ආන්ඩුව විදේශ ආයෝජකයන් පෙලඹවීමට උත්සාහ කරයි - ලෝක සමාජවාදී වෙබ් අඩවිය

 

ආන්ඩුව විදේශ ආයෝජකයන් පෙලඹවීමට උත්සාහ කරයි

Sri Lankan government tries to woo foreign investors

සමන් ගුනදාස විසිනි, 2016 ජනවාරි 20

ඇමරිකානු ප්‍රකෝටිපති ජෝර්ජ් සොරෝස් හා ලෝක බැංකුවේ හිටපු ප්‍රධාන ආර්ථික වි‍ද්‍යාඥ ජෝෂප් ස්ටිග්ලිස්ට් ඇතුලු ජාත්‍යන්තර ආයෝජකයන් හා ආර්ථික වි‍ද්‍යාඥයන්ගේ සහභාගිත්වයෙන් ජනවාරි 7 හා 8 දිනවල ආන්ඩුව “ශ්‍රී ලංකා ආර්ථික සමුලුව” සංවිධානය කලේය.

ඉහල නගින ආර්ථික අර්බුදයට මුහුන දෙමින්, ශ්‍රී ලංකාව කලාපීය මූල්‍ය හා වෙලඳ මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කිරීමේ පොරොන්දුව සහිතව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහගේ ඇමරිකානු ගැති ආන්ඩුව විදේශ ආයෝජන ආකර්ෂනය කරගැනීමට උත්සාහ දරමින් මෙම සමුලුවේ සත්කාරකත්වයට උර දුන්නේය. සොරෝස්ගේ විවෘත සමාජ පදනමට උත්සවයේ අනුග්‍රාහකත්වය පිරිනැමීම මඟින් වික්‍රමසිංහ පෙන්නුම් කලේ, මූල්‍ය ප්‍රාග්ධනයේ අවශ්‍යතා වෙනුවෙන් සේවය කිරීමට ආන්ඩුවේ ඇති කැපවීමයි.

ශ්‍රී ලංකාව “දකුනු ආසියාවේ වඩාත්ම තරඟකාරී රාජ්‍යය” බවට පරිවර්තනය කරන අතර, එය සිංගප්පූරුව හා ඩුබායි අතරේ පවතින, දැවැන්ත නගරයක් ලෙස ගොඩනැගීම ආන්ඩුවේ අවශ්‍යතාව බව වික්‍රමසිංහ පැවසීය. එම රටවල් දෙකම, පාලක ප්‍රභූවේ මූල්‍ය හා වෙලඳ කටයුතු ආරක්ෂා කිරීම සඳහා සියලුම ආකාරයේ විරසකයන් මර්දනය කරන පොලිස් රාජ්‍යයන්ය.

එක් ප්‍රධාන කථිකයෙක් වූ සෝරොස්, ආන්ඩුව තම වැඩ සටහන දියත් කරන්නේ නරක අතට හැරෙන ගෝලීය ආර්ථික අර්බුදය මධ්‍යයේ බවට අනතුරු ඇඟවීය. “ඔබට ඉතා දුෂ්කර බාහිර තත්වයන්ට මුහුන දීමට සිදුවන නිසා මට නරක ආරංචි ගෙන එන පනිවිඩකරුවෙක් වීමට සිදුවේ යැයි බියක් දැනෙනවා. ” ඔහු රැස්ව සිටි පිරිසට පැවසීය. මූල්‍ය වෙලඳපොල දිහා බලන විට, 2008 දී අප මුහුන දීපු අර්බුදය මතක් වෙන, බරපතල අභියෝගයක් පවතිනවා. ”

සෝරොස් සඳහන් කලේ, ගෝලීය ආර්ථික කඩාවැටීමේ නව කාල පරිච්ඡේදයක් විවෘත කරමින්, අනෙකුත් ප්‍රධාන ධනපති රටවලට ව්‍යාප්ත වුන කලබැගෑනියට තුඩු දුන්, 2008 දී ප්‍රධාන ඇමරිකානු මූල්‍ය ආයතන බිඳවැටීම සම්බන්ධවය.

චීනයේ මුදල් අවප්‍රමානයවීම ගැන සඳහන් කරමින්, චීනය “ලෝකයේ අනෙකුත් රටවල් අස්ථාවර කරන බවත්, අවධමනකාරී පීඩනයන් ….ඇති කරන බවත්” ඔහු අවධාරනය කලේය. සැබැවින්ම, ලෝකයේ ප්‍රධාන ලාබ ශ්‍රම වෙලඳපොල ලෙස ක්‍රියා කරන චීනය, ගෝලීය පසුබෑමේ ප්‍රවනතාවලින් පහර කා ඇති අතර නරක අතට හැරෙන ජාත්‍යන්තර අර්බුදයට දැන් තමන්ම දායක වෙමින් සිටී.

කප්පාදු වැඩපිලිවෙල ජනතාව මත පටවන්නට පවතින අවශ්‍යතාවය පිලිබඳව කොලඹ ආන්ඩුවට බලකිරීමට පමනක් සෝරොස් අර්බුදය ගෙන හැර පෑවේය. “මුදල් තව දුරටත් සංවර්ධනය වන රටවලට නොපැමිනෙන බවත් තත්වය හොඳ අතට හැරෙන තුරු බලා නොසිට අමිහිරි තෝරාගැනීම් සඳහා සූදානම් විය විය යුතු” බවත් ඔහු පැවසීය.

යුරෝපා බලවතුන්ගේ සහ බැංකුවල විධානයන් සැපිරීම එල්ල කරගත්, වැටුප්, රැකියා, විශ්‍රාම වැටුප් හා සහනාධාර කප්පාදු කිරීමේ වැඩ සටහන් ඇතුලත් වූ ග්‍රීසියේ සිරීසා ආන්ඩුවේ කප්පාදු වැඩ පිලිවෙල, පසුගිය මාර්තුවේදී සෝරොස් හුවා දැක්වීය.

“අරමුදල් සංවර්ධනය වන රටවලින් එලියට ඇදී යන බැවිනුත්, චීන ආර්ථිකය අස්ථාවර වන බැවිනුත්, බාහිර ගෝලීය වාතාවරනය වඩා එදිරිවාදී වන නිසාත්, ශ්‍රී ලංකාවට ‘උඩුගං බලා පිහිනීමට’ සිදුවේවි” යැයි කොලඹ සමුලුවේදී සෝරොස් අවධාරනය කලේය.

ඒ සමගම සොරෝස්, තම ව්‍යාපාර සඳහා ලාබ මිරිකා ගැනීමට ශ්‍රී ලංකාව ‘හොඳ තෝතැන්නක්’ ලෙස දකී. මාධ්‍ය වාර්තාවලට අනුව, සංචාරක, සූර්ය බලශක්ති, තොරතුරු තාක්ෂන, අධ්‍යාපන හා සෞඛ්‍ය යන අංශවල ඩොලර් මිලියන 300 ක ආයෝජන අවස්ථා ගැන ඔහු සොයමින් සිටී.

සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) හා වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂයේ (එජාප) “සමගි ආන්ඩුව” සෝරොස් පැසසුමට ලක් කිරීම කැපී පෙනෙයි. ඔවුන් වෘත්තීය සමිති හා ව්‍යාජ-වාම කන්ඩායම්වල පිටුබලය ලබමින් ප්‍රධාන ධනපති පක්ෂ දෙක එක් කර ආන්ඩුවක් ගොඩ නැගුවේ කම්කරු පන්තියට මුහුන දීම සඳහාය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බලයෙන් පහකල, වොෂින්ටනයේ සහයෝගය ලැබූ තන්ත්‍ර මාරු මෙහෙයුමක් හරහා, පසුගිය ජනවාරියේ පැවති ජනාධිපතිවරනයේදී සිරිසේන බලයට පැමිනීමෙන් පසුව පාලක සංධානය බිහි කෙරිනි. බීජීනයත් සමග රාජපක්ෂගේ කිට්ටු දේශපාලන හා ආර්ථික සම්බන්ධතාවලට වොෂින්ටනය සතුරුකම් දැක්වූ අතර රාජ්‍ය තාන්ත්‍රික හා මිලිටරිමය වශයෙන් චීනය වැටලීමේ සිය පිලිවෙත සමග ශ්‍රී ලංකාව පෙලගස්වා ගැනීම ඇමරිකාවේ අවශ්‍යතාවය විය.

සමුලුව තුල තම කතාවේදී, ශ්‍රී ලංකාවේ ගැඹුරුවන විදේශ නය අර්බුදය නිරාකරනය කිරීමේ අවශ්‍යතාවය ස්ටිග්ලිට්ස් අවධාරනය කලේය. නය ගැටළුව විසඳාගැනීමට ලෝක බැංකුවේ හා අනෙකුත් ජාත්‍යන්තර නියෝජිත ආයතනවල සහයෝගය ලබාගන්නා ලෙස ඔහු ආන්ඩුවට උපදෙස් දුන්නේය. කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීම හරහා නය බරින් මිදීමේ අපේක්ෂාවෙන් ඉදිරිපත් කල සිරීසා ආන්ඩුවේ සැලැස්මට ද සිටිග්ලිට්ස් ගිය වසරේ පිටුබලය සැපයීය.

ගෝලීය කඩා වැටීමෙන් හා මූල්‍ය කලබැගෑනියෙන් ශ්‍රී ලංකා පාලක ප්‍රභූවට බලපාන උග්‍ර ගැටලු ගැන සිහි කැඳවීමක් ලෙස මෙම ආර්ථික සමුළුව මෙහෙවරක් ඉටු කල අතර ලඟ එන රුදුරු කප්පාදු පිලිබඳව ඉන් ඇඟවුම් කෙරිනි.

සමුලුවෙන් හරියටම දින දෙකකට පසුව, නිර්නාමික බෙල්ජියම් ජාතිකයෙකුගෙන් ඩොලර් බිලියනයක ආයෝජනයක් ලබාගැනීමට රජය තීරනය කර ඇති බව මුදල් ඇමති රවි කරුනානායක නිවේදනය කලේය. පෙනෙන අන්දමට, ගිය වසරේ සියයට 10 කින් අවප්‍රමාන වුන, තවදුරටත් සීඝ්‍ර පහලයාමක් බලාපොරොත්තු වන, රුපියලෙහි අගය ස්ථාවර කර ගැනීම මෙම ආයෝජනයේ අරමුනයි.

මෙම අනිශ්චිත වැඩපිලිවෙල එලඹෙන මාසවලදී ඩොලර් බිලියන 3-4 ක් උපයා ගැනීමට යොමුව ඇති ආන්ඩුවේ සැලැස්මෙහි කොටසකි. “කිසිදු ප්‍රශ්නයක්” නොනගා ඕනෑම කෙනෙකුට මුදල් තැන්පත් කල හැකි බවත් ඔවුනට “ඕනෑම වෙලාවක මුදල් ඉවත් කරගැනීමට” ඉඩ දෙන බවත් ආන්ඩුව විදේශ ආයෝජකයන්ට දන්වා ඇත. මෙයින් “විදේශ ආයෝජකයන්ගේ විශ්වාසය ඉහල යන” බව කරුනානායක පැවසූ නමුත් ඒ තුලින් රට තුල අස්ථාවර තත්වයක් ඇති විය හැකි යැයි ආර්ථික විද්‍යාඥයෝ අනතුරු අඟවති.

ආයෝජන ප්‍රාග්ධනය රට හැර යමින් පවතී. 2014හි පලමු මාස 11 තුල සුරැකුම් වෙලඳපලෙන් ඉවත ගිය ඇ. ඩො. මිලියන 104.5 ට සන්සන්ඳනාත්මකව 2015 එම කාලය තුල බිලියන 1.1ක් ඉවත්ව ගොස් ඇත. වසර එක හමාරක් තුල කොලඹ කොටස් වෙලඳ පලෙහි කොටස් අගය එහි පහලම මට්ටමට වැටී තිබේ.

එතකුදු නොව 2015හි ගෙවුම් ශේෂ හිඟය ඇ. ඩො. බිලියන 2ක් ලෙස ගනන් බලා ඇති අතර 2016 නය සේවා වියදම ඇ.ඩො. බිලියන 5ක් ලෙස ගනන් බලා ඇත. පසුගිය වසර අවසානය වන විට රටෙහි විදේශ සංචිත ඇ.ඩො. බිලියන 7.3ට පහත වැටුනු අතර බාහිර මූල්‍ය අවශ්‍යතා සඳහා එය ප්‍රමානවත් නොවන බව සැලකේ.

මැද පෙරදිග සේවයේ යෙදෙන කම්කරුවන් ගෙන් ලැබෙන ප්‍රේෂනයන් විදේශ විනිමය ඉපයීම් හි ප්‍රධාන දායකයා වූ නමුත් ප්‍රදේශයේ යුද ගැටුම් ඉහලයාමත් සමඟ එහි පසුබෑමක්ආරම්භ වී ඇත. 2014 ඔක්තෝබරය සමඟ සැසඳීමේදී 2015 ඔක්තෝබරයේදී ප්‍රේෂනයන් වර්ධනය වූයේ සියයට 0.8කින් පමනි.

ඊට ප්‍රතිචාර ලෙස ආන්ඩුව තවත් නය ඉල්ලීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමුඅ) වෙතට හැරිනි. කෙසේ වුව ද ජාමුඅ විසින් මහජන වියදම් සඳහා පන වනු ලබන දරුනු කප්පාදු බරපතල ප්‍රතිඵල ගෙන එනු ඇත. සන්ඩේ ටයිම්ස් කතුවැකිය මෙසේ ලීවේය; “ජාමූඅ තව දුරටත් ලබා ගන්නා පහසුකම් මුල් වසර වලදී ආර්ථිකය පාර්ශ්වික වශයෙන් සංකෝචනය කරන්නාවූ ප්‍රතිපල අත් කර දෙන අතර ඉදිරියේදී දුෂ්කර කාලයන්ට මඟ පාදනු ඇත.

ආන්ඩුව හා ධනපති පන්තිය සමාජ අසහනය පිලිබඳව භීතියෙන් පසුවෙයි. කෙසේ වෙතත් යෝජිත විසඳුම් මගින් සිදුවනු ඇත්තේ ආර්ථික හා දේශපාලන අර්බුදය උත්සන්න වීම පමනි.

Share this article: