රශ්නයක් වනු ඇත. දඩ මුදල ගෙවා ගත නොහැකි වී සිරගත වුවහොත් තම ජීවනෝපාය අහිමිවීමට ලක්වනු ඇත. මෙම දඩ පැනවීම ආන්ඩුව කම්කරු පීඩිත ජනයාට එරෙහිව ගෙන යන කප්පාදුවේ හා මර්දනයේ තවත් රූපයකි.

මාර්ග අනතුරු පසුගිය 2014 වසරේ 37,345 සිදුවී ඇති අතර මෙම මර්දනකාරී දන්ඩන නීති ගෙන ඒමට ආන්ඩුව විසින් යොදා ගනු ලබන්නේ මෙම තත්වයයි.

මාර්ග අනතුරු හා රථවාහන තදබදය සම්බන්ධ ප‍්‍රශ්න රියදුරන් පිට පැටවීම එම ප‍්‍රශ්නය විසඳීමට බංකොලොත් ධනපති පාලකයන්ට පවතින නොහැකියාව හා මගී ජනයා කෙරෙහි ආන්ඩුවේ අවඥාව පෙන්නුම් කරයි.

නාගරිකව පවතින මහාමාර්ග තද බදය වැලැක්වීම සඳහා වත්මන් පාලනය ද ඇතුලු බලයට පත්වූ ආන්ඩු කිසිවක් බහු ජන ප‍්‍රවාහන පද්ධති හඳුන්වා දීම සඳහා මුදල් වෙන් කර නැතිවා පමනක් නොව අවම වශයෙන් මාර්ග පද්ධති පිලිසකර කර ජාත්‍යන්තර ප‍්‍රමිති වලට අනුකූල ලෙස සකස් කර නොමැත. බස් රථ, ද්වි රෝද හා ත්‍රී රෝද රථ සඳහා වෙන් කල මංතීරු සකසා නැතිවා පමනක් නොව බොහෝ මාර්ගයන්හි පදිකයන්ට ගමන් කල හැකි මං තීරු පවා නොමැත. මේ තතු තුල, තමන්ගේ දවසේ අදායම් සරිකර ගැනීම සඳහා එකිනෙකා පරයා දුවන බස් රථ හා කුලී රථ රියදුරන් මාර්ග අනතුරුවලට බොහෝ දුරට ගොදුරුවෙයි. ආන්ඩුවේ බලධාරීන් දුම්රිය හරස් පාරවල් අති බහුතරයක් පූර්න හා අර්ධ අනාරක්ෂිත තත්වයේ දිගටම පවත්වා ගෙන යයි.

දඩ මුදල් වැඩි කරන්නේ භාන්ඩාගාරයට මුදල් ලබා ගැනීමට නොවේ යැයි කියන මුදල් ඇමති කරුනානායක සිගරැට්ටුවකට සියයට 90ක බදු ගැසීමෙන් නොනැවතී බීඩියටද බදු ගසා ඇත. දුම් බීම සෞඛ්‍යයට අහිතකර නිසා බදු අය කරන බව කියන ආන්ඩුව ඒඅතින්ම වෛද්‍ය හා ආරෝග්‍යශාලා ගාස්තු වලටද බෙහෙත් වලටද සියයට 15 ක වැට් බදු පනවා තිබේ. උසස් පෙල පාසැල් සිසුන්ට ටැබ් පරිගනක දෙන බව කියන ආන්ඩුව අන්තර් ජාලය සඳහා සියයට 25ක බද්දක් දමා තිබේ. විදුලි සංදේශ බදු ප‍්‍රමානය දැන් සියයට 50 මට්ටමට ආසන්නය.

මෙලෙස කම්කරු පීඩිත ජනයා කන-බොන අඳින-පලඳින කරන-කියන හැම දෙයකින්ම බදු ගසමින් හා දඩ ගසමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අන පිලිපදිමින් ආදායම ඉහල දමා ගැනීමට ක්‍රියා කරන ආන්ඩුව අනෙක් පසින් මහා ව්‍යාපාරයන්ට බදු සහන හා ඉඩම් පිරිනමමින් ආයෝජන සඳහා අත වනයි. ආන්ඩුව අනෙක් අතට මැති ඇමතියන්ට යහමින් වැටුප් හා දීමනා ඉහල දමමින් නිවාස හා වාහන ආදී පහසුකම් අත දිග හැර බෙදා ගනිමින් සිටියි. එක් වාර්තාවකට අනුව අමාත්‍යවරයෙක් සඳහා මසකට මහජන මුදල් දශ ලක්ෂ 60ක් වියදම්වේ.

පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුනු ඇස්තමේන්තුවකට අනුව ඇමතීන් 7ක්, රාජ්‍ය ඇමතීන් 12ක් හා නියෝජ්‍ය ඇමතීන් 8ක් සඳහා සුපිරි වාහන මිලට ගැනීමට රුපියල් දශ ලක්ෂ 791ක් වෙන් කිරීමට නියමිතය. තව මන්ත්‍රීන් 58 දෙනෙකුට වාහන සැපයීමට ආන්ඩුව විසින් රුපියල් බිලියන 2.4ක් වැය කිරීමට සැරසෙන බවද වාර්තා විය. මීට අමතරව සෑම මන්ත්‍රීවරයෙක්හටම බදු රහිත වාහනයකට අයිතිය ඇති අතර එය විකුනා රුපියල් දශ ලක්ෂ 25ක් උපයා ගැනීමේ අවස්ථාව ලබාදී තිබේ.

සෑම පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුටම මසකට රුපියල් ලක්ෂයක දීමනාවක් දියයුතු බව පවසමින් අගමැති වික‍්‍රමසිංහ පසුගිය නොවැම්බර් 19 දින පාර්ලිමේන්තුවේදී කියා සිටියේ “පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට වඩා හොඳ වැටුපක් ගෙවිය යුතුයි. නීති හදන්නන් දුෂ්කරතාවන්ට මුහුන දෙන බව මා දන්නවා. ඔවුන්ගේ මැතිවරන කොට්ඨාශවල වැඩ කරගෙන යාම සඳහා ඔවුන්ට මසකට රුපියල් 100,000ක දීමනාවක් ගෙවිය යුතුයි” යනුවෙනි. ඉන් නොනැවතුනු ඔහු “ඔවුන් හට තව තවත් වාහන පහසුකම් අප විසින් ලබා දිය යුතු වෙනවා” යැයි කීවේය. නිවාස දීමනා ඇතුලු තවත් නොයෙකුත් දීමනාවන් හා පහසුකම් මොවුන්ට ලබා දෙන අතර සෞඛ්‍ය රක්ෂනය ලක්ෂ 5 දක්වා වැඩි කිරීමටද නියමිතය.

මන්ත්‍රීවරයෙකුගේ මාසික වැටුප රුපියල් 65,000ක් වන අතර ඊට රුපියල් 200,000ක ඉන්ධන දීමනාවක්ද රුපියල් 50,000ක දුරකථන දීමනාවක්ද එකතුවේ. දැනට පාර්ලිමේන්තු වාරයකට ලබා දෙන රුපියල් 500 දීමනාව 2500 දක්වා වැඩි කර තිබේ. එමෙන්ම වසර පහක් පාර්ලිමේන්තුවේ සිටීමෙන් මන්ත්‍රීවරයෙකුට ජීවිත කාලීන විශ‍්‍රාම වැටුපක් ලැබීමේ වාසනාව ලැබේ. මොවුන්ගේ ප‍්‍රමුඛ රාජකාරිය මහජනයා පෙලන නීති රීති සකස් කිරීමයි.

ඇමරිකානු පිටුබලය සහිතව ව්‍යාජ වම්මුන්ගේ වෘත්තීය සමිති නායකයන්ගේ හා මධ්‍යම පන්තික සිවිල් සංවිධාන වල සහායෙන් බලයට පැමිනි ඊනියා යහපාලන ආන්ඩුව පවත්වා ගෙන යන්නේ කම්කරු පීඩිත ජනයාගෙන් ඇට පොත්තටම සූරාකන අතර ඇමතීන්ට හා පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට දොල පිදේනි දෙමිනි.

ආන්ඩුව පවත්වා ගෙන යාම සඳහා එක් පසෙකින් මෙලෙස අල්ලස් දෙන ආන්ඩුව උග‍්‍රවන ලෝක ආර්ථික අර්බුදය මධ්‍යයේ අපනයන, විදේශ ආයෝජන හා සංක‍්‍රමනික කම්කරුවන්ගෙන් ලැබෙන මුදල් කඩා වැටීමෙන් බැට කයි. බදු හා දඩ ගසමින්ද රුපියල අවප‍්‍රමානය කරමින්ද වැඩ කරන ජනයා මත පටවන්නේ ධනේශ්වර ආන්ඩුව මුහුන දෙන මෙම ධනපති අර්බුදයයි. එම අර්බුදය ප‍්‍රකාශයට පත්වන්නේ ආන්ඩුව දරුනු නය උගුලක හිර වීමෙනි.

බදු ගැසීම, සුබ සාධන පවත්වා ගැනීම සඳහා යයි කියමින් ආන්ඩුවේ මෙම ප‍්‍රහාර යුක්ති සහගත කිරීමට රාවය වැනි දක්ෂිනාංශික මධ්‍යම පන්තිය නියෝජනය කරන මාධ්‍යයන් ඉදිරියට පැමින ඇත. පසුගිය නොවැම්බර් 27 රාවය පුවත්පතට ලියමින් පේරාදෙනියේ විශ්ව විද්‍යාලයේ ශාස්ත‍්‍ර පීඨයේ පීඨාධිපති දයාරත්න බන්ඩා පවසන්නේ “නිසි පරිදි බදු අය නොවීම තුලයි සුබ සාදනය අර්බුදයට යන්නේ... සුබ සාධනය අවශ්‍යද නැතිනම් බදු සහන අවශ්‍යද කියන විකල්ප දෙකෙන් එකකට යන්න වෙනවා” යනුවෙනි.

ධනපති අර්බුදය මහජනා මතින් යැවීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝග පිට බදු වැඩි කෙරෙන බව පීඨාධිපති තුමාගේ බුද්ධිමත් මොලයට ඒ තරම් වැදගත් කරුනක් නොවේ.

මුදල් අමාත්‍යාංශය විසින් සුබ සාධන ලාභීන්ගේ මන්ඩලයක් පිහිටුවා එමගින් සුබ සාධන ලාභීන්ගේ දත්ත එකතු කිරීම අරඹා ඇති අතර මෙය සමෘද්ධී වැනි සොච්චම් සුබ සාධන දීමනාද කපා හැරීමේ වැඩපිලිවෙලක් වනු නොඅනුමානය. මෙම තතු තුල ආන්ඩුව වැඩ කරන ජනයා හට සහන දීමට බදු එකතු කරනවාය යන්න අමු කෙප්පයකි.

Share this article: