මාලදිවයින් ආන්ඩුව හිටපු ජනාධිපති නිදහස් කරයි

Maldives government releases former president

වසන්ත රූපසිංහ විසිනි, 2016 පෙබරවාරි 02

ඇමරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ දැඩි පීඩනය යටතේ, ඉන්දියන් සාගරයේ කුඩා දූපත් රාජ්‍යයක් වන මාලදිවයින්හි ජානාධිපති අබ්දුල් යමීන් ආන්ඩුව, සිරගත කර සිටි හිටපු ජනපති මොහොමඩ් නෂීඩ්ට පසුගිය මාසයේදී රටෙන් පිටවීමට අවසර ලබා දුන්නේය.

පෙනෙන හැටියට නෂීඩ් බ්‍රිතාන්‍යට ගොස් ඇත්තේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ය. එහිදී බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ඔහු හමුවිය. චීනය සමඟ යමීන්ගේ සමීප සබඳතා හෙලා දකිමින් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත් වූ නෂීඩ්, පොරොන්දුවූ පරිදි ඔහු මේ මාසයේ මාලදිවයිනට ආපසු නොයන බවත්, බ්‍රිතාන්‍යයේ, ඉන්දියාවේ හෝ ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට බලාපොරොත්තු වන බවත් ඇඟවීය.

මාලදිවයින් දූපත් සමූහයේ ජනගහනය යන්තමින් 300,000ක් වුවත්, චීනය අභිමුඛ කරමින් වොෂින්ටනය ඉන්දු-පැසිෆික් කලාපය වෙතට “හැරීමේ” සිය මූලෝපාය තුලට එරට ඇතුලත් කරගෙන ඇත. විශේෂයෙන්ම, මැද පෙරදිගින් සහ අප්‍රිකාවෙන් බලශක්තිය හා අමුද්‍රව්‍ය ආනයනය කිරීම රඳා පවත්නා චීනයට තීරනාත්මක වන සමුද්‍ර මාර්ග අසල එය පිහිටා තිබීම හේතුවෙන්, චීනයට එරෙහි ඇමරිකානු යුද සැලස්මේ වාසුලියට මාලදිවයින ඇදගනිමින් තිබේ.

මාධ්‍ය වාර්තාවලට අනුව ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, නෂීඩ් නිදහස් කිරීමට බලපෑම් කිරීම සඳහා පෞද්ගලිකවම මැදිහත් වී ඇත. නෂීඩ්ගේ පිටත්වීමෙන් පසුව කෙරී ඔහුට කතා කල අතර “ස්තුති කිරීම සඳහා” යමීන් ඇමතීය.

ඔහු මුදාගැනීමෙහි ලා ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය ඉටුකල කේන්ද්‍රීය භූමිකාව පිලිබඳ ඇඟවුම් කරමින්, ජනවාරි 21දා ශ්‍රීලංකාව හරහා ලන්ඩනයට පිටත් වීමට පෙර නෂීඩ්, ලංකාවේ ඇමරිකානු තානාපති අතුල් කෙෂප් සහ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ජේම්ස් ඩොරිස් ඇතුලු රාජතාන්ත්‍රිකයන් කිහිපදෙනෙක්ම හමුවිය.

ජනවාරි 25 දා ලන්ඩනයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී නෂීඩ්, පරදුවට තැබී ඇති ගෝලීය මූලෝපායික ආසක්තයන් පිලිබඳව ඇඟවුම් කලේ ය. ඔහු මෙසේ පැවසීය: “චීනය සමඟ වෙලඳ කටයුතු (මාලදිවයින තුල) පිලිබඳ විශ්වාසය වැඩි වෙමින් තිබෙනවා . ඉන්දියන් සාගරය තුල සීතල යුද්ධයක් ඇවිලෙමින් තිබෙනවා. ඉන්දියන් සාගරයේ අවි තරඟයක් ඇවිලී තිබෙන අතර මාලදිවයින මූලෝපායිකව වැදගත් තැනක පිහිටා ඇත.”

නෂීඩ්ගේ පැහැදිලි අරමුන මාලදිවයින තුල තන්ත්‍ර මාරුවක් සඳහා ලොව ප්‍රමුඛ බලවතුන්ගේ සහය ගොනු කර ගැනීම යි. ඇමරිකාව සහ එහි සහචරයන්ගෙන් ඔහු ඉල්ලා සිටින්නේ, ජ්‍යෙෂ්ඨ මාලදිවයින් නිලධරයන් මත, “මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ වගකීම් පැටවීමේ” ව්‍යාජය යොදාගනිමින් එරටට එරෙහිව සම්බාධක පැනවීම ගැන සලකා බලන ලෙස යි.

එවක ජනාධිපති ලෙස කටයුතු කල, මාලදිවයිනේ විපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (එම්ඩීපී) නායක නෂීඩ්, පසුගිය වසරේදී රටේ පවතින දරුනු ත්‍රස්ත විරෝධී නීතිය යටතේ වසර 13 කට සිරගත කෙරුනේ, 2012 වසරේදී අපරාධ අධිකරන විනිසුරු අබ්දුල්ලා මොහොමඩ් සිරභාරයේ තබාගැනීමට නියෝග කිරීම නිසා ය. එම්ඩීපීයේ විරෝධතා මාලාවකට ප්‍රතිපක්ෂව, යමීන් මුලදී ඔහු නිදහස් කිරීම ප්‍රතික්ෂේප කලේ ය. ඔහු වෙත එල්ලවූ විරෝධතා මැඩීම සහ සිය තනතුර රැකගැනීම පිනිස යමීන්, රටේ හදිසි තත්වයක් පැනවුව ද උග්‍ර වූ ජාත්‍යන්තර පීඩනය යටතේ සතියකට පසුව එය ඉවත් කරගත්තේ ය.

දේශීය මාධ්‍යවල නෂීඩ් නිදහස් කිරීමට යමීන් ගත් තීරනය විස්තර කර ඇත්තේ, “විශ්මය දන වන ආපසු හැරීමක්” ලෙස යි. එය ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සහාය ලබන අධිරාජ්‍ය බලවතුන්ගේ උග්‍ර වන පීඩනය ඉවත හැරවීමට ආන්ඩුව විසින් ගන්නා ලද මංමුලාසහගත පියවරකි.

නෂීඩ් නිදහස් වීමට දින තුනකට පෙර ඔහුගේ නීතිඥ කන්ඩායම, මානව හිමිකම් පදනම් කර ගෙන ආර්ථික සම්බාධක පනවන ලෙස ඉල්ලමින් වොෂින්ටනයේදී ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධරයින් සහ සෙනෙට් සභිකයන් හමුවූහ. නෂීඩ්ගේ නීතිඥ කන්ඩායමේ සාමාජිකයෙකු වන ජෙරාඩ් ජෙන්සර් ප්‍රධානත්වය දරන, වොෂින්ටනයේ ෆ්‍රීඩම් නව් සංවිධානය විසින් නිකුත් කරනු ලැබූ වාර්තාව, “මානව හිමිකම් කඩකිරීමේ” කඩතුරාව පිටුපස තිබෙන සැබෑ ගෝලීය උපාය මාර්ගික ආසක්තයන් පෙන්වා දී තිබුනි.

වාර්තාව මෙසේ පවසයි: “බටහිරත් පෙරදිගත් යා කරන වෙලඳ මාර්ගයේ කේන්ද්‍රයේ අතිශය උපායමාර්ගික තැනක මාලදිවයින පිහිටා ඇති අතර එය ඉන්දියාවේ ආයෝජන විස්ථාපනය කර ඇති චීනය සමග ශක්තිමත් සම්බන්ධතාවක් ගොඩනගා ගෙන ඇත. එමගින් පෙරදකිය හැකි අනාගතය සඳහා මාලදිවයින චීනයට නයගැති කරවයි. මෑතකදී රටේ හදිසි තත්වයක් ප්‍රකාශ කිරීම මගින් පෙන්නුම් කෙරෙන පරිදි, රටේ වැඩෙන අස්ථාවරත්වය ද සමඟ එකට ගත් කල මෙම සාධක, ඉන්දියන් සාගරය තුල ඇමරිකාවේ සහ එහි සහචර ඉන්දියාවේ තීරනාත්මක අවශ්‍යතා අවදානමේ හෙලයි.”

ඇමරිකාවේ මිලිටරි වටලෑම උත්සන්න වීම හමුවේ චීනය, මෑත වසර වල, මාලදිවයින තුල ආයෝජන සහ එරට සමග බැඳීම් දැඩි කර ඇත. ඉන්දියන් සාගරයේ තීරනාත්මක මුහුදු මාර්ග වෙත සිය ප්‍රවේශය සුරක්ෂිත කර ගැනීම අරමුනු කරගත් චීනයේ සමුද්‍ර සේද මාවත ව්‍යාපෘතියේ හවුල්කරුවෙකු ලෙස මාලදිවයින සමග ගිවිසුමක් බීජිනය විසින් අත්සන් තබා ඇත.

ඉන්දියන් සාගරය තමන්ගේ ආනුභාවය සහිත වැයික්කිය ලෙස සලකන ඉන්දියානු ආන්ඩුව,පසුගිය මාස කිහිපය තුල යමීන් ආන්ඩුවට කැරට් අලය සහ මුගුර යොදා ගන්නා ප්‍රවිෂ්ටයක් අනුගමනය කර ඇත. පසුගිය මාර්තුවේ ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩි, නෂීඩ් සිර අඩස්සියේ තබාගැනීමට සහ යමීන් බීජිනය සමඟ ගෙන යන කිට්ටු සබඳතා වලට විරුද්ධත්වය පෑම ඇඟවුම් කරමින් මාලදිවයින වෙත යොදාගෙන තිබූ සංචාරයක් අවලංගු කලේ ය.

ඒ සමඟම මාලදිවයිනට සම්බාධක පැනවීමේ ඉල්ලීමට ඉන්දියාව විරුද්ධ වූ අතර නෂීඩ් මුදාහැරීම සම්බන්ධයෙන් කිසිඳු ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කලේ ද නැත. මාලදිවයින තුල චීන බලපෑම ගැන සැලකිලිමත් වන අතරම ඉන්දියාව යමීන් චීනයෙන් ඈත් කර ගෙන ඔහු සමඟ ඇති බැඳීම් ශක්තිමත් කරගැනීමට ද මං සොයයි. ජනවාරි 18 ඉන්දියානු ආරක්ෂක ඇමති මනෝහර් පරිකාර් ඉන්දියාවට පැමිනි මාලදිවයින් ආරක්ෂක ඇමති නවදිල්ලියේදී හමුවූයේ මිලිටරි බැඳීම් ගැන සාකච්ඡා කිරීමට යි.

නෂීඩ් සමග ගනුදෙනුවේදී ශ්‍රී ලංකාව, ප්‍රමුඛ බලවතුන්ගේ නියෝජිතයෙකුගේ භූමිකාව ඉටුකිරීම කැපී පෙනුනි. සන්ඩේ ටයිම්ස් වාර්තා කලේ, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු සහ මුදල් ඇමති වරුන් වන මංගල සමරවීර සහ රවී කරුනානායක ඇමරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ ඉල්ලීම පරිදි මැදහත්කරුවන් ලෙස ක්‍රියා කල බව යි. ඔවුහු ජනවාරි 14 මාලදිවයිනට රහසේම සංචාරය කර යමීන් මුනගැසුනි.

වොෂින්ටනයේ පිටුබලය ලත් තන්ත්‍ර මාරු මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස 2015 ජනවාරියේදී ජනාධිපති සිරිසේන බලයට පත් වූ මොහොතේ පටන් ආන්ඩුව ඇමරිකාව, ඉන්දියාව සහ යුරෝපා බලවතුන් සමග සමීපව වැඩ කලේ ය. බීජිනය සමග සබඳතා ගොඩනගාගෙන සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බලයෙන් පහ කිරීමට ප්‍රථම චීනයෙන් ඈත්වන ලෙස කෙරුනු ජාත්‍යන්තර බලපෑම්වලට මුහුන දුන්නේ ය.

1965 දක්වා මාලදිවයින සිය යටත් විජිතයක් ලෙස අල්ලා ගෙන සිටි බ්‍රිතාන්‍යයේ මැදිහත්වීම ද කැපී පෙනෙයි. නෂීඩ් මුනගැසීමෙන් පසු බ්‍රිතාන්‍ය අගමැති කැමරන් පාර්ලිමේන්තුවට මෙසේ පැවසුවේය: “ඉදිරියට යහපත් වර්ධනයක් සිදු නොවුනහොත්, මාලදිවයින් බලධාරීන් පුද්ගලිකව ඉලක්ක කරගත් පියවර ගැනීම ගැන අපි සලකා බලනවා. ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුලු සගයන් සමග බ්‍රිතාන්‍යය මෙම තත්වය කිට්ටුවෙන්ම නිරීක්ෂනය කරමින් ඉන්නේ.”

යමීන් ආන්ඩුව මත තව තවත් පීඩනය දැමීමට ඊලඟ මාසයේදී මාලදිවයිනේදී පොදුරාජ්‍ය මන්ඩල ක්‍රියාකාරී කන්ඩායම් හමුවක් යොදාගැනීමට බ්‍රිතාන්‍ය උත්සාහ දරයි. චීනය යටත් කිරීමේ ඇමරිකානු මැදිහත් වීමට තල්ලුව දෙන අතරේ බ්‍රිතාන්‍යට, මෙම කොදෙව් පෙල තුල සිය බලපෑම තහවුරු කර ගැනීම කෙරෙහි යොමුවූ තමන්ගේම ආර්ථික සහ මූලෝපායික අවශ්‍යතාවයන් ද ඇත.

නෂීඩ් නිදහස් කිරීම මගින් යමීන්, සිය පාලනය පවත්වා ගැනීමට චීනය, ඇමරිකාව සහ ඉන්දියාව අතර තුලනය වීමට මං සොයන බව පැහැදිලිය. කෙසේ වෙතත් එය අවදානම් අතුරේ යාමක් වන්නේ, ඇමරිකාව ප්‍රචන්ඩ ලෙස චීනය පරයා ඉන්දියන් සාගරය තුල සිය අනසක තහවුරු කරගැනීමට මං සොයන බැවිනි.

Share this article: