නව වසරේ කොටස් විකුනා දැමීම

The New Year stock sell-off

2016 ජනවාරි 05

චීන ආන්ඩුව පූර්න පරිමානයේ කඩා වැටීමක් වලක්වා ගැනීම පිනිස සිය ප්‍රධාන හුවමාරුව වසා දැමීමෙන් පසුව, ලොව පුරා කොටස් වෙලඳපොලවල් පහත වැටීම හමුවේ, 2016 වසරේ වෙලඳාමේ පලමු දිනය ඉක්මනින්ම ගෝලීය මූල්‍ය අර්බුදයේ නව වටයක් බවට මුදා හලේය.

නව වසර ලෝක ධනවාදයට තර්ජනාත්මක වසරක් වනු ඇති බවට ධනපති විචාරකයින් ගිය වසර අවසානයේ පල කල අදහස්, කඩිමුඩියේ කොටස් විකිනීම මඟින් සනාථ කරනු ලැබින. 04දා වෙලඳපොලවල් ගිලා බැසීම, දරාගත නොහැකි මූල්‍ය බුබුලු පුපුරා යාමක් ද නැතහොත් අපේක්ෂා කල මූල්‍ය හෘද රෝගයක් ද යන්න ඉදිරියේදී දැක ගත හැකි වනු ඇත. කෙසේ වුව ද එක් දෙයක් නිශ්චිතය. එනම් එය, සත් වසරකට පෙර වෝල් වීදිය කඩා වැටීමෙන් පසුව උග්‍ර අතට හැරී තිබෙන නොවිසඳිය හැකි හා ප්‍රගාඪ ප්‍රතිවිරෝධයන්ගේ ලක්ෂනයක්ය යන්නයි.

සියයට 6.9ක බිඳ වැටීම මඟින් ඇවිලී ගිය ෂැන්හයි කොටස් දර්ශකයේ අර්බුදයත් සමඟ චීන වෙලඳපොල කඩා වැටුනි. එය පිටුපස පැවතියේ, පෙර මාසයේ සිටම අසාර්ථක වෙමින් තිබුනු චීන නිෂ්පාදන කටයුතු, එලිදැක්වූ නව සංඛ්‍යා මඟින් දෙසැම්බර් මාසය තුල තවත් පහත වැටී ඇති බව පෙනී යාමය. එය එක දිගට හැකිලී ගිය දසවන මාසයයි.

වසර විසි පහක් තුල චීනයේ වාර්තාවූ පහත්ම වර්ධන අනුපාතය, 2016 වසර තුල තවත් නරක අතට හැරෙනු ඇති බව වාර්තාවෙන් සනාථ කරනු ලැබින. තෙල් හා අනෙකුත් කාර්මික අමුද්‍රව්‍ය මෙන්ම නිෂ්පාදිත භාන්ඩ සඳහා අපනයන කාන්දමක් ලෙස, ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය හා නිෂ්පාදන මධ්‍යස්ථානයෙහි දැවැන්ත ක්‍රියාකලාපය සැලකිල්ලට ගනිමින් එහි අඩාල වීම පිලිබඳ ඇඟවීම, බ්‍රසීලය හා රුසියාවේ සිට ඕස්ට්‍රේලියාව හා කැනඩාව දක්වා වන, එම භාන්ඩඅපනයන කරන රටවල අර්බුදය ගැඹුරු වීම හා තවදුරටත් භාන්ඩ මිල පහත වැටීම පිලිබඳව බියක් පැතිර යාමට හේතුවී ඇත.

ජපානයේ නිකේ දර්ශකය සියයට 3ට වැඩි ප්‍රමානයකින් ද චීනයේ ප්‍රධාන අපනයනකරුවෙකු වන ජර්මනියේ ඩැක්ස් දර්ශකය සියයට 4.3න් ද පහත වැටුනි. අනෙකුත් ප්‍රධාන යුරෝපීය දර්ශක සියයට 2ට වැඩි ප්‍රමානයකින් ද යුරෝ ස්ටොක්ස් 50 දර්ශකය සියයට 3.14න් ද පහල ගියේය.

ගෝලීය කොටස් වෙලඳපොලවල මෙම විකුනා දැමීම්, ඇමරිකාවේ රිනාත්මක ආර්ථික දත්ත නිසා තවත් උග්‍ර අතට හැරුනි. සැපයුම් කලමනාකරුවන්ගේ ආයතනය වාර්තා කලේ, කම්හල් කටයුතු පිලිබඳ සිය දර්ශකය, නොවැම්බරයේ පැවති 48.6 සිට දෙසැම්බරයේදී 48.2 දක්වා පහත වැටුනු බවයි. දෙසැම්බර් දත්ත 2009 ජූනියෙන් පසු අවම මට්ටමයි. එය 2008 කඩා වැටීමෙන් පසු ඇමරිකානු නිෂ්පාදන ක්ෂේත්‍රය, එක දිගට මාස දෙකක් හැකිලීමට මුහුන පෑ පලමු අවස්ථාව විය.

ඒ අතර ඇමරිකානු වානිජ්‍ය දෙපාර්තමේන්තුව වාර්තා කලේ, නොවැම්බරයේ ඉදිකිරීම් වියදම් සියයට 0.4න් පහත වැටී ඇති බවයි. අසාර්ථක සංඛ්‍යා හේතුකොටගෙන අර්ථශාස්ත්‍රඥයින්, 2015 අවසන් කාර්තුවේ ඇමරිකානු ආර්ථික වර්ධනය පිලිබඳ සිය පුරෝකථන සියයට 1.1ක වාර්ෂික අනුපාතයකින් පහත හෙලීම කරා යොමුකර තිබේ. පල්වීම හා පසුබෑම මඟින් වෙලාගෙන ඇති, කලින් ලෝක ආර්ථිකයේ “දීප්තිමත් ලක්ෂ්‍යයක්” ලෙස සලකන ලද ඇමරිකාව, කාර්මික අවපාතයකට මුහුනපා ඇති බව මෙම සංඛ්‍යා සනාථ කරයි.

ඇමරිකානු ඩව්, එස්ඇන්ඩ්පී 500, නැස්ඩැක් යන දර්ශක පිලිවෙලින් සියයට 1.6, 1.53 හා 2න් පහත ගියේය.

නිෂ්පාදනයේ අර්බුදය ගැඹුරු වීම පිලිබඳ දර්ශක, 2008 වෝල් වීදිය කඩා වැටීමේ තැන් සිට ගොඩනැඟුනු සමපේක්ෂනයේ දැවැන්ත කඩදාසි නිවස ඇද වැටීමේ තර්ජනය මතු කිරීමත් සමග, මූල්‍ය වෙලඳපොල හරහා කම්පන තරංඟ ගමන් කලේය. මහා පසුබෑමෙන් පසුව කිසි විටෙකත් ප්‍රකෘතිමත් නොවූ සැබෑ ආර්ථිකය මුදුනේ එය ලැගුම්ගෙන සිටියේය. ඊනියා “ප්‍රකෘතිය” පිලිබඳ කැත රහස, සියල්ලටත් වඩා පසුබෑම හා මූල්‍ය අර්බුදය අවුලුවන ලද පරපුටු හා අර්ධ සාපරාධී වර්ගයේ කටයුතු ප්‍රසාරනය වීම අධිකාරවත් කලේය යන්න පැහැදිලි කරයි.

2008දී ධනවාදය කඩා වැටීමට ප්‍රමුඛ ආන්ඩු සියල්ල හා ඇමරිකාවේ හා ලෝකයේ මධ්‍යම බැංකු ප්‍රතිචාර දැක් වූයේ, බැංකුකරුවන් හා ආරක්ෂන අරමුදල් සතු ප්‍රකෝටිපතියන් වෙත කිසිදු බාධාවකින් තොරව, ඩොලර් ට්‍රිලියන ගනනින් හරවා යැවීම මඟිනි. එම මුදල් වලින් තමන් රිසි පරිදි කටයුතු කිරීමේ නිදහස ඔවුන් සතු විය. ඇපදී බේරාගත් සමාගම්වල විධායකයින්ගේ ප්‍රතිලාභ සීමිත ආකාරයකින් හෝ පාලනය කිරීමට ඉදිරිපත්වූ සෑම යෝජනාවක්ම මූල්‍ය අධිපතීන් හා ඔවුන්ගේ කුලී දේශපාලඥයින් විසින් වලක්වනු ලැබින.

2008 බිඳ වැටීමෙන් පසුව සිය ධනය දෙගුන කරගත් මෙම සුපිරි ධනවතුන්ට වාසි ගෙන දෙන අයුරින්, කොටස් මිල වාර්තාගත ලෙස ඉහල නැංවීම පිනිස මූල්‍ය වෙලඳපොල තුලට ට්‍රිලියන ගනන් මුදල් පොම්ප කරන ලදී.

ඒ අතර ආන්ඩු, බංකොලොත් වන රාජ්‍යය වෙනුවෙන් ගෙවීම පිනිස කම්කරු පන්තියට රුදුරු ප්‍රහාර එල්ල කලේය. කප්පාදු, වැටුප් කැටිකිරීම හා කැපීම, තොග පිටින් දොට්ට දැමීම් ලෙස ක්‍රියාත්මක වුනු මෙම ප්‍රහාර, සමාගම්වල ලාභ සීමාවන් ඉහල නංවමින්, ජනගහනයේ ඉහලම සියයට 10, විශේෂයෙන්ම ඉහලම සියයට 1 හා සියයට0.1 තව තවත් ධනවත් කලේය.

සමාගම්, තමන් සතු දැවැන්ත මුදල් තොග යොදවනු ලැබුවේ, නිෂ්පාදනය ප්‍රසාරනය කිරීම හෝ යහපත් රැකියා සම්පාදනය කිරීමට නොව, නැඟී එන වෙලඳපොල ආර්ථිකයන්, තර වන බලශක්ති ක්ෂේත්‍රය හා ඉහල ප්‍රතිලාභ හා වැඩි අවදානම් සහිත අඩමාන බැඳුම්කර වෙලඳපොල තුල, සමපේක්ෂනය සඳහා නව මාවත් සෙවීම පිනිසය. මහජනතාවගේ පැත්තෙන් 2015, දුප්පත්කමේ හා මංමුලාවේ වසරක් වෙද්දී, ඒකාබද්ධයන් හා අත්පත්කර ගැනීම්, කොටස් යලි මිලට ගැනීම් හා ප්‍රතිලාභ ඉහල නැංවීම වැනි රැකියා වනසන හා සමාජීය වශයෙන් විනාශකාරී කටයුතුවල වාර්තාගත වසරක් විය.

මූල්‍ය සමපේක්ෂනය හා සූදුව පිලිබඳ මිම්මක් වන, ලෝක ආර්ථිකය තුල දැවැන්ත නයගැති භාවය ගැන යම් අදහසක් ඇතිකරගත හැකි වාර්තාවක් පසුගිය වසරේ මැකින්සි ග්ලෝබල් ආයතනය විසින් පල කරන ලදී. වාර්තාව අනුව, 2007 සිට ගෝලීය නයගැතිකම ඩොලර් ට්‍රිලියන 57න් ඉහල ගියේය. එය ගෝලීය දල දේශීය නිෂ්පාදනයෙන් සියයට 17ක් විය. චීනයේ නය 2014 මැද භාගය වන විට ට්‍රිලියන 7 සිට 28 දක්වා සිව් ගුනයකින් වැඩි විය.

ජනවාරි 01දා වෝල් ස්ට්‍රීට් ජර්නල් පත්‍රයේ පලවූ ලිපියකට අනුව, 2015 වසරේ “ඇමරිකානු ව්‍යාපාරික භූ ලක්ෂනය අධිකාරවත් කලේ, ආයෝජන ක්‍රියාකාරීන්, කොටස් යලි මිලට ගැනීම්, මූල්‍ය හා නානාවිධ ගනුදෙනු (deals) මඟින්ය....” වෙනත් වචන වලින් නම්, සමපේක්ෂනයෙන්ය. මේ අතර සැබෑ ආර්ථිකය, නිෂ්පාදන ආයෝජනයෙන් නිරාහාරව තිබුනි. 2014ට සාපේක්ෂව 2015 දෙවැනි හා තුන්වැනි කාර්තුවල එස්ඇන්ඩ්පී 500 දර්ශකයට අතුලත් සාමාජිකයින්ගේ ප්‍රාග්ධන වියදම්, පහත වැටුනි. 2010 සිට එක දිගට කාර්තු දෙකකම පිරිහීමක් වාර්තාවූ පලමු වතාව එය විය.

පහත වැටෙන තෙල් හා කාර්මික අමුද්‍රව්‍ය මිල ගනන්, හැකිලෙන ලෝක වෙලඳාම හා නොසැලකිය යුතු හෝ රිනාත්මක වර්ධන අනුපාත මඟින් සලකුනු කල සැබෑ ආර්ථිකයේ පල්වීම හා පසුබෑම පිලිබඳ ඇඟවුම් දැකගත හැකිවූ 2015 අවසන් සතිවලදී, සමපේක්ෂන නය කන්දට වල කැපෙන්නට පටන් ගත්තේය. බලශක්තියට සම්බන්ධ අඩමාන බැඳුම්කර මිල ගනන් තියුනු ලෙස පහත වැටීමට පටන් ගත් අතර ඒවා මත සමපේක්ෂනය කල අන්‍යොන්‍ය අරමුදල් වලින් ආපසු ගැනීමේ තදබදයක් ඇතිවූ අතර එවන් අරමුදල් දෙකක් ආයෝජකයින්ගේ එවැනි ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට පෙලඹුනි.

මූල්‍ය පරපුටුකමේ තවත් ප්‍රසාරනය වීම පිලිබඳ වැදගත් සමාජ හා පන්ති ඇඟවුමක්, කම්කරු පන්තිය වෙතින් ධනපතියන් අතට දැවැන්ත ලෙස ධනය යලි බෙදාහැරීම පෙන්නුම් කල වාර්තාවක ඇතුලත් විය.

ලෝක බැංකුවේ ප්‍රධාන අර්ථශාස්ත්‍රඥයා ජනවාරි 01දා පල කල වාර්තාවකින්, ඉහල හා මධ්‍යම ආදායම් සහිත රටවල “සැලකිය යුතු සංඛ්‍යාත්මක ප්‍රවනතාවක්” පෙන්වා දුන්නේය. එයට අනුව, “දදේනි ප්‍රතිශතයක් ලෙස ශ්‍රම ආදායම සමස්ත වශයෙන් හා පෙර නොවූ විරූ අනුපාතයකින් පහත වැටෙමින් ඇත. 1995 සිට 2015 දක්වා ශ්‍රම ආදායම, ඇමරිකාවේදී දදේනි ප්‍රතිශතයක් ලෙස සියයට 61 සිට 57 දක්වා පහත වැටුනි, ඔස්ට්‍රේලියාවේ සියයට 66 සිට 54 දක්වාත්, කැනඩාවේ සියයට 61 සිට 55 දක්වාත්, ජපානයේ සියයට 77 සිට 60 දක්වාත්, තුර්කියේ සියයට 43 සිට 34 දක්වාත් පහත වැටී ඇත.”

ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේ කඩතුරාව යටතේ රටක් රටක් පාසා අභ්‍යන්තරිකව පොලිස්-රාජ්‍ය පියවර ගනු ලැබීම සමඟ එක්ව ආසියාවේ හා යුරෝපයේ මිලිටරි තරකිරීම් ද මැද පෙරදිග පුලුල් වන යුද තත්වය ද හමුවේ, නව වසර ආරම්භ වීමත් සමඟ පැනනැඟී තිබෙන ආර්ථික අනිශ්චිත භාවය යටින් වැටී ඇත්තේ, මහ බලවතුන් අතර ආතතීන් උත්සන්න වීම හා පාලක පන්තීන් තවදුරටත් යුද්ධයේ හා ආඥාදායකත්වයේ මාවතෙහිම දිව වීමය.

ඒ අතරම නව වසර උදාවෙද්දී මූල්‍ය වෙලඳපොලවල් තුල පිලිබිඹුවූ, පාලක පන්ති කවයන් තුල මුල් බැසගත් කම්පන පිලිබඳ තර්ජන හා බිය, වසරේ ඉදිරි කාලය තුල කම්කරු පන්තියේ විරෝධය හා අරගල වැඩී යාම පිලිබඳ තැතිගැන්මකි. අවසන්වූ වසර පෙන්නුම් කලේ, යුරෝපයේ සිට චීනය දක්වාත් ලතින් ඇමරිකාවේ සිට ඇමරිකාව දක්වාත් වර්ධනය වෙමින් පැවති විරෝධතා හා වැඩවර්ජන සහිත පන්ති අරගලයේ නව අවධියක ආරම්භක සලකුනුය.

ඇමරිකාවේදී මෝටර් රථ කර්මාන්තයේ ලොක්කන් හා එක්සත් මෝටර් කම්කරුවන්ගේ සංඟමය විසින් පනවන ලද නව සමාගම් ගැති කොන්ත්‍රාත් වලට කම්කරුවන් දැක්වූ ප්‍රතිරෝධයත්, දහස් ගනන් කම්කරුවන් තොරතුරු හා දේශපාලන නායකත්වය සඳහා ලෝක සමාජවාදී වෙබ් අඩවිය හා ලෝසවෙඅ මෝටර් කම්කරු පුවත් වෙත හැරීම, ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඉතා බලගතු කොටස්වල හිස එසවීමත්, පන්ති අරගල වෙත යොමුවීමත් සලකුනු කලේය.

බැරී ග්‍රේ

Share this article: