චීන යාත‍්‍රාවක් දකුනු චීන මුහුදේ ඇමරිකානු අධෝසමුද්‍ර (මුහුදයට) ඩ්‍රෝන් යානයක් අල්ලා ගනී

Chinese vessel seizes US undersea drone in South China Sea

පීටර් සිමන්ඩ්ස් විසිනි, 2016 දෙසැම්බර් 17

චීන නෞකාවක් දකුනු චීන මුහුද තුල ඇමරිකානු අධෝසමූද්‍ර (මුහුද යට) ඩ්‍රෝන් යානයක් නීති විරෝධී ලෙස අල්ලා ගෙන ඇති බවත් එය ආපසු බාර දෙන ලෙස ඉල්ලා ඇති බවත් සිකුරාදා පෙන්ටගනය පැවසී ය. මෙය ලියන අවස්ථාව වන විට චීනය ඊට දක්වන ප‍්‍රතිචාරය පැහැදිලිවී නැති නමුත් මූලෝපායිකව වැදගත් මුහුදු කලාපවල එක්සත් ජනපදය හා චීනය අතර දැනටමත් පවතින ආතති සහගත ආරවුල වේගයෙන් උත්සන්න කිරීමේ හැකියාව එම සිද්ධියෙන් සලකුනු කරයි. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිල වශයෙන් චීන ආන්ඩුවට විරුද්ධත්වය පල කොට ඇත.

පෙන්ටගන් ප‍්‍රකාශක කපිතාන් ජෙෆ් ඬේවිස් ප‍්‍රකාශ කලේ යූඑස්එන්එස් බව්ඩිච් නම් සාගර විද්‍යාත්මක පරීක්ෂන යාත‍්‍රාවක් මුහුදයට සැහැල්ලු ගුවන් යානා දෙකක් ගලවා ගැනීමේ ක්‍රියාවලියක නිරත වී සිටි අවස්ථාවේ දී, සබ්මැරීන බේරාගන්නා චීන නෞකාවක් පැමින, පැත්තකින් බෝට්ටුවක් පාත් කර එක් ඩ්‍රෝන් යානයක් අල්ලා ගත් බව යි. බව්ඩිච් යාත‍්‍රාව මෙහෙයුම් කටයුත්තක නියලෙමින් සිටියේ පිලිපීනයේ සුබික් බොක්කේ නාවික කඳවුරට වයඹ දිග නාවික සැතපුම් 50ක සීමාවේ ජාත්‍යන්තර මුහුදු සීමාවේ බව ද ඔහු පැවසී ය.

මීටර් 3ක් පමන දිග, දීප්තිමත් කහපාටින් යුත් මිනිසුන් රහිත ඩ්‍රෝන් යානය ශබ්ද තරංග පාදක දියයට මෙහෙයුම් සඳහා අවශ්‍ය වන මුහුදු පතුල සිතියම් ගත කරමින් හා ජලයේ උෂ්නත්වය, ලවනතාව හා පැහදිලිකම ගැන දත්ත එකතු කරමින් සිටි බව පෙන්ටගනය පැවසී ය. බව්ඩික් යාත‍්‍රාව නාවික හමුදාවට අයිති නමුත් කොන්ත‍්‍රාත්තුවක් යටතේ ක්‍රියාත්මක කෙරෙන්නේ ප‍්‍රධාන වසයෙන් ම විද්‍යාඥයින් හා නාවිකයන්ගේ සිවිල් කන්ඩායමක් විසිනි.

එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ඇෂ්ටන් කාටර් අප්‍රේල් මාසයේ දී හෙලිදරව් කලේ, චීනයට එරෙහිව එල්ල කෙරුනු, ආසියාව තුල එක්සත් ජනපද මිලිටරි බලගැන්වීමේ කොටසක් ලෙස, “මිනිසුන් රහිත සබ්මැරීන යා නො හැකි, නොගැඹුරු මුහුදේ මෙහෙයුම් කල හැකි බහුවිධ ප‍්‍රමානයේ හා එකිනෙකට වෙනස් බරින් යුත් නව අධෝසමූද්‍ර ඩ්‍රෝන් යානා” සංවර්ධනය සඳහා පුලුල් පර්යේෂන වැඩසටහනක් ගෙන යමින් සිටින බව යි. උප ඩ්‍රෝන්වල ආරම්භක කාර්ය වනු ඇත්තේ සෝදිසි කිරීම් වන නමුත් ඒවාට අවසානයක් නොමැති විභව ප‍්‍රයෝජන ඇති බව නාවික සැලසුම්කරුවන් විශ්වාස කරන බව ෆිනෑන්ෂල් ටයිම්ස්, පත‍්‍රය වාර්තා කලේ ය.

තහවුරු වුවහොත්, චීනය විසින් අධෝසමූද්‍ර ඩ්‍රෝන් යානයක් අල්ලා ගැනීම එවැනි පලමු සිදුවීම යි. නව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්, එක්සත් ජනපද - චීන සම්බන්ධතාවන්ගේ පදනම වන “තනි චීනයක්” ප‍්‍රතිපත්තිය ප‍්‍රශ්නයට බඳුන් කරමින් ප‍්‍රකෝපකාරී ලෙස නොකඩවා එල්ල කරන ප‍්‍රහාර මධ්‍යයේ එය සිදු විය.

1979දී චීනය සමග රාජ්‍යතාන්ත්‍රික බැඳීම් ස්ථාපිත කරමින් එක්සත් ජනපදය, බීජීනය චීනයේ එකම නීත්‍යානුකූල ආන්ඩුව ලෙස පිලිගත් අතර තායිවානය සමග රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා නිල වසයෙන් අවසන් කලේ ය. මෙම මස මුල දී, ට‍්‍රම්ප් තායිවාන් ජනාධිපතිනියගේ දුරකතන ඇමතුමක් පිලිගත්තේ ය. එය 1979ට පසු දෙරට අතර පලමු ඉහල මට්ටමේ සම්බන්ධය යි.

චීනය ඊට කෝපාවිෂ්ඨ ප‍්‍රතිචාර දැක්වමින් තමන්ට “බරපතල උත්සුකයන්”ඇති බව ප‍්‍රකාශ කල අතර තායිවානය “චීනයේ ස්වාධිපත්‍යය හා කලාපීය ඒකාබද්ධතාව සමග පැටලෙමින් චීනයේ උත්සුකතා අවුල් කරන” බව අවධාරනය කලේය. චීන-එක්සත් ජනපද බැඳීම්වල පදනමට බාධා කිරීම හෝ හානි කිරීම, “ආසියා ශාන්තිකරය හා ජාත්‍යන්තරයේ සාමය, ස්ථාවරත්වය, සංවර්ධනය හා සෞභාග්‍යයට බාධාවක් බව” චීන විදේශ අමාත්‍යංශයේ ප‍්‍රකාශක ගෙන්ග් ෂුඈන්ග් අනතුරු ඇඟවූයේ ය.

ට‍්‍රම්ප්ගේ ප‍්‍රකාශ අඟවන්නේ, ඔහු සියලුම පෙරමුනු මත ―රාජ්‍යතාන්ත්‍රික, ආර්ථික හා මිලිටරි ― ඔබාමා පාලනාධිකාරියේ ගැටුම්කාරී “ආසියාවට හැරීම” උත්සන්න කරන බව ය. මැතිවරන උද්ඝෝෂන කාලය අතරතුර, ඔහු වෙලඳ යුද්ධ පියවර ගැනීමට තර්ජනය කර ඇති අතර දැවන්ත මිලිටරි ප‍්‍රසාරනයක්, විශේෂයෙන් ම නාවික හමුදාවේ ප‍්‍රසාරනයක් පොරොන්දු විය. ඔහුගේ අදහස් දැක්වීම්වලට, එක්සත් ජනපද චීන සම්බන්ධතා සඳහා පමනක් නො ව, වඩා පුලුල් ලෙස ආසියාව තුල හා ලෝකය පුරා සම්බන්ධතා සම්බන්ධයෙන් දුර යන ප‍්‍රතිවිපාක ඇත.

ඔබාමාගේ “ආසියාවට හැරීමට” බීජීනයේ ප‍්‍රතිචාරය වී ඇත්තේ වොෂින්ටනය සමග සැබවින් ම අවි තරඟයක් දියත් කිරීම, චීන ජාතිකවාදය කැලතීම හා දකුනු චීන මුහුදේ දී, සැලකිය යුතු ආකාරයකින් මුහුද ගොඩකිරීමේ කටයුතුවල යෙදීම ය. මෙම ප‍්‍රතිගාමී ප‍්‍රතිචාරය ඇමරිකානු පාලක පන්තියේ ඉතාම යුදවාදී කන්ඩායම්වල උද්ඝෝෂනයට උදව් කරන අතර යුද්ධයේ අනතුර වැඩි කර යි. චීන කොමියුනිස්ට් පක්ෂ (සීසීපී) තන්ත‍්‍රය නියෝජනය කරන්නේ කම්කරු පන්තිය නො ව, ධනේශ්වර පුනස්ථාපන ක්‍රියාදාමය හරහා දැවන්ත ධනසම්භාරයක් ගොඩගසාගෙන ඇති ඉතා පොහොසත් කතිපයාධිකාරයේ තුනී ස්ථරයකි.

දකුනු චීන මුහුදේ විසුරුනු දූපත් සමූහය මත තමන් ආරක්ෂක ගුවන්යානා ප‍්‍රහාරක ව්‍යූහ පහසුකම් ඉදිකරමින් සිටින බව බීජීනය නිහඬව පිලිගත්තේ ය. චීන ආරක්ෂක අමාත්‍යංශ ප‍්‍රකාශනයක් එය “යෝග්‍ය හා නීත්‍යානුකූල” බව ප‍්‍රකාශ කලේ “යමෙකු ඔබගේ දොරකඩ සිට ආඩම්බරයෙන් මෙන් ම පුරසාරම් දොඩමින් සිටින්නේ නම් ඔබ කැටපෝලය සූදානම් නො කර සිටින්නේ කෙසේ ද?” යනුවෙන් ද පවසමිනි. එක්සත් ජනපද නාවික හමුදාව 2015 ඔක්තෝබරයේ සිට දකුනු චීන මුහුදේ දැනටමත් ඊනියා “නාවික ගමනා ගමනයේ නිදහස” මෙහෙයුම් තුනක් පවත්වා ඇති අතර චීනය විසින් අයිතිවාසිකම් කියන මුහුදු සීමාවන් වෙත සන්නද්ධ යුද නැව් යවනු ලැබින.

බදාදා සිඞ්නි නුවර සිට කතා කරමින්, එක්සත් ජනපද පැසිෆික් බලඇනියේ අනදෙන නිලධාරී හැරී හැරිස් ප‍්‍රකාශ කලේ, “දකුනු චීන මුහුදේ කෘතිම හැඩයන් (කොදෙව්) මත කොතරම් කඳවුරු ගොඩනගනු ලැබුවත්, හවුලේ භුක්ති විඳි බල ප‍්‍රදේශයක් ඒක පාර්ශ්වීය ව වසා දැමීම” පිලි නො ගන්නා බව යි. “අවශ්‍ය තැන දී මුනගැසීමට අපි සූදානම් වන්නෙමු” යි ඔහු අනතුරු ඇඟවූයේ ය. මෙය ඇඟවුම් කරන්නේ යුද ගැටුම් පමනක් නොව චීනය සමග යුද්ධයක් බවට සැකයක් නැත.

“තනි චීනයක්” ප‍්‍රතිපත්තිය ඉරා දැමීමේ ට‍්‍රම්ප්ගේ තර්ජනයට සහ චීනය සමග වෙලඳ යුද්ධයට හා මිලිටරි ගැටුමකට මග සකසන, දුර දිග යන ප‍්‍රතිවිපාක දැනටමත් පැහැදිලි වෙමින් තිබේ. සිකුරාදා ඔහුගේ මාධ්‍ය සාකච්ඡාවේ දී ජනාධිපති ඔබාමා, චීනය සමග එක්සත් ජනපද සම්බන්ධය ප‍්‍රශ්නයට ලක් කරමින් ට‍්‍රම්ප් සමග එකතු විය.

එක්සත් ජනපද මැතිවරනයට බලපාන “රුසියානු කඩාවැදීම” පිලිබඳ ව්‍යාජ චෝදනා මත මාධ්‍ය සාකච්ඡාව සිදුවූ අතර, චීනය විසින් එක්සත් ජනපද ඩ්‍රෝන් යාත‍්‍රාවක් අල්ලා ගැනීම පිලිබඳ ප‍්‍රශ්නය මතු වූ අවස්ථාවේ “තනි චීනයක්” පිලිබඳ ට‍්‍රම්ප්ගේ ප‍්‍රශ්න කිරීම ගැන ජනාධිපතිගේ ප‍්‍රතිචාරය කුමක් දැ යි ඇසූ විට “තමන් අතරමැද තැනක” සිටින බවත්, “අපගේ සම්පූර්න විදේශ ප‍්‍රතිපත්තිය ම නව දෘෂ්ටියකට අනුව සිදුවිය යුතු” බවත් ඔබාමා පැවසීය. ඒ අතර ම “ඔබ එය කරන්නේ ක‍්‍රමානුකූල, හිතාමතා හා ජාත්‍යන්තර ආකාරයකට බව ඔබ තහවුරු කර ගත යුතු” බව ද ඔහු පැවසීය.

ට‍්‍රම්ප් විවේචනය නො කරම ඔබාමා මෙසේ අනතුරු ඇඟවී ය. “ප‍්‍රතිවිපාක මොනවා දැ යි ඔබ දිගට ම සිතිය යුතු ව ඇත. මන්ද චීනය එයට සලකනවා ඇත්තේ ඔවුන් වෙනත් ප‍්‍රශ්න වලට සලකන ආකාරයට නොවන නිසාය. අපට විශාල ප‍්‍රශ්න තිබෙන දකුනු චීන මුහුද වටා පවතින ගැටලු කෙරෙහි ඔවුන් දක්වනවාට පවා වෙනස් ව ඔවුන් එයට සලකනවා ඇත. ඔවුන් දකින්නේ කෙසේ ද යන්න හරිමැදට ම මෙය යනවා. එමෙන් ම මෙම ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ඔවුන්ගේ ප‍්‍රතිචාර අවසාන වනවා ඇත්තේ ඉතා බැරෑරුම් අකාරයකින්ය.” සත්‍ය වසයෙන්ම, තායිවානය වැලක්වීමට චීනය යුද්ධයකට වුවත් සූදානම් බවට තර්ජනය කර ඇත. තායිවානයේ ස්වාධීනත්වය ප‍්‍රකාශ කිරීම ඔවුන් සලකන්නේ ද්‍රෝහී කමක් ලෙස ය.

“තනි චීනයක්” ප‍්‍රතිපත්තියෙන් බිඳීම දෙසට තබන ඕනෑ ම පියවරක් ගැන එක්සත් ජනපදය “සෑම අංශයකින්ම සිතීම” අවශ්‍ය වන අතර “ඔවුන් පැටලීමට ඉඩ ඇති තත්වයක් සඳහා සැලසුම් තිබිය යුතු” යයි ඔබාමා පැවසීය.

“එක් චීනයක්” ප‍්‍රතිපත්තිය ප‍්‍රශ්නයට බඳුන් කිරීම බලපාන්නේ තායිවානයට පමනක් නො වේ. එය චීනය තුල අනෙකුත් බෙදුම්වාදී ව්‍යාපාරයන්ට, විශේෂයෙන් ම ටිබෙට් හා සින්ජියැන්ග් ව්‍යාපාරයන්ට ද උදව් කර යි. මෙය චීනය කොටස් කිරීම කරා ගමන් කරනු ඇත. 1979ට පෙර එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව හා සීඅයිඒ සංවිධානය ටිබෙට් හා උයිගූර් බෙදුම්වාදීන්ට සැලකිය යුතු සහයෝගයක් ලබා දුන්නේ එය, චීන කොමියුනිස්ට් තන්ත‍්‍රය යටපත් කිරීමේ මාධ්‍යයක් ලෙස සලකා ය.

Share this article: