ප‍්‍රසිද්ධ දේශනයක්
ධනවාදයේ අර්බූදය, ලෝක යුද අන්තරාය හා සමාජවාදී විසඳුම

2016 පෙබරවාරි 16

විසිවන සියවස තුල මානව වර්ගයා ලෝක යුද්ධ දෙකකට ඇද දැමූ ලෝක ධනේශ්වර ක‍්‍රමය, යලි වතාවක් ගමන් කරමින් සිටින්නේ තුන්වන ලෝක යුද විනාශයක මානව වර්ගයා ගිල්වා දැමීමටයි.

මෙම ව්‍යසනකාරී යුද්ධය දැනටමත් ඇවිලී ඇත. ඇමරිකා එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන්, ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරමින් 2001 දී ඇෆ්ගනිස්ථානය ආක‍්‍රමනය කිරීමෙන් පසු ඉරාකය, ලිබියාව, සිරියාව, යේමනය ඇතුලු මැදපෙරදිග කලාපයේ සිදු කර ඇති ආක‍්‍රමන මගින් මිලියනකට අධික මිනිසුන් ඝාතනයකොට මිලියන 60 ට අධික ජනකායක් සරනාගතයින් බවට පත්කොට කලාපයේ සමාජ ජීවිතයම විනාශභාග් කර තිබේ.

යුද්ධය මැදපෙරදිගට පමනක් සීමා වී නැත. සමස්ත යුරෝපය සහ ආසියාව අලලාගත් යුරේසියානු භූමිභාගය මත තම ආධිපත්‍යය පිහිටුවා ගැනීම එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ අරමුනයි. ඔබාමා පාලනාධිකාරිය විසින්, චීනය මිලිටරිමය සහ රාජ්‍ය තාන්ති‍්‍රක වශයෙන් කොටු කිරීම එල්ල කර ගෙන 2011 සිට දියත් කොට ඇති “ආසියාවට හැරීම” වැඩපිලිවෙල යටතේ, ජපානය, ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව ඇතුලු රටවල් ගනනාවක් සමග ඇති කර ගෙන ඇති මිලිටරි සන්ධාන මගින් කලාපය පුරා යුද ආතතිය තීව‍්‍ර කෙරී ඇත.

ඇමරිකාව තම යුරෝපීය සගයන් සමග එක්ව නැගෙනහිර යුරෝපය හා මධ්‍යම ආසියාව තුලිින් රුසියාව දෙසට නේටෝ හමුදා සේනාංක දිගේලි කරමින් සිටින්නේ සම්පත් බහුල රුසියාව ද යටත් විජිතයක් බවට පත් කිරීමේ එල්ලය සහිතවයි. මේ යටතේ යුක්රේනය හා සිරියාව තුල එක්සත් ජනපදය ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදීන් කරගෙන යන මිලිටරි මැදිහත්වීම් හේතුවෙන් කවර හෝ මොහොතක න්‍යෂ්ටික යුද්ධයක් පුපුරා යා හැකි තත්වයක් නිර්මානය වී තිබේ.

චීනය සමග සමීප ආර්ථික හා දේශපාලන සබඳතා පැවැත්වූ රාජපක්ෂ තන්ත‍්‍රය විස්ථාපනය කොට, තමන්ට මුලුමනින්ම අවනත සිරිසේන-වික‍්‍රමසිංහ තන්ත‍්‍රය බලයට ගෙන ඒමට තිරය පිටුපස සිට කි‍්‍රයාත්මක වූ එක්සත් ජනපදය, සිය “ආසියාවට හැරීමේ” යුද වාසුලියට ශී‍්‍ර ලංකාව වඩ වඩාත් ඒකාග‍්‍ර කර ගනිමින් සිටී.

යුද්ධයේ සහ සමාජ කාලකන්නිභාවයේ මූලය වන්නේ, එකිනෙකට සතුරු ජාතික රාජ්‍ය පද්ධතිය සහ ගෝලීය ආර්ථිකය අතරත්, නිශ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතිය සහ සමාජයීය නිෂ්පාදනය අතරත් පවත්නා පරස්පරවිරෝධතාවන්ය.

අධිරාජ්‍යවාදීන්ගේ විජිතකරන මූලෝපායන්ගෙන් ගලා එන ලෝක යුද සැලසුම් පරාජය කල හැක්කේ, ජාතික රාජ්‍ය පද්ධතිය සහ පුද්ගලික දේපොල අයිතිය, ලෝක සමාජවාදී සමූහාන්ඩු සංගමයක් මගින් විස්ථාපනය කිරීමට සටන් වැදීමෙනි. මේ කර්තව්‍ය සඳහා ඓතිහාසිකව නිර්නය වී ඇති පන්තිය ජාත්‍යන්තර කම්කරු පන්තියයි.

කම්කරු පන්තියේ ලෝක පක්ෂය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවත්, එහි ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂයත්, ලෝක සමාජවාදී විප්ලවයේ මූලෝපාය මත පාදක කෙරුනු, කම්කරු පන්තික නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර යුද විරෝධී මහජන ව්‍යාපාරයක් ගොඩ නැගීමට සටන් වදී.

එම අරගලයේ කොටසක් ලෙස පැවැත්වෙන මෙම දේශනය තුලින් අධිරාජ්‍යවාදී ලෝක යුද මූලෝපායට එරෙහි කම්කරු පන්තියේ විප්ලවවාදී මූලෝපාය වැඩිදුර විස්තාරනය කෙරේ. දේශනයට සහ ඉන්පසු පැවැත්වෙන සාකච්ඡාවට සහභාගි වන ලෙස කම්කරුවන්ගෙන්, සරසවි සිසුන් ඇතුලු තරුනයන්ගෙන් සහ සියලු හිතන මතන කොටස්වලින් ඉල්ලා සිටිමු.

දිනය සහ වේලාව: පෙබරවාරි 24 වන බදාදා සවස 3.30 ට

ස්ථානය: කුලියාපිටිය (මීගහකොටුව) ජනාධිපති ශිල්ප ශාලිකාව

Share this article: