වතු කම්කරුවන්ගේ ”ජීවන තත්වයන් ඉහල නැංවීමේ දස අවුරුදු සැලැස්ම” ප්‍රෝඩාවක්

එස්. අජන්තන් විසිනි. 2016 ජනවාරි 20

වතු කම්කරුවන්ගේ ”දරිද්‍රතා මට්ටම පහත හෙලීම, ජීවන තත්වය වර්ධනය කිරීම සහ වතු ප‍්‍රජාවට සමාජ සහ ආර්ථික අයිතීන් මුලුමනින් ම බුක්ති විඳීමේ හැකියාව ඇති කිරීම” තම අරමුන බව ප‍්‍රකාශ කරමින් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව විසින් දස අවුරුදු (2015-2025) ක‍්‍රියාන්විත සැලස්මක් යෝජනා කොට ඇත. වතු කම්කරුවන් සම්බන්ධයෙන් පෙර ආන්ඩුවල ”සැලසුම්” මෙන්ම මෙය ද ප්‍රෝඩාවකි. මෙම ”සැලැස්ම” ඉදිරිපත් කර ඇත්තේ සිය ජීවන තත්වයන් කඩා වැටීම සහ වැටුප් වැඩි නොකිරීම නිසා ආන්ඩුව සහ වතු සමාගම් කෙරෙහි වතු කම්කරුවන් අතර වැඩෙන බරපතල විරුද්ධත්වය දියකර හැරීමේ අරමුනෙනි.

වතු කම්කරුවන් අත් විඳින ශෝචනීය ආර්ථික හා සමාජ කොන්දේසි වර්තමාන ආන්ඩුවත් ඇතුලුව, මෙතෙක් පැවති ධනපති ආන්ඩුවලට එරෙහි දෝෂාභියෝගයකි. තීව‍්‍ර වන ලෝක ධනවාදයේ අර්බුදය හා තේ සහ රබර් අපනයන ආදායම කඩා වැටීම මධ්‍යයේ මෛත‍්‍රීපාල සිරිසේන- රනිල් වික‍්‍රමසිංහ ආන්ඩුව යටතේ සිදුවනු ඇත්තේ ද වතු කම්කරුවන්ගේ අයිතීන් තව තවත් කප්පාදු කිරීම මිස වැඩි වර්ධනය වීමක් නොවේ. ලංකාවේ කම්කරු පන්තිය අතර වතු කම්කරුවන් ආන්තික දරිද්‍රතාවෙන් හා දුෂ්කර සමාජ කොන්දේසිවලින් පෙලෙන ප‍්‍රධාන කොටසකි. තනි ශ‍්‍රම බලකායක් ලෙස පුද්ගලික වතු සමාගම් යටතේ 200,000ක් පමන කම්කරු පිරිසක් සෘජුව සේවයේ යෙදෙන අතර මිලියනයකට වැඩි සංඛ්‍යාවක් ඔවුන්ගෙන් යැපෙති.

ඔවුන්ගෙන් බහුතරය, ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව බි‍්‍රතාන්‍ය යටත් විජිතයන්ව පැවති 19 වෙනි සහ 20 වෙනි සියවස්වල දී දකුනු ඉන්දියාවෙන් මෙරටට ගෙනෙන ලද දෙමල කම්කරුවන්ගෙන් පැවත එති. වසර 150 කටත් වඩා ඉහත දී බි‍්‍රතාන්‍ය වතු පාලකයන් විසින් ශ‍්‍රම වහලුන් ලෙස යොදා ගැනුනු ඔවුන්ගේ ජීවන හා සමාජ කොන්දේසිවල මූලික වෙනසක් අදටත් සිදු වී නැත. වතු කම්කරුවන් මත රුදුරු සූරාකෑමේ කොන්දේසි පවත්වාගෙන යාම සඳහා මෙරට සිංහල-බෞද්ධ වර්ගවාදී පාලක පන්තිය ආරම්භයේ සිට ම ඉන්දියානු කම්කරුවන් දෙවන ගනයේ ජන කොටසක් ලෙස සලකා වාර්ගික වෙනස්කම් කිරීමේ හා භේදකාරී දුෂ්ට දේශපාලන පිලිවෙතක් අනුගමනය කලේ ය.

අඩු වැටුප්, ආන්තික දරිද්‍රතාව හා විරැකියාවෙන් පෙලෙන ඔවුන්ට ශිෂ්ට සම්පන්න ලෙස ජීවත් විය හැකි නිවාස, සෞඛ්‍ය හෝ අධ්‍යාපන පහසුකම් නැත.

දස අවුරුදු සැලැස්ම සම්බන්ධව, 2015 මැයි මාසයේ පැවති වැඩමුලුවක දී වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් වී. ශිවඥානසෝති ප‍්‍රකාශ කලේ, ”වතු කම්කරුවන් ඉතා පහල ආදායම් ලබන, තදබද වූ හා නවීකරනය නොවූ නිවාස, ප‍්‍රමානවත් තරම් සෞඛ්‍ය, අධ්‍යාපන හා සුබසාධන පහසුකම් නොමැතිව පීඩාවට පත්ව සිටින” බව ය.

ඔහු උපුටා දැක්වූ සංඛ්‍යා ලේඛනවලට අනුව වතු අංශයේ දරිද්‍රතා ජනගහන අනුපාතයේ ප‍්‍රතිශතය ජාතික සාමාන්‍යය වන සියයට 6.7 ඉක්මවා යමින් සියයට 10.6 අනතුරු අඟවන මට්ටමකට වර්ධනය වී ඇත. ලදරු උපත් මරන සංඛ්‍යාව 1000ට 29 තරම් ඉහල අගයක පවතින අතර අඩු බර දරු උපත් සියයට 30ක් වේ. ආරක්ෂාකාරී පානීය ජල සහ වැසිකිලි පහසුකම් ඇත්තේ පිලිවෙලින් සියයට 52කට සහ සියයට 73කට පමනි. වතු කම්කරු පවුල් 160,000 තවමත් ජීවත් වන්නේ, වසර 150 පෙර ඔවුන් ජීවත් වූ කුඩා ලයින් කාමරවල බව ශිවඥානසෝති එහි දී සදහන් කලේ ය.

මෙම ලයින් කාමර අඩි 10x12 කාමරයකින් හා අඩි 5 හෝ 6 දිග වැරන්ඩාවකින් යුක්ත වාතාශ‍්‍රයෙන් හා වැසිකිලි පහසුකම් නැති කූඩාරම් බඳු ඒවා ය. වතු සමාගම් විසින් වතු කම්කරුවන්ගේ සමාජ වියදම් කප්පාදුව යටතේ අලුතෙන් නිවාස ඉදිකර දීමක් හෝ අබලන් වූ නිවාස අලුත්වැඩියා කිරීමක් ද සිදු නොවේ. බොහෝවිට එක ලයින් කාමරයක පවුල් 3-4 ක් ජීවත් වෙති.

අධ්‍යාපන පහසුකම්වල අඩුකම නිසා වතුකරයේ දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ඉතා පහල ය. පාත්ෆයින්ඩර් පදනම විසින් 2014 ජුනි මාසයේ පැවැත්වූ සම්මන්ත‍්‍රනයක දී ශ‍්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එස්. චන්ද්‍රබෝස් උපුටා දැක්වූ දත්තවලට අනුව අ.පො.ස සාමාන්‍ය පෙල විභාගයෙන් විෂයන් 6ක් සමත් වන්නේ සියයට 29ක් පමනි. වාර්ෂිකව සිසුන් 5000-6000 අතර සංඛ්‍යාවක් කිසිදු රැකියා පුහුනුවකින් තොරව ශ‍්‍රම වෙලඳපොලට පිවිසෙති. ඔවුන්ගෙන් සියයට 64ක් ගනිතය ද සියයට 74ක් ඉංග‍්‍රීසි ද සියයට 67ක් විද්‍යාව හා සියයට 34ක් ඔවුන්ගේ මවු භාෂාව වන දෙමල ද අසමත් වෙති. තවත් සංඛ්‍යා ලේඛනයකට අනුව විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබන්නේ සියයට 1ක් පමනි. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ 2008-2009 දත්තයන්ට අනුව වතුකරයේ ලමා ශ‍්‍රමිකයන්ගේ ප‍්‍රතිශතය සියයට 49.4 කි.

අවම පහසුකම්වලින් පවා තොරව ජීවත් වන වතු කම්කරුවන්ගේ දෛනික ජීවිතය ගෙවෙන්නේ ද දුෂ්කර ආකාරයකට ය. ඔවුන්ගෙන් වඩාත් ම පීඩා විඳින්නේ කාන්තා කම්කරුවෝ ය. අලුයම අවදිවන, ඔවුන් උදේ සහ දහවල් ආහාර සකසා ලමුන් පාසල් යැවීමට අවශ්‍ය කටයුතු කර, පෙරවරු 7.00 වන විට සේවයට වාර්තා කල යුතු ය. දහවල් 1.00 හෝ තමන්ට නියමිත ඉලක්කය පිය වීම සඳහා ඊට වැඩි කාලයක් දළු කැඩීමේ නිරත වන ඔවුන් දළු කිරා බාර දී ලයින් කාමරවලට එන්නේ සවස 6.00 ආසන්නව ය. විදුලි උපකරන හෝ වෙනත් නවීන පහසුකම් කිසිවක් නැතිව දර ලිප්වල ආහාර පිස රාත‍්‍රී ආහාර ගෙන නින්දට යන්නේ රාත‍්‍රී 11.00ට පමන ය.

වතු කම්කරුවන් මත මෙම දුෂ්කර කොන්දේසි පවත්වාගෙන යාමට ආන්ඩුවලට සහ වතු සමාගම්වලට මුලුමනින් ම කොන්දේසි සකසා දී ඇත්තේ ලංකා කම්කරු කොංග‍්‍රසය (සීඩබ්ලිව්සී), ජාතික කම්කරු සංගමය (එන්යූඩබ්ලිව්), කඳුරට ජනතා පෙරෙමුන (යුපීඑෆ්), ලංකා ජාතික වතු කම්කරු සංගමය (එල්ජේඩබ්ලිව්යූ) ඇතුලු සියලුම වතු වෘත්තීය සමිති විසිනි. බලයට පත්වන ආන්ඩුවල අතකොලූ ලෙස ක‍්‍රියා කරන වතු වෘත්තීය සමිති නායකයෝ, වතු කම්කරුවන්ගේ අයිතීන් පාගා තැබීමට සහ ශ‍්‍රම සුරාකෑම උග‍්‍ර කිරීම සඳහා, ධනපති ආන්ඩුවට සහ වතු සමාගම්වලට තමන් සපයන දුෂ්ට සේවාව වෙනුවෙන් මැති ඇමතිකම් සහ වෙනත් වරප‍්‍රසාද සහ වරදාන ලබති.

කම්කරුවන්ගේ වැටුප් වැඩිවීම් අත්හිටුවා ඔවුන් ගේ ආර්ථික සහ සමාජ අයිතීන් කප්පාදු කිරීමටත් ශ‍්‍රම සුරාකෑම තීව‍්‍ර කිරීමටත් ආන්ඩුවේ සහයෝගය ඇතිව වතු සමාගම් විසින් දැන් යෝජිත නිෂ්පාදන පලදායිත්වය ඉහල දැමීමේ වැඩ පිලිවෙලට ද මෙම වෘත්තීය සමිති මුලුමනින් ම සහය දෙති.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන් සමග කතා කල වතු කම්කරුවෝ තමන් අත්විඳින දුෂ්කරතා විස්තර කලහ.

දරුවන් තිදෙනාගේ මව

තිදරු මවක් වන වතු කම්කරු කාන්තාවක් මෙසේ පැවසුවා ය: ”අප කාලයෙන් වැඩි කොටසක් ගත කරන්නේ තේ පඳුරු අතර. සීතල දේශගුනය නොතකා අපි උදේ 4.30-5.00ට පමන අවදි වෙනවා. මොනවා හරි තියෙන දෙයක් දර ලිප්වල තියල අමාරුවෙන් තම්බා ගන්නව. ලමයින්ට කවල සැමියාට කොටසක් තියලා ඉතිරිටික ඔතාගෙන කහට බෝතලයකුත් අරගෙන පෙරෙට්ටුවට දුවනව. වැඩට යන ගමන් විනාඩි කිහිපයක් දෙනව උදේට කන්න. ඔතාගෙන ගිය දේ හිටගෙන ම කාලා නිවිල ඇල්වුන තේ කහට ටික බොනව. දරුවෙක් ලැබෙන්න හිටියත් මේ විදිහට තමයි දිගට ම සිද්ධ වෙන්නේ. පෝෂ්‍යදායි ආහාර ගන්නේ නැතුව සෞඛ්‍ය සම්පන්න දරුවන් උපදින්නේ කොහොමද? මගේ දරුවන් තුන් දෙනාම උපදින කොට බර අඩු යි. ඒ වයසේ හැම දරුවෙකුගේ ම තත්වය එක සමාන යි.”

දික්ඔය දරවල වත්තේ සිවගමි වැන්දඹු මවකි. ”මට දරුවන් පස් දෙනෙක් ඉන්නව. සැමියා වයස 40 දී මැරුන. එදා පටන් මට ලැබෙන සොච්චම් වැටුපෙන් තමයි ලමයි හදා වඩා ගන්නේ. ලමයි පස් දෙනෙක් එක්ක පවුලක් නඩත්තු කරන එක කොයිතරම් දුෂ්කර ද කියල කෙනෙකුට හිතා ගන්න පුලුවන්. පසුගිය හත් අවුරුද්ද තුල පන රැකගත්තේ අමාරුවෙන්. මට ලමයි ඉස්කෝලේ යවන්න පුලුවන් කමක් තිබුනේ නැහැ. ලොකු දුව කොලඹ ගෙදරක වැඩට යැව්ව. පුතා වේටර් කෙනෙක් විදිහට හෝටලේක වැඩ කරනව.”

වතු ඩිස්පෙන්සරි සඳහා පුහුනු වෛද්‍යවරුන් නැත. කෙටි පුහුනුවකින් පසු ඖෂධවේදියෙකු හෝ ආධුනික ඖෂධවේදියෙකු සහකාර වෛද්‍ය නිලධාරියෙකු ලෙස පත් කරනු ලබයි. බරතල රෝගී තත්වයක දී පමනක් රජයේ රෝහලකට රෝගියෙකු යවන නමුත් ඒ සඳහා ද ප‍්‍රමානවත් තරම් ප‍්‍රවාහන පහසුකම් නැති අතර තිබෙන පහසුකම් ලබාගැනීම සඳහා ද දීර්ඝ ක‍්‍රියා පටිපාටියක් වතු කම්කරුවන් විසින් අනුගමනය කල යුතු ය.

බොහෝ වතුවලට යුනිසෙෆ් ආධාර යටතේ ගිලන් රථ ලබා දී ඇතත් හදිසි අවස්ථාවක දී ඒවා ලබා ගැනීමට පැය තුන හතරක් ගත වන බව මුතු බාලක‍්‍රිෂ්නන් නමැති කම්කරුවා පැවසුවේ ය. ”ඒ වෙන කොට ලෙඩා මැරෙන්නත් පුලුවන්. සමහර වෙලාවට ගිලන් රථය වෙනුවට ලැබෙන්නේ ලොරියක්” ඔහු කීවේ ය.

ලදරුවන්ට අවම වසයෙන් මාස හය දක්වා මව්කිරි දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් නිර්දේශ කර ඇතත් අදාල පහසුකම් කම්කරු කාන්තාවන්ට සලසා නැත.

දාරකාගාරවල රඳවා යන දරුවන් බැලීමට දහවල් කෑම පැයේ දී විනාඩි කිහිපයක් පමනක් ලැබෙන බව නෝවුඩ් වත්තේ විශ‍්‍රාමික කම්කරු කාන්තාවක් වන තමෝදිරන් වරලක්ෂ්මි (60) කීවා ය. ”ඒ නිසා අම්මලාට දරුවන්ට අවශ්‍ය තරම් මව් කිරි දෙන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. ඉස්සර කාලේ වැඩිහිටි කාන්තාවන් පත් කරලා තිබුනා ලමා උපස්ථායිකාවන් ලෙස. ඔවුන් භාෂාව දන්නා නිසා දරුවන් හොඳින් බලා ගන්න පුලුවන් වුනා. දැන් ඉන්නේ සිංහල අය. ඒ අය සමග පුද්ගලිකව අපි අමනාප නැහැ. නමුත් ඒ ගොල්ලන්ට දෙමල භාෂාව ගැන දැනුමක් නැති නිසා ලමයි සමග හෝ අපි සමග කතා බහ කරන්න අපහසුයි, එවැනි තත්වයක් තුල ඒ ගොල්ලෝ කොහොමද අපේ ලමයි බලා ගන්නේ?” ඇය විමසුවා ය.

Share this article: