සිරියාව තුල ඇමරිකාව පිටුබලය දෙන යුද්ධය පැතිර යද්දී ජිනීවා සාකච්ඡා ආරම්භ වේ

Geneva talks begin as US-backed war in Syria expands

2016 පෙබරවාරි 02

සිරියානුවන් 2,60000ක් ජීවිතක්ෂයට පත්වී තවත් මිලියන ගනනක් සරනාගතයන් බවට පත් කල, සිව් වසරක යුද්ධය පිලිබඳව ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී 01දා සාකච්ඡා ආරම්භ විය. එක්සත් ජාතීන්ගේ මැදිහත්වීම සහිතව සිදුවන ක්‍රියාවලියෙන් ව්‍යසනය අවසන් කෙරෙනු ඇතැයි විශ්වාස කිරීමට කිසිදු හේතුවක් ඇත්තේ නැත.

ජනාධිපති බෂර් අල් අසාද්ගේ ආන්ඩුවට විරුද්ධ ඊනියා කැරලිකරුවන් හා අනෙකුත් දේශපාලන බලවේග නියෝජනය කල යුත්තේ කවුරුන් ද යන්න මත පැවති කටුක කාකොටා ගැනීම් නිසා, සාකච්ඡා ආරම්භ වන්නේ නියමිත කාලයට වඩා සතියක් ප්‍රමාදවීය.

අවසානයේදී, සීමාවන් යටතේ විපක්ෂ නියෝජිතයා ලෙස කටයුතු කිරීම පිනිස, සව්දි රජාන්ඩුව විසින් එක්කරගත්, “ඉහල සාකච්ඡා කමිටුවකට“ (එච්එන්සී) ඉඩ දීමට, එක්සත් ජාතීන්ගේ සිරියානු නියෝජිත ස්ටෆාන් ඩි මිස්ටුරා වොෂින්ටනයේ හා සව්දිය, තුර්කිය හා කටාර් යන එහි කලාපීය සහචරයන්ගේ බලපෑම යටතේ එකඟ විය. මේ තීරනයෙන් පසුව ද ජිනීවා කරා යන්නේ ද නොයන්නේ ද යන්න මත එච්එන්සීය තුල වාර්තාවූ උනුසුම් විවාද හමුවේ සාකච්ඡා ආරම්භ කිරීම තවත් ප්‍රමාද විය.

එම නියෝජිත කන්ඩායමේ නායකත්වය දැරුවේ හිටපු සිරියානු අගමැතියෙක් වූ රියාඩ් හජිබ් ය. එවන් ද්‍රෝහීන් කරන ආකාරයට මේ සිද්ධියේදී නම්, ප්‍රන්ස ඔත්තුසේවා විසින් ලබාදුන් සූට්කේසයකින් එකක් සල්ලි රැගෙන ඔහු බටහිර “දිරිගැන්වීමේ“ වැඩසටහන යටතේ පාවාදුන් ඉහලම සිරියානු නිලධාරියා බවට පත් විය.

එහි ප්‍රධාන සාකච්ඡාකරු, ජයිෂ් අල් ඉස්ලාම් හෙවත් ඉස්ලාමීය හමුදාවේ ප්‍රධානී මොහමඩ් අලුෂ් ය. එය අල් කයිඩාවේ සිරියානු හස්තය වන අල් නුස්රා පෙරමුන සමග සමීපව කටයුතු කරන සලාෆිස්ට් ජිහාඩි මිලිෂියාවකි. එහි අන්තවාදී නිකායික ද්‍රෂ්ඨිවාදය, එහි ප්‍රධාන අනුග්‍රාහකයා වන සව්දි රජ පවුලේ වහාබි අභිනිවේෂනයෙන් මෙහෙයවෙන අතර, ලෝකය පුරා ෂියා මුස්ලිමුන් මිලියන ගනනක් අතුගා දමන ලෙස ඉල්ලා සිටිමින්, හත්වන සියවසේ මහමත් උරුමය පුනරුත්ථාපනය වෙනුවෙන් පෙනී සිටියි. ඇමරිකානු නිලධාරීන් හුරතල් ලෙස අලුෂ් හඳුන්වන්නේ “මධ්‍යස්ථවාදියෙක්“ ලෙස ය.

මෙම පුද්ගලයින් දෙදෙනා, ප්‍රන්සයේ නව ප්‍රජාතන්ත්‍ර පක්ෂය හා ඇමරිකාවේ ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය වැනි ව්‍යාජ වාම කන්ඩායම් “සිරියානු විප්ලවය“ ලෙස හුවා දක්වන, බටහිර පිටුබලය ලබන “කැරලිකරුවන්ගේ නියෝජිතයින්“ ය යන්න අවිවාදිත ය. කෙසේ වෙතත්, බටහිර ඔත්තුසේවා ඒජනතයින්, අන්ත ප්‍රතිගාමීන් හා ආගමික උම්මත්තකයින්ගේ මෙම කල්ලිය, සිරියානු ජනතාවගේ අභිලාෂයන් කරනවා යයි පැවසීම නින්දිත ය.

මොවුන්ගේ දේශපාලන න්‍යායපත්‍රය, සාකච්ඡා ආරම්භ වීමට ආසන්නයේ මිනිසුන් 72ක් මරා දමිමින්, තවත් විශාල සංඛ්‍යාවකට තුවාල සිදුකරමින්, සිරියානු අගනුවර ආසන්නයේ ෂියා සිද්ධස්ථානයකට බෝම්බ ප්‍රහාර එල්ල කිරීමේ ත්‍රස්ත ක්‍රියාවෙන් සලකුනු කෙරින.

සාකච්ඡා ආරම්භයේදී ඇමරිකානු රාජ්‍ය ලේකම් පටිගත කල වීඩියෝ පටයකින් කියා සිටියේ, “ලක්ෂ ගනනකගේ ජීවිත බිලිගත් හා සිරියාව තුල ද ඉන් පිටත ද මිලියන ගනනක් අවතැන් කර තිබෙන කුරුරු ගැටුම හමුවේ සිරියාව කැබලිවී යාම දෙස ලෝකය වසර පහක පමන කාලයක් තිස්සේ සන්ත්‍රාසයෙන් බලා සිටියේ ය“ යනුවෙනි.

“ප්‍රචන්ඩත්වය අඩු කර ඩයෙෂ් වැනි ත්‍රස්තවාදී කන්ඩායම් හුදෙකලාකොට අප සියල්ලන් බලාපොරොත්තු වන පූර්න, සාමකාමී හා බහුජන සිරියාවක් නිර්මානය කිරීමේ පදනම “ මෙම සාකච්ඡා වලින් සැපයෙනු ඇත.

තමා රවටන්නේ කවරෙක් කියලා ද කෙරී සිතන්නේ? වොෂින්ටනය, සිරියාව කුඩුපට්ටම් වීම දෙස “සන්ත්‍රාසයෙන්“ බලා සිටි අහිංසකයෙක් නොවේ. ඇමරිකානු අධිරාජ්‍යවාදය ලේ හැලීමේ ප්‍රධාන වගකීම දරයි. තන්ත්‍ර මාරුව සඳහා තුර්කි ආන්ඩුව හා සව්දි, කටාර් රාජාන්ඩු සමඟ සම්බන්ධවී ඉස්ලාමීය මිලිෂියාවන්ට මුදල් දී සන්නද්ධ කිරීම දිරිගැන්වූයේ සීඅයිඒ සංවිධානය යි.

සැබවින්ම වොෂින්ටනය, ජිනීවා සාකච්ඡා ආරම්භ වීමට පෙර සති වලදී, අතිරේක හමුදා යොදවමින් ද “කැරලිකරුවන්ට“ ආධාර සැපයීම පුලුල් කරමින් ද ගුවන් ප්‍රහාර දැඩි කරමින් ද සිරියාව තුල මිලිටරි ප්‍රචන්ඩත්වය උත්සන්න කලේ ය.

ඩයෙෂ් හෝ අයිසිස් සම්බන්ධයෙන් ගත් කල, සෑම අර්ථයකින්ම එය වොෂින්ටයේ ෆ්‍රැන්කන්ස්ටින් යක්ෂයා බවට පත් විය. එය වනාහි, ඇමරිකාවේ ඉරාක ආක්‍රමනයේ ද පසුව සිදුවූ ඇමරිකානු මැදිහත්වීම් වලදී ද යොදාගත්, බෙදා පාලනය කිරීමේ ක්‍රමෝපායන් විසින් උසිගන්වන ලද නිකායික ගැටුම්වල අතුරු පලයකි. ඇමරිකානු-නේටෝ බලවතුන් විසින් එලෙසම, ලිබියාවේ තන්ත්‍ර මාරුව සඳහා කුලී හමුදා ලෙස අල්කයිඩාවට බැඳුනු ඉස්ලාමීය සටන්කරුවන් යොදාගනු ලැබීමෙන්, ඔවුන් නාටකාකාර ලෙස ශක්තිමත් විය. යුද්ධයෙන් ඉක්බිත්තේ එය මෙම සටන්කරුවන් හා ලිබියානු අවි සිරියාව තුලට ඇතුල් කලේ ය.

ඇමරිකාව හා එහි සහචරයෝ කොන්දේසි විරහිතව ජනාධිපති අසාද් අතින් ක්ෂනිකව බලය මාරු කිරීමට බල කරමින්, මොන්ට්‍රෙවුක්ස්හි පැවැත්වූ ඊනියා ජිනීවා දෙවන සාකච්ඡා වටය කඩාකප්පල් කලහ. ඔබාමා පාලනය සිරියාව තුල සිය ඉස්ලාමීය කුලීකරුවන් ජිනීවා සාකච්ඡාවන්ට දක්කනු ලැබුවේ නම් ඒ, හමුදා බලයෙන් සිරියාව තුල තන්ත්‍ර මාරුවක් ඇතිකිරීමේ එල්ලය ජය ගැනීමට ඔවුන් අසමත් බව සනාථ වීමත්, රුසියානු ගුවන් ප්‍රහාර වලින් පිටුබලය ලබන සිරියානු ආන්ඩුවේ හමුදා අතින් වඩ වඩාත් පරාජයට පත්වීමත් නිසා ය.

කෙසේ වෙතත් ඇමරිකානු අරමුනු නොවෙනස්ව පවතියි. “පූර්න, සාමකාමී හා බහුජන සිරියාවක්“ ගැන කථා කරන විට කෙරී අදහස් කලේ, ඩැමස්කස්හි ඇමරිකානු රූකඩයෙක් බලයට පත්කිරීම යි. තර්ජනයෙන්, බලපෑම් යෙදීමෙන් හා අල්ලස් දීම තුලින් ඉරානය හා රුසියාව නමාගත හැකි යයි වොෂින්ටනය බලාපොරොත්තු වේ. එම අරමුන ජයගැනීමේදී සිරියාවේ ජාතික ධනේශ්වරයේ හා අසාද් තන්ත්‍රයේ ම කොටස් එක්කර ගැනීම ගැන වොෂින්ටනය ගනන් බලයි.

එහෙත් වොෂින්ටනය ප්‍රකාශ කර ඇත්තේ ස්ථාවර ගැත්තර පාලනයක් ඇටවීමේ මූලෝපායක සැකැස්ම පමනක් නොවේ. ඊනියා කැරලිකරුවන් කිසිවෙකුටත් සිරියාව පාලනය කිරීමේ හැකියාව ඇති බවට ඇඟවීමක් පවා ඇත්තේ නැත. රටේ ජනගහනයෙන් අඩකටත් වඩා අවතැන්වී හා රටේ මූලික යටිතල වයුහයෙන් වැඩි හරියක් විනාශවී පවතින තතු හමුවේ එය යලි නඟා සිටුවීමේ කිසිදු සැලැස්මක හෝ පිලිවෙතක සලකුනක් හෝ ඇත්තේ ද නැත.

අවසානයේදී ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මිලිටරි මැදිහත් වීම් තුලින් ඉරාකයේ, ලිබියාවේ හා සිරියාවේ නිර්මානය කිරීමට සමත්ව ඇත්තේ විශ්වාස කටයුතු රූකඩයින් ඇටවීමට නොව, සමස්ත සමාජයන්ම වනසා දැමීමට ය.

නොවිසඳිය හැකි පරස්පර විරෝධයන් මගින් ඉදිරියට දුවවන ඇමරිකානු ධනවාදය හා ලෝක කරලිය මත එහි පරිහානිගත වන අනුහස, මිලිටරි මාධ්‍ය තුලින් ආපසු හැරවීමට ඇමරිකානු පාලක පන්තිය දරන මංමුලා සහගත උත්සාහය හමුවේ, වොෂින්ටනයට තේරෙන එකම පිලිවෙත වන්නේ තෙරක් නැති යුද්ධය යි. ලෝකයේ ඕනෑම අහු මුල්ලක ඇමරිකාවේ බැංකු හා අන්තර්ජාතික සංගතවල පරමාධිපත්‍යය අවසන් කිරීමට සමත් කිසිදු ගෝලීය පමනක් නොව කලාපීය එදිරිවාදියෙකු පවා, මනුෂ්‍ය ජීවිත අතින් ගත් කල කුමන වියදමකින් හෝ හිස එසවීම වැලැක්වීම එහි අරමුන යි.

මිලියන ගනන් මිය යාමෙන් ද තුවාල ලැබීමෙන් ද අවතැන් වීමෙන්ද විපතට පත් ඉරාකීයන්, ඇෆ්ගන්වරුන්, ලිබියානුවන් හා සිරියානුවන් මෙන්ම ඉදිරියේදී තවත් මිලියන ගනනක් ද ඇමරිකාවේ මෙම නිමක් නැති යුද ව්‍යායාමයේ ගොදුරු බවට පත් විය, නැතහොත් පත්වනු ඇත.

මෙම ව්‍යසනය ජිනීවාහි පැවැත්වෙන සාකච්ඡා වලින් හෝ සාම කථා වලින් අවසන් නොවනු ඇත. ඒවා සේවය කරනු ඇත්තේ, නව හා වඩාත් බිහිසුනු ගැටුම් වලට පිනුම් පිත්ත ලෙස ය. සමාජවාදය සඳහා අරගලයේදී කම්කරු පන්තිය දේශපාලනිකව මැදිහත්වීමෙන් බාහිරව යුද්ධය කරා වන මෙම තල්ලුව නතර කිරීමේ වෙනත් මාවතක් ඇත්තේ නැත.

බිල් වෑන් ඕකන්

Share this article: