ජර්මනියේ සසජාතශි හම්බෝල්ඩ් විශ්ව විද්‍යාල නිලවරනයේ දී ආසන හතරක් දිනා ගනී

German IYSSE wins four seats in Humboldt University Student Elections

අපේ වාර්තාකරුවකු විසිනි, 2016 ජනවාරි 21

බ‍්‍රහස්පතින්දා උදෑසන බර්ලිනයේ හම්බෝල්ඩ් විශ්ව විද්‍යාලය විසින් නිකුත් කරන ලද මූලික නිලවරන ප‍්‍රතිඵලවලට අනුව, ඡන්ද 149ක් ලබාගත් සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ ආසන හතරක් හිමිකර ගනු ඇත.

මෙම ප‍්‍රතිඵල පෙන්නුම් කරන්නේ, හම්බෝල්ඩ් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් අතර සසජාතශි කෙරෙහි සැලකිය යුතු පරිදි වැඩෙමින් ඇති සහයෝගය යි. 2015 ජනවාරියේ පැවති මැතිවරනයේ දී ඡන්දවලින් සියයට 1.83ක් ලැබූ සසජාතශි එක් අසුනක් දිනා ගත්තේ ය. ජනවාරි 19-20 දෙදින පැවති මේ වසරේ ඡන්ද විමසුමේ දී සසජාතශි වෙත පලවූ සහයෝගය වැඩී ගොස්, එය සියයට 6.04ක් බවට පත්ව ඇත. මැතිවරනයට ඉදිරිපත් වූ ශිෂ්‍ය කන්ඩායම් 17කින් 10කට ම ඡන්ද අහිමි විය.

විශාලතම ආසන හිමි කර ගත් සංවිධාන මෙසේය. ස්වාධීන ශිෂ්‍යයෝ (ඡන්ද 287, ආසන 7), හම්බෝල්ඩ් වාම ලැයිස්තුව (ඡන්ද 256, ආසන 6) හා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ තරුන සංවිධානය වන ජූසෝස් (ඡන්ද 253, ආසන 6). දේශපාලනිකව ක‍්‍රිස්තියානි ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංගමයට සමීපකම් ඇති, ක‍්‍රිස්තියානි ප‍්‍රජාතන්ත‍්‍ර ශිෂ්‍ය සංවිධානය ඡන්ද 150ක් හිමි කර ගත්තේ ය. වාම පක්ෂයේ ඩී ලින්කේ එස්ඩීඑස්ට (එස්ඩීඑස් වම) ඡන්ද 145ක් ලැබුනි.

සසජාතශි, සිය මැතිවරන උද්ඝෝෂනයේ හරි මැද තැබුවේ, ජර්මානු මිලිටරිවාදය පුනර්ජීවනය කිරීමට හා හම්බෝල්ඩ් විශ්ව විද්‍යාලයේ දක්ෂිනාංශික ශාස්ත‍්‍රාලිකයින් විසින් එය දෘෂ්ටිමය වශයෙන් සාධාරනීකරනය කිරීමට, විරුද්ධ අරගලය යි. සමාජවාදී හා අධිරාජ්‍ය-විරෝධී ක‍්‍රියාමාර්ගයක් මත ජාත්‍යන්තර කම්කරු පන්තියේ නව යුද-විරෝධී ව්‍යාපාරයක් ගොඩ නැගීම සඳහා එය කැඳවුම් කලේ ය. බුන්ඩෙස්වෙහ්ර් යන ජරමානු හමුදාව විසින් සිරියාවේ හා මාලි රාජ්‍යයේ සිදු කරන නව මිලිටරි ආක‍්‍රමන හා මාධ්‍යය ගෙන යන සංක‍්‍රමන-විරෝධී උද්ඝෝෂනය මධ්‍යයේ සසජාතශි පිලිවෙත් ශක්තිමත් ප‍්‍රතිචාරයක් දිනාගෙන ඇත.

Share this article: