ගෝලීය ආර්ථික කැලඹීමේ දේශපාලන වැදගත්කම

The political significance of the global economic turmoil

2016 ජනවාරි 21

කෙතරම් වැදගත් වුවත්, ගෝලීය වෙලඳපොලවල 2015 පැවති ඉහලම මට්ටම්වල සිට අගය සියයට 20න් ඇද වැටී ඇති කොටස්, එක දිගට විකුනා දැමීම, හුදෙක් නැඟී එන ආර්ථික ප්‍රතිවිරෝධයන්ගේ ප්‍රකාශනයක් පමනක් නොවේ. එය පෙන්නම් කරන්නේ, පසුගිය විසිපස් වසර තුල පවත්වාගෙන ගිය ධනේශ්වර පාලන ආකෘතියේම ප්‍රගාඪ අර්බුදයක නැඟී ඒමය.

නැඟෙනහිර ආසියාවේ සිට යුරෝපය දක්වා කොටස් වෙලඳපොලවල් පසු බැසීමත් බ්‍රිතාන්‍ය වෙලඳපොල 2003 පැවති මට්ටම් කරා පසු බැසීමත් සමඟ 20දා එක් අවස්ථාවකදී ඒකක 566න් පහත වැටුනු ඇමරිකානු ඩව් ජෝන්ස් දර්ශකය දිනය අවසානයේ 246 න් පහත ගොස් තිබුනි.

2016 ඇමරිකානු වෙලඳපොලට, ආරම්භය නරකම වසරක් බවට පත්වීමේ එම ප්‍රවනතාව වෝල් වීදිය දිගටම අත්දකිමින් සිටියි. 2014දී බැරලය ඩොලර් 100 ඉක්මවූ තෙල් මිල සියයට 75න් පහත වැටී ඇති අතර පසුගිය වසර තුල සියයට 30න් පහත වැටුනු මිල, අඛන්ඩව ඩොලර් 27ත් වඩා පහලට යාම හමුවේ, කොටස් මිල වැටීම සිදුවේ. දැන් ගෝලීය ආර්ථිකය බිඳ දමමින් ක්‍රියාත්මක වන පසුබෑමේ බලවේගයන්හි කැටිවූ ප්‍රකාශනය ලෙස 2003දී මතුව ආ චීනයේ වේගවත් කාර්මීකරනය සමඟ ආරම්භවූ ඊනියා පාරිභෝගික භාන්ඩවල සුපිරි චක්‍රය කඩා වැටෙමින් තිබීම තෙල් මිල වැටීම තුල ප්‍රකාශයට පත් වෙයි.

ඩොලර් වලින් නියම කෙරී ඇති නය බරකට කර ගසා සිටින නැඟී එන වෙලඳපොල ආර්ථිකයන්හි, නය ආපසු ගෙවා ගැනීමේ හැකියාව පිලිබඳ වැඩෙන ගැටලු හමුවේ, ඒවායේ මූල්‍ය ස්ථාවරත්වය ගැන මතුව තිබෙන කනස්සල්ල හා මුදලේ අගය තියුනු ලෙස පහත වැටෙද්දී, 2008 මූල්‍ය අර්බුදයෙන් පසුව ලෝක ආර්ථිකයට සැලකිය යුතු උත්තේජනයක් සැපයූ එම රටවල ආර්ථිකයන් සඳහා ජනවාරි 20 දිනය, “කලු බදාදාවක්” නිර්මානය කලේය.

ඩොලර් ට්‍රිලියන ගනන් ගෝලීය මූල්‍ය වෙලඳපොල වලට පොම්ප කරමින් ඇමරිකානු හා අනෙකුත් මධ්‍යම බැංකු විසින් අනුගමනය කල ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ ප්‍රතිපත්ති, නැඟී එන ආර්ථිකයන්හි ව්‍යාපාරික සමාගම්වල නය ගැනීමේ උමතුවකට තුඩු දුන්නේය. 2004දී ඩොලර් ට්‍රිලියන 4ක්ව තිබූ ඒවායේ නය 2014 වන විට ට්‍රිලියන 18 දක්වා තෙගුනයකින් වැඩිවී ඇත. දැන් මේ නය පිටවීමේ දොරටු වෙත දිවයයි.

ජාත්‍යන්තර මූල්‍ය කටයුතු පිලිබඳ ආයතනයට අනුව, පසුගිය වසරේ නැඟී එන වෙලඳපොල ආර්ථිකයන් වෙතින්, ඩොලර් බිලියන 735ක ප්‍රාග්ධන අරමුදල් පලාගොස් ඇත. ඉන් වැඩි කොටසක් චීනයෙන් ඉවත්ව ගිය අතර එම ආයතනයේ ප්‍රධාන අර්ථශාස්ත්‍රඥයාට අනුව එය “පෙර නොවූ විරූ සිද්ධියකි.” වෙනත් තක්සේරු කිරීම් වලට අනුව ඉවත ගලා ගිය ප්‍රාග්ධන අගය ඊටත් වැඩිය. ස්විට්සර්ලන්තයේ ඩේවෝස්හි පැවැත්වෙන ලෝක ආර්ථික සමලුවේදී කථා කල එක් අර්ථශාස්ත්‍රඥයෙකු පැවසුවේ, 2015 මැද සිට චීනයෙන් පමනක් ඉවත ගලා ගිය අරමුදල් ප්‍රමානය ඩොලර් ට්‍රිලියනයක් පමන වන බවයි.

එහෙත් නැඟී එන වෙලඳපොලවල සිදුව ඇති දෙය, ගෝලීය මූල්‍ය ක්‍රමයේ ගැඹුරු වන අර්බුදය පිලිබඳ වඩා මූලික රෝග ලක්ෂනයක් පමනි. ඩේවෝස් රැස්වීම ආසන්නයේ ජාත්‍යන්තර සමත බැංකුවේ හිටපු ප්‍රධාන අර්ථශාස්ත්‍රඥ හා දැනට ඕඊසීඩී හි විමර්ෂන කමිටුවේ සභාපති වන විලියම් වයිට්, ගෝලීය මූල්‍ය ක්‍රමය අස්ථාවරවී බංකොලොත්වීම් රැල්ලකට මුහුනපා සිටින බව පැවසීය.

“තත්වය 2007 පැවතුනාට වඩා නරකය. පහත වැටීම් සමඟ සටන් වදින අපගේ සාර්වආර්ථික මූනිස්සම් සියල්ල පාවිච්චි කර අවසන්වී ඇත.” ඔහු එසේ පැවසීය. පසුගිය අට වසර තුල කඳු ගැසී තිබෙන නයෙන් විශාල පංඟුවක්, ඊලඟ පසුබෑමේ වටය තුල නොගෙවනු ඇති බව පැහැදිලිය.

යුරෝපීය බැංකු සතුව මේ වන විට ඇති අක්‍රිය නය ප්‍රමානය ඩොලර් ට්‍රිලියනය ඉක්මවයි. ඉන් විශාල පංඟුවක් නැඟී එන වෙලඳපොල ආර්ථිකයන්ට සම්බන්ධය. “එම රටවල් 2008 අර්බුදයෙන් පසුව විසඳුමේ පාර්ශවකරුවෙක් විය, දැන් ඒවා ගැටලුවේ පාර්ශවයක් වී ඇති” බව ඔහු පැවසීය.

මෙම දෘෂ්ටීන් ඩේවෝස් රැස්වීමේදී කථා කල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ෂු මින්ගේ ප්‍රකාශ තුල ද පිලිබිඹු විය. අයෝජකයින් හා ධනය සම්බන්ධ අරමුදල්, එකට පොකුරු ගැසී සිටින අතර වත්කම් වෙලඳපොලවල් භයානක ලෙස එකිනෙකට බැඳී ඇත. එහි අර්ථය, එක් ප්‍රදේශයක ඇති වන ඕනෑම ගැටලුවක් සමස්ත මූල්‍ය පද්ධතිය තුලටම වේගයෙන් පැතිර යාමේ හැකියාව යයි ඔහු අනතුරු ඇඟවීය.

“ප්‍රමුඛ ප්‍රශ්නය වන්නේ, ද්‍රවශීලතාවය නාටකාකාර ලෙස පහත වැටීමේ හැකියාවයි...සියල්ල එක විට සිදුවන්නේ නම් අපට කිසිදු ද්‍රවශීලතා පහසුකමක් නැතිවන්නේය. ආයෝජකයෝ එක විට විකුනා දැමීමට උත්සාහ කරද්දී, ගැනුම් කරුවන් කිසිවෙක් නොසිටිනු ඇත. වෙලඳපොල බිඳ වැටීමට තුඩුදෙන එවන් තත්වයක් කෙරේ ඔහු අවධානය යොමු කලේය.

හිටපු ජාමූඅ ප්‍රධාන අර්ථශාස්ත්‍රඥ හා දැන් හාවඩ් මහාචාර්ය වරයෙකු වන කෙනත් රොගොෆ් ඩේවෝස් රූපවාහිනී හමුවකදී පැවසුවේ, වෙලඳපොලවල් වසා ගෙන ඇති බිය පතුරුවන්නේ, චීන බලධාරීන් “විජ්ජාකාරයන්” නොවන බවට වන වැටහීමයි. යුරෝපයේ හා ජපානයේ පොලී අනුපාතික ශුන්‍යයේ හෝ ඉනුත් පහත පැවතියදී ප්‍රමානාත්මක ලිහිල් කිරීම් බොහෝ දුරටම සිඳී ගොස් ඇත. “එය පෙරට තල්ලු කරන්නේ, මධ්‍යම බැංකු වලට ගලවා ගැනීම සඳහා ඇති නො හැකියාව පිලිබඳ කාරනයෙනි.” ඔහු පැවසීය. සමාගම් ආයෝජන අත්හිටුවාගෙන සිටියි. මක්නිසා ද යත්, ගැඹුරු සැක සාංකා හා පසුගිය වසරේදී චීනය “නිමක් නැති වර්ධනයේ යන්ත්‍රය” බවට පැවති මිත්‍යාව සුන්වී ඇති බැවින්ය.

වැඩෙන මූල්‍ය අර්බුදය යටින් ඇත්තේ, හුදෙක් තෙල් හා කාර්මික අමුද්‍රව්‍ය මිල ගනන් පහත වැටීම ද ගෝලීය වර්ධනය මන්දගාමී වීම ද පමනක් නොව, 1991 සෝවියට් සංඟමය විසුරුවා හල තැන් පටන් ගෙවී ගිය 25 වසර පුරාවට ලෝක ධනවාදය වර්ධනය කර තිබෙන ආර්ථික හා දේශපාලන ව්‍යුහයන්හි බිඳවැටීමේ වඩා ප්‍රගාඪ ක්‍රියාවලියකි.

සෝවියට් සංඟමය ද එය පාලනය කරන ලද ස්ටැලින්වාදී නිලධරය ද සදොස් ලෙස සමාජවාදය සමඟ අනන්‍ය කර ගත් ධනපති ආන්ඩු, දේශපාලන පන්ඩිතයින්, මාධ්‍යව්දීන් හා ශාස්ත්‍රාලිකයින් කියා සිටියේ, මෙම සිදුවීම, ධනවාදයේ හා “නිදහස් වෙලඳපොලේ” ද “නව ලෝක පර්යායක” ද උපත සලකුනු කල, නොවැලැක්විය හැකි හා අවසාන ජයග්‍රහනය වූ බවය.

දැන් වර්ධනය වන්නේ, එයට කෙටි ආයු කාලයක් පමනක් තිබුනු බව සනාථ වී ඇතැයි යන අදහසයි. මෙම මනෝ භාවය, නිව් යෝර්ක් ටයිම්ස්හි තීරු රචක හා “නව ලෝක පර්යායක්” පිලිබඳ මිත්‍යාව වැපිරූ ප්‍රමුඛයෙක් වන තෝමස් ෆ්‍රීඩ්මාන් විසින් 20දා පල කල “එසේනම් කුමක් ද” යන හිසින් යුත් ලිපියක් තුල ප්‍රකාශ විය.

වැඩෙන ආර්ථික හා දේශපාලන කැලඹීම් පෙන්වා දෙමින් ඔහු, “මෑතක සිට ජාත්‍යන්තර වෙලඳපොලවල් තුල ඇතිව තිබෙන කැලඹීම්, සුලු කම්පනයන්ගේ නිර්මාන නොව, බොහෝකොටම කලින් කිව නොහැකි ප්‍රතිවිපාක ජනනය කරන, ගෝලීය පද්ධතියේ ප්‍රධාන කුලුනුවල භූ තලයන්ගේ මාරුවක නිර්මිතයන් ය යන්න වටපිට බැලූ කල, වටහා ගැනීම අමාරු නැත. අවධීන් පොකුරක් එක විටම අවසන් වන්නේ නම් කුමක් ද වන්නේ?” යනුවෙන් විමසනු ලබයි.

මෙම තැතිගැන්මට හේතු වඩ වඩාත් පෙනෙන්නට පටන්ගෙන තිබේ. ආර්ථික පෙරමුනේදී, සෝවියට් සංඟමය විසුරුවා හැරීම තුලින් ශක්‍ය කරන ලද, චීනය ලෝක ධනවාදයේ ලාභ ශ්‍රම වේදිකාව බවට පරිවර්තනය කිරීම ද ලාභ තරකර ගැනීම හා ධනපති කොල්ලය සඳහා ලෝකයේ නව ප්‍රදේශ විවෘත වීම ද අවසානයකට පැමින ඇත.

1991න් පසුව ප්‍රසාරනය වූ යුරෝපීය සංඟමය, එහි සාමාජිකයින් අතර උග්‍ර ගැටුම් හටගැනීමත් සමඟ බිඳී යාමේ අද්දරට පැමින තිබේ. මෙම මතභේද සරනාගත අර්බුදය ද ජර්මනිය විසින් කප්පාදු වැඩසටහන් පනවනු ලැබීම ද තනි මුදලක් පිලිබඳ ගැඹුරු වන ප්‍රතිවිරෝධතා ද මඟින් අවුලුවා ඇති අතර ඒවා පතුලෙන්ම පෙන්නුම් කරන්නේ, ධනපති පදනමක් මත යුරෝපීය රටවල්, සාමාකාමී ලෙස එක්සත් කිරීමේ නොහැකියාවය.

සෝවියට් සංඟමයේ අවසානය හුවා දැක්වූයේ, ඇමරිකාවට, සිය පාලක පන්තියේ අභිමතය පරිදි අවසානයේදී, පරිපූර්න ලෝක ආධිපත්‍යය පිහිටුවීමේ හැකියාව අත්කර දුන් “ඒක ධ්‍රැවීය ව්‍යාපාරයක” ආරම්භය ලෙසය. වසර 25ට පෙර මේ මාසයේ පලමු ගල්ෆ් යුද්ධයේ ආරම්භයත් සමඟ ගෙවුනු සියවස් කාල දැකගනු ලැබුවේ, එකකට පසුව තවෙකක් වශයෙන් හටගත්, තුන්වන ලෝක යුද්ධයක තර්ජනය පවා මතු කෙරෙන යුද්ධයන්ගේ අවධියක් ලෙසය. ඇමරිකාව වැනි බලගතු රටක තනි ජාතියකට ලෝකය පාලනය කල හැකිය යන ඇමරිකානු පාලක ප්‍රභූවේ උමතු මිත්‍යාව, ඇමරිකානු අධිරාජ්‍යවාදය සෑම පෙරමුනකදීම විරුද්ධවාදීන්ට මුහුනදී සිටින තතු හමුවේ, ජාත්‍යන්තර දුස්ස්වප්නයක් බවට පත්ව තිබේ.

මේවා ද අනෙකුත් ක්‍රියාවලීන් ද විශ්වාසය පිලිබඳ උග්‍ර අර්බුදයකට තුඩුදී ඇත. එය දැන්, මූල්‍ය වෙලඳපොලවල නරක අතට හැරෙන තත්වය තුලට හා වඩාත් පුලුල් ලෙස ලෝක ආර්ථිකයම තුලට රිංඟාගෙන ඇත.

එහෙත් නව භූ-ආර්ථික හා දේශපාලන වාතාවරනය තුල ඇති වඩාත්ම වැදගත් සාධකය වන්නේ, වත්මන් පර්යාය කෙරෙහි නැඟී එන සමාජ ප්‍රතිරෝධයේ රැල්ලයි. එය කෝටි ගනන් මිනිසුන්ගේ විඥානය තුල මුල් බැස තිබේ.

පසුගිය 25 වසර තුල, යුද්ධය, සමාජ අසමානතාව හා මර්දනය පිලිබඳ ක්‍රමයක් ලෙස ධනවාදය තුල ක්‍රියාත්මක වන ආන්ඩු යනු අන් කිසිවක් නොව, ධනපති පාලක පන්තීන්ගේ විධායක සභාවය යන මාක්ස්ගේ පැහැදිලි කිරීම, අන් කවරදාකටත් වඩා පැහැදිලි වෙමින් තිබේ.

කිසිදු අව්‍යාජ දේශපාලන නීතියුක්ත භාවයක් දරා සිටින්නේ යයි සැලකිය හැකි එකදු ධනපති ආන්ඩුවක් හෝ ලෝකයේ ඇත්තේ නැත. ධනපති පාලනයේ මෙම අර්බුදය වඩාත්ම සංකේන්ද්‍රනය වී ඇත්තේ, ලෝක ධනවාදයේ මධ්‍යස්ථානය වන ඇමරිකා එක්සත් ජනපදය තුල මිස අන් තැනක නොවේ.

ආන්ඩුවට ආර්ථික හා සමාජ අර්බුදය සම්බන්ධයෙන් කිසිදු පිලිතුරක් නැති කොන්දේසි යටතේ, 2016 ඇමරිකානු ජනාධිපතිවරනය, “සමාජවාදියා (ඩිමොක්‍රටික් බර්නි සැන්ඩර්ස්) හා ආන්තික ෆැසිස්ට්වාදියා (රිපබ්ලිකානු ඩොනල්ඩ් ට්‍රම්ප්) අතර සටනක් ලෙස කෙලවර වීම”, ෆ්‍රීඩ්මාන් සැලකිල්ලට ගන්නා පරිදි, “එසේ වුවහොත්” කුමක් ද?

ලෝක සමාජවාදී වෙබ් අඩවිය පැහැදිලි කර ඇති පරිදි සැන්ඩර්ස්, හතර මුල්ලෙන්ම ඇමරිකානු ධනවාදයට සහාය දක්වන හා ඒ වෙනුවෙන් පෙනී සිටින ධනපති දේශපාලඥයෙකි. එහෙත් කෝටි සංඛ්‍යාත මිනිසුන් විසින් ඔහු වෝල් වීදියේ සමාජවාදී විරුද්ධවාදියෙක් ලෙස සලකනු ලැබීම හා ඒ පදනම මත ඔහුට සහාය ගොනු වීම, තීරනාත්මක වැදගත් කමක් දරයි. එය පෙන්නුම් කරන්නේ, සමාජ හා දේශපාලන විඥානය තුල ගැඹුරට කාවදිමින් ඇති වෙනස්කම්ය. එම වෙනස්කම් ඇමරිකාව තුල පමනක් නොව ජාත්‍යන්තර වශයෙන් ද දැනටමත් ප්‍රකාශනය අත්කර ගනිමින් ඇත. එලඹෙන අවධිය තුල ලෝක ධනපති ආර්ථිකය ද දේශපාලන ව්‍යුහයන් ද බිඳ වැටීම උග්‍ර වන තතු තුල එම විඥානය ද ගැඹුරු වනු ඇත.

වර්තමානයේදී දේශපාලන විඥානය, වත්මන් පර්යාය නොඉවසිය හැකිය යන හැඟීම හා වඩ වඩාත් ගැඹුරු වන නොසංසුන්තාවයේ රූපය ගනිමින් ඇත. තීරනාත්මක කර්තව්‍යය වන්නේ, මෙම මහජන නොසංසුන්තා, ජාත්‍යන්තර සමාජවාදයේ ක්‍රියාමාර්ගය සඳහා දැනුවත් දේශපාලන අරගලයක් තුලට හැරවීමයි.

නික් බීම්ස්

Share this article: