බර්ලිනයේ සසජාතශි රැස්වීම සිරියානු යුද්ධය හා මැද පෙරදිග ජර්මානු අධිරාජ්‍යවාදයේ අරමුනු පිලිබඳ සාකච්ඡා කරයි

IYSSE meeting in Berlin discusses the Syrian war and the aims of German imperialism in the Middle East

අපේ වාර්තාකරුවන් විසිනි, 2015 දෙසැම්බර් 15

සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ව්‍යාපාරය (සසජාතශි) ජර්මනියේ බර්ලින්හි හම්බෝල්ඩ්ට් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව සඳහා වූ සිය උද්ඝෝෂන ව්‍යාපාරය පසුගිය බදාදා ආරම්භ කලේ "තවත් යුද්ධයක් එපා! යුද ප්‍රචාරනය නොව ශාස්ත්‍රීය කටයුතු" යන මැයින් යුතු දේශන මාලාවක් සමගිනි.

"දෙවැනි ලෝක යුද්ධයේ අවසානයෙන් වසර 70ක් ඉක්ම ගිය තැන දැන් ලෝකය වෙඩි බෙහෙත් ගබඩාවක් බවට පත්ව ඇතැ" යි දේශන පිලිබඳ ප්‍රචාරක පත්‍රිකාව සඳහන් කලේ ය. "සිරියාව තුල යුද්ධයට සහභාගී වීමට ෆෙඩරල් ආන්ඩුව ගත් තීරනය තවත් ලෝක යුද්ධයක අවදානම ඉහල නංවමින් ජර්මානු මිලිටරිවාදයේ පුනරාගමනයෙහි නව අදියරක් සලකුනු කරන්නේ ය."

හම්බෝල්ඩ්ට් විශ්ව විද්‍යාලයේ පැවැති රැස්වීම

දුසිම් ගනන් ශිෂ්‍යයෝත් කම්කරුවෝත් දේශන කාමරයට පිරී, "සිරියානු යුද්ධය සහ මැද පෙරදිග තුල ජර්මානු අධිරාජ්‍යවාදයේ අරමුනු" යන මැයින් ලෝක සමාජවාදී වෙබ් අඩවි සංස්කාරක මන්ඩලයේ සාමාජික ජොහැන්ස් ස්ටර්න් පැවැත්වූ පලමු දේශනයට සාවධාන ව සවන් දුන්හ.

හම්බෝල්ඩ්ට් විශ්ව විද්‍යාලයීය සසතජාශි කන්ඩායමේ නායක සහ ශිෂ්‍ය පාර්ලිමේන්තු (StuPa) නියෝජිත ස්වෙන් වුර්ම් සිය හැඳින්වීමෙහි දී අවධාරනය කලේ, බුන්ඩස්ටාගය (පාර්ලිමේන්තුව) මේ දැන් අනුමත කල සිරියානු යුද මෙහෙයුම "කෙටි කාලීන ත්‍රාස ක්‍රියාවක්" නො ව දුරදිග යන ප්‍රතිඵල ගෙන දෙන සන්ධිස්ථානයක් වන බව යි. සසජාතශි ජනවාරි 19-20 පැවැත්වෙන ශිෂ්‍ය පාර්ලිමේන්තු ඡන්දයට සහභාගී වන්නේ "යුද්ධය කරා වූ ධාවනයට එරෙහි වීමට හා යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩ නඟනු පිනිස ය". මේ සඳහා "කේන්ද්‍රීය දේශපාලන හා ඓතිහාසික ගැටලු පිලිබඳ නිශ්චිත අවබෝධයක්" තිබිය යුතුය.

"ජර්මනිය එකවිට ම යුද්ධයට මැදි ව සිටී. අප මේ සිටින්නේ හුදෙක් ආරම්භයෙහි පමනක් බව දැනට මත් පැහැදිලි ය" සටර්න් පැවසී ය. ඩර් ස්පීගල් සතිපතා පුවත්පතේ මෙවර කලාපයෙහි ආරක්ෂක ඇමති ෆොන් ඩර් ලේයන් "දීර්ඝ අරගලයක්" පිලිබඳ කතා කල අතර හිටපු බුන්ඩෙස්වෙයර් (හමුදා) ප්‍රධානී හැරල්ඩ් කුජාට්, අයි එස් (ඉස්ලාමික රාජ්‍යය) ට එරෙහි වත්මන් මූලෝපාය අසාර්ථක වුව හොත් 50, 000 සිට 60, 000 දක්වා වූ නේටෝ සෙබලුන් පිරිසක් ගොඩබිම් හමුදාවක් ලෙස යෙදවීමේ අනාගත අපේක්ෂා ඉස්මතු කලේ ය.

බුස්ඩෙස්ටාගය සිරියාවේ යුද මෙහෙයුමට එකඟත්වය පල කල කඩිමුඩිය බොහෝ දෙනෙකු පුදුමයට පත් කර ඇත. එහෙත් 2014 මුල ජනාධිපති ගෝක් සහ ෆෙඩරල් ආන්ඩුව විසින් නිවේදනය කෙරුනු පරිදි, මෙය දිගු කලක පටන් සූදානම් කෙරුනක් ද ජර්මනිය ආක්‍රමනකාරී විදේශ හා මහා බල දේශපාලනය කරා පෙරලා පැමිනීමෙහි කොටසක් ද විය.

යන්තම් වසර එක හමාරකට පසු ජර්මානු ප්‍රභූවට සිය අලුත් "භූදේශපාලනික බල ෆැන්ටසිය" පාලනය කර ගත හැකි වූයේ යන්තමින් බැව් ස්ටර්න් කියා සිටියේ පසුගිය සඳුදා හර්ෆ්‍රීඩ් මුන්ක්ලර් සහ ජෝර්ග් බබරොව්ස්කි යන හම්බෝල්ඩ්ට් මහාචාර්යවරුන් දෙදෙනා අතර පැවැත්වුනු "ශූටර්හොෆ් සාකච්ඡා" පිලිබඳ සඳහන් කරමිනි. සිය දේශනයේ දී මුන්ක්ලර් ජර්මනියේ "සැබෑ දේශපාලනය" නැතහොත් යුද පිලිවෙත ව්‍යාප්ත විය යුතු භූගෝලීය ප්‍රදේශය ඇඳ දැක්වී ය. මෙය වූ කලි පලමු හා දෙවන ලෝක යුද්ධවල දී ජර්මානු ව්‍යාපාරික සංවිධාන, හමුදා කාර්ය මන්ඩලය හා භූ-මූලෝපායඥයින්ගේ කේන්ද්‍රීය අවධානයට ලක් වූ ප්‍රදේශය ම බව ස්ටර්න් පැවසී ය.

"අපට කනස්සල්ල උපදවන පශ්චාත්-අධිරාජ්‍ය අවකාශ දෙකක් තිබේ" මුන්ක්ලර් කියා සිටියේ ය. "ඉන් එකක් බටහිර බෝල්කන් ප්‍රදේශයේ සිට කැස්පියන් මුහුද දක්වා පැතිරෙන අතර අනෙක සමස්ත අරාබි කලාපය යි. යුරෝපීය ස්ථාවරත්වයට හා ආරක්ෂාවට තිබෙන ප්‍රධාන අභියෝග නැගෙනහිර බෝල්කන් ප්‍රදේශයේ සිට කොකේසස් දක්වා වන,මෙසපොතේමියාව හා ලිබියාව අතර අවකාශය, නැගෙනහිර මධ්‍යධරනී ප්‍රදේශය හා ඉන්දියානු සාගරයේ" සිට "මධ්‍යධරනී මුහුදේ අනිත් පැත්තේ වෙරල සහ සහරාවේ අනිත් පැත්ත" දක්වා පරාසයක පැතිරෙයි.

සිය කථාවේ අවසන් භාගයේ දී ස්ටර්න්, මැද පෙරදිග වත්මන් ජර්මානු යුද පිලිවත තුල නියෝජනය වන ඓතිහාසික අඛන්ඩතාව පෙන්වා දුනි. පලමු ලෝක යුද්ධය අතර හා ඊට ප්‍රථම කාලපරිච්ඡේදය තුල සම්පත් සපිරි හා භූ-මූලෝපායික ව වැදගත් වන මේ කලාපය ජර්මානු අධිරාජ්‍යවාදය සඳහා කේන්ද්‍රීය භූමිකාවක් ඉටු කර තිබිනි.

දෙවැනි කයිසර් විල්හෙල්ම්ගේ 1898 "ප්‍රාචීන සංචාරය", ඉන් අනතුරු ව බැග්ඩෑඩ් දුම්රිය මාර්ගය ඉදිකිරීම හා පලමු ලෝක යුද්ධය තුල ජර්මානු අධිරාජ්‍යයේ "විප්ලවවාදී වැඩපිලිවෙල" පිලිබඳ ස්ටර්න් අදහස් දැක්වී ය. එම වකවානුව තුල විදේශ අමාත්‍යාංශයේත් හමුදා අධිකාරයේත් අරමුන වූයේ කලාපය තුල ජර්මානු උත්සුකයන් පෙරට ගෙන යනු පිනිස ඊජිප්තුවේ හා ඉන්දියාවේ බ්‍රිතාන්‍යයන්ට එරෙහි ව ඉස්ලාමික නැගිටීම් අවුලුවා ලීම යි.

(ඉතිහාසඥ ෆ්‍රිට්ස් ෆිෂර්ගේ වචනවලින්) "ලෝක බලය ඩැහැ ගැනීම සඳහා වූ" දෙවැනි ජර්මානු ප්‍රයත්නයෙහි දී ද මැද පෙරදිග ඉමහත් වැදගත්කමක් ඉසිලී ය. අප්‍රිකාව තුල ජර්මානු-ඉතාලි යුද මෙහෙයුම හා ඉරාකය තුල ජර්මානු හිතවාදී තන්ත්‍රයක් ස්ථාපිත කිරීමට දැරුනු අසාර්ථක ප්‍රයත්න පිලිබඳ ස්ටර්න් කතා කලේ, වෙනත් දෑ අතර, බර්ලින් විශ්ව විද්‍යාලයේ එවක ඉගැන්වූ ද ජර්මානු අධිරාජ්‍යවාදය වෙනුවෙන් යුද මූලෝපායන් වර්ධනය කලා වූ මහාචාර්ය ඔස්කාර් රිටර් වොන් නියෙඩර්මර් විසින් රචිත "මැද පෙරදිග දේශපාලනය සහ යුද්ධය" නමැති මතක සටහනින් ද උපුටා දක්වමිනි.

"ලෝක යුද්ධ දෙකක දී ඔවුන් සිදු කල අපරාධ නිසා කට වසාගෙන සිටීමට ජර්මානු ප්‍රභූවට බල කෙරුන ද අඩු තරමින් සෝවියට් සංගමය විසුරුවා හැරීම හා වසර 25 කට පෙර ජර්මනිය යලි එක්සත් කිරීමේ තැන් පටන් ඔවුහු, නැවතත් මැදපෙරදිග පිලිබඳ සිය අධිරාජ්‍යවාදී පිපාසාව පිලිබඳව එලිපිට කතා කරමින් සිටිති" යි ස්ටර්න් කියා සිටියේ ය.

හෙතෙම කොන්රඩ් ඇඩෙනුඅර් පදනම 2001 දී පල කල මූලෝපායික පත්‍රිකාවකින් උපුටා දැක්වී ය: "කලාපය තුල මූලික ජර්මානු උත්සුකයන් ඉක්මනින් නිර්වචනය කරනු ලැබේ" යයි එය කියා සිටී. පොදු අරමුන වනුයේ "එක්සත් ජනපදයේ, නැගෙනහිර යුරෝපීය රටවල පමනක් නො ව නැගෙනහිර ආසියානු කාර්මික රටවල ද තරගයට මුහුන දීම සහ හැකිතාක් නිදහස් වෙලඳපොල ප්‍රවේශයක්" මෙන් ම "ජර්මානු ආර්ථිකය සඳහා සුමට ආකාරයෙන් අමුද්‍රව්‍ය ... සහ අපනයන අවස්ථා සම්පාදනය" සහතික කිරීම යි.

ජර්මානු අධිරාජ්‍යවාදයේ පුනරාගමනයෙහි ද වර්ධනය වන යුද අවදානමෙහි ද මූලයන් පවතින්නේ "ධනවාදයේත් එහි ජාතික රාජ්‍ය පද්ධතියේත් ගැඹුරු පරස්පර විරෝධයන්" තුල බැව් ස්ටර්න් අවධාරනය කලේ ය. ආර්ථික හා මූල්‍ය ප්‍රභූන් පදනම් වී සිටින ගෝලීය නිෂ්පාදනය සහ ජාතික රාජ්‍ය අතර පවත්නා පරස්පර විරෝධය න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ බලවතුන් අතර හටගැනෙන තුන්වන ලෝක යුද්ධයක තර්ජනය මනුෂ්‍ය වර්ගයා හමුවේ මතු කරයි. සියලු අධිරාජ්‍යවාදී බලවතුන් සහ රුසියාව එක් හෝ තවත් ආකාරයකින් මැදිහත් වෙමින් සිටින අද දවසේ මැද පෙරදිග වෙඩි බෙහෙත් හෙප්පුව, වසර සියයකට පෙර බෝල්කන් වෙඩි බෙහෙත් හෙප්පුව සේ ම පුපුරා යා හැකි ය. ගිය මාසයේ තූර්කියේ දී රුසියානු ප්‍රහාරක ජෙට් යානයක් වෙඩි තබා බිම හෙලීමෙන් පෙන්නුම් කෙරුනේ මෙය යි.

පාලක කවයන්මත් එවැනි වර්ධනයකට බිය වෙතියි යන අදහස දරා සිටීම වනාහි භයානක මුලාවකි. 1934 දී ලියොන් ට්‍රොට්ස්කි මෙසේ අනතුරු අඟවා තිබිනි: "යුද්ධය කරා අධිරාජ්‍යවාදය තුල වන ප්‍රේරනය දැනට අඩාල කෙරෙනුයේ අලුත් යුද්ධයක ප්‍රතිවිපාක පිලිබඳ බිය විසින් පමනකි. එහෙත් මෙම තිරිංගයෙහි බලය සීමිත ය." අවුරුදු පහකට පසු මේ තිරිංග ගෙවී ගිය අතර දෙවැනි ලෝක යුද්ධය ඇරඹුනි.

සිය ප්‍රතිපදානය අවසානයෙහි ස්ටර්න්, ධනවාදයට එරෙහි ව එල්ල කෙරුනු යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩ නැංවීමට හා සසජාතශි ඡන්ද උද්ඝෝෂනයට ආධාර කරන මෙන් පැමින සිටිය අයට කැඳවුම් කලේ ය. "කෙනෙකුට තව දුරටත් උපේක්ෂාවෙන් පසු විය නොහැකි තැනකට අපි පැමින සිටිමු," ස්ටර්න් ප්‍රකාශ කලේ ය.

කථාවෙන් පසු ජර්මනියේ වත්මන් භූ-මූලෝපායික උත්සුකයන්, 2003 ඉරාක ආක්‍රමනයේ පටන් මැද පෙරදිග තුල බටහිර යුද පිලිවෙත, ඉස්ලාමික රාජ්‍යය නිර්මානය වීම හා එහි දේශපාලනය සහ හම්බෝල්ඩ්ට් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය හර්ෆ්‍රීඩ් මුල්ක්ලර් හා ජොර්ජ් බබරොව්ස්කි බඳු යුදවාදීන්ගේ භූමිකාව ආදිය පිලිබඳ තියුනු විවාදයක් විය. මීලඟ රැස්වීම දෙසැම්බර් 16 වැනි බදාදා හම්බෝල්ඩ්ට් විශ්ව විද්‍යාලයෙහි දී පැවැත්ෙව්. "හර්ෆ්‍රීඩ් මුන්ක්ලර්: ජර්මානු අධිරාජ්‍යවාදයේ සේවයට කැපවූ විද්වතෙක්" යන්න එහි තේමාව වනු ඇත.

Share this article: