ඩේවිඩ් කිං 1943-2016: විප්ලවවාදී සමාජවාදියා, කලාකරුවා හා ඓතිහාසික සත්‍යයේ ආරක්ෂකයා

David King 1943-2016: Revolutionary socialist, artist and defender of historical truth

ඩේවිඩ් නෝර්ත් විසිනි, 2016 මැයි 14

සුවිශාල වූ ද අද වන විට දිරාපත්ව ඇත්තාවූ ද ස්ටැලින්වාදී අපරාධ හා මුසාවන්ගේ මන්දිරය පතුලෙන්, 1917 රුසියානු විප්ලවයේ ද එහි ඉක්බිත්තේ ද ඓතිහාසික සත්‍යය සුරැකීමට කලාකරුවෙකු ලෙස ඔහුගේ අත්‍යාසමාන හැකියාව කැපකල ඩේවිඩ් කිං, මැයි 11වැනිදා උදෑසන ඉස්ලින්ග්ටන් හි ඔහුගේ නිවසේ දී මිය ගියේ ය.

වසර ගනනාවක් තිස්සේ හෘදයාබාධයකින් පෙලුන ද සිය ජීවිතයේ අවසාන මොහොත දක්වා ම ඩේවිඩ්, ඉමහත් ලෙස ප්‍රයෝජනවත් ජීවිතයක් ගත කලේය. ගෙවී ගිය සරත් කාලයේ ප්‍රසිද්ධ කෙරුනු ඔහුගේ අලුත්ම හා අවසාන පොත, කිං කෙරෙහි ප්‍රගාඪ බලපෑමක් ඇති කල වෙයිමාර්-යුගයේ විප්ලවවාදී ජර්මානු කලාකරුවාගේ නිර්මාන වෙනුවෙන් කැප කරනු ලැබීමේ කාරනය තුල ඉතා ඛේදජනක උත්ප්‍රාසයක මූලයක් පවතී.

කලාකරුවෙකු ලෙස, ඩේවිඩ්ගේ ජීවිත කාර්යය යොමු කෙරුනේ විසිවන සියවසේ ශ්‍රේෂ්ඨත ම සිද්ධිය, එනම් රුසියානු විප්ලවයේ ඉතිහාසය සටහන් කෙරුනු පර්යේෂන, නිර්මාන හා ග්‍රන්ථ රචනය මත ය. නිශ්චිතව ම කලාත්මක ආකෘතියේ හා ඓතිහාසික අන්තර්ගතයේ අත්‍යාසමාන සංයෝජනය යි ඔහුගේ නිර්මානවලට කල් පවත්නා වැදගත්කමක් උරුම කර දෙනුයේ. එයට මග පෙන්වන ලද්දේ, වර්තමාන කලාකරුවන් අතර බෙහෙවින් දුර්ලභ වූ, ඓතිහාසිකව දිශානුගත දැනුවත්භාවයෙනි. තව ද රුසියානු විප්ලවය පිලිබඳ ව ඩේවිඩ්ගේ දැනුම― සිදුවීම්, මතභේද, පුද්ගලයන් හා සමාජ සන්දර්භය පිලිබඳ දැනුම ― විශ්වකෝෂයකට වඩා අඩු දෙයක් නො වේ. කලාකරුවෙකු ලෙස තමා වෙත අවධානය දිනා ගැනීමට ඉඩ ඇති ආකර්ෂනීය හා අද්භූත ආකෘතියක් ආත්මීය ලෙස පැටවීමට ඔහු වෙර නොදැරී ය. ඔහුගේ ග්‍රන්ථයට එවැනි බලගතු මෙන් ම අවංක, නව්‍ය ස්වභාවයකින් ඉදිරිපත් කිරීමට දායක වුනේ කතුවරයාගේ නිර්මානයට මග පෙන්වන ලද චිත්‍රමය ප්‍රතිරූමූර්ති තුල ඓතිහාසික සිදුවීම් පිලිබිඹු කල මට්ටම යි.

ඩේවිඩ් කිං ටේට් කෞතුකාගාරයේ නව අංශයෙහි 2009දී (ඡායාරූපකරනය- ඩේවිඩ් නෝර්ත්)

පසු ගිය වසර 45 තිස්සේ ප්‍රකාශයට පත් කෙරුනු ඩේවිඩ්ගේ ප්‍රමුඛ කෘති සියල්ල යටින් පවතින්නේ, වෙහෙස නො බලා කරන ලද ඓතිහාසික අධ්‍යයන යි. ඒවා සඳහා ඔහු තෝරා ගත් චිත්‍රමය ප්‍රතිමූර්ති, පිරිසැලැස්ම නිර්මානය කල හා නිතර සම්පූර්න පෙල හෝ කොටස් රචනා කල සෑම වෙළුමක් ම වසර ගනනාවක වැඩ මත පදනම් විය. අපේ කාලයේ ශ්‍රේෂ්ඨත ම ලේඛනාරක්ෂකයින් හා ඓතිහාසික අභික්ෂකයින් (රහස් පරීක්ෂකයින්) අතර ඔහු විය. ඔහු රුසියානු විප්ලවය පිලිබඳ කලාත්මක වැදගත්කමකින් යුත් කෘති සොයමින් ලෝකය පුරා ඇවිද්ද අතර ඡායාරූප, පෝස්ටර්ස් හා රජයේ ලියවිලිවල සිට කෝපි ජෝගු දක්වා සෑම දෙයක් ම එකතු කලේ ය. ඔහුගේ එකතුවට හරියට ම අයිතම 250,000ක් අඩංගු බවට ඩේවිඩ් ඇස්තමේන්තු කර තිබුනි. මෙම එකතු කිරීම් පමනක් ඔහුගේ එක ම කාර්යසිද්ධිය වී තිබුනේ නම් වුව ද රුසියානු විප්ලවය පිලිබඳ ඉතිහාසඥයින් අතර ගෞවරනීය ස්ථානයකට ඔහු සුදුසු වීමට ඉඩ තිබුනි.

එහෙත් ඩේවිඩ් අයිතම එකතු කලා පමනක් නො ව. ඔහු ඒවායේ වැදගත්කම, එනම් රුසියානු විප්ලවය නැමති දැවන්ත ඓතිහාසික නාට්‍ය තුල ඒවායේ වෛෂයික ස්ථානය වටහා ගැනීමට උත්සාහ කලේ ය. කලාකෘති විභාග කිරීමේ දී, ඒවායේ දෘශ්‍යමානයේ සිට ඒවායේ ඓතිහාසික සාරය, එනම් අසම්පූර්න කොටසේ සමස්තයට ඇති සම්බන්ධය සොයා ගැනීමට ඩේවිඩ් පෙලඹුනේ ය. අනාවරනය කර ගැනීමේ මෙම ක්‍රියාදාමය කලාත්මක නිර්මානයේ ආකෘතිය නීර්නය කලේ ය. තෝරාගැනීම හා ඉදිරිපත් කිරීමේ ගැටළුව නිතර ම ඉතා ප්‍රබල වූ බව ප්‍රත්‍යක්ෂ වේ. අපූර්ව ලෙස, ඔහුගේ සෑම පොතක ම ඩේවිඩ් විසින් එකතු කරන ලද ප්‍රතිමූර්ති තිබියදීත්, කිසිවක් නැති වී නැති බව පෙනේ. සෑම ප්‍රතිරූමූර්තියක් ම කුඩා ම එක පවා, පාඨකයාගේ අවධානය අල්ලා ගනී. ඩේවිඩ්ට තියුනු දෘෂ්ටිමය සංවේදිතාවක් තිබූ බවට ප්‍රශ්නයක් නො මැත. නමුත් කුමක් කොතනට යා යුතු ද, එමෙන් ම කුමන ප්‍රමානයේ ප්‍රතිමූර්ති නැවත නිපදවීමට තිබේ ද යන්න ඔහු වටහා ගත්තේ නම් ඒ, කලාත්මක විනිශ්චය හැම විට ම වෛෂයික ඓතිහාසික ආඛ්‍යානයේ බලගතු දැනුම විසින් හික්මවන ලද බැවිනි.

රුසියානු විප්ලවය සමග ඩේවිඩ් කිංගේ බුද්ධිමය හා කලාත්මක සම්බන්ධය, ඔහුගේ පුද්ගලික අත්දැකීම් හා දේශපාලන අවබෝධය තුල පදනම් විය. 2009දී ඩේවිඩ් Red Star Over Russia: A Visual history Of The Soviet Union From 1917 To The Death Of Stalin (රුසියාවට ඉහල රතු තරුව: 1917 සිට ස්ටැලින්ගේ මරනය දක්වා සෝවියට් සංගමයේ දෘශ්‍ය ඉතිහාසය) නම් කෘතිය සම්පූර්න ක‍ලේ ය. ඩේවිඩ් කිංගේ එකතුවෙන් ගන්නා ලද ප්‍රතිමූර්ති ඇතුලත්, මෙම මිල කල නො හැකි මෙන් ම බල පරාක්‍රමයෙන් යුතු වෙළුමේ ප්‍රස්තාවනාව තුල ඔහු මෙසේ පැහැදිලි කලේ ය:

ලදරුවෙකු ලෙස පවා මම ධනවාදය නො රිස්සුවෙමි. එය අසාධාරන යැයි මම සිතුවෙමි. මම ආගම මෙන් ම රාජ්‍ය තන්ත්‍රය ද පිලිකුල් කලෙමි. ඔවුන් ඇඳි ඇදුම් නරුම මෙන් ම බිය ගන්වන බව මට දැනුනි. සමාජවාදියෙකු වූ මගේ මාමා, පාලක පන්තියේ සැබෑ ස්වාභාවය මට ඉගැන් වූ කල, පැහදිලිව ම එය පෙරලා දැමිය යුතු යැයි මම එකඟවූයෙමි. සියළු ලමුන් මෙන් ම, මම ද, 21වැනි සියවසේ ජීවිතය කෙබඳු වේවි දැ යි සිහින දැකීමට හුරු වුයෙමි. අසමානතාව, වර්ගවාදය, රජුන්, රාජිනියන් හා මෙම ග්‍රහ ලෝකයට පීඩා කරන ආගමික උන්මන්තයින් තවමත් එහි සිටිනු ඇතැ යි යමෙකු මට කියනු ලැබුවේ නම් ඔවුන් පිස්සන් යැයි මා සලකන්නට ඉඩ තිබුනි.

ඩේවිඩ් පලමු වරට සෝවියට් සංගමයට සංචාරය කලේ 1970 කටුක ලෙස සීතල සිසිර සෘතුවේ දී ය. ලන්ඩන් සන්ඩේ ටයිම්ස් පත්‍රය විසින් ඔහු එරටට යවා තිබුනේ ලෙනින්ගේ සියවැනි උපන් දින සංවත්සරයේ දී පල කිරීමට නියමිත විශේෂාංග ලිපි සඳහා පර්යේෂන කිරීමට හා ඡායාරූප ගැනීමට ය. විප්ලවය අනුස්මරනය සඳහා කැපවුනු බෙහෝ කෞතුකාගාරවල කිං සැරිසැරුවේ ය. ලෙනින්ගේ ජීවිතය විස්තරාත්මකව ලේඛන ගත කරන ලදී. නමුත් බොහෝ ප්‍රදර්ශනවලින් බොල්ශෙවික් විප්ලවයේ එක් ප්‍රමුඛ නායකයෙක් අතුරුදහන් ව සිටියේ ය. කිං එය මෙසේ සිහිපත් කර යි:

කෙසේ නමුත්, මා වඩාත් ම සොයා ගැනීමට උනන්දු වූ එක් චරිතයක් දැකිය හැකි තැනක් නො වී ය. ඒ නිසා, “ඔව්, නමුත් ට්‍රොට්ස්කි කොහේ ද?” නැතිනම් “සියල්ල බොහෝම ප්‍රිය ජනක යි, නමුත් ට්‍රොට්ස්කි ගැන ඇත්තේ කොහේ ද?” යි අසමින් මම බොහෝ කල් මැරුවෙමි. රුසියානු විප්ලවයේ සමනායකයාගේ අඩු තරමින් එක ඡායාරූපයක් හෝ නිල කෞතුකාගාර තුල සොයා ගැනීමට දරන ලද උත්සාහය සාර්ථක නොවීය. එහි කිසිවක් නො වී ය. ඔවුන් මුළුමනින් ම ඔහු මකා දමා තිබුනි, මා වහාම වටහා ගත්තේ, අනෙකුත් අය විශාල සංඛ්‍යාවකට ද එම ඉරනමම අත්වී තිබෙන බව ය.

සෝවියට් සංගමය තුල ඔහුගේ සංචාරය අතරතුර කිං තොරතුරු විශාල සංඛ්‍යාවක් එකතු කර ගත්තේ වී නමුත් ඔහුගේ අධ්‍යයනයේ ප්‍රතිඵල ගැන ඔහු තෘප්තිමත් නො වීය. අමතක කර දමන ලද විප්ලවයේ යෝධ පුරුෂයාගේ ප්‍රතිරූපය ඔහුගේ මනසින් ඉවත් කිරීමට ඔහුට නො හැකි විය.

මට නව සැලැස්මක් තිබුනි; ට්‍රොට්ස්කි වෙනුවෙන් අධ්‍යයනය කිරීමට, ඔහුගේ ජීවිතය පින්තූරවලින් ලේඛනගත කිරීමට ද දේශපාලන මුසාකරන තොගයකට, ප්‍රති නිර්මානය කරන ලද ඡායාරූප තොගයකට විසිවැනි සියවසේ ආවේශය දනවන විප්ලවවාදී ධීමතාගේ මතකය දුරීභූත කල නො හැකි බව පෙන්වීමට මට අවශ්‍ය විය. ට්‍රොට්ස්කි ගැන බොහෝ දේ බටහිර දී ලියා තුබුන නමුත් නිර්මාපකයෙකු/ඡායාරූපශිල්පියෙකු ලෙස මට අවශ්‍ය වූයේ ඔහුගේ කතාව වඩා පුළුල් ප්‍රේක්ෂකයින්ට සමීප කිරීමට ය.

යුරෝපය පුරා, උතුරු ඇමරිකාවේ හා 1940දී ට්‍රොට්ස්කි ඝාතනය කෙරී තිබුනු මෙක්සිකෝවේ සංචාරය කරමින් විප්ලවවාදී නායකයාගේ ජීවිතයට සම්බන්ධ ඡායාරූප, පෝස්ටර්, වාර්තා හා කලා කෘති ඔහුගේ එකතුවට ගොනු කිරීමට ඩේවිඩ් මුල පිරී ය. සන්ඩේ ටයිම්ස් පත්‍රයේ සගයෙකු වන ෆ්‍රැන්සිස් වයින්ඩ්හැම් සමග වැඩ කරමින් ඔහු ‍ට්‍රොට්ස්කිගේ චරිතාපාදානයක සමකතෘත්වය දැරුවේ ය. වයින්ඩ්හැම් පාඨග්‍රන්ථයේ බොහෝ කොටස් රචනා කල ද එය වැදගත් හා බලසම්පන්න ඓතිහාසික නිර්මානයක් කෙරුනු, විශාල ඡායාරූප එකතුවක් ගොනු කොට ඉදිරිපත් කරන ලද්දේ කිං විසිනි. දැවැන්ත උද්යෝගයක් සහිතව එය 1972දී පල කෙරින.

ඩේවිඩ් විසින් බාර ගන්නා ලද ඊ ලඟ ප්‍රධාන කාර්යය හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සමග සහයෝගීව ගත් එකක් විය. එවකට හජාජාක බ්‍රිතාන්‍ය ශාඛාව වූ, කම්කරු විප්ලවවාදී පක්ෂයේ සාමාජිකයෙකු නොවුව ද කම්කරු පන්තිය තුල එහි න්‍යායික වැඩකටයුතු හා දේශපාලන ක්‍රියාකම්වලට කිං බෙහෙවින් ගරු ක‍ලේ ය. ජාත්‍යන්තර කමිටුව විසින් 1975දී ලියොන් ‍ට්‍රොට්ස්කි ඝාතනය පිලිබඳව ආරම්භ කරන ලද පරීක්ෂනය ඔහු ඉතා උනන්දුවෙන් හැදෑරුවේ ය. 1977දී ප්‍රසිද්ධ කරන ලද How the GPU Murdered Trotsky (ජීපීයූව ට්‍රොට්ස්කි මැරුවේ කෙසේ ද) යන පරීක්ෂන ලියවිල්ලේ පිලිසැලැස්මට (design ) ඔහු ඔහුගේ කාලය ද පුද්ගලික එකතුවේ බොහෝ ඡායාරූප ද පරිත්‍යාග කලේ ය.

ජීපීයූව ට්‍රොට්ස්කි මැරුවේ කෙසේ ද

2009දී, ලන්ඩනයට ගිය අවස්ථාවක දී, ජීපීයූව ට්‍රොට්ස්කි මැරුවේ කෙසේ ද යන කර්තව්‍යයේදී, ජාත්‍යන්තර කමිටුව සමග ඔහුගේ සහයෝගිත්වය ගැන මම ඔහු සමග දීර්ග ලෙස සාකච්ඡා කලෙමි. ට්‍රොට්ස්කිගේ ඝාතනය පිලිබඳ ජාත්‍යන්තර කමිටුවේ අධ්‍ය්‍යනය ස්ටැලින්ගේ අපරාධ පිලිබඳ වැදගත් ප්‍රතිපදානයක් ලෙස ඔහු සැලැකිල්ලට ගත් බව ඔහු පැහැදිලි කලේ ය. බොහෝ බ්‍රිතාන්‍ය වම්මුන් පරීක්ෂනයට දැක් වූ හතුරු ප්‍රතිචාරයෙන් විශ්මයට පත් බව ඔහු පැවසී ය. ඇමරිකානු සමාජවාදී කම්කරු පක්ෂයේ දීර්ග කාලීන නායකයා වූ ජෝශප් හැන්සන් සහ එෆ්බීඅයි මෙන් ම සෝවියට් රහස් පොලීසිය සමග ඔහුගේ සම්බන්ධකම් හෙලිදරව් කල වාර්තා ජාත්‍යන්තර කමිටුව විසින් සොයා ගැනීම පිලිබඳව කතා කරද්දී, හැන්සන් සමග තමාගේ ම අමුතු හමුවීම කිං සිහිපත් කලේ ය.

1970 ගනන්වල මුල් කාලයේ දී, ට්‍රොට්ස්කිගේ චරිතාපදානය ගැන සිය අධ්‍යයනය අතරතුර දී, ඡායාරූප හා ලේඛන සොයනු පිනිස ඩේවිඩ් නිව් යෝක් කරා ගියේ ය. සමාජවාදී කම්කරු පක්ෂය සමග සම්බන්ධකම් ඇති කර ගත් ඔහු, 1937 හා 1940 අතරතුර මෙක්සිකෝවේ ට්‍රොට්ස්කිගේ ලේකම් ලෙස සේවය කර තිබූ හැන්සන් සමග හමුවක් ඉල්ලා සිටියේ ය. හමුවීම තොරතුරු සම්භාරයක් මෙන් ම ට්‍රොට්ස්කිගේ පෞරුෂත්වය පිලිබද සියුම් අභිනිවේෂයන් සපයනු ඇත යි ඩේවිඩ් කල්පනා කලේ ය. නමුත් සම්මුඛ සාකච්ඡාව පටන් ගැනීමටත් පෙර හැන්සන් මෙසේ ඇසුවේ ය: “ඔබට ට්‍රොට්ස්කි ගැන ලිවීමට අවශ්‍ය ඇයි?”

ප්‍රශ්නය අසනු ලැබූ හඬෙන්ම විස්මයට පත් කිං, ඔහුගේ උරුමය සමාජවාදයේ අනාගත ජයග්‍රහනය සඳහා සටනේ තීරනාත්මක කොටසක් වූ ට්‍රොට්ස්කි, ප්‍රමුඛ ඓතිහාසික නායකයෙකු වී යැයි තමා සිතුවේ මන් දැ යි පැහැදිලි කිරීම ආරම්භ කලේ ය. “අනාගතය?” හැන්සන් විමසීය. “පවතින වාතාවරනය සලකා බලන විට පෙනී යන්නේ, අවුරුදු 20ක දී ග්‍රහලෝකය පවතින්නේ නැති බවයි.” සම්මුඛ සාකච්ඡාව වහා අවසන් විය. ආසන්න වසයෙන් අවුරුදු 50කට පසුව ඩේවිඩ් මෙය නැවත මතක් කරන විටත්, හැන්සන්ගේ සඳහන ගැන ඔහුගේ විශ්මය වියකී ගොස් නො තිබුනි.

ඩේවිඩ් කිං සිය රූපාගාරය තුල, 2009 (ඡායාරූපකරනය- ඩේවිඩ් නෝර්ත් )

පසු ගිය 35ස් වසර තිස්සේ ඩේවිඩ්ගේ වැඩ කටයුතුවල කේන්ද්‍රීය ඉලක්කය වූයේ, ඔක්තෝබර් විප්ලවය හා සෝවියට් ජනතාවට එරෙහිව සෝවියට් නිලධරයේ අපරාධ හෙලිදරව් කිරීම යි. 1982දී, The Great Purges (මහා විරේකයන්) නම් කෘතිය ලියන හා නිර්මානය කරන අවධියේ ඔහු අයිසැක් ඩොයිට්ෂර්ගේ (සුප්‍රසිද්ධ ට්‍රොට්ස්කි චරිතාපදාන ත්‍රිත්වයේ කතුවරයා) වැන්දඹුව වූ තමාරා ඩොයිට්ෂර් සමග සහයෝගයෙන් වැඩ කලේ ය. 1977දී ඩේවිඩ් තවත් ප්‍රධාන ඓතිහාසික ග්‍රන්ථයක්, The Commissar Vanishes: The Falsification of Photographs and Art in Stalin’s Russia (කොමිසාර් අතුරුදහන් වේ: ස්ටැලින්ගේ රුසියාවේ ඡායාරූප හා කලාවේ මුසාකරනය) නිම කලේ ය. මෙම කෘතිය තුල කිං විදහා පෑවේ, ස්ටැලින් සහ සෝවියට් නායකත්වය හා නිලධාරී තන්ත්‍රය තුල ඔහුගේ සහචරයන්, ඡායාරූප ප්‍රතිනිර්මානය කිරීමෙන් ක්‍රමානුකූලව ඉතිහාසය මුසාකරනය කරන ලද්දේ කෙසේ ද යන්න යි. කොමිසාර් අතුරුදහන් වේ හි විෂය පැහදිලි කරමින් ඩේවිඩ් මෙසේ සඳහන් කලේ ය:

ස්ටැලින්ගේ කාලයේ දී අතිමහත් මූසාකරන සිදු කෙරුනි. ඒ තරමට ම නැවත සැකසුනු ඡායාරූප මගින්, සෝවියට් යුගයේ එවක ඉතිහාසය පැවසීමට ද හැකි ය. මෙම පොතේ අරමුන එය යි. ඒවා වංචා සහගත ව වෙනස් කෙරුනු අවස්ථාවන්හිදී හැර, ඡායාරූප ප්‍රදර්ශනය කෙරෙන්නේ කාලානුක්‍රමිකව ය, ඒවා ගන්නා ලද කාලය අනුව ය. නැවත සැකසුනු පිටපත් පොදුවේ පෙන්වනු ලබන්නේ මුල් ඒවා පසෙකිනි, නැතහොත් පසු පිටුවල ය. මුසාකරනය නොකරෙනු ප්‍රධාන ඡායාරූප හා වාර්තා ගනනාවක් ද ඇතුලත් කෙරෙන්නේ ඉතිහාසයේ වැදගත් අවස්ථා පැහදිලි කිරීමට ය. චිත්‍ර, ග්‍රැෆික් සටහන්, හා ස්ටැලින්වාදී වීර වන්දනාවේ අනෙකුත් වාර්තා ද, එමෙන් ම දැක්වෙ යි. දේශපාලනික, සංස්කෘතිකමය හා සැබවින් ම දෘෂ්ටිමය කෝනයකින් වඩාත් ම අවධානය ඇද ගන්නා හා විවධ ප්‍රතිමූර්ති පමනක් මෙහි දැක්වේ. මූසාකරනය පිලිබඳ නව උදාහරන හැමවිට ම අනාවරනය වෙමින් පවතී.වෙහෙසකර නැවත සැකසීමක ප්‍රතිඵලයක් වසයෙන් ඡායාරූපයක් අමුතු යැයි පෙනෙන්නට ඉඩ ඇත. මුල් එක සොයා ගැනීමට බොහෝ කාලයක් ගත වනු ඇත ― හැම විටම එය සිදුවෙ යි. ගවේෂනය ඉදිරියට යයි.

2003දී කිං Ordinary Citizens: The Victims of Stalin (සාමාන්‍ය පුරවැසියෝ: ස්ටැලින්ගේ ගොදුරු) නම් වෙළුම ප්‍රසිද්ධ කලේ ය.මෙම වෙළුම තුල, රහස් පොලීසියේ මොස්කව් මූලස්ථානය වූ ල්‍යුබියෙන්කා හි සිරකර සිටින අතරතුර ගන්නා ලද සෝවියට් සිරකරුවන්ගේ මුහුනේ ඡායාරූප 150ක් ඇතුලත් ය. ඡායාරූප ගත කෙරුනු පුද්ගලයන් අතර, ග්‍රිගොරි සිනෝවිව් වැනි රුසියානු ඉතිහාසයේ ප්‍රධාන නායකයින්ගේ හා අයිසැක් බේබල් වැනි සාහිත්‍යදරයන්ගේ ඒවා ද විය. නමුත් මුහුනු ඡායාරූප බොහොමයක් අප්‍රසිද්ධ “සාමාන්‍ය” රටවැසියන්ගේ ඒවා ය. ගොදුරුවූවන් තුල පොදුවේ දක්නට තිබුන දෙය නම්, ඔවුන් ඉක්මනින් ම ස්ටැලින්ගේ අළුගෝසුවන් විසින් මරනයට නියමිත වී සිටින බව දැක්වීමයි. මෙම ඡායාරූපයන්ගෙන් බොහොමයක් ගැනුනේ දිවා කායේ දී ය, සමහර අවස්ථාවල දී මෙම මනුෂ්‍ය ප්‍රානීන්ගේ ජීවිත උදුරා ගැනීමට පැය කීපයකට පමනක් කලින් ගත් ඒවාය. මරනයට නියමවූවන්ගේ ප්‍රතිබිම්බ අධික ලෙස කැලඹිලි සහගත ය. කිං විසින් තෝරා ගන්නා ලද එම පිලිබිඹුවලට මානසිකව සිත් කාවදින එවැනි බලපෑමක් ලබා දෙන්නේ ඡායාරූපවල අනපේක්ෂිත ගුනය යි. එක් සැලකිය යුතු විස්තරයක දී, ඩේවිඩ් මෙසේ සඳහන් කර යි:

ස්ටැලින්වාදී රහස් පොලීසියේ මාරාන්තික ඇස්වලට, සිය අවාසනාවන්ත ගොදුරුවල එවැනි සංවේදී චිත්‍ර නිර්මානය කිරීමට හැකි වී තිබුනේය යන්න බියකරු උත්ප්‍රාසයකි. බටහිර පොලිස් මුහුනු ඡායාරූපවලට වෙනස් ලෙස, එන්කේවීඩී ඡායාරූප ගෙන ඇත්තේ කෘතිම ආලෝකය පාවිච්චි නො කර ය. ස්වභාවික ආලෝකයේ දී ඡායාරූප ගැනීමට වඩා දිගු වේලාවක් අවශ්‍ය කෙරේ. එය සම්පූර්න භාවප්‍රකාශන පෙලක් විදහා පෙන්වන අයුරු කැමරාව ඉදිරියේ වැඩි වේලාවක් නිරාවරනයව සිටිමට සිරකරුවන්ට සිදුවීම නිසා ඇති වූවකි. මෙහි කිසි ම සාමාන්‍ය පුරවැසියෙකු ක්ෂනාලෝක බුබුලෙන්(flash bulb) පුදුමයට පත් කෙරුනේ හෝ “ග්‍රහනයට ගැනුනේ” නැත. මුහුනු බියකරු ය, භාව ප්‍රකාශන හැමවිට ම ඉතා ඛේදජනක ය. ඔවුන් කාචය දෙස ඇස් විදහා ඍජුව බලන්නේ නොසැලකිල්ල, අවඥාව, බිය හෝ ඇතම් විටක බිය මුසු ශෝකය සමගිනි. ප්‍රශ්නාර්ථවත් බැලීම් ඇති කලේ වේදනාව, අභිමනය හා ගෞරවය යි. එකෙකු දෙන්නෙකුගේ මුහුනු මත ඇත්තේ දැඩි කෝපයකි. යමෙක් අසනීප හෝ වධයට ලක් වීමේ සංඥා පෙන්වති. යමෙක් පෙන්වන්නේ උමතු ස්වභාවයකි. කීප දෙනෙක් කැමරාව දෙස ආපසු හැරී බැලූහ, නැත්නම් සිනාසීමේ උත්සාහයක යෙදුනහ. එය සිත් කම්පා කරන සුලුය.

2009දී ඩේවිඩ් රුසියානු-සෝවියට් ඉතිහාසය පිලිබඳ අනුස්මරනීය චිත්‍ර ආශ්‍රිත පරිදර්ශනය, එනම් Red Star Over Russia (රුසියාවට ඉහල රතු තරුව) සම්පූර්න කල අතර එය පල කෙරුනේ ඩේවිඩ් කිංගේ එකතුවේ ඡායාරූප හා පෝස්ටර්ස් ප්‍රදර්ශනයට කැප කෙරුනු, ලන්ඩන‍යේ ටේට් ‍කෞතුකාගාරයේ නව අංශයක් විවෘත කිරීමට සමගාමීව ය. ඔහු මට ප්‍රදර්ශනය සඳහා පුද්ගලික සංචාරයකට ආරාධනා කලේය, ඒ සම්බන්ධයෙන් ඔහු යුක්තිසහගත ලෙස ආඩම්බර විය. ප්‍රදර්ශනයේ සෑම භාන්ඩයක් ම ඔක්තෝබර් විප්ලවයේ ශ්‍රේෂ්ඨ හා ශෝඛීය ඓතිහාසික කතන්දරයේ කොටසක් විය.

ඩේවිඩ් කිංගේ අභාවය, ලෝකයට ශ්‍රේෂ්ඨ කලාකරුවෙකු හා ඉතිහාසඥයෙකු අහිමි කලේ ය. අහිමිවීමේ හැඟීම වැඩිවෙන්නේ එය 1917 රුසියානු විප්ලවයේ සියවැනි සංවත්සරය ආසන්නයේ දී සිදුවීම මගිනි. එලඹෙන වසරේදී ඔහුට කොපමන දේවල් පෙන්වීමට හා කීමට තිබෙන්නට ඇත් ද! කලාකරුවෙකු, සමාජවාදී විප්ලවවාදියෙකු හා ඓතිහාසික සත්‍යයේ ආරක්ෂකයෙකු ලෙස ඩේවිඩ් කිංගේ කෘති, සියවස් සංවත්සරය හා ඉන් ඔබ්බේ දී, නූතන ඉතිහාසයේ උත්පාදක සිදුවීම පිලිබඳ අවබෝධයට දැවන්ත ලෙස දායක වනු ඇත, එමෙන් ම, ඒ නිසා, මානව විමුක්තියේ ක්‍රියාදාමය සඳහා චිරස්ථායි ආවේශයක් සපයනු ද ඇත.

Share this article: