පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇමෙරිකානු අධිරාජ්‍යවාදයේ ආරක්ෂක බර්නි සෑන්ඩර්ස් ගැන මිත්‍යාවන් වපුරයි

වසන්ත රූපසිංහ විසිනි, 2016 පෙබරවාරි 20

එලැඹෙන ඇමෙරිකානු ජනාධිපතිවරනයේ ඩිමොක‍්‍රැටික් පක්ෂයේ අපේක්ෂකයා වීමට හිලරි ක්ලින්ටන් හා තරග වැද සිටින බර්නි සෑන්ඩර්ස්ට “සමාජවාදී” සලු පිලි ඇන්දීමේ කොන්ත‍්‍රාත්තුව ඇමෙරිකාවේ ඇතුලු ලෝකය පුරා විසිරී සිටින ව්‍යාජ වාම පක්ෂ විසින් භාර ගෙන තිබේ. ලංකාවේ එම කටයුත්තට කර ගසා ඇති එක් සංවිධානයක් නම් ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) යි.

පෙසප ප‍්‍රකාශනය වන ජනරළ පෙබරවාරි 7 කලාපයේදී, “බර්නි සෑන්ඩර්ස්ගේ දේශපාලන විප්ලවය” නමින් පලකල කොලමකින් අනෙකුත් අවස්ථාවාදීන් සෑන්ඩර්ස් පිලිබඳ පතුරන මිත්‍යාවන් පුනරුච්චාරනය කර තිබින. සමාජවාදය සඳහා මොවුන් දක්වන සතුරු ආකල්පය, ධනපති ක‍්‍රමයට එරෙහිව කැකෑරෙන මහජන වෛරය එම ක‍්‍රමයේම ආරක්ෂකයෙකු වන සෑන්ඩර්ස්ගේ අතයටට ගාල් කිරීමට මොවුන් ගෙන යන උද්ඝෝෂනය මගින් පෙන්නුම් කෙරෙයි.

ඩිමොක‍්‍රැටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා පැවැත්වුන ඡන්දවලින් ක්ලින්ටන් අභිබවා සෑන්ඩර්ස් ඉදිරියට ඒම පිලිබඳ “විස්මය” පලකරමින් ලියා ඇති ලිපිය ඇමෙරිකානු අධිරාජ්‍යවාදයේ මෙන්ම ධනපති ක‍්‍රමයේ ආරක්ෂකයෙකු ලෙස සෑන්ඩර්ස්ගේ කුප‍්‍රකට වාර්තාව වහංගු කරයි. ඒ වෙනුවට, සෑන්ඩර්ස් “දීර්ඝ කාලයක් තිස්සේ ස්වාධීන මන්ත‍්‍රීවරයෙක් ලෙස ඇමෙරිකානු සෙනෙට් සභාව නියෝජනය කර තිබෙන” බවත් “සමාජවාදියෙක් ලෙස තමන්ව ප‍්‍රසිද්ධියේ හඳුන්වා ගන්නා” බවත් ලියා තිබින.

සෑන්ඩර්ස්ගේ දේශපාලන භූමිකාව සම්බන්ධයෙන් තීරනාත්මකව වැදගත්වන, පෙසප ඇතුලු සංවිධාන තොරොම්බල් කරන “ස්වාධීන” හා “සමාජවාදී” යෙදුම් දෙක ගැන ඒ අයුරින්ම පුනරුච්චාරනය කිරීම මෙම සංවිධානවල ධනපති ගැති ස්වාභාවය පිලිබඳ පැහැදිලි ප‍්‍රකාශයකි.

1990 වසරේදී නියෝජිත මන්ත‍්‍රී මන්ඩලය තුල වර්මොන්ට් පලාත නියෝජනය කරන එකම මන්ත‍්‍රීවරයා ලෙස තේරී පත්වූ සෑන්ඩර්ස් 2006 හා යලි 2012 වසරවල එක්සත් ජනපදයේ සෙනෙට් සභාවට පත්වූ අතර ඒ සමස්ත කාලය පුරාම ඩිමොක‍්‍රැටිකයන් සමග එක්ව විදේශයන්හි යුද ආක‍්‍රමනවලට සහයදීම හා රටතුල ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී අනපනත් රැසකට දායක වී තිබීමේ කාරනයම ඔහුගේ “ස්වාධීන” හා “සමාජවාදී” ලේබල්වල ප්‍රෝඩාව හෙලි කරයි. 1999දී සර්බියාවට එරෙහිව බිල් ක්ලින්ටන්ගේ යුද්ධයට සහය දීම, 2001 සැප්තැම්බර් 11 දින නිව්යෝක් නගරයට එල්ලවූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයෙන් පසු ඕනෑම රටකට එරෙහිව යුද්ධය දියත් කිරීමට ජනාධිපතිට අනුමැතිය දුන් කොන්ග‍්‍රස් යෝජනාවට සහාය දීම හා ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ යුද්ධවලට අරමුදල් සැපයීමට ගෙන ආ සෑම පුනරාවර්තන පනතකටම සහාය දීම ඇතුලුව ඩිමොක‍්‍රැටිකයන් සමග එක්ව සියයට 98 වතාවක් ඡන්දය ප‍්‍රකාශ කර තිබීම යනාදිය සෑන්ඩර්ස්ගේ ඊනියා “සමාජවාදී” හා “ස්වාධීන” පැවත්ම ගැන කරන කතාවල පුස්ස බිඳ ඇත.

සෑන්ඩර්ස්ගේ කුප‍්‍රකට වාර්තාව එතැනින් හමාර නොවේ. ලෝක වෙලඳාම ක්ෂේත‍්‍රයේදී උග‍්‍ර චීන විරෝධී පිලිවෙතක් වෙනුවෙන් පෙනී සිටින මෙම ඩිමොක‍්‍රැටික් අපේක්ෂකයා එරට මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට එරෙහිවීමේ ප්‍රෝඩාව යටතේ බීජිනය සමග වෙලඳාම සීමා කිරීමට යෝජනා කරන පනතක් ගෙන ඒම සඳහා 1992දී සම අනුග‍්‍රහය දැක්වීය. චීනය සම්බන්ධ ඔහුගේ පිලිවෙත මුලුමනින්ම පදනම්ව ඇත්තේ ඇමෙරිකානු මහා ව්‍යාපාරිකයන් හා සංගත සඳහා වඩාත් වාසි සහගත කොන්දේසි විවර කරවා ගැනීමේ අරමුන මතයි.

සංක‍්‍රමනිකයන් සම්බන්ධ සෑන්ඩර්ස්ගේ ස්ථාවරය මුලුමනින්ම සිට ගන්නේ, ඇමෙරිකානු කම්කරු පන්තියේ කඩා වැටෙන ජීවන තත්වයන් සඳහා මිලියන සංඛ්‍යාත දුප්පත් හා උග‍්‍ර සූරාකෑමට ලක්වන හිස්පැනික් කම්කරුවන් දඩමීමුන් කරගැනීමේ දක්ෂිනාංශික පිලිවෙත් සමග ය. මෙම පිලිවෙත් මත පදනම් වෙමින්, 2007 හා 2009 වසරවල රිපබ්ලිකන් කොන්ග‍්‍රස් සභික චක් ග‍්‍රාස්ලි විසින් ෆෙඩරල් වීසා වැඩසටහන සීමා කිරීමට යෝජනා කරමින් ගෙන ආ පනත්වලට ඇමෙරිකානු රැකියා සුරැකීමේ කඩතුරාව යටතේ සෑන්ඩර්ස් සමඅනුග‍්‍රාහකත්වය දැක්වුයේ ය. සෑන්ඩර්ස්ට “සමාජවාදයේ” සලුපිලි අන්දන පෙසප, තමන් කැමති තැනක කැමති රැකියාවක් කිරීමට කම්කරුවන්ට ඇති මූලික ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතියට පහර ගැසීමට එක පෙලට සිට ගනී.

සෑන්ඩර්ස්ගේ උක්ත කුප‍්‍රකට වාර්තාව තිබියදීම ඔහු වටා විශාල මහජන සහායක් ගොනුවීම, “2008 ඇමෙරිකානු ආර්ථික අර්බුදයත් සමග ආරම්භවූ ‘වෝල්වීදිය අල්ලා ගනු’ ව්‍යාපාරයේ සංවිධිත දේශපාලන ප‍්‍රකාශනය ලෙස” ජනරළ ලියුම්කරු විස්තර කිරීම, සත්‍යය කනපිට හැරවීමකි. දශක ගනනාවක් තිස්සේ සමාජවාදයට එරෙහිවීම රාජ්‍ය ආගමක් බවට පත්කර ගෙන ධනවාදයේ විජයග‍්‍රහනය නිවේදනය කරන ලෝකයේ “ධනවත්ම රට” ලෙස සැලකෙන ඇමෙරිකාවේ “සමාජවාදී” යැයි කියාගන්නා අපේක්ෂකයෙකුට දැවැන්ත මහජන සහායක් ලැබීම දේශපාලනිකව ඉමහත් වැදගත් සංසිද්ධියක් වන නමුත් සෑන්ඩර්ස් එම දේශපාලන වර්ධනයේ ප‍්‍රකාශකයා නම් නොවේ.

ඒ වෙනුවට ඇමෙරිකානු පාලක පන්තියේ කොටසක් ඉතා දැනුවත්ව ම ගනන් බලා මෙම කෛරාටිකයා ඉදිරියට දමා ඇත්තේ, ඇමෙරිකාව තුල ඇදහිය නොහැකි සමාජ අසමානතාව හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එල්ල වන ප‍්‍රහාරවලට එරෙහිව රැඩිකලීකරනය වෙමින් සිටින කම්කරුවන් හා තරුනයින් ධනේශ්වර ක‍්‍රමය තුලම, එනම් ඩිමොක‍්‍රැටික් පක්ෂයේ අතයට තබා ගැනීමේ ඒකායන අරමුනිනි. හිලරි ක්ලින්ටන්ට මාධ්‍ය තුල හා ඇමෙරිකානු ධනපති පන්තියෙන් ලැබෙන ඉමහත් අනුග‍්‍රහය මේ මොහොතේ සෑන්ඩර්ස්ට එලිපිට නොලැබේනම් එයට හේතුව, මහජනයාගේ රැඩිකලීකරනය සෑන්ඩර්ස්ට ද පාලනය කරගත නොහැකි මට්ටමින් ඉක්මවා වැඩී යතැයි එකී කොටස් තුල පවතින ඉමහත් භීතිය නිසා මිස ඔහුට ඇති සුවිශේෂී වෛරයක් නිසා නොවේ.

එකී ජනයා රැවටීම සඳහා සෑන්ඩර්ස් විසින් ප්‍රෝඩාකාරී ලෙස “ප‍්‍රජාතන්ති‍්‍රක සමාජවාදී වැඩපිලිවෙලක්” ලෙස දවටා ඉදිරිපත් කරන, “නිදහස් සෞඛ්‍ය සේවයක් රටතුල ඇති කිරීම”, “නිදහස් අධ්‍යාපනය හඳුන්වා දීම” හා “සියයට එකක්වූ ප‍්‍රකෝටිපතියන් අත සංකේන්ද්‍රනය වී තිබෙන දේශපාලන හා ආර්ථික ආධිපත්‍යය බිඳ දමා ජනතාව වෙත නැවත ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ දිනා දීම” යනාදී පච පොරොන්දු පෙසප ඔවුන්ගේ ප‍්‍රකාශක හරහා මහජනතාවට ගිල්ල වීමට තැත් කරයි. ඒ අතර “සියයට එකකගේ ආධිපත්‍යය බිඳ දමන ‘දේශපාලන විප්ලවයක්’ ඇමෙරිකාවට අවශ්‍ය බවද” සෑන්ඩර්ස් පවසන බව ජනරළ කියයි.

සෑන්ඩර්ස් හා ඔහුගේ ක්ෂමාලාපකයින් තොරොම්බල් කරන “ප‍්‍රජාතන්ත‍්‍රික සමාජවාදී” වැඩ පිලිවෙල යන්න ඩිමොක‍්‍රැටික් පක්ෂය මෙන්ම රිපබ්ලිකන් පක්ෂය විසින් ද ආරක්ෂා කරනු ලබන ඇමෙරිකානු ධනපති ක‍්‍රමය හා එහි අධිරාජ්‍යවාදී වැඩ පිලිවෙල මිස අන්කවරක්වත් නොවේ. කෙසේවෙතත්, සෑන්ඩර්ස් ද පරයා ඉදිරියට යන ජනරළ එය “සමාජ ප‍්‍රජාතාන්ත‍්‍රික” එකක් ලෙස සිතාමතාම විකෘත කර ඉදිරිපත් කරයි. 2008 දී පුපුරා ගොස් දැන් වඩවඩාත් ගැඹුරුවෙමින් පවතින ඇමෙරිකානු ධනවාදයේ අර්බුදය තුල මිලියන සංඛ්‍යාත ඇමෙරිකානු මහජනයාගේ ජීවන තත්වයන්ට රුදුරු ලෙස පහර එල්ල වෙමින් පවතින අතර රැඩිකලීකරනය වෙමින් සිටින කම්කරු පන්තිය මර්දනය කිරීමට වඩවඩාත් තියුනු කෙරුනු පොලිස්-මිලිටරි විධික‍්‍රමවලට වාරු වීමට ඇමෙරිකානු පාලක ප‍්‍රභූවට බල කෙරී ඇත. මේ තතු තුල සෑන්ඩර්ස් බලයට පත්වුවහොත් ඔහු දැන් තොරොම්බල් කරන “ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගෙන ඒම” හෝ “සමාජ ප‍්‍රතිසංස්කරන” ගැන කතා එක රැයින් අමතක කර වඩාත් බිහිසුනු ප‍්‍රහාර කම්කරු පන්තියට එල්ල කිරීම ආරම්භ කරනු ඇත.

ධනේශ්වර පද්ධතිය අර්බුදයට යාමේ අනිවාර්ය ප‍්‍රතිපලය වී ඇත්තේ, ඇමෙරිකානු අධිරාජ්‍යවාදය පෙරනුවූවිරූ ආකාරයේ වියරුවකින් ලෝකය මත සිය ආධිපත්‍යය තහවුරු කර ගැනීමටත් එයට අභියෝග වන ඕනෑම රාජ්‍යයකට එරෙහිව මිලිටරි බලය යෙදවීමටත් හැරී සිටීම සහ තුන් වැනි න්‍යෂ්ටික ලෝක යුද්ධයක් පුපුරා ඒමේ කොන්දේසි නිර්මානය වීමයි. සෑන්ඩර්ස් එවැනි යුද්ධයකට විරුද්ධ නොවනවා පමනක් නොව එවැන්නකට එලිපිටම පක්ෂපාතී ය. මෙහිලා, ඔබාමා පාලනය සිරියාවේ බෂර් අල් අසාද් පාලනය පෙරලා දැමීමේ ඉලක්කය ඇතිව, අයිඑස්අයිඑස් ත‍්‍රස්තවාදීන් විනාශ කිරීමේ ආවරනය යටතේ ගෙන යන යුද්ධයට සෑන්ඩර්ස්ගේ සහය දීම කැපී පෙනෙයි. මෙසේ වන්නේ, සිරියානු ගැටුම, නැගෙනහිර යුරෝපයේ විශාල මිලිටරීකරනය ද ඇතුලු ඇමෙරිකාව හා යුරෝපීය බලවතුන්ගේ නිරන්තර ඉලක්කයක් බවට පත්ව ඇති න්‍යෂ්ටික බලවතෙකු වන රුසියාව සමග යුද්ධයක් ඇවිල යාමේ තර්ජනය මතු කර තිබියදී ය.

පෙසප ඇතුලු අවස්ථාවාදී සංවිධාන බෙහෙවින් අමන්දානන්දයට පත්කරමින්, සෑන්ඩර්ස්ගේ “සියයට එකේ දේශපාලන ආධිපත්‍යය බිඳ දමන ‘දේශපාලන විප්ලවය’” කම්කරුවන් නොමග යැවීමට මැනවින් සැලසුම් කර ඉදිරිපත් කර තිබෙන තවත් උගුලකි. සමාජවාදයේ මූලික මූලධර්මයක් වන කර්මාන්ත හා මූල්‍ය සමාගම් සමාජ සන්තක කිරීම පිලිබඳ සෑන්ඩර්ස් එකදු වචනයක් කියා නැති අතර ඔහුගේ දේශනවල පුනරුච්චාරනය කෙරෙන “සියයට එක”, “ප‍්‍රකෝටිපතියන්ගේ පන්තිය” හා “මහා ඇමෙරිකානු මධ්‍යම පන්තිය” යන යෙදුම් ඉතා ප‍්‍රවේශමෙන් යොදා ගෙන ඇත්තේ සමාජ අසමානතාවේ සැබෑ පන්තිමූලයන් මහජනතාවගෙන් වසන් කිරීමේත් පුද්ගලික ධනයේ ඇදහිය නොහැකි පරිමාවල් පදනම්ව ඇති ධනේශ්වර ආර්ථික පද්ධතිය කෙරෙන් මහජනතාවගේ ඇස් ඉවතට හැරවීමේත් අරමුනිනි.

මාක්ස්වාදයට අනුව, සමාජ පන්තීන් නිර්නය වන්නේ ඒ ඒ පන්තීන් සතු ධනයේ පරිමාව අනුව නොව, සමාජයේ මූලික ආර්ථික ව්‍යුහයට හෙවත් නිෂ්පාදන බලවේගවලට ඒ ඒ සමාජ ස්ථරයන් දක්වන සම්බන්ධතාව අනුව යි. මෙනයින් සෑන්ඩර්ස්ගේ උක්ත “ප‍්‍රකෝටිපතියන්ගේ පන්තිය” හා අනෙකුත් යෙදුම් නිපදවා ඇත්තේ, සමාජයේ මූලික පන්ති බෙදීම වන ධනපති පන්තිය සහ කම්කරු පන්තිය අතර බෙදීම ගැන ව්‍යාකූල අදහසක් ඇති කොට පන්ති අරගලය පීලි පැන්නීමේ අරමුනිනි. පෙසප ලංකාව තුල සිදු කරන්නේ හරියටම මෙන්න මේ ප‍්‍රතිගාමී කර්තව්‍යය බැවින් සෑන්ඩර්ස්ට හුරේ දැමීමට ඔවුන්ට කිසිදු බාධාවක් නැත.

ධනේශ්වර ක‍්‍රමය ජාත්‍යන්තර සමාජවාදී විප්ලවයකින් පෙරලා දැමීමෙන් තොරව ඒ තුලම සමාජ ප‍්‍රතිසංස්කරන දිනා ගත හැකිය යන මිත්‍යාව වැපිරීමට පැයකට ඩොලර් 15ක අවම වැටුපක් හා ෆෙඩරල් රැකියා වැඩසටහනක් සෑන්ඩර්ස් විසින් යෝජනා කර තිබේ. ධනපති ක‍්‍රමයට හා සෑන්ඩර්ස්ගේ ඩිමොක‍්‍රැටික් පක්ෂය හා රිපබ්ලිකන් පක්ෂය ඇතුලු ධනපති දේශපාලන පක්ෂවලට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට එරෙහිව ඔහු මෙම මිත්‍යාව තොරම්බල් කරයි. ජනරළ ලියුම්කරුට අනුව සෑන්ඩර්ස්, මෙම පක්ෂ දෙක “ප‍්‍රකෝටිපතියන්ගේ අත්අඩංගුවට පත්වී තිබීම ගැන දැඩිව විවේචනය කරන්නේය”! හරියට සෑන්ඩර්ස් ධනපති පක්ෂය, ධනපති පන්තිය ප‍්‍රතික්ෂේප කලා සේ ය!

පෙසප ඇතුලු අනෙකුත් ව්‍යාජ වාම පක්ෂ තොරොම්බල් කරන සෑන්ඩර්ස්ගේ අතිඋත්කර්ෂවත් යෝජනාව වන මහා බැංකුවල බලය බිඳ දැමීම, ප‍්‍රකෝටිපතියන්ගේ දේශපාලන ආධිපත්‍යය බිඳ දැමීම තරම්ම ප්‍රෝඩාකාරි එකකි. 2008 මූල්‍යමය ඝට්ටනය යොදාගනිමින් ආර්ථිකය මත මහා බැංකුවල ග‍්‍රහනය ශක්තිමත් කිරීමට වෝල්වීදිය වෙත මහජන මුදල් ඩොලර් ටි‍්‍රලියන ගනනක් පොම්ප කිරීමට ඇමෙරිකානු පාලක ප‍්‍රභූව හා එහි උපකරනයක් වන ඩිමොක‍්‍රැටික් පක්ෂයේ ජනාධිපති ඔබාමා ක‍්‍රියාත්මක විය. දැන් යෝධ බැංකුවල බලය බිඳ දැමීමට යෝජනා කරන්නේ එම සාපරාධී ක‍්‍රියාවන්වල මූලිකත්වය ගත් ඩිමොක‍්‍රැටික් පක්ෂයේම ජනාධිපති අපේක්ෂකයා වීමට ඉදිරියට විත් සිටින පුද්ගලයාම ය.

පෙසපට මෙම වහංගුකිරීමට නිශ්චිත දේශපාලන අරමුනක් ඇත. මෙම ව්‍යාජ වාම පක්ෂය තමන්ගේ මූලික අරමුන ලෙස සඳහන් කර ඇත්තේ ග‍්‍රීසියේ දැන් බලය හොබවන රැඩිකල් වාම සභාගය හෙවත් සිරිසා පන්නයේ ආන්ඩුවක් බලයට ගෙන ඒම බව යි. 2008 ආරම්භවූ ගෝලීය ආර්ථික අර්බුදයේ සෘජු විපාක ග‍්‍රීසිය මත කඩාපාත්වීමට ප‍්‍රතිචාර දක්වමින් එවක බලයේ සිටි පැසොක් ආන්ඩුව ක‍්‍රියාවට දැමූ දරුනු කප්පාදු පිලිවෙත් හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පිලිවෙත් කෙරෙහි වැඩෙමින් පැවති මහජන වෛරය ගසා කමින් 2015 ජනවාරි පැවැති මහමැතිවරනයෙන් බලයට පැමිනි විගසම සිරිසාව සිදුකලේ අධිරාජ්‍යවාදී මහ බැංකු අනවා තිබූ කප්පාදු පිලිවෙත් ක‍්‍රියාවට දැමීමට වැඩට බැස ගැනීම යි.

ලෝකය පුරා හමා යන වාම රැල්ලේ කොටසක් ලෙස පෙසප සෑන්ඩර්ස්ගේ ව්‍යාපාරය හුවා දක්වයි. මෙම පක්ෂය වාම රැල්ල ලෙස හඳුන්වන්නේ රටක් රටක් පාසා දැන් ධනපති අර්බුදය උග‍්‍ර වීමත් සමග එල්ල වන ප‍්‍රහාරයන්ට එරෙහිව කම්කරුවන් හා දුගීන් අතර වැඩෙන විරුද්ධත්වය අවමංගත කිරීමට ක‍්‍රියා කරන පක්ෂ හා කන්ඩායම් ගැනය. මෙම ඊනියා වාම රැල්ල නැගී සිටින්නේ කම්කරු පන්තියේ විප්ලවවාදී අරගල පුපුරා ඒමට ඉඩ නොදී ඒවා යට ගසා මැඩලා දීමේ කටයුත්ත ඉටු කිරීමට ය.

ලංකාව තුල පෙසප විවිධ අවස්ථාවාදී සංවිධාන සමග පෙල ගැසී විරෝධතා ව්‍යාපාර සංවිධානය කරමින් මෙම කටයුත්තේ දී පෙරමුන ගෙන ඇත. පෙසපට සෑන්ඩර්ස් මතුවීම තමන්ගේ ධනපති ගැති වැඩපිලිවෙලට පන පිඹ ගැනීමට තවත් අවස්ථාවක් වී ඇත.

Share this article: