ලෝක සමාජවාදී වෙබ් අඩවියට එරෙහි දෙමල ජාතිකවාදීන්ගේ මඩගැසීමට පිලිතුරක්
ටැමිල්නෙට් වෙබ් අඩවියට විවෘත ලිපියක්

A reply to Tamil nationalist slanders against the World Socialist Web Site -- An Open Letter to TamilNet

කේ.නේසන් හා වී.ඥානා විසිනි, 2016 පෙබරවාරි 17

ටැමිල් නෙට් කතුවරුන් වෙත,

ලෝක සමාජවාදී වෙබ් අඩවිය වෙනුවෙන් අප ඔබට ලියන්නේ, “දෙමල ජනතාව හා තුන්වන ලෝක යුද්ධය” නම් ඔබගේ ලිපිය තුල ප්‍රසිද්ධ කල ලෝසවෙඅ එ‍රෙහි පදනම් විරහිත මඩ ප්‍රහාරය ඉල්ලා අස්කර ගත යුතු බව පැවසීමට ය. කොලඹ වර්ගවාදී සිංහල නායකත්වයෙන් යුත් ආන්ඩුවේ ජනසංහාරයට කොන්දේසි සකසනු පිනිස, ‍ලෝසවෙඅ අධිරාජ්‍යවාදීන් සමග වැඩ කරන්නේය යන්න සාහසික බොරුවකි. ඒ බව ඔබ ද හොඳින් දැන සිටියි.

ඔබගේ ලිපිය මෙසේ ප්‍රකාශ කරයි. “එක දෙයක් ගැන අවධානය යොමු කිරීම පිනිස හැම පැතක්තකින්ම කඩිමුඩියේ ඒජන්සි යොදවන්නේ නම්, එනම්, ඊලම් ද්‍රවිඩයන්ගේ ජාතික ප්‍රශ්නය බොඳ කිරීමට හා යට ගැසීමට යෙදවේ නම්, කොලඹ කේන්ද්‍රගත ජනඝාතක යාන්ත්‍රනය තහවුරු කිරීමක් වන එහිදී, එලඹෙන වඩා විශාල යුද්ධයක් හෝ කලාපය තුලට ඇතුලුවීම පිනිස එය හා එහි මිලිටරිය ප්‍රයෝජනයට ගැනීමේ අටියෙන් ගනු ලබන පියවරයන්ය”

“ඇමරිකා එක්සත් ජනපදයේ උත්සුකයන්ට සේවය කරන කොලඹ-කේන්ද්‍ර ගත ජනඝාතක ආන්ඩුවට නින්දිත ලෙස පහසුකම් සපයන්නන්ට” ඔබ පහර දෙයි. ඔබ තවදුරටත් මෙසේ ද පවස යි: “ලෝක සමාජවාදී වෙබ් අඩවිය හා තුන්වැනි ලෝක යුද්ධයේ සංගත අධිරාජ්‍යවාදය යන දෙකටම, ඊලම් දෙමල ජනතාව ඔවුන්ගේ ජාතික ඉල්ලීම අතහරිනවා දකින්නට අවශ්‍ය නම්, එහි යම් වරදක් තිබිය යුතු ය.”

ඔබගේ විශ්ලේෂනයේ “වැරැද්ද” වන්නේ, අධිරාජ්‍යවාදය හා කොලඹ තන්ත්‍රය සමඟ දෙමල ජාතිකවාදී පක්ෂවලට ඇති බැඳීම සැඟවීම සඳහා ලෝසවෙඅ හා අධිරාජ්‍යවාදය අතර ඔබ ඇති කරන තුච්ඡ කවලම යි.

ලෝසවෙඅ පල කරනු ලබන, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා එහි ශ්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂයේ වාර්තාව චිර ප්‍රසිද්ධ ය. අධිරාජ්‍යවාදයට හා එහි කොලඹ තන්ත්‍රයට සසප වෙහෙස නොබලා විරුද්ධත්වය පෑම හා දෙමල සුලුතරයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සම්මුති විරහිත ලෙස ආරක්ෂා කිරීම පිලිගැනීමට ඔබගේ පූර්ව ලිපි වලදී ඔබට බල කෙරුනි.

කේ.රත්නායක විසින් ලියන ලද ලෝසවෙඅ ලිපියක් සාරාංශ කරමින් 2009 පෙබරවාරි මස පල කල ලිපියක දී ඔබ මෙසේ ප්‍රකාශ කලේ ය: “දෙමල ජාතියේ විමුක්ති අරගලය ‘දෙමල ධනේශ්වරයේ අවශ්‍යතා නියෝජනය කරන්නේ යයි කියනු ලැබුව ද ආර්ථික හා මූලෝපායික උත්සුකයන් පමනක් සැලකිල්ලට ගනිමින් බලවතුන්, ලංකාව මත යුද්ධය පටවන්නේ කෙසේ ද යන්න සමාජවාදී සමානතා පක්ෂයේ ලේඛකයාගේ දෘෂ්ටිය තුලින් අනාවරනය කරයි...ලේඛකයා කම්කරු පන්තික ප්‍ර‍වේශයක් හා යුද්ධයේ මූල හේතුව, එනම් ලාභ පද්ධතිය අවසන් කිරීමට ආරම්භකත්වයක් ගැනීම වෙනුවෙන් කතා කර යි. ”

එතැන් සිට වෙනස් වී ඇත්තේ සසප හා ලෝසවෙඅ ආස්ථානය නොවේ. 2009 මැයි මාසයේ දෙමල බෙදුම්වාදී එල්ටීටීඊයේ පරාජය හා කොලඹ තන්ත්‍රය විසින් ඔවුන් ඝාතනය කිරීමෙන් පසුව, ඔබ ආරක්ෂා කරන දෙමල ජාතිකවාදී පක්ෂ, අධිරාජ්‍යවාදයට යටත් වී ඇති අතර ඔබ කියූ “කොලඹ-මාධ්‍යගත ජනඝාතක රජය” සමග එක් වී ඇත. ඇමරිකාවේ අනුග්‍රහය ලත් තන්ත්‍ර මාරු කිරීමේ ව්‍යාපාරයක් විසින් ජනාධිපති ලෙස මෛත්‍රීපාල සිරිසේන බලයට පත්කරනු ලැබීමෙන් පසුව ගතවූ වසර තුල, ඔවුන් මතු වී ඇත්තේ ඇමරිකානු වි‍දේශ ප්‍රතිපත්තියේ කොලඹ ප්‍රධාන මෙවලම් ලෙස ය.

ඔබ හා දෙමල ජාතිකවාදී පක්ෂ විසින් නියෝජනය කරනු ලබන දෙමල ධනේශ්වරයේ උත්සුකයන්ගෙන් සසප වෙන් කෙරෙන්නේ, ගැඹුරු පන්ති අගාධයකිනි. 2015 ජනවාරි ජනාධිපතිවරනයේ දී සමාජවාදී සමානතා පක්ෂය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා වොෂින්ටනයේ අනුග්‍රහය ලත් අපේක්ෂක සිරිසේනට ද විරුද්ධ විය. අනෙක් අතට, දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ), දෙමල සිවිල් වැසියන් හා මුලතිව් හි එල්ටීටීඊ සටන් කරුවන්ගේ අවසාන සංහාරය අතරතුර රාජපක්ෂගේ ආරක්ෂක ඇමති ලෙස ‍සේවය කල සිරිසේනට ඡන්දය දෙන ලෙසට ඉල්ලා සිටියේ ය.

සිරිසේනට පක්ෂ වොෂින්ටනයේ හඬ ‍දෝංකාර නංවමින් ටීඑන්ඒ, සිරිසේන “ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්, යහපාලනය හා නීතියේ ආධිපත්‍යය” සඳහා සටන් කරන බව නිල වශයෙන්ම පිලිගත්තේය. එහි නායක රාජවරෝතියම් සම්බන්දන් පැහදිලිව ප්‍රකාශ කලේ, “මෛත්‍රීපාල සිරිසේන එක් ජාතියක් ලෙස රට එකට එක් කරනු ඇති යි” කියා ය. කුඩා දෙමල ජාතිකවාදී කන්ඩායම් සියල්ල වොෂින්ටනයේ කොලඹ නියෝජිතයා වන ටීඑන්ඒ පිටුපස පෙල ගැසුනි, චීනයට එරෙහි ඇමරිකාවේ “ආසියාවට හැරීමෙහි” කොටසක් ලෙස එයට, රාජපක්ෂ චීනය සමග වර්ධනය කර ගෙන තිබූ බැඳීම් කපා දැමීමේ වැඩ පැවරුනි.

යටත්වීම වෙනුවෙන් ටීඑන්ඒට ලැබුනු ත්‍යාගය, පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂ නායකයා ලෙස සම්බන්දන්ගේ නම යෝජනා කීරීම යි. සිරිසේන ආරක්ෂා කිරීමට උපාමාරු යෙදීමේදී ටීඑන්ඒ හා දෙමල ජාතික මහජන පෙරමුන (ටීඑන්පීඑෆ්) තමන්ගේම ආධාරකරුවන්ට විරුද්ධව යොදාගත් වධ බන්ධන වසං කිරීම පිනිස ආන්ඩුවේ අත්අඬංගුවේදී ඔවුන්ට සිදුවී ඇති පීඩාවන් හෙලිදරව් වීම වැලැක්වීම පිනිස ඔවුන් රටෙන් පිට කිරීමට පවා පියවර ගත්හ. දෙමල රැඳවියන් ඇතුලු දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට සටන් කිරීම ප්‍රතික්ෂේප කලේ ය. සිරිසේන ආරක්ෂා කිරීමට වන ඔවුන්ගේ උපාමාරුවල දී ටීඑන්ඒ හා දෙමල ජාතික මහජන පෙරමුන තමන්ගේ ම ආධාරකරුවන්ට එරෙහිව කරන ලද වධහිංසා පවා වසන් කලහ. කප්පාදු පියවරවලට සහාය දුන්නේය

කොලඹ තන්ත්‍රයේ හා දෙමල ධනේශ්වරයේ අධිරාජ්‍ය ගැති ප්‍රතිපත්තිවලට බොරු “වාම” ඔපයක් දීමේ ඔබේ උත්සාහය බිඳවැටෙමින් ඇත. සිරිසේනගේ කප්පාදු න්‍යායපත්‍රයට එරෙහිව සියලුම ජනවර්ගයන්ට අයත් තරුනයන්ගේ, ගොවීන්ගේ හා කම්කරුවන්ගේ විරෝධතා පිපිරී ඇත. ලෝසවෙඅ එරෙහි ඔබගේ ප්‍රහාරය පල කිරීමට යන්තම් දින කීපයකට පෙර, අතුරුදහන් වූ සිය ඥාතීන්ට කුමක් සිදු වී ඇද්දැ යි කිලිනොච්චියේ පැවති රැස්වීමකදී ප්‍රශ්න කල දෙමල ජනතාවට එරෙහිව, තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීම සඳහා පොලීසිය කැඳවීමට සම්බන්දන් හා අනෙකුත් ටීඑන්ඒ නායකයින්ට බල කෙරුනි.

සිරිසේන හා ඔහුගේ දෙමල ජාතිකවාදී සහචරයන්ගේ ප්‍රතිගාමී ප්‍රතිපත්තිවලට එරෙහිව කම්කරු පන්තිය හා පීඩිත මහජනතාවගේ වැඩෙන කෝපය මැඩ පැවත්වීමට ඔබ මංමුලා සහගත උත්සාහයක් දරන අතර ම, එක්සත් ජනපදය හා චීනය අතර තීව්‍රවන එදිරිවාදිකම් හමුවේ මතු කෙරෙන ලෝක යුද්ධයේ තර්ජනය පිලිබඳ ව ද ඔබ දැනුවත් ය.

ලෝක යුද්ධ තර්ජනය පිලිබඳව හාජාජාක එක දිගට අනතුරු අඟවා ඇති අතර ලෝක යුද්ධය වැලක්වීමට සමාජවාදී පදනමක ගෙන යන ගෝලීය අරගලයක් තුල කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට සටන් කලේ ය. මැද පෙරදිග, අප්‍රිකාව, යුක්‍රේනය හා බෝල්කන් කලාපයේ අධිරාජ්‍යවාදී යුද්ධවලට මෙන් ම “ආසියාවට හැරීමට” එරෙහිව ද ජාත්‍යන්තර කමිටුව පෙනී සිටියේය. “සමාජවාදය හා අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි සටන” නම් එහි ප්‍රකාශනය න්‍යෂ්ටික යුද්ධයේ අනතුර පෙන්වා දෙමින් මෙසේ ප්‍රකාශ කලේ ය: “විප්ලවවාදී මාක්ස්වාදී ක්‍රියාමාර්ගයක පදනම මත ජාත්‍යන්තර කම්කරු පන්තිය මැදිහත් නොවුන හොත් තවත් අධිරාජ්‍යවාදී රුධිරස්නානයක් විය හැකිවා පමනක් නොව අනිවාර්ය ද වේ.”

අනෙක් අතට ඔබගේ ආස්ථානය, මේසයෙන් වැටෙන කටු ටිකක් අහුලා ගැනීම පිනිස, අධිරාජ්‍යවාදයේ මෙහෙකරුවන් ලෙස සේවය කිරීමේ, දෙමල ජාතිකවාදී මූලෝපාය ආරක්ෂා කිරීම සඳහා දරන ආකූල හා ප්‍රතිගාමී උත්සාහයකි. ඔබ උදාසීන ලෙස ප්‍රමුඛ බලවතුන් අතර අන්තර්-රාජ්‍ය ඝර්ෂනයේ අනතුරු බැහැර කරන අතර, “සංගතයන්ගේ අධිරාජ්‍යවාදය” විසින් මේ වන විටත් සැබවින් ම 3වැනි ලෝක යුද්ධයට සූදානම් වෙමින් සිටින තතු තුල, අවසාන වශයෙන් දෙමල ජාතියේ “ගෝලීය ඒකරාශීවීම” කට ද කැඳවුම් කරයි.

ඔබ මෙසේ ලිය යි: “භූමි ප්‍රදේශ හා සම්පත් සඳහා බලවතුන් අතර තරඟයේ දී පලමු ලෝක යුද්ධය හටගත්තේ නම්, තුන්වැනි ලෝක යුද්ධය බොහෝ ආකරයන්ගෙන් ඊට වෙනස් ය... එහි ජනතාවගේ ආන්ඩු නැති අතර ඇත්තේ, සංගතයන්ගේ අධිරාජ්‍යවාදයයි. ලෝකයේ විශේෂිත ප්‍රදේශ වලට අසමානුපා‍තික ලෙස දිශානුගතවූ සංගත, ආන්ඩු යයි පැවසෙන සංස්ථාපිතයන් පාලනය කර යි. කියනු ලබන සංස්ථාපිතයන් එකට එක්ව ලෝකය පුරා ජනතාවන්ට එරෙහිව තුන්වන ලෝක යුද්ධය දියත් කරයි. ජනතාවන්ට එරෙහි යුද්ධයක් ගෙන යාමේ දී න්‍යෂ්ටික අවි පිලිබඳ කරදර වීමට ‘භීතියේ තුලනයක්’ ඇත්තේ නැත.”

යුද්ධයේ අනතුර ප්‍රතික්ෂේප කිරීම සඳහා හිස් වචන තොරොම්බල් කිරීමකි. ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක කිරීම සඳහා දෙමල ජාතිකවාදී කන්ඩායම් දැන් උදව් දෙමින් සිටින, ධනපතියන් විසින් කම්කරුවන් හා පීඩිතයින්ගේ ජීවන තත්වයන් මත එල්ල කරනු ලබන ගෝලීය ප්‍රහාරය, “ලෝක යුද්ධයක්” ලෙස සැලකීම ප්‍රතික්ෂේප කිරීමට ඔබ උත්සාහ කර යි. එහෙත් ඇමරිකානු අධිරාජ්‍යවාදය සමග එක්ව දෙමල ජාතිකවාදීන් දැන් වේදිකාව සකසන්නේ සැබෑම ලෝක යුද්ධයට ය.

භූමිභාග සහ තෙල්, ගෑස් වැනි සම්පත් පාලනය මුල්කරගත්, අධිරාජ්‍යාදවාදී යුද්ධ හා කුලීකාර ගැටුම් ඉදිරියටත් ඇදී යනවා පමනක් නො ව, මාලී හා ලිබියාවේ සිට යේමනය, සිරියාව, ඉරාකය, ඇෆ්ගනිස්තානය හා යුක්‍රේනය දක්වා විහිදෙමින් ඒවා, ලෝකයේ විශාල පදාසයන් ගිලගෙන ඇත. ඔවුන් දැන් තර්ජනය කරන්නේ එදිරිවාදී බලවතුන් ගේ - එක් පැත්තක අධිරාජ්‍යවාදීන් හා අනෙක් පැත්තේ රුසියාව හා චීනය අතර - යුද්ධයක් ඇවිලවීමටය. එක්සත් ජනපදය, යුරෝපය, හා රුසියාවේ ඉහල මට්ටමේ නිලධාරීහු, න්‍යෂ්ටික යුද්ධයක හැකියාව ගැන දැන් කථා කරති.

අධිරාජ්‍යවාදී බලවතුන්ගේ ආක්‍රමනකාරී ප්‍රතිපත්ති හේතුවෙන් ලෝක යුද්ධ තර්ජනය මතුවීම සලකුනු කරන්නේ දෙමල ජාතිකවාදයේ නව අවධියකි. ඉංග්‍රීසි හොරනෑව ලෙස ඔබ සේවය කල, එල්ටීටීඊ ය ඇතුලු දෙමල ධනේශ්වරය, හැම විටම එහි ක්‍රියාමාර්ගය පදනම් කලේ අවසාන විග්‍රහයේ දී, අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සහාය ලබා ගැනීම මත ය.

සිවිල් යුද්ධය අතරතුර දී එල්ටීටීඊ ඉදිරිදර්ශනය වූයේ, දෙමල නොවන ජනතාව පලවා හැර වාර්ගික පවිත්‍රකරනයට ලක් කර තිබුන ප්‍රදේශවල, ස්ව පාලනය ස්ථාපිත කිරීම සඳහා තමන් සතුව පැවති මිලිටරි බලය යොදා ගැනීම යි. ඊට පසු එල්ටීටීඊය බලාපොරොත්තු වූයේ ඔවුන් හා කොලඹ අතර බලය බෙදා ගැනීමේ ගිවිසුමකට අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සහාය ගොනුකර ගැනීමටයි. එල්ටීටීඊය කිසිදා “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” හෝ ඇමරිකාවේ ඉරාක හා ඇෆ්ගනිස්තාන ආක්‍රමනයන් විවේචනය නොකල අතර ඔවුන්ගේ සම්පූර්න ප්‍රතිපත්තිය ම පදනම් කලේ විශේෂයෙන් ම එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ හා ඉන්දියාව වැනි කලාපීය බලවතුන්ගේ සහාය සඳහා ආයාචනා කිරීමට ය.

එල්ටීටීඊ පරාජයෙන් පසු, දෙමල ජාතිකවාදීන් විවෘතව ම නැඹුරු වූයේ අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සහාය ලද කොලඹ නායකයන් වෙතට ය. ඔවුහු පලමුව, සිවිල් වැසියන් හා මුලතිව් හි එල්ටීටීඊ සටන් කරුවන්ගේ අවසාන සංහාරයට අන දී තිබුන, 2010 ජනාධිපතිවරනයේ දී ඇමරිකාවේ අනුග්‍රහය ලත් අපේක්ෂකයා වූ ජනරාල් සරත් ෆොන්සේකා ද පසුව, ගෙවී ගිය වසරේ දී තන්ත්‍ර මාරුවක් සඳහා ඇමරිකාවේ අනුග්‍රහය ලත්, සිරිසේනගේ උද්ඝෝෂනය ද වැලඳ ගත්හ.

ඔබ තවමත් බලාපොරොත්තු වන්නේ අධිරාජ්‍යවාදය හා දෙමල ධනේශ්වරය අතර පොදු මූලෝපායක් සෙවීමට ය. ඔබ ටීඑන්ඒ හා ටීඑන්පීඑෆ් සාමාජිකයින්ගෙන් සැදුම්ලත් දෙමල මහජන සභාව (ටීපීසී) අමතන අතර අධිරාජ්‍යවාදී බලවතුන්ගේ ප්‍රතිපත්ති වලට ගැලපෙන පරිදි ගිවිසුම් ගසා ගැනීමට උපදෙස් දෙ යි: “බලවතුන් නිවැරදි කිරීම කරා වන ගෝලීය බලමුලු ගැන්වීමක් දෙසට ටීපීසී ගනු ලබන ඕනෑ ම පියවරකට මුලු හදින් ම සහාය දිය යුතු ව ඇත. එහෙත් ටීපීසී දෙසම බලා නොසිට, ලෝක දෙමල ප්‍රජාව මෙම යතාර්ථයන් ගැන අවධානය යොමු කල යුතුව ඇත. ... ගෝලීය දෙමල ප්‍රජාවට තුන්වැනි ලෝක යුද්ධ පාර්ශ්වකරුවන්ගෙන් ස්වාධීන වූ ක්‍රියාමාර්ගයක් තිබිය යුතු ය.”

දෙමල ප්‍රජාවගේ “ගෝලීය බලමුලු ගැන්වීම” පිලිබඳ ඔබගේ යෝජනාව ස්වාධීන මූලෝපායක් ‍නොව, අනෙකුත් ජාතීන්ට අයත් පන්ති සහෝදර සහෝදරියන්ගෙන් දෙමල කම්කරුවන් වෙන් කිරීමට සැලැසුම් කෙරුනු නරුම උගුලකි. එහි විනාසකාරී ප්‍රතිඵල පැහැදිලි කෙරුනේ යුද්ධයේ අවසාන මාසවල දී දෙමල ජාතිකවාදීන් විසින් යුරෝපය හා උතුරු ඇමරිකාවේ දී පවත් වන ලද විරෝධතා මගිනි. මුලතිව් හි දෙමල ජනයා සංහාරය නොකරන ලෙස කොලඹට නියෝග කරන මෙන් ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා, ජර්මානු චාන්ස්ලර් ඇන්ජෙලා මෙර්කෙල්, බ්‍රිතාන්‍ය අගමැති ගෝඩන් බ්‍රවුන් හා ප්‍රන්ස ජනාධිපති නිකොලස් සාකෝසිට ඔවුන් කල බෙලහීන ආයාචනා බීරි අලින්ට වීනා වැයීමක් විය.

අධිරාජ්‍යවාදීන්ට කෙරුනු එවැනි ආයාචනාවලින් පසු මුලතිව් සංහාරය වැලකීමට අසමත් වූවාක් සේම තුන්වැනි ලෝක යුද්ධය වැලක්වීමට ඔබ යෝජනා කරමින් සිටින්නේ ද එම බංකොලොත් ප්‍රතිපත්තිය ම බව පෙනී යයි. 2009දී මෙන් අද ද මෙම උපාමාරුවල ප්‍රධාන අරමුන වන්නේ, ජාත්‍යන්තර කම්කරු පන්තිය තුල යුද්ධයට එරෙහිව මතුවන ව්‍යාපාරයට වල කැපීම සහ කොලඹ හා අධිරාජ්‍යවාදී බලවතුන් සමග කේවල් කිරීමට පහසුකම් සැපයීම ය.

ඔබ උත්සාහ කරන්නේ වාර්ගික රේඛා ඔස්සේ කම්කරු පන්තිය බේද කිරීමට සහ සිංහල විරෝධී උග්‍ර ජාතිභේදවාදය හා ඓතිහාසික කෙබර පෙලක් සමග අධිරජ්‍යවාදය කෙරේ පල වන විරුද්ධත්වය මැඩීමට ය.

දෙමල ජනතාව පමනක් ගෝලීයව බලමුලු ගැන්වීම සඳහා ඔබ ඉල්ලුම් කරන්නේ මන් දැයි යුක්තිසහගත කිරීමට ඔබ මෙසේ ලිය යි: “යුරෝපීය යටත්විජිතවාදය පලමුව, පද්ධතියෙන් වියෝවූ දකුනු ඉන්දියානු දෙමල ජනයා ගිවිසුම් ගත ශ්‍රමිකයන් ලෙස ඉවත් කලේය. ඊ ලඟට පැමිනියේ ඇමරිකාවේ නායකත්වයෙන් යුත්, බටහිර හා බ්‍රිතාන්‍ය රාජ්‍යයේ අනුප්‍රාප්තිකයින් විසින් හවුලේ දශක ගනනාවක් තිස්සේ ඊලම් දෙමල ජනයා විදේශීය සරනාගත වහල් තත්වයට පත් කිරීමයි. ලෝකයේ ඕනෑ ම කොටසක දෙමල ජනතාව රටක් නැති තත්වයට පත්වුනි. සිංහල ජාතිය කිසිදා මෙම පලවා හැරීම් මැදින් ගොස් නැති බව මතක තබා ගන්න.”

දෙමල ජනයා මිස සිංහලයින් මර්දනය නො කෙරුනි ය යන මෙම ප්‍රකාශය ප්‍රතිගාමී බොරුවකි. ශ්‍රී ලංකාවේ සියලුම කම්කරුවන් හා පීඩිතයින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය විසින් ද ඊට පසුව, 1948 සිට නාමිකව ස්වාධීන ශ්‍රී ලංකා රජය විසින් ද කුරිරු ලෙස මර්දනය කරන ලදී. ඔබ සිංහලයින් ද මර්දනය කෙරුනු බව ප්‍රතික්ෂේප කිරීමෙහි අරමුන වන්නේ, කම්කරු පන්තිය භේදභින්න කිරීම හා එහි අධිරාජ්‍ය විරෝධය මොට කිරීමට ය.

කොලඹ තන්ත්‍රය එල්ටීටීඊයට එරෙහිව කොටවන ලද ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසාන විග්‍රහයේ දී, කම්කරුවන් හා ග්‍රාමීය තරුනයන්ගේ පෙරලිකාරිත්වය තලා දැමීමේ හොඳම ක්‍රමය ලෙස, ඔවුන් වාර්ගික රේඛා ඔස්සේ බෙදීම අරමුන කර ගත් ශ්‍රී ලංකා ධනේශ්වරයේ සියලු කන්ඩායම්වල පුලුල් මූලෝපායක කොටසකි.

එය දෙමල ජනයාට එරෙහිව අසාධාරනකම් කලා සේ ද පසුව ඔවුන්ට එරෙහිව සිවිල් යුද්ධයක් ගෙනගියා සේ ද සිංහල කම්කරුවන්‍ හා තරුනයන්ගේ සටන් ද කොලඹ ආන්ඩු විසින් කුරිරු ලෙස මර්දනය කලේ ය. 1971 දී ජනතා විමුක්ති පෙරමුන නායකත්වය දුන් ග්‍රාමීය තරුනයන්ගේ නැගිටීම මර්දනය කිරීම අතරතුර දී දස දහස් ගනනක් සිංහලයන් ඝාතනය කලේය. ජනාධිපති ජේ.ආර්.ජයවර්ධනගේ නිදහස් වෙලඳ ප්‍රතිපත්තිවලට එරෙහිව 1980 මහා වැඩවර්ජනයේ දී 100,000ට වඩා කම්කරුවන් රැකියා වලින් දොට්ට දැමීමෙන් පසු, 1989 ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් ඉක්බිත්තේ බොහෝකොටම ග්‍රාමීය සිංහල තරුනයන් 60,000ක් ඝාතනය කල තවත් සංහාරයක් ගෙන ගියේය.

අධිරාජ්‍යවාදය හා දේශීය ධනේශ්වරයට එරෙහිව අරගලයේ දී ඉන්දියානු උපමහාද්වීපය තුල කම්කරු පන්තිය පෙලගැස්වීමේ ඉදිරිදර්ශනයක් මත සිංහල, දෙමල හා මුස්ලිම් යන සියලු ජනතාවන්ට එරෙහිව කොලඹ තන්ත්‍රයේ දේශපාලන අපරාධයන්ට ස්ථීරව විරුද්ධ වූයේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පමනි. අනෙක් අතට, ලෝසවෙඅ එරෙහි ඔබගේ මඩගැසීම්, කම්කරු පන්තියට එරෙහිව, පෙරමුනේ අනෙක් පස ඔබ සිටින බව තව දුරටත් තහවුරු කිරීමකි.

ඔබගේ අවංක,

කේ.නේසන්

වී.ඥානා

Share this article: