ශ්‍රී ලංකාවේ මාඕවාදී පක්ෂය “ප්‍රගතිශීලී දෙමල ජාතිකවාදය” දේශනා කර යි

Sri Lankan Maoist party advocates “progressive Tamil nationalism”

සුභාෂ් සෝමචන්ද්‍රන් සහ එස්. ජයන්ත් විසිනි, 2016 පෙබරවාරි 22

මා ඕවාදී කන්ඩායමක් වන, නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාක්ස්-ලෙනින්වාදී පක්ෂය (එන්ඩීඑම්එල්පී), “ප‍්‍රතිගාමී දෙමල ජාතිකවාදයට” එරෙහිව “ප‍්‍රගතිශීලී දෙමල ජාතිකවාදය” සඳහා සහාය ප‍්‍රකාශ කරමින් දෙමල ජාතිකවාදයේ කුනු වූ දේශපාලනයට නව පනක් දීමට උත්සාහ ගෙන ඇත. එන්ඩීඑම්එල්පී පදනම්ව ඇත්තේ, දෙමල බහුතරයක් වෙසෙන උතුරේ හා බොහෝකොටම දෙමල බස කතා කරන වතු කම්කරුවන් ජීවත් වන මධ්‍යම කඳුකරය තුල ය.

දෙමල ජාතික මහජන පෙරමුන (ටීඑන්පීඑෆ්) හා ප‍්‍රජා සංවිධාන කීපයක් සමග දෙමල ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) කන්ඩායමක් විසින් අලුතින් සංවිධානය කරන ලද දෙමල මහජන සංසඳය (ටීපීඑෆ්) ගැන, උදයන් නම් දෙමල පුවත්පතේ දෙසැම්බර් 29දා සම්මුඛ සාකච්ඡාවක දී, එන්ඩීඑම්එල්පීයේ ප‍්‍රධාන ලේකම් එස්.කේ. සෙන්දිවෙල්ගෙන් ප‍්‍රශ්න කරන ලදී.

එහි දී සෙන්දිවෙල් මෙසේ ප‍්‍රකාශ කලේ ය: “මහජනයාට වෙනසක් අවශ්‍ය යි. ඔවුන් මූලික ප‍්‍රතිපත්තියේ සිට විකල්ප ප‍්‍රතිපත්තියට ආ යුතු යි. පවතින ප‍්‍රතිගාමී දෙමල ජාතිකවාදය නොව ජනතාව ප‍්‍රගතිශීලී දෙමල ජාතිකවාදය පිලිගත යුතු යි.” ටීඑන්ඒ හා ටීඑන්පීඑෆ් අනුගමනය කරන්නේ “ප‍්‍රතිගාමී දෙමල ජාතිකවාදී පිලිවෙත්” වන අතර එන්ඩීඑම්එල්පී අනුගමනය කරන්නේ “ප‍්‍රගතිශීලී ජාතිකවාදය” බව ඔහු පැවසී ය.

මෙම බෙදීම ව්‍යාජ එකකි. දෙමල ජාතිකවාදයේ හෝ සැබවින් ම මොන ම ආකාරයකවත් ජතිකවාදයක ප‍්‍රගතිශීලී කිසිවක් ඇත්තේ නැත. 1980 ගනන්වල, පලස්තීන විමුක්ති සංවිධානය (පීඑල් ඕ) හා ශ‍්‍රී ලංකාවේ එල්ටීටීඊ වැනි සියලු ම ධනේශ්වර ජාතිකවාදී ව්‍යාපාර තියුනු ලෙස දකුනට ගමන් කල අතර සියලු අධිරාජ්‍ය විරෝධී මවාපෑම් අතහැර දමා ප‍්‍රමුඛ බලවතුන් සමග සන්ධානයක් සොයා ගියහ. මෙම දේශපාලන පරිවර්තනය පිලිබිඹු කලේ නිෂ්පාදනයේ ගෝලීයකරනයේ බලපෑම යි. එය මේ සියලු සංවිධාන පදනම්වී සිටි ජාතික ආර්ථික නියාමනයේ වැඩසටහන් වලට සම්පූර්නයෙන් ම වල කැපීය.

2009දී එල්ටීටීඊය ලත් මිලිටරි පරාජය, ශ‍්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර දෙමල ධනේශ්වර රාජ්‍යයක් පිහිටුවීමේ එහි ජාතිකවාදී ඉදිරිදර්ශනයේ බංකොලොත්කමේ ඵලයකි. එහි කුරිරු ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රමවේද දෙමල කම්කරුවන්, ගොවීන් හා තරුනයන්ගෙන් ඔවුන් දුරස්ත කලා සේම, කොලඹ ආන්ඩුවේ අපරාධ වෙනුවෙන් මුලු සිංහල ජනතාව ම එල්ටීටීඊය විසින් ප‍්‍රතික්ෂේප කිරීම පෙන්නුම් කලේ, ශ‍්‍රී ලංකාවේ හෝ පුලුල් ලෙස දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර කම්කරු පන්තියට කිසිදු ආයාචනයක් කිරීමට ඔවුන් මුලුමනින්ම අසමත් බව යි. ශ‍්‍රී ලංකා හමුදාව එල්ටීටීඊයේ අවසන් බල කඳවුරු වෙත කඩා වැදීමත් සමග ඔවුන්, කොලඹ ආන්ඩුවට අනුග‍්‍රහය දැක් වූ ඒ ප‍්‍රමුඛ බලවතුන්ට ම නිරර්ථක ආයාචනා නිකුත් කලේ ය.

ටීඑන්ඒ හා එහි “ප‍්‍රතිගාමී දෙමල ජාතිකවාදයෙන්” ඈත්වීමට එන්ඩීඑම්එල්පී ගන්නා උත්සාහය, එල්ටීටීඊයට සහාය දුන් මෙම සියලු සංවිධානවල සාමාජිකයින් තුල පවතින අර්බුදය පිලිබඳ තවත් ඇඟවුමකි. එක් හෝ තවත් ආකාරයකට ඔවුන් දිගටම දෙමල බෙදුම්වාදය ප‍්‍රචාරය කිරීම සේවය කරන්නේ, කම්කරු පන්තිය බෙදීමට මෙන් ම සමාජවාදය සඳහා සටනේ කොටසක් ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් සඳහා කෙරෙන එක්සත් අරගලයක් අවහිර කිරීමට ය.

දැන් උතුරු පලාත් සභාව පාලනය කරන ටීඑන්ඒ, දෙමල කම්කරුවන්, ග‍්‍රාමීය දුප්පතුන් හා තරුනයන් අතර වඩ වඩා අපකීර්තියට ලක් වෙමින් සිටිති. ජනගහනයේ බහුතරයකට රැකියා හා මූලික පහසුකම් නොමැති අතර ටීඑන්ඒ, කොලඹ ආන්ඩුව සමග උපාමාරු දමමින් ද, ඇමරිකාව, ඉන්දියාව හා අනෙකුත් බලවතුන් සමග කුමන්ත‍්‍රනය කරමින් ද දූෂිත දෙමල ධනේශ්වරයේ වාසිය සඳහා වඩා වැඩි බලතල “බෙදීමක්” සඳහා වෙර දරති.

එන්ඩීඑම්එල්පී උත්සාහ දරන්නේ, ටීඑන්ඒ කෙරෙහි වන විරුද්ධත්වය “ප‍්‍රගතිශීලී දෙමල ජාතිකවාදයේ” අන්ධ පථයකට හරවා යැවීමට ය. 2015 එහි සමුලු වාර්තාව තුල මාඕවාදී පක්ෂය, “ප‍්‍රතිගාමී දෙමල ජාතිකවාදී නායකත්වයට” චෝදනා කරන්නේ, “බමුනුකුලයේ අධිපති සංකල්පයක්” ඇති ඉහල කුලවල අධිපතිවාදීන් සහ අධිරාජ්‍යවාදයට පක්ෂපාතී හා අනෙකුත් ජාතීන් සමග එක්වීමට විරුද්ධ වූවන් ලෙසට ය.

ඊට වෙනස් ව එන්ඩීඑම්එල්පී ප‍්‍රකාශ කරන්නේ “ප‍්‍රගතිශීලී දෙමල ජාතිකවාදය, සියලු වැඩකරන ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිලිගන්නා, ඊට මුල් තැන දෙන, ආර්ථික ස්වයං රඳා පැවැත්ම අවධානරය කරන හා නිෂ්පාදන කර්මාන්ත වර්ධනය කරන” හා අනෙකුත් ප‍්‍රජාවන් සමග එක්සත් කම ගොඩනැගිය යුතු බව ය.

ස්ටැලින්වාදී/මා ඕවාදී අවධි දෙකේ න්‍යාය සමග එකට පෙල ගැසෙන එන්ඩීඑම්එල්පී වැඩසටහන, සමාජවාදය සඳහා නො ව “නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය සඳහා” ය. මෙහි අර්ථය, කම්කරු පන්තිය ඊනියා “ප‍්‍රගතිශීලී” ධනේශ්වරයට යටත් කිරීම යි. යතාර්ථයේ දී මා ඕවාදීන් බලාපොරොත්තු වන්නේ, ධනේශ්වර රාජ්‍යයක් ස්ථාපිත කිරීමට ය. ඒ තුල ඔවුන් ඉටු කරනු ඇත්තේ විදේශීය ආයෝජකයින් හා ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනය වෙනුවෙන් කම්කරු පන්තිය සූරා කෑම සහතික කර දීමේ කාර්යය යි.

එන්ඩීඑම්එල්පීයේ වාර්ගික ස්වභාවයේ ඉදිරිදර්ශනය, වාර්ගික හා ආගමික රේඛා ඔස්සේ කම්කරු පන්තිය තව දුරටත් බෙදා දැමීමට යොමුවූ එහි යෝජනා මගින් මූර්තිමත් කෙරේ. “එක්සත් ශ‍්‍රී ලංකාවක් තුල, ස්වයං-නීර්න අයිතිය මත පදනම් ව, දෙමල හා මුස්ලිම් ජනතාව සඳහා පාරම්පරික නිජභූමි සඳහා ස්වාධිපත්‍යය වෙනුවෙන් ඔවුන්ගේ සමුලු ලියවිල්ල කැඳවුම් කරයි. එමෙන් ම කඳුරට දෙමල ජනතාවගේ ජාතිකත්වය පිලිගත යුතු අතර ඔවුනට ස්වාධිපත්‍යය සහතික කල යුතු ය.” යි එය ඉල්ලා සිටී.

එන්ඩීඑම්එල්පීයේ වර්ගවාදය සලකුනු කරන්නේ, දිවයිනේ අභ්‍යන්තර දිස්ත‍්‍රික්කවල දෙමල වතු කම්කරුවන් “කඳුරට දෙමල” ලෙස නම් කිරීමෙනි. එය පන්ති බෙදීම් මකා දැමීමකි. කොලඹ පාලක ප‍්‍රභූව මෙන්ම කඳුරට වතු වෘත්තීය සමිති ද “කඳුරට දෙමල ජනතාවගේ” ස්වාධීනත්වය අවධාරනය කරන්නේ, ඔවුන් සෙසු කම්කරුවන්ගෙන් බෙදා තැබීමට හා තම කුරිරු සූරාකෑම ඉදිරියට ගෙනයාමට ය.

ස්වාධීන කලාප පිලිබඳ යෝජනාවට කම්කරුවන්ගේ හා පීඩිත ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම සමග මෙලෝ සම්බන්ධයක් නැති අතර එය වාර්ගික ආතතීන් ගැඹුරු කිරීමේ වට්ටෝරුවකි. එය නොයෙකුත් දෙමල හා මුස්ලිම් ප‍්‍රජා ගනවල ආධිපත්‍ය ගන්නා ධනේශ්වර හා සුලුධනේශ්වර ස්ථරයන්ට ආයාචනා කිරීමක් වන අතර කම්කරු පන්තිය සූරා කෑමේ සිය පංගුව වැඩි කර ගැනීමේ මාර්ගයක් ලෙස, ස්වාධිපත්‍යය සඳහා වන ප‍්‍රාර්ථනාවකි.

ශ‍්‍රී ලංකා ධනේශ්වරයේ ඊනියා ප‍්‍රගතිශීලී පාර්ශ්වය සමග සන්ධනාගතවීමේ රැවටිල්ල යටතේ එන්ඩීඑම්එල්පීය, කොලඹ දේශපාලන සංස්ථාපිතයේ ප‍්‍රධාන පක්ෂ සමග, එනම් එක්සත් ජාතික පක්ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමග උපාමාරු දැමීමේ දීර්ග හා අධම ඉතිහාසයක ට හිමිකම් කියයි.

1978දී එන්ඩීඑම්එල්පීය ආරම්භ කරන ලද්දේ, 1964දී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ භේදවීම හමුවේ පිහිටුවා ගැනුනු, මා ඕවාදී ලංකා කොමියුනිස්ට් පක්ෂයෙන් (සීසීපී බීජිං කන්ඩායම) කැඩී ගිය කන්ඩායමක් විසිනි.

එහි ආරම්භයේ සිට ම, එන්ඩීඑම්එල්පීය ආකර්ෂනය වුනේ ශ‍්‍රීලනිපය දෙසට ය. 1988දී, එල්ටීටීඊය නිරායුධ කිරීම පිනිස උතුරට හා නැගෙනහිරට ඉන්දියානු “සාමසාධක” හමුදා යැවීම සඳහා නව දිල්ලිය හා කොලඹ ආන්ඩුව ඊට පෙර වසරේදී අත්සන් කරන ලද ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිවුනු ශ‍්‍රීලනිපයේ ජාත්‍යෝන්මාදවාදී ඉන්දියානු විරෝධී උද්ඝෝෂනයට එය සහාය දුන්නේ ය. අනෙක් අතට ශ‍්‍රීලනිපය සන්ධානගත වූයේ, තම ෆැසිස්ට්වාදී උද්ඝෝෂනයට විරුද්ධවූවන් ඝාතනය කල සිංහල වර්ගවාදී ජනතා විමුක්ති පෙරමුන සමගය.

1994දී ව්‍යාජ-වාම නව සම සමාජ පක්ෂය සමග එක පෙලට සිටිමින් එන්ඩීඑම්එල්පීය, දක්ෂිනාංශික යූඑන්පී ආන්ඩුව පරාජය කිරීමේ නාමයෙන්, ශ‍්‍රීලනිප ජනාධිපති අපේක්ෂිකා චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංගගේ උද්ඝෝෂනයට ප‍්‍රසිද්ධියේ සහාය දුන්නේ ය. සාමය හා ජීවන තත්වයන් නැංවීමේ පොරොන්දු දෙමින් බලයට පැමිනි පසු කුමාරතුංග, යුද්ධය උත්සන්න කල අතර ඇගේ පූර්වගාමීන්ගේ වෙලඳපොල ගැති ප‍්‍රතිපත්ති ව්‍යාප්ත කර කම්කරු පීඩිත ජනතාවට එරෙහිව ප‍්‍රහාර එල්ල කලා ය.

අධිරාජ්‍යවාද විරෝධී මවාපෑම් තිබිය දී එන්ඩීඑම්එල්පීය, ප‍්‍රධාන බලවතුන්ගේ යාන්ත‍්‍රනය සමග නොවෙනස්ව පෙල ගැසී ඇත. 2002දී එය එජාප ආන්ඩුව හා එල්ටීටීඊය අතර ව්‍යාජ සාම ක‍්‍රියාදාමයට සහාය දුන්නේ ය, රට අස්ථාවර කිරීමේ ගැටුම අවසන් කිරීමේ හා එල්ටීටීඊය කොලඹ ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙලේ කනිෂ්ට හවුල්කරුවා ලෙස බඳවා ගැනීමේ මාධ්‍යයක් ලෙස ඇමරිකාව, යුරෝපා සංගමය හා ජපානය එයට අනුග‍්‍රහය දැක්වූහ.

සිවිල් යුද්ධය අතරතුර දී එන්ඩීඑම්එල්පීය, හරියටම 2009 මිලිටරි පරාජය දක්වා දේශපාලනිකව එල්ටීටීඊයට සහාය දැක්වී ය. පක්ෂ නායකයින්ගේ හා සාමාජිකයින්ගේ ජීවිතවලට ද තර්ජනය කෙරුනු එල්ටීටීඊ “මර්දනකාරී ක‍්‍රමවේද” පිලිබඳ එය ඉඳ හිට කල විවේචන සේවය කලේ, එල්ටීටීඊය කෙරේ දෙමල ජනතාවගේ වැඩෙන විරුද්ධත්වයෙන් ආරක්ෂා වීමේ කපාටයක් ලෙස පමනකි.

එල්ටීටීඊ වැටීමෙන් පසු එන්ඩීඑම්එල්පීය, වඩ වඩාත් එජාප සමග පෙල ගැසුනේ, දක්ෂිනාංශික ශ‍්‍රීලනිපය මෙහෙය වූ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව පරාජය කිරීමේ නාමයෙනි.

ඇමරිකාවේ අනුග‍්‍රහය ලත් තන්ත‍්‍ර මාරුවේ මෙහෙයුමක් වූ 2015 ජනවාරි ජනාධිපතිවරනයේ දී, එන්ඩීඑම්එල්පීය නිහඬ සහාය පිදුවේ මෛතී‍්‍රපාල සිරිසේනට ය. කෙසේ වෙතත් රාජපක්ෂ හා සිරිසේන අතර වෙනසක් නො වී යැයි කියන අතර සෙන්දිවේල්, රාජපක්ෂගේ “ෆැසිස්ට්වාදී පාලනයට” එරෙහිව සිය දෝෂාරෝපනය එල්ල කල අතර “මෙම මැතිවරනයට සහභාගී නොවීම හෝ වර්ජනය කිරීම අද තත්වය තුල දී දේශපාලනිකව නැනවත් ක‍්‍රියාවක් නොවනු ඇතැ යි” අනතුරු ඇඟවී ය.

වක‍්‍රව සිරිසේනට සහාය දීම මගින් එන්ඩීඑම්එල්පීය, ඔහුගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රමවේද නිසා නො ව, ඔහු බොහෝ කිට්ටුවෙන් චීනය සමග බැඳී සිටි නිසා රාජපක්ෂ පලවා හැරීම පිනිස දියත් කල, ඇමරිකාවේ අනුග‍්‍රහය ලත් මෙහෙයුමට සිය අනුමැතියේ මුද්‍රාව තැබුවේය. පසු ගිය වසරේ ජනාධිපතිවරනය හා පාර්ලිමේන්තු මැතිවරනය ඉක්බිත්තේ, ඒවායේ අර්ථය වහංගු කිරීමට ඔවුන් උත්සාහ ගත්තේ, ප‍්‍රතිඵල “හුදෙක් පුද්ගලයන් වෙනස් කිරීම්” පමනකැ යි පවසමිනි. සිරිසේනගේ මැතිවරනය සඳහා දුන් එහි සහයෝගය, චීනයට එරෙහිව යුද්ධය සඳහා කලාපය පුරා ඇමරිකානු සූදානම්වීම තුලට ශ‍්‍රී ලංකාව ඒකාබද්ධ කෙරෙමින් පවතින බව තහවුරු කිරීමට පමනක් උදව් කර ඇත.

මෑත ප‍්‍රකාශනයකින් “රට හා ජනතාව මුහුන දෙන ක්ෂනික ප‍්‍රශ්න විසඳීමට වාම, ප‍්‍රගතිශීලී හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේගයන්ගේ පුලුල් එක්සත් පෙරමුනක්” ඉල්ලා සිටිමින් තවත් අවස්ථාවාදී සන්ධානයක් ඇටවීමට එන්ඩීඑම්එල්පීය බලාපෙරොත්තුවෙන් සිටී. මෙය වෙන කිසිවක් නො ව, එජාප නායකත්වය දෙන ආන්ඩුවට එරෙහිව කම්කරු පීඩිත ජනතාව අතර වැඩෙන විරුද්ධත්වය කොටු කර එය පාර්ලිමේන්තු ආවෘත අන්තයක් තුලට හරවා යැවීමට, නසසප, එක්සත් සමාජවාදී පක්ෂය හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ වම්මුන්ගෙන් සැදුම් ලත් සිරිසා (ග‍්‍රීසියේ) වර්ගයේ පෙල ගැසීමක් සඳහා කැඳවුමකි.

සමාජවාදී ජාත්‍යන්තරවාදය මත පදනම් ව ශ‍්‍රී ලංකාව තුල, ආසියාවේ හා ජාත්‍යන්තරව එක්සත් ව්‍යාපාරයක් ගොඩනැගීම හැර, යුද්ධය, කප්පාදු හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් මත නො නවත්වා කෙරෙන ප‍්‍රහාරයන් ඇතුලු ව කම්කරුවන් මුහුන දෙන ප‍්‍රශ්නවලට වෙන විසඳුමක් නැත. ශ‍්‍රී ලංකාවේ සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන් හා තරුනයන් මුහුන දෙන තීරනාත්මක ප‍්‍රශ්නය වන්නේ සියලු ආකාරයේ වර්ගවාදී දේශපාලනයෙන් මූලිකවම වෙන්වීම හා පන්තිය මත පදනම්වූ ඉදිරිදර්ශනය දෙසට හැරීම යි.

දෙමල විරෝධී අසාධාරනකම් වලට එරෙහිව හා කොලඹ ආන්ඩු ගෙනගිය යුද්ධයට එරෙහිව වෙහෙස නොබලා සටන් වැදි වාර්තාවක් සමාජවාදී සමානතා පක්ෂයට හා එහි පූර්වගාමී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයට ඇත. ජාතික පීඩනය හා වෙනස්කම් කිරීමේ මූල හේතුව වන ධනේශ්වර ක‍්‍රමයට අවසන් තිත තැබීම සඳහා කම්කරු පන්තිය එක්සත් කිරීමට අපි සටන් කර ඇත්තෙමු. අපගේ ක‍්‍රියාමාර්ගය ඉල්ලා සිටින්නේ දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ශ‍්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා සටන් කරන ලෙස යි.

අපගේ ඉදිරිදර්ශනය හදාරන ලෙස හා ඉදිරියේ එලඹෙන අරගල සඳහා අවශ්‍ය විප්ලවවාදී නායකත්වය ගොඩ නැගීම සඳහා සසපට එකතු වන ලෙස අපි කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටිමු.

Share this article: