ආන්ඩුව කොලඹ පැල්පත් නිවාස කඩාදැමීම අරඹයි

ජෝතිපාල දැදිගම සහ මහේෂ් ජයවර්ධන විසිනි, 2016 පෙබරවාරි 20

සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව, පොලීසිය සහ නාගරික සංවර්ධන අධිකාරියේ (නාසඅ) නිලධාරීන් මැදිහත් කරමින් පසුගිය 16 දා පෙරවරු 10.30ට පමන තොටලඟ ෆර්ගියුෂන් පාරේ කජීමාවත්තේ දුගී නිවාස 250 ක් පමන කඩා ඉවත් කිරීම ආරම්භ කලේය. තම නිවාස අහිමි වීමට විරෝධය පාමින් එම පැල්පත්වාසීන් විසින් ජපන් මිත‍්‍රත්ව පාලම අසල කොලඹ මීගමු පාර හරස් කරමින් ආරම්භ කල උද්ඝෝෂනය හේතුවෙන් ගමනාගමනය ඇනහිටි අතර ආන්ඩුව උද්ඝෝෂනය මැඩීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවීය. පොලීසිය උද්ඝෝෂකයන්ට පහරදී මහා මාර්ගයෙන් පලවා හැරි නමුදු ඔවුන් මග දෙපස රැස්ව තම උද්ඝෝෂනය පසුදා දහවල් වනතුරු රැගෙන ගියහ.

කුඩා දරුවන් නිවෙස් තුල සිටියදී ම බැකෝ යන්ත‍්‍ර යොදා ඒවා කඩා දමා ඇත. ඇතැම් දරුවන්ට තුවාල පවා සිදුවූ බවද පොලීසිය කාන්තාවන්ට තරවටු කරමින් බැටන් පොලු වලින් පහරදුන් බව ද නිවැසියෝ ලෝක සමාජවාදී වෙබ් අඩවි (ලෝසවෙඅ) වාර්තාකරුවන්ට පැවසූහ. මවුවරු තම කඩා දැමු නිවාසවල සුන්බුන් අතර පොලොවේ එලන ලද පැදුරු මත දරුවන් නිදි කරවමින් සිටිනු දක්නට ලැබුනි.

පැල්පත්වාසීහු උද්ඝෝෂනයේ යෙදෙමින්

නාසඅ සහ “යහපාලන ආන්ඩුව” මෙම නිවාස “අනවසර” ලෙස හඳුන්වන නමුත් මහජනයා කියා සිටියේ රාජපක්ෂ ආන්ඩුව 2010 දී කොම්පඤ්ඤවීදියෙන් පලවාහැරි පවුල් ගනනාවක් තවමත් එහි පදිංචිව සිටින බව සහ ඇපල්වත්ත, කොටා පාර ස්ථානයන්ගෙන් ඉවත් කල ජනතාව නාසඅ යේ අනුදනුම සහිතව ලෑලි කාමර සාදාගෙන මෙහි පදිංචියට පැමිනි බවය.

නාසඅ පසුගිය දෙසැම්බර් මාසයේදී මාදම්පිටිය හේනමුල්ල (සෝමාලියාව) ඉඩමෙන් ජනයා ඉවත් කලේය. එහි ජීවත්වූ පවුල් 58 කට කජිමාහි තාවකාලික නිවාසවල පදිංචි වනලෙස මෙම ඉවත් කීරීම මෙහෙයවූ නාගරික සංවර්ධන අධිකාරියේ බි‍්‍රගේඩියර් සමරසිංහ පැවසූ බවද නිවැසියෝ කීහ.

උදඝෝෂනය ආරම්භවත්ම බස්නාහිර මහ නගර සංවර්ධන ඇමති චම්පික රනවක වහාම පුවත් පත් සාකච්ඡාවක් කැඳවා කියා සිටියේ නිවාස 35ක හැර “සියල්ලන්ට ස්ථිර නිවාස ලබාදී” ඇති බවය. එනමුත් මහජනයා පවසන්නේ සමහරෙකුට මහල් නිවාස ලැබුන නමුත් මෙහි පදිංචිව සිටි සියයට 98 කටම වාගේ නිවාස ලැබී නොමැති බවය.

17 දින දහවල් උද්ඝෝෂනය තාවකාලිකව නතර කරනු ලැබූයේ බස්නාහිර මහනගර සංවර්ධන ඇමති චම්පික රනවක හා නිවැසියන්ගේ නියෝජිත පිරිසක් අතර පැවති සාකච්ඡාවකින් පසුව වූවද එහිදී කවර හෝ එකඟතාවකට පැමින නැත. පසුව ආන්ඩුව කියා සිටියේ නාසඅ යෙන් සමීක්ෂනයක් පවත්වා නිවාස නොමැත්තන් ගැන සොයා බලන බවයි.

දුගීන්ට නිවාස සැපයීමේ විධිමත් තිරසාර වැඩ පිලිවලක් ආන්ඩුවට නැත. ජනවාරි 29 දින සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව විසින් බස්නාහිර පලාත් සංවර්ධන මහා ව්‍යාපෘතිය (megalopolis) ප‍්‍රසිද්ධියට පත් කල අතර ඒ අනුව කොලඹ නගරයේ ඉඩම් ආයෝජකයන්ට පැවරීම සඳහා දුගී නිවාස සියල්ල ඉවත් කීරීමට කටයුතු කෙරෙනු ඇත.

කොලඹ නගරය දකුනු ආසියාකරයේ ප‍්‍රධාන වෙලඳ නගරයක් බවට පත් කිරීමට රාජපක්ෂ ආන්ඩුව ගෙනගිය ව්‍යාපෘතිය තවත් පුලුල් කරමින් මෙම නව ව්‍යාපෘතියට මුලුමහත් බස්නාහිර පලාතම අන්තර්ගත කරගෙන ඇත.

මෙම ව්‍යාපෘතිය යටතේ පසුගිය 12 වන සිකුරාදා වෙරල සංරක්ෂන දෙපාර්තමේන්තුව විසින් වැල්ලවත්ත පාලම අසල සිට ගල්කිස්ස දක්වා මුහුදු තීරයේ “අනවසර” ඉදිකිරීම් දැඩි විරෝධතා මැද ඉවත් කරනු ලැබූවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ සහායෙනි.

නාසඅ අධ්‍යක්ෂක ජනරාල් නයන මාවිල්මඩ ට අනුව කොලඹ ප‍්‍රදේශයේ අක්කර 900 ක් තුල නිවාස 68,000ක් කඩා ඉවත් කිරීමට තීන්දු කර ඇත. ඉවත් කෙරෙන නිවැසියන්ට ප‍්‍රමානවත් නිවාස ගොඩනැගීම සීමා වී ඇත්තේ කට වචනයට පමනි.

මෙම තත්වයේදී ආන්ඩුව සුදානම් වන්නේ රාජපක්ෂ ආන්ඩුව පරයා යන ආකාරයෙන් බලහත්කාරය යොදා දුගීන් පලවා හැර තම “මහනගර ව්‍යාපෘතිය” ඉදිරියට ගෙන යාමටයි.

නිවස අහිමි කෙරුනු තරුනයෙක්

රාජපක්ෂ ආන්ඩුවේ කොලඹ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ දහස් ගනනකට උන්හිටි තැන් අහිමි වූ අතර සමහරෙකුට ලැබුන මහල් නිවාස වර්ග අධි 380කට සීමා කෙරුනු ප‍්‍රමිතියකින් තොර ඒවා විය.

රාජපක්ෂ ආන්ඩුව මෙන්ම වත්මන් ආන්ඩුව මෙම ව්‍යාපෘති කි‍්‍රයාත්මක කරන්නේ ලෝක බැංකුවේ විධානයන්ට අනුව ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනයේ අවශ්‍යතාව මත මිස දුගී මහජනතාවගේ අවශ්‍යතාව මත නොවේ. එබැවින් නව ව්‍යාපෘතිය යටතේ බස්නාහිර පලාතේ නිවෙස් වලින් පලවා හැරෙන දහස් සංඛ්‍යාත පවුල් වලට නිවාස ලැබෙන බවට හෝ ලැබෙන අතලොස්සේ ප‍්‍රමිතිය සම්බන්ධයෙන් හෝ කවර හෝ විශ්වාසයක් තැබිය නොහැක.

කොලඹ නගරයෙන් දුගීන් ඉවත් කිරීම සම්බන්ධයෙන් රාජපක්ෂ ආන්ඩුව කෙරෙහි මහජනතාව අතර පැන නැගුන කෝපය හා විරුද්ධත්වය ගසා කෑම සඳහා නව නිවසක් ලබා දීමෙන් තොරව නිවැසියන් ඉවත් නොකරන බවට පාලක එක්සත් ජාතික පක්ෂය පසුගිය මහ මැතිවරනයේදී දිවුරා පොරොන්දු විය. එය කෙරේ විශ්වාසය තබා එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දුන් බවත් ඔවුන් තමා රැවටූ බවත් නිවාස අහිමිවූවෝ කෝපයෙන් පැවසූහ.

මෙම උද්ඝෝෂනය සම්බන්ධයෙන් ආන්ඩුවේ නායකයන් අතරම උත්සුකයන් මතුව ඇත්තේ ආන්ඩුවේ කප්පාදු පියවරයන්ට එරෙහිව දැනටමත් අරගලයට අවතීර්නව සිටින කම්කරුවන් ගොවීන් සිසුන් සහ රැකියා නැති තරුනයන් සමග නිවාස අහිමි වන දුගීන් ඒකාබද්ධවී කම්කරු පන්ති නායකත්වය යටතේ නව ඉදිරි දර්ශනයක් මත ස්වාධීනව සංවිධානය වෙතැයි භීතියෙනි. එජාපයේ නියෝජ්‍ය මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ “අනවසර නිවාස පදිංචිකරුවන් පිරිසකට යම් අත පසු වීමකින් නිවාස ලැබී නැත්නම් ඒ පිලිබදව අවධානය යොමු කරන ලෙසට” රනවකට දැන්වූ බවය.

තරුනයෙක් මෙසේ පැවසීය.

“රවී කරුනානායක (මුදල් ඇමති) අපට පොරොන්දුවුනා අලුත් නිවාස ලබා දෙන බවට. ඔහු පැවැසුවා කලින් රජයේ ව්‍යාපෘතිය හා එජාප ව්‍යාපෘතිය වෙනස් බව. අපි එතුමාට වැඩ කලා. දැන් එතුමා රටෙත් නැහැ. ඡන්දයට පෙර අපි හිටියෙ ඇපල් වත්තෙ. වහිනවිට ඒ නිවෙස්තුල ඉන්න බහැ. වතුර පිරී තියෙන අවස්ථාවෙ රවී කරුනානායක පැමිනියෙ. එයාගෙ සපත්තු දෙක ගලවා අපේ මල්ලි කෙනෙක්ගෙ සෙරෙප්පු දෙක දාගෙන කලිසම නවාගෙන ගෙයින් ගෙට ගිහින් බැලුවා. මාලු පාන් ගෙනත් දුන්නා බෙදාදෙන්න. දන් එස්ටීඑෆ් එක දාලා අපි එලවනවා.

මේ අඩි 10 කෑල්ලෙ ඔක්කොම

“මෙතන සියයට 98 ක්ම ඉන්නෙ නිවාස නොලැබුන අය. මේ අඩි 10 කෑල්ලෙ අම්මයි තාත්තයි විවාහක දරුවොයි නංගිලා මල්ලිලා සමග පවුලෙ 7ක් 8ක් විතර ඉන්නවා.”

තවත් තරුනයකු අදහස් දක්වමින් මෙසේ පැවසීය. “අපට කියල ලංකාවේ කොතනකවත් බිම් අඟලක් නැහැ. දිගටම කුලියට ඉඳල තමයි මෙතන පදිංචියට ආවේ. අනිත් අයට අනවසර ඉඩමක හරි ගෙයක් තිබුනා. අපට කවදාවත් අපේ කියල ගෙයක් තිබිල නැහැ. රජයෙන් ගෙවල් දෙන්නේ ගෙවල් තිබුන අයට විතරලු. අපි ගැන බලන්න කව්රුත් නැහැ. අපි මේ රටේ පුරවැසියෝ නෙමෙයි වගේ.”

ඉන්න තැන විනාශවූ කරල

වෙනත් තරුනයකු මෙසේ පැවසීය. “අපි හිටියෙ සෝමාලියාවේ. අපි එහෙන් එලෙව්වට පස්සේ තමයි පොලියට සල්ලි අරගෙන කජිමා වත්තෙ ඉඩ තිබුන තැනකින් ගේ කෑල්ලක් ගහගත්තේ. මම කරන්නේ නාට්ටාමි රස්සාව. උදේ ඉඳන් මැරිලා තමයි ලමයි ජීවත් කරවන්නේ. අපිටත් කොහෙ හරි ඉන්න තැනක් තියෙන්න එපැයි.”

Share this article: