බ්‍රිතාන්‍ය පිටමං වීමේ තතු තුල ජාමූඅ වර්ධන අනාවැකි පහත හෙලා ඇත

IMF cuts growth forecast in the wake of Brexit

නික් බීම්ස් විසිනි, 2016 ජූලි 21

මූල්‍ය කොන්දේසි දැඩිවී, පාරිභෝගික විශ්වාසය හීන වුවහොත්, යුරෝපය “බරපතල අවදානමකට” මුහුනපෑමේ හැකියාව පිලිබඳව ජාමූඅ අනතුරු අඟවා ඇත.

යුරෝපීය සංගමයෙන් පිටමං වීමට තීරනය කල, බ්‍රිතාන්‍ය ජනමත විමසුමේ සෘජු ප‍්‍රතිපලයක් ලෙස, ගෝලීය වර්ධනය පිලිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනාවැකිය පහත හෙලා ඇත. එහි ප‍්‍රධාන අර්ථශාස්ත‍්‍රඥ මොරිස් ඔබ්ස්ට්ෆෙල්ඞ් පැවසුවේ, අරමුදල සිය ලෝක වර්ධනය පිලිබඳ ප‍්‍රස්ථාරය ප‍්‍රවර්ධනය කිරීමට සූදානම් වන විට බ්‍රෙක්සිට් ඡන්දය “තත්වය දුෂ්කර අඩියකට පත් කලා” යනුවෙනි.

සමස්ත වශයෙන් අරමුදල 2017 සඳහා සිය ගෝලීය අනාවැකිය සියයට 0.1න් පහත හෙලීය. එහෙත් බ්‍රිතාන්‍යයේ තත්වය ඊට වඩා කප්පාදු කෙරී ඇත. මේ වසර සඳහා අනාවැකිය අප‍්‍රේල් මාසයේදී සියයට 0.2න් කපා හැරීමෙන් පසුව අරමුදල, දියුනු රටක විශාලතම පිරිහීම සලකුනු කරමින් 2017 සඳහා සිය අනාවැකිය 2.2 සිට 1.3 දක්වා පහත දමා ඇත.

බ්‍රිතාන්‍ය කෙරෙහි සිදුවන බලපෑම අරමුදල අනාවැකි කියනවාට වඩා බෙහෙවින් වැදගත් වනු ඇත. පෞද්ගලික අනාවැකිකරුවන් අනතුරු අඟවන්නේ, ඊලඟ වසරේදී එරට ආර්ථිකය, අරමුදල පවසන 1.3ට වඩා, එක තැන පල්වීමට පටන්ගනු ඇති බවටය. යුරෝපීය කොමිසම පවසන්නේ, බ්‍රිතාන්‍යයේ වර්ධනය සියයට 2.6න් තරම් පහත වැටෙනු ඇති බව හා ඊලඟ වසරේ හැකිලීම 0.3ක් වනු ඇති බවත්ය.

අරමුදලේ අලුත්ම යාවත්කාලීන කිරීම අනුව බ්‍රෙක්සිට් ඡන්දය, “විශේෂයෙන්ම යුරෝපයේ දියුනු ආර්ථිකයන්හි, ආර්ථික, දේශපාලන හා ආයතනික අස්ථාවරත්වය සැලකිය යුතු තරම් වැඩි කර ඇති අතර එය රිනාත්මක සාර්ව ආර්ථික ප‍්‍රතිවිපාක ගෙන එනු ඇත.”

වත්මන් පහත හෙලීම් වලට වඩා ප‍්‍රතිපල බරපතල විය හැකි බව අරමුදල පිලිගනියි. මේවා පදනම්ව ඇත්තේ බ්‍රෙක්සිට් ඡන්දයෙන් පසුව අනිශ්චිත භාවය අනුක‍්‍රමයෙන් පහව යනු ඇතැයි යන “ලිහිල්” සිතාගැනීම් මතය. එහෙත් අරමුදල පවසන්නේ, “වඩා අශුභවාදී ප‍්‍රතිවිපාක ඈතින් තිබෙන හැකියාවක්” ලෙස පවතින බවයි.

එවන් “පහතට නැඹුරු අවදානම්” අතර, දැනට සිතනවාට වඩා දැඩි මූල්‍ය කොන්දේසි හා දුබල පාරිභෝගික විශ්වාසය පෙන්නුම් කෙරේ. එය “බරපතල තත්වයක්” යනුවෙන් ගෙනහැර දක්වන්නේ, බ්‍රිතාන්‍ය හා යුරෝපා සංගමය අතර වෙලඳ සම්බන්ධතා, විශේෂ බැඳීමකට වඩා ලෝක වෙලඳ සංවිධානයේ සම්මතයන්ට ගැලපෙන පරිදි සංශෝධනය වීම නිසා මූල්‍ය පීඩනය වැඩිවීමය. එවන් කොන්දේසි හමුවේ, “ගෝලීය ආර්ථිකය, වඩා කැපී පෙනෙන ලුහුටා යාමක් අත්විඳිනු” ඇත. එය දියුනු ආර්ථිකයන් සම්බන්ධයෙන් වඩාත් ශක්‍ය වනු ඇත.

බ්‍රෙක්සිට් ඡන්දයේ බලපෑම යුරෝපයෙන් එහාට පැතිර යයි. එමගින් ඇතිකරන අනිශ්චිත භාවය, ජපාන අපනයන්ට පහර දෙමින්, යෙන් මුදලේ අගය ඉහල නංවන අතර මේ වසරේ වර්ධනය සියයට 0.2න් පහත වැටී යන්තම් 0.3 රැඳී තිබෙනු ඇතැයි අරමුදල පවසයි. බ්‍රිතාන්‍ය සමග ඇති සීමිත වෙලඳ සබඳකම් නිසා චීනය කෙරෙහි බ්‍රෙක්සිට්හි බලපෑම සැලකිය යුතු මට්ටමකට නොනගිනු ඇති බව සලකන නමුත් අරමුදල, ඡන්දය යුරෝපයේ වර්ධනය කෙරෙහි “සැලකිය යුතු තරම් බලපෑවොත්, චීනය මත නරක ප‍්‍රතිවිපාක ඇතිකල හැකි බව” පවසයි. මක් නිසා ද යත් යුරෝපය චීනයේ විශාලතම වෙලඳපොල වන බැවිනි.

බ්‍රෙක්සිට් මගින් උග‍්‍ර කල හැකි මූල්‍ය අස්ථාවරත්වය, යුරෝපීය බැංකු ක‍්‍රමයේ, විශේෂයෙන්ම ඉතාලියේ හා පෘතුගාලයේ බැංකු සම්බන්ධ, නොවිසඳුනු උරුමයේ ප‍්‍රශ්න තියුනු කරනු ඇති බව අරමුදල පෙන්වා දෙයි.

ඉතාලි බැංකුවල පමනක් යුරෝ බිලියන 360ක අක‍්‍රීය නය කන්දරාවක් ගොඩගැසී ඇති අතර එරට අගමැති මැටියෝ රෙන්සි ඇප ලබාගැනීමේ පියවර සංවිධානය කරමින් සිටියි. එවන් පියවරක් ඔහුගේ ආන්ඩුව යුරෝ සංගමයේ අවශේෂ රටවල්, විශේෂයෙන්ම ජර්මනිය, සමග ගැටුමක පැටලවිය හැකිය. මක්නිසා ද යත්, යුරෝ නීති රෙගුලාසි, ජාතික ආන්ඩු මගින් ගෙන එන ඇප දීමේ සෘජු වැඩසටහන් තහනම් කර ඇති බැවින්ය.

මූල්‍ය අස්ථාවරත්වය ඉතාලියට හා පෘතුගාලයට පමනක් සීමාවී නැති අතර, යුරෝ කලාපය පුරාම පැතිරයා හැකිය. ඊට ජර්මනිය ද ඇතුලත්ය. මක්නිසා ද යත් 2008 මූල්‍ය අර්බුදයේ ප‍්‍රතිපල වශයෙන් වැදුනු පහර වලින් පසුව යුරෝපීය බැංකු සෑහෙන මට්ටමකින් යලි ප‍්‍රාග්ධනීකරනය වී නැති බැවිනි. ආර්ථික වර්ධනය, ගැටලු ජයගත හැකි කොන්දේසි නිර්මානය කරනු ඇතැයි ඔවුහු අපේක්ෂා කලහ. එම වර්ධනය ලඟාකර ගැනීමට අසමත් වීමේ ප‍්‍රතිපලය වූයේ, තත්වය තවත් නරක අතට හැරීමයි.

ක්ෂනික මූල්‍ය හා වානිජ්‍ය බලපෑම් වලට අමතරව, බ්‍රෙක්සිට් තීන්දුවේ දේශපාලන ප‍්‍රතිවිපාක ද අරමුදල විසින් පෙන්නුම් කර ඇත. සෑම ප‍්‍රමුඛ රටක් සම්බන්ධයෙන්ම සත්‍යයක් වන දේශපාලනික, ව්‍යාපාරික හා මූල්‍ය පැලැන්තිය කෙරෙහි පුලුල් ජන කොටස්වල ගැඹුරට විහිද යන සතුරුකම එය පිටුපසින් පැවතුනි.

“දිගුකාලීන ව්‍යුහාත්මක අභියෝග” විසඳීමේ උත්සාහයන් කඩාකප්පල් කල හැකි දියුනු රටවල දේශපාලන බෙදීම්, “ආරක්ෂනවාදී පිලිවෙත් දෙසට මාරුවීමේ තර්ජනයක්” ගැබ්කර ගනියි.

දියුනු රටවල වර්ධනය අඛන්ඩව පහත වැටීම, සමස්ත දේශපාලන හා ආර්ථික සංස්ථාපිතය කෙරෙහි වැඩෙන සතුරුකම සමග එක්ව, වත්මන් පර්යායේ ස්ථාවරත්වය ගැන මූල්‍ය හා ආර්ථික පන්ඩිතයන් අතර කනස්සල්ල ද වැඩි කර ඇත.

ෆිනෑන්ෂල් ටයිම්ස් ආර්ථික ලේඛක මාටින් වුල්ෆ්, බදාදා පල කල ලිපියක මෙම අනතුරු ඇඟවීම් පිලිබඳ සිය අදහස් පල කර තිබුනි. “ජාතිකවාදය, දේශීයවාදය හා ආරක්ෂනවාද” මත පදනම්වූ ඇමරිකාවේ ඩොනල්ඞ් ට‍්‍රම්ප්, ප‍්‍රන්සයේ ලේ පෙන් ඉදිරිපත් කරන විසඳුම් “ප්‍රෝඩාවන්” ලෙස ඔහුගේ හෙලාදැකීමට ලක්වේ

.

“එහෙත් රෝගී භාවය සැබෑවකි, පාලක පැලැන්තීන් පිලිගත හැකි ප‍්‍රතිකර්ම යෙදීමට දිගටම අසමත් වන්නේ නම්, ඔවුන් ඉක්මනින්ම පැත්තකට විසිවී යනු ඇත. ඒ සමග ප‍්‍රජාතන්ත‍්‍රීය ස්වයං ආන්ඩුවක හා විවෘත සමූපකාර ලෝක පර්යායක් අතිනත ගැන්නවීමට දරන උත්සාහය ද අතුගෑවී යනු ඇත.”

එහෙත් වුල්ෆ් ඉදිරිපත් කර තිබෙන විසඳුම් ඊට වඩා යථාර්තවත් නැත. අනෙක් දේට අමතරව ඔහු, ධනවාදයේ ප‍්‍රතිසංස්කරන ඉල්ලා සිටියි. මූල්‍යයේ “ඕනෑවට වැඩි” ක‍්‍රියාකලාපය සීමා කිරීම, දැඩි ජාත්‍යන්තර සහයෝගිතාව, සමස්ත ඉල්ලුම සඳහා වැඩි සහයෝගයක්, විශේෂයෙන්ම යුරෝ කලාපයේ, ආර්ථික ඝාතකයින්ට එරෙහි සටනක් යනාදී වශයෙනි.

ගැඹුරුවන ආර්ථික ව්‍යාධිය පෙන්නම් කරන්නේ කුමක් ද යන්න පිලිබඳ වැඩෙන බිය මගින් සලකුනු කරන ඡේදයක් සමගින් ඔහු නිගමනය කරන්නේ, ලොකුම තනි ප‍්‍රශ්නය නම්, “අපගේ ශිෂ්ඨාචාරයම පරදුවට ලක්ව තිබියදී එම අභියෝගය පිලිගැනීම”ය.

එහෙත් ධනේශ්වර ක‍්‍රමයේ ප‍්‍රතිසංස්කාරකයින් යයි කියන අය සියල්ලන් මෙන්ම වුල්ෆ් ද එක දිගටම, එහි ස්ථාවරත්වය සහතික කිරීම සඳහා ඉදිරිපත් කර තිබෙන යෝජනා, දේශපාලන හා මූල්‍ය සංස්ථාපිතයේ ඉහලම තලයේදී එක දිගට ප‍්‍රතික්ෂේප වී ඇත්තේ මන්දැයි හා ආර්ථික ක‍්‍රියාකාරකම් එහි ප‍්‍රතිවිරුද්ධ දිසාවට ගමන් කරන්නේ මන්දැයි පැහැදිලි කිරීමට අසමත්ව ඇත.

හේතුව වන්නේ, වත්මන් ගමන් මග වැටී ඇත්තේ දේශපාලන හා මූල්‍ය පැලැන්තියේ සාවද්‍ය මනෝභාවය තුල බැවින් වුල්ෆ් හා එවැනි ප‍්‍රකාශකයින් විසින් නිවැරදි කිරීම සඳහා ඉදිරිපත් කරන හේතු වලංගුය යන කාරනය තුල නොව, ලාභ පද්ධතියේ නොවිසඳිය හැකි ප‍්‍රතිඝතිතා තුලය යන්නයි.

Share this article: