පොලීසිය ගොනු කර ඇති චෝදනා සාවද්‍ය බව බඳගිරිය ගොවීහු පවසති- ලෝක සමාජවාදී වෙබ් අඩවිය

 

පොලීසිය ගොනු කර ඇති චෝදනා සාවද්‍ය බව බඳගිරිය ගොවීහු පවසති

නන්දන නන්නෙත්ති සහ එල්.පී. උදය විසිනි, 2016 ජනවාරි 28

පිරිසිදු පානීය ජලය ඉල්ලා පසු ගිය වසරේ ඔක්තෝබර් 12 උද්ඝෝෂනයේ යෙදුන බඳගිරිය ගොවීන් ට විරුද්ධ නඩුව ජනවාරි 13 දා හම්බන්තොට මහේස්ත‍්‍රාත් අධිකරනයේ දී විභාගයට ගැනුනි.

මෙම නඩුව පවරා ඇත්තේ එදින පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබූ බඳගිරිය ග‍්‍රාමසේවක වසමේ, ඩබ්ලිව්.කේ. සංජීව මධුසංඛ (අවු 23) එච්.බී. සරත් (40) තම්මැන්නාව වසමේ කේ.ජී. සංජීව (30) ඩබ්ලිව්. ඒ. චන්ද්‍රසේන (45) ඊ.ජී. රදීෂ් දේශාන් (22) ටී.එච්. කසුන් එරංග (24) තම්මැන්නාව කොලනියේ එච්.කේ. ආබ්දීන් (68) යහංගල නැගෙනහිර පදිංචි කේ.ඒ. ජස්ටින් සෝමරත්න (58) ජුල්ගමුව ප‍්‍රදේශවාසී එච්.ඒ. සුනිල් (35) යන ගොවීන් 12 දෙනාට විරුද්ධව ය.

උද්ඝෝෂනය පැවති දින “මහා මාර්ගය අවහිර කිරීම, පොලිස් නිලධාරීන්ට පහර දී තුවාල කිරීම, පොදු දේපලවලට අලාභහානි කිරීම” ඔවුන්ට විරුද්ධව නගා ඇති චෝදනා ය. මෙම චෝදනා ප‍්‍රතික්ෂේප කරන ගොවීහු ඒවා පොලීසිය විසින් ගොතන ලද සාවද්‍ය චෝදනා බව කියති.

විත්තිකරුවන් එල්ල කල ගල් ප‍්‍රහාර නිසා ලංගම බස් රථයක වීදුරුවක් කැඩී ගිය බව පොලීසිය අධිකරනයට පැවසුවේ ය. එහෙත් බස් රථයකට සිදු වූ අලාබහානි පිලිබඳ පැමිනිල්ලක් පොලීසියට ලැබී නො තිබිනි. එබඳු පැමිනිල්ලක් නොතිබීම ගැන අවධානය යොමු කල මහේස්ත‍්‍රාත්වරයා නඩුව නිසි ආකාරයෙන් ඉදිරිපත් කරන ලෙසට පොලීසියට නියෝග කලේ ය. එවන් පැමිනිල්ලක් නොතිබීම ම පොලීසිය උද්ඝෝෂනයේ යෙදුන ගොවීන් ට එරෙහිව බොරු නඩුවක් ගොතන බවට සාක්ෂියකි. නඩුව අපේ‍්‍රල් 27 දින යලි කැඳවීමට නියමිත ය.

මහා මාර්ග අවහිර කොට උද්ඝෝෂන කිරීම ප‍්‍රවනතාවයක් බවට පත් ව ඇති නමුත් අන් මිනිසුන්ට හිරහැර වන පරිදි එසේ කිරීම තමන් අනුමත නො කරන බව එහිදී මහේස්ත‍්‍රාත්වරයා ප‍්‍රකාශ කල බව චුදිතයෝ ලෝක සමාජවාදී වෙබ් අඩවි වාර්තාකරුවන්ට පැවසූහ. විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් ද “මහජනයාට හිරිහැර නො වන පරිදි” උද්ඝෝෂනය කල යුතු ය යි පාපොච්චාරන ස්වරූපයෙන් අධිකරනයේ දී පැවසූ බව ඔව්හු කීහ. එසේ ප‍්‍රකාශ කිරීමේ දී සේවාදායකයන් ලෙස නීතිඥයන් තමන්ගෙන් කිසිදු අදහස් විමසීමක් නොකල බව ද ඔව්හු පැවසුහ.

උද්ඝෝෂන වල දී “මහ ජනයා ට හිරිහැර” සිදුවන බවට පොලීසිය සහ ආන්ඩුව චෝදනා කරන්නේ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් මැඩීම යුක්ති සහගත කිරීම සඳහා ය. කොලඹ කතරගම පාරේ, පල්ලෙමලල හංදියේ පැවති උද්ඝෝෂනය ට 1500ක පමන ජනයා සහභාගී වුහ. එයින් සිදු වූ මාර්ග අවහිරය වැලක් වීම සඳහා පොලිසිය විකල්ප මාර්ග වලට වාහන යොමු කිරීමක් කලේ ද නැත. ඒ වෙනුවට කලේ සාධාරන සමාජ අයිතියක් වෙනුවෙන් උද්ඝෝෂනයේ යෙදුන ගොවීන්ට මෘග ලෙස පහර දී විසුරුවා හැරීම ය.

උද්ඝෝෂනයේ දී කි‍්‍රයාකාරී ව මැදිහත් වූ 12 දෙනෙකුට විරුද්ධව සාවද්‍ය චෝදනා මත නඩු පවරා පොලිසිය දැන් උත්සාහ කරන්නේ බඳගිරිය ප‍්‍රදේශවාසීන්ට එරෙහි මර්දනය පෙරට ගෙන යමින් ඔවුන් ව ත‍්‍රස්ත කර තැබීමට ය. එය තම ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් සඳහා අරගලයට එලඹෙන කම්කරුවන් සහ පීඩිතයන් මර්දනය කිරීම සඳහා ධනපති රාජ්‍යය අනුගමනය කරන දුෂ්ට විධික‍්‍රමයකි.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි මෙම නීතීඥයන් සඳහා අනුග‍්‍රහය සපයා ඇත්තේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ (ශී‍්‍රලනිප) පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ හා පක්ෂයේ ප‍්‍රාදේශීය නායකයන් විසිනි. මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ ඊනියා සංවර්ධනය ගැන මහ ඉහලින් තොරොම්බල් කෙරුන නමුත් මහ ව්‍යායාපාරිකයන් ට සහ ආයෝජකයන් ට මිස කම්කරු -පීඩිත ජනයාට ඉන් සෙතක් නොවුන බවට බඳගිරිය ප‍්‍රදේශයේ දහස් ගනනක් ජනයාට පිරිසිදු පානීය ජලය සපයා දීමට අසමත් වීම එක නිදසුනක් පමනි.

පිරිසිදු පානීය ජලය ඉල්ලා උද්ඝෝෂනය කල ගම්පහ රතුපස්වල ප‍්‍රදේශයේ ජනයාට 2013 අගෝස්තු 1 වෙඩි තබා තිදෙනෙකු ඝාතනය කලේ මහින්ද රාජපක්ෂ ආන්ඩුව විසිනි. නාමල් රාජපක්ෂ ඇතුලු ශී‍්‍රලනිප නායකයන් දැන් උත්සාහ කරන්නේ මෛතී‍්‍රපාල සිරිසේන -රනිල් වික‍්‍රමසිංහ ආන්ඩුව කෙරෙහි වර්ධනයවන මහජන වෛරය තම කුජීත ප‍්‍රතිගාමී දේශපාලන උවමනාවන් සඳහා ගසා කෑමට ය.

සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවේ සංවර්ධනය සහ මහ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් පිලිබඳ කයිවාරුව ද එබඳුම ප්‍රෝඩාවකි. බඳගිරිය ජනයාගේ නොසන්සුන්කම වර්ධනය වන තතු තුල එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුවේ නිවාස ඇමති සජිත් පේ‍්‍රමදාස ගේ නායකත්වයෙන් 2015 නොවැම්බර් 23 “නව ජල සැපයුමක්” සඳහා මුල් ගල තැබීමේ උලෙලක් පැවැත් වුනි.

“2015 මැතිවරන පොරොන්දු යථාර්ථයක් වී එලි දකී” යන ව්‍යාජ තේමාව යටතේ පැවැත් වූ එම උත්සවයේ සටන් පාඨය වූයේ “ජල සටන ජය මගට ජන සුවය ඔබ වෙතට” යන්න යි. තමන් මෙම ජල ප‍්‍රශ්නය විසඳීම සඳහා සියලු කටයුතු සූදානම් කර තිබිය දී එය නො තකා උද්ඝෝෂන පැවැත් වූ යේ යැයි පේ‍්‍රමදාස එහි දී ගොවීන්ට චෝදනා කලේ ය.

බඳගිරිය ප‍්‍රදේශවාසීන්ගේ නොසන්සුන්කම වර්ධනය වන තතු තුල එය සමනය කිරීම සඳහා ජල ව්‍යාපෘතියක් සඳහා කැබිනට් අනුමැතිය ලැබුන බවට පේ‍්‍රමදාස රට පුරා ප‍්‍රචාරය කලේ ය. එහෙත් මේ දක්වා ම එවැනි ජල ව්‍යාපෘතියට මුදල් වෙන් කල බවක් වාර්තා වී නැත.

උද්ඝෝෂනයේ කි‍්‍රයාකාරියෙකු වූ ජී.ඩබ්ලිව්.පී. කැලුම්

අදාල විවෘත කිරීමට දින කිහිපයකට පෙර බඳගිරිය මහ විද්‍යාලයේ ‘ජන හමුවක්’ පැවැත් වූ පේ‍්‍රමදාස තමන් මුදල් වෙන් කරගෙන ජල ප‍්‍රශ්නය විසඳීමට කටයුතු යොදා සිටිය දී “කඩාකප්පල් කි‍්‍රයාවක” යෙදුන බවට ගොවීන්ට චෝදනා කලේ ය. ඊට පිලිතුරු දීම සඳහා උද්ඝෝෂනයේ කි‍්‍රයාකාරියෙකු වූ ජී.ඩබ්ලිව්.පී. කැලුම් ඉදිරිපත් වූ විට පේ‍්‍රමදාස ඊට ඉඩ දී නැත. ඔහු එසේ කලේ සත්‍යය එලිදරව්වීම වැලක්වීම ට ය.

ඊනියා මහජන හමුවේ අරමුන වූයේ ප‍්‍රදේශවාසීන්ගේ අවශ්‍යතාවන් සාකච්ඡා කිරීම නොව; ඔවුන් අතර ව්‍යාකූලත්වයන් හා භේද නිර්මානය කිරීම බව කැලුම් ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසුවේ ය.

බඳගිරිය උද්ඝෝෂනයේ දී විවිධ දේශපාලන පක්ෂවල දේශපාලනය වෙනුවෙන් පෙනී සිටීම ජනයා විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබීම පෙන්නුම් කරන්නේ සමස්ත ධනපති දේශපාලන සංස්ථාපිතය කෙරෙහි ම ඔවුන් තුල වැඩෙමින් පවතින අසතුට හා කෝපය යි. පානීය ජලය සඳහා අරගලයට දහස් ගනනක් ඒකාබද්ධ වීම ද සිය ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් වෙනුවෙන් සටන් කිරීමට ජනතාව තුල ඇති දැවෙන උවමනාවේ පිලිබිඹුවකි.

වී මිල පහත හෙලීම, පොහොර මිල ඉහල දැමීම වැනි අයවැය මගින් කෙරුනු කප්පාදු ගම්බද දුගී ගොවීන් තුල අර්බූදය වැඩි දියුනු කරමින් ඇත. මේ තත්වයන් නිසා “යහපාලන ආන්ඩුව” මෙතෙක් පැවති කිසිදු ආන්ඩුවකට වඩා ඉක්මනින් ගම්බද දුගී ගොවි ජනයාගේ අප‍්‍රසාදයට ලක්ව ඇත. තමන් බැඳී සිටි පක්ෂවලින් මෙන් ම රාජ්‍ය ආයතනවලින් ද තම ගැටලු නො විසඳෙන බව ගැන ගොවීන් අතර අවබෝධය වර්ධනය වෙමින් තිබේ.

ධනපති ආන්ඩුවට බලපෑම් දැමීම හා ඊනියා ජාතික කෘෂි ප‍්‍රතිපත්තියක් මගින් පොහොර සහනාධාරය හා සිය නිෂ්පාදන සඳහා සාධාරන මිලක් ඇතුලු ගැටලු විසඳා ගත හැකි යැයි ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) හා ඊට අනුබද්ධ සමස්ත ලංකා ගොවි සම්මේලනයත් සෙසු ගොවි සංවිධානත් මිත්‍යාවක් වගා දිගා කරන්නේ ගම්බද දුගී ගොවීන් අතර ධනපති රාජ්‍ය කෙරෙහි වර්ධනය වන මෙම අවිශ්වාසය සහ කෝපය අවමන් ගත කොට ඔවුන් ගේ අරගල දුර්මුඛ කර ධනපති රාජ්‍යයේ අත යටට ම ඔවුන් යලි තල්ලූ කිරීමට ය.

දේශීය සහ විදේශීය නය කන්දරාවකට හා ලෝක ධනවාදයේ ගැඹුරුවන අර්බුදයේ ප‍්‍රතිවිපාක වලට මුහුන දී සිටින ශී‍්‍ර ලංකාවේ පාලක පන්තියේ සැබෑ න්‍යාය පත‍්‍රය වී ඇත්තේ මැතිවරන කාලයේ චන්ද ගසා කෑම සඳහා ජනයාට දුන් බොරු පොරොන්දු ඉටු කිරීම නොව; ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නිර්දේශිත ආර්ථික කප්පාදු පිලිවෙත් කි‍්‍රයාවට දැමීම ය.

කියවන්න-පොලිස් ප‍්‍රහාරයට ලක් වූ බඳගිරිය ප‍්‍රදේශවාසීහු ලෝක සමාජවාදී වෙබ් අඩවියට කතා කරති.

Share this article: