නව වසරේ එලිපත්ත මත

On the threshold of the New Year

2015 දෙසැම්බර් 31

2015 වසර අවසන් වෙද්දී, භීතිය හා තර්ජනය, පාලක පන්ති කොටස් තුල මුල් බැසගත් පොදු මනෝභාවය වී තිබේ. ශුභවාදයේ අංශුවක් හෝ සොයගත නොහැකිව ඇත. ධනපති මාධ්‍ය විචාරකයින් ගෙවී යන වසර දෙස බලන කල දැකගෙන ඇත්තේ, එය ගැඹුරු වන අර්බුදයේ අවධියක් ලෙසය. ආන්ඩුවේ කාර්යාල හා ව්‍යාපාරික පාලක මන්ඬල කාමර තුල පවතින පොදු මනෝ භාවය, එලඹෙන වසර අනපේක්ෂිත ප්‍රතිවිපාක ගැබ්කරගත් ගැඹුරු කම්පනයන්ගෙන් පිරී ගිය වසරක්ය යන්නයි.

ෆිනෑන්ෂල් ටයිම්ස් පත්‍රයේ ගිඩියොන් රැක්මන්, 29දා පල කල වර්ෂ අවසාන තක්සේරුව තුල, මේ පැතිර පවතින හැඟීම ප්‍රකාශයට පත් කරයි. “2015 තුල අසහනයේ හා තර්ජනයේ හැඟීමක් ලෝකයේ බල මධ්‍යස්ථාන තුල මුල්බැසගත් බව පෙනී යයි. සියලු කෙරුමන් අනිශ්චිත, තැතිනම් තැතිගත් ස්වභාවයකට පවා පත්ව සිටින බව පෙනී යයි. චීනය හොඳ ස්ථාවරත්වයක සිටින්නේ නැති බව හඟියි. යුරෝපයේ මනෝ ගතිය අඳුරුය. එක්සත් ජනපදයේ පොදු මනෝ භාවය වන්නේ තැවුලය.”

ලෝක තත්වයේ “ලොකුම පොදු සාධකය” පැහෙන ප්‍රභූ විරෝධී මනෝභාවය ලෙස රැක්මන් සටහන් කිරීම වැදගත්ය. අසමානතාවය පිලිබඳ පැතිරෙන සැක සාංකා, එක්සත් ජනපදය, ප්‍රන්සය, බ්‍රෙසීලය හා චීනය වැනි එකිනෙකට වෙනස් රටවල් තුල පොදුවේ දැකිය හැකි දූෂනය කෙරෙහි පල වන කෝපය සමඟ එකට වෙලී ගනියි.” මෙම නිරීක්ෂනය ප්‍රකාශ කරන්නේ, එලඹෙන අවධිය දැවැන්ත සමාජ කලබැගෑනියේ කාලයක් වනු ඇති බව ව්‍යාපාරික මාධ්‍ය තුල වටහා ගැනෙමින් ඇත්තේය යන්නයි.

රැක්මන්ගේ ප්‍රකාශ මෙන්ම පසුගිය දවස්වල පලවූ එවන් වෙනත් වාර්තා ද 2015මුල් සතිය තුල ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් කරන ලද තක්සේරුව සනාථ කරයි. ප්‍රධාන භූදේශපාලනික, ආර්ථීක හා සමාජ අර්බුද පුපුරා යන අතර මැද විරාමයන් “කෙතරම් කෙටි වන්නේ ද කිවහොත් ඒවාට විරාමයන් යයි කීම පවා දුෂ්කරය. අර්බුද හටගන්නේ හුදෙකලා සිදුවීම් ලෙස නොව, අඩු හෝ වැඩි වශයෙන්, වර්තමාන යථාර්තයේ ස්ථිර අංඟ ලෙසය. ගෝලීය ධනවාදී අසමතුලිතයේ වැඩි දියුනු අදියරක් පිලිබඳ අත්‍යවශ්‍ය දර්ශකය ලෙස, 2014 වසර සංලක්ෂනය කල අඛන්ඩ අර්බුදයේ රටාව, 2015 තුල ද වඩාත් උත්සන්න අයුරින් දිගහැරෙනු ඇත.” අපි එසේ ලිව්වෙමු.

සිය පාලනය රැක ගැනීමේදී පාලක පන්තිය, ධනවාදය පිලිබඳ යථාර්තය දැවැන්ත බොරු වලින් හා කුහකත්වය මඟින් යට කර වසං කිරීමේ උත්සාහයක නිරතව සිටී. යුද්ධය, නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ භාෂාවෙන් වසා ඇත. සමාජ විරෝධී දේශීය පිලිවෙත, සමානතාවය හා නිදහස සාක්ෂාත් කිරීම ලෙස පින්තාරු කරයි. එහෙත්, සූරාකෑම, අසමානතාව, යුද්ධය හා මර්දනය පෙරටුකරගත් පද්ධතියක, අර්බුදයේ අවධියක් අංඟලක්ෂනය කෙරෙන මෙය, වඩ වඩාත් ධනවාදයේ අවශ්‍යම ස්වරූපය වන මෙය, ජනතාවගේ දෛනික ජීවිතයේ අත්දැකීම් සමඟ පැටලීම නොවැලැක්විය හැකිව තිබේ. මිත්‍යාව පහව ගොස්, සාරාර්ථය ප්‍රාදූර්භූත වන්නේය.

ලෝක ආර්ථිකයේ කරලිය තුල, ස්ථාවර අර්බුදයේ යථාර්තයට ඉඩ දී, ප්‍රකෘතියක් පිලිබඳ කුමන හෝ බලාපොරොත්තුවක් පහව ගොස් තිබේ. ඇමරිකාව තුල ඊනියා ආර්ථික “ප්‍රකෘතිය” පිලිබඳ සය වසරේදී, මූර්ත විරැකියාව වාර්තාගත මට්ටම් කරා ඉහල ගොස්, වැටුප් වලට ප්‍රහාර එල්ල වෙමින්, මිලියන ගනන් ඇමරිකානුවන්ගේ සෞඛ්‍ය පහසුකම් හා විශ්‍රාම සහන අතුගා දැමෙමින් ඇත. වසරකට සියයට දෙකකට අඩු වර්ධන අනුපාතයක් සහිත, යුරෝපීය බැංකු විසින් ඉල්ලා සිටිනු ලබන රුදුරු කප්පාදු පියවරයන්ගේ ඉලක්කය බවට පත්ව ඇති ග්‍රීසිය ද ඇතුලු යුරෝපීය ආර්ථිකයේ විශාල පදාසයක්, ගැඹුරු පසුබෑමකට මුහුනපා සිටියි. ලෝක ආර්ථික වර්ධනයේ විභව එංජිම ලෙස හුවා දැක්වූ චීනය, තියුනු ලෙස මන්දගාමී වෙමින් ඇත. බ්‍රෙසීලය හා ලතින් ඇමරිකාවේ වැඩි කොටසක් ගැඹුරු පසුබෑමකට මුහුන දේ. රුසියාව අවපාතයක ගිලී ඇත.

මේ අතර ලෝකයේ මධ්‍යම බැංකුවල ලාභ මුදල් ප්‍රතිපත්තිය, අඩමාන බැඳුම්කර හා වෙනත් ආකාරයේ නය තුල මාධ්‍යගතව ඇති සමපේක්ෂන ආයෝජනයේ නව රැල්ලක් නිර්මානය කර ඇත. එය, 2008 පූර්වයේ හටගත් අවමුඛ උකස් අර්බුදයට සමගාමී ක්‍රියාවලියක දරන හැරීමට පටන්ගෙන තිබේ.

පසුගිය සත් වසර තිස්සේ ක්‍රියාත්මකවූ ආන්ඩු පිලිවෙතේ අනිවාර්ය හා බලාපොරොත්තුවූ ප්‍රතිපල වශයෙන්, සමාජ අසමානතාව දැවැන්ත ලෙස ගැඹුරු වී ඇත. ගෙවී යන වසර තුල ලෝක ප්‍රකෝටිපතියන්ගේ ධනය ඩොලර් ට්‍රිලියන 7 ඉක්මවා ඇති අතර ජනගහනයේ ඉහලම සියයට 1, ලෝකය සතු ධනයෙන් හරි අඩක පාලනය සියතට ගෙන තිබේ. ඇමරිකාවේ සමාජ අසමානතාව හා ඒ නිසාම දේශපාලන අසමානතාව කෙතරම් ද යත්, මෑතකදී එක් විද්‍යාත්මක අධ්‍යයනයකින් පෙන්වා දී ඇති පරිදි, “ඇමරිකානුවන් අති මහත් බහුතරයකගේ කැමැත්ත, ආන්ඩුව ක්‍රියාවට නඟන හෝ නොනඟන ප්‍රතිපත්ති කෙරෙහි කිසිදු බලපෑමක් නොකරන බව පෙනී යයි.”

පසුගිය අඩ සියවසක කාලයේ කිසිදු අවස්ථාවක දක්නට නොලැබුනු ආකාරයෙන් මිහිතලය, ලෝක යුද්ධයේ සමීපයට ගෙන ආ 2015 මෙන් ආර්ථික අර්බුදය, භුදේශපාලනික ගැටුම් සමඟ අන්තර් ඡේදනය වේ. ලෝකයේ සෑම කොටසක්ම පාහේ එක්කෝ, යුද පිටියක් බවට පත්ව නැත්නම් එවැන්නක් බවට හැරීමේ විභවය සහිතව පවතියි. දැන් සිරියාව නව “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ” කඩතුරාව යටතේ ගෙන යන, උත්සන්න යුද ධාවනයක ඉලක්කය බවට පත්වීමත් සමඟ මැද පෙරදිග, අධිරාජ්‍යවාදී බලවතුන් විසින් අවුලවනු ලබන කලාපීය සිවිල් යුද්ධයක් තුලට තල්ලු කෙරෙමින් තිබේ. රුසියාවට එරෙහි ඇමරිකානු හා නේටෝ ව්‍යායාමයේ කොටසක් ලෙස නැඟෙනහිර යුරෝපය, යලි මිලිටරිකරනය කෙරෙමින් ඇත. නැඟෙනහිර ආසියාවේදී ඇමරිකාව, දකුනු චීන මුහුද අරභයා චීනයට එරෙහිව ප්‍රකෝපකරනයන්හි යෙදී සිටියි. අප්‍රිකාවේදී ඇමරිකාව හා යුරෝපීය බලවත්තු, ලිබියාව ද කැමරූන්, නයිජීරියා හා තවත් රටවල් තුල ද මෙහෙයුම් සැලසුම් කරමින් සිටිති.

අධිරාජ්‍යවාදය ක්‍රියාත්මක වන්නේ, 20 සියවසේ පලමු භාගයට පමනක් සමාන කල හැකි නිර්දය භාවයක හා සාපරාධිත්වයක මට්ටමෙනි. සමස්ත රටවල්ම කැබලි වලට ඉරා ඇත. ඔක්තෝබරයේදී දේශසීමා වලින් තොර වෛද්‍යවරුන්ගේ ඇෆ්ගනිස්ථාන රෝහලට සිතා මතා එල්ල කල ගුවන් ප්‍රහාර වැනි ප්‍රචන්ඩත්වයන්, කිසිදු වගවීමකින් තොරව ක්‍රියාත්මක කෙරේ. යුද්ධ දියත් කෙරෙන්නේ, ජාත්‍යන්තර නීත්‍යානුකූල භාවයේ හාංකවිසියකින්වත් තොරවය.

20 සියවස තුල විනාශකාරී යුද්ධ දෙකකට තුඩු දුන් මහ බලවතුන්ගේ ගැටුම්, ගෝලීය සම්බන්ධතාවන්ගේ මූලික ගතිකය ලෙස යලිදු වතාවක් මතුවෙමින් තිබේ. ඇමරිකානු අධිරාජ්‍යවාදයේ නිර්දය යුද ධාවනය මඟින් ඔවුන්, රුසියාව හා චීනය සමඟ පමනක් නොව, අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන් සමඟ ද වඩ වඩාත් තියුනු වන ගැටුමක් තුලට ඇද ගනිමින් ඇත. යුරෝපයේ ප්‍රමුඛ බලවතා ලෙස යුරෝපයේ “කාර්යසාධකයාගේ” භූමිකාව ඉටු කිරීම පිනිස ජර්මනියට අවස්ථාව සලසා දෙන පරිදි එරට පිහිටුවා ගැනීමට දරන උත්සාහය, ගෙවී යන වසරේදී දැකගත හැකි විය. ජර්මනිය “ප්‍රබල රටක්” ලෙස තහවුරු කර ගැනීම මඟින් එයට සූදානම් වීම සඳහා දේශපාලඥයින්, මාධ්‍යකරුවන් හා ශාස්ත්‍රාලිකයන් හඬ නැඟීය. “ලෝකය පාලනය කිරීමේ අටියෙන් යුරෝපයේ පාලනය” සියතට ගැනීමේ සැලසුම්, ජර්මානු පාලක පන්තිය යලි වතාවක් පෙරටුකර ගනියි.

පන්ති පාලනය රැක ගැනීම පිනිස කැපවූ “සන්නද්ධ මිනිසුන්ගේ බලයක්” ලෙස රාජ්‍යයේ අනිවාර්ය ස්වභාවය, මහජනතාවන්ට පැහැදිලි වීමට පටන්ගෙන ඇත. වසර අවසන් හරියේදී පැරිසියට හා සැන් බර්නාඩිනෝ වෙත එල්ලවූ ප්‍රහාර වලින් පසුව උත්සන්න කෙරී ඇති, “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” ධනපති ප්‍රජාතන්ත්‍රයේ නිල ක්‍රියාවලිය කටුගා දැමීම යුක්තිසහගත කිරීම පිනිස යොදාගෙන ඇත. ප්‍රන්සය ස්ථිර “හදිසි නීතිය” යටතේ තබා ඇත. මැද පෙරදිග සිදු කරන මිලිටරි විනාශය මඟින් නිර්මිත දැවැන්ත සරනාගත අර්බුදයට ප්‍රතිචාර වශයෙන් යුරෝපීය බලවත්තු, බාධක ඉදිකරමින් සංක්‍රමනිකයින් පලවා හැරීමේ යෙදී සිටිති. නිමක් නැති යුද්ධයේ කොන්දේසි හමුවේ, ප්‍රන්සයේ ජාතික පෙරමුන, ජර්මනියේ පෙගිඩා, ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපති අපේක්ෂකත්වය වැනි, ෆැසිස්ට්වාදී හා නව-ෆැසිස්ට්වාදී බලවේග වැඩෙමින් ඇත.

සිය ගෝලීය අභිලාෂයන් මුදුන්පමුනුවා ගැනීමේදී වධ බන්ධන හා ඩ්‍රෝන් ඝාතන උපයෝගී කරගන්නා ඇමරිකානු පාලක පන්තිය, මර්දනයේ දැවැන්ත යාන්ත්‍රනයක් රට තුල ගොඩනඟා තිබේ. අලුගෝසුවන් ලෙස තෙමේම පත්කර ගත්, දන්ඬ මුක්තික ලෙස කටයුතු කරන පොලිස් නිලධාරීන් විසින් අමු අමුවේ නිරායුධ කම්කරුවන් හා තරුනයින් මරා දැමීමේ නව වාර්තා පල නොවන දිනක් නැති තරම්ය.

උත්සන්න වන අර්බුදයේ අවධියකදී, විවිධ ප්‍රවනතාවන් නියෝජනය කරන සැබෑ පන්ති අවශ්‍යතා හෙලිදරව් වේ. මෙය ගැලපෙන්නේ, ස්ථාපිත ධනපති පක්ෂ වලට පමනක් නොවේ. එය, සුලු ධනේශ්වරයේ “වාම” පක්ෂ වලට ද එලෙසම අදාල වන්නේය. කම්කරු පන්තිය සඳහා 2015 ප්‍රමුඛ මූලෝපායික අත්දැකීම, ලෝක දේශපාලනයේ ප්‍රධාන සන්ධිස්ථානයක් මුනගස්වමින් ජනවාරියේදී බලයට පත්වූ “රැඩිකල් වමේ සභාගය” වන ග්‍රීසියේ සිරිසාවයි. කෙසේ වෙතත් වසරක කාලයක් තුල සිරිසාව, තමන්ගේ සියලු මැතිවරන පොරොන්දු කඩ කල අතර දැන්, තමන් විරුද්ධ යයි පැවසූ එම ප්‍රතිපත්තිම ක්‍රියාවට නඟමින් සිටියි. වසර අවසන් වෙමින් තිබියදී පැවැත්වූ ස්පාඤ්ඤ මැතිවරනය පෙන්නුම් කලේ, කප්පාදු අවසන් නව අවධියක් ගැන කියා සිටිමින්, සිරිසාවේ සහචර පොඩිමොස් වෙත සැලකිය යුතු සහායක් ගොනුවූ ආකාරයයි.

සැබවින්ම ග්‍රීසියේ අත්දැකීම් පෙන්නුම් කල පරිදි, පොඩිමොස්, සිරිසා හා ලොව පුරා ඇති අනෙකුත් එවන් සංවිධාන, කම්කරු පන්තියට තරයේම විරුද්ධය. ‍දේශපාලනිකව හා න්‍යායිකව ඔවුන් මුල්බැස ඇත්තේ, පශ්චාත් නූතනවාදයේ මාක්ස්වාදයට සතුරු සංකල්ප තුලය. ඔවුන් වැලඳගෙන ඇත්තේ වර්ගය, ලිංඟ භේද හා ලිංගිකත්වයයි. පසුගිය වසර ව්‍යාජ වම්මුන්ගේ දේශපාලන බංකොලොත්කම හෙලිදරව් කර ඇතුවා පමනක් නොව, සත්තකින්ම සමස්තයක් ලෙස ධනපති දේශපාලනයේ පොදු දක්ෂිනාංශික නැඹුරුවෙහි එක් ප්‍රකාශනයක් පමනක් වන, “වමේ” යයි සලකා ගන්නා කොටස් පිලිබඳව වැඩෙමින් ඇති වැටහීමට ද එය දායක විය.

මෙම අත්දැකීම් සනාථකර ඇත්තේ, කම්කරු පන්තියේ විප්ලවවාදී බලමුලු ගැන්වීම හැරෙන්නට ධනේශ්වර ක්‍රමයට විරුද්ධ වෙනත් විකල්පයක් නොමැති බවයි.

මෙම වාතාවරනයට එරෙහිව, ධනේශ්වර අර්බුදයේ අවසන් හා අතිශය තීරනාත්මක ප්‍රකාශනය වන්නේ, පන්ති අරගලයේ නැඟීම හා ස්වාධීන බලවේගයක් ලෙස කම්කරු පන්තියේ යලි හිස එසවීම පිලිබඳ වැඩෙන සලකුනුය. වැඩවර්ජන, විරෝධතා හා පෙලපාලිවල රූපයෙන් එක දිගට නැඟී එන දැඩි හා ගැඹුරු කෝපයක් ප්‍රකාශයට පත්වන අතර පාලක පන්තිය, ඒවා හුදෙකලාකොට මැඬීම පිනිස ප්‍රචන්ඬත්වය යොදා ගැනීමේ හා ව්‍යාජ වමේ ද වෘත්තීය සමිති තුල ද සිය පරිවාරක බලඇනි මෙහෙයවා ගැනීමේ ද උත්සාහයක යෙදී සිටියි.

ගෙවී යන වසරේ අවසන් මාසවල ඇමරිකාවේ මෝටර් රථ කම්කරුවන්ගේ ප්‍රතිරෝධය, ඔවුන් එම සමාගම් සමඟ මෙන්ම ව්‍යාපාර ගැති එක්සත් මෝටර් රථ කම්කරු සංඟමය සමඟ ද ගැටුමකට ඇද දමා ඇත. ප්‍රතිගාමී වෘත්තීය සමිති විසින් අටවා තිබෙන බාධකයන් බිඳ හෙලීමට, ලෝකය පුරා රටවලට සමාන්තරව ඇමරිකානු කම්කරුවන් ද දරන ප්‍රයත්නය, නව අවධියකට එලඹෙමින් තිබේ. ආරම්භක අදියරේ පැවතියේ නමුත් මෙම ක්‍රියාවලිය, ඉක්මනින්ම කරලියට එනු ඇත. යුද්ධය, අසමානතාව හා ආඥාදායකත්වය කෙරේ විරුද්ධත්වය දේශපාලන ජීවිතයෙන් බැහැර කර තැබුනු, පන්ති අරගලය කෘතීම ලෙස මැඬ පවත්වා තැබුනු කාල පරිච්ඡේදය අවසානයකට පැමිනෙමින් ඇත.

ගතවූ වසර නිස්කාරනේ ගත වූයේ නොවේ. ලොව පුරා කම්කරුවෝ, තමන් මුහුනපාන සමාජ හා දේශපාලන බලවේග පිලිබඳ දැවැන්ත සවිඥානකත්වයක් අත්කරගනිමින් පාඩම් ඉගෙනීමට පටන්ගෙන ඇත. මේ අර්ථයෙන් ගත් කල, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පාඨක සංඛ්‍යාව තියුනු ලෙස ඉහල යාමට මෝටර් රථ කම්කරුවන්ගේ අරගලය වැදගත් දායකත්වයක් සපයා ඇත. දහස් ගනන් කම්කරුවන් සත්‍යයේ හා ඉදිරිදර්ශනයේ මූලාශ්‍රයක් ලෙස ලෝසවෙඅ වෙත හැරී ඇත. මෙම තත්වය, එලඹෙන අවධියේදී නිමක් නැති ආකාරයෙන්, වඩ වඩාත් විශාල සංඛ්‍යාවන්ගෙන් යලිත් සිදුවිය හැකිය, සිදුවනු ඇත.

දේශපාලන ගැටලු දැවැන්ත තියුනු භාවයකින් මතුකර තිබේ. ධනවාදය මුහුනපා සිටින පැවැත්ම පිලිබඳ අර්බුදය දැන් ස්වයං ප්‍රත්‍යක්ෂ්‍යය. මතු කෙරෙන ප්‍රශ්නය නම්, මෙම අර්බුදය විසඳනු ඇත්තේ කෙසේ ද යන්නයි. වඩාත් වේගයෙන් වර්ධනය වනු ඇත්තේ ලෝක යුද්ධය හා ආඥාදායකත්වය කරා වන ප්‍රවනතාවය ද නොඑසේ නම් සමාජවාදී විප්ලවය කරා වන ප්‍රවනතාව ද? නව වසර එලඹෙද්දී මතුවී ඇති වැදගත්ම ප්‍රශ්නය එයයි.

ජෝසෆ් කිෂෝර් සහ ඩේවිඩ් නෝර්ත්

Share this article: