තුර්කි කුමන්ත‍්‍රනය: ජාත්‍යන්තර කම්කරු පන්තියට අනතුරු ඇඟවීමකි

The Turkish coup: A warning to the international working class

2016 ජූලි 18

ආසන්න වශයෙන් 300ක් මරනයට පත්වීමෙන් පසුව ජූලි 15දා, තුර්කියේ අසාර්ථක -කුමන්ත‍්‍රනය මර්දනය කෙරී ඇති බව පෙනී යන නමුත් එරට පවතින්නේ, නව ප‍්‍රචන්ඩතා හා මර්දනයේ තර්ජනය විසින් වසං කරන ලද, අත්‍යන්ත දේශපාලන අස්ථාවරත්වයක ය.

ලෝක සමජවාදී වෙබ් අඩවි වාර්තාකරුවෙකු ඉරිදා සවස තුර්කියේ සිට වාර්තා කලේ, යලිත් වීදිවලට පැමින මහජන චතුරශ‍්‍රවල පාලනය සියතට ගන්නැ යි මහජනයා කැඳවුම් කරමින් නැවත වතාවක් ජංගම දුරකථන පනිවුඩ යැවීම, අනතුර පහව නැති බව හා හමුදාව ඕනෑ ම මොහොතක තම මැදිහත්වීම යලි පන ගැන්වීමේ හැකියාව පහව ගොස් නැති බවයි.

ජනාධිපති රෙසෙප් ටේයිප් අර්ඩෝගන්ගේ ආන්ඩුව ආඥාදායක කඩාපැනීමක් සමගින් කුමන්ත‍්‍රන උත්සාහයට ප‍්‍රතිචාර දක්වා ඇත්තේ, දහස් ගනනක් හමුදා නිලධාරීන් හා සොල්දාදුවන්ට අමතර ව පුද්ගලගයන් 6,000ක් පමන අත්අඩංගුවට ගනිමිනි. හිරකරුවන්ගෙන් කොටසක් රැඳවීමට ක‍්‍රීඩාංගනයක් පාවිච්චි කිරිම මගින් වට කිරීමේ පරිමාව ගම්‍ය කෙරෙන අතර, එය දෝංකාර නංවන්නේ 1973 චිලී හි ලේවැකි සිදුවීම් ය.

විනිශ්චයකරුවන් හා නීති නිලධාරීන් දහස් ගනනකට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ නියෝග නිකුත් කෙරී ඇති අතර, ඔවුහු දැන් හංවඩු ගසනු ලැබ ඇත්තේ “සන්නද්ධ ත‍්‍රස්තවාදී ව්‍යාපාරයක” හවුල්කරුවන් ලෙස ය. විය හැකි සියලු විරුද්ධවාදීන්ගෙන් රාජ්‍ය ආයතන “පිරිසිදු කිරීමේ” පොරොන්දුවට අමතරව, අර්ඩෝගන්ගේ ආන්ඩුව අඟවා ඇත්තේ, ඔවුන්ට එරෙහිව යොදා ගැනීම පිනිස තමන් මරන දන්ඩනය යලි ස්ථාපනය කිරීමට බලය යොදන බව යි.

ආන්ඩුව ඉස්ලාම්වාදී නඩ වීදිවලට මුදා හැර ඇති අතර ඔවුන්, බොහෝ අවස්ථාවල දී බලයෙන් හමුදාවට බඳවා ගැනුනු තරුන තුර්කි සොල්දාදුවන්ට එරෙහිව ප‍්‍රචන්ඩ පලිගැනීමේ දඬුවම් පමුනුවා ඇත. පහරදීම් හා එල්ලා මරා දැමීම් ගැන වාර්තාවී ඇත. සමාජ මාධ්‍ය ජාල ඔස්සේ බෙදාහැරුනු වීඩියෝ පටයක් ඉස්තාන්බුල් හි බොස්පෝරස් පාලම මත දී සොල්දාදුවෙකුගේ හිස ගසා දමන ආකාරය පෙන් වී ය.

දැන් දිග හැරෙමින් පවතින තත්වයන් යටතේ තුර්කියට, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන රූපාකාරයක ඡායවක් පවා පවත්වා ගැනීමට හෝ දේශපාලන ස්ථාවරත්වයේ අර්ථාන්විත තත්වයකට ආපසු පැමිනෙනු දැකීම පවා දුෂ්කර ය.

සමස්ත ධනේශ්වර ලෝකයට ම මෙහි ගම්‍යයන් පවතියි. තුර්කිය දේශපාලනික හා ආර්ථික නිසොල්මන් තැනක පවතින බවක් අදහස් කෙරෙන්නේ නැත. යුරෝපය හා ආසියාවේ මන්සන්ධියක පිහිටි, මිලියන 75ක ජනගහනයක් ඇති එරට, එක්සත් ජනපදය නායකත්වය දෙන නේටෝ අධිරාජ්‍යවාදී හවුලේ ප‍්‍රධාන සාමාජිකයෙකු වන අතර, එරට පාලකයෝ එක්සත් ජනපදයට ම පමනක් දෙවැනි විශාල ම මිලිටරිය ගැන කයිවාරු ගසමින් සිටිති. එය සමන්විත වන්නේ යුරෝපයේ හයවැනි විශාලම ආර්ථිකයෙනි. යුරෝපීය සංගමයේ සාමාජිකයෙකු නොවන නමුදු තුර්කිය, යුරෝපා සංගමයේ ආර්ථික හා දේශපාලනික ව්‍යුහයට කිට්ටුවෙන් ඒකාබද්ධව ඇත.

තුර්කි ඉතිහාසය කුමන්ත‍්‍රන හා කුමන්ත‍්‍රන උත්සාහයන්ගෙන් බහුල වන නමුත් දශක දෙකක් අතර තුර රට තුල එවැන්නක් සිදුව නැත. 1960, 1971 හා 1980දී මිලිටරිය තුර්කියේ බලය ගත්තේ, පෙන්ටගනය හා සීඅයිඒ සංවිධානයේ කිට්ටු පිටුබලය සහිතව, ලතින් ඇමරිකාවේ වැඩි කොටසක, ග‍්‍රීසිය, ඉන්දුනීසියාව හා වෙනත් තැන්වල එකම කාලයේ දී සිදුවූ ආකාරයට ය.

තුර්කිය වැනි රටක මිලිටරියේ විශාල කොටසක් නැවත වතාවක් බලය ගැනීමට උත්සාහ කරන්නේ නම් එහි අනිවාර්ය නිගමනය වන්නේ, හුදෙක් තුර්කිය තුල පමනක් නො ව ලෝක පරිමානව මිලිටරි කුමන්ත‍්‍රනයන්ගේ යුගය යලි පැමින ඇති බව ය. මැද පෙරදිග, බෝල්කන් හා තවත් තැන්වල එක්සත් ජනපදය නායකත්වය දුන් යුද්ධ මගින් අවුලුවන ලද අතිශය ප‍්‍රචන්ඩ අස්ථාවරත්වය හා අර්බුදය, දැන් ප‍්‍රධාන බටහිර රටවලට හා මුලු ග‍්‍රහලෝකය පුරා අනුකම්පා විරහිතව පැතිරෙමින් පවතින්නේ , සමාජ අසමානතාවේ පෙර නො වූ විරූ මට්ටම් සහ තීව‍්‍රවන භූ-දේශපාලනික හා මිලිටරි ආතතීන් මධ්‍යයේ ය.

සති අන්තයේ ඉස්තාන්බුල් හා ඇන්කාරා හි ලේවැකි සිදුවීම්වල වූ මෙම ආතතීන්, කුමන්ත‍්‍රන උත්සාහයට හා ඉන් ඉක්බිත්තේ එක්සත් ජනපදය හා යුරෝපයේ ― එමෙන් ම තුර්කිය තුලම ද ― පල වන ප‍්‍රතිචාර තුල ප‍්‍රකාශයට පත් වෙයි.

තුර්කියේ කම්කරු අමාත්‍ය සුලෙයිමාන් සොයිලූ, “කුමන්ත‍්‍රනය පිටුපස එක්සත් ජනපදය සිටින්නේ” යැයි චෝදනා කිරීමට තරම් දුර ගියේ ය. එර්ඩෝගන් ම ද මුලු සිද්ධියම ආරෝපනය කලේ ඔහුගේ හිටපු සගයෙකු මෙන් ම වර්තමාන හතුරෙකු වන, ඇමරිකානු ගැති ඉස්ලාමීය පූජකයෙකු වන ෆෙතුල්ලා ගූලෙන් ට ය. පෙනිසිල්වේනියාවේ පිටුවහලේ ජීවත් වන ඔහු පැහදිලි ලෙසම එක්සත් ජනපදය තුල සිටිමින් එරට ආරක්ෂාව භුක්තිවිඳි යි. එර්ඩෝගන් ගුලේන් හෙලාදකින විට, ඔහු සැබවින් ම කතා කරන්නේ ඔබාමා ගැන යයි අනුමාන කල හැකි ය.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී එක්සත් ජනපදය “තුර්කිය තුල ස්ථාවරත්වය, සාමය සහ අඛන්ඩත්වය” අපේක්ෂා කරයි යනුවෙන් ප‍්‍රකාශ කර නතර වීම හමුවේ, වාර්තා කෙරුනු කුමන්ත‍්‍රනයට වොෂින්ටනයේ ආරම්භක ප‍්‍රතිචාරය හොඳට ම සැක උපදවන සුලු ය. “ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස තෝරා පත් කර ගැනුනු තුර්කිය” සඳහා සහාය අඟවමින් ධවල මන්දිය ප‍්‍රකාශනයක් නිකුත් කලේ, කුමන්ත‍්‍රනය අසාර්ථක වන බව පැහදිලිවීමෙන් පසු ව පමනකි.

ඇන්ජෙලා මර්කෙල්ගේ ජර්මානු ආන්ඩුව ද ඒ අයුරින් ම කුමන්ත‍්‍රනය හෙලා දැකීමට කාලය ගත්තේ ය. නිල ප‍්‍රකාශනයෙන් පසු, ජර්මානු මාධ්‍ය හා බොහෝ දේශපාලඥයින් ඔවුන්ගේ ප‍්‍රහාරයන් එර්ඩෝගන් මත කේන්ද්‍ර ගත කල අතර, නේටෝ රටක් තුල කුමන්ත‍්‍රනයේ ගම්‍යයන් ගැන ඊට පසු කිසිවක් නොපවසමින්, ව්‍යවස්ථා විරෝධී පියවරවලවලට එරෙහිව ඔහුට අනතුරු අඟවමිනි.

එක්සත් ජනපද සම්බන්ධය පිලිබඳ සැකය අසාධාරන නො වේ. යන්තම් වසර තුනකට පෙර ඔබාමා පාලනාධිකාරය, ජෙනරාල් අබ්දෙල් අල්-සිසී නායකත්වය දුන් මිලිටිරි කුමන්ත‍්‍රනයට මුලුමනින් ම වාගේ සහයෝගය දුන්නේ, ඊජිප්තුවේ ඡන්දයෙන් පත්වුනු ජනාධිපති මොහමඞ් මූර්සි පෙරලා දැමීම “කුමන්ත‍්‍රනයක්” යැයි පැවසීම ප‍්‍රතික්ෂේප කරමිනි. සිසී තන්ත‍්‍රය එහි විරුද්ධවාදීන් ඝාතනය කිරීම, හිරකිරීම හා වදහිංසා පැමිනවීමත් සමග වොෂින්ටනය දිගටම ඊජිප්තුව වෙත මිලිටරි ආධාර යවනු ලැබීය. ඊට පසු 2014දී, ජර්මනිය සමග එක්ව යුක්‍රේන ආන්ඩුව පලවා හැරීමට ෆැසිස්ට්වාදීන් නායකත්වය දුන් කුමන්ත‍්‍රනය සැලැසුම් කලේ ය.

තුර්කිය තුල යත්න දැරූ කුමන්ත‍්‍රනය, නිශ්චිතව ම එක්සත් ජනපදය හෝ ජර්මනිය විසින් අනුමත කෙරුනා හෝ නැතා හෝ, ඔබාමා හා මර්කෙල් විසින් සාර්ථක වුනා නම් එය සතුටින් පිලි නොගැනීමට ඉඩ ඇතැ යි සිතිය නො හැක. සිරියාව තුල පස්වසරක් වන සිවිල් යුද්ධයට සම්බන්ධව වොෂින්ටනය හා ඇන්කාරා අතර සම්බන්ධකම් ආතති සහගත වී ඇත. සිවිල් යුද්ධය තුල එර්ඩෝගන් ආන්ඩුව මේ දක්වා ම ක‍්‍රියාකාරී වී ඇත්තේ තන්ත‍්‍ර වෙනස සඳහා එක්සත් ජනපදය මෙහෙයවන යුද්ධය තුල ගැත්තර හමුදාවක් ලෙස සේවය කරමින් සිටින ඉස්ලාමීය මිලීෂියා හමුදාවන්ගේ ප‍්‍රධාන ආධාරකරුවා ලෙස ය. සිරියාවේ කුර්දි හමුදා සමග වොෂින්ටනයේ කිට්ටු සම්බන්ධය, ඇන්කාරා තන්ත‍්‍රය විසින් සලකනු ලබන්නේ දැඩි සතුරුකමකින්ය. සිරියාව තුල කුර්දි මිලිටරි සාර්ථකත්වය තුර්කිය තුල ම කුර්දි ස්වාධිපත්‍යය සඳහා වන ඉල්ලීම් ශක්තිමත් කරනු ඇතැ යි එරට බියට පත්ව ඇත.

තුර්කියට වඩා විශාල දේශපාලනික හා ආර්ථික පිරිවැයක් දැරීමට සිදුව ඇති අල්ලපු රටේ යුද්ධය තිබිය දී, 2015 නොවැම්බර් මාසයේ, තුර්කිය රුසියානු යුද ගුවන් යානයක් වෙඩි තබා බිම හෙලීම සම්බන්ධයෙන්, පසු ගිය මාසයේ දී එර්ඩෝගන්, රුසියාවෙන් සමාව ඉල්ලා ලිපියක් නිකුත් කලේ ය. වාර්තා වන පරිදි රුසියාව සමග යලි මිත‍්‍රවීමේ උත්සාහය, එක්සත් ජනපද ආන්ඩුවේ පාලනයෙන් පිටත සිරියාව තුල දේශපාලන විසඳුමක් ගැන සාකච්ඡා කිරීම සමග සම්බන්ධවේ.

එක්සත් ජනපද යානා වෙනුවට රුසියානු ගුවන් යානා වලට, මූලෝපායික ඉන්සිර්ලික් ගුවන් කඳවුරට ප‍්‍රවේශ පහසුකම් ලබා දීමට එර්ඩෝගන් තර්ජනය කර ඇති බවට ද වාර්තා ලැබී ඇත. එක්සත් ජනපදය යුරෝපයේ තම විශාල ම න්‍යෂ්ටික සැපයුම් සංචිතය පවත්වා ගෙන යන්නේ ඉනිසිර්ලික් ගුවන් හමුදා කඳවුරේ ය. වාර්තා වන පරිදි, එම කඳවුරේ තුර්කි අනදෙන්නා කුමන්ත‍්‍රනයේ නායකයෙකු වන අතර දැන් අත්අඩංගුවේ සිටී.

බ්‍රිතාන්‍ය ටෙලිග‍්‍රාෆ් පුවත්පත කුමන්ත‍්‍රනයට සති කීපයකට පෙර වොෂින්ටනය හා ඇන්කාරා අතර ආතතීන් වැඞී යාම ගැන පැහදිලි කලේ ය:

“කුමන්ත‍්‍රනයට පෙර මාසයේ දී එර්ඩෝගන් මහතා හදිසියේ ම නාටකාකාර රාජ්‍යතාන්ත‍්‍රික විප්ලවයක් දියත් ක්‍ලේ ය. වේගවත් අනුපිලිවලකින් ඔහුගේ ආන්ඩුව, රුසියාව, ඊජිප්තුව හා ඊස්රායලය සමග තම සම්බන්ධකම් පිලිසකර කලේ ය. පුටින්, සිසී හා නෙතන්යාහු මිනීමරුවන් ලෙස හැඳින්වූ එර්ඩෝගන් මහතා එය එක රැයක දී අමතක කර දැමීය. ඊට පසු කුමන්ත‍්‍රනය ආසන්නයේ දී තුර්කි අගමැති, රුසියාව සමග සම්බන්ධතා යලි සලකා බැලීම පිලිබඳ ව පවා කතා කලේ ය.

“ඒ අතරම, එක්සත් ජනපදය සමග සම්බන්ධතා පහත වැටෙමින් තිබේ. කුමන්ත‍්‍රනයෙන් පසුව පැනවන ලද ‘පියාසර තහනම් කලාපය,’ සිරියාව තුල අයිසිල් සංවිධානයට එරෙහිව තුර්කියේ ඉන්සිර්ලික් ගුවන් හමුදා කඳවුරේ සිට ක‍්‍රියාත්මක වන එක්සත් ජනපද ගුවන් යානා හා ඩ්‍රෝන් යානා වලට ද බලපාන පරිදි තුර්කි ආන්ඩුව විසින් පුලුල් කරන ලද අවස්ථාවේ පෙන්ටගනය, පුදුමයට පත්වුනි. තවත් නරකම දෙයක් වූයේ කඳවුරේ විදුලිය විසන්ධි කිරීම යි. ඊට පසු තුර්කි කඳවුරේ අනදෙන නිලධාරියා අත්අඩංගුවට ගැනුනි. එයත් සමග, කුමන්ත‍්‍රන කරුවන් හා පෙන්ටනය අතර ‘පුරුක’ ඔහු වී යැයි කටකතාවක් ඇවිල ගියේය. විදේශිය රටවල් විසින් එවැන්නක් ඉවත දැමීමට ඉඩ තිබුන ද එය එර්ඩෝගන් මහතාගේ සහයෝගික පදනම සිය ඇමරිකානු මිත‍්‍රයාගෙන් කොතරම් දුරස්ථවී ඇත් ද යන්න පිලිබඳ ඇඟවුමකි.”

මෙම සිදුවීම්වල මතුවීමට තුඩු දුන් නිශ්චිත ආතතීන් හා කුමන්ත‍්‍රන මොනවා වුව ද, ප‍්‍රශ්නය පැහදිලිව ම මෙසේ මතු කෙරේ: දේශපාලන ක්ෂිතිජයේ මිලිටරි කුමන්ත‍්‍රනයක අනතුර පවතින එකම නේටෝ රට තුර්කිය පමන ද? මෑත වර්ධනයන් අඟවන්නේ, දම්වැල පලමුව බිඳී ගියේ එහි දුර්වලම පුරුකෙන් නමුත් කැඞී ගියේ මුලු දම්වැලමය. එයින් එල්ල කෙරෙන තර්ජනය සර්වත‍්‍රිකය.

බ්‍රිතාන්‍ය බෙදීමටත් සමස්තයක් වශයෙන් යුරෝපා සංගමයම බිඳී විසිර යමේ තර්ජනය මතු කරන අතර, බ්‍රෙක්සිට් ප‍්‍රධාන පක්ෂ දෙක ම ප‍්‍රගාඪ අර්බුදයකට ඇද දමා ඇති බ්‍රිතාන්‍ය සම්බන්ධයෙන් තත්වය කෙසේ ද? කම්කරු පක්ෂ නායක ජෙරෙමි කෝබින් අගමැති වුවහොත් මිලිටරි නායකයින් “කැරැල්ලක්” (දියත් කරන බවට) තර්ජනය කලේ යන්තම් මෑතක දීය. ඔහු ඉවත් කිරීමේ අභ්‍යන්තර පක්ෂ කුමන්ත‍්‍රනයක් මෙහෙයවන කෝබින්ගේ තරඟකරුවන්, මිලිටරියේ සහයෝගය දිනා ගැනීමේ උපායක් ලෙස, න්‍යෂ්ටික ආයුධ යොදා ගැනීමට කැමත්ත ප‍්‍රකාශ කර ඇත.

ප‍්‍රන්සයේ දී, ජනාධිපති ප‍්‍රන්සුවා හොලන්ද්, නීස් ප‍්‍රහාරය ඉක්බිත්තේ අනතුරු ඇඟවූයේ, රටේ හදිසි නීති තත්වය දිග්ගැස්සී යාම, නීත්‍යානුකූල සමූහාන්ඩුවක් ලෙස රටේ තත්වය අනතුරේ හැලීමට ඉඩ ඇති බවට ය. කෙසේ නමුත්, කෙටි නියෝගයකින්, ඔහු තවත් තුන් මාසයක් සඳහා අත්‍යාසමාන බලතල පුලුල් කල අතර මිලිටරිය වීදි වලට මුදා හැරියේය.

එක්සත් ජනපදය තුල ද ෆැසිස්ට්වාදී රිපබ්ලිකානු අපේක්ෂක ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ මැතිවරන ජයග‍්‍රහන අපේක්ෂාවන් සමග, ධනේශ්වර ද්විපක්ෂ ක‍්‍රමය පවතින්නේ අවසාන අර්බුදයක තත්වයක ය. විදේශයන් හි අවසානයක් නැති යුද්ධ අනිවාර්යයෙන් ම රට තුල මර්දනය සමගින් අත්වැල් බැඳ ගන්නා අතර ඒවා “ත‍්‍රස්තවාදයට” එරෙහි සටන නමින් හඳුන්වන නමුත්, කම්කරු පන්තිය තුල වැඩෙන විරුද්ධත්වය හා පෙරලිකාරිත්වයට එරෙහිව පොලිසිය හා මිලිටරිය වඩ වඩා ඒකාබද්ධ කිරීම සමග එය බද්ධවී ඇත.

ගෝලීය ආර්ථික අර්බුදයේ බරින් මිරිකෙන තතු හමුවේ, මිලිටරිවාදය හා යුද්ධයේ කුරිරු වර්ධනය ද සියල්ලටත් වඩා නැගී එන පන්ති අරගලයේ බලපෑම යටතේ ධනේශ්වර පාලනයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රූපාකාරයන් අස්ථිර වන්නා වූ ලෝකය තුල, සෑම රටකම සිදුවෙන්නට ඉඩ ඇත්තේ කුමක් ද යන්න පිලිබඳ පෙර නිමිත්තකි තුර්කි සිදුවීම්.

බිල් වෑන් ඕකන්

Share this article: