සිසු විරෝධය හමුවේ මොරටු සරසවියේ තොරතුරු තාක්ෂන පීඨය වසා දැමේ- ලෝක සමාජවාදී වෙබ් අඩවිය

 

සිසු විරෝධය හමුවේ මොරටු සරසවියේ තොරතුරු තාක්ෂන පීඨය වසා දැමේ

අපේ වාර්තාකරුවන් විසිනි , 2016 පෙබරවාරි 01

සිසුන් 11 දෙනෙකුට පනවා ඇති පන්ති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂන පීඨ සිසුන් ගෙන ගිය විරෝධතාව හමුවේ විශ්වවිද්‍යාල පරිපාලනය විසින් එම පීඨය ජනවාරි 18 වන දා සිට දින නියමයක් නොමැතිව වසා දමා තිබේ.

මෙම පියවර ගනු ලැබුවේ සිසුන් පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට “සත්‍යග‍්‍රහයක්” ආරම්භ කිරීමත් සමගයි. උපකුලපති ආනන්ද ජයවර්ධන පැවසුවේ “මෙම සත්‍යග‍්‍රහය අනෙකුත් පීඨවල වැඩකටයුතු වලට බාධා කෙරේය” යන අදහසින් පීඨය වසා දැමූ බවයි.

නවක වද මර්දන නීතිය යටතේ දඩයමට ලක් කෙරී ඇති මෙම සිසුන් 11 දෙනාගෙන් සිසුන් තිදෙනෙකු වසර 2 ක පන්ති තහනමකට ලක් කෙරුනේ පසුගිය වසරේ මැයි 21 වන දිනය. ඉතිරි 8 දෙනා, දෙසැම්බර් 8 වනදා, මාස දෙකක පන්ති තහනමකට ලක් කෙරුනි. නවක ශිෂ්‍ය කාන්ඩයේ සිසුන් 3 ක් ද ඊට ඇතුලත් වෙයි.

උක්ත පීඨයේ ශිෂ්‍ය ක‍්‍රියාකාරිකයෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) පැවසූ පරිදි සිසුන්ගේ පන්ති තහනම් ඉවත්කර ගැනීම වෙනුවෙන් පන්ති වර්ජනය කිරීම, විශ්වවිද්‍යාලය තුල හා ඉන් පිටත උද්ඝෝෂන පැවැත්වීම, පෙත්සම් සහ අභියාචනා ඉදිරිපත් කිරීම වැනි විවිධ විරෝධතා ක‍්‍රියාමාර්ග වලට පීඨයේ අනෙකුත් සිසුන් යොමු වී ඇත. එම විරෝධතා අතරවාරයේදී උපකුලපතිවරයා සමග සාකච්ඡා කිරීමට ඔවුන්ට අවස්ථාවක් ලැබී ඇති නමුදු පන්ති තහනමට ලක් වූ සිසුන් වෙනුවෙන් යම් හෝ යහපත් පිලිතුරක් ලබාදීම උපකුලපතිවරයා විසින් මගහැර තිබේ.

ඔහුට අනුව විශ්වවිද්‍යාල පරිපාලනයට නවක වද සිද්ධියක් පිලිබඳ තොරතුරු ලැබීමෙන් පසු ඒ පිලිබඳව විමර්ශනය කිරීමට ස්වාධීන කමිටුවක් පිහිටුවා ඇත. කමිටුවේ නිර්දේශ විශ්වවිද්‍යාල සනාතන සභාවට අනුබද්ධ විනය මන්ඩලයක් වෙත යොමුකිරීමෙන් පසුව චුදිත සිසුන්ට පන්ති තහනම් නිර්දේශ කර ඇත්තේ එම මන්ඩලය විසිනි.

මෙම ක‍්‍රියාවලිය පිලිබඳව ලෝසවෙඅ වෙත අදහස් ඉදිරිපත් කල ශිෂ්‍යයෙක් මෙසේ පැවසීය: “මේ කිසිම කමිටුවක වැඩකටයුතු සිදුකෙරෙන්නේ විනිවිදභාවයකින් නොවෙයි. කිසිම මොහොතක නවක වදයට ගොදුරුවූවා යයි කියන කෙනෙක් ඉදිරිපත් කරන්නෙත් නැහැ. කිසිම සාක්ෂියක් ඉදිරිපත් කරන්නෙත් නැහැ. අවම වශයෙන් තමන්ට එරෙහිව එල්ල වෙලා තියෙන චෝදනාව මොකක්ද කියලවත් දඬුවම් ලබල තියෙන ශිෂ්‍යයන් හරිහැටි දන්නේ නැහැ. ඒකෙන් ඔවුන්ට ඔවුන්ගේ පාඨමාලාව ඉවර කරගන්න අනවශ්‍ය කාලයක් රස්තියාදු වෙන්න වෙනවා. අපි මේවා පරිපාලනය එක්ක කතාකලත් ඔවුන් හැම වෙලාවෙම මේ ප‍්‍රශ්නවලින් මගහැර යනවා. දැන් මුලු පීඨයම වහල දාල ඉතිරි ශිෂ්‍යයන්වත් ඒ අසාධාරනයට ගොදුරු කරල.”

තවත් ශිෂ්‍යයෙකු ලෝසවෙඅ වෙත පවසා සිටි පරිදි පන්ති තහනමට ලක්කෙරී ඇති සිසුන් බොහොමයක් සිදු වූයේ යයි කියන නවක වද සිද්ධියට අදාල අය නොවන අතර, ඔවුන් එක් එක් වසර කාන්ඩවලට පත්කර ඇති ශිෂ්‍ය නියෝජිතයින්ය. සාවද්‍ය චෝදනා යටතේ සිසුන් පන්ති තහනමට ලක් කොට අනෙක් සිසුන් බියගන්වා ඔවුන් මෙල්ල කර ගැනීම පරිපාලනයේ පිලිවෙත බව ඔහු පැවසීය.

ඔහු තව දුරටත් හෙලි කල පරිදි, පීඨය මෙලෙස මාස දෙකක් වසා තැබුවහොත්, පීඨයේ පවතින විභාග පටිපාටියේ ස්වභාවය අනුව සිසුන්ගේ උපාධි සම්පූර්නවීම වසර එකහමාරකින් පමන දික් ගැස්සීමේ හැකියාවක් පරිපාලනය සතුවන අතර එවැනි රස්තියාදුවකට සිසුන් දක්වන බිය දඩමීමා කරගෙන සිසුන් මෙම මර්දනය ඉදිරියේ දනගැස්සවීම පරිපාලනයේ උත්සුකය වී ඇති බවයි.

එතෙකින් නොනැවතුනු විශ්වවිද්‍යාල පරිපාලනය මර්දනයට විරුද්ධව අනෙක් පීඨ තුලින් මතුවිය හැකි කවර හෝ පෙරලිකාරීත්වයක් පුර්වභංග කරන අරමුනෙන් සිසුන්ට තර්ජනය කොට ඇත්තේ වෙනත් පීඨ මෙම උද්ඝෝෂනයට සම්බන්ධ වුවහොත් එම පීඨ සහ අවසානයේදී විශ්වවිද්‍යාලයම වුවත් වසා දමන බව කියමිනි.

උග‍්‍රවන ධනේශ්වර අර්බුදය හමුවේ රාජ්‍ය අධ්‍යාපනය කප්පාදු කරමින් අධ්‍යාපනය ලාභ ලබන කර්මාන්තයක් බවට පත් කිරීම ලොවපුරා ධනපති පාලකයන්ගේ පිලිවෙතයි. ඊට සමගාමීව, අධ්‍යාපනයට එල්ල වන ප‍්‍රහාරයන්ට එරෙහිව සිසු විරෝධතාවයන් ද සීඝ‍්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. සියලු ධනේශ්වර ආන්ඩු, ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී අනපනත් සහ විධික‍්‍රම භාවිතා කරමින් අරගලයට ඇදෙන සිසුන් මර්දනය කිරීමේ නිරතව සිටී.

පැවති රාජපක්ෂ රජය විසින් 2010 අපේ‍්‍රල් මාසයේදී, “නවක වද විරෝධී” පනත යලි බලාත්මක කරනු ලැබුවේ එම මර්දනය වඩාත් ශක්තිමත් කරගැනීමටයි. මෙම පනත යටතේ දුසිම් ගනන් සිසුන්, අත්අඩංගුවට ගැනුනි. නැතහොත් ශිෂ්‍යභාවය අහෝසි කිරීමට හෝ පන්ති තහනමට ලක් කෙරුනි. දැන් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ද එම පනත යොදා ගනිමින් මර්දනය ඉදිරියටම ගෙනයයි.

ශිෂ්‍ය ගැටුම් වලට සහභාගී වන්නන් හඳුනාගැනීමට යැයි කියමින් විශ්වවිද්‍යාල තුල ආරක්ෂක කැමරා සවිකිරීම මර්දනයේ තවත් රූපාකාරයකි. මොරටුව විශ්වවිද්‍යාලය ඇතුලු තවත් විශ්වවිද්‍යාල කිහිපයක් තුලම මෙලෙස ආරක්ෂක කැමරා සවිකිරීම සිදුකර ඇත. පැය 24 පුරා, සිසු කි‍්‍රයාකාරකම් නිරීක්ෂනය කරමින් සිසුන් බියවැද්දීමත් සිසු දඩයම සඳහා එම කැමරා සටහන් යොදා ගැනීමත් එහි අරමුනයි.

සිසුන්ගේ අධ්‍යාපන සහ ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන්ට එල්ල කෙරෙන මෙම ප‍්‍රහාරය කම්කරු-පීඩිත මහජනතාවට එල්ල කෙරෙන පුලුල් ප‍්‍රහාරයක කොටසකි. මෙම සියලු ප‍්‍රහාරයන් ගලා එන්නේ, ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනයේ විධානයන්ට අනුව සැකසුනු, ආන්ඩුවේ දේශපාලනික සහ ආර්ථීක පිලිවෙත් වලිනි. එබැවින් ආන්ඩුවේ පිලිවෙත් වලට එරෙහි දේශපාලන අරගලයකින් තොරව මෙම ප‍්‍රහාරයන් පරාජය කල නොහැක. එනමුදු, “සරසවි සිසුන්ට දේශපාලනය එපා” යන ප‍්‍රතිගාමී සූත‍්‍රය තොරොම්බල් කරන මොරටුව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් නිලධරය, ඉහත දේශපාලනික සූදානමෙන් සිසුන් වලකා එම ප‍්‍රහාරයන්ට ඔවුන් ගොදුරු කර දෙමින් සිටී.

මේ අතර, අනෙකුත් විශ්වවිද්‍යාලයන්හි සිසු අරගලයන්හි මුදුනට පැන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම), මොරටුව විශ්ව විද්‍යාලය තුල තම අධිකාරය පිහිටුවා ගැනීමට නොහැකි වී ඇති තතු තුල, එම සිසුන්ගේ අරගලයට මුලුමනින්ම පිටුපස හරවා සිටී. අවිශිබම හෝ එයට නායකත්වය දෙන පෙසප ඒ සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් හෝ නිකුත්කර නොමැත.

Share this article: