පේරාදෙනිය සරසවියේදී “දුටු තැන අල්ලනු” නාට්‍යයට එල්ලවූ ප‍්‍රහාරය හෙලා දකිමු

විජිත් සමරසිංහ සහ ලොහාන් ගුනවීර විසිනි, 2016 ජුලි 30

පසුගිය ජුලි මස 12 වෙනිදා පේරාදෙනිය සරසවියේ සරච්චන්ද්‍ර එලිමහන් රංග පීඨයේ (සරච්චන්ද්‍ර වල පරිශ‍්‍රයේ) වේදිකා ගත වෙමින් තිබුනු, කෞශල්‍යා ප‍්‍රනාන්දුගේ “දුටු තැන අල්ලනු” නාට්‍යයට ශිෂ්‍යයින් පිරිසක් විසින් එල්ල කල ප‍්‍රචන්ඩ ප‍්‍රහාරය හා තර්ජනය, කලාවේ ස්වාධීනත්වයටත්, තම නිර්මාන කාර්යයන් ඉදිරිපත් කිරීම සඳහා කලාකරුවන්ට ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියටත් එල්ල කරන ලද බලගතු ප‍්‍රහාරයක් ලෙස සලකා එය දැඩි පිලිකුලෙන් යුතුව හෙලා දැකීමට සියලුම කම්කරුවන්, ශිෂ්‍යයන්, තරුනයන්, බුද්ධිමතුන් සහ කලාකරුවන් පෙරට පැමිනිය යුතුය.

බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ “ද ත‍්‍රී පෙනී ඔපෙරා” කෘතිය ද ඊට ද මූලාශ‍්‍ර වූයේ යැයි සැලකෙන 18 වන සියවසේ කෘතියක් ද යන දෙක ම ඇසුරු කර ගත් ප‍්‍රතිනිර්මානයක් වන සොයින්කාගේ මුල් පිටපත ප‍්‍රනාන්දු තම නිර්මානය සඳහා ආස‍්‍රය කොට ඇත. එම මුල් කෘති මෙන් ම ප‍්‍රනාන්දුගේ “දුටු තැන අල්ලනු” ද හිංසනකාරි අධිපතිවාදී ආන්ඩු හා ජරපත් දේශපාලන සංස්ථාපිතය උපහාසයටත් වෛරයටත් පාත‍්‍ර කරන්නකි.

නාට්‍යය සංවිධානය කර තිබුනේ පේරාදෙනිය විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංගමයෙන් වන අතර, එය නැරඹීමට ශිෂ්‍යයන් මෙන්ම අවට ප‍්‍රදේශවාසීන් ද විශාල පිරිසක් සරච්චන්ද්‍ර පරිශ‍්‍රයට පැමින සිටියහ. බාධා කිරීම් හා පහරදීම් පටන්ගෙන ඇත්තේ නාට්‍ය දර්ශනය ආරම්භ වී විනාඩි 45 කට පමන පසුව ය. එහි අඩංගු වූ සිපගැනීමේ අවස්ථා දෙකක් සහ පිරිමි නලුවන් දෙදෙනෙකු පෙම් යුවලක් අනුකරනය කරන අවස්ථාවක් දර්ශනය වීමත් සමග ප‍්‍රේක්ෂාගාරයේ තැනින් තැනින් කෑගැසීම් සහ හූ තැබීම් මතු විය. ප‍්‍රේක්ෂකයින් බුරුතු පිටින් නැගිට රඟහලෙන් නික්ම යාමට පටන් ගෙන ඇති අතර පසුව නාට්‍ය කන්ඩායමට තර්ජනය කිරීම හා වේදිකාව දෙසට ප‍්‍රහාර එල්ල කිරීම නොනවත්වා සිදුවී ඇත.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) වෙත කරුනු දක්වමින් කෞශල්‍යා ප‍්‍රනාන්දු ප‍්‍රකාශ කලේ, ඉහත දර්ශන වේදිකාගතවත්ම වේදිකාවට සෙරෙප්පුවකින් දමාගසන ලද බව හා පසුව ඉරිඟු බඩ වලින් හා ගලකින් ද පහර එල්ල වූ බවයි. මේ නිසා නාට්‍යය දර්ශනය තාවකාලිකව නවතා සංවිධායකයින් සමග සාකච්චා කරන අතරතුරදී මෙම නාට්‍යය පේරාදෙනිය සරසවියේ “උප සංස්කෘතියට” පටහැනි බව පවසමින්ප‍්‍රේක්ෂකාගාරයේ කෑකෝ ගැසීම් සිදුවූ බවත්, බෞද්ධ භික්ෂුවක් තමා වෙත පැමින සරච්චන්ද්‍රවල “පූජනීය බිමක්” බැවින් එය “නොකෙලෙසා” ඉවත්ව යන ලෙස ප‍්‍රකාශ කල බවත් ප‍්‍රනාන්දු පැවසුවාය. ප‍්‍රහාර හා තර්ජනය කෙරීම් උත්සන්න වූ තතු යටතේ තම නාට්‍ය කන්ඩායමේ සාමාජිකයින්ගේ ආරක්ෂාව සලකා නාට්‍යය නවතාලීමට සිදුවූ බව ඇය තවදුරටත් ප‍්‍රකාශ කලාය. නාට්‍ය කන්ඩායම ඉවත්ව යන විටද නාට්‍යය යලි අරඹනු ඇතැයි බලාපොරොත්තුවෙන් විශාල ප‍්‍රේක්ෂකයන් පිරිසක් රැඳී සිට ඇත.

කලාකරුවන්, විචාරකයන් හා විද්‍යාර්ථීන් සෑහෙන දෙනෙකු පුවත්පත් හා අන්තර්ජාලය හරහා මෙම පහරදීමට විරෝධය පල කොට ඇත. මීට අමතරව මෙම සිදුවීම පිලිබඳව පේරාදෙනිය සරසවි සිසුන් විශාල ප‍්‍රමානයක ගේ ද කනස්සල්ල පලව තිබේ.

ප‍්‍රහාරයෙන් පසු පේරාදෙනිය මහා ශිෂ්‍ය සංගමයේ (පේමශිස) ලේකම් අසංක සඳරුවන් පුවත්පතකට ප‍්‍රකාශ කර ඇත්තේ “කීප දෙනෙකුගේ විරෝධය සමස්ත ශිෂ්‍ය ප‍්‍රජාවේම විරෝධයක් ලෙස සලකා” දොස් පැවරීම වැරදි බවය. මෙය වනාහි, සිදුවූ ප‍්‍රහාරය හුදු “විරෝධයක්” ලෙස දක්වා අත සෝදා ගැනීමකි; බලාත්කාරයෙන් නාට්‍යය නතර කිරීමේ ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී ව්‍යායාමය ආවරන කිරීමකි. නාට්‍යය ප‍්‍රදර්ශනය කිරීමට එම කලාකරුවන්ට ඇති අයිතියත් එය නැරඹීමට අනෙකුත් ප‍්‍රේක්ෂකයන්ට ඇති අයිතියත් රැක දීමට ප‍්‍රේක්ෂකාගාරයේ සිටි පේමශිස ක‍්‍රියාකාරීන් ඉදිරිපත් නොවීමත්, පේමශිස වගාදිගා කරන “උප සංස්කෘතිය” පිලිබඳ ප‍්‍රතිගාමී සංකල්පය මෙම ප‍්‍රහාරයට මුල්වීමත්, ප‍්‍රහාරය සම්බන්ධයෙන් පේමශිසයේ සෘජු දායකත්වය පිලිබඳ නිසැක සාක්ෂි ය.

සිපගැනීමේ දර්ශනයක් හෝ වෙනත් ලිංගික ඇඟවුම් සහිත දර්ශනයක් නාට්‍යයක අන්තර්ගතවීම විශ්වවිද්‍යාල “උප සංස්කෘතියට” පටහැනි හා සරච්චන්ද්‍ර පරිශ‍්‍රයේ “පූජනීයත්වය කෙලෙසන” දේ හෙලා දැකීම ගලා එන්නේ අන්ත පසුගාමී හා බංකොලොත් ජාතිකවාදී චින්තනයකිනි. නමුත් ශ‍්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සිසුන් අතර මේ පසුගාමිත්වය ඔහේ වැඩුනා නොවේ. එය, පේමශිස ද අයත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමන්ඩලය මත කලින් අනුහස දරා සිටි ජනතා විමුක්ති පෙරමුනත් (ජවිපෙ) දැන් එම ශිෂ්‍ය සංගම් ඉස්මත්තට පැනගෙන සිටින ජවිපෙන්ම බිඳී ගිය පෙරටුගාමී සමාජවාදී පක්ෂයත් (පෙසප) ලංකාවේ වර්ගවාදී යුද්ධයට උඩගෙඩි දෙමින්, පතුරවාලූ ප‍්‍රතිගාමී ජාතිකවාදී සහ සිංහල-බෞද්ධ දෘෂ්ටිවාදයන්ගේ ප‍්‍රතිපලයකි.

විශ්ව විද්‍යාල “උප සංස්කෘතිය” නමැති සංකල්පය මෙම පක්ෂ මගින් ප‍්‍රවර්ධනය කෙරුනේ, ශිෂ්‍ය සංගම්වල බලය ඔවුන් අතට පත්වීමට පෙර විශ්ව විද්‍යාලයන්හි තිබූ සමාජවාදී සංස්කෘතියට එරෙහිව යි. විශ්ව විද්‍යාල තුල, විශේෂයෙන්ම පේරාදෙනිය සරසවිය තුල, දශක ගනනාවක් පුරා පැවත ආයේ ශිෂ්‍යයන් අතර ආනුභාවය දරා සිටි ට්‍රොට්ස්කිවාදීන් විසින් වර්ධනය කොට රකින ලද සමාජවාදී සංස්කෘතිය යි. මෙම ට්‍රොට්ස්කිිවාදීන් ආවේශ ගැන්වී සිටියේ 1917 රුසියානු විප්ලවය හේතුවෙන් ලෝක පරිමානව වර්ධනය වී තිබූ සමාජවාදී සංස්කෘතියෙනි. දේශපාලන පක්ෂ සහ ව්‍යාපාරයන්ට, විශේෂයෙන්ම කම්කරු පන්තික ව්‍යාපාරයන්ට, එකිනෙකා අතර පවත්නා දේශපාලනික මතභේදයන් තිබියදීම වාද විවාද පවත්වමින් නිදහසේ තම දේශපාලන කටයුතු කිරීමටත්, සංස්කෘතික කලා ක්ෂේත‍්‍රයන්හි ස්වාධීනව නියැලීමටත් අවකාශ නිර්මානය වී තිබුනේ මෙම පසුබිම හේතුවෙනි.

ජවිපෙ විසින් “විශ්ව විද්‍යාල උප සංස්කෘතිය” පිලිබඳ සංකල්පය ඉදිරිපත් කෙරුනේ සහ පෙසප විසින් එය ඉදිරියට ගෙනයනු ලබන්නේ, මූලික වශයෙන්ම කම්කරු පන්තික සමාජවාදී දේශපාලන ව්‍යාපාරයක් සරසවි සිසුන් අතර මැදිහත්වීම වලකාලීමට යි. “විශ්ව විද්‍යාල උප සංස්කෘතිය තුල පක්ෂ දේශපාලනයට ඉඩ නැතැ” යි යන ඔවුන්ගේ සූත‍්‍රය පිටුපස පවතින්නේ අධ්‍යාපනයට හා අනෙකුත් ශිෂ්‍ය අයිතිවාසිකම් වලට එල්ල වන ප‍්‍රහාරයන්ට එරෙහිව ශිෂ්‍යයන් තුල වැඩෙන විරෝධය කම්කරු පන්තියේ නායකත්වය යටතේ විප්ලවවාදී වැඩපිලිවෙලකට පරිවර්තනය වීම වලකා, එය සම්මුතිවාදී විරෝධතා දේශපාලනය තුල දියකර හැරීමේ ප‍්‍රතිගාමී උවමනාවයි.

ජවිපෙ සහ පෙසප වැනි ප‍්‍රතිගාමී ව්‍යාපාරයන්ට සිසුන් තුල අධිකාරිත්වයක් දිනා ගැනීමට හැකිවූයේ ට්‍රොට්ස්කිවාදී මූලධර්මයන් ක‍්‍රමක‍්‍රමයෙන් හැරපියා ගොස්, අවසානයේදී ධනපති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක් වෙමින් 1964දී ලසසපය කල මහා පාවාදීම හේතුවෙනි. 1991 දී ජාතිකවාදී ස්ටැලින්වාදී නිලධරය සෝවියට් සංගමය බිඳ විසුරුවා හැරීමත් සමග ආරම්භ වූ සමාජවාදී සංස්කෘතියේ ලෝක පරිමාන පරිහානිය ද, සෝවියට් සංගමයේ කඩා වැටීම මාක්ස්වාදයේ අසමර්ථතාවක් ලෙස දැක ඉන් දිරියබල සිඳගත් මධ්‍යම පන්තික බුද්ධිමතුන් අතරින් සුවිසල් පිරිසක් විසින් කම්කරු පන්තියේ විප්ලවවාදී කාර්යභාරය ප‍්‍රතික්ෂේප කරමින් ප‍්‍රවර්ධනය කරන ලද පශ්චාත්-නූතනවාදී කුනුකන්දල් ද වර්තමාන දෘෂ්ටිවාදාත්මක අර්බුදයට දායක විය.

පුවත්පත් හා අන්තර්ජාලය හරහා පහරදීම පිලිබඳ විවේචන එල්ල කල අය ද මෙම ඓතිහාසික සන්දර්භය නොතකා එය හුදෙක් “ශ‍්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ශිෂ්‍යන්ගේ” නොහික්මුනුකම පිලිබඳ කාරනයකට සිඳුවා, වෙනත් දිශාවකින් පසුගාමී ජාතිකවාදී දෘෂ්ටි ආස්ථානයම ආරක්ෂා කරති. තවත් සමහර විචාරකයෝ මෙම සිද්ධිය යොදා ගනිමින් නිදහස් අධ්‍යාපනයේම ඇති ඵලදායිතාව ප‍්‍රශ්න කරති.

සිනමා වේදී අශෝක හඳගම ප‍්‍රශ්නය මඩකරමින් අන්තර්ජාලයේ පලකල අදහස් දැක්වීමක, මෙම ප‍්‍රහාරය “මහන්සි වී ඉගෙන ගෙන එනවාට වඩා”, “බෝධිපූජා තබා, පිරිත් නූල් බැඳගන, සෙත් ශාන්ති මෙන්ම හදි හූනියං ද කර, හැකි නම් පගා දී ප‍්‍රශ්න පත්තර ද පන්නාගෙන හැකි තාක් කට පාඩම් කර විභාගය ලියා” විශ්ව විද්‍යාලයට එන වර්තමාන ශිෂ්‍යයින්ගේ සදාචාරාත්මක කඩා වැටීමකට සිඳුවමින්, “මේ අද දිවිහිමියෙන් රැක ගන්නට හදන රජයේ විශ්වවිද්‍යාල වල ප‍්‍රමිතිය ද” යනුවෙන් ප‍්‍රශ්න කරයි.

කලා විචාරකයෙක් ලෙස පෙනී සිටින චින්තන ධර්මදාස මීටත් වඩා නරුම ලෙස ප‍්‍රකාශ කර තිබුනේ “කිසිසේත්ම අද කාලයට ගැලපෙන දැනුමක් විඳීමක් සහ ශික්ෂනයක් සම්පාදනය කරන්නට රජයේ විශ්ව විද්‍යාලවලට නොහැකි බව දිනෙන් දින විශ්ව විද්‍යාල සිසුන් විසින් කරන ක‍්‍රියාකාරකම් තුලින් සනාථ වෙමින්” පවතින බැවින්, “සියලු රජයේ විශ්ව විද්‍යාල පෞද්ගලීකරනයට වහාම අවැසි පියවර ගත යුතු” බවයි.

මෙම සැඳහුම් මගින් යුක්ති යුක්ත කෙරෙනුයේ ‘නවකවදය’ ආදිය දඩමීමා කරගනිමින් විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට එරෙහිව සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ගෙන යන මර්දනය සහ වේගවත් කරමින් සිටින අධ්‍යාපනයේ පුද්ගලීකරනය වැඩපිලිවෙලයි. මෙය වනාහි, හඳගම හා ධර්මදාස අයත් වරප‍්‍රසාදිත ඉහල මධ්‍යම පන්තික ස්ථරය වත්මන් ආන්ඩුවටත් එහි පුද්ගලීකරනය ඇතුලු සියලු මුර්ග ප‍්‍රතිපත්තිවලටත් සහාය දැක්වීමකි.

තමන්ම පනවාගත් ප‍්‍රතිගාමී අචාර ධර්ම පද්ධතියක් මත පිහිටා “දුටු තැන අල්ලනු” නාට්‍යය පේරාදෙනිය සරසවිය තුල වාරනය කිරීමට සිසුන් පිරිසක් පෙලඹෙන්නේ, තිස් අවුරුදු යුද්ධය තුල “ජාතික ආරක්ෂාව” දඩමීමා කරගනිමින්, නාට්‍ය, සිනමා කෘති ඇතුලු සියලු කලා නිර්මාන කප්පාදු කර වාරන පැනවීමට, ජයවර්ධනගේ සිට රාජපක්ෂ දක්වා ධනපති ආන්ඩු ක‍්‍රියාත්මක කල පිලිවෙත් වත්මන් ආන්ඩුව මගින් ඉදිරියට ගෙන යමින්, කලාවට එරෙහි ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී මැදිහත්වීම් සාමාන්‍ය දෙයක් බවට පත් කොට ඇති තතු තුල යි.

වර්ගවාදී යුද්ධය ඔජ වඩමින් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ආන්ඩු ආරක්ෂා කල හා “යහපාලන” ප්‍රෝඩාව යටතේ වර්තමාන ආන්ඩුව ගෙන ඒමට කැපවූ ජවිපෙ, පෙසප, ව්‍යාජ වම හා පුරවැසි බලය ආදී සංවිධාන කිසිවක් කලාවට එල්ල කෙරෙන මෙම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ප‍්‍රහාරයන්ට එරෙහිව සප‍්‍රතිපත්තික දේශපාලන අරගලයක් කිසිකලක ගෙන ගොස් නොමැති අතර ඔවුන් සියලු දෙනාම සතුව ඇත්තේ එම ප‍්‍රහාර සෘජුව හෝ වක‍්‍රව ආරක්ෂා කිරීමේ ප‍්‍රතිගාමී වාර්තාවකි.

කෙසේ නමුදු, ජුලි 12 සිද්ධියෙන් පිලිබිඹු වන්නේ දශක ගනනාවක දේශපාලන පරිහානියෙන් සහ සංස්කෘතික ඛාදනයෙන් බිහිවූ ජාතිකවාදී අන්තවාදී ප‍්‍රවනතාවක් විශ්වවිද්‍යාල තුල හිස ඔසවමින් සිටින බවයි. මෙම ප‍්‍රතිගාමී ප‍්‍රවනතාවන් පරාජය කල හැක්කේ විශ්ව විද්‍යාල තුලත් පොදුවේ සමස්ත සමාජය තුලත් සමාජවාදී සංස්කෘතිය පුනර්ජීවනය කිරීම සඳහා සටන් වැදීමෙනි. ඒ සඳහා ඉදිරි දර්ශනය ද විප්ලවවාදී නායකත්වය ද සම්පාදනය කරන්නේ, සමාජවාදී සමානතා පක්ෂය සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ව්‍යාපාරයයි.

Share this article: