ගෝලීය කොටස් වෙලඳපොල කඩා වැටීම හමුවේ නව මූල්‍ය අර්බුදයක් පිලිබඳ බිය පලවෙයි

Global stocks plunge amid fears of a new financial crisis

බැරීග්‍රේ විසිනි, 2016 ජනවාරි 16

ඇමරිකාවේ හා ලොව පුරා කොටස් වෙලඳපොලවල් සතිය නිමා කලේ, දැවැන්ත විකුනා දැමීම් රැල්ලක් සමඟය. චීනයේ පසුබෑම හා තෙල් ද ප්‍රධාන කාර්මික අමුද්‍රව්‍යවල මිල ගනන් ද කඩා වැටීම මඟින් කුලු ගැන්වුන, 2007-08 ව්‍යසනය පරයා යන නව මූල්‍ය අර්බුදයක් පිලිබඳ භීතියෙන් වෙලඳපොලවල් කැලඹීමට පත් විය.

ෂැන්හයි කොම්පොසිට් දර්ශකය සියයට 3.55න් පහත වැටීම හා ලෝක වෙලඳපොලේ තෙල් බැරලයක මිල ඩොලර් 29 දක්වා සියයට 6න් පහත වැටීමත් සමඟ චීන වෙලඳපොලේ ඇතිවූ තියුනු පසුබෑම හමුවේ, විකුනා දැමීමේ තදියමක් ඇතිවිය. එම මනෝ ගතිය ෆෙඩරල් ඉන්වෙස්ටර්ස්හි ප්‍රධාන මූලෝපායඥයා මෙසේ කැටිකර දැක්වීය. “අයෝජකයෝ මරන බයෙන් පෙලෙන්නට වූහ, එය සිදුවන්නේ වසරේ පටන්ගැනීමත් සමඟම වීමේ කාරනය යම් ඓතිහාසික වැදගත් කමක් දරයි.”

චීන කොටස් අලෙවිය තුල ඇති වැදගත් කාරනය නම්, බීජිනය විසින්, රටේ පූර්න වසරක වර්ධන සංඛ්‍යා, 25 වසරකට පසුව ලබන අඟහරුවාදා වන විට එලි දැක්වීමට නියමිතව තිබීමයි.

ඇමරිකාව තුල ශාඛා 154ක් ද ඇතුලුව සිය ශාඛා 269ක් වසා දමන බව වොල්මාර්ට්, 15දා නිවේදනය කලේය. අහෝසි වන මුලු රැකියා සංඛ්‍යාව 16000කි. ගෝලීය කොටස් හා බැඳුම්කර වෙලඳපොලවල කැලඹීම් යටින් පවතින, ගෝලීය සැබෑ ආර්ථිකයේ නරක අතට හැරෙන පසුබෑම සලකුනු කරමින් මැසි හා සියර්ස්-ක්මාර්ට් විසින් සිය බහු ශාඛා වසා දැමීම පිලිබඳ නිවේදනය කිරීම පිටුපසින් වොල්මාර්ට් ප්‍රකාශය නිකුත් විය. එසේම එය, ඇමරිකානු ජනගහනයේ පුලුල් කොටස් වලට බලපාන, වැටුප් පහත වැටීම හා ආදායම් අනාරක්ෂිත වීම පිලිබඳ යථාර්තය ද සලකුනු කරයි.

එසේම මේ සතිය තුල බ්‍රිටිෂ් පෙට්රෝලියම් සමාගම, බලශක්ති ක්ෂේත්‍රයේ ඉහල නැඟෙන මංමුලාව පෙන්නුම් කරමින්, රැකියා 4000ක් අහෝසි කරන බව නිවේදනය කලේය.

සිකුරාදා කොටස් අලෙවියට සමගාමීව යුරෝ ස්ටොක්ස් 50 දර්ශකය සියයට 2.27න් ද ඇමරිකාවේ සියලු ප්‍රධාන දර්ශක සියල්ල සියයට 2ට වැඩි ප්‍රමානයකින් ද පහත වැටුනි. වෝල් වීදියට ආරම්භය නරකම වසරක් උදා විය. ඩව් ජෝන්ස් දර්ශකය වසර තුල මේ දක්වා සියයට 8.24ක්, එනම්, ඒකක 16000ක සීමාවෙන් ද පහත වැටුනි. එස් ඇන්ඩ් පී 500 දර්ශකය සියයට 8 ඉක්මවමින් ද නැස්ඩැක් 10 ඉක්මවමින් ද පහත වැටුනි.

මෑතක පැවති ඉහල මට්ටම්වල සිට සියයට 10 ඉක්මවූ වැටීමක් අත් දුටු ඇමරිකාවේ ප්‍රමුඛ දර්ශක තුනම නිල වශයෙන් සකස්විය යුතුය. චීන කොටස් දර්ශක බුල් මාකට් මට්ටමෙන් බෙයා මාකට් මට්ටමට වැටී ගියේ, අගයෙන් සියයට 20කටත් වඩා අතුගෑවී යාම තුලය. නව වසරේ පලමු දෙසතිය තුල පමනක් ගෝලීය කොටස් අගය ඩොලර් ට්‍රිලියන 5.7න් සෝදා පාලු විය.

ගෝලීය ආර්ථික කටයුතු පිලිබඳ මිනුම් දන්ඬක් වන තෙල් මිල, මේ වසර තුල පමනක් සියයට 20න් පහත ගොස් තිබේ. එය 2008 මූල්‍ය අර්බුදයෙන් පසුව තෙල් මිලෙහි තියුනුම කඩා වැටීමය.

ඛනිෂ්ඨ මාටින් ලූතර් කිංගේ දිනය වෙනුවෙන් වෙලඳපොල සඳුදා දිනයේ වසා තැබීමත් සමඟ තෙදින සති අන්තයක් උදාවෙන අතර සර්පිලාකාරව ගැඹුරුවන අර්බුදය පිලිබඳව භාන්ඬාගාරය හා ෆෙඩරල් මහ බැංකුවේ නිලධාරීන් ද වෝල් වීදියේ ප්‍රමුඛ බැංකු හා ආරක්ෂන අරමුදල්වල නියෝජිතයින් ද අතර තිරය පිටුපස උනුසුම් සාකච්ඡා පැවැත්වෙනු ඇත. අසාමාන්‍ය පියවරක් ගනිමින් ධවල මන්ඳිරය 15දා, ආයෝජකයින් අස්වැසීම පිනිස වෙලඳපොල හැසිරීම් ගැන කථා කලේය. ධවල මන්ඳිරයේ ප්‍රකාශක ජොෂ් අර්නස්ට් පැවසුවේ, වෙලඳපොල හැසිරීම් හා ආර්ථිකයට ඒවායින් ඇති කල හැකි බලපෑම ගැන නිලධාරීන් සමීපව නිරීක්ෂනය කරමින් සිටින බවය.

2008 අර්බුදයෙන් පසුව ලෝක ආර්ථිකයට, සියල්ල නයෙහි දැවැන්ත වර්ධනය මත පාදක වූ, චීනය හා නැඟී එන වෙලඳපොලවල් සහිත රටවල් ගනනාවක වේගවත් වර්ධනයෙන් ද කොටස් මිලෙහි වේගවත් නැඟීමෙන් ද මුක්කුව ලැබුනි. ඇමරිකාවේ, යුරෝපයේ හා ආසියාවේ මධ්‍යම බැංකු, මූල්‍ය පරපුටුකම හා සමපේක්ෂනය තවත් ඉහල යාමට තල්ලුව සපයමින්, මූල්‍ය වෙලඳපොලවලට ඩොලර් ට්‍රිලියන ගනන් පොම්ප කලහ. කම්කරු පන්තියට එරෙහි නිර්දය කප්පාදු සමඟ අත්වැල් බැඳගත් මෙම තත්වය, ධනය සමාජය පතුලේ සිට මුදුනට මාරු කරමින් ලෝකයේ ධනවතුන් හා සුපිරි ධනවතුන් පෙර නොවූ විරූ ආකාරයෙන් තර කලේය.

එහෙත් ඇමරිකාවේ හා අනෙකුත් කාර්මික රටවල නිෂ්පාදන බලවේගයන්හි ව්‍යාපාරික ආයෝජන, තියුනු ලෙස පිරිහීමට ලක් විය. එයට විපරිත ලෙස සිදු වූයේ, බැංකු හා සංගතවල දැවැන්ත ලාභ, කොටස් යලි මිලට ගැනීම්, ප්‍රතිලාභ නැංවීම, ඒකාබද්ධයන් හා අත්පත්කර ගැනීම් වැනි බොහෝකොටම පරපුටු කටයුතු වලට ඇදී යාමය.

මේ සතිය මුල, සෝසියටි ජෙනරල් මූලෝපායඥ ඇල්බට් එඩ්වඩ්ස් ලන්ඩනයේ පැවති ආයෝජන සමුලුවකදී පැවසුවේ, සිදුවෙමින් ඇති ගෝලීය ආර්ථික වෙනස්කම්, “එක්සත් ජනපදය යලිත් පසුබෑමකට තල්ලු කරනු” ඇති බවයි. නව මූල්‍ය අර්බුදයක් පැමිනිය හැකි බව පවසමින්, “සෑම දෙයක්ම 2008-09 තරම්ම නරක් වනු” ඇති බව ඔහු සටහන් කලේය. “එක්සත් ජනපදය තුල දැවැන්ත නය ප්‍රසාරනයක් අපි දැක්කෙමු. ඒ සැබෑ ආර්ථික කටයුතු පිලිබඳව නොවේ, නය ගෙන ඇත්තේ කොටස් යලි මිලට ගැනීමටයි.”

දැන්, චීනය වේගයෙන් මන්දගාමී වන අතර බ්‍රසීලය හා රුසියාව අවපාතයක ගිලී යද්දී හා අනෙකුත් නැඟී එන ආර්ථිකයන් පහත වැටෙන අමුද්‍රව්‍ය මිල ගනන් හා ඉහල යන නයෙහි බලපෑමට හසුව තෙරපෙද්දී, නිසැගයෙන්ම අස්ථාවර මූල්‍ය කඩදාසි නිවස කඩා වැටීමට පටන්ගෙන ඇත.

සමපේක්ෂනෙයේ වැඩීම පිලිබඳ මිම්මක් වන්නේ, 2009 පටන් ඇමරිකාවේ අඩමාන බැඳුම්කර වෙලඳපොල, සියයට 80න් හෙවත් ඩොලර් ට්‍රිලියන 1.3න් ඉහල නැඟී තිබීමයි. බලශක්ති අඩමාන බැඳුම්කර, සියයට 180න් හෙවත් බිලියන 200 දක්වා ඊටත් වැඩි වේගයකින් වර්ධනය විය. මෑත සති වලදී තෙල් හා අනෙකුත් අමු ද්‍රව්‍ය මිල එක දිගට වැටෙද්දී හා චීනය මන්දගාමී වෙද්දී, අඩමාන බැඳුම්කර වෙලඳපොල කඩා වැටීමේ සලකුනු පෙන්නුම් කර තිබේ. මිල තියුනු ලෙස පහත වැටෙමින්, සමහරක් බලශක්ති අඩමාන බැඳුම්කර අන්‍යොන්‍ය අරමුදල් කඩා වැටෙයි.

ලෝකයේ විශාලතම පෞද්ගලික ආයෝජන අරමුදලක් වන බ්ලැක්රොක්හි ප්‍රධාන විධායක ලැරී ෆින්ක් ඇමරිකාවේ සීඑන්බීසී මාධ්‍ය ජාලයට පැවසුවේ, වෙලඳපොල අර්බුදය තවත් නරක අතට හැරෙනු ඇති බවයි. “මා සැබවින්ම සිතන්නේ වීදිවල ඇති තරම් ජීව රුධිරය නොමැති බවයි. පලමු කාර්තුවේ මැද හරිය වෙද්දී රැකියා වලින් දොට්ට දැමීම පටන් ගන්නවා ඔබට දැකගත හැකිවේ. නිසැකවම දෙවන කාර්තුව තුල ද එය අඛන්ඩව ඉදිරියට යනු ඇත.”

15දා නිකුත්වූ ආර්ථික දත්ත මාලාවක් ඇඟවුම් කලේ ඇමරිකානු ආර්ථිකය තියුනු ලෙස මන්දගාමී වන බවයි. මහ බැංකුව වාර්තා කලේ, ප්‍රධානකොටම පිරිවැය කපා හැරීම හා පතල් කර්මාන්ත නිමැවුම හැකිලීයාමේ ප්‍රතිපල වශයෙන් දෙසැම්බරයේදී කාර්මික නිෂ්පාදනය සියයට 0.4න් පහත ගිය බවයි. එය නොවැම්බරයේදී සියයට 0.9න් පහත වැටුනි. කාර්මික නිෂ්පාදනය 2015 අවසන් කාර්තුවේදී සියයට 3.4ක වාර්ෂික අනුපාතයකින් පහත වැටුනි.

පසුගිය සතියේ සැපයුම් කලමනාකරන ආයතනය සිය නිෂ්පාදන දර්ශකය ඉදිරිපත් කල අතර, දෙසැම්බරයේදී එය 48.2 දක්වා පහත වැටුනු බව පෙන්නුම් කලේය. එය 2009න් පසු පහත්ම අගයයි. 50ට අඩු කුමන හෝ සංඛ්‍යාවක් ඇඟවුම් කරන්නේ එහි සංකෝචනය වීමකි.

නිව් යොර්ක් ෆෙඩරල් මහ බැංකුව මේ සතියේදී සිය එම්පයර් ස්ටේට් නිෂ්පාදන මිනුමේ දර්ශකය නිකුත් කල අතර එය පෙන්වූයේ, දෙසැම්බරයේ පැවති රින 6.21 අගය ජනවාරි වන විට රින 19.37 දක්වා පිරිහී ගිය බවයි. “නිව් යොර්ක් නිෂ්පාදන සමාගම්වල ව්‍යාපාරික කටයුතු, 2007-09 පසුබෑමේ තැන් පටන් කවර අවස්ථාවකදී හෝ පෙන්වා ඇති තියුනුම පිරිහීමට මුහුන දුන්නේය. ඒ 2016 ජනවාරි සමීක්ෂනයට අනුවය.”

මේ වාර්තා පෙන්නුම් කරන්නේ ඇමරිකාවේ කාර්මික පසුබෑමක් පවතින බවය. මයිකල් වෝඩ් යන සීඑස්එක්ස් රේල්වේහි ප්‍රධාන විධායක රූපවාහිනී හමුවකදී මේ සතියේ පවසුවේ, රට “භාන්ඬ ප්‍රවාහනයේ පසුබෑමකට” මුහුනදී සිටින බවයි. ගල් අඟුරු හා අනෙකුත් අමුද්‍රව්‍ය තොග ප්‍රවාහනය වේගයෙන් පහත වැටෙමින් ඇති බවයි.

වෙලඳ දෙපාර්තමේන්තුව 15දා වාර්තා කලේ පෙර මාසයට වඩා දෙසැම්බරයේදී ඇමරිකාවේ සිල්ලර වෙලඳාම සියයට 0.1න් පහත ගිය බවයි. 2015 වසරටම සිල්ලර වෙලඳාම වැඩි වුනේ යන්තම් සියයට 2.1න් පමනි. එය 2009න් පසු පහතම අගයයි. 2014 එය සියයට 3.9න් ඉහල ගොස් තිබුනි. ජාතික සිල්ලර වෙලඳ සංඟමය වෙනම වාර්තාවකින් පෙන්වා ඇත්තේ නිවාඩු කාලයේ වර්ධනය සියයට 3ක් පමනක් වූ බවය. ඔවුන් ගනන් බලා තිබුනේ සියයට 3.7ක වැඩිවීමකි.

වානිජ්‍ය දෙපාර්තමේන්තුව ද වාර්තා කලේ, ව්‍යාපාරික තොග ලේඛන නොවැම්බරයේදී සියයට 0.2න් පහත වැටුනු බවය. එය 2011 සැප්තැම්බරයෙන් පසු ලොකුම වැටීමයි.

කම්කරු දෙපාර්තමේන්තුවේ සැපයුම් මිල දර්ශකය පසුගිය මාසයේදී සියයට 0.2 වැටීමක් පෙන්නුම් කල බව සඳහන් කලේය. 2015 වර්ෂයට සැපයුම් දර්ශකය (මිල) සියයට 1න් පහත යාමෙන් පෙන්නුම් කලේ ඇමරිකානු ආර්ථිකයේ අවධමනාත්මක ප්‍රවනතාය.

ආර්ථිකය පිලිබඳ දුබල දත්තවල ප්‍රතිපල වශයෙන් ජේපීමෝගන් චේස් බැංකුව, 2015 අවසන් කාර්තුව සඳහා වන සිය දදේනිට අනුව, වර්ධනය පිලිබඳ ගනන් බැලීම්, සියයට 1 වාර්ෂික අනුපාතයක සිට සියයට 0.1ක අනුපාතයක් දක්වා පහත හෙලීය. බාක්ලේස් බැංකුව, සිය ගනන් බැලීම් දහයෙන් හතරක් වන සියයට 0.3 අනුපාතයක් දක්වා පහත දැමීය.

ආර්ථික අර්බුදයේ තියුනු නැඟීම, භූදේශපාලන ආතතීන් තවදුරටත් ගිනියම් කර, ඇමරිකාව හා අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන් යුද්ධය කරා තල්ලු කරනු ඇත. ඒ සමඟම, කප්පාදුවට හා සමාජ අසමානතාවට එරෙහිව ඇමරිකානු හා ජාත්‍යන්තර කම්කරු පන්තිය දැනටමත් අරගලයන්ට ඇද දමා ඇති අභ්‍යන්තර සමාජ ආතතීන් ද උත්සන්න කරනු ඇත.

ප්‍රමුඛ ආර්ථික අර්බුදය ලියලන්නේ, එක්සත් ජනපදයේ තීරනාත්මක ජනාධිපතිවරනයක පසුබිම යටතේය. එය දැනටමත් හෙලිදරව්කර ඇත්තේ, සමස්ත දේශපාලන ක්‍රමයෙන්ම වැඩකරන ජනතාව වඩ වඩාත් දුරස්ත වීම හා මහ ව්‍යාපාරික පක්ෂ දෙකම තවදුරටත් දකුනට තල්ලුවී යාමය.

Share this article: