සමිති නිලධරය වෙලඳ කලාප කම්කරු විරෝධය අවමංගත කිරීමේ ප‍්‍රයත්නයක

අපේ වාර්තාකරුවන් විසිනි, 2016 ජුලි 11

වැට් බදු ඉහල දැමීම හේතුවෙන් නවාතැන් ගාස්තු මෙන්ම අනෙකුත් පාරිභෝගික භාන්ඩ මිල ඉහල යාමෙන් නිදහස් වෙලඳ කලාප (නිවෙක) කම්කරුවන්ගේ ජීවන තත්වයන්ට බරපතල පහරක් එල්ල වී තිබේ. එවන් තත්වයක් තුල වැටුප් වැඩි නොවීමත්, රුදුරු වැඩ කොන්දේසි යටතේ ශ‍්‍රම සූරාකෑම තීව‍්‍ර කිරීමත් නිසා මෛත‍්‍රීපාල සිරිසේන-රනිල් වික‍්‍රමසිංහ ආන්ඩුව සහ ධනපති හාම්පුතුන් කෙරෙහි පුලුල් විරෝධයක් හා කෝපයක් නිවෙක කම්කරුවන් අතර වර්ධනය වෙමින් පවතී.

කටුනායක නිවෙක තුල 40,000 පමන කම්කරුවෝ සේවයේ යෙදී සිටිති. ඔවුන්ගෙන් බහුතරය පිටිසර ගම්වලින් සංක‍්‍රමනය වූවන් වන අතර ඉන් සියයට 90 ක් පමන තරුනයන් ය. ස්ථීර සේවකයන් වෙනුවට මිනිස් බල සමාගම් හරහා කොන්ත‍්‍රාත් පදනමේ සේවකයන් බඳවා ගැනීමේ ප‍්‍රතිශතය මෑත වසර වල වැඩි වී ඇත. විරැකියාව හා දරිද්‍රතාවය නිසා ප‍්‍රමානවත් තරම් ඉඩකඩ හා පහසුකම් නැති නවාතැන්වල නවාතැන් ගනිමින් රුදුරු සේවා කොන්දේසි යටතේ අඩු වැටුපට ශ‍්‍රමය විකිනීමට ඔවුන්ට බල කෙරී ඇත.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන් සමග කතාකල කටුනායක නිවෙක කම්කරුවන් පැවසුවේ ආන්ඩුවේ ඊනියා පනත මගින් පුද්ගලික අංශය සඳහා යෝජිත රුපියල් 2500 වැටුප් වැඩිවීම තමන්ට නොලැබුන බවයි.

“ජීවත් වෙන එක හරිම අමාරුයි. බඩු මිල ඉහලයි. ආන්ඩුව කියනවා කලින් ආන්ඩුවේ දූෂන හා වංචා නිසාලු අපිට බදු ගහන්නේ. ඉතින් අපි ඒකට කර ගහන්නේ මොකටද අපි කරපුවා ද ඒවා. අනික බලය ගන්න කොට ඔහොම කිව්වේ නෑ” යි ට‍්‍රාන්ස්ෆෝමර් නිපදවන ටොලයිට් කම්හලේ කම්කරු තරුනියක් පැවසුවා ය.

“බෝඩින් ගාස්තු රුපියල් 500 කින් වැඩි කෙරුවා. දැන් රුපියල් 4500 ක්. ලයිට් බිල මාසයකට 200 ක් විතර යනවා. මාලු හෝ වෙනත් ප්‍රෝටීන් සහිත ආහාර නොගත්තත් රුපියල් 3000 ක් විතර මාසෙකට කෑමට වියදම් වෙනවා. තාත්තාගේ කුඹුරු ගොවිතැන පවුලේ වියදමට මදි. මම රුපියල් 10,000 ක් වත් මාසයට ගෙදර යවන්න ඕනා.”

කාන්තා ඇඳුම් නිෂ්පාදනය කරන ක‍්‍රිස්ටල් මාර්ටින් කර්මාන්ත ශාලාවේ කම්කරුවෙක් ජනතාවට දුන් පොරොන්දු කඩ කිරීම ගැන ආන්ඩුවට මෙසේ චෝදනා කලේ ය: “පැවති ආන්ඩුව එපා වෙලා මිනිස්සු මේ ආන්ඩුවට ඡන්දය දුන්නා. නමුත් අපි උන්න තැනිනුත් පහලට වැටිලා. අපිට දැන් මේ ආන්ඩුව තිත්ත වෙලා තියෙන්නේ.”

ඔවුන්ගේ මූලික වැටුප රුපියල් 15,500 කි. අතිකාල හා පැමිනීමේ දීමනාව සමග මාසික ආදායම රුපියල් 22,000 පමන වන අතර කාමර කුලිය රුපියල් 3500 කි.

ලෝක ධනවාදයේ ගැඹුරු වන අර්බුදය හේතු කොට ගෙන නිමි ඇඳුම් අපනයනය 2015 වසරේ සියයට 25 කින් පහත වැටුනි. නිමි ඇඳුම් ප‍්‍රධාන වසයෙන් අපනයනය කෙරෙන යුරෝපයේ ජීඑස්පී+ සහනය යලි ලැබීමෙන් ලංකාවේ අපනයන ඉහල යාමක් හා ඉන් කම්කරුවන්ට වැටුප් වැඩිවීම් සහ වෙනත් ප‍්‍රතිලාභ ලැබෙන බවට ආන්ඩුව සහ වෘත්තීය සමිති පම්පෝරි ගැසුවද බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම ශ‍්‍රී ලංකාවේ අපනයන කෙරෙහි බරපතල ලෙස බලපානු ඇත.

අපනයන වෙලඳපොලේ දැඩි තරඟකාරිත්වය හේතුවෙන් නිශ්පාදන මිල පහත හෙලීම සඳහා සෑම කම්හලකම වැඩ වේගවත් කර ඇත. සෑම ඇඳුමක් සඳහාම එය මැසීමට ගතවන සම්මත මධ්‍යන්‍ය කාලයක් (එස්එම්ටී) නිර්නය කොට ඇති අතර එම කාලය තුල ඇඳුම මසා නිම කිරීමට කම්කරුවන්ට බල කෙරී ඇත.

කම්හල් හිමියන් විසින් නිර්මානය කොට ඇති සේවක සභාවලින් තමා මුහුුන දෙන කවර හෝ ප‍්‍රශ්නයක් විසඳා ගත නොහැකි බවත් ඒවා පාලකයන් සහ ඔවුනගේ හෙන්චයියන් එකතුව සාදාගත් සභාවන් බවත් කම්කරුවෝ පැවසූහ.

තම රැකියාවලට, ජීවන තත්වයන්ට හා ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන්ට එල්ල වන ප‍්‍රහාර වලට විරුද්ධව සටන් කිරීම සඳහා සංවිධානය වීමේ පුලුල් අවශ්‍යතාවයක් කම්කරුවන්ට ඇත. වෘත්තීය සමිති පිහිටුවීමේ අයිතිය ඇතුලු ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් තහවුරු කරන ලෙස ඉල්ලා පසුගිය මස 22 දා කටුනායක නිවෙක දොරටුව ඉදිරිපිට කම්කරුවෝ දහසක් පමන උද්ඝෝෂනයක නිරත වූහ.

ඒටීජී සිලෝන්, ඔකියුපේෂනල්, හයිඩ‍්‍රාමනි, ග්ලෝබල් ස්ටාර්, ස්මාර්ට් ෂර්ට්ස් හා අයිසීඑල් යන කම්හල්වල වෘත්තීය සමිති සෑදීමට උත්සාහ කල කම්කරුවන් දඩයමට ලක් කිරීම් හා බිය වැද්දීම් කර ඇති බව කම්කරුවෝ පැවසූහ.

උද්ඝෝෂනය සංවිධානය කර තිබුනේ “ස්වාධීන වෘත්තීය සමිති එකමුතුව” විසිනි. එය නිදහස් වෙලඳ කලාප සහ පොදු සේවා සංගමය, ලංකා බැංකු සේවක සංගමය, ලංකා වෙලඳ කාර්මික හා පොදු කම්කරු සංගමය, නව සමසමාජ පක්ෂයට (නසසප) සම්බන්ධ එක්සත් කම්කරු සම්මේලනය, කාන්තා කම්කරු සහයෝගිතා සංගමය සහ තැපැල් සහ විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය ඇතුලු වෘත්තීය සමිති වල සන්ධානයකි. ඊට අමතරව පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) විසින් අටවා ඇති ඊනියා කම්කරු අරගල මධ්‍යස්ථානය ද උද්ඝෝෂනයට සම්බන්ධ විය.

උද්ඝෝෂනය සංවිධානය කල මෙම ව්‍යාජ වාම පක්ෂ සහ වෘත්තීය සමිති ඍජුව හෝ වක‍්‍රව සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන ඒමට සහයෝගය දුන් සංවිධානයෝ ය.

උද්ඝෝෂනයට සම්බන්ධ වූ කම්කරුවන්ගේ අරමුන තම ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් රැක ගැනීම වුව ද එය සංවිධානය කල සමිති නිලධරයේ සහ ව්‍යාජ වාම පක්ෂවල අරමුන කම්කරුවන් අතර වර්ධනය වන අසතුට හා කෝපය නිස්සාර උද්ඝෝෂන මගින් සමනය කර නිවෙක කම්කරුවන් අතර පිපිරීමට නියමිත අරගල පූර්ව භංග කරමින් හාම්පුතුන්ගේ හා ආන්ඩුවේ ප‍්‍රරහාරවලට කම්කරුවන් යටත් කිරීම ය.

වෘත්තීය සමිතිවල ප‍්‍රතිගාමී ක‍්‍රියා කලාපය ගැන මල් නිෂ්පාදනය කරන ඒඑම්ඒටී ආයතනයේ සේවිකාවක් මෙසේ විස්තර කලාය:

“අපේ ආයතනයේ ෆැක්ටරි 5 ක් තිබුන. දාහක් විතර ඒවායෙ වැඩ කලා. ඕඩර් අඩුයි කියල 4 ක් වැහුවා. දැන් ඉන්නේ 350 ක් විතර. අනෙක් තැන්වලට වඩා අපේ වැටුප් අඩුයි. පැමිනීමේ දීමනා නෑ. වෘත්තීය සමිතිය (නිවෙක හා පොකස) ඒ සම්බන්ධයෙන් කිසිම අරගලයක් කලේ නැහැ. පඩි වැඩි කරන්නේ නැත්නම් අතිකාල කිරීම ප‍්‍රතික්ෂේප කරනව කිව්වට පස්සේ රුපියල් 1500 ක් මූලික වැටුපට එකතු කලා. වෘත්තීය සමිතිවලින් වැඩක් නෑ. රැස්වීම් තියන්නේත් නෑ. තිබ්බත් කම්කරුවන් වෙනුවෙන් සටන් නොකරන නිසා අපි යන්නෙත් නෑ.”

ධනපති ආන්ඩුව සහ හාම්පුතුන් සමග සහයෝගීව කටයුතු කිරීමට සමිති නිලධරයේ ඇති සූදානම උද්ඝෝෂනය සඳහා සමිති එකතුව බෙදා හැරි පත‍්‍රිකාවෙන් මනාව තහවුරු වෙයි. එහි මෙසේ සඳහන් වේ: “වෘත්තීය සමිති යනු ගෝනි බිල්ලකු නොව සමාජයේ ඉදිරි ගමනට අවශ්‍ය සමාජ පාර්ශවකරුවෙකු වේ.”

ධනපතියන් සඳහා ශ‍්‍රම ඵලදායිත්වය ඉහල දැමීමට හා කාර්මික ආරවුල් අවම කොට කම්කරුවන් මෙල්ල කිරීමේ කාර්ය සඳහා වෘත්තීය සමිතිවල සේවයේ අවශ්‍යතාවය පත‍්‍රිකාව තව දුරටත් අවධාරනය කරයි; “කිසියම් ආයතනයක පිලිගත් වෘත්තීය සමිතියක් තිබීම එම ආයතනයේ යහපත් සේව්‍ය සේවක සබඳතාවයක් තිබීමේ ලක්ෂනයක් ලෙස සැලකීම හා එමගින් තෘප්තිමත් හාම්පුතෙක් සහ සේවක පිරිසක් බිහිවීමත්, එනිසාම ඵලදායීතාවය ඉහල මට්ටමක පැවතීමත් සිදු වන බව ලොව පිලිගත් ප‍්‍රතිපත්තිය වේ.”

හාම්පුතුන්ට අවශ්‍ය ආකාරයට කම්කරුවන් හීලෑ කිරීමේ දී වෘත්තීය සමිතිවල භුමිකාවේ වැදගත්කම කම්කරුවන් ඇමතූ ඇන්ටන් මාකස් මෙලෙස අවධාරනය කලේ ය: “අපිට උද්ඝෝෂන කරන්න පෙලපාලි යන්න උවමනාවක් නෑ කම්හල් පාලකයෝ අපි සමග සාකච්ඡාවට එනවා නම්. වෘත්තීය සමිති සමග වැඩ කලොත් තමයි කම්හල් පවත්වාගෙන යන්න පුලුවන් වෙන්නේ”.

එක්සත් ජනපද මූල්‍ය කොටස් වෙලඳපොල බිඳ වැටීමෙන් 2008 දී පුපුරා ගිය ලෝක ආර්ථික අර්බුදය මධ්‍යයේ මහින්ද රාජපක්ෂ ආන්ඩුව විසින් යලි පන පෙවූ ජාතික කම්කරු උපදේශක සභාවේ නියෝජිතයන් ලෙස මෙම සමිති නායකයෝ කම්කරුවන් දොට්ට දැමීමට, වැඩ වේගවත් කිරීමට, කම්කරුවන් අරගල මගින් දිනා ගත් අයිතීන් කප්පාදු කිරීමට හාම්පුතුන් ට සහයෝගය දුන්හ.

2009 වසරේ කම්හල් 500 කට වැඩි සංඛ්‍යා වක් වසා දමා කම්කරුවන් 150,000 ක් දොට්ට දැමීමටත් කම්හල් හිමියන් සමත් වූයේ මෙම සහයෝගය නිසාවෙනි.

තීව‍්‍ර වන ප‍්‍රහාර වලට එරෙහිව නිවෙක කම්කරුවන්ගේ බරපතල පන්ති අරගල පුපුරා යාමට නියමිතය. හාම්පුතුන්, ආන්ඩුව මෙන් ම සමිති නායකයෝ එයින් තැති ගෙන සිටිති. ප්‍රෝඩාකාරී විශ‍්‍රාම වැටුප් පනතක් මගින් පුද්ගලික අංශයේ කම්කරුවන්ගේ අර්ථසාධක අරමුදල කොල්ල කෑමේ රාජපක්ෂ ආන්ඩුව උත්සාහයට විරුද්ධව 2011 මැයි මාසයේ කටුනායක නිවෙක කම්කරුවන් අතර වෘත්තීය සමිති වලට පිටින් පුපුරා ගිය අරගලය සිහිපත් කරමින් යලි එවන් කැරලිකාරී තත්වයක් කම්කරුවන් අතර පැන නැගීමේ හැකියාව ගැන මාකස් අනතුරු ඇඟවූයේ ය.

පෙසප හොරනෑවක් වන අක්ෂය වෙබ් අඩවිය 22 දා උද්ඝෝෂනයට පසුගිය මැයි දිනය ඒකාබද්ධව සැමරූ වෘත්තීය සමිති සියල්ල සහභාගී වීම ‘කම්කරු ව්‍යාපාරයේ පලල් සමගිය පිලිබඳ සුභවාදී සංඥාවක්’ යයි ලියා ඇත. අක්ෂය වගවර්නනා කරන මෙම “පුලුල් සමගිය” කම්කරුවන්ට අටවන අලුත් උගුලකි. එහි සැබෑ අරමුන වන්නේ ධනපති පාලක පන්තියේ හා හාම්පුතුන්ගේ උපකරන ලෙස ක‍්‍රියාත්මක වන වෘත්තීය සමිති හා ව්‍යාජ වාම පක්ෂ වලින් ස්වාධීනව කම්කරු පන්තියේ දේශපාලන ව්‍යාපාරයක් පැන නැගීම වැලැක්වීමය. නිවෙක කම්කරුවන් මේ උගුලේ නොවැටිය යුතුය.

නිවෙක මෙන් ම සමස්තයක් ලෙස කම්කරුවන්ට සිය අයිතීන් දිනා ගත හැක්කේ වෘත්තීය සමිතිවලින් ස්වාධීනව ප‍්‍රජාතන්ත‍්‍රවාදීව තමන් විසින් පත් කර ගන්නා කම්කරු ක‍්‍රියාකාරී කමිටු මගින් කම්කරු පන්තියේ සියලු කොටස් ඒකාබද්ධ කිරීමෙන් හා ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයක් මත පාදක වූ කම්කරු පන්තික දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගීම මගින් පමනි.

Share this article: