ඇමරිකාව කොරියානු දේශසීමාව ආසන්නයේ බී-52 බෝම්බ හෙලන ප්‍රහාරක යානයක් පියාසර කරවයි

US flies B-52 strategic bomber close to Korean border

පීටර් සිමන්ඩ්ස් විසිනි, 2015 ජනවාරි 11

කොරියානු අර්ධද්වීපයේ ආතතීන් බියකරු ලෙස උත්සන්න කිරීමට පමනක් තුඩුදිය හැකි පරිදි ඇමරිකානු ගුවන් හමුදාව, 10දා සෝල් නගරයට දකුනේ, දකුනු කොරියානු ඕසන් ගුවන් හමුදා කඳවුර අසල අහසේ, න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන බී-52 බෝම්බ හෙලන ප්‍රහාරක යානාවක් පියාසර කරවීය. බී-52 යානය දෑලේ ඇමරිකානු හා දකුනු කොරියානු ප්‍රහාරක යානා දෙකක් පියාසර කලේ ය. ඕසන් පිහිටා ඇත්තේ, උතුරු හා දකුනු කොරියාවේ විශාල හා දැඩි ලෙස සන්නද්ධ මිලිටරි බල ඇනි වෙන් කෙරෙන, යුද මුක්ත කලාපයට යන්තම් කිලෝමීටර් 77ක දුරිනි.

ඇමරිකානු ෆැසිෆික් බල ඇනියේ අද්මිරාල් හැරී හැරිස් ප්‍රකාශ කලේ එම ගුවන් අභ්‍යාසය, “දකුනු කොරියාවේ හා ජපානයේ අපගේ මිතුරන් සහ ඇමරිකානු මාතෘභූමිය ආරක්ෂා කිරීමට ඇති අපගේ දැඩි කැපවීම ප්‍රදර්ශනය කිරීමකි” යනුවෙනි. ඔහු පසු ගිය සතියේ හතරවන උතුරු කොරියානු න්‍යෂ්ටික අත්හදා බැලීම හෙලා දුටුවේ “අමු අමුවේ ජාත්‍යන්තර වගකීම් උල්ලංඝනය කිරීමක්” ලෙස ය.

වොෂින්ටනය මෑත ම කොරියානු අත්හදා බැලීම ඩැහැගෙන ඇත්තේ, ඊසාන දිග ආසියාවේ මිලිටරි තරකිරීම් වේගවත් කිරීමට ය, මෙය සියල්ලට ම ඉහලින් එල්ල වන්නේ චීනයට එරෙහිව ය. පසු ගිය වසර පහ තිස්සේ ඇමරිකාව එහි “ආසියාවට හැරීමේ” කොටසක් ලෙස, කලාපය සිසාරා මිත්‍රකම් හා මූලෝපායික සම්බන්ධකම් ශක්තිමත් කර ඇත. 2020 වන විට එහි ගුවන් හා නාවික බලයෙන් සියයට 60ක් ආසියා ෆැසිෆික් කලාපයේ ස්ථානගත කිරීමට පෙන්ටගනය සැලැසුම් කර යි. මෙයට දකුනු කොරියාව හා ජපානයේ ඇති ඇමරිකානු හමුදා කඳවුරු තුල ඉතා සූක්ෂම ආයුධවලින් සමහරක් ස්ථානගත කිරීම ද ඇතුලත් ය.

අලුත් ම න්‍යෂ්ටික අත්හදා බැලීම කෙරෙහි ක්ෂනික ඇමරිකානු මිලිටරි ප්‍රතිචාරය, 2013 පෙබරවාරී මාසයේ උතුරු කොරියාවේ තුන්වැනි න්‍යෂ්ටික අත්හදා බැලීමෙන් පසු පැහැදිලිව පෙනෙන, ඔවුන්ගේ ප්‍රතිචාරයෙහි තවත් තීව්‍ර වීමකි. පලමුවෙන් ඔවුන් නව වටයක කටුක සම්බාධක පැනවීය. කෙසේ නමුත්, එම අවස්ථාවේ දී, ධවල මන්දිරයේ මෙහෙයවීම යටතේ පෙන්ටගනය තිරය පිටුපසින්, “ප්ලේ බුක්” වැඩසටහන සැලැසුම් කලේ ය. පෙනෙන හැටියට එය “මිතුරන් සැනසීමට” යොමුවූ එක ප්‍රකෝපකරනයකින් පසු තවත් එකක් සඳහා වන වට්ටෝරුවකි.

2013දී ඇමරිකානු-කොරියානු මිලිටරි අභ්‍යාසවලට උතුරු කොරියාව ප්‍රතිචාර දැක් වූ විට පෙන්ටගනය, “ප්ලේ බුක්” ක්‍රියාවට නැගුවේ, බී-52 බෝම්බ ප්‍රහාරක යානා මෙන් ම දියුනු බී-2 රහස් බෝම්බ ප්‍රහාරක හා එෆ් රැප්ටෝර් නම් සටන් යානා, අවස්ථා දෙකක දී දකුනු කොරියාවට පියාසර කරවමිනි. එසේම ඇමරිකාව, ආසියා ශාන්තිකර කලාපයේ සිය ප්‍රති-බැලිස්ටික් මිසයිල පද්ධතියේ දීර්ඝ කාලයක් සැලසුම් කෙරුනු පුලුල් කිරීම නිවේදනය කිරීමට හා කොරියානු වෙරලට ඔබ්බේ ප්‍රති-මිසයිල් නාශක දෙකක් ස්ථාන ගත කිරීමට ද 2013 උතුරු කොරියානු න්‍යෂ්ටික අත්හදා බැලීම ප්‍රයෝජනයට ගත්තේ ය.

10දා බී-52 ගුවන් ගමන සිදුවූයේ උතුරු කොරියානු අත්හදා බැලීමට යන්තම් දින හතරකට පසු ය. දකුනු කොරියානු යොන්හැප් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කලේ, සිය ඒකාබද්ධ අභ්‍යාසයේ කොටසක් ලෙස කොරියානු වෙරලාසන්න මුහුදට ලබන මාසයේ දී න්‍යෂ්ටික-බලශක්ති ගුවන් යානා සහිත යුද නැවක් යැවීමට සලකා බලමින් සිටින බව යි. වාර්තාවන පරිදි, ඇමරිකානු හා දකුනු කොරියානු ඉහල නිලධාරීන් කොරියානු අර්ධද්වීපයේ “මූලෝපායික අවි” ―එනම්, න්‍යෂ්ටික බෝම්බ ― හා ඒවා එල්ල කිරීමේ පද්ධති ස්ථානගත කිරීම ගැන ද සාකච්ඡා අරඹා ඇත.

10දා පල වුනු වාර්තාවකට අනුව, අතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් න්‍යෂ්ටික අත්හදා බැලීම යුක්තිසහගත කලේ, “ඇමරිකාවේ නායකත්වයෙන් යුත් අධිරාජ්‍යවාදය විසින් ඇතිකරන න්‍යෂ්ටික යුද්ධයක අනතුරින්” කලාපය ආරක්ෂා කිරීමේ “ස්වයං-ආරක්ෂක පියවරක්” ලෙස ය. මැයි මාසයේ පැවත්වෙන පාලක කම්කරු පක්ෂයේ සම්මේලනයට ―1980ට පසු පලමුවැන්න ― පෙරාතුව, ප්යොන්ග්යෑන්ග් පාලනය හයිඩ්‍රජන් බෝම්බයක් ලෙස හඳුන්වන මෙම අත්හදා බැලීම සැමරීමට ඔහු රට පුරා සංචාරය කරමින් ද සිටී.

යථාර්ථය නම්, න්‍යෂ්ටික අත්හදා බැලීමෙන් සිදුවනු ඇත්තේ, උතුරු කොරියාවට එරෙහිව ඇමරිකාව මෙහෙයවන ප්‍රකෝපකරනයන්ගේ අනතුර ඉහල නැංවීම යි. තමන් සතු කුඩා හා නොදියුනු න්‍යෂ්ටික අවි පාවිච්චි කරන බවට ප්යොන්ග්යෑන්ග් විසින් කෙරෙන බැරෑරුම් තර්ජනයක් වහාම මුහන දෙනු ඇත්තේ, ක්ෂනික හා විනාශකාරී ඇමරිකානු ප්‍රතිචාරයකට ය. බී-52 බෝම්බ ප්‍රහාරක යානාවල න්‍යෂ්ටික බලය, උතුරු කොරියාවේ කාර්මික හා මිලිටරි පොදුකාර්ය පහසුකම්වල වැඩි කොටස විනාශ කිරීමට ප්‍රමානවත් ය.

තව ද ප්යොන්යෑන්ග් හි අස්ථාවර තන්ත්‍රය මෙන්ම එහි ඉහල ම නායකයා වශයෙන් තමන්ගේ ම තැන ද නඟා සිටුවීම අරමුනු කර ගෙන, උතුරු කොරියාවේ තාක්ෂනික ජයග්‍රහන ගැන කරන කිම් ජොන්ග් උන් ගේ කයිවාරු සහ ජාතිකවාදී හා විදේශිකයින් නොරුස්සන මනෝගති අවිස්සීම මගින් සිදුවිය හැකි එකම දෙය, දකුනු කොරියානු , ජපාන හා ලෝකය පුරා කම්කරුවන්ගෙන් උතුරු කොරියානු කම්කරුවන් බෙදා වෙන් කිරීම පමනි.

න්‍යෂ්ටික අත්හදා බැලීමේ සැබෑ අරමුන අධිරාජ්‍යවාදයෙන් උතුරු කොරියාව අරක්ෂා කිරීම නොව, එය සමග, විශේෂයෙන් ම වොෂින්ටනය සමග සමායෝජනයක් ඇති කර ගැනීම යි. 10දා නිල රොඩොන්ග් සින්මුන් පුවත්පතේ කතුවැකියක් “උතුරු කොරියාව හා එක්සත් ජනපදය අතර සාම ගිවිසුමක් ”සඳහා වන ප්යොන්ග්යෑන්ග් හි දීර්ඝ කාලීන ඉල්ලීම පුනරුච්ඡාරනය කලේ ය. 1950-53 කොරියානු යුද්ධයෙන් පසුව ගත වුනු දශක ගනනාවක් දීර්ඝ ඝට්ටනය, නිල වශයෙන් අවසන් කිරීම සඳහා එක්සත් ජනපදයට පීඩනය යෙදීමේ එකම මාධ්‍යය ලෙස කොරියානු තන්ත්‍රය දකින්නේ සිය න්‍යෂ්ටික අවි ගබඩාව යි.

එහිදී, ප්යොන්ග්යෑන්ග් පාලනය කෙලින් ම වොෂින්ටනයේ ග්‍රහනයට හසුවෙයි. සහන දෙනවා වෙනුවට ඇමරිකාව හා එහි සහචරයන් සූදානම් කරන්නේ, එරට රාජ්‍යතාන්ත්‍රික හා ආර්ථික හුදකලාව දැඩි කරවන තවත් එක්සත් ජාතීන්ගේ යෝජනාවක් ගෙන ඒම යි. ලෝකය වටා වරායවලට උතුරු කොරියානු නැව් ඇතුල්වීම තහනම් කිරීම සාකච්ඡා කෙරෙමින් පවතින එක පියවරකි. ඒ අතර මිලිටරි පියවරයන්ට අමතරව ඇමරිකාව, මෑත ම න්‍යෂ්ටික අත්හදා බැලීම යොදා ගන්නේ, සිය උතුරු කොරියානු මිත්‍රයා පාලනය කර ගැනීම සඳහා චීනයට යොදන පීඩනය දැඩි කිරීමට ය.

උතුරු කොරියාවේ නව අත්හදා බැලීම නිශ්චිතවම මංමුලා සහගත වන අතර, ආසියාව තුල හා ලෝක දේශපාලනයේ ප්‍රමුඛ අස්ථාවරකාරී සාධකය ඇමරිකානු අධිරාජ්‍යවාදය යි. සිය ඓතිහාසික ආර්ථික පරිහානිය ආපසු හැරවීම පිනිස මිලිටරි බලය මත වාරු වීමට ඔවුන් අධිෂ්ඨාන සහගත ය. ඔබාමා පාලනාධිකාරයේ “ආසියාවට හැරීම” මුලු කලාපයම වෙඩි බෙහෙත් ගබඩාවක් බවට පත් කර ඇත. එය හිතාමතා ම කොරියානු අර්ධද්වීපය වැනි චිරාගත ජ්වලන කේන්ද්‍ර ඇති කර තිබෙනවාක් මෙන්ම, චීනය හා එහි අසැල්වැසියන් අතර නැගෙනහිර හා දකුනු චීන මුහුදුවල නාවුක ආරවුල්, නව ගැටුම් නිර්මානය කිරීම පිනිස යොදාගෙන ඇත.

යන්තම් පසු ගිය මාසයේ, ඇමරිකානු බී-52 බෝම්බ ප්‍රහාරක යානයක් දකුනු චීන මුහුදේ චීනය පාලනය කරන ගල් පර බිමකට ― එනම් නාවුක සැතපුම් 12 ක භෞමික සීමාවේ ― නාවුක සැතපුම් දෙකක් නුදුරින් පියාසර කලේ ය. පෙන්ටගනය පසුව පැවසුවේ, චීන මිලිටරියේ හා බීජීනයේ අනතුරු ඇඟවීමේ සීනු හැඬවූ ගුවන් ගමන අහම්බයෙන් එම සීමාවට ආසන්න වූ බව යි. එවැනි “අහම්බයන්ට” න්‍යෂ්ටික අවි වලින් සන්නද්ධ බලවතුන් අතර ඝට්ටනයක් ඇති වීමේ විභවය ඇති අතර එය වේගයෙන්, පාලනයෙන් පිටත, සර්පිලාකාරව වර්ධනය විය හැක.

කොරියානු අර්ධද්වීපය මත අතපසුවීම් හා වැරදි ගනන් බැලීම් සඳහා වන විභවය, ඊටත් වඩා විශාල ය. දකුනු කොරියානු යොන්හැප් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කලේ, දකුනු කොරියානු මිලිටරිය, යුද මුක්ත කලාපයට මිසයිල, කාලතුවක්කු හා අනෙකුත් අවි පද්ධති යවා ඇති අතර උතුරු කොරියාව තුල කිලෝ මීටර් 24ක් දක්වා විහිද යන දැවන්ත ශබ්දවාහිනී ප්ධතියක් මගින් එහි ප්‍රචාරක ගුවන් විදුලි විකාශනය යලි ඇරඹූ බව යි. දකුනු කොරියානු දේශපාලන හා මාධ්‍ය සංස්ථාපිතය ද යුද්ධය සඳහා සූදානම් වීම යුක්ති සහගත කිරීමට, රටේ ජනතාව මත මිලිටරිවාදී ප්‍රචාරයේ ගෝරනාඩුවක් මෙහෙයවමින් සිටී.

2016 වසර ආරම්භයේ නරක අතට හැරෙන ගෝලීය අර්බුදය, ඉහල යන භූදේශපාලනික ආතතීන් හා ලෝක යුද්ධයක තර්ජනය උග්‍ර කරද්දී, ලෝකය පුරා පිපිරෙන සුලු තත්වන්ගේ හුදෙක් එක් ඇඟවුමක් පමනි, ඊසාන දිග ආසියාවේ අස්ථාවර තත්වය. ගෝලීය ඝට්ටනයක් දෙසට ලුහුටා යාම නැවත්වීමේ එකම මඟ, බංකොලෙත් ධනේශ්වර පද්ධතිය හා යල් පැන ගිය එදිරිවාදී ජාතික රාජ්‍ය ලෙස එය බෙදී තිබීම අවසන් කරන්නාවූ, සමාජවාදී ජාත්‍යන්තරවාදයේ පදනම මත කම්කරු පන්තියේ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම යි.

Share this article: