දකුනු චීන මුහුද පිලිබඳ අධිකරන තීන්දුවට පෙරාතුව චීන මිලිටරි අභ්‍යාස ඇරඹේ

Chinese military drills ahead of South China Sea court ruling

පීටර් සිමන්ඩ්ස් විසිනි, 2016 ජූලි 6

දකුනු චීන මුහුදේ නාවුක ගමනාගමන මතභේදය මත ජාත්‍යන්තර උසාවියක් විසින් ලබන අඟහරුවාද තීරනයක් දීමට නියමිත ව තිබිය දී චීන මිලිටරිය, ඊයේ එම ප්‍රදේශයේ නාවුක අභ්‍යාස මාලාවක් ඇරඹුවේ ය. එය සාමාන්‍යයෙන් පැවැත්වෙන අභ්‍යාසයක් යයි චීන ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කල අතර, සිය භූමිභාග අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් බීජීනයේ අධිෂ්ඨානය ඉන් පෙන්නුම් කරයි.

හේග් නුවර එක්සත් ජාතීන්ගේ ස්ථීර බේරුම්කාර උසාවිය එහි තීරනය ලබා දීමට දවසකට පෙර දින දක්වා , එනම් ජූලි 5දා සිට 11දා දක්වා, අභ්‍යාසය පැවත්වේ. විස්තර අසම්පූර්න නමුත් ෂෙන්යෑන්ග් හා නින්ග්බෝ යන ඉලක්කයට මෙහෙය විය හැකි මිසයිල නාශක දෙකක් හා චාඕෂූ යුද නැව, අභ්‍යාසයට සම්බන්ධ වන බව වාර්තාවේ. අභ්‍යාස පැවත්වෙන්නේ, දකුනු චීන මුහුදේ උතුරු ප්‍රදේශයේ, චීන පාලනය යට‍තේ පවතින පැරසල් දිවයින ආසන්නයේ වර්ග කිලෝ මීටර් 100,000ක චතුරශ්‍රාකාර ප්‍රදේශයක ය.

එච්අයිඑස් ජේන්ස් ඩිෆෙන්ස් වීක්ලි සඟරාව ඊයේ වාර්තා කලේ, සැප්තැම්බරයේ දී දකුනු චීන මුහුදේ රුසියාව සමග ඒකාබද්ධ නාවුක අභ්‍යාසයක් පිලිබඳව ද චීනය සාකච්ඡා කරමින් සිටින බව යි. චීන ආරක්ෂක ප්‍රකාශකයෙකු වන වූ කියෑන් ජූනි 30වැනිදා අභ්‍යාසය පිලිබඳ තොරතුරු තහවුරු කල නමුත් විස්තර සැපයුවේ නැත. “ඒකාබද්ධ මුහුදු” අභ්‍යාසය පලමුවරට පවත්වන ලද්දේ 2012 වසරේ දී කහ මුහුදේ දී ― දකුනු චීන මුහුදට බොහෝ උතුරේ දී ය.

චීන මිලිටරි අභ්‍යාස විශේෂයෙන්ම එක්සත් ජනපදයට අනතුරු ඇඟවීමක් ලෙස සැලකේ. ඇමරිකාව එරට “ආසියාවට හැරීමේ” කොටසක් ලෙස පසු ගිය හය වසර තිස්සේ හිතාමතා ම දකුනු චීන මුහුදේ භූමිභාග ආරවුල් ඇවිලවී ය. කලාපය පුරා චීනය ඇමරිකානු උත්සුකයන්ට යටත් කීරීම එල්ල කරගත් ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රික ප්‍රහාර හා මිලිටරි තරකිරීම් තුලින් ඔබාමා පාලනාධිකාරය, එකී මුහුද භයානක ජ්වලන කේන්ද්‍රයක් බවට පරිවර්තනය කර ඇත.

ඇමරිකානු නාවුක හමුදාව පසු ගිය ඔක්තෝබරයේ සිට ප්‍රකෝපකාරී “නාවුක ගමනාගමනයේ නිදහස” නම් මෙහෙයුම් තුනක් ක්‍රියාත්මක කර ඇත්තේ, චීනය විසින් පාලන කරනු ලබන දිවයින් වටා නාවුක සැතපුම් 12ක භූමිභාග සීමාව තුලට හිතාමතා ම කඩා වදිමිනි. ජූනියේ දී, දකුනු චීන මුහුද ආසන්න ප්‍රදේශයේ ඇමරිකාවේ ප්‍රධාන නාවුක යුද අභ්‍යාස දෙකක් පැවත්වී ය. ඉන් මෑත ම එක, ප්‍රහාරක බල ඇනි ද සමග, ගුවන්යානා හාරක නෞකා දෙකක් සම්බන්ධ කෙරුනු, “හයි එන්ඩ් යුද සටන්” ලෙස විස්තර කෙරුන අභ්‍යාසයකි.

විශේෂයෙන් ම, චීනයට එරෙහිව නාවුක ගමනා ගමන අයිතිවාසිකම් වඩා ආක්‍රමනකාරී ලෙස ඉදිරියට ගැනීමට පිලිපීනය දිරිමත් කිරීම සඳහා ඔබාමා පාලනාධිකාරය කටයුතු කර ඇත. හේග් හි දී එහි නීතිමය අභියෝග ගෙන ඒම පිනිස වොෂින්ටනය, මැනිලා ආන්ඩුවට තීරනාත්මක දේශපාලන හා නීතිමය සහාය රහසේ සපයා දී ඇත. චීනය “ජාත්‍යන්තර නීතියට බැඳී සිටී” යැයි එය ඉල්ලා සිටින අතර ඇමරිකාව, මුහුදු නීතිය පිලබඳ එජා පොදු සම්මුතිය ― පිලිපීන නඩුව ඉදිරිපත් කෙරී ඇත්තෙත් මෙය යටතේ ය ― පිලිගෙන නොමැත.

කෙසේ නමුත්, ඇමරිකානු කටයුතු පැහදිලිව ම චීන උත්සුකයන්ට තර්ජනය කරන අතර, ඇමරිකානු “හැරීමට” චීනයේ ප්‍රතිචාරය ඉවබව නැති ප්‍රතිගාමී එකකි. චීනය තුල හෝ ජාත්‍යන්තර ව කම්කරු පන්තියට කිසිදු ආයාචනයක් කිරීමට මුලුමනින් ම අපොහොසත්, තුනී අන්ත-පොහොසත් කතිපයාධිකාරයක් නියෝජනය කරන චීන කොමියුනිස්ට් පක්ෂ (සීසීපී) තන්ත්‍රය, යුද ව්‍යායාමයක පැටලී ඇති අතර ම, ඇමරිකාව සමග සම්මුතියක් ඇතිකර ගැනීමට ද උත්සාහ දරමින් සිටී.

රජයට අයත් ග්ලෝබල් ටයිම්ස් පත්‍රය ඊයේ කතුවැකියකින් පැහැදිලි කලේ කලේ, සීසීපී නිලධරය හා මිලිටරියේ දැඩි යුදවාදී කන්ඩායම්වල ආකල්පය යි. දකුනු චීන මුහුදේ ආතතීන් උත්සන්න කිරීම වෙනුවෙන් වොෂින්ටනයට දෝෂාරෝපනය කිරීමෙන් පසුව පුවත්පත ප්‍රකාශ කලේ, ඇමරිකාව “දකුනු චීන මුහුදේ තව තවත් මිලිටරිය තරකරන්නේ නම්, එය චීනයේ ජාතික ආරක්ෂාවට ඍජු තර්ජනයක් වන අතර, චීනයේ මිලිටරි අභ්‍යාස සැලකිය හැක්කේ ඊට දක්වන ප්‍රතිචාරයක් ලෙස” බව යි.

සාකච්ඡා මගින් නාවුක ගමනාගමන මතභේද විසඳීමට චීනය උත්සාහ දැරූ අතර, “ඕනෑ ම මිලිටරි ගැටුමක් සඳහා එරට සූදානම් කල යුතු” බව කතුවැකිය ප්‍රකාශ කලේ ය. “චීනය මූලෝපායික නිවාරනයේ හැකියාවන් වේගවත් කල යුතු ය. චීනයට ඇමරිකාව සමග මිලිටරිමය වසයෙන් එක පෙලට සිටිය නො හැකි වෙතත්, දකුනු චීන මුහුදේ මතභේද සම්බන්ධයෙන් ඇමරිකාව බලහත්කාරී ලෙස මැදිහත් වන්නේ නම්, එරටට දැරිය නොහැකි මිලක් ගෙවීමට සිදුවනු ඇත.”

එවැනි යුදවාදී ප්‍රකාශන මගින් සිදුවන්නේ වොෂින්ටනයේ අත ශක්තිමත් වීමයි. න්‍යෂ්ටික බලවතුන් පැටලෙන පුලුල් යුද්ධයක් බවට පත් විය හැකි මිලිටරි ගැටුමක අනතුර ද වැඩි කර යි. “දැරිය නොහැකි මිලක්” ගෙවීමට චීනය තමන්ට බල කරනු වොෂින්ටනය ඉවසා සිටිනු නැත. එය ආසියාව තුල හා ජාත්‍යන්තරව වොෂින්ටනයේ මිත්‍ර සම්බන්ධකම්වලට හානි කල හැකි බැවින් ඇමරිකාව ඒ අනුව සූදානම් වෙමින් සිටී. 2020 වන විට, ඇමරිකානු නාවුක හා ගුවන් හමුදා බලඇනි වලින් සියයට 60ක් ඉන්දු-ශාන්තිකර කලාපයේ ස්ථාපිත කිරීමට පෙන්ටගනය සැලසුම් කර යි.

කතුවැකිය ගැන ඇසූ විට, චීන විදේශ අමාත්‍යංශය ගැටුමක තරජනය ලුහු කර පෙන්වී ය. ප්‍රකාශක හොන්ග් ලී මාධ්‍යයට මෙසේ පැවසී ය: “දකුනු චීන මුහුදේ සාමය හා ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට චීනය ආසියාන් සංවිධානය සමග වැඩ කරනු ඇත.” කෙසේ නමුත් ඔහු පැහදිලි කලේ, හේග්හි අධිකරන ක්‍රියාවන්ට සහභාගීවීම ප්‍රතික්ෂේප කල බීජීනය, චීන භූමිභාග අයිතිවාසිකම්වලට අභියෝග කරන කිසිම නීතියකට බැඳී නො සිටිනු ඇති බව යි.

මෑත සතිවල දී, උසාවි තීරනය ඉදිරියේ තම ආස්ථානයට ජාත්‍යන්තර සහයෝගය එක් රැස් කර ගැනීමට චීනය උද්ඝෝෂයනක් ඇරඹී ය. රටවල් 6ක සහයෝගය ඇතැ යි බීජීනය කරන ප්‍රකාශ නො තකා, පෙනෙන්නට ඇත්තේ සාපේක්ෂව අතලොස්සක් පමනක් ප්‍රසිද්ධියේ චීනයට අනුග්‍රහ දක්වා ඇති බව යි. දකුනු චීන මුහුදේ චීන ඉඩම් ගොඩකිරීම හා සීමිත මිලිටරි ක්‍රියාකාරකම් “ව්‍යාප්තවාදී” හෝ “ආක්‍රමනකාරී” යයි ඇමරිකාව කරන චෝදනා බීජීනය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

යතාර්ථයේ දී, දකුනු චීන මුහු‍දේ ඇමරිකානු මිලිටරි ක්‍රිකාරකම්, ඍජුවම චීනයට තර්ජනය කර යි. මැද පෙරදිග හා අප්‍රිකාවෙන් බලශක්ති හා අමුද්‍රව්‍ය ආනයනය කිරීමට චීනය විශාල වසයෙන් යැපෙන්නේ මුහුදු නාවුක මාවත් මත ය. ගුවන් මුහුදු සටන ලෙස ප්‍රසිද්ධ, චීනය සමග යුද්ධය සඳහා වන පෙන්ටගනයේ මූලෝපාය, චීනය මත දැවන්ත ගුවන් හා මිසයිල් ප්‍රහාරයක් අපේක්ෂා කර යි. එය චීන ආර්ථිකය දුබල කරන්නාවූ නාවික අවහිර කිරීමක් සමග අත්වැල් බැඳ ගනියි.

ඔබාමා පාලනාධිකාරයේ “ආසියාවට හැරීම” කලාපයේ ආතතිය නාටකාකාර ලෙස ඉහල නංවා ඇත. චීනය හා ඇමරිකාව හෝ එහි විවධ මිත්‍රයන් හා මූලෝපායික සහචරයන් පැටලෙන මිලිටරි ගැටුමක අනතුර මෑත කාලීන සිදුවීම් දෙකක් මගින් පෙන්නුම් කරයි.

වෙඩි පාලන රේඩාර් සමගින් ජපාන එෆ්-15 ප්‍රහාරක යානා දෙකක් චීන මිලිටරි ගුවන්යානාවන්ට “ආලෝක ධාරා එල්ල කිරීම” පිලිබඳ ව චෝදනා කරමින්, සඳුදා චීනය ප්‍රකාශයක් නිකුත් කලේ ය. ජූනි 17වැනිදා සිද්ධිය හට ගත්තේ දකුනු චීන මුහුදට ඉහලිනි. ජපානය සෙන්කාකු නමින් ද චීනය දියාඕයූ දූපත් නමින් ද හඳුන්වන කුඩා ගල්පර දෙකක් මත රටවල් දෙක ආරවුලක පැටලී සිටින්නේ එම ප්‍රදේශයේය.

පසු ගිය සිකුරාදා තායිවාන් මුර සංචාරක බෝට්ටුවක්, මිලිටරි කඳවුරක සිට ප්‍රති-නෞකා මිසයිල ප්‍රහාරයක් එල්ල කලේ ය. මිසයිලය තායිවාන් සමූද්‍රසන්දියේ පෙන්ගූ දූපතේ සිට නාවුක සැතපුම් 40ක් පමන දුරක තිබූ චීන ධීවර බෝට්ටුවකට වැදුනු අතර එහි කපිතාන් ජීවිතක්ෂයට පත් විය. කාර්ය පරිපාටිය අනුගමනය නොකිරීම සම්බන්ධයෙන් තායිවාන් බලධාරීන් අපරීක්ෂාකාරී සුලු නිලධාරියෙකුට දෝෂාරෝපනය කල නමුත් චීනය, නිදහසට හේතු විමසී ය. සවුත් චයිනා මෝනිං පෝස්ට් පත්‍රය මෙසේ අදහස් දැක්වී ය: “එවැනි සිදුවීමක ලොකු ම කනස්සල්ල වන්නේ ඒවා පාලනයෙන් පිට ගොස් සන්නද්ධ ගැටුමක් ඇවිල වීමට ඉඩ තිබීම යි.”

Share this article: