ජාමූඅ ප්‍රධානී, 2016 වසරේ මන්දගාමී වර්ධනය හා ආර්ථික “කම්පන” පිලිබඳව අනතුරු අඟවයි

IMF head warns of slow growth and economic “shocks” in 2016

බැරී ග්‍රේ විසිනි, 2015 දෙසැම්බර් 31

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටිනා ලැගාඩි, ජර්මනියේ මූල්‍ය ප්‍රකාශනයක් වන හැන්ඩෙල්ස්බ්ලාට්හි 30දා පල කල ලිපියක් තුල, 2016 හා ඉන් ඔබ්බට ආර්ථිකය පිලිබඳ ඇල් මැරුනු පුරෝකථනයක් ඉදිරිපත් කර ඇත.

ඇය ලියා ඇත්තේ, එලඹෙන වසරේ ගෝලීය ආර්ථික වර්ධනය “බලාපොරොත්තු සුන් කරන” හා මධ්‍යකාලීන දැක්ම ද අවම වනු ඇති බවය. ගෝලීය වර්ධන අනුපාත මන්දගාමී වීම හා මූල්‍ය කම්පනයන්ගේ විභවයට තුඩු දෙන ප්‍රධාන සාධක ලෙස ලැගාඩි ගෙනහැර දක්වන්නේ, ඇමරිකාවේ පොලී අනුපාත ඉහල නැඟීමේ ප්‍රවනතාව හා චීනයේ පසුබෑමය.

ලෝක වෙලඳාමේ වර්ධනය සැලකිය යුතු ආකාරයකින් පහත වැටීම, තෙල් හා අනෙකුත් පාරිභෝගික භාන්ඩ මිල පහත වැටීම හා එම භාන්ඩ අපනයනය හා වෙලඳාමේ ප්‍රසාරනය මත බෙහෙවින් වාරුවී සිටින ඊනියා “නැඟී එන වෙලඳපොලවල්” හා “සංවර්ධනය වෙමින් පවතින” රටවල නරක අතට හැරෙන ආර්ථික හා මූල්‍ය අර්බුදය ද ඇය පෙන්වා දෙයි.

“මේ සියල්ලේ අර්ථය 2016 වසරේ ගෝලීය වර්ධනය බලාපොරොත්තු සුන් කරන හා අසමාන වන බවයි” ඇය පැවසුවාය. ඇමරිකානු ෆෙඩරල් මහ බැංකුව මේ මාසයේ මුල තම පාදක පොලී අනුපාතය, වසර නවයකට පසුව පලමු වතාවට, ශුන්‍ය්‍යට ආසන්න මට්ටමෙන් ඉහල නැංවීමට ගෙන ඇති තීරනයේ ප්‍රතිපල වශයෙන්, ඇතිවිය හැකි “උතුරා යාමේ” බලපෑම් ගැන ඇය විශේෂයෙන් අනතුරු ඇඟවූවාය.

ලැගාඩි හා ජාමූඅ, මහ බැංකුවේ එම පියවරට විරුද්ධව බලපෑම් කලේ, බ්‍රසීලය, තුර්කිය හා දකුනු අප්‍රිකාව වැනි ඩොලර් වලින් නියමකර තිබෙන ව්‍යාපාරික නය මට්ටම් ඉහල, නැඟී එන වෙලඳපොලවල් සහිත රටවලින්, ප්‍රාග්ධනය ඉවත ගලා යාමේ උමතුවක් ඉන් නිර්මානය විය හැකි බවට අනතුරු අඟවමිනි.

හැන්ඩල්ස්බ්ලාට් ලිපියෙන් ලැගාඩි පවසන්නේ, 2008 මූල්‍ය අර්බුදයෙන් මෙපිට නැඟී එන වෙලඳපොලවල හා තෙල් උත්පාතය අවධියේ, ඩොලර් වලින් නියම කල බැඳුම්කර විශාල වශයෙන් අලෙවිකර ඇති සමාගම්වල මූල්‍ය පිරිවැය ඉහල යාමක් ගැන සඳහන් කරමින්, එවන් රටවල “කම්පන” වලට ඔරොත්තු දීමේ හැකියාව පිලිබඳව තමා කනස්සල්ලට පත්ව සිටින බවයි. ඩොලරය ඉහල නැඟීමේ අර්ථය, සිය ආදායම්, ගිලා බසිමින් ඇති දේශීය මුදලින් තීරනය වන තතු තුල, මෙම සමාගම්වල නය ආපසු ගෙවීමේ මූර්ත පිරිවැය, ඉහල යන බවයි.

නැඟී එන ආර්ථිකයන් හා බලශක්ති සමාගම් සිය නය ගෙවීම් පැහැර හැරියහොත්, බැංකු හා රාජ්‍ය භාන්ඩාගාර වලට එය ආසාධනය විය හැකි බවත්, අර්බුදය වඩාත් පුලුල් ආකාරයෙන් මූල්‍ය පද්ධතිය අලලාගෙන පැතිර යා හැකි බවත් ඇය ඇඟවුම් කලාය.

2016 වසර තුල තම රට පෙට්රෝලියම් නිෂ්පාදනය කපා හැරීමට අදහස් නොකරන බව සව්දි තෙල් ඇමති ප්‍රකාශ කිරීමත් සමඟ 30දා, තෙල් මිල වසර 11කට පසුව එහි පහතම මට්ටමට ඇද වැටුනි. 2014 මැද සිට තෙල් මිල තුනෙන් දෙකකින් පහත වැටී ඇත. 2015 වසර තුල පමනක් මිල සියයට 35න් පහත ගොස් තිබේ.

එහෙත් තෙල් මිල වැටීම, කාර්මික අමුද්‍රව්‍ය මිල පුලුල් වශයෙන් පහල යාමක කොටසක් පමනි. නිකල් සියයට 40 ද මේ වසර තුල ඕස්ට්‍රේලියාවේ හා අයර්ලන්තයේ විශාල පතල් වසා දමන බව පල වීමෙන් පසුව මිල ඉහල නඟිනු ඇතැයි අපේක්ෂා කල සින්ක් මිල, සියයට 28න් ද පහත ගියේය. යපස් පිලිබඳ තත්වය ද එයමය.

තෙල් මිලෙහි නව පහල වැටීම ද ලැගාඩිගේ අශුභවාදී පුරෝකථනය ද හේතුකොටගෙන ගෝලීය කොටස් මිල ගනන් 30දා පහත වැටුනි. ඇමරිකාවේ හා යුරෝපයේ අනෙකුත් ප්‍රධාන දර්ශකයන්ට අනුකූලව ඩව් ජෝන්ස් කාර්මික දර්ශකය ද ඒකක 117න් හෙවත් සියයට 0.66න් පසුබෑවේය.

කාර්මික අමුද්‍රව්‍ය මිල අඛන්ඩව පිරිහී යාම, ජාත්‍යන්තර පරිමානයෙන් සැබෑ ආර්ථිකයේ ගැඹුරු වන අර්බුදයේ තියුනු ප්‍රකාශනයකි. ඊට ප්‍රධාන වශයෙන්ම බලපා ඇති සාධකය චීනයේ පසුබෑමය. පූර්වයෙන් එරට කාර්මික අමුද්‍රව්‍ය සඳහා දැඩි රුචියක් දැක්වූ අතර ගෝලීය ඉල්ලුම ඉහල නැංවීමට රුකුලක් විය.

එහෙත් චීනයේ පසුබෑමමත්, ලෝක ධනේශ්වර ආර්ථිකයේ අති මූලික ක්‍රියාවලීන්ගේ හා ප්‍රතිවිරෝධයන්ගේ ප්‍රකාශයනයකි. වත්මන් ව්‍යාධියේ පද්ධතිමය ස්වභාවය පිලිබඳ ඉඟියක්, ඔපෙක් සංවිධානය මේ සතියේ නිකුත් කල පුරෝකථනය තුල ගැබ්ව ඇත. ඒ අනුව 2013 හා 2014 මුල පැවති බැරලයක් ඩොලර් 100 මට්ටම කරා අඩුම තරමින් 2040 වන විටවත් යලි නොපැමිනෙනු ඇත.

ඔක්තෝබරයේදී ජාමූඅ නිකුත් කල වාර්තාවක, 2016 සඳහා ලෝක ආර්ථික වර්ධනය සියයට 3.5ක් ලෙස පුරෝකථනය කලේය. එය 2008 සැප්තැම්බරයේ හටගත් මූල්‍ය අර්බුදයෙන් මෙපිට අවම වර්ධන අනුපාතයයි. පසුගිය අප්‍රෙල් මාසයේදී එය අනතුරු අඟවා තිබුනේ, 2008 කඩාවැටීමට පූර්වයෙන් පැවති වර්ධන අනුපාතයන් කරා යලි පැමිනීමේ හැකියාව අවම බවටය. එසේම ගෝලීය ආර්ථිකය, මන්දගාමී වර්ධනය, ඉහල විරැකියාව, ඉහල නයගැතිකම පිලිබඳ රටාවක් තුල සිරවී පවතිනු ඇති බව ද එය කියා තිබුනි.

එම වාර්තාවෙන් මූල්‍ය අරමුදල, නිල වශයෙන් 2009 ජූනියේදී ආරම්භවූ බව පවසන ලද ඊනියා “ප්‍රකෘතිය” අවධියේ ව්‍යාපාරික ආයෝජන තියුනු ලෙස පිරිහී යාම කෙරෙහි ද අවධානය යොමු කර තිබුනි. එය සඳහන් කල ආකාරයට උතුරු ඇමරිකාවේ හා යුරෝපයේ ව්‍යාපාරික ආයෝජන, පූර්ව පසුබෑම් වලදී මෙන් දෙගුනයකින් එනම්, සියයට 20න් පිරිහුනි.

ජාමූඅ විසින් සම්බන්ධය පිහිටුවනු නොලැබුවේ වුව ද සමපේක්ෂනයේ හා පරපුටු කමේ දැවැන්ත වර්ධනය ලෙස ප්‍රකාශයට පත් වන ගෝලීය ධනපති අර්බුදයේ මූලික අංඟය, මෙම සංඛ්‍යා වලින් පෙන්නුම් කරයි. ආර්ථික ජීවිතය මත අධිකාරය පිහිටුවාගෙන ඇති මූල්‍ය පැලැන්තියේ ඉවබව නැති හා බොහෝකොටම සාපරාධී සමපේක්ෂන කටයුතු නිසා හටගත් 2008 කඩාවැටීමට තුඩු දුන් එම ප්‍රවනතා, මූල්‍ය අර්බුදයෙන් ඉක්බිතිව තවත් උත්සන්නවී ඇතුවා පමනි.

බැංකු හා ආරක්ෂන අරමුදල් හසුරුවනු වෙනුවට ජාමූඅ, ඇමරිකාවේ ද යුරෝපයේ හා ජපානයේ මධ්‍යම බැංකු හා ආන්ඩු විසින් කරනු ලැබුවේ ඒවාට ඇප දීම පිනිස ඩොලර් ට්‍රිලියන ගනනින් මුදල් පොම්ප කිරීමය. එය සමපේක්ෂනයේ නාඩගම තවදුරටත් පෝෂනය කලේය. ආන්තිකව පහත් පොලී අනුපාත හා “ප්‍රමානාත්මක ලිහිල්කිරීම” ලෙස හඳුන්වන මහ බැංකුවල මුදල් අච්චු ගැසීමේ ක්‍රියාවලිය මඟින් නව මූල්‍ය බුබුලු පිම්බීම දිරිමත් කලේය. කොටස් වෙලඳපොලවල සිට තෙල් කර්මාන්තය, අඩමාන බැඳුම්කර හා නැඟී එන ආර්ථිකයන් දක්වා වූ එම කටයුතු, ධනවතුන් හා සුපිරි ධනවතුන් තවත් පොහොසත් කල අතර නිෂ්පාදන බලවේග වෙතින් සම්පත් හරවා යවමින් වැඩකරන ජනතාව දුගී භාවයට ඇද දැම්මේය.

සැබෑ ආර්ථිකය පීඩාවට පත්ව තිබියදී කොටස් මිල වේගයෙන් ඉහල නැඟුනි. ඇමරිකාවේ ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් 500 දර්ශකය 2009න් මෙපිට දෙගුනයකටත් වඩා ඉහල ගියේය.

සැබෑ ආර්ථිකය නිෂ්පාදන ආයෝජනයෙන් දුරස්ත කල සංගත හා බැංකු, මුලුමනින්ම පරපුටු, අවදානම් සහගත ආයෝජන වලින් ඉහල ලාභ සොයා ගියේය. මෙයට, බලශක්ති හා කාර්මික අමුද්‍රව්‍ය වලට සම්බන්ධ, ඉහල ප්‍රතිලාභ හා දැඩි අවදානම් සහිත “අඩමාන බැඳුම්කර” ද ඇතුලත්ය. 2007-08 අවමුඛ උකස් වෙලඳපොල කඩා වැටීමෙන් පසුව, සමපේක්ෂනයේ මෙම ක්ෂේත්‍රයට මුදල් දොරේ ගැලීය. ඇමරිකාවේ ඉහල ප්‍රතිලාභ සහිත අන්‍යොන්‍ය අරමුදල් වත්කම් 2014 ජූනි වන විට ඩොලර් බිලියන 305 සීමාව පසු කලේය. එය 2009 පැවති මට්ටම මෙන් තුන් ගුනයකි. ඇමරිකානු අඩමාන බැඳුම්කර වෙලඳපොල තුල ගෙවීමට ඇති නය ප්‍රමානය 2007 පැවති බිලියන 700 සිට ට්‍රිලියන 1.2 දක්වා සියයට 71න් ඉහල නැඟුනි.

දැන් කාර්මික අමුද්‍රව්‍ය මිල ගනන්වල කඩාවැටීමේ බලපෑම යටතේ වර්ගීකරන ආයතන, බලශක්ති අංශයේ අඩමාන බැඳුම්කර සියයට 50 ද ලෝහ, පතල් හා වානේ කර්මාන්තයේ බැඳුම්කර සියයට 72ක් ද පැහැර හරිනු ඇති බවට අනතුරු අඟවා ඇත.

නැඟී එන වෙලඳපොල ආර්ථිකයන්හි උග්‍ර අතට හැරෙන අර්බුදය ද එලෙසම, තෙල් උත්පාතය හා වෝල් වීදිය කඩාවැටීමෙන් පසුව චීනයේ වේගවත් ආර්ථික ප්‍රසාරනය තුලින් ඉහල ප්‍රතිලාභ සොයා ගලා ආ දැවැන්ත මුදල් ප්‍රවාහයට බැඳී ඇත. 2004-14 අතර කාලයේ නැඟී එන ආර්ථිකයන්හි ව්‍යාපාරික නය, ඩොලර් ට්‍රිලියන 4 සිට 18 දක්වා ඉහල නැඟුනි. ඉන් වැඩිම ප්‍රමානයක් ගලා ආවේ 2008න් පසුවය.

2008 අර්බුදයෙන් ඉක්බිතිව ආර්ථික පරපුටුකමේ තවදුර වැඩී යාම පෙන්වන තවත් සංඛ්‍යාවක් නම් ගෝලීය නය බර සියයට 40න් එනම් ලෝක ආර්ථිකයේ ප්‍රමානය මෙන් තුන් ගුනයක් වන ඩොලර් ට්‍රිලියන 200 දක්වා වැඩිවී තිබීමය.

ඉවබව නැතිකමේ හා කෑදරකමේ මෙම ව්‍යායාමයට ගෙවීම පිනිස ලොව පුරා කම්කරු පන්තියට එරෙහිව කප්පාදු වැඩසටහන්, තොග පිටින් දොට්ට දැමීම, වැටුප්, විශ්‍රාම සහන හා සෞඛ්‍ය ආධාර කැපීම ක්‍රියාත්මක කෙරේ. මෙ මඟින් සිදුව ඇත්තේ, සැබෑ ආර්ථිකයේ පල්වීම හා පරිහානිය ගැඹුරුවීම පමනි. එහෙත් 2016 හා ඉන් ඔබ්බට ද මෙම ප්‍රහාර අඛන්ඩව ක්‍රියාවට නැඟෙනු ඇත. එය ධනවාදයේ ගැඹුරුවන අර්බුදය විසින් ඉදිරියට තල්ලු කරනු ඇත.

පරපුටුකමේ පුපුරන සුලු වර්ධනය තියුනුම ප්‍රකාශනය අත්කරගෙන ඇත්තේ සමහර විට, 2015 වසරේ ඒකාබද්ධයන්, අත්පත්කර ගැනීම් හා කොටස් යලි මිලට ගැනීම්වල වාර්තාගත ඉහල නැඟීම මඟින් විය හැක. වියදම් හා වැටුප් කැපීම තුලින් හා ඔබාමා පාලනයට ද මහ බැංකුවට ද පින්සිදු වන්නට ඇමරිකානු සමාගම් ගොඩගසාගත් ට්‍රිලියන ගනන් මුදල්, රැකියා උත්පාදනය කරන නිෂ්පාදන ක්ෂේත්‍රයන්හි ආයෝජනය කරනවා වෙනුවට, විශාල ආයෝජකයින්ගේ මඩි තර කරන කොටස් යලි මිලට ගැනීමටත්, ව්‍යවසායන් කප්පාදු කිරීම හා රැකියා කැපීම ප්‍රතිපලය බවට පත්වූ ඒකාබද්ධයන් සඳහාත් යොදවනු ලැබින. මේ අවසන් වන වසර තුල ඇමරිකාවේ වාර්තාගත ඩොලර් ට්‍රිලියන 4.7ක අගයකින් යුත් ඒකාබද්ධයන් හා අත්පත්කර ගැනීම් නිවේදනය කර තිබේ. හැන්ඩෙල්ස්බ්ලාට්හි ලැගාඩිගේ ලිපිය පලවීමට දිනකට පෙරාතුව, වසරේ විශාලතම බිලියන 130ක ඒකාබද්ධයක් පිලිබඳ ආරම්භක නිවේදන නිකුත් විය. ඒ රසායනික කර්මාන්තයේ යෝධ සමාගම් වන ඩියුපොන්ට් හා ඩෝව් ඒකාබද්ධයයි. ඩියුපොන්ට් නිවේදනය කලේ, සිය මධ්‍යස්ථානය වන විල්මින්ටන්, ඩෙලවාහි රැකියා 1700ක් අහෝසි කරන බවයි. ඒ ඩොලර් මිලියන 700ක වියදම් කප්පාදුවේ කොටසක් වශයෙන් 6100ක් වන සමාගමේ ශ්‍රම බලකායෙන් සියයට 10ක් ඉවත් කිරීමේ පියවරක් වශයෙනි.

Share this article: